පූර්විකාව
"ඉතින් පුතේ දුටුගැමුණු රජතුමා ඒ රථයෙ නැගලා තුසිත දිව්‍ය ලෝකයට ගියාලු"
"ආච්චී ඒක ලස්සන කතාව. මන් දුටුගැමුණු රජුජුරුවන්ට හරි ආදරෙයි. ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ආච්චියේ"
"ඒ මොකක්ද පුතේ?".
"ඇයි අපිට දෙවියො පේන්නෙ නැත්තේ?".
"අනේ පුතේ, පුතාට ඕවා තාම තේරෙන්නේ නෑ රත්තරනේ".
"කියන්නකො ආච්චියේ..."
"ම් ම් මෙහෙමයි. අපි දැන් මේ ඉන්න තැනත් හුඟක් කට්ටිය ඉන්නවා අපි දිහා බලන්. හැබැයි අපිට එයාලව පේන්නෙ නෑ"
"දෙවියොද ආච්චි අම්මෙ"
"දෙවියො විතරක් ම නෙමෙයි පුතේ. අපිට නොපෙනෙන අය ගොඩක් මේ වටේ ඉන්නවා. සමහරු අපිට ආදරෙන්. සමහරු අපිත් එක්ක තරහෙන්."
"ඉතින් ආච්චියෙ අපිට කොහොමවත් ඒ අයව පේන්නෙ නැද්ද?"
"පුතාලගේ මාමා දවසක් කියනවා මන් අහගෙනයි දැන් කැමරා හදලා තියෙනවාලු ඒ වගේ අයව දකින්න පුළුවන්. තව සමහරු කියනවා බල්ලොන්ට පූසන්ටත් ඒ වගේ අයව පේනවලු."
"ආච්චි, ආච්චි යක්කුත් ඉන්නවා ද?"
"යක්කු විතරක් නෙමෙයි මගේ පුතේ. භූතයෝ, ප්‍රේතයො, පිශාචයෝ වගේ හුඟක් අය ඉන්නවා."
"එහෙනම් හොල්මන් කියන්නෙ ඇත්තනෙ ආච්චියේ. ඒත් හොල්මන් අපිට පේනවානේ"
"සමහරුනම් කියන්නෙ හොල්මන් බොරුයි කියලා පුතේ. ඒත් ඇත්ත වුනත් බොරු වුනත් බුදුහාමුදරුවන්ගේ බලයට ඒ හැම කෙනෙක් ම යටයි. ඒ නිසා මගේ පුතයි දුවයි පොඩිකාලෙ ඉඳන් ම බුදුහාමුදුරුවො කියපු දේවල් අහලා ඉන්න ඕනා හොඳද"
(1)
පොලීසිය දින කිහිපයක් තිස්සේ රබර් වත්ත පීරමින් සොයන්නේ කුමක් දැ යි ගම්වැසියන්ට කුහුලකි. පොලිස් නිලධාරීන් පනහක පමණ කණ්ඩායමක් ගම්වැසියන්ගේ සහභාගීත්වයකින් තොරව කුමක් හෝ සොයයි. මේ අක්කර ගණනක් පුරා දිවුණු රබර් වත්ත පිහිටා තිබුනේ ප්‍රපාතයකට ගමන් කරන්නා වූ ආකාරයට ය. වත්ත පහලින් සාමාන්‍ය තරමේ දොළපහරක් ගලා යයි. මේ වනවිට එය රබර් වත්තකටත් වඩා මූකලානක ස්වභාවයක් ගත්තේ නිසිලෙසින් නඩත්තු නොවීම නිසාවෙනි. වත්ත අයත් ව තිබූ එවකට ගම්වැසියකු වූ සිල්වා මහතාගේ උරුමකරුවෝ තවදුරටත් ගමේ පදිංචි ව නොසිටිය හ. නමුත් එදා රබර් වත්ත ලෙසින් හැඳින් වූ වත්ත මූකලානක් බවට පරිවර්තනය ව තිබුන ද අදත් හැඳින්වූයේ රබර් වත්ත ලෙසින්ම ය. රබර් වත්ත අතරින් වැටී තිබූ කඩතොළු සහිත මාර්ගයේ රාත්‍රී කාලයේ වාහනයක් පවා ධාවනය වූයේ කලාතුරකිනි. සුප්‍රසිද්ධ භීෂණ සමයේ දී මේ රබර් වත්තේ ද ටයර් සෑයවල් දැවිනි. දැන් නම් අවට සිටින්නේ ඒවා දුටු සාක්ෂිකරුවන් නොවේ. නමුත් ටයර් සෑයවල පණ පිටින් දැවුනු මිනිසුන් දුටු සාක්ෂිකරුවන් තවමත් පණ පිටින් ද සිටී. එවකට වෙඩි හඬ ඇසෙද්දී සැඟ වුනු පොඩිත්තෝ දැන් තරුණ තරුණියෝ ය. දැනුදු දවල් වරුවේත් මෙහි ඇත්තේ අඳුරු මූසල ස්වභාවයකි. භීෂණ සමයෙන් පසුව ගම්වාසීන් මේ රබර් වත්ත සමඟ ඇති සබඳතා ඉතා අවම විය. එකල මළ මිනිසුන් මෙහි හොල්මන් කරන්නේ යැයි විශ්වාසයක් ඔවුන් තුළ විනි. ඒ හොල්මන් දැක බියවූවන් ද සිටීම ඊට තවත් හේතුවක් විය. මෑත දී රබර් වත්ත මුල් කරගත් සිදුවීමක් වාර්තා නොවිනි. මෙනිසා ම මේ සෝදිසිය ගමැවාසීන්ට ප්‍රශ්නයක් විය. ඔවුන්ගේ මනසේ සාමය මේ සෙවිල්ලත් සමඟ දුරු වී තිබිනි.
තමුන් සොයන්නේ කුමක්දැයි නිසිලෙසින් නොදත් පොලිස් නිලධාරීන් ද මේ සෙවිල්ලට එක්ව සිටී. ඔවුන් සොයන්නේ සැකකටයුතු දෙයකි. මේ අතරේ කඩවසම් නමුත් බියගුළු ස්වරූපයක් පෙන්වන, නිල ඇඳුමින් නො සැරසුණු නිලධාරියකු ද විනි. එවැනි කීපදෙනකුම එහි විය. ඔවුන් කණ්ඩායම පොලිස් නිලධාරීන් ම වුවත් බුද්ධි අංශයට අනුයුක්තයන් වීම මේ ඇඳුමේ වෙනසට හේතුව බව තතු දන්නා් දැන සිටිය හ. ඒ කඩවසම් නිලධාරියා තම සෙවීම් කටයුතු අන් නිලධාරීන්ගෙන් වෙන්ව සිදු කරනු ලැබුවේ ය. නැත්නම් ඔහුව අන්‍යන්ගේ අවධානයට ලක්වුයේ නැත. එහෙත් ඔහුද කුමක් හෝ සෙවී ය. එසේ කුමක් හෝ සොයමින් යන ඔහු අවසානයේ නතර වූයේ වත්ත පහලින් ගලා යන දිය පහරට ඇද වැටීමෙනි. නමුත් ඔහු අන්‍යන්ගෙන් වෙන්ව සිටීම නිසා ඒ බවක් කණ්ඩායමේ ඉතිරිවුන් දැන නොසිටිය හ.
දිය පහරට ඇද වැටුන ඔහු එහි ගිලී ගියේ පෙනෙනවාට වඩා ගැඹුරක් එම ස්ථානයේ තිබූ නිසාවෙනි. දියට වැටුනු විගස ඕනෑම සතකු ගැඹුරට ගිලී යන අතර පසුව ඉහළට ස්වභාවයෙන් ම පැමිණීමට උත්සාහ දරයි. මේ නිලධාරියාට ද එහි වෙනසක් නොවිනි. නමුත් ඔහුගේ පිහිනීමේ හැකියාවේ දුබලතාවය නිසා ගොඩට එනවා වෙනුවට ඔහු ගිලෙන්න ට විය. එසේ ගිලෙන අවස්ථාවක මාරාවේශයෙන් දඟලන ඔහුගේ පාද කුමක හෝ පැටලිනි. ඒ ගලවා ගැනීමට උත්සාහ කරද්දී ඔහු අඳුරේ මෙන් දුටුවේ තමුන්ගේ පාද දොල පහරේ පතුලේ රැඳී ඇති කාරයක දොරක පැට ලී ඇති බවයි. එම සිදුවීම සමඟ විශ්මයට පත් නිලධාරියා හැකි වෙර යොදා කාරය දෙසට යොමු විනි. ඔහුගේ පාද පැටලී තිබුනේ රියදුරු අසුන ඇති පස දොරෙහි ය. එම අසුනේ කිසිවක් නොතිබිනි. නමුත් අනෙක් පස අසුන දුටු නිලධාරියා දිය මතුපිටට ආවේ පතුලෙන් උඩට තල්ලු කරන්නාක් මෙනි. ඒ පැමිණි ඔහු නැවතුනේ දියපහරේ ඉවුරේ ය. ඉවුරේ ඇලවුණු ඔහු, ඔහු දුටු දේ විශ්වාස නොකලේ ය. ඔහු තබා ඔහු ව හඳුනන කිසිවකු ඒ විශ්වාස නොකරනු ඇත. ඔව්, ඔහු ඒ දුටුවේ තමුන්ව ම ය. එහි කිසිඳු සැකයක් නැත. කාරයේ සිටියේ තමුන් ම ය. මේ දකින්නේ මායාවක්ද? ඔහුට නැගුනු පැනය එයයි. තමුන් එසේ දියේ ගිලුනේ කවදා කෙසේද? කුමක් හෝ ගැටළුවක් ඇතිව තිබේ. තමුන් දුටුවේ මායාවක් නොවන බවට විශ්වාසයක් ද ඔහු තුළ විය. තවමත් ඔහුගේ ඇඟෙන් දිය බේරෙයි. තමුන් කුමක් හෝ හේතුවක ට සත්‍ය ලෙසම දියපහරට ඇද වැටිනි. සිදුවූ සහ දුටු දේ සමඟ බියට පත් හේ දිය පහරෙන් පසුපසට තල්ලු වී පැමිණ, නැගිට, වේගයෙන් අනෙක් පොලිස් නිලධාරීන් සිටින දෙසට දුව යන්නට පටන් ගත්තේ ය. හතිලමින් කන්ද දෙසට දුවයන ඔහු එක්වරම කකුල පැටලී තවත් වලකට ඇද වැටිනි.
සෙවුම් කණ්ඩායමේ සිටි "උනන්දුවා" තමුන් සිටි දෙසට කෑ ගසමින් දුව එන බියගුළු නිලධාරියා දුටු අතර ඒ නිලධාරියා එක්වරම බිම වැටෙනවා ද දුටුවේ ය. කුමක් හෝ වරදක් සිදුව ඇති බව ඔහු ට වැටහුනේ සේවා පලපුරුද්දෙනි. ඔහු, තම යටත් නිලධාරියා වැටුණු ඉසව්වට දුවන්නට විය. උනන්දුවා යම් දෙසකට දුවන්නට පටන් ගත්තේ ද ඔහු පසුපස අනෙක් නිලධාරීන් ද දුවන්නට විනි. වැටුණු නිලධාරියා නොනැගිටින බව එදෙසට දිව යන උනන්දුවා නිරීක්ෂණය කලේ ය. මෙනිසා ඔහු වේගවත් විනි. වැඩිවේලාවක් ගතවීමට පෙර බියගුල්ලා ඇද වැටුණු ස්ථානයට ඔහු පැමිණියේ ය. ස්වභාවික වලකට බියගුල්ලා වැටී සිටි අතර ඔහුගේ කිසිඳු සෙලවීමක් නොවිනි. ආ වේගයෙන් ම උනන්දුවා ද වලට පැන්නේ ය. වලට පැනි ඔහු මුණින් අතට වැටී සිටි සෙලවීමක් හෝ නැති පොලිස් නිලධාරියා හිමින් සීරුවේ අනෙක් පසට හැර වීය. පුදුමයෙකි. ඔහු තෙත බරියන්ව සිටී. නමුත් වලේ ජලය නැත. කුමක් හෝ සිදුව ඇත. අනෙක් නිලධාරීන් ද පැමිණි අතර බියගුල්ලා ව හිමින් සීරුවේ වලෙන් උඩට ගන්නා ලදි. බියගුල්ලා උඩට ගත් පසු උනන්දුවා ද වලෙන් උඩට නැගීමට සූදානම් විනි. නමුත් ක්ෂණයෙන් ඔහුගේ අදහස වෙනස් විය. නැවතත් උනන්දුවා හැරුනේ වල දෙසට ය. තමුන් සෙවූ දේ කුමක් වුවත් එය ඇත්තේ මෙහි බව ඔහුට දැනිනි.
"කොල්ලනේ සොකෝ එකේ අයට මෙතන හාරන්න කියාපල්ලා".
උනන්දුවා කෑ ගැසුවේ ය. නිලධාරීන් ද බලා සිටියේ උනන්දුවාගේ අණ ලැබෙන තුරු ය. මන්දයත් එහි සටි අණදෙන්නා ඔහු නිසාවෙනි. අණ ලද විගස සෝදිසියේ යෙදුන නිලධාරීන් තිදෙනකු වලට බැස ක්‍රමානුකූලව එය හාරන්නට විය. වැඩි ගැඹුරකට හෑරීමට ඔවුන් ට අවැසි නොවිනි. ප්‍රථමයෙන්ම කළු පැහැ පොලිතීන් දවටනය ඔවුන් ට හමු විය. දෙවනුව එයින් ඔතා තිබූ ඇටසැකිල්ලක් ඔවුනට හමු විනි.


