නමෝ බුද්ධාය...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සම්මා වායාම

ඒ අනුව සියලු සාර්ථකත්වයන් තම තමා වෙතට පමුණුවා ගැනීමේදී බලවත්ම හේතු සාධකය රැඳී තිබෙන්නේ පුද්ගලයා තුළම ය යන්න මැනවින් අවබෝධ විය යුතුය. සංසාරගත සත්වයා පෙළන්නාවූ ජාති ජරා ව්‍යාධි මරණාදී රෝග තත්වයෙන් අත් මිදීම නම් වූ නිර්වාණාවබෝධය සඳහා ද උපයෝගී වන්නේ එකී ක්‍රමවේදය මයි

‘වායමේතේව පුරිසො - යාව අත්ථස්ස නිප්පදා’ තම පරමාරථය ඉටුකරගන්නා තෙක්ම වෑයම් අත්නොහළ යුත්තේය යන අදහස එයින් ගම්‍යමාන ය.
උසස් අරමුණක් පරමාර්ථ කොටගෙන සිටින පුද්ගලයාට බාහිර සාධකය යනු පරිසරය,හිතමිතුරන්, ගුරූපදේශ, මිළ මුදල් ආදී දේය.අභ්‍යන්තර සාධනය යනු පුද්ගලයා තුළම පහළකරගන්නා ආත්මාධිෂ්ඨානයි. උත්සාහයයි. මෙය ව්‍යායාම , වායාම වෑයම යනු ලෙසින් ව්‍යවහාරයේ පවතින්නකි. ඒ අනුව සියලු සාර්ථකත්වයන් තම තමා වෙතට පමුණුවා ගැනීමේදී බලවත්ම හේතු සාධකය රැඳී තිබෙන්නේ පුද්ගලයා තුළම ය යන්න මැනවින් අවබෝධ විය යුතුය.
සංසාරගත සත්වයා පෙළන්නාවූ ජාති ජරා ව්‍යාධි මරණාදී රෝග තත්වයෙන් අත් මිදීම නම් වූ නිර්වාණාවබෝධය සඳහා ද උපයෝගී වන්නේ එකී ක්‍රමවේදය මයි.
එකී පරම නිෂ්ඨාව සඳහා ඍජු ලෙසම පුද්ගලයා මෙහෙයවන බල ශක්තිය හඳුන්වන්නේ ‘සම්මා වායාම’ යනුවෙනි.මාර්ග සත්‍යයේ හයවැනි අංගය ලෙසින් දැක්වෙන මේ යහපත් උත්සාහය හෙවත් මැනවින් කෙරෙන වෑයම අනිත් සෑම මාර්ගාංගයක්ම සජීවිව හා ශක්තිමත්ව තබා ගැනීමට උපකාරවත් වෙයි.
බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්මදේශනාවේදී ඉදිරිපත්කොට වදාළ අංග අටකින් යුතු මාර්ග සත්‍යය ආය¸ශ්‍රාවකයෙකු විසින් අනුගමනය කළ යුතු අනිවාර්ය ප්‍රතිපදාවයි. යහපත් උත්සාහයට සම්පූර්ණ වන්නේ සතර වැදෑරුම් ක්‍රියාමාර්ගයක් මගිනි. එනම් මෙතෙක් තමා අතින් සිදු නොවුනු වැරදි දේ ඉදිරියටත් සිදු නොකර සිටීමට ඇතිකරගන්නා උත්සාහයයි. අධිෂ්ඨානයයි. එනිසා එමගින් නීතිගරුකභාවයට ද ලැබෙන්නේ පිටුබලයකි. ඕනෑම අපරාධ කාරයෙකුට, පවුකාරයෙකුට වුවද මේ පියවර අපහසු නැත.සම්‍යක් ව්‍යායාමයේ ආරම්භය සැලසෙන්නේ එසේ ය.
මෙතෙක්, තමා අතින් සිදුවෙමින් පවත්නා නරක වැරැදි පාප ක්‍රියාවන් පිළිබඳ අවබෝධයෙන් යුතුව ඒවායේ ආදීනව හා පරලොව විපාක ද ගැන කල්පනාකර එබඳු නරක ක්‍රියාවන් තවදුරටත් නොකර සිටීමට ඇතිකරගන්නා උත්සාහය හෙවත් අධිෂ්ඨානය දෙවැනි පියවරයි. උපන් අකුසල ධර්ම ප්‍රහානය පිණිස යනුවෙන් පදාගතාර්ථය අනුව නම් අකුසල ධර්ම ප්‍රහානය පිණිස ගන්නා උත්සාහය යනු අකුසලයන්ට ප්‍රතිවිරෝධි කුසලධර්ම වර්ධනය කිරීමයි. හෙවත් කුසලච්ඡන්දය උපදවීමයි.මේ පියවරේදී පුද්ගලයා සතු ආත්මශක්තිය හා ආත්ම විශ්වාසය වඩාත් තහවුරු වෙයි.
මේ බැව් ධම්මපදයේ ලෝක වග්ගයේ එන ‘ යස්සපාපං කතං කම්ම්කුසලේන පීඨියති.’ (173) යන ගාථාවෙන්ද පැහැදිළි කරනු ලැබ ඇත. තමා විසින් කරනු ලැබූ පාප ක්‍රියාවන්හි විපාක ශක්තිය වර්තමානයේ සිදු කෙරෙන කුසල ක්‍රියා මගින් වසා දැමිය හැකි ය. මෙයට නිදසුන් ලෙස දක්වා ඇත්තේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ජීවන ප්‍රවෘත්තියයි.සම්‍යක් ව්‍යායාමයේ තෙවැනි පියවර වන්නේ මෙතෙක් තමා අතින් සිදුනොවුනු හෝ තමාට කරගන්නට අපහසු වූ යහපත් ක්‍රියාවන් සිදුකිරීමට ගනු ලබන උත්සාහයයි. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වශයෙන් දක්නා වූද දස කුසල් වශයෙන් දක්නා වූද, යහපත් හා පුණ්‍යමය වූ ක්‍රියාකාරකම් රැසක් දේශනාවේ සඳහන්ය. හොඳ වැඩ අනන්තවත් තේරුම් බේරුම්කර ගැනීමට බුද්ධිමත් පුද්ගලයෙකුට අපහසු නොවෙයි. අවබෝධය මුල්කරගෙන අලුත් යහවැඩ කිරීමට යොමු කිරීමක් මේ මගින් සිදුවෙයි.
හතරවැනි අවස්ථාව වශයෙන් ගැනෙන්නේ උපදවාගන්නා ලද හා වර්තමානයේ උපදවා ගනිමින් සිටින කුසල ධර්මයන් පිරිහෙන්නට නොදී දිගටම පවත්වාගෙන යාම (ඨීතියා) නැසෙන්නට නොදී සජීවිව පවත්වාගැනීම (අසම්මෝසාය) තව තවත් වඩා වර්ධනය කිරීම (නය්‍යොභාවාය, වෙපුල්ලාය) සිහිය උපදවාගෙන සිටීම (භාවනාය පාරිපූරියා) යන කාරණයයි.
මෙම අවස්ථා හතර සම්පූර්ණවන්නේ යම් තැනකද ඒ අවස්ථාව සම්මා වායාමය සම්පූර්ණ කළා යනුවෙන් සැලකෙයි.එයින් පෙනී යන වැදගත් කරුණක් වන්නේ අනෙකුත් සියලු මාර්ගාංගයන් ලිහිල් වන්නට ඉඩ නොතබා ඇද බැද තහවුරු කොටගෙන පවත්වා ගැනෙන්නේ මේ සම්මා වායාමය මගින් ම ය යන්න යි.
මේ මාර්ගාංගය මගින් තහවුරු කෙරෙන කරුණුම සතර සම්‍යක් ප්‍රධන් සය්‍යය යන නමින්ද තහවුරු කොට තිබේ. (අංගුත්තර නිකාය 2.පධාන සුත්ත) එයින්ද පෙනීයන්නේ පරම නිෂ්ඨාව වශයෙන් ගැනෙන නිර්වාණ අවබෝධය සඳහා වන ආර්¸මාර්ගයේදී සම්මා වායාමය මගින් ඉටුකෙරෙන අවාරණීය වූ අර්ථයයි.
බෝධි සත්ව චර්යාවේ උපයුක්ත දසපාරමී අංගයන්හිලා හඳුනාගෙන තිබෙන වීය¸ පාරමිතා යනු ද මේ මිස වෙනකක් නොවේ.ආත්මභාව දසදහස් ගණනක් තිස්සේ නොකඩකොට වඩනාලද හා රක්නාලද වීය¸ය නමැති ඒ අසහාය බෝධ්‍යාංගය සිද්ධාර්ථ බෝසතුන්ගේ චරිතය තුළ මැනවින් ප්‍රදර්ශනය වූ බව කාහටත් මැනවින් පැහැදිළියි.
සම්මා වායාමයේ විස්තර වන සතර ප්‍රධන් වීය¸ය මගින් දක්වා ඇති ජීවන සැලැස්ම විශ්ව සම්භාවිත ක්‍රමෝපායක් වන බව ද මෙහිලා සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.
පෞද්ගලික වූ හෝ සමාජමය වූ දුක්ඛවේදනාවන්ගෙන් මිදෙන තෙක්ම, ලෞකික වූ ලෝකෝත්තර වූත් නිදහස් දිනාගන්නා තෙක්ම වෑයම අත්නොහළ යුත්තේය. ‘විරියේන දුක්ඛංඅච්චේති ‘ යනු කී හෙයින් සියලු දුකින් නිදහස් වීම සඳහා වෙර වීරියේ හෝ වෑයම හැර වෙනත් මගක් නැත්තේ මය.
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සම්මා සති

කෙලෙස් තවන වීර්යයෙන් මනා නුවණින් සිහියෙන් යුතුව ලෝකයෙහි ඇලීමක් හෝ ගැටීමක් නොමැතිව කයෙහි කය අනුව බලමින් වේදනාවන් කෙරෙහි වේදනාවන් අනුව බලමින්, සිත්හි සිත අනුව බලමින් ධර්මයන්හි ධර්මය අනුව බලමින් මෙසේ සතර සතිපට්ඨාන කෙරෙහි මනාකොට සිහියෙන් යුතුව කටයුතු කරයි නම් එය සම්මා සතිය යි

බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි හත්වෙනි අංගය “ සම්මා සතියයි” සම්මා සති යන්නෙහි සාමාන්‍ය අදහස යහපත් සිහිය, මනා සිහිය යන්නයි. එහෙත් මෙහි පුළුල් අර්ථය මීට වඩා සවිස්තර වූවකි. අභිධර්මයේ විභංගප්පකරණයට අනුව සම්මා සතිය විස්තර කර ඇත්තේ මෙසේය.
මේ ශාසනයෙහි යම්කිසි භික්‍ෂු නමක් කෙලෙස් තවන වීර්යයෙන් මනා නුවණින් සිහියෙන් යුතුව ලෝකයෙහි ඇලීමක් හෝ ගැටීමක් නොමැතිව කයෙහි කය අනුව බලමින් වේදනාවන් කෙරෙහි වේදනාවන් අනුව බලමින්, සිත්හි සිත අනුව බලමින් ධර්මයන්හි ධර්මය අනුව බලමින් මෙසේ සතර සතිපට්ඨාන කෙරෙහි මනාකොට සිහියෙන් යුතුව කටයුතු කරයි නම් එය සම්මා සතියයි. සතර සතිපට්ඨානයෙන් උගන්වන්නේ මෙකී සිහිය උපදවා ගන්නා ආකාරයයි. මුලින් කය අනුවත්, ඉන්පසු වේදනාව, අනුවත්, ඉන්පසු සිත අනුවත් කටයුතු කොට අවසානයේ හොඳ නරක පිළිබඳ අවබෝධයක් ලැබීම සිහිය පිහිටුවා ගැනීමෙන් ඇති කර ගත හැකිය.
සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේ දීම පෙන්වා දී ඇත්තේ කයට අනුව සිහිය උපදවා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන, ගිරිමානන්ද වැනි සූත්‍රවලදි ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් කර ඇත. යම්කිසි ආරණ්‍යයකට හෝ රුක් මුලකට හෝ හිස් බිමකට හෝ ගිය විටකදී පලක් බැඳ, උඩුකය, ඍජු කොට, මුහුණ ඉදිරියට කොට, සිහිය උපදවාගෙන හුස්ම ඉහළ පහළ දැමිය යුතුය. එසේ ඉහළ පහළ දමන හුස්ම දීර්ඝව ගන්නා බව, භ්‍රස්ව ගන්නා බව, සියලු ශරීරයට දැනෙන පරිදි ගන්නා බව, හිතට දැනෙන පරිදි ගන්නා බව, පී‍්‍රතිය විඳිමින් ගන්නා බව, සැපය විඳිමින් ගන්නා බව, ආදි වශයෙන් විවිධාකාරයෙන් හුස්ම ඉහළ පහළ දමන බව දනිමින් සිහියෙන් යුක්තව කළ යුතු බව පෙන්වා දී තිබේ.
එපමණක් නොව ඕනෑම වැඩක් පලක් කරන විටදී මනා සිහි නුවණින් යුක්තව ම කටයුතු සිදු කළ යුතුය. (ගතෙ-යන විට, ඨීතෙ-සිටින විට, නිසින්නෙ-හිඳින විට, සුත්තෙ-අසන විට, ජාගරිතෙ-නිදාගන්නා විට, සම්පජානකාරි හොති -සිහි නුවණින් යුතු වෙයි)
සිතට පැමිණෙන ඕනෑම දෙයක් සිහි නුවණින් යුක්තව සිතා කටයුතු කිරීමෙන් එවැනි සිතිවිලි පාලනය කර ගත හැකිය. සිත පිරිසුදු කර ගත හැකිය.
ඒ සඳහා සිහිය උපදවා ගැනීම අනිවාර්ය වේ. අපගේ සිතෙහි නොයෙක් ආශා කරන සිතිවිලි නැතහොත් අරමුණු ඇතිවිය හැකිය. විශේෂයෙන්ම පඤ්චේන්ද්‍රියන් තුළට අරමුණු වන රූප,ශබ්ද, ගන්ධ, රස හා ඵොට්ඨබ්බ යන ඒවාය. මෙසේ ඇති වන අරමුණු යටපත් කර ගැනීම සඳහා පුද්ගලයා විසින් කළ යුත්තේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කිරීමය. එසේ කටයුතු සිදු කිරීම තුළින් එකී අරමුණු වල ආදීනව දකින්න මහන්සි ගත යුතුය. එහි ආදීනව වශයෙන් අනිත්‍ය, දුක්ඛඅනාත්ම වශයෙන් දකිමින් ඒ ආශා කරන අරමුණු සිතින් අයින් කිරීම සඳහා මනා සිහිය උපදවා ගත යුතුය.
එසේම ටික වේලාවක් යන විට තරහක්, ක්‍රෝධයක්, වෛරයක් වැනි අකුසල ධර්මයක් ඇතිවිය හැකිය. එවිටත් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සිත පිරිසුදු කර ගැනීම සඳහා සිහිය උපදවා ගත යුතුය. සියලු සත්වයන් කෙරෙහි දයාව අනුකම්පාව ඇති කර ගැනීම තුළින් එකී තරහ සිතිවිලි නැතිකර ගත හැකිය. ඉන්පසු ඔහුගේ සිත “ව්‍යාපාද දොසා චිත්තං පරිසොධෙති” යන්නෙන් දක්වා ඇති පරිදි අනුන් නැසිය යුතුය ‘ යන ද්වේශ සහගත සිතින් තම සිත පිරිසුදු කර ගන්නා තැනැත්තෙක් වේ. මේ සියලු අවස්ථාවන්හි පුද්ගලයාගේ සිත මනා සිහි නුවණින් යුක්තව තිබිය යුතුය. මෙය සතර සතිපට්ඨානයෙහි වේදනානුපස්සනාව මගින් උගන්වා ඇත.
තම සිතින් සිත අනුව කටයුතු කිරීම විස්තර වන්නේ චිත්තානුපස්සනාව තුළිනි. පහළවන සිතිවිලි ස්වභාවය මනාකොට දැන ගැනීමෙන් පසු “සරාගං වා චිත්තං සරාගං චිත්තාති පජානාති. වීතරාගං වා චිත්ත වීතරාගං චිත්තාති පජානාති”යන ආකාරයට සිත රාගයෙන් යුක්ත වූ පසු ඒ බව දැන ගනී. රාගයෙන් තොර වූ පසු ඒ බව ද දැන ගනී. උපදින උපදින චිත්ත ස්වභාවයන් නැතිව යන ආකාරය ද මනා සිහිනුවණින් දකියි. එසේ දක්නා විට මෙලොව ඇති සියල්ල පිළිබඳ මනා වැටහීමක් ඇති කර ගනී. එවිට ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳව ද වැටහීමක් ලබා ගත හැකිය.
සිහි නුවණින් කල්පනා කරමින් යහපත් සිතක් ඇති කර ගැනීම සඳහා ඉවහල් වන්නේ ධම්මානුපස්සනාවයි. පංච නීවරණ, (කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා) පඤ්ච උපාදානස්ඛන්ධ, (රූප වේදනා, සඤ්ඤා සංඛාර, විඤ්ඤාණ) ආධ්‍යාත්මක හා බාහිර ආයතන, (චක්ඛ, සොත, ඝාණ, ජිව්හා, කාය, මන, රූප, ශබ්ද, ගන්ධ,රස,ඵොට්ඨබ්බ, ධම්ම) සත්ත බොජ්ක්‍ධංග (සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා) චතුරාර්ය සත්‍ය (දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග) යන මේ ධර්ම අතරින් කවර හෝ ධර්මයක් පිළිබඳ ව සිහි කරමින් එහි සිත රඳවා තබා ගනිමින් බාහිර අරමුණුවලින් සිත ඉවත් කිරීම සඳහා කටයුතු සිදු කළ යුතුය.
සම්මා සතිය ඇති කරගන්නා පුද්ගලයා රථයක් පදවන රියදුරා නිතර රථයේ අඩුවැඩි වීම පිළිබඳව සලකමින් රථය හසුරුවන්නා සේ තමාගේ සෑම ක්‍රියාවක් පිළිබඳවම සළකමින් කටයුතු කිරීම සිදු කළ යුතුය. එසේ සිදු කරන විට බාහිර වශයෙන් සිතට දැනෙන්නා වූ අකුසල් සහගත සිතිවිලි සිත තුළට ඇතුළුවීම වළක්වා ගත හැකිය. එයින් තමා කවුරුන්ද යන්න පිළිබඳ ව මනා වැටහීමක් ද ඇති කරගත හැකිය. මේ වටහා ගැනීමත් සමග ලෝකයේ කිසිම දෙයකින් “මමය, මාගේය”යනුවෙන් ගැනීමක් ද සිදුවන්නේ නැත. එයම පුද්ගලයාගේ විසුද්ධිය පිණිස හේතුවක් වන්නේය.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සම්මා සමාධි
ප්‍රඥාව සංවර්ධනය කිරීමේ මූලික උපාය මාර්ගය ධ්‍යාන භාවනාවන් වැඩීම වේ. ඒ තුළින් ලොව ඇති සියලු ප්‍රපංචයන්ගේ ස්වභාවය පරීක්‍ෂා කළ හැකිය. කෙලෙස් වනය සිඳ දැමීමටත් ධර්මාවබෝධයටත් එය හේතු වේ. සම්මා සමාධිය විස්තර කරන මුලික සූත්‍ර‍්‍රධර්ම එය ධ්‍යාන ලබා ගැනීම ලෙස දක්වා ඇත

සමාධි (Concentration) යනු චිත්ත ඒකාග්‍රතාව යි. එය ධාර්මික වූත් පවිත්‍ර වූත් ජීවිතය හා බැඳුණූ භාවනාමය තත්වයයි. එය උත්තරීතර ප්‍රඥාව (Higher wisdom) හා විමුක්ති (Emancipation) ප්‍රතිලාභය සඳහා අත්‍යවශ්‍ය වූ තත්වයකි. දීඝ නිකායේ සුභ සූත්‍රයේ දී සමාධිකන්ධ යනුවෙන් චිත්ත සම්පදාව දක්වා ඇත. එනම් ශ්‍රමණ ජීවිතයේ දී පින් රැස්කිරීම මගින් උසස් වූ තත්වයකට පැමිණීම යි. සංක්‍ෂිප්තව ගතහොත් සමාධි යනු ඉන්ද්‍රියයන් ආරක්‍ෂා කර ගැනීම (ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරතා) සිහියෙන් යුක්ත වීම (සති සම්පප්ඤ්ඤ) ලද දෙයින් සතුටුවීම, (සන්තුට්ඨි) පංචනීවරණයන්ගෙන් මිදීම හා ධ්‍යානලාභී වීම ය.
සම්මා සමාධිය (Right Concentration) නිවැරදි භාවනාව යි. සම්පූර්ණ සමාධියට සහ ධ්‍යානමය තත්වයට (State of Meditative Absorption) ළඟා වන තුරු භාවනානුයෝගියා සිත ප්‍රගුණ කරයි. සම්මා සමාධිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් මාර්ගාංගයකි. සම්මා සමාධිය ප්‍රගුණ කළ හැක්කේ ආනාපානසතිය (Mindfulness of breathing) කසිණ (Visual objects) හා සජ්ඣායනා මගිනි. හුස්ම ඉහළට ගැනීම හා පිටතට හෙළීමේ භාවනාව (Meditation on in –breathing and out breathing) තමාත් තම ශරීරයත් ලෝකයත් පිළිබඳ අභ්‍යන්තර අවබෝධයට හිණිමඟකි.
‘දසකසිණ ආයතනානි භාවෙන්ති’ යනුවෙන් කසිණ 10 ක් පිළිබඳ භාවනාව උගන්වා ඇත. එනම්
1. පඨවි කසිණ (Earth)
2. ආපෝ කසිණ (Water)
3. තේජෝ කසිණ (Fire)
4 . වායෝ කසිණ (Air)
5. නීල කසිණ (Blue)
6. පීත කසිණ (Yellow)
7. ලෝහිත කසිණ (Red)
8. ඕදාත කසිණ (White)
9. ආකාස කසිණ (Space)
10.විඤ්ඤාණ කසිණ (Intellection or Consciousness) වේ .

විසුද්ධි මාර්ගයේ ද බොහෝ මූලික සූත්‍රවල ද මෙම කරුණු මැනවින් විස්තර වේ.මේ සෑම කසිණයක් ම පංචවිධ ය. එනම් උද්ධං (above) අධො (below) තිරියං (across) අද්වයං (single) හා අප්පමාණං (boundless) යනුවෙනි.
ධ්‍යාන ලබා ගැනීම සඳහා පංච නීවරණයන් යටපත් කිරීමට සිදුවන අතර ඒ සඳහා උපස්ථම්භක වන්නේ සමාධියයි. කාමච්ඡන්ද (Sensuality) ව්‍යාපාද , (III –will) ථීනමිද්ධ (Torpor of mind and body) උද්ධච්ච කුක්කුච්ච (Flurry /worry) විචිකිච්ඡා (doubt/ perplexity) යන පංචනීවරණයන් නිවන ආවරණය කරන ධර්මතාවන් හෙයින් සමාධිය මගින් ම ඒවා යටපත් කළ යුතු ම වේ. සමාධිය චිත්ත සමාධි (Concentration of mind) හා ධම්ම සමාධි (Identical with Samatha) නමින් දෙවදෑරුම්වේ.
සමාධියේ තවත් දෙවැදෑරුම් ස්වරූපයකි .එනම්,
1. උපචාර සමාධි (Preparratory Concentration) සහ
2. අප්පණා සමාධි(Attainment Concentration) යනුවෙනි.
සමාධිය නැවත ද තෙවදෑරුම් ලෙස මෙසේ දක්වා ඇත.එනම්
1. සුඤ්ඤත සමාධි (Empty)
2. අප්පණීහිත සමාධි (Aimless)
3. අනිමිත්ත සමාධි (Signless) යනුවෙනි.
ප්‍රඥාව සංවර්ධනය කිරීමේ මූලික උපාය මාර්ගය ධ්‍යාන භාවනාවන් වැඩීම වේ. ඒ තුළින් ලොව ඇති සියලු ප්‍රපංචයන්ගේ ස්වභාවය (Nature of phenomena) පරීක්‍ෂා කළ හැකිය. කෙලෙස් වනය සිඳ දැමීමටත් ධර්මාවබෝධයටත් එය හේතු වේ. සම්මා සමාධිය විස්තර කරන මුලික සූත්‍ර‍්‍රධර්ම එය ධ්‍යාන ලබා ගැනීම ලෙස දක්වා ඇත.
1. කාමයෙන් වෙන්ව අකුසල් දහමින් වෙන්ව සවිතර්ක සවිචාර විවේකජ පී‍්‍රතිසුඛ ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ විසීම
2. විතක්ක විචාරකයන්ගේ ව්‍යූපශමයෙන් තමා තුළ පැහැදීම ඇති චිත්ත ඒකාග්‍රතාවය ඇති අවිතර්ක අවිචාර සමාධිජ පී‍්‍රති සුඛ ඇති ද්විතීය ධ්‍යානය උපදවා විසීම
3. පී‍්‍රති විරාගයෙනුදු උපෙක්‍ෂකව ස්මෘතිමත්ව සම්ප්‍රඥාන ඇති ව වාසය කරමින් නාමකයින් සුඛය ද විඳින තෘතීය ධ්‍යානය උපදවා විසීම.
4. සුඛදුක්ඛ ප්‍රහාණයෙන්ද,සොම්නස් දොම්නස් නැතිවීමෙන්ද, අදුක්ඛ වූ අසුඛ වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධි ඇති චතුර්ථ ධ්‍යානය උපදවා විසීම
මෙම උත්තරීතර ධ්‍යානමය තත්වයන්ට පැමිණීම සම්මා සමාධිය වේ.
 
  • Like
Reactions: BlueBat

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මාත් ඔහොම එකක් කළා කලින් එල එල ,මගේ උපන්දිනේට පොතක් ගහල බෙදුවා එකේ cpoy යක් sacan කරලා දාන්නම් මම
    රේප් දෙන්න බැ ,කලින් දුන්නු නිසා
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මාත් ඔහොම එකක් කළා කලින් එල එල ,මගේ උපන්දිනේට පොතක් ගහල බෙදුවා එකේ cpoy යක් sacan කරලා දාන්නම් මම
    රේප් දෙන්න බැ ,කලින් දුන්නු නිසා

    හොද පොස්ට් එකක් මච්න්. :D
    :):):)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සබ්බපාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා............
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කරන දේ යහපත් සිටුවිල්ලෙන්ම කරපන් ..රේප් නැතත් පින් ලැබෙයි :cool:

    තෙරුවන් සරණයි ...

    රේප් +7
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සත්වයාගේ විශුද්ධියට මාර්ගය

    තුන්ලෝකාග‍්‍ර වූ භාග්‍යවත් වූ සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කළ ධම්ම පද ගාථාවක් ප‍්‍රකාශ කළේ ධම්ම පදයෙහි 20 වැනි මාර්ග වර්ගයේ මුල් ගාථාවයි. මෙහි සරල තේරුම නම් මාර්ගයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සත්‍යය අතුරෙන් ශ්‍රේෂ්ඨ සත්‍යය චතුරාර්යය සත්‍යයයි. ධර්මයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ ධර්මය නිර්වාණ ධර්මයයි. දෙපා සියලු සත්ත්වයන්ට පසැස් ඇති ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොවුතුරා බුදු රජාණන් වහන්සේයි යන්න එම ගාථාවෙන් පැහැදිලි වෙයි. “එතෙන අට්ඨංගික මග්ගෙන සත්තා විසුජ්ඣන්ති” කියන දේශනාවට අනුව සත්වයා විශුද්ධියට පත්කරන එම මාර්ග අට නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවො, සම්මා වායාමො, සම්මා සති, සම්මා සමාධි, යන මාර්ග අටයි. මෙහි “අරියො අට්ඨාංගිකො මග්ගො” කියන වචනයේ අර්ථය ද අප සලකා බැලිය යුතු ය.
    ලෝක ධාතුවෙහි සත්ත්වයන් ඇවිදින මේ මාර්ග අතර නිරයට යන මාර්ගය, තිරිසන් අපායට යන මාර්ගය, පෙ‍්‍ර්ත අපායට යන මාර්ගය, මිනිස් ලොවට යන මාර්ගය දෙව්ලොවට යන මාර්ගය බඹලොවට යන මාර්ගය යනුවෙන් ගමන් මාර්ග විස්තර වේ. මේ මාර්ගයන් හි ගමන් කරන්නන් මේ ලෝක ධාතු තුළ පමණක්ම ගමන් කරයි. අපි හැම දෙනාම මේ මාර්ගයන් හි ගමන් කර තිබෙන්නත් ඉඩ තිබෙනවා. ලෝක ධාතුවෙන් එතෙර වන්න නම් නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්න නම්, ගමන් කළ යුතු එකම මාර්ගය වන්නේ ශ්‍රේෂ්ඨ බවට පූජනීය බවට පත් වූ මැදුම් පිළිවෙත් මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
    බුද්ධ කාලීන භාරත සමාජය අන්ත දෙකක් අනුගමනය කරනු ලැබීය. දැඩිසේ ශරීරයට දුක් දීමෙන් ආත්ම පාරිශුද්ධත්වයට පත් කර ගත හැකි ය. යන ශාස්වත වාදය ඇතුළත් අත්ථකිලමථානු යෝගයත්, මරණින් පසු සත්වයා නැවත නූපදී ය. ඒ නිසා හැකිතාක් දුරට පසිඳුරන් පිනවිය යුතුය යන උච්ඡේද වාදය ඇතුළත් කාම සුඛල්ලිකානු යෝගයත් එම අන්ත දෙක විය ..මේ අන්ත දෙකෙහිම යථා තත්ත්වය ප‍්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කර ගත් බුදුපියාණන් වහන්සේ එහි කාම සුඛල්ලිකානු යෝගය “හිනොගම්මෝ පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො” යනුවෙන් ළාමක ග‍්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු පුහුණු කරනු ලබන්නා වූ අනාර්ය වූ අනර්ථයක්ම සිදු කරන්නා වූ පහත් ධර්ම ලෙස දේශනා කළහ. එහි අත්ථකිලමථානු යෝගය දුක් වූ අනාර්යව අනර්ථය කරයි. වදාළහ. මෙම අන්ත දෙකට නොපැමිණි තථාගතයන් වහන්සේ මධ්‍යම ප‍්‍රතිපදාව අනුගමනය කළ සේක. ප‍්‍රඥා චක්ෂුෂ ඇති කරනු පිණිස ප‍්‍රඥාව දියුණු කරනු පිණිස ක්ලේශ පරිදාහය දුරුකිරීම පිණිස දුක්ඛ සමුදය නිරෝධ, මාර්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ ප‍්‍රතිවේධය පිණිස එම චතුරාර්යය සත්‍ය ධර්ම අවබෝධ කිරීම පිණිස නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස ආර්යය අෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප‍්‍රතිපදාව ඉවහල් වන බව දේශනා කරන ලදී. ධන ධාන්‍යයෙන් ආඪ්‍යව ජීවත් වීම හෝ ගෝත‍්‍රයෙන් උසස් වීම, කෙනෙකුගේ ජීවිතයේ ශුද්ධියට හේතු නොවේ. ධනය හමුවේ මිනිසා කෙතරම් විස්කම් දැක්වූවද ඒ සියල්ල අනිත්‍යයේ ධර්මතාවන්ට ගොදුරු වීමෙන් දුක්ඛිත තත්ත්වයට පත් වෙයි. කුලයෙන් කෙනෙක් කොතෙක් ඉහළ තත්ත්වයක වැජඹුනද මෙම ධර්මතාවයන්ට යටත්වීමට ඔහුට සිදුවෙයි. ඒ තුළින් පිරිසුදු වීමක් නොලබයි. ඒ නිසා සත්වයාගේ පාරිශුද්ධත්වයට මාර්ගය වන්නේ ආර්යය අෂ්ටාංගික මාර්ගයයි.
    චිත්ත සන්තානගත රාගාදී කෙලෙසුන්ගේ පැවතීම අනුසයපරියුට්ඨාන – ව්‍යති ක‍්‍රම යන ක‍්‍රම තුනට ඇතුළත් වෙයි. බීජයක සැඟවී පවත්නා අංකුරයක් මෙන් සිතෙහි සැඟවී පවත්නා රාගාදී කෙලෙස් රූපාදී අරමුණු හමුවන තුරු සැඟවී පවතී. එසේ පවතින කෙලෙස් වල ස්වරූපය අනුසය අවස්ථාව ලෙස දැක්වේ.
    අළු ගොඩකට ගලකින් ගැසූ කල ඇවිස්සී යන්නාක් මෙන් රූපාදී අරමුණු හමුවී රාගාදී කෙලෙසුන් නැගී සිටීමෙන් සිතෙහි ඇතිවෙන නොසන්සුන් අවස්ථාව පරියුට්ඨාන වශයෙන් දැක්වේ’ ඒ රූපය වැළඳ ගැනීම ආදී වශයෙන් සීමාව ඉක්මවා බාහිරව ප‍්‍රදර්ශනය වන අවස්ථාව ව්‍යති ක‍්‍රම යන්නෙන් දැක්වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දැක්වෙන සීල, සමාධි, ප‍්‍රඥා යන ති‍්‍ර ශික්ෂාවෙන් මෙම අවස්ථාව මැඩලිය හැකි ආකාරය බුදු සමයේ පැහැදිලි කරයි. සීල පාරිශුද්ධියෙන් ව්‍යති ක‍්‍රමය නවත්වා ලිය යුතු ය. සිල් සමාදන් වුණු තැනැත්තේ තම ඉන්ද්‍රියන් ආරක්‍ෂා කර ගන්න බැවින් එම සංවරය ඇති වේ. සිතෙහි නැඟීී සිටිනා ක්ලේශයන් සමාධියෙන් යටපත් කර ගත යුතු ය. එමඟින් පරියුට්ඨාන අවස්ථාව මැඩපවත්වාලයි. අනුසය අවස්ථාව ප‍්‍රඥාවෙන් නැති කළ යුතු ය. සිතෙහි හට ගන්නා ක්ලේශයන් පිළිබඳ දැක්වෙන මේ අවස්ථා තුන මධ්‍යම ප‍්‍රතිපදා වේ දැක්වෙන අංග අට වැඩීමෙන් නැති කළහැකි වෙයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, යන තුන සීලය වශයෙනුත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක ප‍්‍රඥා වශයෙනුත් දැක්වේ. සීලයෙන් කෙලෙසුන්ගේ ව්‍යති ක‍්‍රමය නවතා සමාධියෙන් කෙලෙස් නැගී සිටීම නවතා විදසුන් ප‍්‍රඥාවෙන් යළි නූපදනා ලෙස කෙලෙස් මුල් සිඳලිය යුතුයි. සත්වයාගේ පිරිසුදු භාවය ඇති වන්නේ එමඟිනි.
    ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම තුළින් පුද්ගලයාගේ සිත, කය, වචන යන ද්වාරත‍්‍රයම හික්මවා ප‍්‍රඥාව දියුණු කිරීමෙන් නිවන අවබෝධ කරගත හැකි වෙයි. මෙහි මුලින්ම සඳහන් වෙන සම්මා දිට්ඨිය තුළින් තමා කරන හොඳ නරක කි‍්‍රයාවන්ට අනුව විපාක විඳීමට සිදුවන බව අවබෝධ කර ගනී. එසේ කර්ම ඵල ඇදහීමේ නුවණේ සිට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තෙක් ඇති යහපත් අවබෝධය සම්මා දිට්ඨියට ඇතුළත් වෙයි. සම්මා සංකප්ප තුළින් පුද්ගලයා තුළ යහපත් කල්පනා තුනක් ඇති කරයි. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යනුවෙන් දැක්වෙන්නේ ඒවායි. මෙම උදාර සංකල්පනාවන් පුද්ගලයාට ප‍්‍රඥාව දියුණු කර නිවන අවබෝධ කර ගැනීමට උදව් වෙයි. දැහැමි දිවිපෙවතක් ගත කිරීමටත් කය වචන දෙක්හි, සංවරය ඇති කිරීමටත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, යන අංග තුන හේතු වේ. බොරු නොකීම, කේලාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස්වචන නොකීම යන වාග් සුචරිතය සම්මා වාචා යන්නෙන් දැක්වෙන අතර අනුන් නොනැසීම, අනුන් සතු දේ නොගැනීම අනාචාර කි‍්‍රයා වලින් වෙන් වීම යන කාය සුචරිතය සම්මා කම්මන්ත යන්නෙන් දැක්වෙයි. අධාර්මික වූ ජීවිකා වෘත්ීන්ගෙන් වෙන් වී දැහැමි දිවිපෙවතක් ගත කිරීමට මාර්ගය සම්මා ආජීවය තුළින් පැහැදිලි කරයි. සීල යන මෙම කරුණු අනුගමනය කිරීමෙන් යහපත් ජීවිතයක් ගෙනයාමට මිනිසාට අවස්ථාව උදාවෙයි.
    උපන් වැරැදි අදහස් නැති කර ගැනීමටත් නූපන් වැරැදි අදහස් ඉපදීම වැලැක්වීමටත්, උපන් යහපත් අදහස් දියුණු කර ගැනීටමත් නූපන් යහපත් අදහස් උපදවා ගැනීමටත් දරන වෑයම සම්මා වායාම යන්නෙන් විස්තර වේ. කාය, වේදනා, චිත්ත, ධම්ම යන සතර සතිපට්ඨානය අනුව සිහිය දියුණු කර ගැනීම සතිය යනුවෙන් ධ්‍යාන උපදවා ගැනීමට සිතේ කෙලෙස් යටපත් කොට සමාධිය උපදවා ගැනීම සමාධිය යනුවෙනුත් දැක්වේ.
    ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙම ආර්යය අෂ්ටාංගික මාර්ගයේ පරමාර්ථය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය එහි යෙදෙන පුද්ගලයා සැපවත් භාවයට පත් කරන බවයි. බුද්ධ ශාසනයේ පමණක්ම ඇති ශ්‍රේෂ්ඨ නිවන් සැපත වන මෙය අවබෝධ කර ගැනීමට බෞද්ධ අබෞද්ධ පුද්ගල භේදයකින් තොරව සෑම දෙනාටම මේ මාර්ගාංග අට අනුගමනය තුළින් ඉඩ ප‍්‍රස්ථාව සැලසේ.
    ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යමින් බෝධි සම්භාර පුරාගෙන ආ අප බෝධිසත්වයන් වහන්සේ බුද්ධගයා ශුද්ධ භ®මියේ දී බෝධි මූලයේ වැඩ හිඳ ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත් වී වදාළහ. අපත් එම උතුම් මාර්ගයේ ගමන් කරන ශ‍්‍රාවකයන් වශයෙන් එම උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යමින් අමා මහා නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගැනීමට ලැබේවා.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ශ්‍රද්ධාව සහ ප්‍රඥාව

    ගෞතම බුදුන්වහන්සේ එදා දෙසැටක් මිත්‍යාදෘෂ්ටිකයන් සිටි සමාජයට දේශනා කළ ධර්මය නුවණැත්තන් විසින් පිළිගනු ලැබුවා සේම,එකලට ගැළැපුණා සේම අද වර්තමානයටද අනාගතයටද මේ අකාලික වූ දහම හොබනේ ය. එය අවබෝධ කරගත හැකි වන්නේ ශ්‍රද්ධාවන්ත, ප්‍රඥාවන්ත පුද්ගලයන්ටයි. බුදුදහමට අනුව යහපතැ’යි දැක්වෙන සෑම කටයුත්තකටම ශ්‍රද්ධාව සහ ප්‍රඥාව මුහු විය යුතුය. උදාහරණයක් ලෙස, ශීලය සමාදන්වන පුද්ගලයා ශීල සමාදානය ශ්‍රද්ධාවෙන් කළ යුතුය. ප්‍රඥාවෙන් එය රැකිය යුතුය.
    අමාමෑණි වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගනුවස් අප සතු විය යුතු ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වනාහී මිල කළ නොහැකි ධනයකි; බලයකි. සැදැහැය හා ප්‍රඥාව වඩවාගැනීම යනු ශ්‍රේෂ්ඨයකු, දක්ෂයකු වීමට මඟය. මෙලොවත් පරලොවත්, සැපවත් වීමට ද හේතුවන්නකි. වැඩුණු ගොයමක මූල බීජයට ශ්‍රද්ධාව උපමා කොට ඇත.ප්‍රඥාව නඟුලට උපමාකොට ඇත. ශ්‍රද්ධාව සහ ප්‍රඥාව පිළිබඳ තෙවලා දහමෙහි දැකිය හැකි අවස්ථා කිහිපයක් මෙසේ පෙන්වා දිය හැකිය.
    * සද්ධා ධනං....පඤ්ඤමෙ සත්තමං ධනං - සප්තාර්ය ධන
    * සද්ධීධ විත්තං පුර්සස්ස සෙට්ටං – ආලවක සූත්‍රය
    * පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ටං –ආලවක සූත්‍රය
    * සද්ධා බීජං .... පඤ්ඤා මෙ යුගනග්ගලං -කසීභාරද්වාජ සූත්‍රය
    * සම්පරාය හිතාය සංවත්තති කතමෙ චත්තාරො සද්ධා සම්පදා....පඤ්ඤා සම්පදාති –ව්‍යග්ඝපජ්ජ සූත්‍රය
    * තථාගතෙ සද්ධා නිවිට්ඨා හොති මූලජාතා – විමංසක සූත්‍රය

    අපගේ ජීවිතය සාර්ථක කර ගැනීමට මුලින්ම කළ යුතු වන්නේ හදවතින්ම තෙරුවන් සරණ යෑමය.එසේම හොඳ- නරක හෙවත් කුසල් - අකුසල්, පින-පව පිළිබඳ අවබෝධය වැදගත්ය. මෙයින් දහම් මඟ ගමන් කිරීමට සුදුසු පසුබිම සකසාගත හැකිය. එසේ ගමන් කරන පුද්ගලයාගේ එම ශ්‍රේෂ්ඨ ගමන්මඟ විවෘත කරගැනීමේ දොරටු දෙකක් ඇත. එක දොරටුවක් පමණක් විවෘත කරගෙන ගමන් කරන පුද්ගලයා නියම බෞද්ධ ප්‍රතිපදාව වටහා නොගනී. නිවන අරමුණු කරගත් බෞද්ධයා එම දොරටු දෙකම විවෘත කොටගෙන සමාන්තරව ගමන් කළ යුතුය. එම දොරටු දෙක වන්නේ ශ්‍රද්ධාව නමැති දොරටුවත් ප්‍රඥාව නමැති දොරටුවත්ය. එවිට තථාගත ධර්මය තුළ නිදහස්ව විවෘතව ගමන්කළ හැකිය.බුදුන්වහන්සේ දේශනා කොට වදාළේ තථාගත ධර්මය විවෘත වූ විට බබළන බවත් එය සැඟවී තිබෙන විට නො බබළන බවත්ය. “ තථාගතප්ප වෙදිතො ධම්ම විනයො විවටො විරෝචති නො පටිච්ඡන්නො “සද්ධර්මය ප්‍රඥාවන්ත පණ්ඩිතයන්ට මිස අවබෝධයක් නොමැති උදවියට නොවන බැවින් එය වඩාත් තහවුරු වන කරුණකි. “පඤ්ඤාවන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස”
    ගෞතම බුදුන්වහන්සේ එදා දෙසැටක් මිත්‍යාදෘෂ්ටිකයින් සිටි සමාජයට දේශනා කළ ධර්මය නුවණැත්තන් විසින් පිළිගනු ලැබුවා සේම,එකලට ගැළැපුණා සේම අද වර්තමානයටද අනාගතයටද මේ අකාලික වූ දහම හොබනේ ය. එය අවබෝධ කරගත හැකි වන්නේ ශ්‍රද්ධාවන්ත , ප්‍රඥාවන්ත පුද්ගලයන්ටයි. බුදු දහමට අනුව යහපතැයි දැක්වෙන සෑම කටයුත්තකටම ශ්‍රද්ධාව සහ ප්‍රඥාව මුහු විය යුතුය. උදාහරණයක් ලෙස ශීලය සමාදන්වන පුද්ගලයා ශීල සමාදානය ශ්‍රද්ධාවෙන් කළ යුතුය. ප්‍රඥාවෙන් එය රැකිය යුතුය. ශ්‍රද්ධාව පමණක් ඇති පුද්ගලයා තුළින් කුසලයැයි කියා සිදුවන්නේ අකුසලයකි. එය පැහැදිලි කරනුවස් අප සමාජයේ පැරැණි ගැමි කථාවක් පෙන්වාදිය හැකිය. දිනක් එක් උපාසිකා මාතාවක් විහාරස්ථානයට ගොස් බෝමළුවෙ බෝපත් වැටී ඇති ආකාරය දැක එය පවිත්‍ර කිරීමේ අදහස ඇතිව ශ්‍රද්ධාවෙන් ඉපිලීගිය සිත් ඇත්තී, ඉදලගෙන අමදිමින් සිටින අවස්ථාවේ විහාරස්ථානයේ නායක හාමුදුරුවන් තමා දෙසට වඩිනු දුටුවාය. ශ්‍රද්ධාව පමණක් බලමහිමය කරගත් ඇය සිය අතෙහි තිබූ ඉදල නායක හාමුදුරුවන්ගේ ශරීරයට හේත්තු කොට පසඟ පිහිටුවා වැඳ අවසන්ව බලනවිට තමා සිදුකළ ප්‍රඥා හීන කටයුත්තෙහි බරපතළකම වැටහිණ. මෙවැනි ගැමිකථාවලින්ද පෙනීයන්නේ බුද්ධිය යට කරගෙන ශ්‍රද්ධාව ඉදිරියට පැමිණි විට මතුවන අභාග්‍යසම්පන්න තත්ත්වයයි.
    එහි අනෙක් අතට පෙරැළීම වන, ශ්‍රද්ධාසම්පත්තිය නොමැතිව ප්‍රඥා සම්පත්තිය පමණක් ගොඩනඟාගෙන කටයුතු කරන්නා කපටිකමෙන් පිරුණු කෛරාටිකයෙකි. ඔහු ප්‍රඥා වේශයෙන් ආඳෙකු මෙන් ලිස්සා යයි. “කෙරාටිපක්ඛං තජති ආනන්ද මච්ඡො විය” ආඳා යනු ඇල්ලීමට අපහසු සතෙකි. ඇල්ලූ විට ලිස්සා යන ස්වභාව ඇත. ආඳා මෙන් ලිස්සන ස්වභාව ඇති කෛරාටික පුද්ගලයා සමාජයට මුහුණු දෙකක් පෙන්වයි.ඔහුගෙන් සැබෑ අවංක බව ප්‍රකට නොවේ.ඔහු ගෞරවනීය බවකට හිමිකම් නොකියයි. හෙතෙම අනෙකා පහත්කොට උමතුවෙන් සමාජය තුළ වැජැඹීමට උත්සාහ කරයි.
    බුදුන්වහන්සේ දේශනා කොට වදාළේ බෞද්ධයා තුළ නොපෙරැළෙන , නොබිඳෙන ශ්‍රද්ධාවක් තිබිය යුතු බවයි.බුදුදහම අද විග්‍රහ කරන ඇතැම්හු ‘බුද්ධ භක්තිය’ යන වචනය භාවිතා කරති. එය එතරම් සුදුසු වචනයක් නොවේ. සුදුසු වචනය වන්නේ ශ්‍රද්ධාව යන්නයි. එයට හේතුව වන්නේ, බුදුදහම භක්ති ගෝචර නොවන බුද්ධිගෝචර දහමක් වීමයි. සැම කුසල ධර්මයකට කිට්ටුවෙන් ගමන් කරන්නේ ශ්‍රද්ධාවයි. ඉදිරියට ගොඩනඟාගත යුත්තේ ප්‍රඥාවයි. “සද්ධා පදට්ඨානා සබ්බෙපි කුසලා ධම්මා” තමා විසින් තෙරුවන් කෙරෙහි ඇති කරගනු ලබන්නාවූ අවබෝධාත්මක විශ්වාසය පදනම් කොටගෙන ශ්‍රද්ධාව විග්‍රහකොට ඇත. “ සයං වා සද්දහති සද්දහනමත්තං වා සද්ධා “
    බුදුසමයේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව අගැයීමේදී ශ්‍රද්ධාවේ කොටස් දෙකක් පෙන්වා දෙනු ලැබේ. එනම් අමූලික ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාවයි. අමූලික ශ්‍රද්ධාව යනු උපයෝගිතාවයෙන් හීනව ශ්‍රද්ධාමාත්‍රය පමණක් ඇති ශ්‍රද්ධාවයි. එය අවබෝධාත්මකව ඇතිකරගත් පැහැදීමක් මත පදනම් නොවේ. වරක් චංකි නමැති බමුණකුට අමූලික ශ්‍රද්ධාව බුදුන් වහන්සේ මෙසේ පෙන්වා දුන්හ.බමුණන් පිළිපදින වේදමන්ත්‍ර ශාස්ත්‍ර පිළිබඳ පිළිගැනීම ආදීවූ මිත්‍යාදෘෂ්ටිකත්වය මත ගොඩනැගුණූ ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාවයි. ආකාරවති ශ්‍රද්ධාව යනු අමූලික ශ්‍රද්ධාව වෙනුවට තුනුරුවන් අවබෝධාත්මකව අගය කරන ශ්‍රද්ධාවයි. භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය සැබෑය, උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මැනැවින් දේශිතය, සංඝයා නිවැරැදි මඟට පිළිපන්ය යන්න ස්ථීර වශයෙන් පිළිගැනීමකට, හේතු සහගතව පැමිණේ නම් ඒ ආකාරවති ශ්‍රද්ධාවයි.එකී ශ්‍රද්ධාව බුදුදහම අගය කරන අතර දහම් මාවතේ නිවැරදිව ඉදිරියට ගමන් කිරීමට අවශ්‍යවන්නේ ආකාරවතී ශ්‍රද්ධාවයි.
    මෙසේ ශ්‍රද්ධාව ගොඩනඟා ගන්නා බෞද්ධයා තුළ දක්නට ලැබෙන ශ්‍රද්ධාකාමී ගති ලක්‍ෂණ කිහිපයක් ඇත.
    දස්සනකාමො සීලවතං
    සද්ධම්මං සොතු මිච්ඡති
    විනෙය්‍ය මච්ජේරමලං
    සවේ සද්ධොතිවුච්චති

    එනම් සිල්වත් අය දකින්නට කැමැති වෙයි, සද්ධර්මය ශ්‍රවණයට කැමැති වෙයි,. එසේම මසුරු මල දුරුකරයි, යනු ශ්‍රද්ධාවන්තයාගේ ගති ලක්ෂණවේ. එබඳු ශ්‍රද්ධාවන්ත පුද්ගලයා නිරතුරු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා කළ යුතු සියලු කුසල ධර්මයන්ට ප්‍රඥාව මුහුකර ගනියි. මෙසේ ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන තැනැත්තා මාර්ග ඵල ලබා කරුණු දැන අවබෝධයෙන් යුතුව ‘අවෙච්චප්පසාදි ශ්‍රද්ධාව’ ඇති කරගනී. මෙහිදී තෙරුවන් පිළිබඳ විශ්වාසය තිබිය යුතුවන්නේ,
    “බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති”
    “ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති”
    “සංඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති”

    වශයෙන් දැක්වූ, තෙරුවන කෙරෙහි නොබිඳෙන අචල ශ්‍රද්ධාව පවතින අයුරෙනි. අවෙච්චප්පසාදය ඇති කරගන්නා වූ පුද්ගලයා අරියකන්ත ශීලයෙන් සිල්වත්වන බව පංචභය වෙර සූත්‍රය දක්වා ඇත. මෙයින් පෙනී යන්නේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව දුගති භයෙන් විනිර්මුක්තව ලබන නිර්වාණය දක්වා වූ ගමන් මඟෙහි පෙරටුගාමීවන බවයි.
     
    • Like
    Reactions: isurunalaka

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වටින ලිපියක්..:)
    මං උඹට ප්‍රථම වතාවට රෙප් දුන්නෙ.. මෙච්චර කාලෙකට රෙප් දීලා නෑ..:rofl:
    REP 30+
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයේ ‘පෝඨිල’ නම් තෙර නමක් වැඩ සිටියේ ය. උන් වහන්සේ අපේ බුදු රජාණන් වහන්සේගේ ශාසනයේදී පමණක් නොවේ, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුවරුන්ගේ ශාසනයන්හිදීත් ත්‍රිපිටකධාරී ව බහුශ්‍රැත ව පන්සියයක් භික්ෂූන්ට ධර්මය ඉගැන්වූ හ.
    බුදු රජාණන් වහන්සේ මේ උගත් හිමියන් ගැන, “මේ භික්ෂුවට තමන් දුකින් නිදහස් වීමක් ගැන නිවන ගැන සිතක් වත් නැහැ. මේ භික්ෂුව සංවේගයට පමුණුවන්නෙමි” යනුවෙන් සිතූ සේක. එතැන් පටන් ඒ තෙරුන් උපස්ථානයට තමන් වහන්සේ වෙත පැමිණි විට මෙසේ පවසන්නට වූ හ: “හිස් පෝඨිල ඉඳගන්න.” “හිස්පෝඨිල යන්න.” මේ තෙරුන් නැඟිට වැඩම කළ විටත් “හිස් පෝඨිල ගියා” යනුවෙන් පවසන්නට වූ හ.
    පෝඨිල හිමියෝ කල්පනා කරන්නට වූ හ. “මම අටුවාවන් සමඟ ත්‍රිපිටකය දරමි. තව ද මම පන්සියයක් භික්ෂූන්ට, මහපිරිස් දහඅටකට ධර්මය උගන්වමි. ඒත් ශාස්තෲන් වහන්සේ මට නිතර ‘හිස් පෝඨිල’ යනුවෙන් පවසයි. ඒකාන්තයෙන් උන් වහන්සේ මට ධ්‍යාන ආදිය නැති නිසා මෙසේ කියයි.” මෙසේ සිතූ පෝඨිල තෙරුන් වහන්සේට මහත් සංවේග උපන. පාත්‍ර සිවුරු සකස් කොට අලුයම සියලු දෙනාට පසුව ධර්මය ඉගෙනගෙන නික්මෙන්නා වූ භික්ෂුව සමඟ නික්මුණහ. යොදුන් සිය ගණනක් වැඩම කළ හිමියෝ එක් අරණකට පැමිණියහ. එහි භික්ෂූහු තිස් නමක් වැඩ වසති. එහි මහතෙරුන් වෙත එළඹ වැඳ, “ස්වාමීනි, මට පිහිට වනු මැනවි,” යනුවෙන් ඉල්ලා සිටියහ.
    “ඇවැත්නි, ඔබ වහන්සේ ධර්ම කථිකයෙක් නෙවැ. අප ඔබ වහන්සේගෙන් උගත යුතුව තිබියදී, ඇයි මෙහෙම කියන්නේ?”
    “ස්වාමීනි, එසේ නොකරනු මැනැවි. මට පිහිට වනු මැනැවි.”
    මහතෙරණුවෝ “මොහුට උගත්කම නිසා මානයක් ඇත.” යනුවෙන් සිතා පෝඨිල තෙරුන් තමන් වහන්සේගෙන් පසුව බාල හිමියන් වෙත යැවූ හ. පෝඨිල තෙරුණුවෝ ඒ බාල හිමියන් වෙත වැඩියහ. එලෙස අවසානයේ මේ මහා ධර්ම කථික තෙරුන් හට එහි සියලු දෙනා අතුරින් අලුත පැවිදි වූ අවුරුදු හතේ කුඩා සාමණේර හිමියන් වෙත යන්නට සිදු විය. පෝඨිල හිමියෝ ද නිහතමානී වූ හ; ඇඳිලි බැඳ, “සත්පුරුෂයන් වහන්ස, මට පිහිට වනු මැනැව,” යි කී හ.

    “අහෝ! ආචාර්යයන් වහන්ස, ඇයි මෙහෙම කියන්නේ? ඔබ වහන්සේ මහලුයි, බහුශ්‍රැතයි. ඔබ වහන්සේගෙන් අපනේ උගත යුත්තේ!”
    “සත්පුරුෂයන් වහන්ස, එසේ නොකරනු මැනැව. මට පිහිටක් ම වනු මැනැව.”
    “ඉදින් ස්වාමීනී, ඔබ වහන්සේ අවවාද පිළිගන්නවා නම් මම පිහිට වෙමි.”

    “සත්පුරුෂයන් වහන්ස, මට ගින්නට පනින්න කියනවා නම් මම එයත් කරන්නෙම් මැ යි.”
    කුඩා සාමණේරයෝ සමීපයෙහි වූ එක් පොකුණක් පෙන්වා “ස්වාමිනී, ඔය හැඳ පෙරව සිටින අයුරින් ම මේ පොකුණට බසින්න” යැ යි කී හ. පෝඨිල හිමියෝ හැඳ පෙරව සිටි ඉතා වටිනා සිවුරු පිටින් ම පොකුණට බසින්නට වූ හ. තෙරුන්ගේ සිවුරු කොන තෙමෙන විට කුඩා හිමියෝ “ස්වාමීනි, වඩින්න” යි කීහ. කියා, මේ නිහතමානී මහතෙරුන්ට දහම් දෙසන්නට වූ හ.
    “ස්වාමීනි, සිදුරු හයක් ඇති එක් තුඹසක් ඇත. එහි එක් සිදුරකින් තලගොයෙක් පිවිසෙයි. ඒ තලගොයා අල්ලා ගැනීමට කැමැති අයෙක් අනෙක් සිදුරු පහ වසා හය වැනි සිදුර බිඳ පිවිසි සිදුරෙන් ම තලගොයා අල්ලාගනී. එසේ ඔබ වහන්සේත් ඇස, කන ආදි දොරටු හයෙන් ගන්නා අරමුණු කෙරෙහි ඇස, කන, නාසය, දිව, ශරීරය යන දොරටු පහ වසා, මනස නම් දොරටුවෙහි සිහිය පිහිටුවන්න.”
    බොහෝ උගත් පෝඨිල තෙරුන්ට මෙපමණකින් ම පහනක් දැල්වෙන්නාක් මෙන් ප්‍රඥාව පහළ විය. උන් වහන්සේ “සත්පුරුෂයන් වහන්ස, මෙපමණක් ම ඇති” යි පවසා කයෙහි සිහිය පිහිටුවා මහණදම් පුරන්නට පටන් ගත්හ. බුදු රජාණන් වහන්සේ දුර සිට මෙය දැක එළියක් විහිදුවා ධර්මය දේශනා කළ සේක. දේශනාව අවසානයේ පෝඨිල තෙරණුවෝ අර්හත් භාවයට පත් වූ හ.
    අප කොතරම් ධර්මය උගත්ත ද මඟ ඵල නිවන් අවබෝධ කරන තුරු සෑහීමකට පත් නොවිය යුතු ය.
    “යමකු ත්‍රිපිටක බුද්ධ වචනය බොහෝ සෙයින් කියන නමුත් තමා ප්‍රමාදී ව, ඒ කියන පරිදි නොකරන්නේ නම්, ඒ තැනැත්තා (කුලියට) අනුන්ගේ ගවයන් රක්නා ගොපල්ලා මෙන් මහණකමට (සෝවාන් ආදි) මාර්ග ඵල හතරට හිමිකරුවෙක් නො වේ” යැ යි ධම්මපදයේ යමක වග්ගයේ මේ බැව් උපමාවකින් දක්වා තිබේ
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    භය හා ශෝකය නැති කිරීමේ මඟ
    මෙලොව උපන් සත්වයාට භයත් ශෝකයත් ඇති වන්නේ තණ්හාව නිසයි. තණ්හාව සම්පූර්ණයෙන්ම නැතිකරගත්විට භයත් ශෝකයත් ඇතිවන්නේ නැත.
    ඉහත සඳහන් ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කොට වදාළේ එක්තරා මිසදිටු බමුණෙක් අරභයායි.
    බුදුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම්වෙහෙර වැඩ ඉන්න කාලයේ දී ඒ මිසදිටු බමුණා ගඟක් අසබඩ කුඹුරක් සකස් කළේ ය. පසුකාලයේදී ඔහුට බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වීමට හේතු සම්පත් ඇති බැව් උන්වහන්සේ දුටු සේක. එබැවින් බුදුන් වහන්සේ පාසිවුරු ධාරීව මොහු කුඹුර සකස් කරන තැනට වැඩි සේක. දුරදීම බුදුන් වහන්සේ වඩින බැව් දුටු බමුණ නොදැක්කාක් මෙන් බිම්බලාගෙන තම කටයුතු කරගෙන ගියේ ය. බුදුරජාණන් වහන්සේ කුඹුර අසළටම වැඩ මවා නැවතී බමුණ, කුමක් කරන්නේදැයි ඇසූ සේක. මාකුඹුරක් සකස් කරන්නෙමියි පිළිතුරු දුන්නේ ය. හොඳයි බමුණ මා වඩින්නම් කියා විහාරයට ආපසු වැඩි සේක.
    නැවත දින කීපයකට පසු බමුණා කුඹුර සකස් කරන තැනට බුදුන්වහන්සේ වැඩි සේක. බමුණ, කුමක් කරන්නේදැයි ඇසූ විට මා කුඹුර කොටන්නෙමියි පිළිතුරු දුන්නේ ය. හොඳයි බමුණ, මා වඩින්නම්, කියා ආපසු වැඩිසේක. තෙවැනි වරටත් බුදුන් වහන්සේ බමුණා කුඹුර සකස්කරන තැනට වැඩි සේක. බමුණ, කුමක් කරන්නේදැයි ඇසූ විට කුඹුර වපුරන්නෙමියි කීවේ ය. හොඳයි බමුණ, කියා උන්වහන්සේ ආපසු වැඩි සේක. නැවත කුඹුරුවැඩ කරන තැනට වැඩි බුදුන්වහන්සේ බමුණ කුමක් කරන්නේදැයි ඇසූ විට වල්පැළ නෙළන්නෙමියි කියා පිළිතුරු දී හිමියෙනි ඔබවහන්සේ මාකුඹුර සකස් කරන්නට ඇරඹූ දා සිට මාළඟට පැමිණ මා සමඟ කතාබස් කළේ ය. එබැවින් මා අද පටන් ඔබවහන්සේ මාගේ කල්‍යාණ මිතුරෙක් කොට සලකන්නෙමි. එපමණක් නොව මේ කුඹුරෙන් ගත් අස්වැන්න වලින් කොටසක් ඔබ වහන්සේටත් දෙන්නෙමියි කියා පොරොන්දු විය.
    කුඹුර හොඳට පැසී පසු දින කපාගන්නට සූදානම්කොට රාත්‍රී නිදා ගත්තේ ය. එදින රාත්‍රියේ ඇදහැලුණ මහා වර්ෂාවෙන් ගඟ දෙගොඩ තලා ගලා ගොස් කුඹුරේ හොඳට පැසී තිබූ ගොයම් ගලවාගෙන ගසා ගොස් සියල්ලම පාලුවට ගොස් තිබුණේ ය. මෙය දුටු බමුණාට දැරිය නොහැකි ශෝකයක් හා භයක්ද ඇති විය. ගෙට ගිය බමුණා නොකා, නොබී කල්පනා කරමින් නිදා ගත්තේ ය. බුදුන්වහන්සේද බමුණා ශෝකයෙන් සිටින බැව් දැක ඔහුගේ නිවසට වැඩි සේක. ඔහු නිදා සිටි තැනටම වැඩමවා පනවා තිබූ අසුනේ වැඩ ඉඳ බමුණ ශෝක වන්නේ ඇයි? දැයි ඇසූ සේක. බුදුරජාණන් වහන්ස ඊයේ රාත්‍රියේ ඇද හැලුණු මහා වර්ෂාවට මාගේ කුඹුරු සියල්ලම විනාශ වුණා. පාළු වුණා. මට දුක ඔබට වූ පොරොන්දුව ඉටු කිරීමට නොහැකි වීම ගැනයි. බමුණ දුක් නොවන්න. ශෝක නොවන්න. මෙලෝකයේ උපන් සත්වයාට ශෝකයත් භයත් ඇති වන්නේ තණ්හාව නිසයි. ආසාව නිසයි. තණ්හාවත් ආසාවත් නැති කිරීමෙන් භය ශෝකය නැති කරගත හැකිය.
    ඉහත ගාථාවෙන් දහම් දෙසූ සේක. එම ධර්මය අසා බමුණා සෝවාන් විය. සෝවාන් වීම නම්,
    1. සක්කාය දිට්ඨි,
    2. විචි කිච්ඡා,
    3. සීලබ්බත පරාමාස
    යන සංයෝජන ධර්මයන් නැතිකර දැමීමයි.

    පථව්‍යා එක රජ්ජේන සග්ගස්ස ගමනේනවා
    සබ්බලොකාධිපච්චේන සෝතාපත්තිඵලං වරං
    මුළු පොළවේ අධිපති සක්විති රජකමටත්, දෙව් ලොව ඉපදීමටත්, මුළු ලොව උපන් හැම සත්වයකුටත් වඩා සෝවාන් වීම උතුම් වන්නේ සසර ඉපදීම සීමාවීම නිසයි.
    සසර උපනුපන් ආත්ම භාවයක් පාසා සෝකය හා භය ඇති වන්නේ තණ්හාව හෙවත් ආසාව නිසයි. මේ තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නමින් තෙවැදෑරුම් වේ. කාම වස්තුන් හා කාම වස්තු ලබා ගැනීමට හැකි ලෝක කෙරෙහි තිබෙන ආසාව කාම තණ්හාවයි. භව තණ්හාව නම්, සාස්වත දෘෂ්ටි වශයෙන් බ්‍රහ්ම ලෝකය සදා කාලිකයි කියා සිතා බ්‍රහ්ම ලෝකය කෙරෙහි ඇතිකර ගන්නාවූ ආසාවයි. විභව තණ්හාව නම් උච්ඡේද දෘෂ්ටි වශයෙන් මරණින් මතු උපතක් නැත කියා සිතමින් මේ ආත්මය කෙරෙහි තිබෙන ආසාවයි.
    මේ කාම, භව, විභව, වශයෙන් දැක්වෙන ආසාව නිසා සත්වයා භවයෙන් භවය ජාතියෙන් ජාතිය තැනින් තැන මැරි මැරී ඉපදි ඉපදී මැරි මැරී ඉපදි ඉපදී සසර නොනැවතී ගමන් කරති
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සතර සතිපට්ඨාන

    ලෝක සත්වයාගේ පිරිසිදුවීම පිණිසත්, සෝක පරිදේවයන් ඉක්මවීම පිණිසත්, දුක්ඛ දෝමනස්සයන් දුරලීම පිණිසත්, ආර්ය මාර්ගයට පිවිසීම පිණිසත්, නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසත් ඒකායන මාර්ගය සතර සතිපට්ඨාන ධර්මය බව පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මාසධම්ම නියම් ගමෙහි වැඩ වසන සමයෙහි භික්ෂූන් වහන්සේලා අමතා මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කළහ.
    සතර සතිපට්ඨානය යනු සිවු වැදෑරුම් ආකාරයකින් සිහිය පිහිටුවා ගැනීමයි. සති යනු සිහියයි. පට්ඨාන යනු මනා කොට පිහිටුවා ගැනීමයි. ඒ අනුව පුද්ගලයාගේ සිහිය විවිධ අරමුණු කරා ඇදී යා නොදී කයාදී අරමුණු හතරක් කෙරෙහි මනාව පිහිටුවා ගැනීම සතර සතිපට්ඨානය යි. යමෙක් කෙලෙස් නසන වීර්යයෙන් ද, සිහියෙන් ද, නිවැරදි ප්‍රඥාවෙන් ද යුක්තව ලෝභය හා ද්වේෂය, එනම් ඇලීම් සහ ගැටීම් සංසිඳුවා, කයෙහි කය අනුව දක්නා ස්වභාවයෙන් වෙසේද, විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නා ස්වභාවයෙන් වෙසේද, සිතෙහි සිත අනුව දක්නා ස්වභාවයෙන් වෙසේද, ධර්මය අනුව ධර්මය දකිනා ස්වභාවයෙන් වෙසේද මේවා සිහිය පිහිටුවා ගැනීමේ සතර ආකාරය වෙයි.
    නිර්වාණ මාර්ගයේ දී සෝවාන් ආදී ලෝකෝත්තර මාර්ගඵල ලබා ගැනීමට නම් නිරන්තරයෙන් විවිධ අරමුණු කරා දුවන, ඇලෙන-ගැටෙන මේ චංචල සිත හික්මවා දමනය කර ගත යුතු ය. එසේ නොමැතිව සංස්කාරයන්හි ඇති යථා තත්ත්වය අවබෝධ කර ගැනීම අපහසු ය. සිත හික්මවා දමනය කර ගැනීමට ඇති හොඳම උපාය මාර්ගය සතිපට්ඨානය දියුණු කිරීමයි. නිවන් ලැබීමේ ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය බව බුදුන් වහන්සේ වදාළේ ද ඒ නිසාය.
    සමථ හා විපස්සනා යනුවෙන් බෞද්ධ භාවනා ක්‍රම දෙකක් ඇති බව අපි දනිමු. සමථ භාවනාව සිතේ එක`ග බව දියුණු කරන්නකි. විපස්සනා භාවනා ක්‍රමයෙන් පංචස්කන්ධය ත්‍රිලක්ෂණයට න`ගා විමසා බැලීමක් කෙරේ. කෙසේ වෙතත් මෙම භාවනා ක්‍රම දෙක තුළින්ම සතියත් අනුපස්සනාවත් (අවධානය සහ නිරීක්ෂණය) අවධාරණය කෙරේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ වැඩි වශයෙන් ඉගැන්වෙන්නේ විපස්සනා භාවනාවයි. සමථ ක්‍රමය බුද්ධ කාලයට පෙර සිටම දඹදිව ප්‍රචලිතව පැවතියත් විපස්සනා ක්‍රමය බුදුරජාණන් වහන්සේ විසින්ම ප්‍රත්‍යක්ෂයෙන් සොයා ගන්නා ලද ක්‍රමය යි.
    සතර සතිපට්ඨානය තුළ පළමු සතිපට්ඨානය කායානුපස්සනාව යි. එනම් කය අනුව සිත පිහිටුවා ගැනීමයි. එය භාවනා කිරීමට පහසු ක්‍රමයකි. භාවනාව ප්‍රගුණ කිරීම ආරම්භ කළ ආධුනිකයන් විසින් පළමුකොට දියුණු කළ යුතු භාවනාව කායානුපස්සනාව යි. මහා සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන පබ්බ, ඉරියාපථ පබ්බ, චතුසම්පජඤ්ඤ පබ්බ, පටික්කුල මනසිකාර පබ්බ, ධාතුමනසිකාර පබ්බ සහ නවසීවථීකා පබ්බ ආදී වශයෙන් කායානුපස්සනා සතිපට්ඨාන භාවනා ක්‍රම දාහතරක් දක්වා තිබේ. ඒ අතුරින් ආධුනිකයන් අතර වඩාත් ප්‍රචලිත ක්‍රමය වන්නේ ආනාපානාසති භාවනා ක්‍රමය යි.
    ආනාපාන පබ්බ යනු ආශ්වාස වාතය හා ප්‍රාශ්වාස වාතය අනුව මෙහෙහි කොට සිහිය පිහිටුවා ගැනීමයි. ඇවිදීම, සිටීම, හිඳීම, සැතපීම ආදී විවිධ ඉරියව් අනුව මෙනෙහි කොට සිත පිහිටුවා ගැනීම ඉරියාපථ පබ්බ නම් වේ. සාත්ථක, සප්පාය, ගෝචර හා අසම්මෝහ යන්නෙන් චතුසම්පජඤ්ඤ පබ්බ අන්තර්ගත වේ. කයෙහි පිළිකුල් සහගත බව මෙනෙහි කොට ඒ අනුව සිහිය පවත්වා ගැනීම පටික්කුල මනසිකාර පබ්බය යි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී ධාතු මෙනෙහි කිරීම වශයෙන් සතිය වැඩීම ධාතුමනසිකාර පබ්බ වේ. සොහොනේ දැමූ මළ සිරුරක් පිළිබඳ අවස්ථා නවයක් ඔස්සේ සතිය වැඩීම ගැන නවසීවථීකා පබ්බයෙහි විස්තර වේ.
    වේදනානුපස්සනා සතිපට්ඨානය යනු වේදනාවේ යථා තත්ත්වය වටහා ගෙන ඒ පිළිබඳ නැවත නැවත මෙනෙහි කිරීමකි. පුද්ගලයා කෙලෙස්හි ඇලෙන්නේත් දුකට පත්වන්නේත් සුඛ, දුක්ඛ හා උපේක්ඛාදී වේදනාවන්ගේ යථා ස්වභාවය පිළිබඳ නොදැනීම නිසා ය. වේදනානුපස්සනා සතිපට්ඨානය වැඩීම මගින් වේදනාව පිළිබඳ මුලාව දුරුවන අතර එහි යථා තත්ත්වය අවබෝධ කර ගැනීමට හැකිවෙයි. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි දැක්වෙන පරිදි වේදනානුපස්සනාවට අරමුණු, සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛමසුඛ වේදනා, සාමිස සුඛ වේදනා, නිරාමිස සුඛ වේදනා, සාමිස දුක්ඛ වේදනා, නිරාමිස දුක්ඛ වේදනා, සාමිස අදුක්ඛමසුඛ වේදනා සහ නිරාමිස අදුක්ඛමසුඛ වේදනා වශයෙන් නව වැදෑරුම් වේ. වේදනාව හේතු ප්‍රත්‍ය සංයෝගයෙන් ඇති වන්නකි. ඇතිවී වහා බිඳී යන්නකි. එබැවින්, කවර ආකාරයේ වේදනාවක් වුවද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත් ය. එසේ තමා පිළිබඳවත් අනුන් පිළිබඳවත් ඉහත කී නව වැදෑරුම් වේදනාවන්ගේ යථා ස්වභාවය නුවණින් සලකා බලා තේරුම් ගැනීම වේදනානුපස්සනාවයි.
    සිත අනුව බලමින් භාවනා කිරීම, සිහිය පිහිටුවා ගැනීම චිත්තානුපස්සනා සතිපට්ඨානය යි. අපට ඇත්තේ එක සිතක් වුවද එහි ප්‍රභේද ඇත. සරාග, වීතරාග, සදෝස, වීතදෝස, සමෝහ, වීතමෝහ, සංඛිත්ත, වික්ඛිත්ත, මහග්ගත, අමහග්ගත, සඋත්තර, අනුත්තර, සමාහිත, අසමාහිත, විමුත්ත සහ අවිමුත්ත ආදී චිත්ත ප්‍රභේද දහසයක් පිළිබඳ සතිපට්ඨාන සූත්‍රයේ විස්තර වේ. චිත්තානුපස්සනාව ප්‍රගුණ කරන්නේ කෙසේදැයි මින් එක් සිතක් නිදසුන් ලෙස ගෙන සලකා බලමු.
    සරාග චිත්තය යනු අට වැදෑරුම් ලෝභ සිත් ය. පෘථග්ජනයා ලෝභ සිත් සිතක් හැටියට නොව තමා හැටියට වරදවා ගනිමින් එය ආත්ම වශයෙන් ගෙන කල්පනා කරයි. සරාග චිත්තය රාගය හෙවත් ලෝභය දියුණු කරවන අරමුණු නිසා ඇතිවන්නක් මිස එහි සත්ව පුද්ගල වශයෙන් ගත යුත්තක් නැත. එබැවින් එවැනි ලෝභ සිතක් උපන් කල්හි එය සරාග සිතක් වශයෙන් කල්පනා කොට සිහිය පිහිටුවා ගැනීම චිත්තානුපස්සනාව යි. එසේ සිහිය උපදවා ගැනීම නිසා රාග සිත නොවැඩේ. රාගය දුරු වූ එම චිත්ත සන්තානයෙහි වීතරාගී සිත පහළ වේ. එවිට වීතරාගී සිත ද හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තක් බවත් එහි ද පුද්ගල සත්ව වශයෙන් ගත යුත්තක් නොමැති බවත් කල්පනා කරමින් භාවනා වැඩීම චිත්තානුපස්සනාව යි. සෙසු සිත් පිළිබඳව ද මෙසේ සලකා බලමින් සතිය වැඩිය හැක.
    ධම්මානුපස්සනාව මුල්කොට ගෙන සංඥා හා සංස්කාර ස්කන්ධ පිළිබඳ ව යථා තත්ත්වය සිහියට නගා ගන්නා අන්දම මීළ`ගට විස්තර කෙරෙහි. සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කෙරෙන පරිදි නීවරණ සම්මර්ශනය, ස්කන්ධ සම්මර්ශනය, ආයතන සම්මර්ශනය, බෝධ්‍යංග සම්මර්ශනය හා ආර්ය සත්‍ය සම්මර්ශනය යනුවෙන් ධම්මානුපස්සනාව පස්වැදෑරුම් වේ.
    කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්චා යනුවෙන් නිවන් මග අවුරණ ධර්මතා පහකි. ඒවා පංච නීවරණ නම් වේ. පළමුව තමා තුළ නීවරණ ඇති නැති බව තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු ය. දෙවනුව නීවරණ ධර්ම තුනීකර ගැනීමට වෙර වැඩිය යුතුය. නීවරණ ධර්ම මනසිකාරය භාවනාවක් වශයෙන් ද දක්වා තිඛෙන්නේ ඒ නිසාය. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචඋපාදානස්කන්ධ ධර්මයන් අරමුණු කොට ගෙන විදර්ශනා වැඩීම ස්කන්ධ සම්මර්ශනය යි. පංචඋපාදානස්කන්ධයන්හි ධම්මානුපස්සීව විසීමෙන් පුද්ගලත්වයක් නොමැතිව පංචස්කන්ධ ධර්ම පමණක් ඇත යන සිහිය ඇතිවෙයි. එය නුවණ හා සිහිය වැඩීම පිණිස හේතු වේ. මේ නිසා ලොව කිසිවක් මම ය මාගේ ය යනුවෙන් නොගෙන පංචඋපාදානස්කන්ධ අනුව බැලීමට පුහුණු වේ.
    චක්ඛු, සෝත ආදී අභ්‍යන්තර ආයතන සයත්, රූප, ශබ්ද ආදී බාහිර ආයතන හයත් ධර්මය අනුව බලමින් විදර්ශනා වැඩීම ආයතන වශයෙන් ධම්මානුපස්සනාවයි. මෙසේ ධම්මානුපස්සීව වාසය කරන්නාට උදක් ආයතන පමණක් ඇත යන සිහිය ඇති වෙයි. හෙතෙම ලෝකය මම ය මාගේ ය යනුවෙන් නොගනී. එය නුවණ හා සිහිය වැඩීම පිණිස හේතු වේ.
    සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන බෝධි අංග හත අරමුණු කොට ගෙන සිහිය පිහිටුවා ගැනීම බෝධ්‍යංග සම්මර්ශනය යි. එවැන්නාට පුද්ගලත්වය හැර බොජ්®ංග පමණක් ඇත යන සිහිය ඇති වෙයි. එය නුවණ හා සිහිය වැඩීම පිණිස හේතු වේ. තෘෂ්ණාවෙන් ඈත්ව වසන හෙතෙම මම ය මාගේ ය යනුවෙන් ලොව කිසිවක් නොගනී. චතුරාර්ය සත්‍යය ධර්මයන් අනුව බලමින් වාසය කිරීම ආර්ය සත්‍ය සම්මර්ශනය යනුවෙන් හැඳින්වේ. චතුරාර්ය සත්‍යය ධර්මයන්හි හට ගැන්මත්, ක්‍රියාකාරිත්වයත්, නැතිවීමත් පිළිබඳ නුවණින් මෙනෙහි කරමින් වාසය කිරීම මෙයින් අදහස් කෙරේ. එසේ වාසය කරන්නාට පුද්ගලත්වය හැර ලොව උදක් චතුරාර්ය සත්‍යය ධර්මයන් පමණක් ඇත යන සිහිය ඇති වේ.
    නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය බව පැහැදිලි කරමින්, බුදු රජාණන් වහන්සේ සියළු ලෝ වැසියන්ගේ හිත සුව පිණිස, මහා කරුණාවෙන් යුක්තව සතර සතිපට්ඨානය වැඩීමේ අනුසස් මෙසේ දේශනා කොට වදාළ සේක.
    ඒකායනො අයං භික්ඛවේ මගෙගා සත්තානං විසුවද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බාණස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම මෙම ත්‍රෙඩ් එක කරන්නේ ධර්මය නොදන්නා අයට දැන ගැනීම පිණිසයි.
    එම නිසා මගේ අතින් යම්කිසි වැරදි කරුණක් පල වුවහොත් එය ලොකු වැරද්දක් නිසා යම් කිසි වැරදි කරුණක් දුටුවා හොත් වහාම මට දැනුම් දෙන්න.
    ඔබ සැමට තෙරුවන් සරණයි !

    :yes::yes::yes: