මේකයි මගේ ගැටළුව, මං සතුන්ට ආදරය, කරුණාව දක්වන කෙනෙක්. අපේ පවුලේ සියලු දෙනාමත් එහෙමයි. මං පාරේ කුසගින්නේ සිටින සතුන්ට කෑම එහෙමත් දෙනවා, ඒත් මං ඒ සතුන් ගැහැනු අය නම් වඳ සැත්කම් කරවනවා, ඊට අමතරව ජලභීතිකා එන්නත් එහෙමත් ලබා දෙනවා, තමන්ගේ නිවසේ ඇති කරනු ලබන ගැහැනු සුනඛයින් හා ගැහැනු පූසියන් සඳහා සැත්කම් ගාස්තු ගෙවා ගැනීමට අපහසු උදවියත් මගේ උපකාර ඉල්ලා සිටිනවා. මේ අමාරු කාලයේ මං ඒ අයටත් පුළුවන් උපරිමයෙන් සහාය වෙනවා. මං බොහෝ විටම වඳ සැත්කම් සඳහා සතුන් රැගෙන යන්නේ ළඟම පිහිටි රජයේ පශු වෛද්‍ය කාර්යාලයට. මේ පශුවෛද්‍යවරයා ගැහැනු සුනඛයෙකු වඳ සැත්කම කරන්න මගෙන් රු 3000 අය කරනවා. දැන් මාස කීපයක් තිස්සේම මගෙන් මේ ගාන අය කරනවා. ඒත් මට අද පැහැදිලිවම හෙළිදරව් වුනා අනෙක් සුරතල් සතුන් හිමිකරුවන්ගෙන් ඒ සඳහා ඔහු අය කරන්නේ රු. 2200 ක් කියලා. මෙතෙක් කල් මං ඒ බව දැන සිටියේ නෑ. මට ඇත්තෙන්ම පුදුම කලකිරීමක් ඇති වුනා. මගේ FB පිටුවට සම්බන්ධ වී සිටින යහළුවන් කීප දෙනෙක් මට උපකාර කරනවා මගේ සත්ත්ව සුබසාධන වැඩ වලට. ඒ අයත් සත්ත්ව ලෝලීන්. ඒවා ඒ අයගේ පුද්ගලික මුදල්, මං තනි පුද්ගලයෙක් මිස සංවිධානයක්, ආයතනයක්, NGO එකක් එහෙම නොවේ. ඒ අයගේ උදව්වෙන් මං සතෙක් සඳහා සැත්කම කර වූ විට සතාගේ පින්තූර හා අදාළ බිල්පතේ පින්තූරයක් සමග FB post එකක් දානවා ඒ අයට ස්තුති කරලා. පශු වෛද්‍ය කාර්යාලයට අනෙක් අයෙක් අරන් යන සතාට සැත්කම කරන්න රු 2200 ඒත් මං සතෙක් අරන් ගියොත් ගාන රු. 3000. මේක හරිම හිත් වේදනාවක්. මේ ඩොකාගෙන් හැර මට මේ සැත්කම් කර ගන්න හොඳ කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. මගේ සතුන්ගේ ඉදිරි සැත්කම් මේ ඩොකාගෙන් රු. 2200 ට කර ගන්න අනුගමනය කළ යුතු උපක්‍රමය ගැන පුළුවන් නම් උපදෙස් දෙන්න. ස්තුතියි.

