~~නස්රුදීන්ගේ උපමා කතා~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ~~නස්රුදීන්ගේ උපමා කතා~~

    සුෆි උපමා කතා වලින් පස්සේ ඔන්න හැමෝම වගේ දන්නා නස්රුදීන්ගේ උපමා කතා ටිකකුත් අරගෙන ආවා කට්ටියට...

    මුද්ද​

    “මට ඔබතුමාගේ මුද්ද දෙන්න සිහිවටනයක් හැටියට. එතකොට ඒක බලන වාරයක් පාසා මට ඔබතුමාව මතක් වේවි” කියලා දවසක් කෙනෙක් මුල්ලා නස්රුදීන්ගෙන් ඉල්ලීමක් කළා.

    “මට මුද්ද දෙන්න නම් බෑ. හැබැයි ඔහේට මාව මතක් කරගන්න ඕනෑ වෙන හැම වෙලාවකම තමුන්ගේ ඇඟිල්ල දිහා බැලුවම මම ඔහේට මුද්ද නුදුන්නු බව සිහි වෙයි” කියලා නස්රුදීන් උත්තර දුන්නා.


    ගඟේ දෙපැත්ත​

    දවසක් නස්රුදීන් ගං ඉවුරක වාඩි වෙලා ඉන්න කොට එහා ඉවුරෙ හිටපු කෙනෙක් කෑ ගහලා මෙහෙම ඇහුවා : “කොහොමද මං එහා ඉවුරට එගොඩ වෙන්නේ ? ”

    “ඔහේ ඔය ඉන්නේ එහා ඉවුරෙ තමයි” කියලා නස්රුදීනුත් කෑ ගහලම උත්තර දුන්නා.


    වඩා ප්‍රයෝජනවත් දේ​

    දවසක් තමන්ගේ ප්‍රියතම තේ කඩයට ගොඩ වැදුණු මුල්ලා නස්රුදීන් මෙහෙම කියුවා: “ඉරට වඩා හඳ අපට ප්‍රයෝජනවත් ”.

    “ඇයි මුල්ලා එහෙම කියන්නේ ? ” කියලා එතැන හිටපු වයසක පුද්ගලයෙක් ඇහුවා.

    “ඇයි ඉතින් අපට දවාලට වඩා රෑටනේ එළිය ඕනෑ කරන්නේ” කියලා නස්රුදීන් පිළිතුරු දුන්නා.


    මගේ අත ගන්න

    දවසක්, පොකුණක් වටේ මහ සෙනඟක් රැස්වෙලා ඉන්න හැටි මුල්ලා නස්රුදීන්ට පෙනුණා. විශාල ජටාවක් ඔලුවෙ බැඳගත්ත පූජකයෙක් දියේ ගිලී ආධාර ඉල්ලමින් හිටියා.

    වටේ සිටි මිනිසුන් පොකුණට නැඹුරු වී, මෙ‍හෙම කෑ ගසමින් හිටියා: “ පූජකතුමා ! මට ඔබතුමාගේ අත දෙන්න. අත දෙන්න. ” ඒත් පූජකයා ඔවුන් කියූ දෙය ඇහුණෙ නෑ වගේ දිගින් දිගටම වතුරේ දඟලමින් උදව් ඉල්ලා කෑ ගැසුවා.

    අන්තිමේදී මුල්ලා නස්රුදීන් ඉදිරියට ආවා. “මේ වැඩේ මං කරන්නම්” කියූ ඔහු තමන්ගේ අත දිගු කරලා “මගේ අත ගන්න” කියලා පූජකයාට කෑ ගහලා කියුවා.

    පූජකයා මුල්ලාගේ අත අල්ලා ගත්තා. මිනිස්සු ඔහුව පොකුණෙන් උඩට ඇදලා ගත්තා. විස්මයට පත්වෙච්ච මිනිස්සු නස්රුදීන්ගෙන් ඇහුවා පූජකයාව ගොඩට ගන්න පාවිච්චි කරපු ක්‍රමයේ රහස මොකක්ද කියලා.

    “ඒක හරි සරළයි. ” මුල්ලා උත්තර දුන්නා. “මං දන්නවා මේ ලෝබයා කිසි කෙනෙකුට කිසිදෙයක් නොදෙන බව. ඒ නිසා මට අත ‘දෙන්න’ කියනවා වෙනුවට මගේ අත ‘ගන්න’ කියලා මං කියුවා. ඉතින් වැඩේ හරි ගියා, මිනිහා මගේ අත අල්ලා ගත්තා” කියලා නස්රුදීන් පැහැදිලි කළා.


    ගැඹුරු කල්පනා

    දවසක් මුල්ලා නස්රුදීන් වෙළෙඳපොළේ ඉන්න කොට දැක්කා එකෙක් රියාල් පන්සීය ගණනේ කුරුල්ලන්ව විකුණනවා. “ මා ගාව ඉන්න කිකිළි මේ හැම කුරුල්ලෙකුටම වඩා විශාලයි. ඒ නිසා ඌ මීට වඩා හුඟක් වටිනවා” කියලා හිතපු නස්රුදීන් පහුවදාම තමන්ගේ කිකිළිය වෙළෙඳ පොළට ගෙනිච්චා විකුණන්න. ඒත් කිසි කෙනෙක් රියාල් පනහකට වඩා කිකිළියට ගෙවන්න කැමති වුණේ නෑ. කේන්ති ගිය මුල්ලා නස්රුදීන් කෑ ගහන්න පටන් ගත්තා.

    “මිනිස්සුනේ මේක මහා අවමානයක් ! ඊයේ නුඹලා මේ කිකිළියගෙන් බාගයක් වත් නැති කුරුල්ලෙකුට මේ වගේ දහ ගුණයක මිලක් ගෙව්වා. ”

    කෙනෙක් ඔහුගේ කෑ ගැහිල්ලට බාධා කළා: “නස්රුදීන්, ඊයේ රියාල් පන්සීය ගාණෙ විකුණුවේ ගිරවුන්ව, කතා කරන කුරුල්ලන්ව. උන් කතා කරන නිසා වැඩිපුර වටිනවා.”

    “මෝඩයා! ” නස්රුදීන් පෙරළා කෑ ගැහුවා. “නුඹලා ඒ කුරුල්ලන්ට වැඩි වටිනාකමක් ගෙවන්නේ උන්ට කතා කරන්න පුළුවන් නිසයි. ඒත් ඔලුව ඇතුළෙ බොහොම ගැඹුරු කල්පනාවල් තියෙන, ඒත් කච කච ගාලා තමුන්ගේ කතාවෙන් මිනිස්සුන්ට කරදර නොකරන මගේ කිකිළිව නුඹලා ප්‍රතික්ෂේප කරනවා.”


    මාලිමා යන්ත්‍රය​

    දවසක්, තමන්ට හම්බ වෙච්ච කුඩා මාලිමාවක් අරගෙන ආපු කෙනෙක් ඒක නස්රුදීන්ට පෙන්නලා ඇහුවා ඒ මොකක්ද කියලා. මාලිමාව දිහා බලපු මුල්ලා නස්රුදීන් අඬන්න පටන් ගත්තා. ඊට ටික වේලාවකට පස්සේ ඇඬිල්ල නවත්තපු ඔහු හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා.

    “ඇයි ඔබතුමා ඇඬුවේ ? ඇයි දැන් හිනාවෙන්නේ ? ” කියලා මිනිහා ප්‍රශ්න කළා.

    “මෙච්චර කුඩා උපකරණයක් මොකක්ද කියලා නොදන්න තරමට ඔහේ කොච්චර මෝඩයෙක්ද කියලා හිතලයි මම ඇඬුවේ.” කියලා මුල්ලා පිළිතුරු දුන්නා. “ඒත් ඒ ගැන කල්පනා කරලා බලන කොට මාත් ඒක මොකක්ද කියලා දන්නේ නැති බව දැනගත්තාම මං හිනාවුණා” කියලා ඔහු කියුවා.


    ආයෙ වචන දෙකක් නෑ

    “නස්රුදීන් ඔහේගෙ වයස කීයද? ”

    “හතළිහයි”

    “ඒත් අවුරුදු දෙකකට කලිනුත් මං අහනකොට කිව්වෙත් ඕකමනේ. ”

    “ඒක හරි. මගේ ආයෙ වචන දෙකක් නෑ ! ”


    කොටින් එළවන බෙහෙත​

    දවසක් නස්රුදීන් තමන්ගේ ගේ වටේට කුඩු වගයක් ඉහිමින් සිටියා.

    “මුල්ලා, ඔහේ මොකද ඔය කරන්නේ? ” කියලා අසල්වැසියෙක් ප්‍රශ්න කළා.

    “මං මේ කොටින්ව එළවන බෙහෙත් කුඩක් ඉහිනවා. ”

    “ඒ වුණාට මෙතැන ඉඳන් හැතැප්ම සිය ගණනක් යනකම්වත් කොටි නෑනේ. ”

    “එහෙනම් බෙහෙත බොහොම සාර්ථකයි නේද ? ” කියලා නස්රුදීන් ඇහුවා.


    ප්‍රශ්න සහ පිළිතුරු​

    “හැම තිස්සෙම ඔහේගෙන් ප්‍රශ්නයක් ඇහුවම ඒකට ප්‍රශ්නෙකින්ම උත්තර දෙන්නේ ඇයි ? ” කියලා කෙනෙක් දවසක් නස්රුදීන්ගෙන් ඇහුවා.

    “මං එහෙම කරනවද ? ” කියලා නස්රුදීන් උත්තර දුන්නා.


    සන්තෝසම​

    දවසක් මුල්ලා නස්රුදීන් පොදු ස්නානාගාරයකට ගියා. ඔහු ඇඳ පැළඳගෙන හිටියේ දුප්පතෙක් වාගේ නිසා එතැන හිටපු සේවකයන් ඔහුව ඒ තරම් ගණන් ගත්තේ නෑ. පොඩි සබන් පොත්තකුයි, වැරහැලි වෙච්ච නාන කඩකුයි, පරණ තුවායකුයි ඔවුන් ඔහුට දුන්නා.

    ස්නානාගාරයෙන් පිටවී යන කොට මුල්ලා සේවකයන් දෙදෙනාට සන්තෝසම් වශයෙන් එකෙකුට රන් කාසිය බැගින් දුන්නා. තමන් සේවය සැලසූ අන්දම ගැන නස්රුදීන් පැමිණිලි නොකිරීම ගැන සේවකයන් පුදුම වුණා. ඔහුට හොඳින් සැලකුවා නම් මීටත් වඩා විශාල සන්තෝසමක් ගන්න තිබුණා නේද කියලා ඔවුන් කල්පනා කළා.

    ඊළඟ සතියේ මුල්ලා නස්රුදීන් නැවත ස්නානාගාරයට ආවා. මේ පාර, සේවකයන් ඔහුට රජෙකුට වගේ සැලකුවා. එම්බ්‍රොයිඩර් කරපු තුවාත්, සේද නාන කඩකුත් ඔහුට දුන්නා. නස්රුදීන්ව සම්බාහනය කරලා, ඇඟේ සුවඳ තෙල් ගල්වපුවාම ඔහු තමන් ළඟ තිබුණු වටිනාකමින් අඩුම තඹ කාසි දෙක සේවකයන් දෙදෙනාට සන්තෝසම් වශයෙන් දුන්නා.

    “ මේ කාසි දෙක ගිය ගමන වෙනුවෙන්. එදා දුන්නු රන් කාසි දෙක අද සේවය වෙනුවෙන් ” කියලා නස්රුදීන් කියුවා.


    එකට එක​

    දවසක් නස්රුදීන් ඔහුගේ ගෙදර වහලය අලුත්වැඩියා කරමින් හිටියා. ඔහු වහල උඩ ඉන්න කොට අමුත්තෙක් ඇවිත් ගෙදර දොරට තට්ටු කළා.

    “මොනවද නුඹට ඕනෑ? ” කියලා නස්රුදීන් වහලය උඩ සිටම කෑ ගැසුවා.

    “පහළට බහින්න. එතකොට මං කියන්නම්” කියලා අමුත්තා උත්තර දුන්නා.

    නස්රුදීනුත් බොහොම අකමැත්තෙන් ඉණිමඟ දිගේ හෙමින් පහළට බැස්සා.

    “ඉතින්! මොකක්ද ඔය වැදගත් කාරණාව ? ” නස්රුදීන් ඇහුවා.

    “මේ දුප්පතාට පිනට යමක් දෙන්න පුළුවන්ද ? ” කියලා අමුත්තා ඇහුවා.

    “මා පස්සෙන් වහල උඩට වරෙන් ” යැයි අමුත්තාට කියූ නස්රුදීන් ඉණිමඟ දිගේ උඩට නගින්න පටන් ගත්තා.

    නස්රුදීනුත්, සිඟන්නාත් දෙදෙනාම වහලය උඩට නැග්ගාට පස්සේ නස්රුදීන් කියුවා “බෑ” කියලා.


    වේළීමේ රහස

    නස්රුදින්ගේ පොහොසත් මිතුරෙක් ඔහුට කතා කළා, ඒ මිතුරාත් ඔහුගේ පිරිසත් එක්ක දින කීපයක් තිස්සේ දඩයමේ යන්න. මුල් ම දවසේ ඔවුන් නස්රුදින්ට දුන්නෙ බොහොම හෙමින් යන අස්සයෙක්. දඩයමට යන්න පටන් අරන් වැඩි වේලාවක් ගියේ නෑ, හෙමින් ගිය අස්සයා නිසා නස්රුදින් හුඟක් පහුවුණා. නස්රුදින්ව පහු කරලා දාලා අනෙක් පිරිස ඈතට දඩයමේ ගියා.
    එකපාරට ම තද වැස්සක් ආවා. අහල පහළ වැස්සකට නවතින්න තැනක් තිබුණෙ නැහැ. දඩයමේ ගිය මිතුරා ඇතුළු පිරිස හැමෝට ම වැස්සෙන් බේරෙන්න ගෙදරට ම දුවගෙන එන්න සිදු වුණා.
    හැමදෙනා ම වැස්සට අහුවෙලා හොඳට ම තෙමුණා. ඇඳුම් සේරම තෙත බරි වෙලා තමයි, ඔවුන් හැම දෙනා ම ගෙදරට ආවෙ.

    ඒත් නස්රුදින් විතරක් තෙමුණෙ නෑ. නස්රුදින් කළේ, වැස්ස පටන් ගන්න කොට ම එයාගෙ ඇඳුම් ගලවලා හොඳට නවලා අස්සයාගෙ පිට උඩ කියලා ඒවා මත වාඩිවෙලා හෙමින් හෙමින් ආපසු ගෙදර එන්න පිටත් වුණු එකයි.

    අතරමගදි ම වැස්ස පෑව්වා. නස්රුදින් අසු පිටින් බැහැල ඇඳුම් ටික ආයිත් ඇඳගෙන වැස්සක් ඇති නොවුණු ගානටයි ගෙදර ආවෙ. කාටවත් හිතා ගන්න බැරි වුණා, නස්රුදින් අනෙක් හැමෝටමත් වඩා වැඩි වෙලාවක් වැස්සෙ ම ගෙදර එන්න ගත කරලත් ඔච්චර ලොකු වැස්සකට නොතෙමී ආවෙ කොහොමද කියලා.

    ”හරි පුදුමයි! නස්රුදින් ඔහෙගෙ ඇඳුම් විතරක් තෙමිලා නෑ, ඔය තරම් ලොකු වැස්සක් වැහැලත්. කොහොමද ඒවා විතරක් තෙමුණෙ නැත්තෙ? අපේ ඇඳුම් කොච්චර තෙමිලා ද? ඇරත් ඔහෙ අපට වඩා කොච්චර පහුවෙලා ද ගෙදර ආවේ? මොකක් ද රහස?” මිතුරා නස්රුදින්ගෙන් ඇහුවා.

    ”රහස ඔයා දුන්න අස්සයා. ඔයා තමයි මට ඇඳුම් නො තෙමී එන්න උදවු කළේ” නස්රුදින් පිළිතුරු දුන්නා.

    පහුවදා දඩයමේ යන කොට මිතුරා කල්පනා කළා නස්රුදින්ගේ අස්සයා තමන් අරගෙන වේගයෙන් යන තමන්ගේ අස්සයා නස්රුදින්ට දෙන්න.

    ඒ වතාවෙ නස්රුදින් වේගයෙන් යන අස්සයා අරන් මිතුරා පසු කරගෙන හුඟක් ඈතට ගියා.

    අතරමගදී කලින් දා වගේම වැස්සක් කඩා වැටුණා. ඒ වතාවෙදිත් නස්රුදින් කළේ ඉක්මනට ඇඳුගෙන සිටි ඇඳුම් ටික ගලවලා හොඳට නවලා අසුපිට තියලා ඒ මත වාඩිවෙලා අසු පදවා ගෙන ගිය එකයි.

    අතරමගදී වැස්ස පායපුවා ම මොකුත් නොවුණු ගානට ඒ ඇඳුම් ආපහු ඇඳගෙන නස්රුදින් ගෙදර ආවා. මිතුරා ගෙදර ආවේ හොඳටම තෙත බරිවෙච්ච ඇඳුම් පිටින්. නස්රුදින්ගෙ ඇඳුම් පොඞ්ඩක් තෙමිලා තිබුණෙ නෑ. මිතුරාට ඒ වතාවෙත් හරිම පුදුමයි!

    ”මොකක්ද නස්රුදින් මේකෙ රහස?” මිතුරා නස්රුදින්ගෙන් ඇහුවා.

    ”රහස ඔයා දුන්නු අස්සයා. එයා තමයි මට නොතෙමී ඉන්න උදවු කළේ. නොතෙමී ඉන්න අස්සයගෙ වේගෙ ප‍්‍රශ්නයක් වුණේ නැහැ. මෙහිදි අපි හිතන වේගයයි වැදගත් වෙන්නෙ!”



    පරිවර්තනය:- නිලූක කදුරුගමුව
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේකට රෙප් දෙනවද? සුෆි උපමා කතා සෙට් එකට රෙප් දෙනවද කියලා හිතා ගන්න බෑ කියහංකෝ..
    ආආහ්.. සුබ අලුත් අවුරුද්දකුත් වේවා.:cool:.