පින නම් වූ සැපය
දවසින් දවස ගෙවෙමින් යයි. මොහොතින් මොහොත වියැකෙමින් යයි. තුරඟ වෙසින් කාලය වේගයෙන් දිව යයි. ආයුෂයට නැවතුමක් නම් නැත්තේ ය. අපේ ජීවිත ද මේ රැල්ලට හසු වී ගසාගෙන යනු ලබන්නේ ය. ළදරු විය තරුණ විය කරා යයි. තාරුණ්‍යය මහලු විය කරා යයි. මහලු විය මරණය කරා යයි. ලොව පහළ වූ බුදුවරුන්ගේ පටන් සියලු සත්වයින්ගේ ඉරණම මෙය යි. මෙවන් ඉරණමක් ළඟ හඬා දොඩා පසුතැවෙන්නට සිදු නොවන ජීවිතයක් සාදා ගත්තවුන් සැබෑ ම පිනැතියන් ය. ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනක් උරුම වූ සත්වයාගේ සැප දුක තීරණය වන්නේ රැස් කළ පින සහ පවට අනුවයි. පව් කළ කෙනා ඉතා දුක සේ ජීවිතය ගැටගසා ගන්නා අතර පින් කළ කෙනා ඉතා සුවසේ සැපවත් ජීවිතයක් ගත කරන්නේ ය. සතර අපාය උරුම වූවන් එයින් මිදී සුගති ලොවට ඔසවා තබනු ලබන පින නම් මහා බලයක් ම වන්නේ ය. උපන් මොහොතේ පටන් සෙවණැල්ල සේ තමා හඹා එන පින ජීවිතයට සැපය උදා කරන්නේ ය.
ලෝකවිදූ ගුණ පැතිරුනු අප සර්වඥයන් වහන්සේ වදහළ ලෙසට පින යනු සැපය ම වන්නේය. මේ ජීවිතයේ කවුරුන් හෝ සැප විඳිනවා යනු ඒ පෙර කරන ලද පිනෙහි ඵලයක් ම ය. පෙර පින් කළ අය මේ ජීවිතයේ කුමන තරාතිරමක උපත ලබා සිටිය ද සැපය උදාකරමින් පින ඔහු පසුපස හඹා එන්නේ ය. ඒ සැපයට තව කෙනෙක් ඊර්ෂ්‍යා කළා කියා එය වළකාලන්නට බැරි වන්නා සේ ම තමා සතුකර ගන්නට ද නොහැක. කෙනෙකුට රූප සම්පත්තියක් ලැබීම සැපයකි. නීරෝගීකම ලැබීම සැපයකි. දීර්ඝායුෂ ලැබීම සැපයකි. ධනය ලැබීම සැපයකි. මේ සැප සම්පත් ලබන පිනක් ඔවුන් සසරේ කළ නිසයි අද එවන් සැපයක් විඳින්නේ. පිනක් නොකර හිස් ප්‍රාර්ථනාවලින් මෙවන් සැප ලැබිය නොහැක. එසේ ලැබිය හැකි නම් මෙලොව කාට නම් කුමන අඩුපාඩුවක් ද? එසේ නම් ධනවතුන් හැර දුප්පතුන් ලොව කොයින් ද?
ඉපදීමේ සිට මරණය දක්වා කාලය තුළ ලබන්නා වූ සියලු සැපයන් පෙර ජීවිතයක තමා විසින් ම රැස්කළ පුණ්‍ය සංස්කාරවල ඵලයන් ය. එසේ ම යම් සත්වයෙක් දුක් විඳින්නේ ද ඒ හැම සංස්කාර ප්‍රත්‍යයෙන් ම හටගත් දේවල් ය.
යමෙක් සතුන් මරණවා නම් ඔහු විසින් අහිමි කර ගන්නේ මතුවට ලැබීමට තිබූ දීර්ඝායුෂ නම් වූ සැපය යි. සොරකම් කරනවා නම් අහිමිකර ගන්නේ තම දේපළ වස්තුව ආරක්ෂා වීමේ සැපය යි. වැරදි කාම සේවනය කරනවා නම් අහිමිකර ගන්නේ විශ්වාසවන්ත ස්වාමි භාර්යාවන් සමඟ ගත කරන නිරවුල් පවුල් ජීවිතයක් ලැබීමේ සැපය යි. බොරු කියනවා අහිමි කරගන්නේ අභූත චෝදනාවලට ලක්නොවීමේ සැපයයි. මත්වතුර මත්ද්‍රව්‍ය භාවිත කරනවා නම් අහිමිකර ගන්නේ හොඳ සිහියත්, නුවණත්, ප්‍රඥාවත් ලැබීමේ සැපය යි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට නිති පන්සිල් ආරක්ෂා කිරීම පනවා ඇත්තේ මෙලොව ජීවිතය ආරක්ෂා කර දීමටත්, පරලොව නොවරදින සුගති සැප හිමිකර දීමටත් ය. පිරිහෙමින් යන මෙවන් කාලයක යමෙක් පන්සිල් ආරක්ෂා කරන්නේ නම් ඔහු ආරක්ෂා කර ගන්නේ මතු ලබන්නා වූ සැපයන් ම ය.
ලෝකයේ ධනවතුන් සුඛෝපභෝගී ජීවිත ගතකරද්දී ඒ ලෝකය තුළ ම අන්ත අසරණ දුප්පතුන් හාමතේ ම මිය යයි. බාහිරින් දකින මේ අසාධාරණ භේදය ගැන හැමදාමත් ලෝකයේ උද්ඝෝෂණ, විරෝධතා, මතවාදයන් පැවතුනේ ය. ධනය බෙදී යාමේ සමානුපාතී ක්‍රමවේදයන් ගැන කථා කළාට, ක්‍රියාත්මක කළාට මේ ලෝකයේ තවමත් දිළිඳුකමින් මිය යන්නන්ගේ අඩුවක් නැත. මෙහි ඇති පුදුමයක් ද නැත. පෙර ජීවිතවල තමා විසින් ම රැස්කළ පුණ්‍ය සංස්කාරවලට අනුව ම ඵලයන් උරුම වන්නේය. සියලු ලෝක අවබෝධ කළා වූ ලෝකවිදූ අප සර්වඥයන් වහන්සේ වදහළ ධර්මය ඒකාන්තයෙන් ම අකාලික වන්නේ ය. මෙකලට සසඳා බැලුව ද ඒ සන්දිට්ඨික වූ ධර්මය සත්‍යානුභාවයෙන් බබළන්නේ ය.
අන්ත අසරණ දිළිඳුන් ලොව කොතරම් සිටියත්, ඔවුන් වෙනුවෙන් හිත් උණු වන මිනිසුන් ලොව අනත්තවත් සිටියත් සැපයක් ලැබීමේ පිනක් නැත්නම් ඒ වෙනුවෙන් ගන්නා සියලු උත්සාහයන් ව්‍යර්ථ වී යන්නේ ය. ලැබීමේ පිනක් ඇත්නම් ඔවුන් ලොව කොහේ සිටියත් සැපය ඔවුන් කරා එන්නේය. බුද්ධ කාලයේ එවන් දිළින්දන් පසුපස ආ පින ඔවුන්ගේ ජීවිතයට සැපය උදා කළ අවස්ථාවන් අපට විමානවත්ථු, ප්‍රේතවත්ථුවල බොහෝ සේ හමු වෙයි. ඔවුන් පෙර කළ පිනට අනුව රජ සැප, දිව්‍ය සැප මතින් උතුම් නිවන් සැපය කරා යාමට තරම් පින ම උපකාර වූයේය.
හිඟමනේ ගිය දුගියන් දෙව් විමන්වල සුර සැප විඳින්නන් බවට සුගතිය වෙත ඔසවා තැබූයේ පින විසින් ම යි. පිදීමට හෝ යමක් නැති දුගියන් වී උපනත් කැඳ ටිකක්, පොරි ටිකක් වැනි පුංචි දෙයක් සැදැහැ සිතින් පුදා සිත් පුරා සතුටු වූයේ අත්හැරීමේ ගුණයෙන් ඔවුන් පොහොසත් වූ නිසා ය. කුසගින්නේ මිය යන්නට සිදු වුවත් අත්හැරීම ගැන පසුතැවුණේ නැත. ඒ අත්හැරීම නිවන දක්වා ම ඔවුන් ව සැපවත් කළේ ය. මිනිස් කය අත්හරිද්දී සුගතිය වෙතට ඔවුන් ව පිළිගනු ගැබූයේ රැස් කරන ලද පින විසින් ම ය.
දිනක් අප භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන ථූණ නම් වූ මිථ්‍යාදෘෂ්ටික බමුණු ගම්මානයට වැඩම කළහ. මිථ්‍යාදෘෂ්ටික මේ බමුණන් භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂූන් වහන්සේලාටත් කිසිම ගෙදරකින් වතුර ටිකක්වත් නොදෙන ලෙස තහංචි පනවා තිබුණි. නමුත් දිය ගෙන යමින් සිටි ස්ත්‍රීන් පිරිසක් අතර සිටි තරුණ දියණියක සඟ පිරිස පිරිවරා වැඩ සිටින බුදු හිමියන් දැක සිත පැහැදී ‘මේ බමුණන් මට කුමක් කළත් කම් නැත’ යි ජීවිතාපේක්ෂාව අතහැර අන් ස්ත්‍රීන් වළකන්නට උත්සාහ කරද්දීත් පැන් කළයක් රැගෙන මුලින් ම බුදු රජුන්ට පැන් පුදා අනෙක් සංඝයාට ද පැන් පිදුවා ය. මෙයට කිපුණු ගමේ බමුණෝ ඇයට චෝදනා කරමින් බැණ වැදුණහ. ඇය සිත අපහදවා ගත්තේ නැත. ‘හයියෝ පැන් පුදන්නට ගිහින් මට වෙච්ච දෙයක්’ කියා පසුතැවුණේ ද නැත. ‘මම කළේ වැරැද්දක් නෙවෙයි. මම කළේ උතුම් දෙයක්’ ය යන පින් සිත ඇය ආරක්ෂා කර ගත්තා ය. බමුණන් ඇයට පහර දුන්නේය. ඒත් ඇගේ සිත වෙනස් වූයේ නැත. හුස්ම පොද ඇයට අහිමිව ගිය ද ඇගේ සිත වෙනස් වූයේ නැත. එකල බුද්ධ ශ්‍රාවිකාවන්ගේ පින් සිත්වල තිබුණු සවිය විස්මිත ය. කය පීඩාවට පත් කළ පහරවලින් ඇගේ පින් සිත පළුදු වුණේ නැත.
ගලා ගිය රුධිරයෙන් ඇගේ පින් සිත බොඳ ව ගියේ නැත. හුස්ම පොද සිඳී ගියත් සිතේ පිරී ගිය පින සිඳුනේ නැත. නිදාගෙන පිබිදියාක් මෙන් දෙව් සිරියෙන් බබළමින් නිල් දිය පිරි දෙව් විමනක් මැද ඇය තව්තිසාවේ පහළ වූවා ය. ඇය පිදුවේ පැන් ටිකකි. නමුත් ඇය පිදුවේ ලොව අග්‍ර ම උතුමන්ට ය. ඒකාන්තයෙන් ම ඇය අග්‍ර ඵලයක් ලැබුවා ය. අනුත්තර වූ පින්කෙතෙහි වැපිරූ දෙයින් මහත් ඵල මහානිශංස අස්වැන්නක් ඇය ලද්දා ය. ඒ මොහොතේ ම නිල්දිය පිරි පැන් පොකුණුවලින් බබළන්නා වූ දෙව් විමන ද සමඟ දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන තමා කළ පිනෙහි ආනුභාවය අන් සියල්ලන්ට පෙනෙන සේ පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පා කමල් බැතියෙන් වන්දනා කළා ය. බමුණු ගම්මානය ම සලිත වී ගියේ ය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටී සමාව අයැද සිටියාය. පින නම් මේ සා ආනුභාව සම්පන්න වන්නේ ය.
ඛෙත්තූපමා අරහන්තෝ
දායකා කස්සකූපමා
බීජූපමං දෙය්‍යධම්මං
එත්තෝ නිබ්බත්තතේ ඵලං
“රහතන් වහන්සේලා සරු කෙත වැනි ය. දායකයෝ ගොවියන් වැනි ය. පූජා කරන දෙය බීජ වැනි ය. මේ කරුණු තුන හේතු කරගෙන මහත් ඵල, මහානිශංස ඵල හටගන්නේ ය.”
“විචෙය්‍ය දානං සුගතප්පසත්ථං
යේ දක්ඛිණෙය්‍යා ඉධ ජීවලෝකේ
ඒතේසු දින්නානි මහප්ඵලානි
බීජානි වුත්තානි යථා සුඛෙත්තේ
දන් පැන් පිළිගැනීමට සුදුසු උතුමන් සොයා දන් පිදීම බුදුවරුන් ප්‍රශංසා කළ දෙයකි. එවන් උතුමන්ට දෙනු ලබන දානය සරු කෙතක වැපිරූ බීජ ලෙසින් මහත් ඵල ගෙන දෙන්නේ ය.”
පිනක් ගැන පවක් ගැන නොදැන ආ සසර ගමනක පින පව අප හඳුනාගත්තේ සද්ධර්මය ලොව පවතින මෙවන් කාලයක උපන් නිසා ය. මේ ගෙවෙමින් යනු ලබන්නේ පව් දුරු කොට, පින හුරු කොට ජීවිතය පිනෙන් පුරවාගත හැකි කාලයකි. සමාජය පිරිහෙමින් ගියත්, ලෝකය මිථ්‍යාවෙන් වැනසෙමින් ගියත් තවමත් උතුම් බුද්ධ ශාසනය ලොව පවතියි. විකෘති කරමින් වෙනස් කරන්නට හැදුවත් අකාලික ශ්‍රී සද්ධර්මය ලොව තවමත් පවතියි. නින්දා අපහාස ගැරහුම් ලැබුවත් අනුත්තර වූ පින්කෙත ලොව තවමත් වැඩ හිඳියි. එසේ නම් ධර්මයේ හැසිරෙනු කැමති කාටත්, පින්කර ගනු කැමති කාටත් ඊට මග හසර තවමත් විවර ව ඇත්තේ ය.
බලි තොවිල් හූනියම්වලින් ජීවිතයට සරණ සොයන හිස් මිනිසුන් අතර සැබෑ ම බෞද්ධයන් සේ තෙරුවන පිහිට කර ගනිමින්, ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් ජීවිතයට හුරු කර ගනිමින් පිනෙන් කුසලයෙන් පිරුණු ජීවිතයක් තුළින් සුගති රැකවරණය සලසා ගන්නට කැමැත්ත ඇතියන්ට ඊට අවස්ථාව ද ඕනෑ තරම් ඇත්තේ ය.
පින ගැන අවබෝධයක් ඇති බෞද්ධයෙකු වී මෙවන් පින්බිමක ම උපත ලැබීම පිනක් නොවන්නේ ද? එය මහා පිනක් ම ය. පින ගැන විශ්වාසය ඇත්තේ ද බෞද්ධ අප තුළ පමණි. දසවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙනුත් ඔබ්බට ගියා වූ මිථ්‍යා මතයන්ගෙන් සැපය වනසා ගන්නවුන්ගේ අවාසනාවට වාසනාව දිය නොහැක්කේ ය. පව්කාර දිවියක් ම උරුම කරන් ආවෝ එයින් ම වැනසී යාම පව් විපාක දීමේ ස්වභාවය යි. අති දීර්ඝ සසරක යන අප මේ ගෙවා දමමින් සිටින්නේ ඉතා සුළු මොහොතකි. නමුත් එය කෙනෙකුගේ සසර ගමන සුගතිය මතින් උතුම් නිවන කරා පමුණුවන ක්ෂණය විය හැක. සුළු මොහොතක කාම සැපයට වහ වැටී අහිමි කර ගන්නේ යළි උදා නොවන සුගතිය නම් වූ අමිල සැපය යි. කාලය වැය කරමින් සොය සොයා වෙහෙසෙන්නට අවැසි නැත. පත පතා සිහින මැවීමෙන් ද ඵල නැත. මේ දුකෙන් නිදහස් ව ලැබිය හැකි උතුම් සැප ලබනු කැමති නම් ගිහි පැවිදි කාටත් උපකාරී වන්නේ රැස් කරන පින ම ය. මේ පුංචි ධර්මද්වීපය එවන් සැදැහැතියන් වෙනුවෙන් ම අප ගෞතම මුනිඳුන් විසින් දායාද කළ මහා තෙදැති පුණ්‍ය භූමිය යි.
මහත් වූ ධනස්කන්ධයක් වියදම් කොට පින් කරන ලක්ෂපතියෝ, කෝටිපතියෝ මෙන් පින් කිරීමට නොව කැලේ ගහක පිපුන මලක් බුදුන් පාමුල බුදුගුණ සිහිකොට පූජා කළත්, තෙල් ටිකක් දමා පහනක් දල්වා බුදුරජුන් උදෙසා පූජා කළත්, සුවඳ කූරක් දල්වාගෙන බුදු ගුණ කිය කියා සෑයක්, බෝධියක් පැදකුණු කළත් පින් රැස් වෙනවා ය යන ධර්මතාවය විශ්වාස කරමින් පින් රැස් කරන්නට අප පුරුදු විය යුතු ය. නැති නම් අප හැමදාමත් ලොකුවට පින් කරන්න හිතනවා පමණි. නමුත් අවසානයේ කර ගත් පුංචි පිනක්වත් නැත. කෙනෙකුට තිබෙන්නේ බතයි – හොද්දකුයි නම්, තේ කහට ටිකක් නම්, මුකුත් ම නැති නම් පිරිසිදු පැන් බඳුනක් හෝ පැහැදුනු සිතින්, බුදු ගුණ සිතමින් බුදුරජුන් උදෙසා පූජා කිරීමෙන් පින් රැස් වන බව විශ්වාස කළ යුතු ය.
එසේ ම ධනවතුන් චතුමධුර, ප්‍රණීත ඛාද්‍ය භෝජන බුදුරජුන් උදෙසා පූජා කරනවා දකිනවිටත් ඊර්ෂ්‍යාවකින් තොරව සාදුකාර දී ඒ උත්තම පූජාවන් සතුටින් අනුමෝදන් වීමටත් අවංක නිහතමානී ශ්‍රද්ධාවක් අප තුළ තිබිය යුතු ය. නැති නම් බුදුන් උදෙසා මහා වියදම් දරමින් පූජාවන් පවත්වන්නේ කවුරුත් ය, මසුරු සිතින් ඒවාට ගරහමින් අනන්ත පව් රැස් කර ගන්නේ කොහේවත් ඉන්නා කෙනෙක් ය. දිවමන් බුදුන් වැඩහුන් ඒ අතීතයේ කිසිදු දෙයක් පූජා නොකර, දෙතිස් මහා පුරුෂ ලකුණින් යුත් ඒ දිවයුරු සේ බබළන පින් රුසිරාණන් වඩිනා’යුරු දැක සිත් පහදාගෙන ඒ පිනෙන් ම කල්ප ගණන් සුගති සැප වින්ද මහා පිනැතියන් සේ ම තිරිසන් සතුන් ගැන ද ඕනෑ තරම් සූත්‍රවලින්, ජාතකවලින් අපට දැනගන්නට ලැබේ. දැකීම් මාත්‍රයකින් රැස් වන පින එතරම් නම්… යමක්, පූජා කිරීමෙන් රැස් වන පින කොයිතරම් ආනුභාව සම්පන්න වනවා ඇත්ද? එසේ නම් දුප්පත්කම්, පොහොසත්කම් පින් රැස් කිරීමට බල නොපාන බව මනාව පැහැදිලි ය. පින බලවත් වන්නේත්, දුර්වල වන්නේත් තම සිතේ පැහැදීම අනුව ය.