සිතුමිට දැනුනේ ශාරීරික වෙහෙසකට වඩා මානසික වෙහෙසකි. ඇය, ඇගේ පියා පිළිබඳව සොයා බැලීමට උත්සාහ කළත් කිසිඳු මාර්ගයක් අනාවරණය වන්නේ නැත. නමුත් පියාට සිදු වූ දේ දැන ගැනීමේ දැඩි කුතුහලයෙන් ඇය පෙළෙයි. පාරේ ඇවිද යන ඇය මහන්සිය හේතුවෙන් ම අයිනක තිබූ බස් නැවතුමක අසුන් ගත්තා ය. නමුත් ඇයට විසඳාගත නොහැකි අවුලක් තිබේ.
ඇයි එයා රට යන්න හිතුවෙ. ඒ කියන්නෙ මොකකින් හරි හැංගෙන්න හැදුවවත්ද? අඩු තරමෙ ඉන්න තැනක විස්තරයක්වත් තිබුනා නම්. බලමු අරයා මොනවා හරි විස්තරයක් හොයා ගනීද කියලා.
සිතුමි කියා ගත්තේ තමුන්ටම ය.
කමක් නෑ. මොන විදියෙන් හරි තාත්තාට ඒ අපරාදෙ කරපු කෙනා මන් හොයා ගන්නවාමයි. ඔව් හොයා ගන්නවාමයි. හොයාගෙන නිකන් ඉන්නෙ නෑ ඌට නීතියෙන් දඬුවම් අරන් දෙනවා. නැත්නම් මන් ම හරි දෙනවා.
හිතට ධෛර්යය ගත් ඇය වාඩි වී උන් තැනින් නැගී සිට ආපසු ඇවිදගෙන යන්නට වූවා ය. නවාතැන්පලට ලන් වෙන විට ඇයට ඇසුනේ කාන්තාවක් ඇගේ නවාතැනේ දොරට ගසමින් කෑ ගසනා හඬයි. ඒ හඬ ඇය අඳුනා ගත් අතර නිවස අයිතිකාරිය පැමිණ කෑ ගසමින් සිටියා ය. අසල තිබූ තාප්පයකට ඇය මුවා වී කාන්තාව යන තුරු සැඟ වී බලා සිටියේ නවාතැනට යෑමට කාලය උදා වෙන තුරු ය. නමුත් කාන්තාව පිටවී යන බවක් ඇයට නොපෙනුනි. ඒ අනුව ඇය සැඟවෙමින් ආ ආකාරයෙන් හැරී පලා ගියත් වැඩි දුරක් යෑමට නොහැකි වූයේ ඇගේ ඉදිරියට තාරක පැමිණි නිසාවෙනි.
‘සිතුමි..‘
‘අයියෝ... කට කට....‘
ඇය නිශ්ශබ්ද වන ලෙසින් ඔහුට සන් කර ඔහුව ද ඇදගෙන එතැනින් ඉවත් වූවා ය.
‘ඇයි මොකක් ද අවුල...‘
‘ටිකක් ඉන්නවා මිනිහෝ....‘
සැඟව සිටියදී අර කාන්තාව පිටව යනවා සිතුමිට දක්නට ලැබිණි. ඒ අනුව ඇය තාරක ද සමඟ ඇගේ නවාතැනට ආපසු ගමන් කළාය. තාරක සමඟ නොව ඇගේ පසුපසින් තාරක ගමන් කළේ ය. නමුත් සිතුමි ඔහුව නතර කළේ නැත.
‘ගෑණු ළමයෙක් ඉන්න ගෙයක් මේ වගේ ජරාවට තියෙනවා මන් මේ දැක්කමයි. අම්මට සිරි... ජනිත්.. ඒයි මේ..‘
තාරක ද බිත්තියක් පිරෙන්නට අලවා තිබූ ජනිත්ගේ ඡායාරූප දුටුවේ ය.
‘මේ මේ ඔයාට අදාළ දේවල් විතරක් කරන්න. මගේ ගේ මන් බලාගන්නම්. අනික ඕවා වැඩක් නෑ. ඔයාට මොනවා හරි විස්තරයක් හම්බවුනා ද?‘
‘මන් උත්සාහ කරනවා මොනවා හරි හොයාගන්න..‘
‘ෂික්.. ඔහේ ආපු නිසා මන් හිතුවෙ දැනටමත් මොනවා හරි හොයන් ඇති කියලා.‘
සිතුමි පත්වූයේ බලාපොරොත්තු කඩ වූ තත්ත්වයටයි.
‘මේ ඒක නෙමෙයි...‘
‘ඇයි?‘
‘ඔයාට මතකද එදා පොලීසියේ දී ඔයා ගෑණු කෙනෙක් ගැන කිව්වා...‘
‘මොන..‘
‘අර අනේ මෙන්න මේකා පොලිසියේ ඉද්දි... මමත් එදා ඉඳියානේ.‘
තාරක සිතුමිට කථා කලේ ජනිත්ව ද පෙන්වමිනි.
‘ආ එයාද ... ඉතින්...‘
‘ඉතින් කියන්නේ ඒ මනුස්සයාව මරලා දාලා...‘
සිතුමි පුදුමයට පත්වූ සෙයක් තාරක දුටුවේ ය.
‘එයාද අර ෆ්රිජ් එකේ මැරිලා උන්නෙ?‘
‘ඔයා දැක්ක ද ඒක නිව්ස්වල පෙන්නුවා.‘
‘ඔව් මන් දැක්කා. ඒත් මට අඳුනගන්න බැරි වුනා. ඒත් දැන් හිතෙනවා ඒ එයා කියලා.‘
‘ඔව් එයා තමයි. වට්ස් ඇප්, ඉන්ස්ටා හැම එකේම දැන් ඒක ගැන තමයි කථාව.‘
‘හරි ඉතින් දැන් ඒකෙන් මට වැඩක් නෑ නේ. ඕක කියන්නද ඔහේ මෙතැනට ආවේ.‘
සිතුමිට තරහ ගිය ආකාරය තාරක නිරීක්ෂණය කළේ ය. ඔහු ඇය ලගට වේගයෙන් ඇවිද ආවේ ය.
‘මන් මෙහෙම ඇහුවට තරහා වෙන්න එපා. මොන වගේ මළගිය ආත්මයක් එක්කද ඔයා කථා කරන්නේ?‘
‘මොකක් ... මළ ගිය ආත්මයක්... තමුසෙට පිස්සුද ඕයි?‘
‘නෑ එහෙම නෙමෙයි. මන් අහලා තියෙනවා සමහරු මළගිය අය එක්ක කථා කරනවා කියලා. ඒ අය ඉස්සරහට වෙන දේවල් ගැන කියනවලුනේ. ඔය පත්තරවල ඕන තරම් ඇඩ් තියෙන්නෙ.‘
‘ඕයි ඕයි මේ... ගොන් කථා කියවලා කනට එකක් කාලා එළියට බැහැලා යන්නෙ නැතුව කරුණාකරලා වැඩක් නැත්නම් යනවා යන්න මෙතැනින්.‘
‘විකාර කියන්න එපා අනේ.‘
තාරක සිදු කළේ සිතුමි කිසිවිට නොසිතූ දෙයකි. ඔහු ඇගේ අතින් අල්ලා අසල වූ පුටුවක වාඩි කරවා ඔහුද අසලින් වාඩි විය.
‘මන් ඔයාට පුදුම හිතෙන රස්සාවක් දෙන්න හිතුවෙ ඔයා කැමති නම්. ආයිත් ඔයා දන්නවනේ. මට ලොකු කම්පැනි එකක් තියෙනවා.‘
‘මොකක්?‘
‘ඔව් ඒක නිසා තමයි මේ කොරියාවට වුනත් මන් ආවේ. නැත්නම් මට එන්න වුවමනාවක් තිබ්බෙ නෑ මෙතැනට.‘
‘මොකක් ද කියන්නේ?‘
‘දැනුත් ඔයාව එළියට දාන්නනෙ හැදුවෙ. ඒකනේ ඔයා හැංගුනේ. මන් ඔයාට මාසෙකට ගෙවනවා හොඳ ගානක් ඔයා මට දෙන සර්විස් එකට.‘
‘ඒ කියන්නේ?‘
‘මෙහෙමයි මන් ඔයාට දෙනවා ඉලක්කම් 6 ක පඩියක් මාසෙකට. තව ඊපීඑෆ්, ඊටීඑෆ් සේරම ගෙවනවා. බෝනසුත් දෙනවා අනිත් අයට වගේ.‘
‘අඩේ මොකක් ද දැන් ඔච්චර ගෙවන රස්සාව.‘
සිතුමි පුදුමයට පත් වී ඇසුවා ය. තාරකා සිනා සුනේ කුඩා දරුවකු මෙනි.
‘ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. මෙහෙමයි අපේ කම්පැණියට ඕනා ඔයාගේ ඔය දැක්ම නැත්නම් විෂන් එක.‘
‘මොකක්ද මොකක්ද...‘
‘සරලව කියනවානම් ඔයාට කරන්න තියෙන්නේ මේකයි. රක්ෂණ සමාගම්වලින් හොයා බලන්නෙ මිනිස්සු මැරුණට පස්සෙ. මැරෙන්න කලින් බලන්නෙ නෑ. කොහොමත් ඒ බැලුවට පස්සෙ සල්ලි දෙන්න වෙනවා. ඒත් දැන් ඔයා එහෙම නෙමෙයි. ඔයාට කෙනෙක් මැරෙන්න කලින් කියන්න පුළුවන්. ඔයාට පුළුවන් රක්ෂණේ ගත්ත කෙනෙක් මැරෙන්න කලින් ඒ ගැන බලන්න.‘
සිතුමිට සිතාගත නොහැක.
‘ඇයි? මොකටද එහෙම හොයන්නෙ?‘
‘ඒක ද....‘
තාරක කල්පනා කරනවා සිතුමි බලා සිටියා ය.
‘ඇත්තම කියනවා නම් ඔයාට මට දැන් කම්පැණි එකේ රස්සාව විතරක් නෙමෙයි කම්පැණි එකත් නැති වෙන්නයි යන්නේ. මාව මේකෙ ලොක්කා කලේ දැනට දවස් කිපෙකට කලින්. ලඟදි. පස්සෙ තමයි මන් දන්නෙ අපේ කම්පැණි එක පාඩු පිටයි දුවන්නෙ කියලා. ඒක ලොස්ට් වෙන්නයි යන්නෙ. මට ඕනා අපි එහෙම නෑ කියලා පෙන්වන්න. ඒත් ඔයා දන්නවනේ මේ කාලේ ඉස්සර වගේ නෙමෙයි. කම්පැණි වැඩි. අළුතින් කට්ටියට රක්ෂණ ඔප්පු විකුණන එකට තියෙන්නෙත් තරඟයක්. හැබැයි අපිට අළුතින් කට්ටිය ඕනා. ඒකත් දැන් අවුල් වෙලා තියෙන්නෙ අපේ නියෝජිතයෙක් භයානක විදියට මැරිලා නිසා.‘
සිතුමි කල්පනා කරනවා තාරක දුටුවේ ය.
‘ඒකට තියෙන්නෙ එකම විදියයි. අපිට පුළුවන්නම් අපි ගෙවන ගාන අඩු කරන්න ඒකෙන් අපිට ලාභයක් ගන්න පුළුවන්. අපිට ඉන්නවා වීවීඅයිපී කස්ටමර්ස්ලා ටිකක්. උන්ගෙ ලයිෆ් ඉන්ෂුවරන්ස් වලට බර ගාණක් අපිට ගෙවන්න වෙලා තියෙනවා.‘
‘ආ ආ... ඒ කියන්නේ දැන් ඔහේට ඕනා මන් ලව්වා ඔය කිව්ව වීවීඅයිපී කස්ටමර්ස්ලා මැරෙන එක නවත්තන්න නේද ආ එහෙම නේද?‘
‘හරියට හරි...‘
‘අනේ යකෝ උඹ නම්.. උඹ කොහොමද මන් ගැන හිතන් ඉන්නෙ.‘
‘මොකක්...‘
සිතුමි තාරකගේ කමිස කොළරයෙන් අල්ලා ගෙන නැගිට්ටේ වේගයෙනි.
‘පලයන් යන්න මෙතැනින්... උඹ හිතන් ඉන්නෙ මන් කවුරු කියලද මිනිහෝ ආ... පලයන් යන්න..‘
‘මන් ගාණ වැඩි කරන්නම්...‘
‘උඹේ ගාණත් අරන් පලයන්....‘
ඇය තාරක සමඟ දඟලමින් ඔහුව නවාතැනෙන් එළියට ඇද දැමුවා ය.
‘සිතුමි අපිට පුළුවන් ගාණ ගැන තියන ප්රශ්න සාකච්ඡා කරලා විසඳගන්න. සිතුමි ටිකක් හිතන්න මන් කිව්ව දේ ගැන..‘
තාරක නවාතැනෙන් එළියේ සිට කථා කරද්දී සිතුමි ඇතුලේ පුටුවක වාඩි වී කල්පනා කරන්නට පටන් ගත්තා ය.
‘දිනුක් මැරුනෙ මන් නිසා. මට බැරි වුනා එයාව බේර ගන්න. තාත්තා මැරුනෙ මන් නිසා. මට බැරි වුනා එයාව බේර ගන්න. මන් කොහොම ද තව කෙනෙක් ව බේර ගන්නෙ. අනික අර ගෑණු කෙනා. මන් දැක්කා එයා මැරෙනවා. මට එයාව බේරා ගන්න බැරි වුනා. ඒකෙන් වෙන්නෙ මම ම දුකට පත්වෙන එක විතරයි. ඒ නිසා මන් තවත් ඒ ගැන හිතන්නෙ නෑ.‘
රනුක්, යුනිට් 5 ට වී අහස පොළොව ගැටලන කල්පනාවක පැටලී සිටියේ දිනෙන් දින කාලය ගත වී ගියත් මෙතෙක් පලාගිය තැනැත්තා සොයා ගැනීමට නොහැකි වීම නිසාවෙනි.
‘හ්ම්... මන් හිතන්නෙ ඒකගේ නංගිව බලන්න ගියා නම් හරි. මොකක් ද ඒ ඉස්කෝලෙ. මතක් වෙන්නෙත් නෑ අප්පා...
ඔහු එතෙක් මේසය උඩ තිබූ පිස්තෝලය ඉනේ තිබූ කොපුවට දමා ගත්තේ කාර්යාලයෙන් පිට වී යෑමට සූදානම් වූවේ ය. ඒ වන විට රණතුංග එක් එක් නිලධාරීන්ට කොල කීපයක් බෙදමින් සිටි අතර නැගී සිටීමට උත්සාහ කරන රනුක්ට ද කොළ කිහිපයක් ලබා දුන්නේ ය.
‘මොන මගුලක් ද මේ.‘
‘කොහේද යන්නෙ. ඔහොම ඉන්නවා.‘
‘ඇයි මට යන්න ඕනා.‘
‘මේ තියෙන්නෙ සුධර්මාගේ කෝල් හිස්ටොරි එක. අපි දැන් කරන්න යන්නෙ මේවට කතා කරලා එයාව දන්න කෙනෙක් ගැන හොයා ගන්න එක. මරණයට හේතුව හොයන්නයි යන්නෙ.‘
‘ඉතින් මට මොකක් ද කියන්නෙ.‘
‘තමුසෙට විතරක් නෙමෙයි ඕයි අපි හැමෝටම තියෙනවා වැඩක් කරන්න. ඔය ලිස්ට් එකේ තියෙන අංක වලට කතා කරලා අපි බලන්න ඕනා ඒ මිනිස්සු මේ සුධර්මාගෙ මරණය ගැන මොනවා හරි දන්නවද කියලා. තම තමුන්ට දීලා තියෙන ලැයිස්තුවල තියෙන අංකවලට කථා කරලා බලනවාලා..තමුසෙත් බලනවා. හා හා පටන් ගන්නවා.‘
‘මගුල‘
‘ඒවා මන් දන්නෙ මුලින් ම කථා කරන්නෙ බාලම එකා. ඒ කියන්නෙ තමුසෙ. ඉතින් පටන් ගන්නවා‘
උනන්දුවා කථා කලේ රනුක් දෙස බලාගෙනය.
‘රෙද්ද‘
ඔහු අකමැත්තෙන් වුවද ලැයිස්තුව අතට ගත්තේ ය. මේසයේ කොනක තිබූ දුරකථනයෙන් එහි තිබූ අංකයකට ඇමතුම ගත්තේ ය. ඔහු ඇමතීම ගන්නා විට අනෙක් නිලධාරීන් ද තමුන්ගේ කාර්යය අරඹා තිබිණි.
‘ආ හෙලෝ. ඔහේ දන්නවද සුධර්මා රදළියගොඩව. තමුසෙ ද එයාව මැරුවෙ. එයාගේ මිනීමරුවා.‘
රනුක් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන සිටිනා අයගෙන් ප්රශ්න කරනාකාරය ඇසුණු විට උනන්දුවාට තරු විසිවිණි. කෙසේවෙතත් රනුක් ද පුදුමයට පත් කරමින් ඔහුගේ ඇමතුමට සම්බන්ධ වූ තැනැත්තා දුරකථනය වේගයෙන් විසන්ධි කරනු ලැබුවේ ය. පසුව ඔහු ලැයිස්තුවේ ඊළඟ අංකය අමතන්නට පටන් ගත්තේ ය. තමුන් කරනා කාර්යය නතර කර රනුක් කරනා දේ පිළිබඳව උනන්දුවා අවධානය යොමු කළේ පෙර අවස්ථාව ද සිහියේ තබා ගනිමිනි.
‘ආ හෙලෝ. සුධර්මා රදළියගොඩගේ මිනීමරුවා තමුසේ ද? ඇත්ත කියනවා මට හරිද?‘
එයත් එසේ මය.
‘නොදකින් හැත්ත. අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට ෆෝන් එක කට් කරන්නවත් දන්නෙ නැති යක්කු. කාලකණ්ණි. අනික ඔහොම තදවෙන්න දෙයක් ඇහුවෙ නෑ නේ.‘
ලැයිස්තුවේ ඊළඟ අංකයට ඇමතීමට පෙර රණතුංග පැන ඔහු වැළැක්වූවේ ය..
‘රනුක් මේ ඉන්නව ටිකක්. මන් ගන්නම්.‘
‘නෑ ඇයි මන් පොලිස්කාරයෙක්. මම කථා කරනවා. තමුසෙ කොහොමද මාව නවත්තන්නෙ. අදින්න එපා අදින්න එපා.‘
‘නෑ නෑ ඔයා යන්න ගිය ගමන යන්න. මන් කථා කරන්නම්.‘
‘බෑ යකෝ...‘
නමුත් රණතුංග දුරකථනය කේබලයෙන් ගලවා ඉවත් කළේ ය. ඒ අතරේ රනුක් කළේ තමුන්ගේ ජංගම දුරකථනය ගෙන එයින් ලැයිස්තුවේ තිබූ අංකයක් ඇමතීමයි.
‘දීපිකා මැණික.. මොනු හු.. මේ...මේ ලිස්ට් එකේ තියෙන අංකෙ මගේ ෆෝන් එකේ තියෙනවානේ. දීපිකා.. කව්ද ඒ..‘
‘ඈ ඕයි මේ වෙලාවේ ග‘ල් ෆ්රෙන්ඩ්ට කථා කරන්නෙ තමුසෙට පිස්සු ද?‘
‘මොකක් කව්ද ඕයි එහෙම එකෙක්ට කථා කලේ. මන් කියන්නේ මේ ලිස්ට් එකේ තියෙන අංකෙට ගත්තම මේක තමයි වැටුනෙ කියලා. මේ තියෙන්නෙ ඒක‘
දෙදෙනාගේ වාදය අසා සිටි උනන්දුවා ඉක්මණින්ම රනුක් කී අංකයත් ලැයිස්තුවේ අංකයත් සසඳා බැලුවේ ය. එය මනාව ගැලපිනි. තවත් ටික වේලාවකින් රනුක් සහ උනන්දුවා සිටියේ දීපිකාගේ කාර්යාල කාමරයේ ඇය ඉදිරිපිට ය. උනන්දුවා ඇගෙන් ප්රශ්න කරද්දී රනුක් පසෙක වූ බිත්තියට හේත්තු වී සිටී.
‘නෑ මිස්. සුධර්මා ඔයාගේ නම්බර් එකට කීප සැරයක්ම මැරෙන්න කලින් මාසේ කෝල් කරලා තියෙනවා. අපිට දැන ගන්න ඕනා වුනේ ඒ ඇයි කියන එක.‘
‘මන් හිතන්නෙ ඔෆිසර්. එයා මට කථා කලේ රක්ෂණ වැඩ වලට. මට එයාව හම්බවුනෙත් හොස්පිටල් එකේදිමයි. ඒ දැන හැඳුනුම්කම් හින්දා එයා මට කථා කරලා ඔප්පුවක් ගන්න කිව්වා. ඒකට තමයි කථා කලේ.‘
‘ම් ම් ඒ ඇර ඔයා සුධර්මාව අඳුනන්නෙ නෑ.‘
‘නෑ මන් දන්නෙ නෑ. දැන් ඇයි මේවා මගෙන් අහන්නේ.‘
ඇය උනන්දුවාගෙන් ප්රශ්න කරන්නේ රනුක් දෙස ද බලමිනි.
‘අපි මෙයාගේ මිනීමරුවා ව හොයන එකයි කරන්නේ. ඒකයි තියෙන හැම දේ ගැනම බලන්නෙ.‘
‘මිනීමරුවා. ඇයි මොකද වෙලා තියෙන්නෙ?‘
‘ආ ඔයා තාම දන්නෙ නැද්ද.. මේ සුධර්මා මැරිලා කියලා.‘
‘මොකක් .... කොහොමද?‘
‘මැරිලා නෙමෙයි කවුරුහරි එයාව මරලා..‘
‘මන් දන්නෙ නෑ නේ..‘
තවත් ටික වෙලාවක් ඇය සමග කථා කලද ඇගෙන් මිනීමරුමට අදාළව තොරතුරු නොලැබෙන බව වැටහුන නිසා උනන්දුවා ආපසු යෑමට තීරණය කළේ ය.
‘රනුක් යමු එහෙනම්.‘
ආදරවන්තයින්ට ඉඩ ලබා දෙමින් උනන්දුවා පිට වූයේ ය. රනුක් ද ඔහු පසු පස යන්න ට සූදානම් වන විට දීපිකා ඔහුගේ අතින් අල්ලා ගත්තේ ය. රනුක්ට දැනුනේ අප්පිරියාවකි. මන්දයත් රනුක් තුළ වුන් ඔහු කාන්තාවන්ට එදත් කැමති නැත, අදත් කැමැති නැත.
‘අනේ රනුක් මට බයයි.‘
‘ඒ මොකට ද?‘
‘ඔයාලා ලඟ තියෙන ෆෝන් ඩීටේල්ස් එළියට යන එකක් නෑ නේද?‘
‘මන් දන්නෙ නැහැ.‘
රනුක් ඇගේ අත ගසා දමා ඔහු එනතුරු බලා සිටි උනන්දුවා දෙසට ඇවිද ගියේ ය. දීපිකා මරබියට පත්වුනේ මේ ලැයිස්තුවේ ඇගේ නම තිබීම නිසාවෙනි.