“විශ්වවිද්‍යාලෙ ගියාම නං පොත් ගන්න ඕන නෑ. පුස්තකාල තියෙනවා නෙ. ඒත් ලියන කඩදාසි ගන්න ඕන. බැංකුවෙන් මාස් පතා ණයට දුන්නු සල්ලි කඩදාසි ගන්න ඇති. දැං ආපහු හිතල බැලූවම ණයට ගත්තු ඒ පොත් ටිකයි කඩදාසියි ඇරුණම ඉතුරු ඔක්කොම මට නිකං ලැබිල තියෙන්නෙ. නිකං ඉගෙනගෙන තියෙන්නෙ. මට ඒවා නිකං ලැබුණට කවුරුහරි ඒකට වියදං කරලා තියෙනවා. පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළු පාට දිය වෙච්ච පරණ කුඩ කබලකට මුවා වෙලා, කරපිංචා විකුණන අම්මා මට ඉගෙනගන්න වියදං කරලා තියෙනවා. අදටත් වියදං කරනවා. ගුණසිංහපුර හන්දියෙන් සැර දාලා හරෝන 138 බස් එකේ ඉස්සරහ දොර පොල්ලෙ එල්ලිලා "මාරගම… මාරගම…" කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙනගන්න වියදං කරලා තියෙනවා.
අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපී පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙනගන්න වියදං කරලා තියෙනවා. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති, තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයි ද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා. ඒ ගැන හිතනකොට ගලක් වගේ හිත බර වෙනවා.”
ගංගානාත් මහාචාර්යතුමා මේ කතාව ලියල තියෙන්නෙ ඔහුගෙ පැණි වළල්ලක. ඒ තීරු ලිපියේ නම ‘නිදහස් අධ්‍යාපනය’. 1987 දි ‘මොන්බුෂෝ’ ශිෂ්‍යත්වය ලැබිලා ජපානයට යන ගංගානාත් මහාචාර්යතුමා, එහේ ගිහින් මාස දෙකෙන් ජපන් භාෂාව සම්පූර්ණයෙන් ප්‍රගුණ කළා. ඔහුගේ දක්ෂකම් නිසා ම විශ්වවිද්‍යාලයේ කැපී පෙනෙන ශිෂ්‍යයෙකු වෙන්න ඔහුට පුළුවන් වුණා. ඉහත කියපු තීරු ලිපියේ ම ඉතුරු කොටස මේ…
“නිෂිමුරා සෙන්සෙයි නීතිඥවරයෙක්. එයා මට හැම මාසෙම යෙන් දහ දාහක් දෙනවා. මං ජපානෙට ඇවිත් ඉගෙන ගන්න එකේ සතුටට. ඒ වෙනුවට එයත් එක්ක මාසෙකට දවසක් අවන්හලකට ඇවිත් කන්න බොන්න ඕන එයා ගාණේ. අද මට එයා තකහෂි සංව අඳුන්නල දුන්නා. එයා මගෙන් ගොඩක් දේ ඇහැව්ව. මං ඔක්කොම කිව්ව.
නිල් පාට ටයි කෝට් ඇඳල කන්නාඩි දාල කොණ්ඩෙ පැත්තකට පීරල ඉන්න එයා මං කියන ඔක්කොම දේ හීන් ඇස් දෙක පියාගෙන අහගෙන හිටිය. ඊට පස්සෙ ඇස් ඇරල මගෙ දිහා බලල "ගංගානාතො සං, ඔයා දක්ෂ. කෙනෙක්. ආපහු ලංකාවට යන එකේ තේරුමක් නෑ. ලංකාව ගොඩක් දුප්පත්. ජපානෙ එහෙම නෙමෙයි නෙ. ඔයා මෙහෙ නවතින්න. ඔයාට මෙහෙ හොඳ තැනකට එන්න පුළුවනි" කියල කිව්ව. එතකොට මට එකපාරට ම මතක් වුණේ "නිපොන් මාරු" තරුණ නැව. ඒක අවුරුද්දකට වතාවක් තරුණ තරුණියන් පිරිවරාගෙන ලෝක වටේ යනවා. මාත් ඒකෙ ගිහිං තිබුණ ජපන් තරුණ තරුණියන් සිය ගාණක් එක්ක. නැවේ හිටිය ප්‍රධානියා දවසක් මට එයාගේ කාමරේට කතා කරලා "ඔයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් නේ. මෙහේ එහෙම අයට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. ලංකාවට යන්න එපා. ජපන් කෙල්ලෙක් බැඳල මෙහෙ නවතින්න" කියලා කිව්වා. මං හිනා වුණා මිසක් එයාට මොකුත් කිව්වෙ නෑ. මේ වෙලාවේ මට එකපාරට ම මතක් වුණේ ඒක. සිගරැට් දුම කැරකි කැරකි මගේ දිහාවටත් ආව. මං චුට්ටක් වෙලා බිම බලාගෙන ඉඳලා ආපසු ඔළුව උස්සල තකහෂි සං දිහා බැලූව. එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. මං කතා කරන්න හිතුව.
"මට සමාවෙන්න. මෙහෙම කියනවට. මං ජපානෙ ඉගෙන ගන්නෙ ශිෂ්‍යත්වෙකින්. ඒකට ගෙවන්නෙ ජපානෙ ජනතාව. පාඨමාලා ගාස්තු විතරක් නෙමෙයි. කන්න, බොන්න, පොත්පත්, බේත් හේත්, ගෙවල් දොරවල්, ගමන් බිමන් මේ හැම එකට ම. ඒක කෝටි ගාණක්. ආත්ම ගාණක් හම්බ කරලත් මට ගෙවාගන්න බැරි ගාණක්. ඒත් ඒ ශිෂ්‍යත්වෙ දුන්නේ මට නෙමෙයි. ලංකාවෙ මිනිස්සුන්ට. ලංකාවයි මා තෝරල මෙහාට එව්වේ. ඒ හින්ද මං ආපහු යන්න ඕන නේද? ලංකාව දුප්පත් බව ඇත්ත. ඒත් ඒ දුප්පත්කමින් ගොඩ එන්න ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ඒත් මං නොගියොත් මං වගේ ම මෙහෙම ආපු හැමෝම නොගියොත් කවදාවත් ඒ දුප්පත්කමින් ගැලවෙන්න බැරි වෙනවා ඒ මිනිසුන්ට. අනික මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ. එහෙම නොකළ නං මට කවදාවත් මෙහෙම එන්න වෙන එකකුත් නෑ. ඒ හන්ද මට යන්න ඕන ආපහු. මට දුක් විඳින්න වෙයි සමහරවිට. ඒත් මං ආපහු යනව. මට සමාවෙන්න" කියලා මං කිව්ව."