නැදුන්ගමුවේ රාජා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැදුන්ගමුවේ රාජා

    13006662_944612728989636_8447330788851680695_n.jpg


    13062320_944612755656300_7631990309732695541_n.jpg


    11 වන වරටත් දළදා කරඬුව වැඩම කරවන නැදුන්ගමුවේ රාජා



    සටහන- දොම්පේ අජිත් මදුරප්පෙරුම - මිරිස්වත්ත තිලකරත්න දිසානායක

    පනහ දශකයේ මුල්භාගයේදී මානසික රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රචලිත මෙරට භික්‍ෂුවක් ඉන්දියාවේ මයිසුර් ප‍්‍රාන්තයේ - ”මහරාජා” වරයකුට ප‍්‍රතිකාර කිරීම සඳහා එහි ගියේය. හිමියන් ගේ ප‍්‍රතිකාරවලින් නිට්ටාවට සුවය ලද ”මහරාජා” පුද පඬුරු ලෙස අවශ්‍ය මොනවාදැයි හිමියන්ගෙන් විමසා සිටියේ ඉල්ලන ඕනෑම මුදලක් ගෙවීමට සූදානමිනි.
    එම ස්වාමීන් වහන්සේ කිසිම මුදලක් ලබාගැනීමට ප‍්‍රතික්‍ෂේප කළත් එක ඉල්ලීමක් මහරාජා වෙත ඉදිරිපත් කර සිටියේය. ඒ ඉන්දීය ඇතෙකි. එක් ඇතෙක් වෙනුවට ඇත් පැටවුන් දෙදෙනෙකුම ත්‍යාග ලෙස එම හිමියන්ට ලැබුණේය.
    පිළියන්දල - නීලම්මහර විහාරස්ථානයක වැඩ වාසය කළ ඒ හිමියන් සතුව සිටි ඒ එක් ඇත් පැටවකු අද වන විට ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතාය. 2005 වසරේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකා දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ කරඬුව වැඩම කරලීමට වාසනාව ලද මේ හස්ති රාජයා ගම්පහ නැඳුන්ගමුවේ ඇත්රජුය. මෙවර ඇසළ පෙරහැරේ දළදා කරඬුව වැඩම කිරීම ද නැඳුන්ගමුවේ හස්තියාට භාරවී තිබේ.
    දැනට පනස් අට වියේ පසුවන නැඳුන්ගමුවේ හස්තියාගේ විශේෂත්වය නම් පෙරහැරකට සහභාගී වීමට කිසිදිනක වාහනයකින් ගමන් නොකිරීමයි. ලංකාවේ පවත්වන ඕනෑම පෙරහැරක් සඳහා හස්තියා යන්නේ පා ගමනිනි. හස්තියාගේ වත්මන් හිමිකරු වන නැඳුන්ගමුව වෙද පරපුරේ වත්මන් නියෝජනය වන වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතා පවසන පරිදි ඇතෙකු වාහනයක රැගෙන යාම එම සතාට කරන බලවත් වූ හිංසාවකි. තට්ටුව සහිත දිග ලොරිවල පටවාගෙන යෑමේදී එම සතා විවිධ දුෂ්කරතාවලට ලක්වෙයි. වාහනයේ ගැස්සීම්, තිරිංග තදකිරීමේදී ඇතිවන පීඩනය එම සත්ත්වයාට දරාගත නොහැක. තමාට ඇති අසීරුතාව පිළිබඳ පැවැසීමට සතාට නොහැකිය. තම දැවැන්ත ශරීරය පාලනය කර ගනිමින් ඉතා අයාසයෙන් යුතුව යන මේ ගමන්වලින් සත්ත්වයා විවිධ ලෙඩ රෝගවලට ලක්වී උගේ පරමායුෂද අඩුවේ.
    නුවර දළදා පෙරහැර පමණක් නොව, රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, කැලණි පෙරහැර, ගම්පහ සාම විහාරයේ පෙරහැර, කඩුවෙල රන්කඩුදේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරටද සහභාගි වන හස්තියා එහි යන්නේ පා ගමනිනි. ඇත්ගොව්වා සමග පා ගමනින් යන හස්තියාගේ ගමන නිරීක්‍ෂණය කිරීම සඳහා හර්ෂ විජය වෙද රාළහාමිද වාහනයෙන් යයි.
    මහනුවර දළදා මාලිගාවේ පෙරහැර පටන් ගැනීමට දින 5කට කලින් ගම්පහ - නැඳුන්ගමුවෙන් පිටත්වන හස්තියාගේ පළමු දින රාතී‍්‍ර නවාතැන වන්නේ පස්යාලයි. දෙවැනි දින රාති‍්‍රය වරකාපොළ, නතරවන හස්තියා තෙවැනි දින කෑගල්ලේ නතර වෙයි. හතරවැනි දිනයේ මාවනැල්ල ප‍්‍රදේශයේ රාති‍්‍රය ගතකරන හස්තියා තම ඇත්ගොව්වාද සමග පස්වැනි දිනයේදී මහනුවරට ළඟාවෙයි. අලූයම පිබිදී පා ගමනින් යන හස්තියා අව් රශිමිය දැඩි දහවල් කාලයේ විවේක ගනියි. නැවතත් හවස් යාමයේ ගමන පටන්ගෙන රාතී‍්‍ර කාලයේ විහාරස්ථානයක නවාතැන් ගනියි.
    හර්ෂ විජය මහතාට අනුව අලි ඇතුන් දැඩි අව් රශ්මියේ යාමට අකමැතිය.
    ඒ අවස්ථාවේ හස්තියාගේ කටින් කෙළ පෙරෙයි. ඌ යම්කිසි පිඹීදීමක් ද කරයි. වාහනයක දමාගෙන යනවිට ඌට මෙවැනි දේ දැක්වීමට ඉඩකඩක් නැත. විවේක ගැනීමටද අවස්ථාවක් නැතිවීමෙන් විශාල වශයෙන් සත්ත්වයා දුර්වල තත්ත්වයට පත්වේ.
    රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැරට සහභාගිවීමට යන්නට හස්තියා දින තුනක් තිස්සේ පා ගමනින් යයි. කැලයක සිටින අලියෙකු වුවද තම ආහාර සපයා ගැනීමට දිනකට කී.මී. 15ක් 20ක් පමණ පයින් ගමන් කරයි. උගේ ජීවන පැවැත්මට එය අනිවාර්යයෙන් අවශ්‍ය අංගයක් බවද පැවැසේ.
    ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි.
    සම්පූර්ණයෙන්ම ශාක භාක්‍ෂක සතෙකු වන අලියාට පළතුරු දීමට බොහෝ අය උත්සාහ කළත් පළතුරු විශාල ප‍්‍රමාණයක් කෑ විට සතාට දරුණු බඬේ අමාරුව හැදෙන බව හර්ෂ විජය වෙද රාළහාමි කියයි. එම නිසා සත්ත්වයාට ආදරයෙන් පළතුරු නිතර ලබා නොදෙන්නැයි ඔහු හස්තියා බලන්නට එන පිරිස් වලින් ඉල්ලීමක් කරයි.
    හර්ෂ විජය වෙද රාළහාමිගේ පියාණන් වන අභාවප‍්‍රාප්ත ධර්ම විජය වෙද රාළහාමි විසින් මෙම හස්තියා මීට කලකට පෙර ලබාගෙන ඇත උදාවන සෑම සිංහල අලූත් අවුරුද්දකදීම නැකතට හස්තියාගේ තෙල් ගැල්වීම එදා සිට අදටත් අඛණ්ඩව කරගෙන යයි. මෙම හස්තියා සමග ඉහත කී හිමි නම මෙරටට ගෙන ආ අනින් හස්තියා කොළඹ ගංගාරාමයේ සිට පසුගියදා මියගිය -නවම් රාජාය.
    කවදාවත් මිනිස් ජීවිතයකට හානි නොකළ නැඳුන්ගමුවේ හස්තියා ගේ විශේෂත්වය වන්නේ පෙරහැරට සහභාගිවී සිටියදී මද කිපුණහොත් කිසිදු කලබයක් නොකර පෙරහැරේ ගමන් කිරීමයි. සාමාන්‍යයෙන් මද කිපුන අලියකු පෙරහැර සඳහා සහභාගී කර නොගත්තත්, පෙරහැරේ ගමන් කරන අතරවාරයේදී මද කිපීම සිදුවේ. මේ අවස්ථාවලදී බොහෝ අලි ඇතුන් කලබල කළත් නැඳුන්ගමුවේ ඇතා තම පාඩුවේ පෙරහැරේ ගමන් කරයි.
    වෛද්‍ය හර්ෂ විජය මහතා පවසන පරිදි ඇතකුගේ පිට කරඬුව බැඳීම ඉතා අමාරු කාර්යයකි. බඳවටා විවිධාකාරයෙන් පටි තද කිරීමෙන් සතාගේ පෙනහලූ පවා තද වේ. අනතුරුව අවසන් වශයෙන් කරඬුව ගැට ගැසීම නිසා තවත් ඌ පීඩනයට පත්වෙයි. ඒ නිසා පෙරහැරේ ගමන් ගන්නා විට හස්තියාගේ හැසිරීමද එයට බලපානු ලැබේ. නමුත් ”බෞද්ධ ප‍්‍රබෝධය” මගින් ඒ සියල්ල පාලනය වෙයි.
    2005 වසරේදී හා හා පුරා කියා දළදා කරඬුව වැඩම කිරීම සඳහා හස්තියාව තෝරාගන ලැබුවේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාය.
    එතෙක් සම මට්ටමක උසකින් යුත් හස්තින් කරඬුව වැඩම කිරීම නිසා කරඬුව බැඳීම ගැටලූවක් වූයේ නැත. නමුත් අඩි එකොළහකටත් වඩා උස නැඳුන්ගමුවේ හස්තියාගේ පිටෙහි කරඬුව ගැට ගැසීම යම් ප‍්‍රශ්නකාරී තත්ත්වයකට පත්වූයේ හස්තියාගේ උස නිසාය.
    කරඬුව තැන්පත් කරන මංජුසාවේ නිමාවේ යම් වෙනසක් කරන්නට ද සිදුවූයේ මෙම හස්තියාගේ උස වැඩිකම නිසාය.
    නැඳුන්ගමුවේ ඇතාගේ දළ අඩි හතරක් දිගය. ධර්ම විජය මහතා පවසන්නේ තවත් අඩි 2ක් පමණ ශරීරය තුළට දළ ගැබ්ව ඇති බවය. දක්‍ෂ දේශීය වෛද්‍යවරුන් වන ධර්ම විජය හා හර්ෂ විජය වෙද පරපුරේ ප‍්‍රතිකාර නිසාත්, දිනපතා ලැබෙන පෝෂ්‍යදායි ආහාර සත්කාරය නිසාත්, නැඳුන්ගමුවේ හස්තියා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය මැද යහතින් වැජඹෙයි. හස්තියාගේ පින්තූරයක් ගන්නට අපි හර්ෂ විජය මහතාගේ නිවෙස පිටුපස සිටි ඇතා ළඟට ගියෙමු. ඌ මහත් අභිමානයකින් කුංච නාද කළේය. හොඬවැල උඩට එසවිය.
    ”11 වැනි වතාවටත් දළදා කරඬුව ගෙනියන්නේ මම තමයි” හස්තියා ආඩම්බරයෙන් කියන්නට ඇත්තේ එයයැයි අපට සිතිණි.