අයි ෆොන්.. ගැන නොදන්නා කෙනෙක් අද තරුණ පරපුරෙහි නැති තරම්ය. එහෙත් මීට දස වසරකට පෙරාතුව… ඇපල් සමාගමේ අභ්‍යන්තර කාර්ය මණ්‌ඩලයේ පිරිස හැරෙන්නට කිසිවකු එවන් දෙයක් ගැන අසා තිබුණේවත් නැත. ඔවුන් පමණක් දැන උන් අයි ෆොන් හි උත්පත්ති කතාවයි මේ.
අයි ෆොන් එවකට ඇපල් සමාගම තුළද හඳුන්වනු ලැබුවේ “පර්පල්” නමිනි. මේ ව්‍යාපෘතියට “පර්පල්” නම ලැබුණේ ඇපල් සමාගමේ උන් ඉංජිනේරුවරයකු සතුව තිබූ දම් පැහැ සෙල්ලම් කැන්ගරුවකු නිසාය.
ඇත්තෙන්ම කිවහොත් අයි ෆොන් උපතට හේතු වූයේ ඇපල් ආයතනයේ සම ආදිකතෘ ස්‌ටීව් ජොබ්ස් හා ඇපල් ආයතනයේ නිර්මාණ ශිල්පියෙකු වූ ජොනී අයිව් ගේ විශිෂ්ට අදහස් වල එකතුවෙනි. ඔවුන්ගේ අදහසට අනුව අලුත් දුරකථනයක් නිර්මාණය වීමේ ව්‍යාපෘතිය “පර්පල්” නම් විය. පර්පල් ව්‍යාපෘතිය උවමනාවටත් වැඩියෙන් මහන්සි වෙන්නට සිදුවුණු, විසඳා ගන්නට බැරි තරමින් කාර්මික ගැටලු පැන නැගුණු, අභ්‍යන්තර දේශපාලන ගැටුම් වලින්ද තොර නොවුණු බියකරු සිහිනයක් බඳු විය.
“කිසිසේත්ම ප්‍රමාණවත් නොවෙන කාලයක්, ළඟා කරගන්නට අසීරු ඉලක්‌කයක් එක්‌ක හිරවුණු අති දක්‌ෂ කණ්‌ඩායමක් වුණා.. ඒ මදිවාට මුළු ආයතනයේම අනාගතය රඳා පැවතුණේ මේ ව්‍යාපෘතිය මත කියලා කිව්වාම…” පර්පල් ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවකු වූ ඇන්ඩි ග්‍රිග්නොව් පැවසීය. “ඒක හරියට තිත්ත හොද්දක් වගේ වුණා..”
පර්පල් ව්‍යාපෘති කණ්‌ඩායමේ මෙහෙයුම යම් දිනක දක්‌ෂ නිර්මාණ ශිල්පියකු අතින් අපූරු මාලා නාට්‍යයක් හෝ චිත්‍රපටයක් බවට පත් වනු ඇත.
එසේ නාට්‍යයට නැගෙනු ඇත්තේ බ්‍රයන් මර්චන්ට් විසින් රචිත අයි ෆොaන්හි ඉතිහාස කතාව පිළිබඳව ලියන ලද “The One Device (The Secret History of the iPhone” ඇසුරින් වනු ඇත. මෙහිදී බ්‍රයන් මර්චන්ට් විසින් අයි ෆොaන් වැඩිදියුණු කිරීම සම්බන්ධව වූ මෙතෙක් කිසිවකු විසින් සටහන් කර නොතැබූ අන්දමේ වැදගත් තොරතුරු රැසක් එක් රැස් කොට ඇත.
අයි ෆොaන් මේ වන විට අප අතර වේගයෙන් පැතිරෙමින් වැජඹෙමින් සිටින නමුදු තවමත් අපට දැනෙන්නේ කොහේ හෝ ඉහළ අවකාශයක සිට මේ දැන් අප අතරට පැමිණියාක් මෙනි.
එහි කළු පැහැති මුහුණත හා දිදුලන මතුපිට දකින විට මෙය කවදා කොහේ කවුරුන් විසින් නිමවූවක්‌ද යන්න හිතා ගන්නටවත් සලකුණු ඉතිරි නොකරයි. Pentalobe නම් වූ අති විශේෂ නියනකින් හෝ මෙය විවෘත කරන්නට නොහැකිය. මෙය අයි ෆොන්හි භෞතික නිර්මාණයට පමණක් පොදු වූ ලක්‌ෂණයක් නොවේ. ඇපල් සමාගම විසින් නිර්මාණය කරන සියලුම නිෂ්පාදනයන්හි අති විශිෂ්ට බව හා රහසිගත භාවය පිළිබඳ සලකුණකි. අයි ෆොaන් අප ගැන සියල්ල දැන සිටියද අප එය ගැන දන්නේ ඉතාමත් අල්ප වශයෙනි.
උදාහරණයක් ලෙස ගත හොත් අයි ෆොන් හි ස්‌පර්ශක තිරය විසින් එක වර ඇඟිලි සලකුණු කිහිපයකට සංවේදී වන බහුස්‌පර්ශක තාක්‌ෂණය සහිතය. මෙම බහු ස්‌පර්ශක තාක්‌ෂණය සොයා ගනු ලැබුවේ ඇපල් සමාගමෙන් යෑයි ජොබ්ස් විසින් නිරන්තරව හුවා දැක්‌වුවද එය එසේ නොවන බව බ්‍රයන් මර්චන්ට් පෙන්වා දෙයි. ඔහු විසින් “The One Device” ග්‍රන්ථයේ විස්‌තර කරන පරිද්දෙන් මෙම බහු ස්‌පර්ශක තාක්‌ෂණය 1960 දශකයේදී එංගලන්තයේ Royal Radar Establishment ආයතනයෙන්ද 1970 දශකයේදී CERN ආයතනයෙන්ද භාවිතයට ගෙන ඇත. මෙම බහුස්‌පර්ශක තාක්‍ෂණය වෙනුවෙන් වැඩකරන ලද්දේ ඔබ කිසිදිනක අසා නැති, එහෙත් අතිදක්‌ෂ ඉංජිනේරුවකු වූ වෙයින් වෙස්‌ටර්මන්ය. වෙස්‌ටර්මන්ගේ Finger Works නම්වූ ආයතනය 2005 දී ඇපල් සමාගම විසින් ලබා ගත් අතර ඉන්පසු වෙස්‌ටර්මන් මෙන්ම ඔහුගේ ආයතනයද ඇපල් සමාගමේ ටයිටේනියම් තිරය පසුපස වැසී සැඟවී ගියේය. “The One Device” ග්‍රන්ථය වෙනුවෙන් වෙස්‌ටර්මන් සමඟ හෝ එම සමාගමේ කිසිදු වත්මන් සේවකයකු සමඟ සාකච්ඡාවකට ඇපල් සමාගම විසින් බ්‍රයන් මර්චන්ට් අවසර ලබා දුන්නේ නැත.
අයි ෆොන් නිර්මාණය කර තිබෙන්නේ උපරිම කාර්යක්‌ෂමතාව හා සංයුක්‌ත භාවය සැලකීමට ලක් කරමිනි. එහෙත් “The One Device” හි ඇති පරිදි එය එසේ නොවේ. පොතෙහි පළමු පරිච්ඡේද තුන අයි ෆොaන් නිපදවීම පිළිබඳව විස්‌තර කෙරෙන අතර ඇපල් සමාගම මේ වෙනුවෙන් යොදා ගන්නා ලද අමුද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනය කරමින් බ්‍රයන් මර්චන්ට් ගිය දුෂ්කර සංචාරය ගැනද සඳහන් වෙයි. බොලීවියානු ටින් ලෝහ ආකර වලද, චිලීන් කාන්තාරයේ ඇති ලිතියම් ආකරයකද, බොහෝ අයි ෆොන්වල අවසන් නවාතැන වන නයිරෝබියේ විද්යුත් උපකරණ කසළ කන්දකද කළ ගවේෂණාත්මක සංචාරය ගැන මෙයින් අනාවරණය වෙයි.
එසේම අයි ෆොන්හි අනෙකුත් අංගෝපාංගයන් සඳහා යොදා ගන්නා ලද තාක්‍ෂණයන්හි ආරම්භක කතා මර්චන්ට් විසින් විස්‌තර කරයි. අයි ෆොන් යනු බොහෝ මිනිසුන්ගේ ශ්‍රමයත් දැනුමත් එක් තැන් කොට සැදූ උපකරණයක් මිස තනි ආයතනයක නිර්මාණයක් නොවන බව මර්චන්ට් කියා සිටියි.
සටහන : නිම්මි මුදිතා හේරත්
+12



