නිල් තල්මසා(Blue Whale)
දිනකට කිරි ලීටර් 100 තම පැටවාට ලබාදෙන සතකු අසන පළමු අවස්ථාව මෙය විය හැකිය. මෙම හැකියාව ඇත්තේ එදා මෙදාතුර පෘථිවිය මත වාසය කරන දැවැන්තම ක්ෂිරපායි සත්ත්වයා වන නිල් තල්මසාටයි.නිල් තල් මසා උතුරු අත්ලාන්තික් සාගරය සහ පැසිපික් සාගරය වාසස්ථානය කරගත් ක්ෂිරපායි සත්වයෙකි. මොහුගේ විශාලත්වය පෘථිවිය මත ජීවත් වන වෙනත් කිසිදු සත්වයකු සමග සැසඳිය නොහැකි ය. වැඩුණු ගැහැණු සත්වයකුගේ විශාලත්වය පිරිමි සත්වයන් අභිබවා යයි. දිගින් මීටර් 33 ක් හෙවත් අඩි 108 කි. බර ටොන් 200 කි.මෙම දැවැන්තයාගේ දේහ විශාලත්වය අනුව දිනකට වැය කරන ශක්ති ප්‍රමාණය මිලියන 3 කි. මෙම විශාල ශක්ති ප්‍රමාණය සපයා ගැනීම සඳහා නිල් තල්මසා ආහාර ලෙස ලබා ගන්නේ සත්ත්ව ප්ලාවංගයි. සාගරයේ ජීවත් වන කි්රල් ලෙස හඳුන්වන කුඩා ක්රස්ටේශියාවන් උන් ආහාරයට ගනී.
නිල් තල්මසාගේ අති විශාල මුඛය තුළ ඇති දිවේ විශාලත්වය අලියකුගේ විශාලත්වයට සමාන ය. කි්රල් වැනි කුඩා සත්ත්ව ප්ලවාංග පෙරා ගැනීම සඳහා මොහුගේ මුඛයේ විශේෂිත උපාංග කට්ටලයක් පවතී. මේවා බේලින් තැලි ලෙස හඳුන්වයි. මුඛයේ උඩු හණුවට සම්බන්ධ වී ඇති මේවා දිගින් මීටර් 1 ක් පමණ වේ. උඩු හණුවට සම්බන්ධ බේලින් තැලි 270 – 400 අතර සංඛ්‍යාක් පවතී.විවෘත මුඛය තුළින් ජලය ගලා යෑමේදී බේලින් තැලි අතරින් ඒවා ගමන් ගනී. ඉතා කුඩා සත්ත්ව ප්ලවාංග පෙනේර සිදුරු තුළින් මෙන් මෙම බේලින් තුළින් පෙරීමට ලක්වේ. තල්මසුන් ජලයේ ජීවත් වුව ද ආශ්වාස කිරීම සඳහා යොදා ගන්නේ වායුගෝලීය වාතයයි. වාතය ලබාගැනීම සඳහා විටින් විට සාගරය මතු පිටට පැමිණේ. පෙනහලු තුළ ගබඩා කරගෙන සිටින ප්රාශ්වාස වාතය වායුගෝලයට මුදා හරින විට විශාල වතුර මලක ආකාරයට ජලය විසිරී යයි. උණුසුම් වාතය සහ සිසිල් ජලය ගැටීමෙන් ඇතිවෙන මෙය අඩි 30 ක් පමණ ඉහළ අහසට විහිදෙන අතර මෙහි හඬ සැතපුමක් පමණ දුරට විහිදී යයි.
පැයට නාවික සැතපුම් 20 ක වේගයෙන් පිහිනීමට නිල් තල්මසාට හැකියාව ඇත. වේගවත්ව පිහිනීමේ හැකියාව නිසා උන් දඩයම් කිරීම මිනිසාට අසීරු කටයුත්තක්ව පැවතිණි. අසීරුවෙන් දඩයම් කළ ද මුහුදු පත්ලට කිදා බැසීම නිසා මහන්සිය අපතේ යයි. 1904 පමණ වන විට ඉතා වේගවත්ව ගමන් කළ හැකි බෝට්ටු නිපදවීමත් සමග නිල් තල්මසුන්ට අඳුරු කාලපරිච්ඡේදයක් උදා විය.1930 පමණ වන විට නැව් 40 ක් මගින් දඩයම් කළ නිල් තල්මසුන් සංඛ්‍යාව 28325 පමණ විය. ඇන්ටාටිකා මුහුදු ප්‍රදේශයේ ජීවත් වූ තල්මසුන්ගෙන් සියයට 90 පමණ මරණයට පත් කර තිබිණි. 1965 පමණ වන විට නිල්තල්මසුන් දඩයම තහනම් කිරීමට පියවර ගත්ත ද ඒ වන විට දැවැන්ත විනාශයක් සිදුවී අවසන්ව තිබිණි. දකුණු අර්ධගෝලයට ඉතිරිව සිටියේ නිල් තල්මසුන් 650 පමණ යැයි ගණන් බලා තිබිණි.නිල් තල්මසාගේ අභිජනනය පිළිබඳව බොහෝ කරුණු තවමත් අනාවරණය වී නැත. ගැහැණු සතා වසර 5 කදී පමණ ලිංගික පරිණතිය ලබා ගනී. ගැබ්ගෙන මාස 11 – 12 පමණ පැටවා බිහිවීම සිදුවේ.
පැටවකු බිහිවෙන අවස්ථාවේදී දිග මීටර් 7 කි. බර ටොන් 3 ක් පමණ වේ. ළදරු තල්මසා සත්මසක් පමණ මව් කිරි වලින් පෝෂණය වේ. ලාබාල නිල් තල්මසකු දිනකට කිරි ලීටර් 100 ක් පමණ උරා බොයි. ඉතා ශීඝ්‍ර වර්ධන වේගයක් පවතී. දිනකට කිලෝග්‍රෑම් 90 කින් පමණ බර වැඩිවේ.වැඩුණු සතකු ලෙස ප්ලවාංග ආහාරයට ගැනීම අරඹන අවධිය වන විට දිගින් මීටර් 16 ක්ද බරින් ටොන් 23 ක්ද වේ. පැටවාට වේගවත්ව මව් කිරි ලබාදීම හේතුවෙන් මව් සතා වැහැරීමට ලක් වේ. මෙම කාල සීමාවේදී ටොන් 50 කින් පමණ බර අඩු වන බව වාර්තා වී ඇත.නිල් තල්මසා බොහෝ විට හුදකලාව ජීවත් වන සත්ත්වයෙකි. වැඩුණු සතුන් කිහිප දෙනකු එකට ආහාර ගනිමින් සිටිනු දැකිය හැක්කේ කලාතුරකිනි. බොහෝ විට මව් සතා සහ පැටවා ආහාර ගනිමින් සිටිනවා දැකගත හැකිය.
>>>>>

