මම මේ අවුරුද්දෙ කියවපු සිංහල නවකතා අතරින් හොඳම නවකතාව වගේම මේ වෙනකල් කියවලා තියෙන සිංහල නවකතා අතරින් මුල් ස්ථාන කිහිපය අතර තියන්න පුළුවන් පොතක් තමයි කෞශල්‍ය කුමාරසිංහ ගෙ 'නිම්නාගේ ඉතිහාසය' කියල කියන්නෙ. නවකතාවක් වුණත් මේක ලංකාවෙ පරම්පරා හතරක සිතුම් පැතුම්, ජීවන රටා වෙනස් වූ ආකාරය ගැන ලියපු පර්යේෂණ ස්වභාවයේ කෘතියක් කියල කියන එකත් නිවැරදියි කියල මට හිතෙනවා.
කතාව පටන් ගන්නේ නිම්නා කියන 1989 නොවැම්බර් 9 වෙනිදා ඉපදුණ තරුණියකගෙ ෆේස්බුක් ගිණුම හිටි හැටියේ deactivate වීම හරහා. මේ දවස (නොවැම්බර් 9) විශේෂයි. ඒ බර්ලින් තාප්පයේ බිඳ වැටීම සිද්ධ වෙන්නෙ එදා නිසා.
ඉතින් එහෙම පරම්පරාවක කෙනෙක් විදිහට ඉපදුණ නිම්නාගේ ජීවිතය ගලාගෙන යන්නෙ කොහොම ද? ඒ පරම්පරාව තමන්ට පෙර පරම්පරාවන්ගෙන් වෙනස් වෙන්නෙ සහ සමාන වෙන්නෙ කොහොම ද කියන කතාව වගේම ඒකට හේතු වුණ සමාජයීය කාරණා පොතේ දිග ඇරෙනවා. නිම්නාගේ කතාව 80 දශකෙ අග භාගයේ සහ 90 දශකයේ ඉපදුණ අයගෙ කතාව වෙන්නෙ ඒ විදිහට.
කියවාගෙන යනකොට අපිට අපි වටේ ඉන්න චරිත මතක් වෙන්න ගන්නවා. සමහර වෙලාවට 'දෙයියනේ අපිත් මෙහෙම දේවල් කියල තියෙනව/කරල තියෙනව නේද?' කියල හිතෙන්න ගන්නවා.
කෞශල්‍ය ගෙ රචනා ශෛලියේ මම කැමතිම දේ තමා කතාව කියන්න ඔහු යොදාගන්න නැවුම් සංකේතයි සරල නමුත් sexy කියල කියන්න පුළුවන් භාෂාව හැසිරවීම යි. ඔහුගෙ පළවෙනි පොත 'මේ රහස් කවුළුවෙන් එබෙන්න' වගේම ඔහුගෙ ගීත රචනා 'සුන්දර මැජික්කාරි,' 'කවුළු පියන්පත් වහන්න' වගේ ගීත රචනාවලත් මේ ලක්ෂණය දැකගන්න පුළුවන්. නිම්නාගෙ කතාවදි දළ කුමාරයාගෙ කතාව, බාබෙල් කොත, නිම්නාගේ උඩු තොලට ඉහලින් ඇති උපන් ලපය සංකේතයක් විදිහට කතාව පුරාම දිවෙනවා. නිම්නා කියන චරිතෙම ඇය අයිතිවෙන පරම්පරාවේ ස්වභාවය ගැන සංකේතයක්.
විශේෂම කාරණය නිම්නාගේ ඉතිහාසය කියන්නෙ 'ගෑණු කතාවක්.' කතුවරයා පිරිමියෙක් වුණත් නිම්නා, එයාගෙ ලොකු අත්තම්මා, පුංචි අත්තම්මා, අම්මා, විශ්මි, තාරා, පණ්ඩුක ගෙ නංගි මේ හැම ගැහැණු චරිතය ගැනම පිරිමි ඇසකින් බලන්නෙ නැතුව ගැහැණු ඇසකින් බලලා කතාව ගොතන්න කතුවරයා දරා තියෙන උත්සාහය අති සාර්ථකයි. ගැහැණු මෙහෙමයි කියල බොහෝමයක් පිරිමි හිතන බහුබූත නැතුව ඇත්තටම ගැහැණු හිතන පතන ආකාරය නාඩියට අල්ලන්න කෞශල්‍ය සමත් වෙලා තියෙනවා.
'ලිංගිකත්වය' කියන්නෙ නිම්නාගේ ඉතිහාසයේ ඉතාම වැදගත් සාධකයක්. කලින් කිව්වනේ මේක ඇත්තටම නිම්නාගේ විතරක් නෙවෙයි නගරවල සහ නගරාසන්නව ජීවත්වෙන අපේ පරම්පරාවෙ (millennials) කතාව කියල. අපි නොදැන හිටියට ලිංගික අනන්‍යතාවය නිසා අපේ ජීවිත මොන තරම් වෙනස්වෙනව ද කියන එක පොතේ ලස්සනට කියැවිලා තියෙනවා. ලිංගිකත්වය කතාවට ගැලපෙන්න, අඩුත් නැතුව වැඩිත් නැතිව යොදාගන්න කෞශල්‍ය සමත් වෙලා තියෙනවා.
තමන්ගෙ ලිංගික දිශානතිය අඳුනගන්න බැරිව අතරමං වෙන ගැහැණු, උත්සාහ කරල තමන්ගෙ ලිංගික දිශානතිය අඳුනගන්න ගැහැණු සහ ඒ නිසාම නොසෑහෙන වන්දියක් ගෙවන්න වුණ ගැහැණු, ජීවිතේට පිරිමියෙක් ආවම තමන්ව අහිමි කරගන්න ගැහැණු, ලිංගිකත්වය නිසා ඇතිවෙන හිස්තැන් ආගමින් වහගන්න ගැහැණු නිම්නාගේ කතාව කියවද්දි අපට හමුවෙනවා.
ඒ වගේම අපේ ආච්චිලා සීයලාගෙ පරම්පරාව නිදහසේ භුක්ති විඳපු ලිංගිකත්වය වර්තමානයේ දකින්න ලැබෙන conservative තත්වයට ක්‍රමිකව ආවෙ කොහොමද කියන එක පොතේ ලස්සනට විස්තර වෙනවා.
අපේ පරම්පරාවෙ කතාවක් කියනකොට දේශපාලනය කියන සාධකය අමතක කරල ඒක කරන්න බැහැනෙ. ඉතින් සමසමාජ කාළෙ ඉඳන් 83 කළු ජූලිය, 88/89 භීෂණ කාලය, යුද්ධය, පශ්චාත් යුධ සමය, ජාතිවාදී කෝලාහළ ආදී හැමදේම කතාවට අවශ්‍ය පදමින් එකතු කරන්න කතුවරයා සමත් වෙලා තියෙනවා. කතාව කියවගෙන යනකොට අපි දන්න ප්‍රසිද්ධ චරිත ඔබට මතක් වේවි

කතාවෙ මුල හරිය ටිකක් විසිරුණ ස්වභාවයක් ගන්නවා. ඒ පිටු ටික ඉවසීමෙන් pass කරලා ඉදිරියට යනකොට අර විසිරුණ ගතිය නැතිවෙලා ඉතාම ක්‍රමානුකූලව කතාව ගලාගෙන යනවා. එතෙන්ට එන්න කියවන්න වුණ පිටු ගාණ අඩු වුණානම් තවත් හොඳයි කියන එක මගේ පෞද්ගලික මතය.
පොතේ කවරය අති විශිෂ්ඨයි. පිටු 663 ක කතාවක් රූප හතරකින් සහ ලපයකින් කැටි කරල ඉදිරිපත් කරන්න කවර නිර්මාණකරුවා සමත් වෙලා තියෙනවා. දිනිඳු සිරිවර්ධන, ඒ ව්‍යායාමයට ඔබට ස්තුතියි.
ඉතින් typical සිංහල නවකතාවකින් මිදිලා අලුත් කියැවීමේ අත්දැකීමක් ලබා දුන්නට කෞශල්‍ය ට ගොඩක් ස්තුතියි. ඒ වගේම නිම්නාගේ ඉතිහාසය 'මග ඇරගන්න එපා' වර්ගයේ නවකතාවක් විදිහට පාඨකයාට නිර්දේශ කරන්නත් කැමතියි.
පළමු මුද්‍රණය - අහස ප්‍රකාශන
නව මුද්‍රණය - විදර්ශන
~ මෙත්මලී දිසානායක ~