(20)
නවාතැන් පොළෙන් පිට වූ සිතුමි පාරට පැමිණ කුලී රියකට නැගුනේ ය. ඒ වන විට ඇගේ ස්වරූපය පිටට පෙනුනේ හෝන්දු මාන්දු ගතියෙන් පෙලෙන්නියක ගේ ස්වභාවය මෙනි. තලත්තෑනි රියදුරා පසු කණ්නාඩියෙන් හදිසියේ ම දුවගෙන මෙන් පැමිණ කුලීරථයට නැගි ඇගේ හැසිරීම කීප විටක් ම නිරීක්ෂණය කළේ ඇය යම් කිසි පීඩාවකින් පෙළෙන්නෙක් ද නැත්නම් කරදරයකට ලක්වූයෙක්දැයි නිශ්චිතව තේරුම් ගැනීමට නොහැකි වූ නිසාවෙනි. ඇය සඳහන් කළ ලිපිනය ඔහු දන්නේ නැත. නමුත් කොළඹ මාර්ග පිළිබඳව ඇති දැනුම නිසා අදාළ ලිපිනය සොයාගැනීමට රාත්‍රියේ වුවද කරදරයක් නොවන බව ඔහු විශ්වාස කළේ ය.
‘මිස්... ඔයාට මොකක් හරි අසනීපයක්වත් කරදරයක්වත් ද... ‘
‘මොකක්..... නෑ... ඇයි අහන්නේ‘
‘නෑ මිස්.... මිස් දිහා බැලුවම නිකන් බයවෙලා වගේ පේන්නේ ... ඒකයි ඇහුවේ... මිස් හරියට මගේ වාහනේ ඉස්සරහට පැන්නෙ කව්රු හරි එලවන් ආවා වගේ නේ.‘
‘නෑ.. මට එහෙම කරදරයක් නෑ... අංකල් මන් කිව්ව ඇඩ්ඩ්‍රස් එකට මාව ඇරලවන්නකො... මට ටිකක් හදිස්සියි ... ඒකයි.‘
ඒ වන විට වර්ෂාව අඩු වෙමින් තිබිණි. රාත්‍රී දහය, එකොළහ වන විට කොළඹ මාර්ගයන්හි සෙනඟ ගැවසෙන්නේ අඩු වශයෙනි. වාහන ගමන් කරයි. නමුත් කොළඹ නගරය නො නිදන නගරය ය. පුවත්පත් වාර්තා, පොලිස් වාර්තා අනුව රැයක් දවාළක් නොමැතිව යම් යම් අපචාරයන් මේ නොනිදන නගරයේ සිදු වේ. මිනිසුන් සංකීර්ණවෙත්ම, දියුණුවෙත්ම ශිෂ්ඨත්වයෙන් බැහැරට යාම දැක ගැනීමට හැකි බව වැඩිහිටියන් කතා කරන්නේ මේ පරිසරයේ සිටිමින් ය.
රනුක් දිසානායක ලෙසින් අප හඳුනන තැනැත්තා, මින් ඉදිරියට රනුක් දිසානායක ලෙසින් ම හැඳින්වෙනු ඇත. ඔහු හිරි පොද මැදින් ඇවිද ආවේ දැනට දින කීපයකට පෙර තරුණයකු සියදිවි නසාගත් ස්ථානයට ය. ඒ ස්ථානයට යාබද ව ඇති වැටකට දෑතින් බර දී හේත්තු වූ ඔහු එදා වූ සිදුවීම සිහිපත් කළේ ය.
‘උඹ මහ ලොකු මිනිහෙක්නම් මන් යාළුවෙලා ඉඳපු කෙල්ලව සෙට් කරගන්නෙ නෑ මට හොරෙන්.. උඹ යාළුවෙක් නෙමෙයි. පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් ඇන්නේ..‘
ඔහුට එදා කණුවට නැග කෑ ගසමින් සිටි තැනැත්තා සිහිපත් විය. ඔහු අද මේ ඉන්නා තැනට ම වී ඒ තරුණයා දෙස බලා සිටියේ කේන්තියෙනි.
‘මොන මඟුලක් ද මූ කරන්නේ... යකෝ මැරෙනවානම් මැරියන්කො.. දැන් දවස් කීයක් ද.... මමත් පස්සෙන් එනවා, මූත් කෑ ගහනවා විතරයි.... අද වෙලාව ඇවිල්ලත් පරක්කු කරනවානේ.... කියවිල්ල නවත්තලා පැනපන් යකෝ...‘
‘දැන ගනින් ........... දැන ගනින්.... මන් හොල්මනක් වෙලා ඇවිල්ලා උඹෙන් පලිගන්නවා.... ඔව් උඹ මගේ යාළුවා වගේ ඉඳලා පිටිපස්සට පිහියෙන් ඇන්නට මන් උඹෙන් පලිගන්නවා... මේ ආත්මෙ බැරිනම් ලබන ආත්මෙ හරි.... ලෑස්ති වෙලා ඉඳපන්...‘
පලිගැනීමේ චේතනාව වචනයෙන් ලොවට පෙන්නුම් කළ ඔහු, කණුවේ සිට බිමට පැන්නේ හිස පහළට හරවා ගෙන ය. දෑත් බැඳගෙන තරුණයා ඉහළ සිට වැටෙනවා ඔහු බලා සිටියේ ය.
‘යන්තම් ඇති.... මට ඇති වෙලා ඉඳියෙ.. අම්මපා...‘
මිනිසුන් කෑ ගසන්නේ ඔවුන්ට මෙවැනි සිදුවීම් එතරම් ම දැක ගැනීමට නොමැති නිසාවෙනි. සෙනග අතරින් රිංගා ගොස් බිම වැටුණු සිරුර දෙස බැලූ ඔහුට දක්නට ලැබුනේ චොරු වී ගිය පැපොලක් මෙන් වූ තරුණයාගේ හිසයි. මොළකෑලි අසල විසිරී තිබිණි.
‘කාලකන්නි..‘
ඔහුට එදා සිදුවීම, අද වූවා මෙන් ඇස් ඉදිරිපිට මැවී පෙනේ.
‘චික්.. එදා මන් ඌට මැරෙන්න නොදී ඉන්න තිබ්බෙ... .ඒත්...‘
‘අඩේ මේ ඉන්නේ..... අපි හැමතැනම හොයනවා.. මෙයා මෙහෙ වැටක් බදන් ඉන්නවා...‘
ඔහු හැරී බැලූ විට දුටුවේ තමන්ගේ මිතුරන් දෙදෙනා එහි පැමිණි සිටින ආකාරය ය.
‘අපි මිනිහා ව පරිස්සමෙන් තියලා තිබ්බෙ.‘
‘යකුනේ.. මන් තොපිට කී සැරයක් කීවද ඌව බොහොම පරිස්සමට බලාගන්න ඕනා කියලා.. ඇයි තේරුම් නොගන්නේ... අපි සේරම ඉවරයි නේද ඌ පැන්නොත්.. ඔව් ඉතින් උඹල දෙන්නට මොකද මටනෙ කෙලවෙන්නේ..‘
ඔහු කෑ ගැසුවේ ය. ඔහුගේ කෑ ගැසීමට ප්‍රතිචාර දැක්වුයේ තොප්පිය පැළඳසිටි වයස්ගත තැනැත්තා ය.
‘දැන් ඔහේ කියන්නේ අපේ වැඩ සේරම නවත්තලා, ඒ රනුක්ගේ ආත්මය දිහා බලන් ඉන්න කියලා ද අපිට ... ආ...?‘
‘ඇයි යකෝ දැනටත් තියෙන වැඩ ටික කරලා ඉවර කරගන්න බෑ. මේ යක්ෂ මිනිස්සු රටට, ලෝකෙට බරක්. උන්ව අරන් එන්න කියලා තප්පරෙන් තප්පරේ අපිට බල කරනවා. තමුසෙ ඒ අස්සෙ එක ආත්මයක් වෙනුවෙන් සේරම වැඩ නවත්තලා බලන් ඉන්නයි කියලා කෑ ගහනවා. මොන විකාරයක් ද?‘
සිතුමි සිටියේ දැඩි වේදනාවකිනි. ඇය දෙස රියදුරා විමසිල්ලෙන් බලා සිටියේ ය.
‘ඇත්තටම මිස් අපි හොස්පිට්ල් එකට පොඩ්ඩක් යමුද, මට බයයි මගේ වාහනේ දි මිස්ට කරදරයක් වේවි කියලා..‘
‘අනේ අංකල් මට එහෙම ලෙඩක් නෑ ... අපි යමු ඉක්මනට.‘
ඒ වන විට ඔවුන් ගමන් කළ රථය ද රනුක් නැවතී සිටි ස්ථානය පසු කරමින් මාර්ගයේ අනෙක් තීරුවෙන් ධාවනය වෙමින් තිබිණි. ඔහුව මුලදී ඇය හඳුනා නොගත්ත ද ළං වන විට හඳුනා ගැනීමට හැකි විය.
‘රනුක්.... නෑ.. දිනුක්..‘
ඇය තවත් ළං වෙද්දී දුටුවේ ඔහු අසලම රැඳී ඇති කළු සෙවණැලි දෙකකි.
‘අනේ දෙවියනේ.. දිනුක්.... ඔයා ළඟ ඒවා තියෙනවා....‘ ඇය තමාට ම කියා ගත්තා ය.
‘අංකල්, කාර් එක ඉක්මණට නවත්තන්න... අයියෝ නවත්තන්න... මට බහින්න ඕනා...‘ ඇය කෑ ගැසුවා ය.
‘පිස්සුද මිස් මෙතන නවත්වන්න බෑ. කැමරා තියෙනවා. දඩයක් කන්න වෙයි..‘
‘ප්ලීස් නවත්තන්න ඉක්මනට‘
ඇගේ කරදරය නිසා කැමරා පසු කොට මද දුරක් ගොස් සුදුසු ස්ථානයකදී ඔහු කුලී රථය නැවැත්වූවේ ය. ඉක්මණින් ම ඔහු දෙසට බෑගයෙන් ගත් මුදල් නෝට්ටු කීපයක් විසි කළ ඇය, රථයෙන් බැස රනුක් සිටිනා දෙසට දිව ගියා ය.
‘අපිට සමාවෙන්න ලොක්කා... අපි මිනිහාව හොඳට ලොක් කරලා තියලා තිබ්බෙ.. කොහොම පැන්නද මන්දා ....‘
‘පලයව් බොරු පච නොකෙළ. මට තාම හිතාගන්න බෑ මන් අහවල් එකට උඹල වගේ මෝඩයො දෙන්නෙක් ව විශ්වාස කරලා ඌව බලාගන්න පැවරුවද කියලා.‘
‘මොකක් අපි දැන් මෝඩයො ද?‘
‘උඹ දැන ගනින්....‘
තොප්පිය පැළඳ සිටින්නා ට රනුක්ගේ කථාව නිසා ඇති වූ කෝපය පිට කළේ රනුක් පහර දෙමිනි. නමුත් ඒ එක් පහරක් හෝ රනුක් ට වැදුනේ නැත. ඒවා සුළඟේ පා වී ගියේ ය.
‘හික්ස්.... මන් කිව්වෙ .. හා මෝඩ නැද්ද... ‘ රනුක් ඔහු දෙස බැලුවේ උපහාසාත්මක බැල්මකි.
‘උඹ දන්නවා ද අපිව මෝඩයෝ කළේ කව්ද කියලා. උඹ... උඹ තමයි... අපි එපා කියද්දී උඹ උගේ ඇඟට රිංගුවා.. දැන් අපිව කන්න හදනවා..‘
‘මම.... මේ මම... උඹලව මෝඩයෝ කලා... අනේ මේ...පල‘
රනුක්, ඔහුගේ තොප්පියෙන් අල්ලා ඔහුව පසුපසට තල්ලු කර දැමුවේ සැනෙකිනි. ඒ සමඟම පය පැකිලුනු රනුක් කැරකී මාර්ගයට වැටිණි. එසේ වැටෙනවාත් සමඟ ඔහුගේ ජැකට්ටුවේ තිබූ පළිඟු බෝලය, සාක්කුවෙන් පිටතට විසි වී මාර්ගය දිගේ, මාර්ගය මැද්දට වන්නට පෙරලී ගියේ ය. එදෙස බලා සිටි ඔහු වහාම එය අහුලා ගැනීම සඳහා පාර මැද්දට දුව ගියේ මාර්ගයේ ගමන් කරනා වාහන ගැනවත් නොසිතමිනි. මැද්දට වන්නට නැවතුණු පළිඟුව සංඥාවක් නිකුත් කරන්නට විය. එහි දුවගොස් එය අතට ගත් ඔහු සංඥාව විමසා බැලීමේ දී දුටුවේ කාන්තා රුවක් එහි ඇඳෙන ආකාරය යි. ඒ සමඟම ‘දිනුක්... අයින් වෙන්න... දිනුක්...‘ යැයි කෑ ගසමින් තමන් දෙසට දුව එන කාන්තා රුවක් ද දක්නට ලැබිණි. ඒ කාන්තාවගේ මුහුණ දෙස බලා නැවත පළිඟුව දෙස බැලූ කල මේ තමුන් දකින්නේ එකම රුවක් ය යන්න ඔහුට පසක් විය. නමුත් එවිට ම නොනැවැත්වී හැඬවෙන්නා වූ වාහනයක නලා නාදය ඔහුගේ සිතුවිලි වෙනස් කළේ, ඔහු එදෙසට හැරී බලමිනි. වේගයෙන් රථයක් ඔහු දෙසට පැමිණෙමින් තිබිණි. රථය ඔහු සමඟ ගැටෙන අවස්ථාවත්, දුව ආ කාන්තාව ඔහුගේ ඇඟට පිනූ අවස්ථාවත් එක්වරම මෙන් සිදුවුනේ ඔහු ඒ රථයේ මාර්ගයෙන් ඉවත් කරමිනි. ඔහුගේ ඇඟේ ගෑවී නොගෑවී මෙන් වේගයෙන් රථය පසු කර ගියේ ය. රනුක්, තරුණිය ද සමඟ පෙරළී පසෙකට වැටිණි.
‘මොකක්... මෙයාගේ ආත්මෙද ඒ පාර මට අරන් එන්න කියන්නේ...‘ ඔහු තමාට ම කියා ගත්තේ ය.
බිම වැටුණ තරුණිය, හිමින් සීරුවේ ඔහු දෙස ඇස් යොමා බැලුවේ ය.
‘ඇති යන්තම් ඔයා බේරුනා...‘ ඔහුට එය ඇසිණි. ඒ සමඟ ඇගේ ඇස් පිය විය.
***********
‘මේ මනුස්සයා නිසා අපිටත් වෙන්නේ මහ කරදර වැඩ. මුලින්ම අර කරුමෙ පැනලා ගියා. දැන් ඌ ඉන්න තැනක් හොයා ගන්න බැහැ. ඌව හොයන්න කියල ඇවිල්ලා මේ නර ශරීරෙට රිංග ගත්තා. දැන් ඒ මඟුලෙන් එළියට එන්න බෑ. ඒකත් කමක් නෑ කියහන්කො. අපිවත් පැටලුවානේ.‘
‘එහෙම කියන්න එපා. අපි කැමැත්තෙන් නෙ ආවේ.. හා නැද්ද?‘
‘අනේ මේ තියාගනින් උඹේ කැමැත්ත. ඉහළට ආරංචි වුනොත් කැමැත්ත තේරේවි.‘
ඔවුන් දෙදෙනා කථා කරමින් සිටියදී සිතුමිව කර තබා ගෙන රනුක් ද නිවසට පැමිණියේ ය. ඇයව රැගෙන විත් සැටිය මත දැමූ ඔහු ඉනේ අත ගසා ගෙන ඇය දෙස බලා සිටියේ ය.
‘මන් මෙහෙට ආපු දවසෙ ඉඳන් මේ ගෑණිගෙන් පුදුම වදයක් තියෙන්නේ.. චැහ්.‘
‘හෝව් හෝව්... පොලිස් රාළහාමි. අපි දැක්කා ඔහේ ඒ ගෑණු මනුස්සයාව බදාගෙන බිම පෙරලෙනවා.‘
‘බදාගෙන බිම පෙරලෙනවා... මම... උඹල දෙන්නට පිස්සුද බොලව්.. මන් මොකට ද මේ කුණු ගඳ ගහන ඇඟ බදාගෙන පාරේ පෙරලෙන්නේ.‘
‘එහෙනම් අපි ඒ දැක්කේ..‘
‘අනේ මේ.... මට හිතා ගන්න බැරි මේ ගෑණි කොහෙන් එතැනට පාත් වුනාද කියලා.... යකෝ මන් යන යන තැනට එනවානේ..‘
‘ඒක නෙමේ. අපි දැන් මොකද මෙයාට කරන්නේ...‘
රනුක් ඇය දෙස පරීක්ෂාශීලීව බැලුවේ ය. ඇගේ කරවටා ඇති අත්බෑගය ඔහු දුටුවේ එවිට ය. ඉක්මණින් ම එය ඇගේ උරහිසෙන් පන්නා ගත් ඔහු එහි ඇති සියළු දෑ බිම හෙළුවේ ය. බෑගය කරෙන් ගලවා ගන්නා විට ම අසුන් ගෙන සිටි දෙදෙනා නැගිට්ටේ ඔහු කරන්නේ කුමක්දැයි සිතා ගත නොහැකි වූ නිසාවෙනි. පනාවේ සිට කාන්තාවකට අයත් ආම්පන්න ආදී සියළු දේ සට පට හඬින් බිම වැටිණි.
‘මේ තියෙන්නේ ... බලනවලා මේ ගෑණි ඉන්න තැනක විස්තර හොයාගන්න පුළුවන් ද කියලා මේවයින්.‘
අදාළ ලට පට අතරේ සිතුමි අවසන් වරට සේවය කළ වෙළඳ ව්‍යාපාරයෙන් ලැබී තිබිණු හැඳුණුම්පතක් ද විනි. එය ඇහැ ගැටුනේ තරුණ ගැටයාට ය.
‘ඔන්න ඔය .. ඕකෙ තියෙනවා.‘
රනුක් එය අතට ගෙන බැලුවේ ය.
‘හරි මන් මේ මනුස්සයාව මෙතැනට දාලා එන්නම්.‘
එසේ කිව් ඔහු ඇයව ආපසු පහසුවෙන් උස්සා කර මත තබා ගත්තේ ය.
‘කොහේද ඒ පාර යන්න හදන්නේ‘
කිසිඳු පිළිතුරක් නොදුන් ඔහු ඇයව ද කරේ තබා ගෙන පිටවීමේ දොර දෙසට ඇවිද ගියේ ය.
‘කියන දේ අහනවාකො.... කොහේද යන්නේ...‘
ඊට කන් නොදුන් ඔහු දොර විවෘත කරගෙන පිටව යනායුරු ඔවුන් දෙදෙනා බලා සිටියහ. නමුත් වැඩි වේලාවක් නොගොස් නැවතත් ගිය ආකාරයෙන් ම රනුක් ඇයවත් කරේ තබාගෙන කාමරයට පිවිසුනේ ය.
‘හික්ස්... මෝඩ මිනිහා.. මිනිස් ඇඟට රිංගුවාම ඒවත් දන්නෙ නෑ නේ ද? මතක නැති වුනාද තව මිනිහෙක් එක්ක අපිට අන්තර්ධාන වෙන්න බැරි බව.‘
‘මන් දන්නවා අයිසෙ... මට ටිකක් අමතක වුනා..‘
ඔහු නැවතත් ඇයව රැගෙන වෙනත් දොරකට ගමන් කළේ ය. එසේ ගමන් කරන විට ඇගේ හිස බිත්තියේ දඩස් හඬින් වැදිනි. මෙය දුටු ඔවුන් දෙදෙනා නැවතත් පුටුවෙන් සිටවුනි.
‘මොකක් ද මිනිහො කරන්නේ. ඔය අහිංසකීගේ ඔළුව පලන්න ද හදන්නේ..‘
‘අහිංසකී... මේ ගෑණි මට දැන් මහ වදයක් වෙලා තියෙන්නේ..‘
කෙසේ හෝ ඔහු ඇයව, ඇගේ නිවහනය රැගෙන ආවේ ය. ඇඳ මතට ඇයව විසි කළ ඔහුගේ ඇස් නතර වූයේ බිත්තිවල අලවා තිබූ පිරිමි රුව දැකීමෙනි. නොයෙක් ඉරියව් වලින් සිටිනා තරුණයකුගේ ඡායාරූප වලින් ඇගේ කාමරයේ බිත්තියේ කොටසක් ආවරණය වී තිබිණි.
‘මොකෙක් ද යකෝ මේ. මෙයාගේ කොල්ලා වත් ද?‘ ඔහු තමාට ම කියා ගත්තේ ය. වටපිට බැලූ ඔහුට එල්ලා තිබූ රෙදි පටක් දක්නට ලැබිණි.
‘මෙයා නිකන් අමුතු කෙනෙක් වගේ...‘ තමාටම කියා ගනිමින් ඔහු ඇය දෙස හැරී බැලුවේ ය.
‘හ්ම්... තව ටිකක් ඔහොම ම ඉන්නවා. මට දැන්ම තමුසෙගෙ ආත්මෙ පරලෝකෙට ගෙනි යන්න හිතෙන්නෙ නෑ. ඒත් වෙලාව ආවම තමුසෙට මා එක්ක යන්න වෙනවා.. අර මෝඩයා අල්ලගත්ත ගමන් ඒ වෙලාව උදා වෙනවා. එදාට මන් තමුසෙව සතුටින් පරලෝකෙට එක්ක යනවා..‘
**********