ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද "මරණය" නැමැති ධර්මතාවය නිතර මෙනෙහි කළ යුතුය.
" සබ්බේ සත්තා මරිස්සන්ති – මරණන්තං හි ජීවිතං "
“සියලු සත්වයෝ ම මැරී යන්නේ ය. මේ ජීවිතය පවතින්නේ මරණය තෙක් පමණි.”
තිලෝගුරු අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ අයුරිනි. ලෝකයෙන් කොයි පැත්තෙන් විමසා බැලූව ද මරණය නොපෙනෙන තැනක් නැත. පෙනෙන්නේ ම මරණය යි. පෙනෙන්නේ ම අසරණ භාවය යි. නීරෝගී බව ලෙඩදුක් ඉදිරියේ අවසන් වනු පෙනේ. යෞවනත්වය නාකි වීම ඉදිරියේ අවසන් වනු පෙනේ. ප්‍රිය ඇසුරේ සතුට, ප්‍රියයන්ගෙන් වෙන් වීමෙන් අවසන් වනු පෙනේ. මුළුමහත් ජීවිතය ම මරණය ඉදිරියේ අවසන් වනු පෙනේ.
“අහස උසැති මහා කළුගල් පර්වතයෝ සිව් දිශාවෙන් පැමිණ සියලු සත්වයින් වනසා දමනා පරිද්දෙනි, ජරා මරණ මේ උපන් සත්වයාව යටකොට දමන්නේ. රජවරු ය, ගුණවතුන් ය, ව්‍යාපාරික ධනවතුන් ය, කාර්මිකයෝ ය, සැඩොලුන් ය කියා භේදයක් නැත. සියල්ලෝම ජරා මරණ ඉදිරියේ යට වන්නේ ම ය.
" ලෝකනාථං ඨපෙත්වාන – යේ චඤ්ඤේ අත්ථි පාණිනා
පඤ්ඤාය සාරිපුත්තස්ස – කළං නාග්ඝන්ති සෝළසිං
ඒවං නාම මහා පඤ්ඤෝ – පඨමෝ අග්ගසාවකෝ
මරණස්ස වසං පත්තා – මාදිසේසු කතාව කාති."
“ලෝකනාථයන් වහන්සේ හැරුණු කොට මේ ලෝකයේ අන් සියලු සතුන්ගේ ප්‍රඥාව එකතු කළත්, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් සොළොස් කලාවෙන් එකක් තරම්වත් නොවටී. එබඳු මහා ප්‍රඥාවක් ඇති මේ බුදු සසුනේ පළමු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ද මරණය නමැති ධර්මතාව ප්‍රකට කරවමින් ජීවිතය අත්හැර පිරිනිවනට වැඩි සේක. මා වැන්නෙකුගේ මරණය ගැන කවර කතා ද?”
" ඒවං මහානුභාවස්ස – යං නාමේතං මහේසිනා
න භයේන න ලජ්ජා ය – මරණං වසමාගතං
නිල්ලජ්ජී වීතසාරජ්ජං – සබ්බසත්තාභිමන්නදනං
තයිදං මාදිසං සත්තා – කථං නාභිභවිස්සති"
අහෝ මෙබඳු මහානුභාවසම්පන්න වූ මහර්ෂි වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ භයෙන් හෝ ලැජ්ජාවෙන් හෝ මරණයෙහි වසඟයට නොගිය සේක් ම ය.

