22Share
“නොදකින් කාලකන්නි මූසලයා… උදේ පාන්දරම මෙතන බුදිය ගත්තෙ මොන මූසලකමක්ද මංදා.. දැන් ඉතින් අද දවසෙම බිස්නස් ඉවරයි. තුක් විතරක් ”
මුදලාලි ලුනු ඇඹුල් දාල පිස්සට බනිනව.. පිස්සට ඕව ගානක් නෑ.. පිස්ස මුදලාලිට විරිත්තල හිනා උනා.
“පල කාලකණ්නියා.. දුවපිය මෙතනින් මැරුම් නොකා”
මුදලාලි පිස්සගෙ ප්ලාස්ටික් කෑලි එකතුකරල තිබුන ෂොපින් බෑග් එකට පයින් ගැහුවා.. ඒකෙ තිබුන ලට්ට ලොට්ට පාර පුරා විසිරුණා.. පිස්ස මුකුත් නොකියා ආපහු මුදලාලි එක්ක හිනා උනා. ඊට පස්සෙ විසිරිල තිබුන පිස්සට වටින අනිත් අයට නොවටින දේවල් ටික එකතු කරල බෑග් එකට දා ගත්තා.
පිස්සගෙ අණ්ඩ දමාපු කොට කලිසම පිටිපස්සෙ ඉරිලා. මෙතනින් යන්න ආපු පංති යන කෙල්ලො ටිකක් මේක දැකල බක බක ගාල හිනා වෙවි ගියා.. ඒත් පිස්සට ලජ්ජ හිතුනෙ නෑ.. අනිත් අය හිනා වෙන කොට පිස්සත් හයියෙන් හිනා උනා..
තමන්ගෙ වටිනා වස්තුව තියෙන බෑග් එකත් අරං පිස්ස බස් හෝල්ට් එකට ආව.. ඒතන කපුටෙක් මැරිලා.. පළාතම ගදයි.. සාරි ඇඳපු නෝනල, ටයි දමාපු මහත්තුරු නහය වහගෙන අප්පිරියාවෙන් බස් එකක් එනකම් ඉන්නව.. පිස්සටත් ඉවසන්න බැරි ගඳක් ආව. පිස්ස දැක්ක මැස්සො වහ වහ තියෙන කපුටු මළකුණ.. පිස්ස එක අතකින් නහය වහගෙන කපුටගෙ තටුවකින් උස්සන් ගිහින් එතනම තිබුන ලොකු කුණු බැරල් එකට දාල වැහුවා.
“ඊයා…. අර බලන්නකෝ අර මිනිහ අර ජරාගොඩ ඇල්ලුවා… මට වමනෙ යන්න වගේ”
එතන හිටපු පොඩි කෙල්ලෙක් තමන්ගෙ කොන්ඩෙ පාට කරල එක කනක කරාබුවක් දාපු පෙම්වතාට කිව්වා.
පිස්සා ආපහු බස් හෝල්ට් එක යටට ආවා.. එතන හිටපු හැමෝම අප්පිරියාවෙන් පිස්ස දිහා බැළුවා..
“පලයං මෙතනින්… පලයං පලයං..”
කොන්ඩෙ පාට කරපු පෙම්වතා පිස්සව එලෙව්වා.. පිස්ස හිනාවෙලා ආපහු පාරට බැස්සා…
“-ඌ එලවපු එක හොඳයි. නැත්නම් අපිටත් ඕකගෙන් ලෙඩ බෝ වෙයි.. දැක්කනෙ කිසි කැතක් නැතුව අර ජරාව අල්ලපු හැටි”
හැමෝම කොන්ඩෙ පාට කරපු පෙම්වතාට ස්තූති කරා…
පිස්සා පාර දිගේ ආව.. අනේ… පුංචි පරවි පැටියෙක්… වාහනේකට අහුවෙලාද කොහෙද.. ඒත් තාම පණ අදිනවා… පිස්සා පාර මැද හිටපු පරවි පැටිය අතට ගත්තා……
‘දඩාස් ‘
පිටිසස්සෙන් ආපු ලොකු ලොරියක් පරවියයි පිස්සයි දෙන්නම යටකරන් ගියා..මිනිස්සු පිස්ස වටේට වට උනා..
“ඩ්රැයිවර් වැරදි නෑ… මූ තමයි පාර මැද්දට පැන්නෙ”
“අනික මූ පිස්සෙක්.. මල්ලිල බය වෙන්න එපා”
“බේර ගන්න බෑ වගේ.. හොස්පිටල් ගෙනියල වැඩක් නෑ”
පිස්ස අමාරුවෙන් ඇස් ඇරල වටේ ඉන්න මිනිස්සු දිහා බැලූවා.. හැමෝම තමන් දිහා බලං.. පිස්ස අමාරුවෙන් ඒ අයත් එක්ක හිනා උනා… ඒ හිනාව එහෙමම තියෙද්දි පිස්සගෙ ඇස් දෙක පියඋනා..
ප.ලි. -
පිස්සගෙ ෆැන්ටසි ලෝකෙ වෛරය , තරහව , ලැජ්ජාව කියන හැඟීම් තිබුනෙ නෑ.. සතුට විතරයි තිබුනෙ.. ඒ නිසා පිස්ස හැම තිස්සෙම හිටියෙ සතුටින්.. පිස්සගෙ අවසානයත් උනේ සතුටින්.. ඒ නිසයි අනිත් අය ඔහුට ‘පිස්ස’ කිව්වෙ…
උපටා ගැනීම සංහිද .කොම්
