~ පනාමුරේ ඇත් රාජා ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ පනාමුරේ ඇත් රාජා ~

    තම වර්ගයා වෙනුවෙන් මරණය තෙක් සටන්කළ පනාමුරේ ඇත් රාජා

    ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල කතා බහට ලක්වූ ඇත්ගාල පැවැත්වුණේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්නට නොදුරු පනාමුරේය. පනාමුරය යනු සබරගමුවේ සුපතල මඩුවන්වෙල පරපුර සතු වූ නින්ද ගමකි. 1950 දශකයට එළඹෙන විට පනාමුරය නින්දගම අක්කර 30,000කට වැඩි වපසරියකින් යුක්ත විය. එවකට එහි හිමිකරු වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ (1947-1952) කථානායකවරයා වූ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාය. නින්ද ගමේ ගහකොළ ඉඩකඩම් මෙන්ම අලි සම්පතේද සාඩම්බර හිමිකරුවන් වූයේ නින්ද ගමේ හිමිකරුවන්ය. එබැවින් පනාමුරය වනරජදහන නිජබිම කරාගත් දහසක් පමණ වූ අලි රංචුවේද සාඩම්බර හිමිකරුවන් වූයේ මොලමුරේ මහතාය.
    ප්‍රභූ පෙළපත්වලට වලව් පැළැන්තියට සේවය කිරීම නින්දගම්වාසීන්ගේ වගකීමක් වූ හෙයින් පනාමුරේ ඇත්ගාල ඉදිකිරීමේදීද ඔවුන් දායක විය. ඇත්ගාලට අමතරව කුඩා වෙළෙඳ සල් ප්‍රවේශ මාර්ග මෙන්ම ගම්වාසීන් “ඇතින්නියන්ගේ ගාල” ලෙස හැඳින් වු මොලමුරේ මහතාගේ තාවකාලික බංගලාවද ඉදිකරනු ලැබුවේ නින්දගම්වාසීන්ය.



    1950 අගෝස්තු මස 8 වෙනි දින අලුයම් කාලයේදී අලි ඇතුන් 27 දෙනකුගෙන් යුත් රංචුවක් ගාල් කර ඓතිහාසික පනාමුරය ඇත්ගා‍ලේ දොරටු වසා දැමුණි. එදා ඒ ආකාරයෙන් වසා දැමුවේ සිරිලක අවසන් ඇත්ගා‍ලේ දොරටුව බව මොලමුරේ මහතා සිහිනෙන්වත් නොසිතන්නට ඇත. හතරැස් කිලෝමීටරයකට වඩා විශාල වූ ඇත්ගාල ඉදිකර තිබුණේ වනාන්තරයෙන් ලබාගත් දැව කඳන් යොදාය. මේ දැවැන්ත වැට ඇතුළේ කොටු වූ අලි ඇතුන් තව මොහොතකින් සිදුවන්නට යන දේ නොදැන කෙළිදෙලෙන් පසුවිය.


    ඇත්ගා‍ලේ කටයුතු දැක බලා ගැනීමට මොලමුරේ මහතාගේ ආරාධනයෙන් සුවිශේෂි අමුත්තෝ රැසක් සහභාගි විය. ඒ අතර ප්‍රධානියා වූයේ එවකට ලකිසුරු ධුරය හෙබ වූ සෝල්බරි සාමිය. ඊට අමතරව කීර්තිමත් ‍ලේඛකයෙකු වූ ආර්.එල්. ස්පිට්ල් ද ඒ අතර විය. මෙම අමුත්තන් සඳහා සුවිශේෂි වේදිකාවක්ද ඉදිකර තිබුණි. සබරගමුවේ සහ මාධ්‍ය කඳුකරයේ වැවිලිකරුවන් රැසක්ද එහි විය.


    ඒ ඓතිහාසික දිනයේ දහස් ගණන් නරඹන ජනතාවක් හා සුවිශේෂි ආරාධිතයන් පිරිසක් අභිමුවේ සුබ මොහොතින් ගා‍ලේ වැඩ ඇරඹිණි. ඒ අනුව හා පුරා කියා හීලෑ අලි ඇතුන් 14 දෙනෙකු ගාලට ඇතුළු කරනු ලැබිය. සෑම අලියෙකුටම එක් ඇත් ගොව්වෙක් සහ සහායකයෙකු සිටි අතර මිනිසුන් 28 දෙනකු ඇත්ගාල තුළ සිටීම ගා‍ලේ කොටු වූ වන අලීන් කෝප ගන්වන සුළු සිදුවීමක් විය.
    ගාල් කරන ලද වන අලින් අල්ලා ගන්නේ අපූරු ක්‍රමයකටය. හීලෑ අලි දෙදෙනෙකු විසින් එක් වන අලියෙකු මැදිකර ගැනීම එහි පළමු පියවර වෙයි. හීලෑ අලි දෙදෙනා කිටි කිටියේ හිරකර ගත් වන අලියාට සෙලවිය නොහැකිව අසරණ වෙයි. මේ අවසරයෙන් ඇත් ගොව්වාගේ සහායකයා වන අලියාගේ පසුපස පාදයට තොණ්ඩුවක් දමා අවට ඇති ගසකට ඇද බැඳ ගනී. වනඅලියෙකුගේ පසුපාදය ගසකට තබා වෙලා දමන ගැටයට “නව ‍පොට” විලංගුව යැයි කියනු ලැබේ. මෙය වූ කලී කැඩීමට තබා සිතීමටවත් නොහැකි ශක්තිමත් බැම්මකි.

    ඇත්ගා‍ලේ පළමු දිනය නිමාවන විට අලි අල්ලන්නන්ට ගස් බැඳ ගත හැකි වූයේ අලි දෙදෙනෙකු පමණි. වන අලින්ගේ නායක හස්තියා ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරීම නිසා ගා‍ලේ වැඩ කටයුතු බලා‍පොරොත්තු වූ තරම් ‍ලේසි නොවීය. දවස අවසානයේ ගස් බඳින ලද අලින් නරඹන්නට ගාල තුළට පැමිණෙන්නෙ යැයි ආරාධිතයන්ට ඇරයුම් ලැබුණි. ඔව්හු තෘප්තියෙන් යුතුව ගාලට ඇතුළු විය. ගස් බඳින ලද සගයන් අසල ගැවසෙන මිනිස් පිරිස නිසා වන අලින්ගේ කෝපය අලුත් විය. ඔව්හු සැනකින් මිනිසුන්ට පහර දීමට දිව ආහ. ආරාධිත අමුත්තන් පණ බේරා ගනු වස් එකිනෙකා පරයා දිව යන්නට විය. ප්‍රධාන අමුත්තා සෝල්බරි සාමිද පණ බේරා ගනු වස් දිව යන්නට විය. නරඹන්නන්ට මෙය විනෝද ජනක අවස්ථාවක් විය. පසුදින බොහෝ පුවත්පත්වලට මෙය ආකර්ෂණීය පුවතක් විය. “Daily News” පුවත්පත එය වාර්තා කළේ “Governor General seeks safty from charging Elephants” යනුවෙනි.

    තුන්වන දිනය වන විට අලි ඇතුන් නව දෙනෙකු ගස් බැඳ ගන්නට හැකි වුවද නායක හස්තියාගේ පහර දීම නිසා ඇත් ගොව්වෝ සහ හීලෑ අලි ඇතුන් බොහෝ දුර්මුඛ වී සිටිහ. අලි ඇල්ලීමට මෙන්ම අලි මන්තර සඳහාද ප්‍රසිද්ධව සිටි සෑම් ඇලපාත මුදලිගේ මන්තරවලට පවා නායක හස්තියා මෙල්ල නොවීම කාටත් ගැටලුවක් විය. තමුන්ගේ රංචුව මුදා ගනු වස් නායක හස්තියා අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන්නට විය. අඩි 9ක් පමණ උස වසර 25 පමණ වයස වූ මෙම හස්තියා වැඩි ගෞරව පිණිස “ඇත් රජා” ලෙස හැඳින්වුවද සැබැවින්ම දළ නොමැති හස්තියෙකු පමණක් බව සඳහන් කළ යුතුය. දළ නොතිබුණද නායකයෙකු ලෙස මෙම හස්තියා පෑ එඩිතර බව සහ විදහා පෑ නායකත්වයේ ගුණාංග මිනිසුන්ටද ආදර්ශයක් බව ඇත් ගාල සියසින් දුටු ජනයා පවසයි.
    ඇත් ගා‍ලේ සිව්වන දිනය එළඹෙන විට නායක හස්තියා හැර අන් සියලුම අලි ඇතුන් ගස් බැඳීමට ඇත් ගොව්වෝ සමත් විය. සියලු ශිල්ප යොදා ගත් සියලුම උත්සාහ ව්‍යර්ථ කරමින් නායක හස්තියාගේ ප්‍රචණ්ඩ බව එන්න එන්නම වැඩි විය. හීලෑ අලි 14 දෙනාටම විටෙන් විට නායක හස්තියා පහර දීම නිසා ගා‍ලේ කටයුතු අඩපණ වන ලකුණු පෙනෙන්නට විය. අවසාන වශයෙන් නායක හස්තියාට පලා යනු පිණිස ගාල් දොර විවෘත කරන්නට මොලමුරේ මහතා තීරණය කරන ලදී.

    දොරටුව විවෘත කළද නායක හස්තියා පලායනු වෙනුවට ගස් බඳින ලද සතුන් මුදා ගැනීමට උත්සාහ ගනු පෙනුනි. තම වර්ගයා රැකගනු වස් නායක හස්තියා ගන්නා ක්‍රියා මාර්ගය නරඹන්නන්ගේ නෙතට කඳුළු උනන තරම් විය. නායක හස්තියා සැමට වීරයෙකු විය. මොලමුරේ මහතාට එරෙහි රටේ ජන මතයක් නිර්මාණය වෙමින් පැවතුනි. සම සමාජ පක්ෂය ප්‍රමුඛ වාමාංශික නායකයෝ එයාට නායකත්වය ලබා දුනි. කථානායකයා වන අලිනට වද දෙන බව එන්.එම්. පෙරේරා ප්‍රමුඛ වාමාංශික නායකයන් චෝදනා කරන්නට විය.

    රට සිව් දෙසින් මොලමුරේ මහතාට එරෙහිව ජනමතය නැගෙද්දී පනාමුරය වන මැද එක වන අලියෙකු මෙල්ල කර ගත නොහැකිව හීලෑ අලින් 14 දෙනකු ගොව්වන් සහ සහායකයන් 28 දෙනකු අසරණව සිටිනා ලදි. මොලමුරේ මහතා තීරණයක් නොගෙන බැරි තැනට පත්විය. ඔහුට තීරණ දෙකක් ගත හැකිව තිබුණි. ඒ තීරණ නම්
    ඪ ගස් බඳින ලද අලි 26 දෙනා සහ නායක හස්තියා මුදා හැරීම.
    එම නායක හස්තියාට වෙඩි තැබිම

    දිගු වේලාවක් සිතා බලා මොලමුරේ මහතා අවසන් තීරණය ගන්නා ලදී. ඒ නායක හස්තියාට වෙඩි තැබිමටයි. ස්වභාවයෙන්ම අලි ඇතුන්ට ලොල් වූ මොලමුරේ මහතා මේ තීන්දුව ගත්තේ වෙනත් විකල්පයක් නොමැති නිසා විය හැක. ගස් බඳින ලද වන අලින් ඉවත් කර ගන්නට ඉඩක් නොවූ හෙයින් කඩිනම් පියවරක් ගත යුතු විය. ඒ වන විටත් අලි ඇතුන් ගාලක තබා ගත හැකි උපරිම දින ගණන පසුවී තිබුණු බව කියැවේ. වාමාංශිකයන්ගේ උද්ඝෝෂණ සහ දසතින් නැගෙන ජනතා විරෝධය නිසා ඉක්මනින් ඇත්ගා‍ලේ කටයුතු නිමාකරන්නට මොලමුරේ මහතාට අවශ්‍යව තිබුණි. නායක හස්තියාට වෙඩි තැබිමට තීරණය කළද වෙඩි තබනුයේ කව්රුන්ද යන ගැටලුව ඊළඟට මතුවිය. තුවක්කු සහ රයිෆල් සතු සබරගමුවේ රදල ප්‍රභූන් සහ සුදු ජාතික වැවිලිකරුවෝ බොහොමයක් ඇත් ගාල නරඹමින් සිටි නමුත් දිනෙන් දින වැඩි වන හස්තියාගේ ප්‍රචණ්ඩත්වය සහ ජනතා විරෝධය හමුවේ බොහෝ ශූරවෙඩික්කරුවෝ පසුබා සිටින ලදී. ඒ අතර ‍පොලිස් සහ හමුදා සෙබළුද වූහ.

    අවසානයේ මොලමුරේ මහතා විසින් එවකට ශ්‍රී ලංකාවේ සිටි ශූරතම රයිෆල් කරුවා වූ නාවික කොමදෝරු සෑම් කදීර් ගාමර් ඒ සඳහා කැඳවන ලදී. එක වෙඩි පහරින් නායක හස්තියා බිම දමන්නට ඔහු එකඟ විය. දහස් ගණන් ජනයා උඩට ගත් හුස්ම පහත හෙළිය නොහැකිව බලා සිටියදී සෑම් කදීර් ගාමර් ඇත් ගාලට ඇතුළු විය.

    නමුත් මහත් සේ පිළිකුල් කළ මිනිස් ඉව නායක හස්තියාට යළි දැනෙන්නට විය. ඇත් ගා‍ලේ වූ මිනිසාගේ දර්ශනයෙන් හස්තියා මාරාවේශ විය. පවනට බඳු වේගයෙන් දූවිලි නංවා වෙඩික්කරු වෙත දිව එන හස්තියාගේ දර්ශනය ලොමු ඩැහැ ගන්වන සුළු විය. වෙඩික්කරු බිඳකඳු නොසෙල් විය. තමුන්ගේ ශරීරාංගයක් බවට පත්ව තිබූ රයිෆලය මානා එල්ලය ලබාගත් ඔහු කොකා ගස්සන ලදී. හෙණ හඬ නංවා පිට වූ රයිෆල් උණ්ඩය නායක හස්තියාගේ කුම්භස්තලය සිදුරු කළේය. පාද අවසඟව ගිය හස්තියා පර්වතයක් පරිද්දෙන් බිම පතිත විය. ඉතිහාසයේ වඩාත් ආන්දෝලනාත්මක වෙඩි පහර තැබූ වෙඩික්කරු සැනෙකින් ගාල් බිමෙන් පිටව ගිය අතර කැරැල්ලක් පරිද්දෙන් නැගී ආ ජනතා විරෝධය මොලමුරේ මහතාගේ රදල ගෞරවය නොතකන තරම් වීම නිසා ඔහුද සැනෙකින් ගාල් බිමෙන් ඉවත්ව යනු දක්නා ලදී

    සිය වර්ගයාගේ නිදහස උදෙසා දිවි දුන් පනාමුරේ හස්තියා බෝසත් ගුණ සහිත සතෙකු ලෙස රට පුරා අගයන්නට විය. පුවත්පත් වාර්තාවලට අමතරව කවි කොළ අත් පත්‍රිකා වැනි දේ පනාමුරේ හස්තියා ගැන බිහි වීම නිසා “පනාමුරේ” ඇත් ගාල හා බැඳෙන “සාහිත්‍යයක්ද” එකල නිර්මාණය විය. දිනෙන් දින ඉහළ යන ජනතා විරෝධය හමුවේ රට තුළ ඇත් ගාල් පැවැත්වීම තහනම් කරන්නට රජයට සිදුවිය. තම රංචුවේ සගයන් මිනිසාගේ වහල් බවෙන් මුදවා ගන්නට නොහැකි වුවද රට පුරා ඇත්ගාල් තහනම් කර එමගින් සිරිලක සමස්ත වන අලි ඇතුන්ගේ විමුක්තිය උදා කර ගැනීම සටනට නායකත්වය දීමට පනාමුරේ හස්තියා සමත් විය.


    සිළුමිණ` පත්‍රයේ පලවූ ලිපියක් ඇසුරිනි.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    fDaCOf3.jpg


    අලි වෙඩි දමා එලවීමට ගත් උත්සාහයට උත්සාහයට අභීතව මුහුන දෙන පනාමුරේ හස්තියා

    scU01iA.jpg


    726OFQk.jpg


    ශක්තිමත් අලිවැට


    ZAwimu9.jpg


    draI3FF.jpg


    නවපොට විලංගුවෙන් බැදි අලියෙක්

    29O0CRU.jpg



    වෙඩිතබා මරාදැමූ පනාමුරේ ඇත් රාජා
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    සැම් කදිර්ගාමර් කියන්නේ හිටපු නෑසී ගිය විදෙශ කටයුතු ඇමති ලක්ශ්මන් කදිර්ගාමර් මහත්තයගෙ අයියා..
     
    • Like
    Reactions: DJU9

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සැම් කදිර්ගාමර් කියන්නේ හිටපු නෑසී ගිය විදෙශ කටයුතු ඇමති ලක්ශ්මන් කදිර්ගාමර් මහත්තයගෙ අයියා..


    ඔව් මචන් ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහත්තයා තමයි පවුලේ බාලයා.. මන් දන්නා තරමින්..:yes: