පියවි ඇසින් ඔබ්බට කථාවක්
මෙය අතීත කතාවකි. අදින් දසක දහයකට පමණ පෙර ලංකාවේ පැවැති සමාජ තත්ත්වයෙන් බිඳක් සිහිපත් කිරීමකි. මේ කතාව මා සමඟ කීවේ බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ නේවාසිකව ප්රතිකාර ලැබූ මාකඳුර රන්සෑගොඩ දිසාගෙ විල ජේමිස් අප්පු සිරිවර්ධන උපාසක මහතාය. ඔහුගේ කතාවෙන් එදා ලංකාවේ පැවැති තත්ත්වය යම් තරමකින් වර්තමාන සමාජයට වැටහීමක් ලබාදෙයි. මේ වන විට අනූහයවැනි වියේ පසුවන ඒ මහතා ඉතා ක්රියාශීලීය. යහපත් සිහියෙන් යුක්තය. පිරිසුදුය. ඔහු ස්වකීය මතකයේ වාන් දොරටු විවර කළේ මෙසේය. ”ඒ වෙන කොට මගේ වයස අවුරුදු දහයක් විතර ඇති. ඒ කාලෙ මිනිහකුගෙ මාසෙ පඩිය රුපියල් පහළොවයි. එදා හැන්දෑවෙ තාත්තා ගෙදර ඇවිත් අම්මා අතට මාසෙ පඩිය දුන්නා. අකුරු සෑත්තරේ බැරි වුණාට අම්මට සල්ලි ගණන් කරන්න හොඳට පුළුවන්. එදා වෙනදට වඩා පඩි සල්ලි අඩුයි කියලා අම්මා රණ්ඩුකරන්න පටන් ගත්තා. තාත්තා කිව්වා
”ගෑනියෙ පෙබරවාරි මාසෙට දවස් විසි අටයි. ඒ නිසා පඩිය රුපියලක් අඩුයි” කියලා. ඒත් අම්මා ඒක පිළිගත්තෙ නැහැ.
”උඹට මාව රවටන්න බෑ. උඹ කාටහරි සල්ලි දීලා” කියලා රණ්ඩු කළා. වෙලාව රෑ 10ට 11ට විතර ඇති. අම්මා අන්තිමට තාත්තාට කීවා,
”බැහැපිය දොට්ට” කියලා. තාත්තා නිදාගත්තෙ අගුපිලේ වැල් ඇඳේ. අම්මා තාත්තව දොට්ට දාලා දොර වැහුවා. තාත්තා මගේ ඔලුව අතගාලා නළල ඉම්බා. උදේ පාන්දර බලන කොට තාත්තා යන්න ගිහිල්ලා. ඊට පස්සෙ මගේ තාත්තව කවදාවත්ම දැක්කේ නෑ. තාත්තා තමන්ගේ ඉඩම කඩම, ගේ දොර, ඔක්කොම හිතින් අතහැරලා ගිහින්. ගියා ගියාමයි.
මම ඉස්කෝලේ ගියේ නෑ. අපේ ගමේ ඉස්කෝලයක් තිබුණෙත් නෑ. මගේ වයස දැන් අවුරුදු දොළහයි. ගමේ කෝපි කඩයක් තිබුණා. මම එතැනට යන්න පුරුදු වුණා. ඒ කඩේ මාමා පන්සලෙන් අකුරු සෑත්තරේ ඉගෙන ගත්ත කෙනෙක්. නැන්දා උදේට ආප්ප පුච්චනවා. ඒ නැන්දා මට ආදරෙයි. දවසක් ඒ නැන්දා මට කීවා “පුතේ හෙට පාන්දරින් වරෙන්” කියලා. මමත් පහුවදා පාන්දරින් කඩේට ගියා.
නැන්දා මට ආප්ප දෙකක්ම කන්න දීලා පුතේ හොඳ එකා වගේ මේ ආප්ප ටික විකුණාගෙන වරෙන්” කියලා ආප්ප වට්ටියක් මගේ ඔලුව උඩින් තිබ්බා. ඒ කාලෙ ආප්පයක් සතයයි. මම අල්ලපු ගමේ කෝපි කඩේ ළඟට යනකොට ආප්ප ටික විකිණිලා ඉවරයි. මම ආපහු ඇවිත් නැන්දට සල්ලි දෙනවා. මාමා ගල්ලෑල්ලක ගණන් හදලා සල්ලි ගණන හරි ද කියලත් බලනවා. ටික දවසක් යනකොට සමහරු සල්ලි හෙට දෙන්නම් අනිද්දා දෙන්නම් කියලා ණයටත් ආප්ප ගන්නවා. මම යාළුවන්ට අල්ලපු ගමේ කෝපි කඩෙන් කඩයප්පන් කාල තේ අරන් දෙනවා. එදාට නැන්දට කියනවා අහවලා අහවලා ණයට ආප්ප ගත්තා කියලා. කඩේ මාමට මේක තේරුණා. දවසක් මට කීවා,
”උඹ කොල්ලොත් එක්ක වණ්ඩු ගහන්නෙ නැතුව ණය සල්ලිත් ඔක්කොම එකතු කරගෙන එන්න ඕනෑ” කියලා. ඉතින් ණයට ආප්ප ගත්ත අය එදා මට සල්ලි දුන්නෙත් නෑ. සල්ලි නැතුව ආපහු යන්නත් බෑ. විකිණිච්ච ආප්පවල සල්ලිත් අරගෙන වට්ටිය කැලේට වීසි කරලා මම ගමෙන් පැනලා ගියා. මාතර සිට කොළඹට ශත 40යි කෝච්චියට. කොළඹ ටිකක් ඇවිදලා බැලුවා තාත්තා ගැන හොයාගන්න බැරිවුණා. කොළඹින් රත්නපුරේට ශත 50යි. මම රත්නපුරේට ගියා. රත්නපුරේ වැලිමළුව ගමේ කඩේක වැඩට නැවතුණා.
මේ 1927 අවුරුද්ද. හාල් සේරුවක් ශත 09යි. මුතුසම්බා පිත්තල සේරුවෙන් එකක් ශත 12යි. සරමක් ශත 60යි. වළව්කාරයො අඳින චන්ද්රපට සරමක් 1.25යි. අටරියන් මඩකලපු කම්බායක් 1.25යි. චීත්ත පස්රියනක් ශත 60යි. බොරුපාකාරයෝ (බොරු කකුල් කාරයෝ) වේල් පෙරහර තියෙන කාලෙට කොළඹ වීදිවල නටනවා අඩි 7 – 8ක් දිග රිටි දෙකක් කකුල්වල බැඳගෙන ගෑනු ඇඳුම් ඇඳ නටනවා. මිනිස්සු ශත 5, 10 දෙනවා. ගම්වලටත් එනවා. මෙහෙම නටලා කඩේක වහළ උඩ වාඩිවෙනවා. ඒ කාලෙ ගෙවල් වලත් වහළ වසා තිබුණේ පිදුරු, බටකොළ, ඉලුක් කොළ වලින්.
පොල්අතු හෙවිලි කරන්න පුරුදු වුණේ පසු කාලෙක. ඉතින් වහළ උඩ වාඩි වුණ බොරුපා කාරයා කරේ තිබුණු මල්ලෙන් ටින් එකක් අතට අරගෙන ඒකෙන් සිගරැට් එකක් දල්වාගන මහ උජාරුවට බොනවා. මේක බලා සිටින මිනිස්සු අනේ අපටත් එකක් දෙන්න කියලා ඉල්ලනවා. එතකොට අර ටින් එකේ තියෙන සිගරට් මිනිස්සු ඉන්න තැනට වීසි කරනවා. මිනිස්සු පොර කකා ඇහිඳ ගෙන බොනවා. ඔන්න ඔහොමයි සිගරට් බොන්න පුරුදු කළේ. අලියා සිගරට් එකක් ශත 02යි. හම්බා - ජා- මිනිස්සු, කොළඹ ටවුමෙ මිනිස්සු තමයි වැඩිය සිගරට් බීවේ. බීඩි පුරුදු කළෙත් එහෙමයි.
ඔය අතරෙ ගොන්නු දෙන්නා බැඳපු බර කරත්ත ගමට ආවා. කරත්තෙ ඇතුළෙ රබන් ගහනවා. “වැඩි සැපයට තේ – වැඩි වැඩියෙන් බොනු” කියලා සමහරු කරත්තෙන් බැහැලා නටනවා. කරත්තය යට තියෙන ලොකු මුට්ටි, දර ළිප් දල්වලා නොමිලේ තේ දුන්නා. සීනි දාපු තේ නොමිලේ. ඉල්ලන තරමක් කෝප්ප ගණනක් නොමිලේ දෙනවා. ඔන්න ඔහොමයි කෝපි බිබී හිටපු අපට සුද්දා තේ බොන්න ඉගැන්නුවේ. කෝපි පිටරට යැව්වා.