නෝදාහරණ ගැටලුව, පවුල් කෑම සහ The Intern

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    Note- meka FB eke dakala gedi pitin ussala daapu post ekak. Kamathi un balapalla akamathi un nikan hitapalla.

    814pY3n2PRL._AC_UF1000,1000_QL80_.jpg
    මේ සටහන කියවන ඔබ පිරිමියෙකුද? මං කියන්නේ උපතේදී ඔබට ආරෝපණය කළ ලිංගය ‘පිරිමි’ යන්නද? ඔබ සමාජ ජීවිතයේදී ඔබව හඳුනා ගන්නේ පිරිමි යන සංඥාවෙන්ද? එහෙම නම් මං ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්? ඔබ සූදානම්ද, බිරිඳ උපයන දෙයින් ජීවත් වෙන්න? අඩේ, ඒ මොන ලැජ්ජ නැති වැඩක්ද, ඒක පිරිමකමට නිගාවක්නේ කියා ඔබට හිතුණා නම්, මේ සටහන අන්තිම වෙනකං කියවන්න.

    2015 කියන්නේ මට ඉතා සුවිශේෂී වසරක්. ඒ මගේ නිමාලි මට චූටි විමෝක්ෂාව ගෙන දුන් වසර. දරුප්‍රසූතිය වෙලාවේ මට ලංකාවේ ඉන්න බැරි වුණා. ඒ මං මගේ ශාස්ත්‍රපති කටයුතු අග හිටපු නිසා. විභාග කටයුතු ඉවර වුණු වහාම ප්‍රතිඵල ගන්නවත් මං හිටියේ නැහැ, ඉක්මනට ලංකාවට ආවා. ඒ කාලෙදිම තමා The Intern තිරගත වුණේ. මං බලන්න ඕනේම කියා සිටියත්, මට ඒක මඟ හැරුණා. ඒ විතරකුත් නෙවේ, බලන්න ඕනේ කියන අදහස පවා කාලයත් සමග අමතක වුණා. ළඟදි තමා බැලුවේ. ඒක ජීවිතයේ වෙනම මානයක් ගැන කියා දෙන චිත්‍රපටයක් කියා මට තේරුණේ එතකොට.

    නැන්සි මේයර්ස් ලියා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රොබට් ඩි නීරෝ සහ ඈන් හාතවේ. බැලූ බැල්මටම මෙය හාස්‍යොත්පාදක චිත්‍රපටයක් කියා හිතුණත්, ඒක ඊට වඩා ගැඹුරු ජීවිත කියවීමක්.

    චිත්‍රපටය කියවීමට පෙර ඔබ දැන ගත යුතු මූලික කරුණු කීපයක් තියෙනවා. එයින් පළමු එක තමා නෝදාහරණ ගැටලුව.

    නෝදාහරණ ගැටලුව කියන්නේ සංස්කෘතිය තුළ මුල් බැසගත් යම් චින්තනයට හෝ සම්ප්‍රදායයකට හෝ විරුද්ධව යමක් හිතන්න තියෙන අපහසුතාව, එහෙම නැත්තං මානසික දුබලතාව. මේක ඇතැම්විට ප්‍රධාන ප්‍රවාහයෙන් පිට හිතන්න බැරි වීම කියා ගන්නත් පුළුවන්. හැබැයි ‘පෙට්ටියෙන් පිට’ හිතනවා කියන දේම නෙවේ මං මේ කියන්නේ.

    මං උදාහරණයක් සමග පැහැදිලි කරන්නම්. හිතන්න, පාසලේ පවත්වපු සාහිත්‍ය සමිතියේ ඉඳල ගමේ මරණාධාර සමිතිය දක්වා හැම තැනකම ඔබ දකින්නේ සභාපති පිරිමි, ලේකම් ගැහැනු යන භූමිකා කියල. යම් දවසක කිසියම් සමිතියක සභාපතිකම ගැහැනු කෙනෙකුට දීලා ලේකම්කම පිරිමි කෙනෙකුට දුන්නාම ඔබ මවිත වෙනවා, ඒක හරි නැහැ නේද වගේ පොඩි අපුලක් දැනෙනවා, ගෑනුන්ට සභාපතිකම් කරන්න බැහැ වගේ පොඩි අදහස් කීපයක් ඔළුවට රිංගනවා. ඔබ නිකමටවත් හිතුවද ඔබට එහෙම හිතෙන්නේ ඔබට ඒ පිළිබඳ හිතාගන්න උදාහරණ නොතිබුණ නිසා කියල. නෝදාහරණ ගැටලුව (problem of having no examples) කියන්නේ අන්න ඒක.

    මේක මේ වගේ පොඩි දේවලට විතරක් නෙවේ. සමස්ත මානව චින්තනයට දැඩි සේ බලපාන ප්‍රශ්නයක්.

    හිතන්න අපි දන්න ආදරකතා ගැන. හැම තැනම ඉන්නේ කෙල්ලයි, කොල්ලයි. පුංචිකාලේ අහපු සාලිය-අශෝකමාලා වගේ කතාවල සිටම නූතන රෝමාන්තික නවකතා ගත්තත්, චිත්‍රපට, ටෙලිනාට්‍ය ගත්තත් හැම තැතනම ඉන්නේ කෙල්ලයි කොල්ලයි. ඉතිං මේ කෙල්ලයි කොල්ලයි පණවගේ ආදරය කරල කසාද බැඳල වයසට යනකොට මොකද වෙන්නේ. ‘ඉන්පසුව ඔවුහු සතුටින් කාලය ගතකළහ’ කියල කතාව ඉවර කළාට බුදු අම්මෝ.. ඒක මොන තරම් දීර්ඝ කාලයක්ද? ආදරය කළේ වසර තුනයි, හතරයි නැත්තං පහයි. කසාද බැඳල අවුරුදු 20ක් 30ක් 40ක් එකට ඉන්න ගියාම ආදරය කරන්නේ කොහොමඳ? ඒක එපා වෙන්නැද්ද? අපේ ඔළුවට චිත්‍රයක් එන්නේ නැහැ. මොකද අපට උදාහරණ නැහැ. උදාහරණ තිබුණත් අපි සමහර විට ඒවා අහල නැහැ. ඉඳල හිටල එහෙම ජීවත් වෙන පවුල් ගැන අහල තිබුණත් කොහොමද එහෙම වෙන්නේ කියල විස්තර කියන්න දන්නේ නැහැ. නෝදාහරණ ගැටලුවේ ස්වභාවය ඒකයි.

    මේ කතාව තවත් සංකීර්ණ තැනකට ගෙනියන්නම්. හිතන්න ඔබ දන්න හැම ආදරකතාවකම ඉන්නේ කොල්ලයි කෙල්ලයි. එහෙම තියෙද්දි, ඔබට දැන ගන්න ලැබුණොත් කොල්ලන් දෙන්නෙක් හරිම ආදරයෙන් පවුල් කනවා කියා, නැතිනම් කෙල්ලන් දෙන්නෙක් හරිම ආදරයෙන් ජීවත් වෙනවා කියා, ඔබට මොකද හිතෙන්නේ? ඒක ඔළුවට බෝම්බයක් ගැහුව වගේ. ඇයි? එහෙම උදාහරණයක් ඔබ අත්විඳල නැහැ. එහෙම ජීවත් වෙන්න පුළුවන් කියා ඔබ දන්නේ නැහැ. ඒ නිසා ඔබට ඒක මොනවගේද කියා චිත්තරූප මවා ගන්න අමාරුයි. සරලවම ඔබට උදාහරණ මතකයට එන්නේ නැහැ.

    දැන් ඔබට තේරෙනවා ඇති උදාහරණ නැතිකම මානව චින්තනයට මොනතරම් බලපෑමක් එල්ල කරනවාද කියා.

    දැන් මං හැරෙන්නම් මගේ සටහනේ දෙවැනි කාරණයට. ඒ තමයි පවුල්කෑම.

    මේ නෝදාහරණ කතාවයි පවුල්කෑමයි අතර තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. මොහොතකට පවුල් කෑම අමතක කරල ඔබ තදින් පීඩා වින්ද මානසික ගැටලුවක් ගැන හිතන්න. මං උදාහරණයකට ගන්නම් කේන්ති යාම. එක්තරා පුද්ගලයෙකු ඉන්නවා, ඔහුට ලේසියෙන් කේන්ති යන්නේ නැහැ. කලාතුරකින් තමා කේන්ති යන්නේ. හැබැයි එදාට හැසිරෙන්නේ අමුම අමු තිරිසනෙකු විදිහට. කෑ ගහනවා, බණිනවා, බඩුමුට්ටු පොළොවෙ ගහනවා. බිත්තිවලට හයියෙන් ගහනවා. ඉතිං මේ හැසිරීම පවුලේ ඉන්න අනිත් අයට කරදයක්. ඒ විතරකුත් නෙවේ, ඒ පුද්ගලයාත් පසුව ඉතාම කණගාටුවට සහ මනස්තාපයට පත්වෙනවා තමුන්ගේ හැසිරීම ගැන. කොටින්ම කියනවා නම් තමුන් කිසි කමකට නැති ජීවිතය පිළිබඳ කිසි අවබෝධයක් නැති මෝඩ පුද්ගලයෙකු කියා තමුන් ගැනම හිතා ගන්නවා. මේ පුද්ගලයා මානසික ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමු කරනවා. එතකොට වෛද්‍යවරයා කියනවා, ‘ඔයා ඕක ගැන එච්චර හිතන්න එපා. නිතර කේන්ති නොගෙන සිතුවිලි හිර කරගන්න පෞරුෂයක් තියෙන කෙනෙකුට ඒක දරා ගන්න බැරි එක තැනකදි පුපුරා යනවා. එතකොට එයා හැසිරෙන්නේ ඔය වගේ තමා. මගේ ළඟට ඔය ලක්ෂණයම තියෙන තව ගොඩක් අය ඇවිත් තියෙනවා.’ මෙන්න මේ වචන ටික අර මුලින් කී පුද්ගලයාට මාරම සැනසීමක්. ඒ තමුන්ගේ කේන්තියට ප්‍රතිකාරයක් ලැබුණ නිසා නෙවේ, එහෙම හැසිරෙන එකම කෙනා තමුන් නොවන බව දැන ගැනීමයි ඒකට හේතුව. මෙන්න මෙහෙම තමා මේ උදාහරණ ගැටලුව ජීවිතයට බලපාන්නේ.

    පවුල් කන මිනිසුන්ගේ පවුල් අවුල් වෙන්න බලපාන එක වැදගත් සාධකයක් තමා, ‘සතුටින් දිවි ගෙවන්නේ කොහොමද’ කියා තව එකෙකුගේ පවුල් ජීවිතයක් දිහා බලලා, එහෙම නැත්තං බණකතාවක් කියවල, හාමුදුරුවන්ගෙන් බණ අහල, එහෙමත් නැත්තං නවකතාවක් හෝ වෙනත් නිර්මාණයක් බලල උදාහරණ හොයන්න යාම.

    පවුල් ජීවිතයක් ගත කරන්නේ එකිනෙකට වෙනස් මිනිසුන් දෙන්නෙක්. ඒ දෙන්නා කවමදාකවත් එකවගේ වෙන්නේ නැහැ. එහෙම වෙන්න ඕනෙත් නැහැ. හැබැයි එකට ජීවත් වීමේදී ඔවුන්ගේ වෙනස්කම් එකට ගළපාගෙන එක සම්මතයකට එන්න ඕනේ. එහෙම ගොඩනඟන සම්මත කවමදාකවත් තව සම්මතයක් සමග සසඳන්න බැහැ. කොටින්ම කිව්වොත් හැම පවුලක්ම අනන්‍යලක්ෂණවලින් යුක්ත පවුලක්. ඒවා අනෙක් පවුල් සමග සසඳල තේරුම් ගන්න බැහැ. කොටින්ම කසාද බැඳපු දෙදෙනෙක් එකට ජීවත් වෙනකොට කොහොමද ජීවත් වෙන්න ඕනේ කියා තීරණය කරන්න ඕනේ උන් දෙන්නා. නැතිව කාගේවත් උදාහරණවලට අනුව තමුන්ගේ ජීවිතය හදා ගන්න ඕනේ නැහැ.

    මේ කතා කළේ පූර්ව දැනුම ගැන. දැන් චිත්‍රපටයට යමු.

    චිත්‍රපටයට පාදක වෙන්නේ මං අර මුලින් කීවා වගේ අපට නිතර හමු නොවන මාදිලියේ උදාහරණයක්. ඉතා සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් ඉන්නවා. ඒ තමයි ජූල්. ජූල් කොයිතරම් ව්‍යාපර කටයුතුවලට දක්ෂද කියනවා නම් ඇය අවුරුදු පහක ව්‍යාපර ඉලක්ක මාස 11කින් සම්පූර්ණ කරගෙන තියෙනවා. ජූල්ගේ මේ හැකියාව තේරුම් ගන්න මැට්, ඒ කියන්නේ ඇයගේ සැමියා, තමුන්ට තිබුණු ඉතා හොඳ රැකියාවෙන් ඉවත් වෙලා ගෙදර නවතිනවා ජූල්ට එයාගේ කටයුතු කරගෙන යන්න අවස්ථාව දෙන්න. ජූල් හැමවිටම මේ ගැන ඉතා ඇගයීමෙන් කතා කරනවා. මේ දෙන්නට ඉන්නවා පේජ් කියල ලස්සන චූටි දුවක්. ඉතිං මේ චූටි දුවගේ වැඩ කටයුතු කරගෙන, ගෙදර උයන පිහන, රෙදිසෝදන ආදි සියලු වැඩ කරගෙන ඉන්නේ මැට්. ජූල් තමා හැමදාම උදේ ගිහිං තමුන්ගේ ආයතනයේ වැඩ කරල රෑවෙලා ගෙදර එන්නේ. සරලවම කියනවා නම්, අප දන්න සාම්ප්‍රදායයික පවුලක තියෙන සැමියා, බිරිඳ කියන භූමිකා දෙක සම්පූර්ණයෙන්ම අනෙක් අතට මාරු වෙලා තියෙන්නේ.

    දැන් මං ඔබෙන් මෙහෙම අහන්නම්. සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම ගැහැනියක් ඉන්නවා කියන කතාව ඔබ අහල තියෙනවා නේ. එහෙම වෙන්නේ, සම්ප්‍රදායය, ආර්ථිකය, ඇතැම්විට ආගම ආදි සෑම අංශයකින්ම ඒ සඳහා ඉඩ දීලා තියෙන නිසා. ඒක අනුමත කරන නිසා. ගැහැනිය, තමුන්ගේ සැමියාට ආදරය කරන නිසා ඒ සංස්කෘතික වගකීම ඉතා ආදරයෙන් වැළඳගන්නවා. ඒ සංස්කෘතිය හෝ වෙනත් දෙයකට ඇති බය නිසා නෙවේ. තමුන්ගේ සැමියට තියෙන ආදරය නිසා. මං මේ කතාව පටන් ගත්තේ ඔබ පිරිමියෙකුද කියන ප්‍රශ්නය මතු කරමින්නේ. දැන් හිතන්න, ඔබ ඔබේ බිරිඳට අතිශයින් ආදරෙයි. ඇය ඉතා දක්ෂතාවලින් පිරුණු කාන්තාවක්. ඇයට අත දුන්නොත් සෑහෙන දුරක් යන්න පුළුවන්. ඔබ සූදානම්ද මැට් කළා වගේ ගෙදර නතර වෙලා, බිරිඳව රැකියාවට යවන්න. නැතිනම් ඇය කරන කිසියම් වෘත්තියක් වෙත යොමු කරන්න? දැන් ඔබේ හිතට නානාප්‍රකාර සිතුවිලි එනවා නම්, මගේ අම්මව මතක් කරල මට බණින්න හිතෙනවා නම්, තේරුම් ගන්න ඔබ මුහුණ දීලා තියෙන්නේ නෝදාහරණ ගැටලුවට.

    මෙතැනදි හොඳින් තේරුම් ගන්න ඕන දෙයක් තමා, විවාහ ජීවිතයේදී උස්-පහත් කියා චරිත නැහැ. දෙන්නම එකිනෙකාට සමානයි. ‘මං මේ බිරිඳගෙ සල්ලිවලින් කාල බීල ඉන්නෙ’ වගේ ගොං කතා එතනදි අදාළ නැහැ. අදාළ වෙන්නේ එකිනෙකා තමුන් ගැන මොන තරම් අවබෝධයකින් පසුවෙනවා ද යන්න විතරයි.

    චිත්‍රපටය මෙතැනින් නතර වෙන්නේ නැහැ. ජූල් ව්‍යාපාරික කාන්තාවක් වශයෙන් අතිශය සාර්ථක වෙන අතරම බිරිඳක් වශයෙන් අසාර්ථක වෙනවා. ඇයි ද කියනවා නම්, මැට් ආදරබර සැමියෙකු වශයෙන්, පියෙකු වශයෙන් ඔහුගේ වගකීම් ඉටුකරන අතරම ජූල්ගෙන් ඔහුට ලැබිය යුතු යම් ‘යම් දෙයක්’ නොලැබෙන බව තේරුම් ගෙන අනියම් සම්බන්ධයක් පවත්වන්න පටන් ගන්නවා.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    මට මුලදි හිතුණා මෙය විය යුතුයි කතාවේ උද්වේගකර අවස්ථාව කියා. ඇත්තටම ඒක නෙවේ. මෙතැන, මේයර්ස් කරන්නේ සාම්ප්‍රදායික පුරුෂවාදී චෝදනාවක් කනපිට ගහල ඇසීම. කොටින්ම කියනවා නම්, පිරිමි චෝදනාවක් ගැහැනු හඬකින් මතුකිරීම. මැට්ට මඟ හැරුණු, නොලැබුණු ඒ යම් දෙය මොකද්ද කියා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ චෝදනාව හරියට තේරුම් ගත්තොත් විතරයි. ඒ මෙහෙමයි.

    එක්තරා පිරිමියෙකු හිතනවා,
    මං රස්සාවක් කරනවා කියල විනෝද වෙන එක නෙවේ කරන්නේ. මං මුළු ජීවිතයම කැප කරල තියෙන්නේ පවුල වෙනුවෙන්. මං ගෙදරට අවශ්‍ය හැමදේම සපයනවා. බිරිඳ ඉල්ලන ඕනෑ දෙයක් ගෙනත් දෙනවා. ඇයට තියෙන්නේ ගෙදරට වෙලා දරුවාව බලාගෙන ඉන්න. මං මගේ පැත්තෙන් වෙන ඕන හැම යුතුකමක්ම කරද්දිත් මේ ගෑනි වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් පවත්වල නේ.

    මේයර්ස් කියන්නේ නැහැ, මේ චෝදනාව බොරු කියල. ඇය කියන්නේ, මේ චෝදනාව පිටුපස තියෙන පිරිම හඬ බොරුවක් කියලා. යම් හෙයකින් කාන්තා, පිරිමි භූමිකා වෙනස් වුණොත් මේ චෝදනාවම ගෑනු හඬකින් අසන්න පුළුවන් කියන කතාවයි ඇය මෙතැන මතු කරන්නේ.

    කාන්තාවන් සහ පිරිමින් අනියම් සම්බන්ධතාවලට පෙළෙඹීම පිටුපස තියෙන සංකීර්ණ මානසික ක්‍රියාවලිය ගැනත් ඒවගේ වෙලාවකදී තමුන්ගේ පවුල් ජීවිතය බේරා ගන්නේ කොහොමද වගේ කරුණු ගැනත් මං වෙලාව තිබුණොත් වෙනම ලියන්නම්. (හැබැයි පොරොන්දු වෙන්න බැහැ.) දැනට චිත්‍රපටයට පමණක් අදාළව කියන්නම්. අවධාරණයෙන් කියන්නේ, ජූල් සහ මැට් කියන්නේ වෙනම පවුලක්. තවත් එක උදාහරණයක්. නැතිව ඔබේ ජීවිතයට ගත යුතු පරම ආදර්ශය නෙවේ.

    සැමියා, බිරිඳ කියන ලිංගවාචී වචන අයින් කළොත්, ආදරයෙන් ජීවිතය එකිනෙකා සමග බෙදා ගන්න දෙන්නෙකු තුළ තිබිය යුතුම අනිවාර්ය ලක්ෂණයක් තමා තමුන්ගේ ජීවිතයේ එක්තරා කොටසක වැදගත් භූමිකාවක් තමුන්ගේ අනෙකා වෙත පවරා තිබීම. යම් රැකියාවක, විශේෂිත ව්‍යාපෘතියක, කලා කටයුත්තක නිරත වෙලා ඉන්න බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමා, තමුන් කරන දේ ගැන අනෙක් කෙනාට එච්චර අවබෝධයක් නැහැ කියා සිතීම. ඇත්ත, ඔබ කලාකරුවෙකු නම්, කලාව පිළිබඳ ඔබට තරම් දැනුමක්, කියවීමක් ඔබේ ජීවන සහකරුට නැතිවෙන්න පුළුවන්. සමහර විට කියන්න හැදුවට එයාට තේරුම් ගන්නත් අමාරු වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී දෙන්න අතින්ම වරදක් සිදුවෙනවා.

    හිතන්න, යම් වෘත්තියක නිරත වෙන තැනැත්තා ඔබ කියල. කාලයත් සමග ඔබ හිතන්න පෙළෙඹෙනවා, ඔබේ වෘත්තීය කටයුතු ගැන ඔබේ අනෙකා සමග කතා කරල තේරුමක් නැති නිසා, ඒවා එයාගේ ඔළුවට දාන්න හොඳ නැහැ කියා. සමහර විට ආදරයට මේක කරන්න ඉඩ තියෙනවා. වෘත්තිය පරිසරයේ තියෙන අධික මානසික පීඩනය තමුන්ගේ අනෙකා මතට දාලා එයාවත් විඳවන තත්ත්වයට ගේන්නේ නැතිව, තමුන් විතරක් ඒ බර දරා ගත යුතුයි වගේ හැඟීමක් ඇති වෙන්නත් පුළුවන්.

    අනෙක් අතට, ඔබේ අනෙකාට හිතෙන්න පුළුවන් තමුන් කළ යුතු හොඳම දේ ඔබේ වැඩ කටයුතුවල ඇඟිලි ගහන්නේ නැතිව තමුන්ට පැවරුණ කටයුත්ත විතරක් කරගෙන සිටීම නිවැරදි ක්‍රමය කියා. ඇත්තටම මේ දෙකම වැරදි අවබෝධයන්. මේකෙන් වෙන්නේ, කාලයත් සමග ඔවුන්ගේ ජීවිත එකිනෙකට වෙනස් ලෝක දෙකක් බවට පත්වීම. ඔවුන් එක ගෙදර ජීවිත දෙකක් ගතකරන තත්ත්වයට පත් වෙනවා.

    ජූල්ට සිද්ධ වෙන්නෙත් මේක. ජූල් තමුන්ගේ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිලධාරියා. ඉතිං ජූල්ට එතැන වැඩ කරන සුළු සේවකයාගේ සිට ඉහළ කළමනාකාරිත්වයේ සිටින නිලධාරීන්ගේ ප්‍රශ්නවලටත් ඇහුම්කන්න දෙන්න වෙනවා. ඒවා ඇතැම්විට වෘත්තීමය ගැටලු. ඇතැම්විට ඒ අයගේ පෞද්ගලික ප්‍රශ්න. ඇතැම්විට මානසික ප්‍රශ්න. ඒ කුමක් වුවත් ජූල්ට ඒවා දරාගන්නත් ඒවාට මුහුණ දෙන්නත් වෙනවා. නැතිනම් ඇගේ ව්‍යාපරය සාර්ථක කරගන්න බැහැ. මේ නිසා, ජූල් කැමති නැහැ තමුන්ගේ සැමියත් තමුන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන කෙනෙකු වෙනවාට. ඉතිං හැම කාර්යබහුල පුද්ගලයෙකුම කරන මෝඩ වැඩේ ජූල් කරනවා. ඒ තමයි, තමුන්ගේ ප්‍රශ්න මැට්ට කිව්වොතින් එයත් එයාගේ ප්‍රශ්න තමුන්ට කියාවි කියා හිතලා, තමුන්ගේ ව්‍යාපර කටයුතුවල ගැටලු, මතුවෙන ආවේග සියල්ල ව්‍යාපාරය තුළම විසඳගෙන ඉන්න කල්පනා කරනවා. ඇයට පෞද්ගලික ලේකම් - පිරිමි - කෙනෙක් ඉන්නවා. ඇය සියලු ආවේග, ප්‍රශ්න බෙදා ගන්නේ ඔහු සමග. තමුන්ගේ සැමියට වද දෙන්න හිතන්නේ නැහැ.

    ඇත්තටම විය යුත්තේ එය නොවේ. කොයි තරම් අසීරු වුණත්, තමුන්ගේ වෘත්තීය ජීවිතයේ අනිවාර්ය කොටසක් තමුන්ගේ ජීවන සහකරුට ඉතිරි කරන්න. තමුන්ගේ බරපතලම මානසික ආතතිය පිට කරන තැන තමුන්ගේ ලේකම් නොවී තම සහකරු කරගන්න. උත්තරය තියෙන්නේ එතැන. ‘මං කියන දේ මගේ වයිෆ්ට තේරෙන්නැහැ’ කියන්න එපා. තේරෙන විදිහට කියා දෙන්න බලන්න. ඇයගෙන් ඉල්ලන්න ඒ පිළිබඳ ටිකක් ඉගෙන ගන්න කියා. ‘මේ දේවල් මහත්තයට කියල තේරුමක් නැහැ’ කියල හිතන්න එපා. කියල බලන්න. දෙදෙනාම හොඳට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. මුකුත්ම කියන්න දන්නැතිනම් ඇහුම්කන් දෙන එකත් ලොකු දෙයක්.

    කසාද බැඳපු මිනිසුන් ආදරය කරන්නේ එහෙම.

    බිරිඳට තේ එකක් හදල දුන්නොත් අපායට යනවා කියල හිතං ඉන්න මිනිසුන් ඉන්න රටකට The Intern කියන්නේ න්‍යෂ්ටික බෝම්බයක් ගැහුවා වගේ චිත්‍රපටයක් බව මං දන්නවා. ඒත් මං කැමතියි ඒ බෝම්බය හෙළන්න. විවාහය කියන දේ ගැන වෙනම මානයකින් බලන්න මේ චිත්‍රපටය ලොකු උදව්වක්.

    මං
    බර්ට්‍රම් ජී. ලියනගේ
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මං උදාහරණයක් සමග පැහැදිලි කරන්නම්. හිතන්න, පාසලේ පවත්වපු සාහිත්‍ය සමිතියේ ඉඳල ගමේ මරණාධාර සමිතිය දක්වා හැම තැනකම ඔබ දකින්නේ සභාපති පිරිමි, ලේකම් ගැහැනු යන භූමිකා කියල.

    - කියවන එක මෙතනින් නැවැත්තුවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    2015 කියන්නේ මට ඉතා සුවිශේෂී වසරක්. ඒ මගේ නිමාලි මට චූටි විමෝක්ෂාව ගෙන දුන් වසර. දරුප්‍රසූතිය වෙලාවේ මට ලංකාවේ ඉන්න බැරි වුණා. ඒ මං මගේ ශාස්ත්‍රපති කටයුතු අග හිටපු නිසා. විභාග කටයුතු ඉවර වුණු වහාම ප්‍රතිඵල ගන්නවත් මං හිටියේ නැහැ, ඉක්මනට ලංකාවට ආවා. ඒ කාලෙදිම තමා The Intern තිරගත වුණේ. මං බලන්න ඕනේම කියා සිටියත්, මට ඒක මඟ හැරුණා. ඒ විතරකුත් නෙවේ, බලන්න ඕනේ කියන අදහස පවා කාලයත් සමග අමතක වුණා. ළඟදි තමා බැලුවේ. ඒක ජීවිතයේ වෙනම මානයක් ගැන කියා දෙන චිත්‍රපටයක් කියා මට තේරුණේ එතකොට.
    Spongebob Squarepants Ngapa GIF by The SpongeBob Movie: Sponge On The Run