සිතුමිගේ දෑස් පියවෙමින් යයි. ඇයගේ ගෙල, තොණ්ඩුවට සිරවීම ක්‍රමයෙන් සිදුවිනි. මෙනිසා ඇය දඟලන්නට විය. මරණයේ වේදනාව ඇයට දැනෙන්නට පටන් ගනිද්දී ඇය උත්මාහ කළේ තමා ගත් තීරණය ආපසු හැරවීමටයි. නමුත් එහිදී ඇය ප්‍රමාද ව තිබිණි. තොණ්ඩුව සිරවීම වැළැක්වීමට ඇය උත්සුකවද්දී ඇගේ දැඟලිල්ල වැඩි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් තව තවත් තොණ්ඩුව සිරවී ඇය අඩපන විය. ක්‍රමයෙන් ඇගේ දැඟලිල්ල ද අඩු වන්නට විය. කෙසේවෙතත් මරණීය මොහොතේ දී සිතුමි ඇගේ පියාගෙන් උදව් ඉල්ලුවාය. ඒ ඇයට ජීවත්වීමට යි. ඇගේ පියාගේ මුහුණ දකිමින් ම ඇය විසඥ විනි.
තමුන්ගේ කම්මුලෙහි ගැටෙනා තෙත් සහිත ද්‍රව්‍යයක බලපෑමෙන් සිතුමි ආපසු දෑස් විවර කළා ය. ඇයගේ මුහුණ සුදු පැහැ නමුත් කළු පැහැ වයිරම්වලින් සෑදුණු ලොමින් ගැවසුණු බල්ලකු විසින් ලෙවකයි. ඇය ඒ වන විටත් සිටියේ බිම වැතිරී ය. හිමින් සීරුවේ බල්ලාව පසෙකට තල්ලු කරමින් නැගිටීමට උත්සාහ කළ සිතුමි, බිම දණ ගසා ගනිමින් ඇය දෙස උනන්දුවෙන් බලා සිටිනා තරුණයකු දුටුවා ය.
‘ඒයි... තමුසෙ කොහොමද ගේ ඇතුලට ආවේ.. කව්ද තමුසෙ?‘
‘හෝව් හෝව් කෑ ගහන්න එපා. හරිනම් ඔහේ මට ස්තුති කරන්න ඕනා.. මමයි ඔහේව බේර ගත්තෙ. අනික මම හොරෙකුත් නෙමෙයි.‘
‘බේරා ගත්තෙ? මාව... තමුසේ...‘
සිතුමි ඉක්මණනින් ම සිට ගත්තා ය. තරුණයා ද ඒ සමඟ ම සිටගත්තේ ය. බල්ලා ද ඔහු අසලට විය.
‘ඔව්... ඇත්තටම මටත් වඩා මේ බිංගාටයි ඔයා ස්තුති කරන්න ඕනා.‘
‘බිංගා??.‘
සිතුමි ඇඳේ වාඩි වූවා ය. තරුණයා ඔහුගේ අත්දැකීම විස්තර කළේ ය.
‘ඔයාට මාව මතක නැතුව ඇති. දැනට දවස් ගාණකට කලින් ඔයා පොලීසියට අරන් ආපු වෙලාවේ මමත් පොලීසියේ ඉඳියා.. මගේ යාළුවොත් එක්ක.‘
සිතුමි මදක් කල්පනා කළාය. ඇයට ජනිත් වික්‍රමසිංහගේ කණ්ඩායම සමඟ එදා මේ තරුණයා ද පොලීසියේ සිටි බව සිහිපත් වූයේ එවිට ය.
‘ඉතිං මට ඇහුණා ඔයා පොලිස් ඔෆිසර්ට ඔයාගේ විස්තර කියනවා. මන් හිතුවා ඔයා සාස්තරකාරියෙක් වෙන්න ඇති කියලා.‘
‘මොකක්... සාස්තරකාරියෙක්?‘
‘ඔව්. කොහොම හරි අපි ඕ අයි සී හම්බවෙලා එද්දී ඔයා ඉඳියෙ නෑ. අපිත් ගෙදර ගියා. පස්සෙ අද දවල් මේ බිංගාට අමාරු වුනා. ඌගේ කලින් තිබ්බ ඇක්ටිව් ගතිය නැති වෙලා තිබුනේ. මන් මූව වෙට්ට පෙන්නුවත් එයා කිව්වෙ ලෙඩක් නෑ කියලා. මට ඉන්න හොඳම යාළුවා තමයි මේ බිංගා...‘
තරුණයා පහත් වී බල්ලාගේ හිස අතගාමින් සිට නැවතත් සිතුමිට කතා කළේ ය.
‘මට ඌ නැතිව ඉන්න බැරි තරම් අපි අතරේ බැඳීමක් තියෙනවා. ඉතිං මන් කල්පනා කළේ මෙයා මැරෙන්නවත් යනවාද කියලා. එතකොට මට එක සැරේටම ඔයාව මතකයට ආවා. මන් කළේ මගේ කන්ටැක්ස් පාවිච්චි කරලා ඔයාව හොයා ගත්ත එක.‘
‘ඒ කොහොම ද?‘
‘මන් පොලීසියේ ඉන්න යාළුවෙක් ට කථා කරලා ඔයාගේ විස්තර ගත්තා. ෆෝන් එකට කතා කලාට ඔයා ආන්ස්වර් කළේ නෑ. ඊට පස්සෙ ඇඩ්රස් එක හොයාගෙන ආවා. ඒ ඇවිල්ලා බලද්දී දොර වහලා තිබුනේ. මන් කීපවතාවක් ම තට්ටු කලා. ඒ වුනාට දොර ඇරියෙ නැති නිසා මන් හිතුවා කව්රුවත් ගෙදර නැතුව ඇති කියා. ඉතිං මන් ආපහු යන්න හදද්දී මේ බිංගා, දොර ගාව ඉඳන් බුරන්නයි දොර හූරන්නයි පටන් ගත්තා. උගේ හැසිරීම අසාමාන්‍ය නිසා තමයි මන් දොර කඩාගෙන ඇතුළට ආවේ. ඒ එනකොට තමයි මන් දැක්කෙ ඔයා මේ ෆෑන් එකේ එල්ලිලා ඔන්චිලි පදිනවා. එහෙම ම මන් ඇවිත් ඔයාගේ කකුල් දෙකෙන් අල්ලන් යන්තම් බෙඩ්ෂීට් එකේ ගැටේ ගලවලා ඔයාව බිමට ගත්තා. ඒක තමයි උනේ.‘
සිතුමි ට ලැජ්ජාවක් දැනිනි. ප්‍රධාන වශයෙන් ම තමුන්ගේ දුර්වලකම තරුණයා දැකීම ඊට හේතුව විය. නමුත් දැන් කළ හැක්කක් නැත. තමුන් ද උත්සාහ කලේ ජීවත්වීමටයි. පියා ඇයට සහාය දක්වා තිබේ. මොහු එවන්නට ඇත්තේ පියා විසින් විය හැක.
‘හ්ම්.... සමාවෙන්න මගේ හැසිරීමට. ඒ වුනාට කමක් නෑ. දැන් ඔයා යන්න. මේක කෙල්ලෙක් තනියෙන් ඉන්න ගෙයක්. කව්රු හරි දැක්කොත් හරි නෑ.‘
‘ආහ් එහෙම ද හරි මන් යන්නම්. ඒත් යන්න කලින් මට උදව්වක් කරන්න.‘
තරුණයා කතා කරද්දී සිතුමි ගොස් රූපවාහිනිය ක්‍රියාත්මක කළා ය. පුදුමයකට මෙන් ඒ අවස්ථාවේ දී නිවේදකයා කතා කරමින් සිටියේ රනුක් ඇතුළත් වූ රෝහල ඉදිරිපිට සිට ය.
‘මොකක් ද උදව්ව.‘
‘මෙහෙමයි... මන් ආවේ බිංගා ගැන දැන ගන්න.‘
නිවේදකයා ද විස්තරය ඉදිරිපත් කරයි.
‘අපිට දැනට වාර්තා වෙන විදියට පොලිස් පරීක්ෂක රනුක් දිසානායක රෝහලෙන් පිටවූයේ කොතනට ද කියා මෙතෙක් තොරතුරු ලැබිලා නෑ. නමුත් සීසීටීවී දර්ශනවල ඔහු කොරිඩෝවේ ඇවිද යන ආකාරය සඳහන්ව තිබෙන බව රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රකාශ කලා.‘
රනුක් මියගොස් නැත. සිතුමි ක්ෂණයෙන් රූපවාහිනියට අවධානය යොමු කළා ය. ඇයට තරුණයා කී දේ පවා හරිහැටි නොතේරිනි. ‘අනේ දෙවියනේ රනුක් මැරිලා නෑ... මන් මැරුනා නම් අපරාදේ...‘
‘මොකක් ද ඔයා දැන් කියන්නේ‘
සිතුමි තරුණයාගෙන් ඇසුවේ ය.
‘මට දැන ගන්න ඕනා බිංගා මැරෙන්න යනවා ද නැද්ද කියලා.‘
‘මොකක්... මේ බල්ලා ...‘
‘ඔව්.. මට දැන ගන්න ඕනා බිංගා මැරෙන්න ද යන්නෙ කියලා..‘
ඔවුන්ගේ කතාව කෙරීගෙන යද්දී රූපවාහිනයේ තවදුරටත් රනුක් පිළිබඳව ප්රවෘත්ති විකාශනය වෙයි. සිතුමිට ඔහුව දැක ගැනීමට අවශ්‍ය විය.
‘හරි මන් උදව් කරන්නම්. හැබැයි ඊට කලින් මට උදව්වක් කරන්න ඕනා. මොකෝ කියන්නේ.‘
‘කියන්න මැඩම් ඕනා දෙයක් කරන්නම්.‘
‘මාව ඉක්මනට රෝයල් හොස්පිට්ල් එකට එක්ක යන්න පුළුවන් ද?‘
‘ඕක මොකක් ද, එළියෙ මගේ වාහනේ තියෙනවා. යමු.‘
සිතුමි එසැණින් නිවසෙන් එළියට ආවේ දොර පවා නොවසමිනි. ඇගේ හදිසි ක්‍රියාශීලීත්වය ගැන තරුණයා ද පුදුමයට පත් විය. රූපවාහිනියේ විකාශය වන ප්‍රවෘත්තිය සමඟ ඇගේ හැසිරීම වෙනස්වනවා ඔහු නිරීක්ෂණය කරමින් සිටියේ ය. නමුත් මේ වෙලාවේ ඔහුට වැදගත් බිංගා යි.
‘මේ දොර වහන්නෙ නැද්ද‘
‘කැඩුවට පස්සෙ කොහේ වහන්න ද.. ඒකට කමක් නෑ. අපි ඉක්මනට යමු. කෝ කොහෙද ඔයාගේ වාහනේ.‘
තමුන් නිවසට ඇතුළු වූයේ වසා තිබූ දොර බලෙන් විවෘත කරමිනි. අගුල කැඩෙන්නට ඇත. කළ හැක්කක් නොවේ.
‘අර තියෙන්නේ රතු පාට කාර් එක.‘
තරුණයා පෙන්නූ කාර් රථයට සිතුමි වේගයෙන් ගමන් කළ අතර තරුණයාද ඉක්මණින් පැමිණ ඊට ගොඩ විය. නවීන බෙන්ස් රථයක් වූ මේ රථය සිතුමිත් සමඟ රෝයල් රෝහල බලා වේගයෙන් ඉගිලිනි. රාත්‍රී කාලය වූ නිසා මාර්ගයේ එතරම් වාහන තදබදයක් ද නොවූ අතර රථයේ ක්‍රියාකාරීත්වයත්, රියදුරුගේ දක්ෂතාවයත් නිසා රථය වේගයෙන් කොහුවල සිට කොලඹ බලා ගමන් කරන්නට විය. සිතුමි කිසිවක් කථා නොකල අතර හිසේ අත ගසා ගෙන වීදුරුවෙන් පිටත බලා සිටියා ය. ඇගේ සිතේ හොල්මන් කරන්නට වූයේ රනුක් ගේ මතකය යි. එසේම ඇය, පොලීසියේ දී දුටු ඡායාරූපය පිළිබඳව ද සිතුවා ය. ඡායාරූපයේ සිටි රනුක් පැළැඳ සිටි අත්පළඳනාව වැනි පළඳනාවක් ඇය දිනුක්ට පැළැන්දුවා ය. එය සකස් කළේ ඇය විසින් ම ඇගේ දෑතිනි. නමුත් රනුක් පැළඳ සිටින්නේ එයමදැයි ඇය නොදත්තා ය. ඇය කල්පනාවේ සිටියදී රථය රෝහල ආසන්නයට පැමිණ තිබිණි.
‘මේ මිස්... දැන් හොස්පිට්ල් එකට ලඟයි. ඔයා බිංගා ගැන කියනවා ද?‘
ඇය තරුණයා දෙසටත් පිටුපස අසුනේ සිට ඔවුන් දෙදෙනා මැදින් හොම්බ දමාගෙන සිටිනා බල්ලා දෙසත් බැලුවා ය. ‘විකාර.‘.. තමන්ට ම කියාගත් ඇය නැවතත් වීදුරුවෙන් පිටත බැලුවා ය. එසේ බලනා ඇයට තමුන් හඳුනන රුවක් වේගයෙන් පසුවනවා හසු විනි. ඇය වීදුරුවෙන් එළියට හිස දමා බැලුවා ය. ඇගේ ඇස් නිවැරදිය. ඒ රනුක් ය. අමුතු ම ඇඳුමකින් සැරසී රනුක් පදික වේදිකාවේ ගමන් කරයි.
‘මේක නවත්තනවා.. ඉක්මනට නවත්තනවා....‘
ඇයගේ කෑ ගැසීමත් සමඟ ම තරුණයා පසෙකට කොට රථය නතර කළාය. රථය නතර කිරීමත් සමග ම ඇය දොර ඇරගෙන බිමට බැසීමට සූදානම්වුවත් තරුණයා ඇගේ අතින් අල්ලා ගත්තේ ය.
‘මන් දන්නෙ නෑ හදිසිය මොකක් ද කියලා.. ඒත් මගේ බිංගා..‘
ඇයට එය මහත් වදයකි. නමුත් ඉන් ගැලවිය යුතු ය. නැවතත් අසුනට බර වු ඇය බල්ලා දෙස මදවේලාවක් බලා සිටියා ය.
‘දවසක මුගේ පපුව හෙල්ලෙන එක නවතිනවා නේද අන්න එදාට තමා මූ මැරෙන්නෙ. එතකම් මැරෙන්නෙ නෑ. තෑන්ක් ස් ඔයාට‘
සිතුමි රථයෙන් බැස රනුක් දෙසට දුව ගියා ය.
‘යකෝ ඒක මාර කථාවක් නේ.‘
තරුණයා තමන්ට ම කියා ගනිමින් පැති කණ්නාඩියෙන් දුවගෙන යන තරුණිය දෙස බලා සිටියා ය. ඔහුට හමුවූයේ අමුතු ම තරුණියකි. සුරතල් බල්ලාගේ හිස අත ගෑ තරුණයා රථය නැවතත් ගමන් කරවූයේ ය.
වෙරිකාරයකු මෙන් එහෙ මෙහෙ වැනෙමින් ගමන් කරන්නා වූ රනුක් වෙත සිතුමි දිව ගියා ය.
‘රනුක් .... රනුක්...‘
ඔහුට ඇගේ කෑ ගැසීම ඇසුනේ නැත. පදික වේදිකාවේ ගමන් කරන්නන්ට ද රනුක් දිසානායක හැඟුනේ බේබද්දෙකු ලෙසිනි. ඔහු ඇඳ සිටි ඇඳුමත් ගමන් කල විලාශයත් ඊට බොහෝ හේතු වන්නට ඇත. උඩුකයට කළු පැහැ ජැකටයක් පැළඳ සිටි ඔහු ඒ යටින් ඇඳ සිටියේ රෝහල් සාත්තු සේවිකාවන් අඳිනා ගවුමකි. නමුත් ගවුමේ පෙනෙන්නේ යට කොටස පමණි. එය විකාරරූපීය. මෙවැනි ඇඳුමක් අඳින්නේ එක්කෝ පිස්සෙකි. නැත්නම් බේබද්දෙකි. මේ තැනැත්තා ගමන් කරන අකාරය අනුව ඔහු පිස්සෙකු නොව බේබද්දෙකු බව බලන්නෙකුට පෙනේ. බේබද්දන් සාමාන්‍ය දසුනක් වීම නිසා රනුක් ද පදිකයන් ට සාමාන්‍ය දසුනක් විය. නමුත් සිතුමි ට රනුක් එසේ නොවේ. ඇය දුවගෙන ගොස් රනුක් ගේ අතින් අල්ලා ගත්තා ය. ඒ වහාම ඇය දෙස හැරී බැලූ රනුක් ඇගෙන් අත ඇද ගත්තේ ගිනි පුළුඟුවකට අත ගෑවෙන විට නැවතත් ඉන් ඉවත් කර ගන්නා සේ වේගයෙනි. ඒ සමඟ රනුක්ගේ අතේ තිබූ අත් පළඳනාව ද ගැලවී බිම වැටිණි. රනුක් ද කැරකී බිම වැටිනි. රනුක් බිමට වැටීමට පෙර සිතුමි අත් පළඳනාව අසුලා ගත්තා ය. එය දකිනාවිටම හඳුනාගැනීමට ඇයට හැකියාව ලැබිණි. නමුත් ඇය නැගී සිටීමටත් පෙර රනුක් බිමට වැටිණි. ඇය කෑ ගසමින් ඔහු වෙත දුවගොස් ඔහුට කතා කළා ය. නමුත් රනුක් ඒ වන විටත් සිහි විසඥව සිටියේ ය. ඇය උදව් ඉල්ලා කෑ ගැසුවා ය. ඇගේ උදව්වට පැමිණියේ මාර්ගයේ ගමන් කරමින් තිබූ ටැක්සියකි. ටැක්සි රියදුරාගේ ද උදව්වෙන් රනුක් ව එහි නග්ගවා ගත් සිතුමි ඔහුව රෝයල් රෝහල වෙතට ම රැගෙන ගියා ය.
මේ අතර රෝහලේ සිටි දීපිකාත් රනුක්ගේ මවත් ඉහළ මාලයේ කාමරයක රනුක් ට වූයේ කුමක් දැයි සාකච්ඡා කරමින් සිටිය හ. සිද්ධිය පොලීසියට දැනුම් දීම පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කරයි. සීසීටීවී කැමරා දර්ශනවලට අනුව රනුක් පනපිටිනි. එපමණක් නොව ඔහු රෝහලෙන් පිටත් ව ගොස් ද ඇත. දීපිකා තමුන්ගේ රෝග නිශ්චය පිළිබඳව පසුතැවිලි වුනාය. නමුත් රනුක්ගේ මව කියා සිටියේ එය ඇයගේ වරදක් නොවන බවත් වෛද්‍යවරු කීපදෙනකු ම ඒ නිගමනයට පැමිණ තිබූ නිසා එසේ නොසිතන ලෙසටත් ය. මේ අතරේ රෝහල් සේවිකාවක් ඔවුන්ගේ කාමරයට පැමිණියේ කලබලයෙනි. දොරට සන්කර, ලද අවසරයෙන් එහි ඇතුළට පැමිණියා ය.
‘එක්ස්ක්‍යුස් මී මැඩම්, ඩොක්ටර්... ‘
‘ඇයි රූපිකා.. මොකෝ මේ කලබලෙන්‘
‘මැඩම්.. රනුක් සර්ව හොස්පිට්ල් එකට අරන් ආවා. හැබැයි සර් අන්කොන්සියස්. අපි අයි සී යූ ඇඩ්මිට් කලා.‘
‘මොකක්‘
දීපිකාත්, රනුක්ගේ මවත් වේගයෙන් හදිසි ප්‍රතිකාර ඒකකය වෙත දුව ගියෝ ය. ඔවුන් එහි යන විට රනුක් ට සේලයින් බෝතලයක් සම්බන්ධ කර තිබිනි. වෛද්‍යවරයකු ද ඔහු අසල සිටියේ ය. රෝහල් අධ්‍යක්ෂිකාව දුටු ඔහු, ගරුසරු සහිතව පසෙකට විය.
‘ඩොක්ටර් මොකද පුතාට‘
‘මැඩම්. සර්ට එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. ගේනකොටත් සිහිය තිබුනේ නෑ. අපි කෙළින්ම මෙතනට ගෙනාව. බැලුබැල්මට නම් එහෙම ප්‍රශ්නයක් පේන්න නෑ.‘
‘ගේනකොට සිහිය තිබුනේ නෑ කියන්නේ, කව්ද රනුක්ව අරන් ආවේ.‘
‘ආ මැඩම්.. ගෑණූ ළමයෙක් තමයි ටැක්සියක සර්ව අරන් ඇවිත් තිබුනේ. ඒ ළමයා එළියෙ ඉන්නවා.‘
‘කෝ කව්ද?‘
‘යන් මන් පෙන්වන්න.‘
වෛද්‍යවරයා හදිසි ප්‍රතිකාර ඒකකයෙන් පිටතට පැමිණ වටපිට බැලුවේ සිතුමි ඉන්නේ කොහේද යන්න සොයා ගැනීමට ය. බිම බලාගෙන කල්පනා කරමින් ප්‍රතිකාර ඒකකයට මද දුරකින් සිටින්නා වූ සිතුමි ඔහුට හඳුනාගැනීමට හැකි විනි.
‘අර ඉන්නෙ මැඩම්. අර ළමයා තමයි සර්ව අරන් ආවේ.‘
දීපිකාත් රනුක්ගේ මවත් සිතුමි අසලට ම පැමිණ ඇයට අමතනවිටත් ඇය සිටියේ වෙන ම කල්පනාවක ය. නමුත් ඔවුන්ගේ ආමන්ත්‍රණයෙන් ඇය ගැස්සී සිට ගත්තා ය.
‘මන්.. .මන්..‘
‘බොහොම ස්තුතියි ඔය ළමයාට‘
රනුක්ගේ මව ඇයව වැළඳගත්තා ය. දීපිකාද ඇගේ අත අල්ලා ගත්තා ය.
‘රනුක් කියන්නෙ මගේ පුතා. අපි හරියට බයවෙලා ඉඳියේ එයා කොහේ ගියාද කියලා හොයා ගන්න බැරුව. පොලීසියට දන්වනවාද නැද්ද කියලා කතා කර කර ඉද්දි තමයි රනුක් ආපහු ආවා කියලා දැන ගත්තෙ. ඔයා නොහිටින්න පුතා මොනවා කර ගනී ද දන්නේ නැහැ.‘
‘අනේ ... ඕක මොකක් ද‘
‘දුව අපේ පුතාව දන්නවා ද?‘
‘එහෙම දන්නෙ නෑ මිස්. ඒත් ටීවී එකේ විස්තර යන නිසා දැන ගත්තා. ඒ ඇර දවසක් පොලීසියෙදී හම්බවෙලත් තියෙනවා.‘
‘එහෙම ද, කොහොම වුනත් ඔයා අපිට ලොකු උදව්වක් කළේ.‘
මේ අතරේ රනුක් නැවත පැමිණි බවට වන ප්‍රවෘත්තිය රෝහල පුරා පැතිර ගොස් තිබිණි. ආරක්ෂක නිලධාරීන්ගේ කාමරයේ සිටි වෛද්‍යවරයකු මෙන් සැරහුණු, මුව ආවරණය කරගත් තැනැත්තකු එහි පරිගණකවල ක්‍රියාත්මක වන රනුක් දිසානායක රෝහලෙන් පිටව යන වීඩියෝ ව නරඹමින් සිටියේ ය. හිසට වෙඩි වැදී, මිය ගිය බවට වෛද්‍යවරුන් තීරණය කළ මේ තැනැත්තා මරණයෙන් නැගිට්ටේ කෙසේදැයි ඔහු කල්පනා කළේ ය. තවද, මෝචරියේ ට්‍රොලියේ සිටිද්දී ඔහු තමුන් ව දුටු බවද මේ තැනැත්තාට සිහිපත් විය. තමන් විසින් උත්සාහ කළේ රනුක්ගේ මෘත ශරීරයෙන් ඇස් ගලවා ගැනීමට යි. නමුත් එය සිදු නොවිනි. එහි සිදුවූයේ වෙනත් ම සිදුවීමකි. වෘත්තීය මිනීමරුවකු වූ තමන් පවා බියට පත් වූ සිදුවීමකි එය. දැන් රනුක් දිසානායක නැවතත් රෝයල් රෝහලට ම පැමිණ සිටී. මෙවර වැරදීමක් නැත. ඔහු ඇඳ සිටි වෛද්‍ය කබායේ සාක්කුවක තිබූ කුඩා කුප්පියක තිබූ යමක් සිරින්ජරයකට පුරවා ගත්තේ ය. ඉන්පසුව කාමරයෙන් පිටව ගියේ ය.
වෛද්‍යවරු විසින් රනුක්ගේ තත්ත්වය යහපත් බව ප්‍රකාශ කළ නිසා ඔහුව පහසුකම් ඇති සුඛෝපභොගී කාමරයකට මාරු කර යවා තිබිණි. නමුත් ඒ වන විටත් රනුක් සිටියේ සිහියෙන් නොවේ. එනිසා ඔහු අසල කිසිවකු සිටියේ නැත. රාත්‍රියේ රෝහලේ සිටියේ ද සාමාන්‍ය පිරිසකි. එසේම සුඛෝපභෝගී කාමර තිබූ මහලේ වෙනත් දිනවලද එතරම් සෙනගක් ගැවසුනේ නැත. කොරිඩෝව දිගේ හිමින් සීරුවේ අවධානයෙන් පැමිණි පෙර කී වෛද්‍ය ඇඳුම ලූ තැනැත්තා ඒ කාමරයට ඇතුල් වුයේ සොරෙකු මෙනි. ශබ්දයක් නොනැගෙන සේ කාමරයට ඇතුලු වී දොර වසා දැමූ ඔහු ඇඳේ හාන්සි වී සිටින රනුක් දෙස බලා සිටියේ ය. ඔහුගේ හිස වටා බැන්ඩේජයක් ඔතා තිබිණි. සේලයින් බෝතලයක් ඇඟට සවිකර ඇත. බෝතලයේ ඇති ද්‍රාවණයෙන් බිංදුව බිංදුව සේලයින් බටය ඔස්සේ රනුක්ගේ ඇඟට ගලා යයි. අර තැනැත්තා හිමින් සීරුවේ ඒ වෙත ලං වී සාක්කුවෙන් ගත් සිරින්ජරයේ ඇති ද්‍රාවණය ඒ බෝතලයට ඇතුල් කලේ ය. සිරින්ජරයෙන් සේලයින් බෝතලයට ඇතුළු වූ කහ පැහැ දියරය, එහි තිබූ ද්‍රාවණයට මුසු වී අවර්ණ විනි. සිරින්ජරයේ තිබූ දියරය අන්තිම බිංදුව දක්වා සේලයින් බෝතලයට මුසු කළ ඔහු නැවතත් වසා තිබූ දොර වෙත ලං විය. කාමරයෙන් පිටවීමට පෙර කලිසම් සාක්කුවෙන් ගත් දුරකථනයෙන් ඇමතුමක් ලබා ගත් ඔහු අනෙක් පස සිටින්නාට සෙමින් කතා කළේ ය.
‘මේ සැරේ වැඩේ හරි. මන් තිතට කලා.... හරි‘
තවත් සුළු වේලාවක් රනුක් දෙස බලා සිටි කාමරයෙන් පිටතට පැමිණ කොරිඩෝවේ කිසිවකු නොමැති බව නිශ්චය කර ගැනීමෙන් පසුව ඉක්මණින් ම කෙලවර තිබූ විදුලි සෝපානය වෙත ගමන් කළේ ය. ඔහුට අවැසි වූයේ ඉක්මණින් පිටව යෑමට යි. මහළට පැමිණි සෝපානය විවෘත වු විගස ඔහු ඇතුලට රිංගුවේ ඇතුලේ කිසිවකු සිටින්නේදැයි පවා නොතකමිනි. නමුත් ඔහු ඇතුළට ගමන් කරනා විටම එහි සිට තරුණියක් පිටතට ගමන්කළ නිසා ඔහු, ඇගේ ඇඟේ ගැටිණි. ඒ ගැටීම සමඟ ඔහු අත තිබූ සිරින්ජරය විසි වී වැටිණි. බිමට පහත් වී එය අහුලා ගත් තරුණිය එය වෛද්‍යවරයාට ලබා දුන්නා ය. වෛද්‍යවරයාගේ හදිසිය සහ හැඟීම් විරහිත බව තරුණියට දැනුනත් සෝපානයේ දොර වැසුණු නිසා ඇයට ඒ ගැන තැකීමක් කිරීමට නොහැකි විය. පසුව මේ තරුණිය ද ගමන් කලේ රනුක් දිසානායක රැඳී සිටි කාමරය වෙත ය. ඇය ඒ කාමරය සොයමින් පැමිණෙන විට දුටුවේ කොරිඩෝවේ අනෙක් පසින් පෙර අවස්ථාවකදී ඇය හමු වූ වෛද්‍යවරිය ද ඒ කොරිඩෝවට පිවිසි බවයි. නමුත් ඇය තරුණියව දුටුවේ නැත. තරුණිය ඇයට නොපෙනෙන සේ මුවා වී වෛද්‍යවරිය කරන්නේ කුමක්දැයි බලා සිටියා ය. වෛද්‍යවරිය කොරිඩෝව ඔස්සේ පැමිණ එක්තරා කාමරයකට ඇතුල් වනවා ඇය දුටුවා ය. ඇය එහි ඇතුල් වූ පසු තරුණිය ද ඒ කාමරය වෙත පැමිණ හිමින් සීරුවේ දොර විවෘත කර ඇතුළ බලද්දී දුටුවේ ඇඳේ වැතිර සිටිනා රනුක් දෙස එකී වෛද්‍යවරිය බලා සිටිනා ආකාරය යි. තරුණිය නැවතත් හිමින් සීරුවේ දොර වසා දමා ආපසු හැරුණා ය. ඇයට මින් පෙර නොදැනුන හැඟීමක් දැනෙමින් තිබිණි. ඇය ඇඬුවේ නැත. නමුත් ඇයටත් නොදැනීම කඳුළු ගලන්නට විය. ඒ වෛද්‍යවරිය හා රනුක් අතර කුමක් හෝ බැඳීමක් ඇති බව ඇයට දැනිනි. එහෙත් තමා ට ද ඔහු සමඟ බැඳීමක් ඇත. එය අද ඊයේ ඇති වූ බැඳීමක් නොවේ. වසර ගණනක සිට ඇති බැඳීමකි. ඇය ඇගේ අතේ සිර කර ගෙන සිටි අත් පළඳනාව දෙස බලමින් හැඬුවේ අසල වූ බිත්තියට හේත්තු වෙමිනි. ඒ පළඳනාව ඇය විසින් ම සකස් කොට දිනුක්ගේ අතේ බැඳි පළඳනාව ය. අද රනුක්ගේ අතේ තිබී එය ගැලවී වැටුනු පසු එය ඇය අහුලා ගත්තා ය. ඒ පළඳනාව අතේ බඳිද්දී ඇය දිනුක්ගෙන් ඉල්ලා සිටියේ කිසිදිනක එය අතින් නොගලවන ලෙසිනි. දිනුක් එදා ඇයට එය පොරොන්දු විය. පොලීසියේ තිබූ ඡායාරූපයේ සැල්යුටය ගසා ගෙන සිටි රනුක්ගේ අතේ ද ඒ පළඳනාව තිබිණි. ඔහු පොරොන්දු වූ ලෙසම පළඳනාව පැළඳ සිට ඇත. අද මේ රනුක් ලෙසින් සිටින්නේ එදා පාසැලේ දී ඇය සමඟ සිටි දිනුක් බව දැන් ඇය දනී. නමුත් අවාසනාවට ඒ දිනුක් තමුන් ව හඳුනන්නේ නැත. තමුන්ව විවාහ කර ගන්නා බව කියා සිටි දිනුක්, පියා හැර තමුන්ට සෙනහස දුන් දිනුක්, දැන් තමුන් හඳුනන්නේ නැත. ඊටත් වඩා ඇය දුක්වූයේ ඔහු මේ වන විට තවත් තරුණියකගේ ආදරය ලබමින් සිටිනා බව දැන ගත් නිසාවෙනි. ඔව්... තමුන් නිකමෙකි. ඇය වෛද්‍යවරියකි. තමුන් ඔහුට නො ගැලපේ. ඉක්මණින් ම ඔවුන්ගේ ජීවිතයෙන් ඉවත්විය යුතු බව ඇයට හැඟිනි. ඇය හිත හදා ගත්තා ය. කඳුළු පිසලමින් සෝපානයට ගමන් කළ ඈ, රෝහලෙන් පිටව යෑමට බිම් මහලට ගමන් කළා ය.