
ගමේ ඔහු හැඳින්වූයේ කළු මහත්මයා නමිනි. සුල්තානාගොඩ ජිනේරිස් අප්පුහාමි සහ මද්දුම හාමිනේට දාව උපත ලැබූ මෙම දරුවා ජීවිතයේ ඉහළටම යන බවට අනාගත වාක්‍යයක් පළ කළේ ගමේ ස්වාමීන් වහන්සේය.
ගොවියකු වූ ඔහුගේ පියා ඔහුගේ මේ දරුවා ඇති දැඩි කළේ ස්වභාව ධර්මයට ලැදිවය. ඒ අවදියේ ඔහුගේ හිතවතුන් වූයේ ඉර, වැස්ස හා මහ පොළොවයි.
මෙම දරුවාට වයස දහතුනේදී ඔහුගේ පියා අහිමි විය. ඔහුගේ ජීවිතයේ විශාල වෙනසක් ඇති කිරීමට හේතු වූයේ මෙම මරණයයි. පියාගේ වියෝවෙන් පසු එක් උදැසනක ඔහු ගමින් පිට වූයේ රුපියලක් සහ ඇඳුම් කිහිපයක් අතැතිවයි. ඔහු කොළඹට ළඟා වන විට රෑ බෝ වී තිබුණේය. ඔහු මරදානේ සිට පියදාස නමැත්තකු මුණ ගැසීමට ගියේය. පසුදින උදැසන ඔහු තම පියාගේ ළඟම හිතවතකු වූ මනම්පේරි හමුවීමට සඳලංකාවට ද ගියේය. මනම්පේරිගේ ව්‍යාපාරික කටයුතුවලින් කලු මහත්තයා හොඳ අත්දැකීමක් ලබා ගත්තේය. මනම්පේරි ඔහු ගනුදෙනු කළ කොළඹ ව්‍යාපාරිකයන්ට කලු මහත්තයා හඳුන්වා දුන්නේය. මනම්පේරි සමඟ අවුරුද්දක කාලයක් ඔහුගේ විශ්වාසතම සේවකයා ලෙස කලු මහත්තයා කටයුතු කළේය. එමෙන්ම ඔහු යළිත් කොළඹට ද පැමිණියේය. නැවත පියදාසගේ කඩයෙහි ඔහු සේවය කරමින් දෙදෙනා විවිධ ව්‍යාපාරික කටයුතුවල නිරත වූහ. මරදානෙහි මෙම කඩයේ වැඩ කරන අතරතුර ඔහුට කොළඹ ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකු ද දැන හැඳින ගැනීමට හැකි විය. ඔහුගේ පළමුවැනි ව්‍යාපාරය වූයේ කොළඹ කොම්පැනිවලට රබර් රොටි ප්‍රවාහනය කිරීමය. ඒ අතර ඔහුගේ ව්‍යාපාර කටයුතු සඳහා ඔහු තෝරා ගත්තේ පෑලියගොඩය. එහි සිට හලාවත, මීගමුව, කුරුණෑගල, මහනුවර සිට එන බර කරත්තවලට අවශ්‍ය දේ සැපයීම ආරම්භ කළේය. තරුණ ධර්මදාස ආහාර ගත්තේ අසල තිබුණ හෝටලයකින්ය. එහිදී ඔහුට මිලින්නෝනා මුණ ගැසිණ. ඈ සම්බන්ධයෙන් ඔහු කළ යෝජනාව ඇගේ සහෝදරයෝ පළමුව ප්‍රතික්ෂේප කළේය. ඒත් පසුව සියලු දෙනාගේම ආශීර්වාදය මැද හේ විවාහ ගිවිස ගත්තේය. ඔහුගේ ජීවිතයේ නව පිටුවක් පෙරළුණේ මෙතැන් සිටය. මෙම යුවළට දියණියන් හතරදෙනෙක් සහ පුතුන් දෙදෙනෙකු ලැබිණ. මාලනී, රුක්මණී, පුෂ්පා, ප්‍රියානි එම දියණියන් වූ අතර ජයන්ත සහ උපාලි පුතුණවරු වූහ. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය හා මුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලය ඔවුන් අධ්‍යාපනය ලද පාසල් ය. ධර්මදාස අධ්‍යාපනය ලැබුවේ පස්වැනි පන්තිය දක්වා පමණක් වුවද, ඔහු ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනැගීමට සමත් වීම විශේෂත්වයකි.
ඔහුගේ කල්පනාකාරීත්වය අද කළමනාකරුවන්ගේ ක්‍රමවලට වඩා බොහෝ වෙනස් විය. නවලෝක සමූහ ව්‍යාපාරයේ ව්‍යාප්තිය පිළිබඳ සෑම තීරණයක්ම ගත්තේ ඔහුය. ඔහු ජීවිතයේ අවසානය දක්වාම කාර්යාලයට පැමිණ පස්වරු 05.00 දක්වා නොකඩවාම කටයුතු කළේය. ඔහු කිසිවක් හෙටට කල් දැමුවේ ද නැත. එම මොහොතේම කළ යුතු දේ කිරීම ඔහුගේ සිරිතත්, අභිලාශයත් විය. කිසි විටෙකත් කිsසිම දෙයක් ඔහු නාස්ති නොකළේය. එය ඔහුගේ දියුණුව ඉක්මන් කළේය.
සෑම විටම බෞද්ධ දර්ශනය පසුබිම් කරගෙන ජීවත් වූ ධර්මදාස තුළ නායකත්වය සඳහා වූයේ මහත් වූ හැකියාවකි. සේවකයන් අතින් වරදක් සිදු වූ විට ඔහු ඇත්ත වශයෙන්ම ඔවුන් එය පිළිගෙන සිටින අවස්ථාවන්හිදී සමාව ලබාදීම ඔහුගේ සිරිත විය. එය නොපිළිගත්තොත් එම පුද්ගලයාට ලැබුණු දඬුවම ද තදබල විය. එහෙත් එම පුද්ගලයා පිළිබඳව ඔහු පසුව අනුකම්පා කළේය. ඔහුට සිදු වූ පාඩුව ද මකා ගැනීමටත් නැවත ආධාර කිරීමට තරම් ධර්මදාස මහතා නිහතමානී වූයේය.
ඔහු සෑම අවස්ථාවකදීම තම සේවකයන්ගේ හැකියාවන් තෝරාගෙන ඒවා ඔවුන් තුළ වැඩි කිරීමට කටයුතු කළේය.
ධර්මදාස චරිතය ව්‍යාපාර ලෝකයට පිවිසෙන නවකයන්ට විශාල ආදර්ශයකි. ජීවිතයේ අභියෝග ජය ගන්නේ කෙසේද? යන්න මනාව අවබෝධ කරගත් පුද්ගලයකු ලෙස මෙම ජීවන චරිතය සැබැවින් ම හඳුන්වාදීමට පිළිවන.



