නුවර පෙරහැරේ වෙස්නැටුම් ශිල්පීන් ගැන ඔබ &#3505

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    නුවර පෙරහැරේ වෙස්නැටුම් ශිල්පීන් ගැන ඔබ &#3505

    නුවර පෙරහැරේ අවුරුදු හැටයි.... විඳින දුක් කන්දරාව කෝටියයි... නුවර පෙරහැරේ වෙස්නැටුම් ශිල්පීන් ගැන ඔබ නොදන්නා කතාව...



    perahara1.jpg
    ලෝකයේ කොතැනක වුවද ශ‍්‍රී ලංකා නාමය පතළ වන්නට ඉවහල් වූ ප‍්‍රමුඛතම සාධකය ඇසළ පෙරහර මංගල්‍යයය. ඇත් ගමන් විලාසයට පාතබමින් පංචතූර්යය නාදය එකලූ කොට රිද්මයානුකූල බෙරපදයට පංචේන්ද්‍රිය ලාලිත්‍යයකට හසුරවමින් ලීලය පාන උඩරට නර්තන ශිල්පියා නොදත් ලෝවැස්සෙක් නැත. දැනට දශක දසකට එපිට සිට පරම්පරා ගතව කරළියට පා තබා ඇති නර්තන ශිල්පියා බෙර වාද්‍ය ශිල්පියා ඇතුළු සියලූ උඩරට කලා ශිල්පීන් දේශීය දායාදයන්ය. නමුත් පාරම්පරික නර්තන ශිල්පීන් අගයමින් ඔවුන්ගේ සේවයට ගෞරවයක් දක්වමින් ඔවුනගේ සිත්සනහා ලන්නට ශ‍්‍රී ලංකා රජයේ සංස්කෘතික අමාත්‍යවරයාට හෝ ඔහු යටතේ ඇති කිසිදු දෙපාර්තමේන්තුවකට මේ තාක් හැකි නොවීම ජාතියේ අභාග්‍යයකි.

    මේ වන විට නර්තන පරම්පරානුගත ප‍්‍රමුඛ පෙළේ ශිල්පීන් වයෝවෘද්ධව ජීවිතයෙන් සමුගෙන සිය කලා පරපුර හීන කරමින් යන්නෝය. හෙළයේ මහා කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය හැඩ කරන්නට දශක පහකට වැඩි කාලයක් දායකත්වය දැක්වූ මෙම කලාකරුවන් බොහෝ දෙනෙකු මෙලොව හැර ගොස් ඇත්තේ කාටත් හොර රහසේය. හරියටම ගහපු බෙරයකුත් නෑ බෙරේ පලූවකුත් නැති ගාණටය.

    නමුත්, මේ හොර රහසේ ම මෙලොව හැර යන්නේ රටේ සංස්කෘතිය දේශීය අනන්‍යතාවය ජාත්‍යන්තරය වෙත ගෙන ගිය ශාස්ත‍්‍රීය සම්පත්ය. මානව සම්පතක් ලෙස ශ‍්‍රී ලංකාව ට දායාද වූ මේ පාරම්පරික නර්තන ශිල්පීන් නොසිටින්නට අද කන්ද උඩරට ඇසළ පෙරහර ලොව විශිෂ්ටතම කලා කෘතියක් වන්නේ ද නැතිය. එහෙත් කිසිවකුගේ ඇගයීමකට ලක් නොවී මහා දුක් කන්දරාවක් සිත් තුළ තබාගෙන මේ පැරැන්නෝ දිවියෙන් සමුගෙන යෑම ජාතියේ අවාසනාවකි.

    දේශීය අනන්‍යතාවය පාරම්පරිකව පවත්වාගෙන ආ මේ පිරිස අතුරින් අද ඉතිරිව ඇති වයෝවෘද්ධ කලා ශිල්පීන් සිය වේදනාව කඳුළු සමග කැටිකොට ඉකුත් දා මුදා හලේ අප ඉදිරියේදීය.

    perahara2.jpg
    මම නුවර පෙරහැරේ අවුරුදු හැටකට වඩා ගමන් කළා. දළදා හේවිසිය වයමින් මම ඇවිද ගෙන ගිහින් තියෙන දුර කිලෝ මීටර දහස් ගාණක්. කවදාවත් මට මහන්සියක් දැනිලා නැහැ. දැන් මට අවුරුදු හැත්තෑ අට යි. අද වෙස් ඇඳුම් කට්ටලේ ඇන්දේ අවුරුදු හතකට පස්සේ. ඉස්සර වගේ දැන් කකුල් වාරු නැහැ. නටන්න අමාරුයි හතිය ටිකක් තියෙනවා. අපි උන්නද මළාද කියලා මේ රටේ කලාකරුවන් ගැන හොයන්න බලන්න කවුරුවත් බලන්නේ නැහැ. ඒ අයගේ වැඬේ කොහොම හරි වෙනවා නම් එච්චරයි. අද මම නැටුවේ අවුරුදු හතකට පස්සේ. ඒ කාලේ කවි තාම මට මතකයි... ආරියදාස ඉහළවෙළ කලාකරුවා එසේ පැවසුවේ ය.

    perahara3.jpg
    ශ‍්‍රී දළදා මාලිගාවේ තේවා හේවිසියේ මුහන්දිරම් පනික්කි ධුරය හෙබවූ ඉහළ පරම්පරාවෙන් පැවැත එන ආරියදාස ඉහළවෙළ කලාකරුවා මෙලෙස සත් වසකට පසු වෙස් ඇඳුම් කට්ටලය අඳිනු ලැබුවේ ඔහු වෙනුවෙන් පැවැත්වූ උපහාර උත්සවයට පැමිණ සිටියවුන් නර්තනයෙන් පමණක් නොව ගායනයෙන් ද පින වීමටය. රජය මැදිහත්ව කළ යුතු දෙයක් වුවද කිසිදා එය ඉටු නොවීම තුළ උඩරට වෙස් නර්තනයේ කෙළ පැමිණියෙකු වූ පීටර් සූරසේන මහතාගේ පුත් සුසන්ත සූරසේන මහතා විසින් මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබිණි. උඩරට පාරම්පරික කලාවන් රැක ගැනීම පිණිස තම ජීවිත කාලයම කැප කරනු ලැබ වයෝවෘද්ධව සිටින කලාකරුවන් ඇගයීම සඳහා ඔහු කටයුතු කර තිබුණේ බලධාරීන් කිසිවකුටත් මෙම වටිනා මිනිසුන්ගේ වටිනාකම නොතේරීම නිසාය. කලාකරුවන් විසින්ම කලාකරුවන් ඇගයීමේ මෙම උත්සවය සංවිධානය කර තිබුණේ මහනුවර අරුප්පල පිහිටි පීටර් සූරසේන එළිමහන් රංග පීඨයේදීය.

    ,මම වෙස් බඳින්න අවුරුදු 12 ක් ඉගෙන ගත්තා. දැන් වගේ අවුරුද්දෙන් දෙකෙන් ඒ කාලේ වෙස් බැන්දේ නැහැ. අද කලාවට වෙලා තියෙන දේ දැක්කම ඇස්වලට කඳුළු එනවා. මම හිතුවේ නැහැ මට නටන්න ශක්තියක් තියෙයි කියලා. වෙස් ඇඳුම ඇන්දම හිතට අමුතු හයියක් ආවා. අද මගේ බිරිඳ, දරුවෝ ඉස්සරහා මට මැරෙන්න කලින් ආයෙත් වතාවක් නටන්න ලැබුණු එක ගැන මට පුදුම සතුටක් දැනෙන්නේ. මගේ පුතා ක‍්‍රිෂාන්ත ඉහළවෙළ. එයා උපාධිධාරියෙක්. දළදා මාලිගාවේ සධාතුක කරඬුව වැඩම වන මංගල හස්ති රාජයා ඉදිරිපිට රැඟුම් දක්වන වෙස් කණ්ඩායමේ ප‍්‍රධානියා එයයි. මගෙන් පස්සේ මේ කලාව ඉදිරියට ගෙනි යන්න කෙනෙක් ඉන්න එක ගැන මට හරි සතුටුයි. ඒ සතුට සමහර අපේ පාරම්පරික කලාකරුවන්ට නැහැ. මොකද දරුවෝ කලාවෙන් ඈත් වෙලා. නියම පිළිගැනීමක් නැතුව කවුද කලාව කරන්නේ. ඒ අය වෙනත් රැකියාවලට යොමු වෙලා. ඒ ආරියදාස ඉහළවෙළ කලාකරුවාගේ අදහස්ය.

    උඩරට වෙස් නර්තනයේ ආරම්භය පඬුවස්දෙව් රජ සමය දක්වා ඈතට දිවයයි. වෙස් නැටුම මෙරට ජන සමාජයට එක්වීම සිදුව ඇත්තේද අපූරු ආකාරයටය. අමනුෂ්‍ය දෝෂයකට ලක්වූ රජුට ශාන්තිකර්මයක් කිරීමට මලය රට සිට තුන් කට්ටුවක් පැමිණ තිබේ. ගැයුම්, වැයුම් හා නැටුම් එක්ව සිදුකළ ශාන්ති කර්මය (කොහොඹා කංකාරිය) අවසානයේ රජුගේ අමනුෂ්‍ය දෝෂය තුරන්ව ගොස් සුවය ලැබ තිබෙන බව ජනප‍්‍රවාදයේ එයි. මලය රජුගේ සර්ව අභරණවලින් අඩකින් සමන්විත වූ වෙස් ඇඳුම් කට්ටලය ඇඟලා සිදු කරන වෙස් නර්තන කලාව ශ‍්‍රී ලංකාවේ තෝරාගත් ජන කොටසකට දායාද කළ බව ඉතිහාසයේ දැක්වෙයි. පසුව අමුණුගම, තිත්තපජ්ජල, නිත්තවෙල සහ තල්ගහගොඩ යන කන්ද උඩරට නර්තන පරම්පරා හතර කේන්ද්‍ර කර ගනිමින් වෙස් නැටුම ගොඩනැගුණි. හපුගොඩ, මාලගම්මන, ඉහළවෙළ, මොලගොඩ, යකාවෙල ආදි වශයෙන් තවත් පරම්පරා ගණනාවක් ඊට සම්බන්ධව ගොඩ නැගී තිබේ.

    perahara4.jpg
    රජවරුන් ගෙන් ලද නොයෙක් වරප‍්‍රසාද හමුවේ බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ තම දැනුම විහිදුවා ගනිමින් පරම්පරාවෙන් පරම්පරාවට නැටුම්, ගැයුම් හා වැයුම් පවත්වා ගෙන ආ උඩරට පාරම්පරික කලාකරුවන් අද පත්ව සිටින අභාග්‍ය සම්පන්න තත්ත්වයකටය. පරම්පරික කලා පවුල්වල වර්තමාන පිරිස කලාවෙන් ඈත්ව ගොස් වෙනත් රැකියා කරන්නට යොමු වීම නිසා අද එම පරම්පරාවන් ද අභාවයට යන තත්ත්වයක් මතුව තිබේ.

    පාරම්පරික කලා පරපුරුවලට අයත් වයෝවෘද්ධ කලාකරුවන් ඇගයීමේ වැඩසටහනේ නිර්මාතෘ සුසන්ත සූරසේන මහතා මෙසේ ප‍්‍රකාශ කළේය... ,පසුගිය දළදා මාලිගා පෙරහැර මංගල්‍යය අවසන්වූ වෙලාවේ මමත් ඉෂාන්ත ඉහළවෙළ සහෝදරයාත් සාකච්ඡා කළා අපේ මහලූ වයසේ ඉන්න කලාකරුවන් ඇගයීමේ වැඩසටහනක් කරන්න ඕන කියලා. මේ ශිල්පීන් වයසට ගියාට එයාලගේ ඇෙඟ් තියෙන කලාව වයසට යන්නේ නැහැ. ඒක තව තවත් ඔපවත් වෙන්නේ වයසට යන කොටයි. මගේ තාත්තා පීටර් සූරසේන ඒකට හොඳම උදාහරණය. කොහොඹා කංකාරියට ලංකාවේම ප‍්‍රසිද්ධ හපුගොඩ අත්තාට දැන් අවුැරුදු 88 ක්. එතුමා නර්තනයෙන් ඈත් වෙලා හිටියත් දැන් වුණත් නටන්න පුළුවන්. ලෝකයේ වෙනත් රටවල මේ වගේ කලාකරුවන් සලකන්නේ ජාතික වස්තූන් විදිහටයි. අවාසනාවකට අපේ රටේ ඒ පිළිගැනීම මේ අයට ලැබෙන්නේ නැහැ. අපේ රටේ අනන්‍යතාව උඩරට වෙස් නැටුමයි. වෙස් නැටුමක් නැතුව රාජ්‍යය උත්සවයක් පවත්වනවා දැකලා තියෙනවද? ජාත්‍යන්තර නායකයෝ රටට ආවාම වෙස් නැටුම් නටලා තමයි ඒ අයව පිළිගන්නේ. වැඬේ කර ගත්තට පස්සේ අපේ කලාකරුවෝ එන්න ඕන වෙස් පෙට්ටිය අරන් බස්වල. ඕක තමයි ලංකාවේ කලාවේ තත්ත්වය. දේශීය කලාව පෝෂණය කළ හෙළ සංස්කෘතිය ලෝකයට ගෙනගිය කලාකරුවන් උන්නද මළා ද කියලා බලන්න කෙනෙක් නැහැ. වයසට ගිය දේශපාලනඥයින්ට මොන තරම් පිළිගැනීමක් කරනවාද.? නිත්තවෙල ගුණයා ලෝක ප‍්‍රසිද්ධ කලාකරුවෙක්. ඔහු ගැන හදාරන්න විදේශිකයෝ ලංකාවට එනවා. එතුමාගේ සිහිවටනයක් අඩු තරමේ ඔහු ජීවත් වූ මහනුවරවත් නැහැ...

    පීටර් සූරසේන එළිමහන් රංග පීඨය මෙදින කන්ද උඩරට පාරම්පරික කලා පරපුරුවලට අයත් වයෝවෘද්ධ කලාකරුවන්ගේ දක්ෂතාවලින් ආලෝකවත් විය. තිත්තපජ්ජල නර්තන පරම්පරාව නියෝජනය කරමින් ටී.වයි. පේ‍්‍රමචන්ද්‍ර සහ සුමනවීර නර්තන ශිල්පීන්ද, එරමුදුගොල්ල නර්තන පරම්පරාව නියෝජනය කරමින් අයි.ජී. සිරිසෝම සහ පේ‍්‍රමදාස ගොහාගොඩ ශිල්පීන්ද, උඩුවෙල නර්තන පරම්පරාව නියෝජනය කරමින් ඕ.පී. කරුණාදාස නර්තන ශිලපියාද, මොලගොඩ නර්තන පරම්පරාව නියෝජනය කරමින් බී.ජී. ජේමිස් මොලගොඩ නර්තන ශිල්පියා ද, යකාවල නර්තන පරම්පරාව නියෝජනය කරමින් විමලසිරි පිහිල්ලදෙණිය නර්තන ශිල්පියාද, මාතලේ කොටඹේ නර්තන පරම්පරාව නියෝජනය කරමින් ඊ.එම්. ජී. සිරිපාල නර්තන ශිල්පියා ද සිය පාරම්පරික කුසලතා රඟ දැක්වූහ.

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය කවුරුත් සලකන්නේ හෙළයේ මහා කලා මංගල්‍යය කියලා. උඩරට පාරම්පරික කලාකරුවන් දහස් ගණනක් මේ පෙරහැරට සම්බන්ධ වෙන්නේ පැරණි රජ දවස රජුගේ නියමය අනුවයි. පෙරහැරට ජීවය කවලා තියෙන්නේ පාරම්පරික කලාකරුවන්. පෙරහැරට ආවේනික නර්තන විලාස තිබෙනවා. ගායන හා වාදන තිබෙනවා. මේවා අතීතයේ සිට පැවත එන්නේ ගුරුකුල හරහායි. මම පෙරහැරේ නටන්න ඕන විදිහ ඉගෙන ගත්තේ තාත්තා එක්ක අවුරුදු 28 ක් පෙරහැරේ නටලා. තාමත් අපි ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාල හා පාසල්වලින් ඉගෙන ගත්ත පලියට පෙරහැරේ නටන්න බැහැ. අපේ පෙරහැර සංස්කෘතිය ආරක්ෂා වෙන්නේ ගුරුකුල වලින්. පෙරහැරට කොහොමද පේ වෙන්නේ, එහි ගමන් කරන්නේ කොහොමද,පෙරහැරේ රසය මොකක්ද කියන දේවල් අලූත් අය දැන ගන්න ඕන. ඒක කරන්න නම් මේ ගුරු කුල ශක්තිමත් කරන්න ඕන. මේ ගුරුකුල හරහා පෙරහැරට ශිල්පීන් එකතු කෙරෙන වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන.. සුසන්ත සූරසේන මහතා ප‍්‍රකාශ කළේය.

    පීටර් සූරසේන මහතා අදහස් දක්වමින් මෙසේ කීවේය... ,මට දැන් අවුරුදු 78 ක් වෙනවා. දැන් අවුුරුදු තුන හතරක් පෙරහැරේ ගියේ නැහැ. අපි පෙරහැර කාලෙට මස් මාළු කන්නේ නැතුව පේ වෙනවා. ඒ තරම් ගෞරවයකින් තමයි ඒ රාජකාරිය කළේ. පෙරහැර බලාගෙන ඉන්න කොට අනිත් අය නටනවා දැක්කම ඇඬෙන නිසා මම පෙරහැර බලන්න යන්නේ නැහැ. ගෙදරට හේවිසි සද්දේ ඇහෙනවා. ඒ හඬට කන් දෙනකොට ඇස්වලට දන්නෙම නැතුව කඳුළු එනවා. අපි මේ කලාව රැක්කේ දරුවන්ටත් වඩා ආදරෙන්. ආවාට ගියාට වෙස් බැන්දේ නැහැ. අද පාසල්වල එකවර පනහ හැටකට වෙස් බඳිනවා. දැන් මේක ව්‍යාපාරයක් වෙලා. නවකයින් තුළ පැරණි දැනුම නැහැ. ඒ අඩුකම ඔවුන්ගේ වැඩවලින් පේනවා. මගේ දරුවෝ මුල් වෙලා මේ කරන වැඬේ ඉතා හොඳ දෙයක්. මගේ සමකාලීනයන් මෙතනදී මුණ ගැහුනම වෙනම සතුටක් දැනෙනවා. අපි කලාවට බොරු කළෙත් නැහැ, බොරුවට කලාව කළෙත් නැහැ.

    මහනුවර සරසවි උයන මහ විදුහලේ නර්තනාචාර්ය ඉෂාන්ත ඉහළවෙළ මහතා තම පියාට හිමිවූ උපහාරය සම්බන්ධයෙන් මෙසේ විස්තර කළේය... මේ උපහාරය හිමිවුණේ ශිල්පියෙකුට විතරක් නොවේ ඔහු නියෝජනය කරන කලා පරපුරටමයි. පාරම්පරික දේශීය කලාව වෙනුවෙන් උතුම් සේවාවක් කළ ශිල්පීන් සොයා ගොස් ඔවුන්ගේ දක්ෂතා අගයා සම්මාන ප‍්‍රදානය කිරීම රාජ්‍යය අනුග‍්‍රහය ඇතිව කළ යුතු දෙයක් වුණත් එවැන්නක් සිදු වන්නේ නැහැ. දළදා වහන්සේගේ රාජකාරී සඳහා රජු විසින් පත්කළ තනතුරු දෙකක් ගැන ඉතිහාසයේ කියවෙනවා. එකක් දියවඩන නිලමේ ධුරය. අනික තේවා කටයුතුවලට සම්බන්ධ හේවිසි පූජාව. දළදා මාලිගාවේ හා ශ‍්‍රී මහා බෝධියේ හේවිසි පූජා කටයුතු අපේ පරම්පරාවටත් භාරව තිබුණා. සිරිපිනා ඉහළවෙළ මගේ සීයා. එතුමා දළදා මාලිගාවේ ප‍්‍රධාන මොහන්දිරන් පනික්කි ධුරය දැරුවා. හරමානිස් ඉහළවෙළ, සිරිපිනා ඉහළවෙළගේ සහෝදරයා. දක්ෂ නර්තන ශිල්පියෙක් වන එතුමා ගෙන් තමයි අපේ තාත්තා නර්තනය ඉගෙන ගත්තේ. පරම්පරා ගණනාවක් පවත්වා ගෙන ආ කලාවේ සාම්ප‍්‍රදායික ලක්ෂණ නූතන වාණිජ කරණය තුළ දවසින් දවස විනාශයට ලක් වෙනවා. විෂය මාලා තුළින් පමණක් දක්ෂ නර්තන ශිල්පියෙකු බිහි කරන්න බැරි බව මම අත්දැකීමෙන් දන්නවා. මෙලෙස බිහිවන අයට කලාවේ සාම්ප‍්‍රදායික ලක්ෂණ ආරක්ෂා කර ගන්න ඕන කියන හැඟීම නැහැ.

    දේශීය පාරම්පරික කලාවන්ගේ අගය මෙරට පාලකයින්ට හා බලධාරීන්ට නොපෙනුන ද ඒවා දිවි හිමියෙන් සුරැකීමට කැපවන විදේශීය ජාතිකයෝ සිටිති. ජපන් ජාතික ඩයිසුකේ හයාෂි එවැන්නෙකි. පාරම්පරික කලාවන් මෙතෙක් කල් රැක ගැනීමට කැපවූ වයෝවෘද්ධ කලාකරුවන් ඇගයීමේ වැඩ සටහනට ප‍්‍රාණය ලබා දෙන්නේ ඔහු විසිනි. වසරක් පුරා මේ සඳහා අනුග‍්‍රාහකත්වය ලබා දීමට කැමැත්ත පළ කර තිබෙන ඔහු ඒ පිළිබඳ මෙසේ විස්තර කළේය... ,උඩරට නර්තනය ඉතිහාසය අධ්‍යයන කිරීමේදී ඒ තුළ රෝග සුව කිරීමේ බලි, ශාන්තිකර්ම ආදියද දක්නට ලැබෙනවා. මේ වනවිට ලංකාවට අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායමක ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මම හිතන්නේ මේ ප‍්‍රශ්නවලටත් පාරම්පරික නර්තන කලාව හා බැඳුණු ශාන්තිකර්මවලින් සහනයක් ලබා ගැනීමට පුළුවන්. අපේ රටවල පාරම්පරික දැනුම ඇති ශිල්පීන්ට මහත්වූ ගෞරවයකින් සලකනවා. ශ‍්‍රී ලංකාව තුළත් එවැනි වැඩපිළිවෙළක් මේ ආකාරයෙන් ක‍්‍රියාත්මක කිරීම මම අගය කරනවා.

    උඩරට පාරම්පරික කලා පරපුරවලින් පැවත එන සම්ප‍්‍රදායික දැනුම් ගබඩාවන් වැනි වයෝවෘද්ධ කලාකරුවන් මෙරට තුළ දැනට ජීවත්ව සිටිනුයේ තිස් දෙනෙකුටත් අඩු සංඛ්‍යාවකි.ඔවුන්ගේ ජීවිත කතාව තුළ මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ මහා ඉතිහාසියක් ලියවී තිබෙන්නේය. එම ඉතිහාසයද සමඟ ඔවුන් වළදාන මොහොතට පැමිණ ඔවුන්ගේ ගුණ ගායනා කිරීමට බලා නොසිට දැන් හෝ වගකිව යුතු බලධාරීන් ඔවුන් පිළිබඳ සොයා බලන්නට උනන්දු වන්නේ නම් එය දේශීය නර්තන කලාවේ අනාගතය වෙනුවෙන් කරන්නා වූ ආයෝජනයක් වනු ඇත.


    සමන්තී වීරසේකර
    divaina
     
    Last edited:

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    පීටර් සූරසේන මහතා අදහස් දක්වමින් මෙසේ කීවේය... ,මට දැන් අවුරුදු 78 ක් වෙනවා. දැන් අවුුරුදු තුන හතරක් පෙරහැරේ ගියේ නැහැ. අපි පෙරහැර කාලෙට මස් මාළු කන්නේ නැතුව පේ වෙනවා. ඒ තරම් ගෞරවයකින් තමයි ඒ රාජකාරිය කළේ. පෙරහැර බලාගෙන ඉන්න කොට අනිත් අය නටනවා දැක්කම ඇඬෙන නිසා මම පෙරහැර බලන්න යන්නේ නැහැ. ගෙදරට හේවිසි සද්දේ ඇහෙනවා. ඒ හඬට කන් දෙනකොට ඇස්වලට දන්නෙම නැතුව කඳුළු එනවා. අපි මේ කලාව රැක්කේ දරුවන්ටත් වඩා ආදරෙන්. ආවාට ගියාට වෙස් බැන්දේ නැහැ. අද පාසල්වල එකවර පනහ හැටකට වෙස් බඳිනවා. දැන් මේක ව්‍යාපාරයක් වෙලා. නවකයින් තුළ පැරණි දැනුම නැහැ. ඒ අඩුකම ඔවුන්ගේ වැඩවලින් පේනවා. මගේ දරුවෝ මුල් වෙලා මේ කරන වැඬේ ඉතා හොඳ දෙයක්. මගේ සමකාලීනයන් මෙතනදී මුණ ගැහුනම වෙනම සතුටක් දැනෙනවා. අපි කලාවට බොරු කළෙත් නැහැ, බොරුවට කලාව කළෙත් නැහැ.

    රටක් වටින මිනිස්සු ............. අගයක් නෑ ..........මේ මිනිස්සු පෙරහැරේ නටනව දැක්කම පුදුම හැගිමක් එනේ.......