නීති විරෝධී මනුෂ්‍ය ඝාතන නැවත්වීමට රට්ටු නීතිය ගැන දැනුවත් විය යුතුයි.
රටක ජනතාවට නිතියේ රැකවරණය ලැබෙන්නේ ජනතාව තම අයිතීන් පිළිබඳව දැනුවත් නම් පමණි. එහෙයින් සෑම පුරවැසියකුම පක්ෂ පස්සේ යාම පසෙක තබා තම අයිතිවාසිකම් ගැන දැනුවත් විය යුතුයි.
දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාර මරණ දණ්ඩනය හිමිවන මනුෂ්‍ය ඝාතනය (296) රාජ්‍ය විරෝධී වැරදි (114) යම් තැනැත්තෙකුට මරණ මරණ දණ්ඩනය පැමිණවීම සඳහා බොරු සාක්ෂි දීම (191) යන අවස්ථාවල හැර සැකකරුවකු කිසිම හේතුවකට දින 15 කට වැඩි කාලයක් විමර්ශණ කටයුතු සඳහා යයි කියමින් රිමාන්ඩ් භාරයට පත් කල නොහැක.
ශ්‍රේෂ්ඨාධිකරණය නීතිය අර්ථනිරුපණය කර ඇති පරිදි රටේ පැහැදිළි නීතිය එයයි [(1989) 2 SLR 247]. රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසීය, රේගුව, වන නිලධාරීන් (forest officers), සුරාබදු නිලධාරීන් රටේ නීතියට ගරු කල යුතුය. පුද්ගල නිදහසට හානි පැමිණවීමට මේ කිසිවකුට නීතියෙන් අවසරයක් නැත. නමුත් නීතිය බිඳ වැටී ඇති රටේ කිසිවකු නිතිය ගරු නොකරන බවද කිව යුතුයි (අධිකරණද ඇතුළුව). ත්‍රස්තවාදය වැලැක්වීම පනත වැනි විශේෂ නීති පාවිච්චි කරමින් සැකකරුවන් දිගින් දිගටම හිර භාරයේ තබා ගැනීමට පොලීසිය ක්‍රියාකරන්නේ එහෙයිනි. නායකයින් ඇතුළුව ජවිපෙ තරුණයින් විශාල ප්‍රමාණයක් දිගින් දිගටම අත්අඩංගුවේ තබාගන වද හිංසා පැමිණවීමෙන් අනතුරුව ඝාතනය කරන ලද්දේ රටේ මිනිස්සු නීතිය හමුවේ පුරවැසි අයිතිවාසිකම් වලට වඩා පක්ෂ දේශපාලනයෙන් අන්ධවී ඇති හෙයිනි. එහෙයින් අවනීතිය යටපත් කිරීම සඳහා රටේ උත්තරීතර නීතියෙන්ම (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම) කැලේ නීතිය තහනම් කල යුතුයි. නීතිය ක්‍රියාත්මක කරන සෑම ආයතනයක්ම රටේ නීතිය පුද්ගල නිදහස ගරු කරන ක්‍රමවේදයක් නැවත මේ රටේ හඳුන්වා දිය යුතුයි. ඒ සඳහා පෙරමුණ ගත යුත්තේ නීතිඥ ප්රජාවය. ජනතාව සතු අයිතිවාසිකම් ගැන ඔවුන් දැනුවත් කිරීමට සෑම පියවරක්ම ගැනීම නීතිඥ සංගමයේ යුතුකම වන්නේය.
- නාගා