වර්ෂාව ඇදහැලෙන අතර ගෙරවුම් සමඟ අකුණු ද ගසයි. පොළොව තෙමෙන්නට වැස්ස වැටෙයි. ඔහු ඒ අකුණු අතරේ නොසැලී ජනේලයෙන් මිදුල දෙස බලා සිටී. එසේ බලා සිටින ඔහුගේ මුවග මදහසක් නැගිනි.
වැස්ස වැටීමෙන් පාර පුරා ජලය ගලා යයි. සුළඟද හමන්නේ ය. මේ අතරේ හෙමින් සීරුවේ ඇවිද එන පුද්ගලයෙකි. වැහි අන්ධකාරය නිසා ඔහුගේ මුහුණ පෙනෙන්නේ නැත. නමුත් ඔහු ඇවිදයන්නේ එක්තරා නිවසකට බව ඕනෑම අයකුට සිතා ගත හැක්කේ ඔහුගේ ගමන් මාර්ගය ඒ නිවස කරා විහිදී ඇති නිසාවෙනි. මාර්ගයේ තබන සෑම පියවරක්ම එසවෙන විට සපත්තු අඩියෙන් රුධිරය ජලය සමඟ මුසු වී පාවී යන ආකාරය එදෙස බලා සිටින්නෙකුට දක්නට ලැබේ. මේ තැනැත්තා හිමින් සීරුවේ නිවස දෙසට පිය තබන්නේ, පුරුදු ස්ථානයට ගමන් කරන්නෙකු මෙන් බව පෙනී යයි. ඔහු නිවසට පැමිණෙන තුරු නිවසේ සිටින ඔහු බලා සිටින්නේ ය. ඒ ඉවසිල්ලෙනි.
මිදුල හරහා ඇවිද ආ තැනැත්තා හිමින් සීරුවේ දොර අසල ඇති යතුරු පුවරුවේ අංක භාවිතා කර දොර විවෘත කරගත්තේ ය. ඔහු මිදුල හරහා ඇවිද එන ආකාරය නිවස තුළ සිට ඔහු ජනේලයෙන් බලා සිටියේ ය. යතුරු පුවරුව ක්‍රියාත්මක කරනා හඬට ඔහු සවන් දුන්නේ වුවමනාවෙනි.
දොර විවෘත කරගත් ඔහු හිමින් සීරුවේ නිවස තුළට ඇවිද ආවේ ය. රනුක් දිසානායක හිසට වෙඩි පහර වදින අවස්ථාවේ දී ඇඳ සිටි ඇඳුම ඔහු ඇඳ සිටියේ ය. හිසෙන් ගලා ගිය රුධිරය ඇඳ සිටි කමිසයට වැටී තිබිණි. එසේම මුහුණේ එක් පසක රුධිරය ගලා ගොස් ඇති අයුරු දක්නට ලැබිනි. ඒ හිසට සිදු වූ තුවාලය නිසාවෙන් බව නිගමනය කිරීමට කිසිඳු සැකයක් නැත. සෘජුවම ඔහු ගමන් කළේ නිවසේ සිටින ආගන්තුකයා වෙත ය. නිවසෙන් පිටත මහා වැස්සකි. අකුණු ගසයි. ආගන්තුකයා ඉදිරියට පැමිණි ඔහු අඩි දෙක තුනක පරතරයක් තබා නතර වී සිට ගත්තේ ය.
තමුන් ඉදිරියට පැමිණෙන තැනැත්තා දෙස බලා සිටි ඔහු, ඔහුව පිළිගැනීමට මෙන් පියවරක් දෙකක් ඉදිරියට ගොස් නැවතුනේ ය. තමුන් දෙස බලා සිටින්නාගේ මුහුණ දෙස මද වේලාවක් බලා සිටි ඔහුගේ මුවඟට සිනහවක් පැමිණිනි.
සාලයේ සිටගෙන සිටිනා දෙදෙනා එකම ස්වරූපයේ ය. වෙනසකට තිබුනේ ඇඳ සිටිනා ඇඳුම් පමණි. නිවසට ප්‍රථමයෙන් පැමිණි තැනැත්තා ඇඳ සිටියේ කළු පැහැ කමිසයකුත් කළිසමකුත් ය. වැස්සේ ඇතුළු වූ තැනැත්තා ඇඳ සිටියේ රනුක් දිසානායක අවසන් මොහොතේ ඇඳ සිටි ඇඳුම් ය. දෙදෙනාම රනුක් දිසානායකලා ය.
********************
‘ඒකත් එහෙම ද?‘
‘ඔව් තේරෙනවානේ. ඒ යකා අවුරුදු ගාණක් ඉඳපු කාමරෙන් අපිට ෆ්‍රින්ගර් ෆ්‍රින්ට් එකක් තියා ඩී එන් ඒ සාම්පල් එකක්වත් හොයා ගන්න බැරි වුනා.‘
‘බොස් මූ පිස්සෙක්නම් වෙන්න බෑ.‘
‘අනිවාර්යෙන්ම. මන් හිතන්නේ හොඳට ප්ලෑන් කරලා තමයි ගේම ගහලා තියෙන්නේ. නැත්නම් කොහොමද කිසිම සාක්ෂියක් නැත්තේ‘
‘ඔව් ඒක හරි. අනික මේ යකාව ඇඩ්මිට් කරපු විස්තර හිටන් බොරු ඒවානේ..‘
‘මාව නම් නිකන් කරකෝලා අතෑරියා වගේ හොඳ බොස්.. ආයිත් මොනවද?‘
‘මේ හැමෝටම කියන්නේ.. මන් මෙහෙම කිව්වට වැරදියට හිතන්න එපා හරිද?‘
‘කියහන්කො බලන්න උඹත් මොනා හරි...‘
‘මේකයි බොස්.. හිතෙන්නෙ නැද්ද රනුක් කිව්වෙ ඇත්ත කියලා.‘
සියළු දෙනාම කණිෂ්ඨ නිලධාරියා දෙස බලා සිටියේ අයා ගත් මුවිනි. උනන්දුවාට රනුක් විසින් මළ සිරුර පිළිබඳව කළ විස්තරය නැවත සිහිපත් විය. ‘ඇත්තටම මක් වෙලාද රනුක් ට.‘ ඔහු තමන්ටම කියා ගත්තේ ය.
********************
‘කව්ද තමුසෙ...‘
‘හ්ම්... තමුසෙ එහෙනම් මාව හොයාගෙන පුරුදු ගෙදරටම ආවා නේද?‘
‘මන් ඇහුවෙ ප්‍රශ්නයක් තමුසෙගෙන්. කියනවා. කව්ද තමුසෙ?‘
‘මම ද.....‘ ඔහු සිනාසෙන්නට විය...
‘කිව්වා කියමුකො.. ඒත් තමුසෙ මාව දන්නෙ නෑ... අනික තමුසෙට මාව පේනවානේ යාළුවා.‘
‘කියනවා අන්තිම වතාවට මන් මේ හොඳින් අහන්නේ..‘
‘හික්ස්.... තමුසෙ හොඳින් තියා මොකෙන් ඇහුවත් වැඩක් නෑ ඕයි..හරි හරි බලනවාකෝ තමුසෙගෙ මූණ දිහා.. හොඳියි මතක් කරගන්නවා... මතක් කරගන්නවා තමුසෙට මොකද වුනේ කියලා.. කොහොමද ඔය ලේ ගෑවිලා තියෙන්නේ කියලා..‘
ඇස් පිල්ලමට ගලා ආ ලේ බින්ඳුවක් හිමින් සීරුවේ කම්මුලට වැටුනා ඔහුට දැනුනි. මේ මිනිසා කියන්නේ කුමක් ද? තමන්ට වුවේ කුමක් ද? ඔහු කල්පනා කළේය. ඔහුගේ මතකය ආපස්සට ගමන් කළේ වේගයෙනි. ඔහුට සිහිපත් විය.
‘එකෙක්වත් ලඟට එන්න එපා... තියෙනවා මුගේ ඔළුව කුඩු වෙන්න...‘
රනුක් දිසානායකව ප්‍රාණ ඇපකාරත්වට තබා ගත් හමුදා ඇඳුම් ඇඳගෙන සිටි තැනැත්තා කෑ ගසයි. ඔහු රනුක්ගේ හිසට රිපීටරයක් තබා ගෙන සිටින අතර එක් අතකින් රනුක්ගේ ගෙල තද කර ගෙන සිටී. විශේෂ බලකායේ නිලධාරීන් එක් එක් ස්ථානවල සිට සිද්ධියට සම්බන්ධ වී සිටී. නමුත් ප්‍රාණ ඇපකරුවා ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයද ඔවුන්ට ඇත. ප්‍රාණ ඇපකරුවා වී සිටින්නේ ද තමුන්ගේ ම සහෝදර නිලධාරියෙකි. මිනිසුන් ද බියට පත්ව නමුත් සිදුවීම බලා සිටී. අපරාධකරු කෑ ගසයි.
‘කොහෙද උඹ හැංගිලා ඉන්නෙ ගෑණියේ. වරෙන් එළියට. නැත්නම් මූ මැරෙයි. ඔන්න මන් නොකිව්වයි කියන්න එපා.. වරෙන් ඉතින්... මගේ ඉවසීමේ සීමාව පන්නන්න නම් එපා....‘
ඔහු කෑ ගසමින් වරෙක රනුක්ගේ බෙල්ල තද කරයි. වරෙක පිස්තෝලය නලලට තද කරයි.
මේ අතරේ ඉහළ සිට ස්නයිපර් වර්ගයේ තුවක්කුවක් රඳවාගෙන සිටි නමුත් මුහුණ ආවරණය කර ගෙන සිටින සෙබලකුගේ කණේ සවිකර තිබූ බ්ලූටූත් යන්ත්‍රය හරහා පණිවිඩයක් ලැබිණි.
‘මරලා දාපන් දැන් ඕකාව.‘
සෙබලා කිසිවක් කීවේ නැත. ඔහුට ලැබුනේ අණකි. ස්නයිපරය නිසි එල්ලය ලඟා කරගත්තේ ය. දුරදක්නයට එල්ල ගත වූයේ අපරාධකරු නොවේ. රනුක් දිසානායකය. ඔහු මද වේලාවක් එල්ලය බලා සිටියේ අවස්ථාව පැමිණෙන තුරු ය. අවස්ථාව පැමිණුනි. අපරාධකරු, ඔහුගේ ආයුධය රනුක්ගේ නලලට තද කරමින් කෑ ගසන්නට විය.
‘මේක ඇත්ත තුවක්කුවක්.. අවේ නැත්නම් මන් මූට වෙඩි තියනවා. මාත් මැරෙනවා. වරෙන් හැංගිලා ඉන්න තැනකින්.‘
ක්ෂණයෙන් අහසේ පාවී පැමිණි උණ්ඩය රනුක්ගේ හිස පසාරු කරගෙන ඇතුළුවූයේ අපරාධකරුද පුදුමයට පත් කරමිනි. ඔහුද පසෙකට විසි වී ගියේ ය. තමුන් වෙඩි නොතැබූ බව ඔහුට විශ්වාසය. නමුත් හිසට තුවාල සිදු වී ප්‍රාණඇපකරු විසි වී වැටුණි. හිසෙන් ගලා යන ලේ වැඩි වේලාවක් නො ගොසින් සිමෙන්ති පොළව මත රටා මවන්නට විය. මිනිසුන් කෑ ගසයි. ඔවුන්ට ද ඔවුන් දකිනා සිදුවීම බියමුසු හැඟීමක් ගෙන දුන්නේ ය.
මේ අතර කෑ ගසනා මිනිසුන්ට පසුපස සිට තිදෙනෙක් මේ සිදුවීම බලා සිටී. නමුත් ඔවුන් තිදෙනා කව්දැයි හඳුනාගත නොහැක. අයකු උස් මුදුනක් ඇති තොප්පියක් පැළඳ සිටිනාකාරයක් සෙවණැල්ලෙන් මෙන් දක්නට ලැබේ.
‘මේ අහන්න. අපිත් නාඩගමක් බලනවා වගේ මේක බලන් ඉඳියා. මන් කියන්නම්, අපිටත් මේකට දඬුවම් විඳින්න වෙයි. හොඳේ තේරුනාද?‘
තොප්පිය දමාගෙන සිටින්නා අනෙක් දෙදෙනාට කියයි. රනුක්ට එය ඇසුනා පමණක් නොව ඔහුට ඔවුන් තිදෙනාව දුරින් පෙනෙන්නේ ය.
‘මට බෑ ඔහේට හානියක් වෙනවා බලා ඉන්න.‘ ඔහු තවදුරටත් කියයි.
‘මන් මොනා වුනත් මගේ අත්දෙකෙන්ම උඹව අල්ලාගන්නවා.‘ අනෙක් දෙදෙනාගෙන් අයෙක් කියයි.
රනුක් තමන් දෙසට ඇවිද එන තැනැත්තා දෙස අපහසුවෙන් බලා සිටියේ ය. ඒ වන විට රනුක් මියගොස් සිටියේ නැත. නමුත් සිටියේ පණ අදිමිනි. ඔහු වෙත ඇවිද ආ තැනැත්තා හිස අසල සිටගත්තේ රනුක්ට ඔහුව හොඳින් පෙනෙන ලෙසිනි. ඔහු දෙස මද වේලාවක් බලා සිටි රනුක් අවසන් හුස්ම පිට කලේය.
මේ සියල්ල ඔහුගේ සිහියට පැමිණුනි. ඔහුට යමක් වැටහිනි. එදා ඇසුණු කටහඬක් අද ඔහුගේ ඉදිරිපිට සිටින මිනිසාගෙන් පිටවෙයි. එය ඔහුට මතකය. එය ඇසී වැඩි කාලයක් ගෙවී නැත. ඒ අතරේ එක දිගට මහා ගෙරවුම් සමඟ අකුණු කොටන්නට වුණි.
‘මතක් වෙනවාද ආ... මතක්වෙනවාද.... ‘
වියරුවෙන් මෙන් සිනාසෙන්නට පටන් ගත් ඔහුගේ ස්වරූපය වෙනස් වන්නට පටන් ගත්තේය.
‘මතකද මතකද...‘
ඔව්, මේ ඔහුයි.. ඔහුට සිහිපත් විය. තමුන් හිසට වෙඩි වැදී වැටුන අවස්ථාවේ දී අසලට පැමිණි කළු ඇඳගත් තැනැත්තා දැන් ඔහු ඉදිරිපිට සිටියි. ඒ ගැන කිසිඳු සැකයක් නැත.
‘මතකද රනුක් දිසානායක.. මතකද තමුන්ට... එදා ඉස්පිරිතාලෙදි තමුන් මැරුණා..‘
ඔහුට තමුන් ආදරය කල දීපිකා අඬමින් ප්‍රතිකාර කරනාකාරය සිහිපත් විනි.
‘කව්ද උඹ කියපන්.‘
‘මම?‘ .... ඔහු සිනාසෙන්නට පටන්ගත්තේ ය. ඒ සිනා හඬ, හෙන හඬ පරයමින් නැගෙන්නට විය.
********************
මේ අතර මේ දෙදෙනාගේ හමුවීම අසල නිවසක සිට තවත් අයකු දුරදක්නයකින් බලා සිටියේ ය. දුරදක්නයට පෙනෙන්නේ දෙදෙනාගෙන් අයකු පමණි.
‘රනුක් ... රනුක්.... මන් හිතුවාට වඩා උඹේ පණ හයියයි වගේ.. ඊළඟ සැරේ එහෙම වෙන්නෙ නෑ... මන් උඹව මරනවාමයි..‘