පෙනෙන නොපෙනෙන

hpalpola

Well-known member
  • සිතුමිට දැනුනේ ශාරීරික වෙහෙසකට වඩා මානසික වෙහෙසකි. ඇය, ඇගේ පියා පිළිබඳව සොයා බැලීමට උත්සාහ කළත් කිසිඳු මාර්ගයක් අනාවරණය වන්නේ නැත. නමුත් පියාට සිදු වූ දේ දැන ගැනීමේ දැඩි කුතුහලයෙන් ඇය පෙළෙයි. පාරේ ඇවිද යන ඇය මහන්සිය හේතුවෙන් ම අයිනක තිබූ බස් නැවතුමක අසුන් ගත්තා ය. නමුත් ඇයට විසඳාගත නොහැකි අවුලක් තිබේ.

    ඇයි එයා රට යන්න හිතුවෙ. ඒ කියන්නෙ මොකකින් හරි හැංගෙන්න හැදුවවත්ද? අඩු තරමෙ ඉන්න තැනක විස්තරයක්වත් තිබුනා නම්. බලමු අරයා මොනවා හරි විස්තරයක් හොයා ගනීද කියලා.

    සිතුමි කියා ගත්තේ තමුන්ටම ය.

    කමක් නෑ. මොන විදියෙන් හරි තාත්තාට ඒ අපරාදෙ කරපු කෙනා මන් හොයා ගන්නවාමයි. ඔව් හොයා ගන්නවාමයි. හොයාගෙන නිකන් ඉන්නෙ නෑ ඌට නීතියෙන් දඬුවම් අරන් දෙනවා. නැත්නම් මන් ම හරි දෙනවා.

    හිතට ධෛර්යය ගත් ඇය වාඩි වී උන් තැනින් නැගී සිට ආපසු ඇවිදගෙන යන්නට වූවා ය. නවාතැන්පලට ලන් වෙන විට ඇයට ඇසුනේ කාන්තාවක් ඇගේ නවාතැනේ දොරට ගසමින් කෑ ගසනා හඬයි. ඒ හඬ ඇය අඳුනා ගත් අතර නිවස අයිතිකාරිය පැමිණ කෑ ගසමින් සිටියා ය. අසල තිබූ තාප්පයකට ඇය මුවා වී කාන්තාව යන තුරු සැඟ වී බලා සිටියේ නවාතැනට යෑමට කාලය උදා වෙන තුරු ය. නමුත් කාන්තාව පිටවී යන බවක් ඇයට නොපෙනුනි. ඒ අනුව ඇය සැඟවෙමින් ආ ආකාරයෙන් හැරී පලා ගියත් වැඩි දුරක් යෑමට නොහැකි වූයේ ඇගේ ඉදිරියට තාරක පැමිණි නිසාවෙනි.

    ‘සිතුමි..‘

    ‘අයියෝ... කට කට....‘

    ඇය නිශ්ශබ්ද වන ලෙසින් ඔහුට සන් කර ඔහුව ද ඇදගෙන එතැනින් ඉවත් වූවා ය.

    ‘ඇයි මොකක් ද අවුල...‘

    ‘ටිකක් ඉන්නවා මිනිහෝ....‘

    සැඟව සිටියදී අර කාන්තාව පිටව යනවා සිතුමිට දක්නට ලැබිණි. ඒ අනුව ඇය තාරක ද සමඟ ඇගේ නවාතැනට ආපසු ගමන් කළාය. තාරක සමඟ නොව ඇගේ පසුපසින් තාරක ගමන් කළේ ය. නමුත් සිතුමි ඔහුව නතර කළේ නැත.

    ‘ගෑණු ළමයෙක් ඉන්න ගෙයක් මේ වගේ ජරාවට තියෙනවා මන් මේ දැක්කමයි. අම්මට සිරි... ජනිත්.. ඒයි මේ..‘

    තාරක ද බිත්තියක් පිරෙන්නට අලවා තිබූ ජනිත්ගේ ඡායාරූප දුටුවේ ය.

    ‘මේ මේ ඔයාට අදාළ දේවල් විතරක් කරන්න. මගේ ගේ මන් බලාගන්නම්. අනික ඕවා වැඩක් නෑ. ඔයාට මොනවා හරි විස්තරයක් හම්බවුනා ද?‘

    ‘මන් උත්සාහ කරනවා මොනවා හරි හොයාගන්න..‘

    ‘ෂික්.. ඔහේ ආපු නිසා මන් හිතුවෙ දැනටමත් මොනවා හරි හොයන් ඇති කියලා.‘

    සිතුමි පත්වූයේ බලාපොරොත්තු කඩ වූ තත්ත්වයටයි.

    ‘මේ ඒක නෙමෙයි...‘

    ‘ඇයි?‘

    ‘ඔයාට මතකද එදා පොලීසියේ දී ඔයා ගෑණු කෙනෙක් ගැන කිව්වා...‘

    ‘මොන..‘

    ‘අර අනේ මෙන්න මේකා පොලිසියේ ඉද්දි... මමත් එදා ඉඳියානේ.‘

    තාරක සිතුමිට කථා කලේ ජනිත්ව ද පෙන්වමිනි.

    ‘ආ එයාද ... ඉතින්...‘

    ‘ඉතින් කියන්නේ ඒ මනුස්සයාව මරලා දාලා...‘

    සිතුමි පුදුමයට පත්වූ සෙයක් තාරක දුටුවේ ය.

    ‘එයාද අර ෆ්‍රිජ් එකේ මැරිලා උන්නෙ?‘

    ‘ඔයා දැක්ක ද ඒක නිව්ස්වල පෙන්නුවා.‘

    ‘ඔව් මන් දැක්කා. ඒත් මට අඳුනගන්න බැරි වුනා. ඒත් දැන් හිතෙනවා ඒ එයා කියලා.‘

    ‘ඔව් එයා තමයි. වට්ස් ඇප්, ඉන්ස්ටා හැම එකේම දැන් ඒක ගැන තමයි කථාව.‘

    ‘හරි ඉතින් දැන් ඒකෙන් මට වැඩක් නෑ නේ. ඕක කියන්නද ඔහේ මෙතැනට ආවේ.‘

    සිතුමිට තරහ ගිය ආකාරය තාරක නිරීක්ෂණය කළේ ය. ඔහු ඇය ලගට වේගයෙන් ඇවිද ආවේ ය.

    ‘මන් මෙහෙම ඇහුවට තරහා වෙන්න එපා. මොන වගේ මළගිය ආත්මයක් එක්කද ඔයා කථා කරන්නේ?‘

    ‘මොකක් ... මළ ගිය ආත්මයක්... තමුසෙට පිස්සුද ඕයි?‘

    ‘නෑ එහෙම නෙමෙයි. මන් අහලා තියෙනවා සමහරු මළගිය අය එක්ක කථා කරනවා කියලා. ඒ අය ඉස්සරහට වෙන දේවල් ගැන කියනවලුනේ. ඔය පත්තරවල ඕන තරම් ඇඩ් තියෙන්නෙ.‘

    ‘ඕයි ඕයි මේ... ගොන් කථා කියවලා කනට එකක් කාලා එළියට බැහැලා යන්නෙ නැතුව කරුණාකරලා වැඩක් නැත්නම් යනවා යන්න මෙතැනින්.‘

    ‘විකාර කියන්න එපා අනේ.‘

    තාරක සිදු කළේ සිතුමි කිසිවිට නොසිතූ දෙයකි. ඔහු ඇගේ අතින් අල්ලා අසල වූ පුටුවක වාඩි කරවා ඔහුද අසලින් වාඩි විය.

    ‘මන් ඔයාට පුදුම හිතෙන රස්සාවක් දෙන්න හිතුවෙ ඔයා කැමති නම්. ආයිත් ඔයා දන්නවනේ. මට ලොකු කම්පැනි එකක් තියෙනවා.‘

    ‘මොකක්?‘

    ‘ඔව් ඒක නිසා තමයි මේ කොරියාවට වුනත් මන් ආවේ. නැත්නම් මට එන්න වුවමනාවක් තිබ්බෙ නෑ මෙතැනට.‘

    ‘මොකක් ද කියන්නේ?‘

    ‘දැනුත් ඔයාව එළියට දාන්නනෙ හැදුවෙ. ඒකනේ ඔයා හැංගුනේ. මන් ඔයාට මාසෙකට ගෙවනවා හොඳ ගානක් ඔයා මට දෙන සර්විස් එකට.‘

    ‘ඒ කියන්නේ?‘

    ‘මෙහෙමයි මන් ඔයාට දෙනවා ඉලක්කම් 6 ක පඩියක් මාසෙකට. තව ඊපීඑෆ්, ඊටීඑෆ් සේරම ගෙවනවා. බෝනසුත් දෙනවා අනිත් අයට වගේ.‘

    ‘අඩේ මොකක් ද දැන් ඔච්චර ගෙවන රස්සාව.‘

    සිතුමි පුදුමයට පත් වී ඇසුවා ය. තාරකා සිනා සුනේ කුඩා දරුවකු මෙනි.

    ‘ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. මෙහෙමයි අපේ කම්පැණියට ඕනා ඔයාගේ ඔය දැක්ම නැත්නම් විෂන් එක.‘

    ‘මොකක්ද මොකක්ද...‘

    ‘සරලව කියනවානම් ඔයාට කරන්න තියෙන්නේ මේකයි. රක්ෂණ සමාගම්වලින් හොයා බලන්නෙ මිනිස්සු මැරුණට පස්සෙ. මැරෙන්න කලින් බලන්නෙ නෑ. කොහොමත් ඒ බැලුවට පස්සෙ සල්ලි දෙන්න වෙනවා. ඒත් දැන් ඔයා එහෙම නෙමෙයි. ඔයාට කෙනෙක් මැරෙන්න කලින් කියන්න පුළුවන්. ඔයාට පුළුවන් රක්ෂණේ ගත්ත කෙනෙක් මැරෙන්න කලින් ඒ ගැන බලන්න.‘

    සිතුමිට සිතාගත නොහැක.

    ‘ඇයි? මොකටද එහෙම හොයන්නෙ?‘

    ‘ඒක ද....‘

    තාරක කල්පනා කරනවා සිතුමි බලා සිටියා ය.

    ‘ඇත්තම කියනවා නම් ඔයාට මට දැන් කම්පැණි එකේ රස්සාව විතරක් නෙමෙයි කම්පැණි එකත් නැති වෙන්නයි යන්නේ. මාව මේකෙ ලොක්කා කලේ දැනට දවස් කිපෙකට කලින්. ලඟදි. පස්සෙ තමයි මන් දන්නෙ අපේ කම්පැණි එක පාඩු පිටයි දුවන්නෙ කියලා. ඒක ලොස්ට් වෙන්නයි යන්නෙ. මට ඕනා අපි එහෙම නෑ කියලා පෙන්වන්න. ඒත් ඔයා දන්නවනේ මේ කාලේ ඉස්සර වගේ නෙමෙයි. කම්පැණි වැඩි. අළුතින් කට්ටියට රක්ෂණ ඔප්පු විකුණන එකට තියෙන්නෙත් තරඟයක්. හැබැයි අපිට අළුතින් කට්ටිය ඕනා. ඒකත් දැන් අවුල් වෙලා තියෙන්නෙ අපේ නියෝජිතයෙක් භයානක විදියට මැරිලා නිසා.‘

    සිතුමි කල්පනා කරනවා තාරක දුටුවේ ය.

    ‘ඒකට තියෙන්නෙ එකම විදියයි. අපිට පුළුවන්නම් අපි ගෙවන ගාන අඩු කරන්න ඒකෙන් අපිට ලාභයක් ගන්න පුළුවන්. අපිට ඉන්නවා වීවීඅයිපී කස්ටමර්ස්ලා ටිකක්. උන්ගෙ ලයිෆ් ඉන්ෂුවරන්ස් වලට බර ගාණක් අපිට ගෙවන්න වෙලා තියෙනවා.‘

    ‘ආ ආ... ඒ කියන්නේ දැන් ඔහේට ඕනා මන් ලව්වා ඔය කිව්ව වීවීඅයිපී කස්ටමර්ස්ලා මැරෙන එක නවත්තන්න නේද ආ එහෙම නේද?‘

    ‘හරියට හරි...‘

    ‘අනේ යකෝ උඹ නම්.. උඹ කොහොමද මන් ගැන හිතන් ඉන්නෙ.‘

    ‘මොකක්...‘

    සිතුමි තාරකගේ කමිස කොළරයෙන් අල්ලා ගෙන නැගිට්ටේ වේගයෙනි.

    ‘පලයන් යන්න මෙතැනින්... උඹ හිතන් ඉන්නෙ මන් කවුරු කියලද මිනිහෝ ආ... පලයන් යන්න..‘

    ‘මන් ගාණ වැඩි කරන්නම්...‘

    ‘උඹේ ගාණත් අරන් පලයන්....‘

    ඇය තාරක සමඟ දඟලමින් ඔහුව නවාතැනෙන් එළියට ඇද දැමුවා ය.

    ‘සිතුමි අපිට පුළුවන් ගාණ ගැන තියන ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳගන්න. සිතුමි ටිකක් හිතන්න මන් කිව්ව දේ ගැන..‘

    තාරක නවාතැනෙන් එළියේ සිට කථා කරද්දී සිතුමි ඇතුලේ පුටුවක වාඩි වී කල්පනා කරන්නට පටන් ගත්තා ය.

    ‘දිනුක් මැරුනෙ මන් නිසා. මට බැරි වුනා එයාව බේර ගන්න. තාත්තා මැරුනෙ මන් නිසා. මට බැරි වුනා එයාව බේර ගන්න. මන් කොහොම ද තව කෙනෙක් ව බේර ගන්නෙ. අනික අර ගෑණු කෙනා. මන් දැක්කා එයා මැරෙනවා. මට එයාව බේරා ගන්න බැරි වුනා. ඒකෙන් වෙන්නෙ මම ම දුකට පත්වෙන එක විතරයි. ඒ නිසා මන් තවත් ඒ ගැන හිතන්නෙ නෑ.‘

    රනුක්, යුනිට් 5 ට වී අහස පොළොව ගැටලන කල්පනාවක පැටලී සිටියේ දිනෙන් දින කාලය ගත වී ගියත් මෙතෙක් පලාගිය තැනැත්තා සොයා ගැනීමට නොහැකි වීම නිසාවෙනි.

    ‘හ්ම්... මන් හිතන්නෙ ඒකගේ නංගිව බලන්න ගියා නම් හරි. මොකක් ද ඒ ඉස්කෝලෙ. මතක් වෙන්නෙත් නෑ අප්පා...

    ඔහු එතෙක් මේසය උඩ තිබූ පිස්තෝලය ඉනේ තිබූ කොපුවට දමා ගත්තේ කාර්යාලයෙන් පිට වී යෑමට සූදානම් වූවේ ය. ඒ වන විට රණතුංග එක් එක් නිලධාරීන්ට කොල කීපයක් බෙදමින් සිටි අතර නැගී සිටීමට උත්සාහ කරන රනුක්ට ද කොළ කිහිපයක් ලබා දුන්නේ ය.

    ‘මොන මගුලක් ද මේ.‘

    ‘කොහේද යන්නෙ. ඔහොම ඉන්නවා.‘

    ‘ඇයි මට යන්න ඕනා.‘

    ‘මේ තියෙන්නෙ සුධර්මාගේ කෝල් හිස්ටොරි එක. අපි දැන් කරන්න යන්නෙ මේවට කතා කරලා එයාව දන්න කෙනෙක් ගැන හොයා ගන්න එක. මරණයට හේතුව හොයන්නයි යන්නෙ.‘

    ‘ඉතින් මට මොකක් ද කියන්නෙ.‘

    ‘තමුසෙට විතරක් නෙමෙයි ඕයි අපි හැමෝටම තියෙනවා වැඩක් කරන්න. ඔය ලිස්ට් එකේ තියෙන අංක වලට කතා කරලා අපි බලන්න ඕනා ඒ මිනිස්සු මේ සුධර්මාගෙ මරණය ගැන මොනවා හරි දන්නවද කියලා. තම තමුන්ට දීලා තියෙන ලැයිස්තුවල තියෙන අංකවලට කථා කරලා බලනවාලා..තමුසෙත් බලනවා. හා හා පටන් ගන්නවා.‘

    ‘මගුල‘

    ‘ඒවා මන් දන්නෙ මුලින් ම කථා කරන්නෙ බාලම එකා. ඒ කියන්නෙ තමුසෙ. ඉතින් පටන් ගන්නවා‘

    උනන්දුවා කථා කලේ රනුක් දෙස බලාගෙනය.

    ‘රෙද්ද‘

    ඔහු අකමැත්තෙන් වුවද ලැයිස්තුව අතට ගත්තේ ය. මේසයේ කොනක තිබූ දුරකථනයෙන් එහි තිබූ අංකයකට ඇමතුම ගත්තේ ය. ඔහු ඇමතීම ගන්නා විට අනෙක් නිලධාරීන් ද තමුන්ගේ කාර්යය අරඹා තිබිණි.

    ‘ආ හෙලෝ. ඔහේ දන්නවද සුධර්මා රදළියගොඩව. තමුසෙ ද එයාව මැරුවෙ. එයාගේ මිනීමරුවා.‘

    රනුක් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන සිටිනා අයගෙන් ප්‍රශ්න කරනාකාරය ඇසුණු විට උනන්දුවාට තරු විසිවිණි. කෙසේවෙතත් රනුක් ද පුදුමයට පත් කරමින් ඔහුගේ ඇමතුමට සම්බන්ධ වූ තැනැත්තා දුරකථනය වේගයෙන් විසන්ධි කරනු ලැබුවේ ය. පසුව ඔහු ලැයිස්තුවේ ඊළඟ අංකය අමතන්නට පටන් ගත්තේ ය. තමුන් කරනා කාර්යය නතර කර රනුක් කරනා දේ පිළිබඳව උනන්දුවා අවධානය යොමු කළේ පෙර අවස්ථාව ද සිහියේ තබා ගනිමිනි.

    ‘ආ හෙලෝ. සුධර්මා රදළියගොඩගේ මිනීමරුවා තමුසේ ද? ඇත්ත කියනවා මට හරිද?‘

    එයත් එසේ මය.

    ‘නොදකින් හැත්ත. අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට ෆෝන් එක කට් කරන්නවත් දන්නෙ නැති යක්කු. කාලකණ්ණි. අනික ඔහොම තදවෙන්න දෙයක් ඇහුවෙ නෑ නේ.‘

    ලැයිස්තුවේ ඊළඟ අංකයට ඇමතීමට පෙර රණතුංග පැන ඔහු වැළැක්වූවේ ය..

    ‘රනුක් මේ ඉන්නව ටිකක්. මන් ගන්නම්.‘

    ‘නෑ ඇයි මන් පොලිස්කාරයෙක්. මම කථා කරනවා. තමුසෙ කොහොමද මාව නවත්තන්නෙ. අදින්න එපා අදින්න එපා.‘

    ‘නෑ නෑ ඔයා යන්න ගිය ගමන යන්න. මන් කථා කරන්නම්.‘

    ‘බෑ යකෝ...‘

    නමුත් රණතුංග දුරකථනය කේබලයෙන් ගලවා ඉවත් කළේ ය. ඒ අතරේ රනුක් කළේ තමුන්ගේ ජංගම දුරකථනය ගෙන එයින් ලැයිස්තුවේ තිබූ අංකයක් ඇමතීමයි.

    ‘දීපිකා මැණික.. මොනු හු.. මේ...මේ ලිස්ට් එකේ තියෙන අංකෙ මගේ ෆෝන් එකේ තියෙනවානේ. දීපිකා.. කව්ද ඒ..‘

    ‘ඈ ඕයි මේ වෙලාවේ ග‘ල් ‍ෆ්‍රෙන්ඩ්ට කථා කරන්නෙ තමුසෙට පිස්සු ද?‘

    ‘මොකක් කව්ද ඕයි එහෙම එකෙක්ට කථා කලේ. මන් කියන්නේ මේ ලිස්ට් එකේ තියෙන අංකෙට ගත්තම මේක තමයි වැටුනෙ කියලා. මේ තියෙන්නෙ ඒක‘

    දෙදෙනාගේ වාදය අසා සිටි උනන්දුවා ඉක්මණින්ම රනුක් කී අංකයත් ලැයිස්තුවේ අංකයත් සසඳා බැලුවේ ය. එය මනාව ගැලපිනි. තවත් ටික වේලාවකින් රනුක් සහ උනන්දුවා සිටියේ දීපිකාගේ කාර්යාල කාමරයේ ඇය ඉදිරිපිට ය. උනන්දුවා ඇගෙන් ප්‍රශ්න කරද්දී රනුක් පසෙක වූ බිත්තියට හේත්තු වී සිටී.

    ‘නෑ මිස්. සුධර්මා ඔයාගේ නම්බර් එකට කීප සැරයක්ම මැරෙන්න කලින් මාසේ කෝල් කරලා තියෙනවා. අපිට දැන ගන්න ඕනා වුනේ ඒ ඇයි කියන එක.‘

    ‘මන් හිතන්නෙ ඔෆිසර්. එයා මට කථා කලේ රක්ෂණ වැඩ වලට. මට එයාව හම්බවුනෙත් හොස්පිටල් එකේදිමයි. ඒ දැන හැඳුනුම්කම් හින්දා එයා මට කථා කරලා ඔප්පුවක් ගන්න කිව්වා. ඒකට තමයි කථා කලේ.‘

    ‘ම් ම් ඒ ඇර ඔයා සුධර්මාව අඳුනන්නෙ නෑ.‘

    ‘නෑ මන් දන්නෙ නෑ. දැන් ඇයි මේවා මගෙන් අහන්නේ.‘

    ඇය උනන්දුවාගෙන් ප්‍රශ්න කරන්නේ රනුක් දෙස ද බලමිනි.

    ‘අපි මෙයාගේ මිනීමරුවා ව හොයන එකයි කරන්නේ. ඒකයි තියෙන හැම දේ ගැනම බලන්නෙ.‘

    ‘මිනීමරුවා. ඇයි මොකද වෙලා තියෙන්නෙ?‘

    ‘ආ ඔයා තාම දන්නෙ නැද්ද.. මේ සුධර්මා මැරිලා කියලා.‘

    ‘මොකක් .... කොහොමද?‘

    ‘මැරිලා නෙමෙයි කවුරුහරි එයාව මරලා..‘

    ‘මන් දන්නෙ නෑ නේ..‘

    තවත් ටික වෙලාවක් ඇය සමග කථා කලද ඇගෙන් මිනීමරුමට අදාළව තොරතුරු නොලැබෙන බව වැටහුන නිසා උනන්දුවා ආපසු යෑමට තීරණය කළේ ය.

    ‘රනුක් යමු එහෙනම්.‘

    ආදරවන්තයින්ට ඉඩ ලබා දෙමින් උනන්දුවා පිට වූයේ ය. රනුක් ද ඔහු පසු පස යන්න ට සූදානම් වන විට දීපිකා ඔහුගේ අතින් අල්ලා ගත්තේ ය. රනුක්ට දැනුනේ අප්පිරියාවකි. මන්දයත් රනුක් තුළ වුන් ඔහු කාන්තාවන්ට එදත් කැමති නැත, අදත් කැමැති නැත.

    ‘අනේ රනුක් මට බයයි.‘

    ‘ඒ මොකට ද?‘

    ‘ඔයාලා ලඟ තියෙන ෆෝන් ඩීටේල්ස් එළියට යන එකක් නෑ නේද?‘

    ‘මන් දන්නෙ නැහැ.‘

    රනුක් ඇගේ අත ගසා දමා ඔහු එනතුරු බලා සිටි උනන්දුවා දෙසට ඇවිද ගියේ ය. දීපිකා මරබියට පත්වුනේ මේ ලැයිස්තුවේ ඇගේ නම තිබීම නිසාවෙනි.
     

    hpalpola

    Well-known member
  • මේ අතර ආපසු කාර්යාලයට පැමිණි තාරක දුටුවේ ලිපි ගොනුවක් කීතු කීතු කරමින් සිටිනා බිංගා ය.

    ‘අනේ දෙයියනේ. මොකක් ද බන් උඹ මේ කලේ...‘

    ඔහු අදාළ ලේඛන දුටු විට හිසේ අත ගසා ගත්තේ ය. සමාගමේ ලිපි ගොනුවක් බල්ලා ඉරා දමා තිබිණි. ඔහු ඒවා අහුලමින් එකතු කළ අතර එක් කොළයක් දුටු විට පුදුම විය. එය 1997 ලිපිගොනුවයි. වහාම ඉතිරි ලේඛන පරීක්ෂා කළ ඔහුට සෙවූ ලේඛනය හමු විනි.

    නොනවත්වා ම දොරට තඩි බාන්නා මොකාදැයි අසා ගනිමින් සිතුමි දොර ඇරිය විට දොර ඉදිරිපිට සිටියේ තාරක ය.

    ‘මොකද අයිසේ..‘

    ‘මෙහෙමයි ඔයා කිව්ව විස්තර හම්බ වුනා.‘

    ‘මොකක්.... ඇත්තටම ද?‘

    ‘ඔව්... මේ තියෙන්නෙ.‘

    තාරක සිතුමිට ලිපි කවරයක් පෙන්නුවේ ය.

    ‘අනේ අම්මේ.. ඇති යන්තම්....‘

    ඇයට මහත් සතුටක් දැනිනි.

    ‘කෝ දෙනවා ඕක..‘

    ඇය එය ඉදිරුවේ ය.

    ‘ඉන්න ඉන්න. මෙච්චර දෙයක් නිකන්ම දෙන්න බෑ නේ. ගාස්තුවක් දෙන්න ඕනා ඒකට.‘

    ‘මොකක්...‘

    ‘ඔව් මන් කලින් කිව්ව යෝජනාවට කැමති වුනොත් මේක ඔයාට දෙනවා මන් නිකන්.‘

    ‘ඇත්ත කියනවා මිනිහො. තමුසෙට ඇත්තටම ඒක හම්බ වුනාද?‘

    ‘ඔව් දැන් මන් කිව්වේ. මන් ඔයාව පුදුම කරන්නම්... ඔයාගේ තාත්තගේ අතේ පච්චයක් තියෙනවා නේද? මේ තරම් වගේ... හරිනෙ.‘

    ‘මොකක් පච්චයක්. පොලිස් ඔෆිසර්ලා කොහොමද ඕයි පච්ච ගහන්නෙ බොරුකාරයා.‘

    සිතුමි වේගයෙන් හැරී යන්නට වූයේ ඇති වූ තරහ නිසාවෙනි. තරහින් හැරී යන සිතුමි දැක තාරක පුදුම විය. එසේම ඔහුට වචන ද පැටලිනි.

    ‘මේකේ තියෙනවා නේ ඒ කෙනාගේ අතේ පිටිඅල්ලෙ පච්චයක් තියෙනවා කියලා. ඒකයි මන් කිවවේ.‘

    එය ඇසුණු විට නම් සිතුමි නතර වූවා ය.

    ‘පිටි අල්ලේ පච්චයක්....‘

    ඇය තමාට ම කියා ගත්තේ එවැනි පච්චයක් පිළිබඳව ඇයට මතකයක් ඇති නිසාවෙනි.

    ‘ඔහේ කිව්වෙ පිටි අල්ලෙ කියලා නේද? මොන වගේ පච්චයක් ද කියලා තියෙනවාද?‘

    ‘ඔව් පච්චයක්.. ඒක ඒක මකුළුවෙක්ගෙ පච්චයක්...‘

    අවුරුදු ගණනකට පෙර ඇය දුටු පච්චය ඇගේ මතකයට පැමිණියේ ක්ෂණයෙනි.

    ‘කෝ දෙනවා මට දෙනවා ඒ කොලේ.‘

    ‘දෙන්නම් දෙන්නම් උදුරන්න දෙයක් නෑ... හැබැයි මන් කියන දේ කරන්න ඕනා.‘

    ‘මොකක් ද තමුසේ කරන්න කියන්නෙ. මට ඒ කොලේ ඕනා.. මට ඒ කොලේ ඕනා...‘

    ‘හරි මේ අහන්න. මන් ගෙනාව සේවා ගිවිසුම. ඒක අත්සන් කරන්න. මේක දෙනවා.‘

    කොළය ගැනීමේ වුවමනාව තිබූ නිසා කිසිවක් නොකිය වූ සිතුමි, තාරක දුන් ගිවිසුම අත්සන් කරනු ලැබුවාය. ඒ අනුව ඔහු ඇයට පොරොන්දු වූ ලෙසින් කවරය ලබා දුන්නේ ය. එයින් තාරකගේ සමාගමේ සේවිකාවක් බවටල ඔව් අපූරු සේවිකාවක් බවට සිතුමි පත් විණි.

    ‘හරි ඔයාට සල්ලි ඕනා නෑ නේ. ඒක පස්සට දාමු. මෙන්න මේක තමයි අපේ අර කිව්ව වී වී අයි පී ලැයිස්තුව. ඔයා මේ අය ගැන තමයි බලන්න ඕනා. තේරුනානේ.‘

    ‘තමුසෙව වෙලාව ආවම මන් අල්ලගන්නම්. මිනිස්සුන්ගේ දුර්වල තැන බලලා හොඳට ෂොට් එක දෙන්න තමුසෙ දන්නවා කියලා දැන් මට තේරෙනවා. අහුවෙච්චි දවසට තමුසෙ මට කියලා මූණ තලා ගන්නවා.‘

    ලිපියත් රැගෙන ඇය නිවසට වැදී දොර වසා ගත්තා ය.

    *********

    උදෑසනින්ම රනුක් ගොස් සිටන් සිටියේ එක්තරා විදුහලක් ඉදිරිපිට ය. ඒ වන විටත් සිසු සිසුවියන් නිල ඇඳුමින් සැරසී විදුහලට පැමිණෙමින් සිටින ලදි.

    ‘මේකා නංගිට ඔච්චරටම ආදරේ නම් අනිවාර්යෙන්ම මෙතැනට එනවා මයි... ඒකෙ දෙකක් නෑ. උඹව මන් අල්ලා ගන්නවා කාලකණ්නියා...‘

    විදුහලට ඇතුල්වන සිසුන් දෙසට රනුක්ගේ විමසිලිමත් දෑස යොමු ව තිබේ. ඒ අතර විදුහලට ඇතුල් වන එක්තරා සිසුවකු විශේෂයෙන් ඔහුගේ අවධානයට ලක් විනි.

    ‘කොහේදි ද මන් මෙයාව දැක්කේ...හරිනෙ එදා බේත් දාන් එද්දි අර තල්ලු කරන් ගියෙ මෙයානේ.... එතකොට...‘

    තමුන් අසලින් යන සිසුවියන් කීපදෙනකුගෙන් කෙනකු රනුක් අල්ලා ගත්තේ ය.

    ‘නංගි මේ බය වෙන්නෙපා ... අර යන එක්කෙනාට ලඟදි මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුනාද?‘

    බියට පත් සිසුවිය, රනුක් පෙන්නූ සිසුවා නිරීක්ෂණය කළාය.

    ‘කොහොම ද ඔයා දන්නේ....ඔව්. එයාගේ ලකුණු අඩුයි කියලා අර බිල්ඩින් එකෙන් බිමට පැන්නනේ එයා. මැරුනේ නෑ වෙලාවට.‘

    ‘ඒකත් එහෙම ද‘

    රනුක් ඇයව අත ඇරියේ ය. පසුව ඔහු ද විදුහලට ඇතුල් වූවේ ය.

    මේ අතර සිතුමි ද තම රාජකාරිය උදෑසනම ආරම්භ කලේ ලැයිස්තුවේ සිටනා අයවලුන් පරීක්ෂණය කරන්නට ය. ඔවුන් නගරයේ ඉහළ ව්‍යාපාරිකයන්, ප්‍රභූවරුන් වූ අතර මෙනිසා ම ඇයට පහසුවෙන් ඔවුන් ගැන නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබිණි. ලැයිස්තුවේ එක් දැරියක් වූ අතර ඇය ඒ වන විට ප්‍රසිද්ධ විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටින්නියකි. ඇගේ පියා ඇය වෙනුවෙන් රක්ෂණයක් ගෙන තිබුනි. ඇය පිළිබඳව සොයා බැලීමට සිතුමි අදාළ විදුහලට ගියා ය. රනුක් ද ඒ වන විට සිටියේ එම විදුහලේම ය. උදෑසන දුටු සිසුවා සිටිනා පන්තිය ඒ වන විට රනුක් සොයා ගෙන තිබුණි. පන්තිකාමරය තුළ සිටි සිසුවා ඉවත බලා සිටි අතර රනුක් ඔහුගේ මුහුණ පෙනුනේ නැත. එසේම කිසිඳු වෙනසක් ද නොපෙනිනි. කුමක් දෝ අහේතුවකට සිතුමි සෙවූ සිසුවිය සිටියේ ද ඒ පන්ති කාමරය තුළමය. ඇයට ලබා දී ඇති ඡායාරූපයේ සිටින්නා හඳුනා ගැනීමට වැඩි අපහසුවක් නොවිනි. ඇය සමඟ කිසිඳු සෙවණැල්ලක් නොසිටි අතර එනිසා ලැයිස්තුවේ නම ඉදිරියෙන් සලකුණක් ඇය යෙදුවා ය. සිතුමිව රනුක්ගේ නෙත ගැටුනේ මෙවිට ය. ඇයට ද ඔහුව පෙනිනි.

    ‘මේ යක්ෂනී මොකක් ද මෙතන කරන්නේ.‘

    ‘මෙයා මොකද මෙතන?‘

    දෙදෙනා තම තමුන්ට කියා ගත්හ. රනුක්ව දැක කේන්තියට පත් සිතුමි ආපසු හැරී යන්නට හැදුවා ය. නමුත් එසේ හැරෙද්දී ඇයට අමුතු සිදුවිමක් දක්නට ලැබිණි.

    ‘මොකක් ... මොකක් ද ඒ.. ඒක එයාගේ ඇඟ ඇතුලේ. අපොයි දෙයියනේ හෙවණැල්ල එයාගේ ඇඟ ඇතුලේ..‘

    ඇගේ මුවෙන් නිකුත් වූ පුදුමය රනුක්ට ඇසිණි. එවිට ඔහු දුටුවේ ඇය පන්ති කාමරයට එබී කුමක් හෝ බලා සිටින ආකාරයයි. ඔහු ඇයට ලං වූවේ ය.

    ‘මොකක් ද ඔයා කිව්වේ...‘

    ‘මොන වගේ ප්‍රශ්නයක් ද ඒ ඇහුවේ ආ..? හැම දේම දැන දැනත් මුකුත් දන්නෑ වගේ රඟපාන්නෙ ඇයි තමුසෙ ආ.‘

    රනුක් පුදුමයෙන් අසා සිටියේ ය.

    ‘ඔහේ හොඳට දන්නවා මම හෙවණැලි දකිනවා කියලා. ඔහේ හොඳටම දන්නවා ඒ හෙවණැලි එක්ක ඉන්න කෙනා ඊට පස්සෙ මැරෙනවා කියලාත්.‘

    ‘මොකක්?‘

    ඔහුට එක්වරම සිහිපත් වූයේ දැනට කලකට පෙර ඇය විසින් ආහාර අලෙවි සැලේ දී පුද්ගලයකු සම්බන්ධයෙන් කී කතාවයි. එදා ඔහු එහි සිටියේ ය. මොකක් ....

    ‘ඒ ඒ කියන්නේ ඔයාට අපිව ඇත්තටම පේනවා එහෙම ද... මන් කිව්වේ.. ඇත්තටම ඒක දකින්න පුළුවන් ද?‘

    ‘පිස්සුද අප්පා මෙයාට.‘

    ‘ඒත් මන් කවදාවත් මෙහෙම දෙයක් දැකලා නැහැ..‘

    ‘මොකක් ද ඒ කිව්වේ...‘

    ‘අර බලන්න අතන ඉන්න පිරිමි ළමයා..‘

    ඇය පෙන්නූ කෙනා රනුක් බලා සිටි කෙනාම විය.

    ‘මන් ඉස්සර ඒ කියන්නේ මේ වෙනකන් දැකලා තිබ්බෙ කෙනෙක් ලඟින් තියෙන හෙවණැලි විතරයි. ඒත් අර ළමයාගේ ඇඟ ඇතුලෙ තමයි හෙවණැල්ල තියෙන්නේ....‘

    තවත් ටික වෙලාවකදි රනුක් තමුන්ගේ ආයුධය අර පිරිමි ළමයාගේ හිසට එල්ල කර ගෙන සිටියේ ය.

    ‘ඇයි මට මෙහෙම කරන්නෙ... ඇයි මට මෙහෙම කරන්නේ...‘

    ළමයා බැගෑපත් වෙයි.

    ‘මට උඹේ ඇඬිල්ලෙන් වැඩක් නෑ ඔය ඇඟෙන් එළියට වරෙන් යකා අවුස්සන්නෙ නැතුව.‘

    ‘මට හිතාගතෑකි ඔහේ කව්ද කියලා... මට ආරංචියි අපේ ලෝකෙන් පැන්න කෙනෙක් ගැන.‘

    ‘ඕවා වැඩක් නෑ. උඹ හිතුවෙ මට උඹව හොයා ගන්න බැරි වෙයි කියලා නේද? විකාර නොකියා ඔළුව හිල්කර ගන්නෙ නැතුව වරන් එළියට. උඹ දන්නවනේ එහෙම වුනොත් වෙන වැඩේ.‘

    ‘මට බෑ... මට බෑ... මට මේකෙන් එළියට එන්න බෑ. මට ආපහු මිනිහෙක් වගේ ජීවත්වෙන්න ඕනා. දැන් මම දුක් වෙනවා පණ හානි කරගත්තට. කරුණාකරලා මට එක අවස්ථාවක් දෙන්න අනේ කරුණාකරලා‘

    ළමයා බැගෑපත් වූවේ ය.

    ‘හරි උඹ කියන දේ අහන්නෙ නෑ නේ. එහෙනම් මට වෙන කරන්න දෙයක් නෑ. උඹ ඕන මඟුලක් කර ගනින්. මන් උඹට වෙඩි තියනවා.‘

    එසේ කී රනුක් පිස්තෝලයේ කොකා ගැස්සීමට සූදානම් වූවා පමණි. සිසුවාගේ ඇඟ තුළ සිරවී සිටිනා ආත්මය ඉන් එළියට පැමිණියේ ය. ඒ පැමිණි වහාම පණ නැති කය බිමට වැටිණි.

    ‘මොකෝ චණ්ඩියා එළියට ආවේ. බය වුනා නේද ... මොකක් කව්ද උඹ?‘

    රනුක් ඒ ආත්මය හඳුනා ගත්තේ ය. ඒ ඔහු සොයමින් සිටින්නා නොවේ. එදා රෝහලේ දී හමු වූ තැනැත්තා ය.

    ‘තමුසෙ... තමුසෙ....‘

    ‘මොකෝ ලොක්කා.. මහ ලොකු චණ්ඩියා. අපේ ලෝකෙ එවුන් හිතාන ඉන්නෙ තමුසෙ හෙන වැඩ්ඩා කියලා. මන් වගේ පොඩි එකෙක් ඉස්සරහා තමුසෙ බයේ ගැහෙනවා නේද? තමුසෙ මතක තියා ගන්නවා අපේ ලෝකෙ තමුසෙ ගැන ඔත්තුවක් දෙන කෙනෙක්ට හොඳට සලකනවා. එක්ක යනවා මාව එක්ක යනවා මාව. මන් බලාගන්නම්...‘

    රනුක්ගෙන් වචන පිටවූයේ නැත. ඔහුට යහළුවන් දෙදෙනා මේ ගැන අනතුරු අඟවා තිබිණි. දැන් කුමක් කරම් ද?

    ‘මෙහෙමයි මට මේ විදියටම ඉන්න දෙනවා. මම තමුසෙව දැක්කෙත් නෑ තමුසෙ මාව දැක්කෙත් නෑ. එතකොට කිසි අවුලක් නෑ... මොකද කියන්නේ....‘

    කොල්ලාගේ යෝජනාව ගැන රනුක් කල්පනා කළේ ය. වෙනත් කළ හැක්කක් නැත.

    ‘හරි මන් එකගයි. ඒත් තමුසෙ කොහොමද මේ යකාගෙ ඇගට රිංගුවේ..‘

    ‘මමත් විභාගෙ ලකුණු අඩුවෙලා පැනඩෝල් බීලා තමයි මලේ. අම්මයි තාත්තයි මන් මැරුණ එකට තාම දුක් වෙනවා. මට මට එයාලගේ බාපොරොත්තු ඉෂ්ට කරන්න ඕනා. මන් බැලුවෙ මෙයාගේ ඇඟේ ඉඳන් හරි ඒ දේවල් කරන්න... අනේ මට මෙහෙම ඉන්න දෙන්න.‘

    රනුක් නිහඬව අසා සිටියේ ය. බැගෑපත් වීමෙන් පලක් නොමැති බව වැටහුණු තරුණයා නැගී සිටියේ ය.

    ‘තවත් අඬන්නෙ නෑ මන්. අනික මන් තමුසෙ ගැන හැමෝටම කියනවා. ඔව් තමුසෙ මන් කියන දේ අහන්නෙ නැත්නම් මන් තමුසෙ ගැන කියනවා. අපේ ලෝකෙට තමුසෙ අපරාධකරයෙක්. පැනලා යන අපරාධකාරයෙක්.‘

    ‘හ්ම්... හරි හරි මන් එකඟයි. ආපහු ඇගටම රිංගගන්නවා මගේ හිත වෙනස් වෙන්න කලින්...‘

    රනුක්ගෙන් ලද අවසරය සමඟ ඔහු ආපසු සිසුවාගේ සිරුරට ඇතුල් විය. බිම වැටී සිටි සිසුවා නැගී සිටියේ ය. නැගී සිට එතැනින් ඇවිද යන්නට විය. නමුත් පියවර දෙකකට වඩා ඔහුට යෑමට නොලැබිණි. ඔහුගේ බෙල්ල වටා සවිමත් දෑතක් පසුපසින් පැටලුණු අතර සිදුවන්නේ කුමක් දැයි තේරුම් ගැනීමටත් පෙර උගුරු දණ්ඩ ඇඹරී කැඩී ගියේ ය.

    ‘උඹ මට වැඩක් නෑ කොල්ලා. උඹ දැනන් උන්නෙ නෑ දෙවැනි වතාවේ මැරුණම ආයිත් අපේ ලෝකෙට යද්දි කලින් කරපු කියපු දේවල් අමතක වෙනවා කියලා. ඕනැවට වඩා උඩ පනින එවුන්ට ඒක තමයි වෙන්නෙ.‘

    ඉන්පසුව රනුක් ඔහුව ගොඩනැගිල්ලේ ඉහළ සිට පහලට විසි කර දැමුවේ ය.
     
    • Wow
    Reactions: Assassin Galaa

    hpalpola

    Well-known member
  • රනුක්ගේ නිවසේ තොප්පිකාරයා රූපවාහිනේ එක්තරා ටෙලියක් නරඹමින් සිටී. එය ලෝකයේ දීර්ඝතම ටෙලිනාටකය ලෙසින් වාර්තාවක් තබා තිබුණි. කිසිදින නොමියෙන චරිත වලින් එය සමන්විත විය. ඔහුගේ ගෝලයා එහි පැමිණෙන විටත් තොප්පිකාරයා කඳුළු පෙරමින් ටෙලිය නරඹයි.

    ‘ලොක්කා ලොක්කා දන්නවද වැඩක්...‘

    ‘මොකක් ද?‘

    ‘අර ඊයෙ පෙරේදා පැනලා ගිය එකාව අහුවෙලා කියන්නේ... ඒකාට මොනවා වේවි ද‘

    ‘නෑ ඉතින් ඉතින්...‘

    ‘මොන මගුලක් ද අප්පා ඕක නවත්තලා මන් කියන එක අහනවකො....‘

    ‘හිටහන් මේක බලනකන්. අන්තිම ටික යන්නේ...‘

    ‘අයියෝ... ඕකෙ දැන් වෙන්නේ ඔය කොල්ලා කෙල්ලව අතෑරලා අර කාර් එකෙන් එන කෙල්ල එක්ක යාළු වෙනවා. ඊට පස්සෙ ඔය කෙල්ල ස්ටෑන්ඩ් එකේ තෙමි තෙමි ඒක ගැන හිත හිතා ඉන්නවා. ඊට පස්සෙ කොල්ලා ඇවිත් කුඩේ ඉහළනවා.‘

    ‘නවත්තගනින්. නවත්තගනින් බල්ලා. උඹ ඕක කිව්වම මන් මොන එහකට ද මේක බලන්නෙ බූරුවා..‘

    ‘ඕක නෙමෙයි දැන් වැදගත්...‘

    එවිටම වගේ දොර ඇරගෙන එහි ඇතුල් වුනේ රනුක් ය. ඔහුව දුටු විට ඔවුන් දෙදෙනාම පුදුමයට පත් විනි.

    ‘මගේ අම්මේ.... කොල්ලො... අර හොලිවුඩ් කථාවේ ඉන්න නළුවා වගේ නේද මෙයා...‘

    ‘නළුවා..‘

    ‘ඔව් නළුවා. ඒකෙන් වැඩක් නෑ. ඔය ඇඳුම නම් ඔහේට නියමෙට ගැලපෙනවා. මරු ආ..කොහේද මේ රෑ යන්න හදන්නෙ..‘

    ‘මට හොඳ අදහසක් ආවා අරූව අල්ලගන්න. මන් ඒක කරන්නයි හිතුවේ.‘

    ‘ඒ කිව්වෙ...‘

    ‘මන් දන්නවා නියම ඇස් දෙකක් ගැන. ඒකයි මේ වෙලාවේ වැදගත්...‘

    නින්දේ සිටි සිතුමි අවදිවූයේ නොනවත්වා දොරට තඩි බාන හඬ නිසාවෙනි. නිදි කිරමින් බැන බැන පැමිණි ඈ දොර ඇර බැලුවත් කිසිවකු සිටියේ නැත. නමුත් කවුරුන් හෝ දොරට තට්ටු කළ බව ඇයට නිශ්චිතය. මදක් විපරම් කරද්දී ඈතින් වන්නට අහස දෙස බලාගෙන සිටිනා රුව ඇගේ නෙත ගැටිනි. ඇය ඒ රුවේ හිමිකරු හඳුනා ගත්තා ය. එනිසා ඇය ඔහු ලඟට ඇවිදගෙන ගියා ය.

    ‘දවල් මොකද වුනේ. ඔහේ එක පාරටම අතුරුදන් වුනානේ. මන් බයත් වුනා. දැන් මොකද මේ මහ රෑ මෙහෙ...‘

    රනුක් ඇය දෙස බැලුවේ ඇය කිසිදිනක ඔහුගෙන් දැක නොමැති බැල්මකිනි. මදක් ඇය දෙස බලා සිටි ඔහු ඇගේ උරහිස් දෙකෙන් අල්ලා ගත්තේ ය.

    ‘අහන්න. මට මතක විදියට ඔයා මාව හොයාගෙන ආවේ මට තියෙන කැමැත්ත නිසා නේද‘

    ‘මොකක්?‘

    ‘අර බ්‍රේස්ලට් එකෙන්නෙ ඔයා මාව අඳුනා ගත්තෙ. මන් හරිනෙ..‘

    සිතුමිගේ මුවෙන් වචන පිට නොවිනි.

    ‘ඔයා මට කැමැති ද නැද්ද....‘

    ඇය කිසිවක් කීවේ නැත. කුමක් හෝ කීමට ඇය උත්සාහ කළත් ඇගෙන් වචන පිට නොවිනි.

    ‘එහෙනම් අහගන්න.‘

    ඇගේ ඇස් දෙස බලාගෙන ම රනුක් කථා කලේ ය.

    ‘මේ වෙලාවේ ඉඳලා මා එක්ක මගේ ලඟින් ම ඉන්න. ඔව් මගේ ලඟින් ම. චුට්ටක්වත් ඈත් නොවී. මේ මොහොතෙ ඉඳන් ඔයා මගේ ඇස් වෙන්න...මට ඕනා ඔයා මගේ ඇස් වෙනවාට‘
     

    hpalpola

    Well-known member

  • (21)

    මරණය, උපත සමඟම බැඳී ඇත. බුද්ධ දේශනාවේ දී මරණය හා උපතේ අවසානය පිළිබඳව දක්වා තිබේ. කෙසේවෙතත් බහුතරයක් දෙනා ජීවත් වන්නේ මරණය තමුන් කරා නො පැමිණෙන ලෙසිනි. අප කැඳවා ගෙන යාමට දෙව් ලොවෙන් හෝ නිරයෙන් දූතයෙකු පැමිණෙන බව අපට පෙනෙන්නේ නැත. නමුත් මාරයා ගැන අප සියල්ලෝම දනිති. මාරයා සහ ඔහුගේ සේනාව අප සමඟ ම සෙවණැල්ල මෙන් ගමන් කරමින් අවස්ථාව පැමිණෙන තුරු කල්මරමින් සිටී. මරණය... කවදා කෙසේ කුමනාකාරයෙන් අප වෙත ලඟා වේ විද?

    තරුණ යුවළක් ආදර බස් දොඩමින් හැන්දෑයාමයේ මාර්ගයේ ගමන් කරමින් සිටින්නේ ඔවුන්ගේ වාහනය නවත්වා ඇති ස්ථානයට ය. ඔවුන් දෙදෙනා දෙස ඔවුන්ට ද නොදැනී තවත් දෙදෙනකු බලා සිටී. මේ දෙදෙනාව කිසිවකුට නොපෙනුනත් ඔවුන්ට මනුස්සයන් පෙනේ.

    ‘බොස් වෙලාවකට මට පුදුම හිතෙනවා. මේ මිනිස්සුන්ට මරණය ගැන දැනුමක් ඇත්තෙම නැද්ද?‘

    ‘මොකද තමුසෙට එහෙම හිතුනෙ.‘

    ‘නෑ මට වෙලාවකට මේ මිනිස්සුන්ගේ දුර්වල කම ගැන දුක හිතෙනවා.‘

    ‘මොකක්? දුක?‘

    ‘ඔව්. දැන් අර මනුස්සයා කොච්චර ආදරෙන් හිනාවෙලා අර ගෑණු කෙනත් එක්ක ඇවිදගෙන යනවාද ඒ වුනාට ඒ දෙන්නම දන්නෙ නෑ තව ටික වෙලාවකින් එයාගේ කාලෙ ඉවරයි කියලා. කෙනෙක් මැරෙනවා. අනෙක් කෙනා ජීවත් වෙවී ඒ මළ කෙනා ගැන හිතලා මැරෙනවා.‘

    ‘ඈ මනුස්සයො තමුසෙ දැන් ඔය මිනිස්සු ගැන අනුකම්පා කරන්නේ මා එක්ක වැඩ කරන අන්තිම දවස් ටික නිසා ද ආ...‘

    ‘අනේ නැ බොස්. මට වඩා හොඳ ගෝලයෙක් බොස්ට ලැබෙයි.‘

    ‘හොඳට මතක තියා ගන්නවා. මා එක්ක ඉන්නකන් මා එක්ක ඉන්න විදියට ඉන්නවා. අපි මෙහෙට ආවෙ ම අපි කරගත්ත දේවල් නිසා. අපිට ඔය අනුකම්පාව, ආදරේ තිබ්බා නම් අපි මෙහෙට එන්නෙ නෑ. එහෙනම් යන්නෙ උඩට. ඒත් අපි ආවේ යටට. මෙහෙ වැඩ කරද්දි අනුකම්පාව, ආදරේ වැඩක් නෑ... එනවා යන්න.‘

    වාහනයට නැඟුනු යුවළට පසුපස අසුනේ ඔවුන් සමඟ ම අසුන් ගත් අනෙක් දෙදෙනා ගැන අවබෝධයක් නැත. ඔවුන් කියවමින් යයි. පසු පස අසුනේ උන් වැඩිමල් යැයි සිතිය හැකි තැනැත්තා සෘජුවම බලා සිටින්නේ වාහනය පදවාගෙන යන පිරිමියා දෙසය.

    ‘අන්න ඔයාගේ ඩාලින්ගේ ෂොප් එක.‘

    ‘හික් හික්... විකාර කියන්නෙපා අනේ. ඒක දැන් ඉවර වෙලා හුඟක් කල්.‘

    ‘මේ ඒකට කමක් නෑ. අපිට රෑට කන්න මොනව හරි ගන්න ඕනා. ඔයා අරන් එනවාද? මන් මෙතන ඉන්නම්..‘

    වාහනය නතර කළ පසු තරුණයා පාරේ අනෙක් පස වූ ආහාර වෙළඳ සැලකට දුව ගියේ ය. නොපෙනෙන දෙදෙනා ද ඔහු සමඟ ගමන් කරයි.

    ‘මන් ඇතුළට ගිහිල්ලා මේකව අරන් එන්නම්. තමුසෙ ඔහොම ම ඉන්නවා. දැනුත් පරක්කුයි.‘

    මැදිවියේ තැනැත්තා ද වෙළඳ සැලට ඇතුල් වූ අතර ඒ වන විටත් තරුණයා ආහාර සඳහා මුදල් ගෙවමින් සිටී. ඔහු තරුණයා අසලට ගොස් පිටිපසින් සිට ගත්තේ ය. මුදල් ගෙවා යන්නට සූදානම් වූ තරුණයාව එක්වරම නවත්වා ගත් කවුන්ටරයේ සිටි තරුණිය ඔහුගෙන් ඉල්ලා සිටියේ මදක් රැඳී සිටින ලෙසිනි. නමුත් තරුණයා ඇයට බැණ වැදීමට පටන් ගත්තේ ය. තවත් බලා සිටිය නොහැක. ඔහු තරුණයාගේ උරහිසින් අල්ලා ගත්තේ ඔහුව එතැනින් ඉවත් කර ගැනීමටයි. නමුත් ඒ අවස්ථාවේ දී ඔහු ද පුදුමයට පත් වූ දෙයක් සිදු විණි. එනම් අර තරුණිය ඔහු තරුණයාගේ උරහිස ඇල්ලූ තැනින්ම අත තැබීමයි. එය ඔහුට ද දැණිනි.

    ‘මොකක් මෙයාට මාව පේනවා ද?‘

    කෙසේවෙතත් තරුණයා ඇගේ බසට කන් නොදී වෙළඳ සැලෙන් එළියට ගිය අතර මාර්ගයේ ගමන් කළ ලොරි රථයක ගැටී ඔහු මරණයට පත්විය.

    ******

    ‘ඔව් මගේ ඇස් වෙන්න...‘

    ‘බම්බුවෙ ඇස්. උදේ අපි හම්බවුනා. ඒ හම්බවෙලා ටික වෙලාවකින් ඔහේ මාව කෙල බෙට්ටක් වගේ පැත්තකට දාලා අතුරුදන් වුනා. දැන් කියනවා ඇස් වෙන්නලු...‘

    ‘කෙල බෙට්ටක්... මොකක්....‘

    ඔහු උදෑසන සිදු වූ දෑ මතක් කලේය. සිසුවා වහලයෙන් බිමට තල්ලු කර බිමට වැටෙද්දී ඒ අසලට ගමන් කරමින් සිටියේ ඇයයි. හිතාගැනීමටත් නොහැකි වූ සිදු වීමෙන් බියට පත් ඇය එක්වරම පසුපසට විසි වී බිම වැටුණු නමුත් සිසුවා ඉහළ සිට පහළට වැටුණු නිසා ඉහළ බැලුවාය. ඇය බලනවා ඔහු බලා සිටි නිසා ඇගේ දෑසට නොපෙනී පසෙකට වීමට හැකියාව ලැබිණි. ඇයට පෙනුනේ ඡායාවක් පමණි. ඇයට ඔවුන් ව පෙනීමේ වාසිය තමුන්ගේ පැත්තට හරවා ගැනීමට ඔහු තීරණය කළේ ඒ අවස්ථාවේ දී ම ය. ඇගේ සහාය ලැබුනහොත් පලායන්නා ඉක්මණින් ම කොටු කරවා ගත හැක. පෙර දිනක ඔහුට ඇයව පාතාලයට කැඳවා ගෙන ඒමට නියෝගය ලැබිණි. නමුත් එය ඉටු වූයේ නැත. එදා එය ඉටු නොවීම ගැන අද ඔහු සතුටට පත්වූවේ ය.

    ‘මොකක් ද එයා දිනුක් කිය කියා කෑ ගැහුව්වෙ... මට කියන්නෙ රනුක් කියලනේ.. අනේ මන්දා ඕවා වැඩක් නෑ. කොහොමත් එයා දැන් හිතන්නෙ එයා කැමැති මට කියලනේ. ඒකෙ වාසිය අරගමු එහෙනම්....‘

    ඔහු තමාට ම කියා ගත්තේ ය.

    ‘ආ ඒකද... එහෙම දෙයක් නෙමෙයි අප්පා. මට හදිසියේ එළියට යන්න වුනා. දන්නවනේ මේ පොලිස් වැඩ. අනික එහෙම වැඩක් නැත්නම් මෙහෙම මහ රෑ ආයිත් එනවැයි ඔයාව හොයා ගෙන මොනවද කියන්නේ..‘

    ‘හරි මටත් අවුල් ඒක තමයි. මොකද ඔහේ එහෙම ආවේ. ඒ වෙලාවේ මට බැනලා පැන්නුවේ ඇයි‘

    ‘අයියෝ.... ඒ ඔයාගෙම හොඳට. ඔයාමනේ මට කිව්වෙ හෙවණැල්ල තියෙන කෙනා ඉක්මනට ම මැරෙයි කියලා. ඔයා අර දැක්ක ළමයා ඊට ටික වෙලාවකට පස්සෙ වහලෙන් පැනලා මැරිලා.‘

    ‘මන් දන්නවා...‘

    ‘ඒක නෙමෙයි ඔයාට හිතෙන්නෙ නැද්ද අපි ඒ වගේ මහ අවාසනාවන්ත දේවල් වෙන එක නවත්තන්න මොනවා හරි කළොත් හොඳයි කියලා... මන් පොලිසියෙනෙ. මට හිතෙනවා එහෙම. ඔයා මගේ ළඟින් ම ඉඳියොත් අපිට පුළුවන් එකතු වෙලා ඒ වැඩේ කරන්න. ඔයා ආපහු සැරයක් ඒ වගේ කෙනෙක්ගෙ ඇතුලෙ හෙවණැල්ලක් තියෙනවා දැක්කොත් මට කියන්න. තේරෙනවනේ ඔයාට.. මට කියන්න‘

    සිතුමි මේ සියල්ල අසා සිටියේ දැඩි ආවේගයෙනි. මෙයට පෙර ද මෙවැනි ම කථාවක් කියා මොහු ඇයව අමාරුවේ දැම්මා නොවේ ද?

    ‘අපතයා. උඹට හිතෙන්නෙ මන් පිස්සියෙක් කියලද?

    ‘මොකක්...‘

    ‘පහුගිය කාලේ මාව අඳුනන්නෙවත් නැතුව වගේ ඉඳලා අද උදෙත් මාව කෑ ගහලා පන්නලා දැන් ඇවිත් කිව්වම ලඟින් ඉන්න කියලා ඒක අහන්න තරම් මට පිස්සු කියලද හිතන්නෙ..‘

    ඇගේ හැසිරීම ඔහුව බියට පත් කළේ ය.

    ‘මොකක්ද මේ වෙලා තියෙන්නෙ ඔයාට.. මන් ඔච්චර කේන්ති ගන්න දෙයක් කිව්වෙ නෑ නේ.‘

    ‘මේ අහනවා. තමුසෙ හොඳටම දන්නවා මම තමයි ඉස්කෝලෙ අර කබල් කණ්නාඩි දෙකත් දාගෙන තමුසෙ පස්සෙ වැටිලා උන්න ළමයා කියලා. ඒ වුනාට තමුසෙ හැසිරුනේ තමුසෙ මාව දන්නෙවත් නැති විදියට.‘

    ඇය එකම දේ කියමින් කෑ ගසන්නට වූ අතර එයින් ඔහු ද කෝපයට පත් විය.

    ‘මට මතක නෑ මොනවත්... ඔළුවට වෙඩිල්ල වැදුනට පස්සෙ මට මුකුත් මතක නෑ... ඇත්තටම මට තමුසෙ මේ කියන්නෙ මොනවද කියලවත් හිතා ගන්න බෑ. ....... මේ අහන්න කලින් වෙච්චි දේවල් තවත් මතකෙ තියා ගන්න දෙයක් නෑ අමතක කරලා දාන්න. අපිට පුළුවන් මෙතැන ඉඳන් ඉස්සරහට යන්න.‘

    ‘ඇත්තටම මතක නැද්ද....‘

    ‘නෑ මනුස්සයො නෑ... මටත් ඒක ලොකු අවුලක්... අඩුම තරමේ මට මගේ නමවත් මතක නෑ. ටිකක් තේරුම් ගන්න උත්සාහ කරන්න.. තේරුම් අරන් මා ලඟින් මා එක්ක ඉන්න.‘

    ‘මට බෑ. මට බෑ.. මට කරදර නොකර යනවා..‘

    සිතුමි ආපසු යෑමට හැරුණාය. ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේ ය.

    ‘ඇයි බැරි. මොකක්ද හේතුව බැරි වෙන්න.‘

    ‘ඒ සේරම මගේ වැරදි. මම නිසයි වෙඩිල්ල වුනත් වැදුනෙ. ඒ වෙලාවේ කාලකණ්නි මිනිස්සු බේරන්න ඕනා කියලා මට නො හිතුනා නම් ඔයාට ඒක වෙන්නෙ නෑ. මන් හරියට බය වුනා ඔයා මැරෙයි කියලා. දෙවියන්ගේ පිහිටෙන් ඔයා නොමැරි බේරුනා. ඒත් ඒත් ආපහු පාරක් ලැබෙන එකක් නෑ. ඒ නිසා මට බෑ.‘

    ‘නෑ නෑ... එහෙම හිතන්න එපා... මන් මැරුනෙ නෑ නේ... මට දැන් හොඳයි. අනික වෙන්න තිබුන දෙයක් වෙන්නැති ඒක...‘

    ‘නෑ මන් එදාම හිතා ගත්තා ආපහු මන් කිසිකෙනෙක්ගේ ජීවිතේ බේරන්න උත්සාහ කරන්නෙ නැ කියලා.‘

    ඇය ආපසු යන්නට හැරුණාය. එවිට කෝපය හේතුවෙන් රනුක්ගේ සිරුරේ සැඟ වී සිටි මාර දූතයාගේ නියම ස්වරූපය මදකට රනුක්ගෙන් පිටවිනි. ඔහු ඇගේ අත අල්ලා ගත්තේ දඬු අඬුවකට අසු කරගන්නාක් වෙනි.

    ‘බම්බුවෙ කට වහගෙන, මන් කියන විදියට කරපන්.‘

    ‘මට බෑ. බෑ කිව්වොත්බෑ...‘

    ඇය ඔහුගෙන් අත ගලවා ගැනීමට උත්සාහ කළා ය.

    ‘උඹ වගේ ජරා මනුස්සයෙක් මට අකීකරු වෙන්නෙ කොහොම ද බොල... මන් මෙච්චර කියනවා මට උඹේ ඇස් ඕනා කියලා. උඹ බෑන් ගා ගත්ත ගමන්. කට වහගෙන මන් කිව්ව විදියට මිනිස්සුන්ගෙ ඇඟේ හැංගිලා ඉන්න හෙවණැලි හොයපන්....‘

    ‘තමුසෙ තමුසෙ බිරෙක් ද මිනිහො.. මන් දැන් කි සැරයක් කිව්වද...‘

    ඇය බිරුසන් දුන්නේ ඔහුගේ හඬ පරදවමිනි. නමුත් එවර ඔහු ඇයව අල්ලා ගත්තේ බෙල්ලෙන් මය.

    ‘උඹ එහෙනම් මන් කියන දේ අහන්නෙ නෑ. ....‘

    රනුක්ගේ ඇස්වලින් පිටවෙන කෝපය සිතුමි දුටුවා ය. එවැන්නක් ඇය කිසිවකුගෙන් කිසිදින දැක නැත.

    ‘උඹ මන් කියන දේ අහන්නෙ නැත්තනම් මේ දැන්ම උඹේ ඇස් උගුල්ලලා දානව.. මාරයා පල්ලා... මන් ඒක කරනවා. උඹ හිතන්නෙ මට බෑ කියලද ආ මට බෑ කියලද?‘

    ඇය ඔහුත් සමඟ ම පසුපසට ඇදී යයි.

    ‘මට හරි ලේසියෙන් මිනිස්සුන්ගේ ඇස් උගුල්ලන්න පුළුවන්.‘

    ඔහුට කීමට හැකි වූයේ එපමණකි. සිතුමිගේ වේගවත් පා පහරක් ඔහුගේ යටි බඩ පෙදෙසට වැදුනේ එවෙලේ දී ම ය.

    ‘අම්මෝ......‘

    මෙතෙක් කලකට නොවිඳි වේදනාවක් ඇති කිරීමට එම පහර සමත් වූයේ ඔහු හෝ නොසිතූ ලෙසිනි. සිතුමි හිටගෙන සිටියා ය.

    ‘තමුසෙ හිතාගෙන ඉන්නෙ ඕවයින් මන් බය වෙයි කියලද? ඔයිට වඩා මාර දූතයේ මාව බය කරන්න ඇවිත් තියෙනවා. මන් බය වුනේ නෑ ඕයි උන් බය වුනා මිසක්. ආවා මෙතන ගෑණුන්ට වැඩ පෙන්නන්න. මකබෑවිලා පලයන් ඩෝ....‘

    ඔහුගේ මූණටම කියූ සිතුමි පිටත්ව ගියා ය.

    ‘මගේ අම්මො....‘

    රනුක් බිම වැටී හිස බිම තද කරගෙන යටි බඩ අල්ලා ගෙන කෙඳිරි ගාන්නට වූවේ ය. නිවසට ගොස් දොර වසා ගන්නා සිතුමිට ඔහුගේ වේදනාත්මක කෑ ගැහිල්ල ඇසිනි.

    ‘මට හිතා ගන්න බෑ එයාගේ සිහිය නැති වුනා කිව්වම... ඒත් ... අනේ දෙයියනේ මන් නිසා ඒක වුනේ..‘

    ඇය ඇයටම තවදුරටත් වරද පටවා ගත්තා ය.
    ------ Post added on Jun 25, 2021 at 11:53 AM
     
    Last edited:

    hpalpola

    Well-known member
  • ‘මිස්ටර් තාරක ද කථා කරන්නෙ?‘

    ‘ඔව්.‘

    ‘ඔයාගේ තාත්තාට ඔයාට කථා කරන්න ඕනලු. ටිකක් ඇවිත් යන්න පුළුවන් නම් හොඳයි.‘

    ‘තාත්තාට සිහිය ඇවිත් ද?‘

    ‘ඔව් මිස්ටර් තාරක.‘

    ‘හරි මම එන්නම්.‘

    තාරක වහාම සූර්ය කුරේරා බැලීමට පිටව ගියේ ය. ගෙවීම් වාට්ටුවකට චන්ද්‍ර විසින් සූර්ය කුරේරා ඇතුළත් කර තිබිණි. ධනවතුන් ප්‍රතිකාර ගන්නෙ එලෙසිනි. අම්මා නොමැතිව වුවත් චන්ද්‍රවත් තාරකවත් සූර්ය කුරේරා විසින් ලොකු මහත් කිරීම ගැන තාරකගේ හිතේ සූර්ය ගැන ගෞරවයක් තිබුනේ ය. ඔහු පියා අසලින් වාඩි වී අසරණව සිටින පියා දෙස බලා සිටී. තමන් දෙස බලා සිටිනා පොඩි පුතාගේ මුහුණ දුටු විට පියාගේ ඇහෙන් කඳුළු වැටිනි.

    ‘තාත්තා බය වෙන්න එපා. මම තාත්තගෙ නම ඉස්සරහට අරන් යනවා. කව්රු මොනවා කිව්වත්. ඔව්. කව්රු මොනවා කිව්වත් ඒකෙ වෙනසක් නෑ.‘

    ඔහු මෙසේ සිටිනා විට එක්වරම කාමරයට ඇතුල් වූයේ චන්ද්‍රයි. රෞද්‍ර මුහුණෙන් යුතු ඔහු කාමරයට ඇතුල් වී ඉනට අත ගසාගෙන පිය පුතු දෙපල දෙස බලා සිටියේ ය.

    ‘තමුසෙ මොකද මෙතන කරන්නේ?‘

    ‘මම තාත්තා බලන්න ආවේ.‘

    ‘කව්ද එන්න කිව්වේ.‘

    ‘මේ මිස්...‘

    ‘මන් තාත්තා බලා ගන්නම්. තමුසෙ යනවා.‘

    ‘අයියෙ මම ටිකක් වෙලා මෙතැන ඉන්නම්...‘

    ‘මාව යකා නොකර පලයන් හොඳ හිතින්...‘

    තාරක පියාගේ අත අතහැර කාමරෙයන් පිටව ගියේ රෝහල් සේවිකාවටද ස්තුති කරමිනි. ඔහුගේ ඇහේ කඳුලක් විය. සූර්ය බලා සිටියේ කාමරෙයන් පිට වී යන අසරණ පොඩි පුතා දෙසයි. ඔහුගේ ඇහෙන් කඳුළු වැටිනි.

    ‘කව්ද එයාට මෙතැනට එන්න කිව්වේ‘

    ‘මම කිව්වෙ සර්. මේ සර් තමයි කිව්වේ කථා කරන්න ඕනා කියලා.‘

    ‘මේ අහන්න මිස්. පණ්ඩිත වැඩ කරන්න යන්න එපා හරිද. මේ මගේ තාත්තා. මමයි ඔයාලට පඩි ගෙවන්නෙ. අනවශ්‍ය වැඩ කරලා ඒවා සේරම නැති කරගන්න එපා. ආයිත් ඔය වගේ වැඩ කරලා මට අහුවෙන්න එපා. තේරුනානේ.‘

    ‘සමාවෙන්න සර්..‘

    ‘දැන් යනවා යන්න.‘

    රෝහල් සේවිකාව, කිසිඳු කථාවක් නොකර කාමරයෙන් පිටව ගියේ මේ රෝහල් සමූහයේ අධ්‍යක්ෂකවරයකු වන්නේ ද චන්ද්‍ර කුරේරා බව දන්නා නිසාවෙනි. ඔහු ඉක්මන් කේන්ති කාරයෙකි. ඔහු ගැන දන්නෝ දනිති. සේවිකාව පිටව ගිය පසු චන්ද්‍ර, පියා ලඟට පැමිණියේ ය. කඳුළු පිරි ඇස් සහිතව සූර්ය ඔහු දෙස බලා සිටියේ ඔහුගේ ඊළඟ පියවර කුමක්දැයි නොදන්නා නිසාවෙනි.

    ‘මේ අහපන් නාකියා. උඹ කරපු පව්වලට දැන් කර ගහලා තියෙන්නෙ මම. උඹලගෙ ඇඟේ කෑලි වැඩි වෙලා කරපුවා තමයි මට හරි ගස්සන්න වෙලා තියෙන්නෙ. යකෝ එච්චර දේවල් කරන මට පාඩුවේ ඉන්න දීපන්. අර පුංචි එකා මේවා කිසි දෙයක් දන්නෙ නැහැ. ඒක උඹත් දන්නවා මමත් දන්නවා. මම උනත් ඌට යකා වගේ ඉන්නෙ ඌව උඹේ කරුමවලට සම්බන්ධ කරන්න අකමැති නිසා. මට .... මට පුදුම උඹ මෙච්චර දේවල් කරලත්, වෙලත් මැරිලා යන්නැතුව විඳෝ විඳෝ ඉන්න එක ගැන.... ඇත්තමයි මට උඹව මරන්න පුළුවන් නම් මෙලහට මරලා. මට ඒක කරගන්න බැහැ...‘

    සහෝදරයාගේ කෘර හැසිරීම තාරකට තේරුම් ගැනීමට නොහැක. හැමවිටම ඔහු හැසිරෙන්නෙ තමුන් ඔහුගේ යටත් වැසියකු නැත්නම් සේවකයකු ලෙසින් සලකා මෙනි. එකම පියාගේ දරුවන් වීත් ඔහුගේ මේ හැසිරීම තාරකට හිතා ගත නොහැක. රෝහලෙන් එළියට පැමිණි තාරක වාහන නවතා තිබූ පෙදෙසට ඇවිද ගියේ ය.

    ‘හ්ම්.. කමක් නෑ අයියේ. මොනවා වුනත් මන් උඹට තාත්තගෙන් මට ලැබුන දේ විකුණන්න දෙන්නෙ නෑ. බලනවා. බලාගෙන ඉන්නවා මන් ඒක ලාභ උපද්දවන තැනක් කරනවා. අනිවාර්යෙන්ම. ඔව්...‘

    ඔහු තමාට ම කියා ගත්තේ ය. එක් වරම යමක් සිහි වී තාරක හිටිවනම නැවතිනි.

    ‘ටිකක් ඉන්න. අර කෙල්ල මොන මගුලක් කරගත්තද දන්නෙ නෑ. කථා කලෙත් නෑ නේ. චා චා... බලමු කෝල් එකක් අරන්. ඒකත් මහ පිස්සු කේස් එකක් නේ.‘

    තාරක, සිතුමිට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ ය.

    ‘රින් වෙනවා. මොකක්ද බොලේ ඒ. මේ ලඟින්නෙ ශද්දෙ ඇහෙන්නෙ.‘

    ඔහු ඇමතුම විසන්ධි කලේ ය. නැවතත් ලබා ගත්තේ ය. දුරකථන ඇමතුමට අනුව නාද වෙන ශබ්දය ඔහු ආසන්නයෙන් ඇසේ. ඒ සමඟ කාගේ හෝ පුරුදු කටහඬක් ද ඇසේ. තාරක ඇමතුම විසන්ධි කර හඬ ඇසෙන දෙසට ඇවිද ගියේ ය. වාහන නැවතුමට පසෙකින් දරුවන්ට සෙල්ලම් කිරීමට සහ මිනිසුන්ට වාඩි වී සිටීම සඳහා රෝහල් පරිශ්‍රයේ ඉඩක් වෙන් කර තිබේ. හඬ ආවේ එම කොටසෙනි.

    ‘අප්පට සිරි.. මෙයා මොකද මෙතැන...‘

    ***********

    ‘ඇත්තටම එයාට කිසි දෙයක් මතක නැද්ද දන්නේ නෑ. ඉතින් වෙලාවකට මතකයිනේ.... මේක හරියටම දැනගන්න ඕනා. මොකද කරන්නේ... කොහොමද දැන ගන්නේ... හරි. එක තැනයි තියෙන්නේ. යමු හොස්පිටල් එකට.‘

    රනුක් සමඟ වූ සිදුවීම සිතුමිගේ හිත අසහනයට පත් කරමින් තිබිණි. ඇය මෙනිසා රනුක්ට ප්‍රතිකාර කළ රෝහලට රාත්‍රියේම පැමිණියා ය. පිළිගැනීම් කවුන්ටරයට යන ඇයට දුරදීම දීපිකා හඳුනාගැනීමට හැකියාව ලැබිණි. දීපිකා සේවා මුරය අවසන්ව පිටත්ව යාමට සූදානමින් ඇඟිලි සලකුණු යොදමින් සිටින අවස්ථාවේ ය ඇය පැමිණියේ. සිතුමි ඇය සිටිනා තැනට ඉක්මණින් ඇවිද ගියා ය.

    ‘ඩොක්ටර්... ඩොක්ටර්..‘

    ‘ආ... මේ මෙයානෙ. මොකෝ මේ අවේලාවේ.‘

    ‘ඩොක්ටර් කථා කරන්න පුළුවන් ද?‘

    ‘මන් යන්නයි හැදුවේ. ඒත් කියන්නකො. මොකක් ද වෙන්න ඕනා.‘

    ‘නෑ මට පොඩි දෙයක් දැන ගන්නයි ඕනා.‘

    ‘මොකක් ද‘

    ‘මේකයි. මිස් දන්නවානේ රනුක්ව.‘

    ‘ඔව්.‘

    ‘රනුක්ට වෙඩි වැදුනෙ මන් නිසා. එයා කියනවා එයාට වෙඩි වැදුනට පස්සෙ කලින් දේවල් මතක නෑ කියලා. කිසිම දෙයක් මතක නෑ ලූ. ඒක ඇත්තද මිස්.‘

    ‘මෙහෙමයි. එයාගේ ඔළුවටනෙ වෙඩි වැදිලා තිබුනේ. ඒක ගැන ලොකු ඩොක්ටර්ස්ලා කථා වෙද්දි කිව්වේ එයාගේ මතකය ටිකෙන් ටික ආපහු ඒවි කියලා. ඔව්. දැනට නම් එයාට පරණ දේවල් මතක නෑ. ඒ නිසා ටිකක් විකාරයි වගේ තමයි එයා එක්ක කථා බහ කරද්දි.‘

    ‘ඒ කියන්නේ මතක නෑ කියලා එයා කියන්නේ ඇත්ත නේද?‘

    ‘ඔව්. ඒක ඇත්ත.‘

    රෝහලෙන් පිටට පැමිණි සිතුමි සිටියේ පරාජිත මානසිකත්වයෙනි. ඇයට මහත් වූ වරදකාරී බවක් දැනෙයි. මේ සියල්ලට ම හේතුව තමුන් ය. දිනුක්, රනුක්... සුපර් මාර්කට් එකට ගිය ඇය මත්පැන් බෝතල් එකක් නොව දෙක තුනක් ම මිලට ගත්තා ය. එහි සිට ඒවා පානය කළ නොහැකි නිසා ඇය ආපසු පැමිණියේ ඒ වෙද්දී නිදහස් තැනක් වූ රෝහල් පරිශ්‍රය වෙතටමය. එහි තිබූ ළමා උද්‍යානයට පැමිණි ඇය මත්පැන් පානය කිරීමට පටන් ගත්තා ය. වෙරි මතින් ඇයව අමුතු ම ලෝකයකට රැගෙන යමින් තිබිණි. මත නිසා ඇයට ඇගේ හැසිරීම් ගැන දැනුමක් නොතිබිණි. වරෙක ඇය නටයි. සින්දු කියයි. දුවයි. කැරකෙයි. අවසානයේ ඇය කුණු භාජනයක් අල්ලා ගෙන තමුන්ගේ දුක කියන්නට වූවා ය. මේ අතරේ බංකුවක් උඩ තිබූ දුරකථනය නාද වෙනවා ඇයට නෑසුනේ ඒ සඳහා අවධානයක් නොතිබූ නිසාවෙනි.

    ඇගේ නර්තනය ඇයත් නොදැනීම එපිටින් සිටියකු විසින් වීඩියෝ කරමින් සිටී. ඔහුට ඇය කියනා දේ ද ඇසෙයි.

    සිතුමිගේ හැසිරීම තාරක විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් සිටියේ හිනා මුවෙනි.

    ‘පව් කෙල්ල. එයා හිතන්නේ අර පොලිස් කාරයට වෙඩි වැදුනෙ එයා නිසා කියලා. තනියමනෙ ඉන්නෙ.. මමත් මරු ඩයල් එකට තමයි ක්ලයන්ට්ලා ගැන හොයන්න දුන්නේ.‘

    අවසානයේ සිතුමි ඩස්පිනය ද පෙරලාගෙන බිමට වැටිණි. තාරක වහාම එදෙසට දුව ගියේ ය. ඔහු ඇයව අමාරුවෙන් උස්සාගෙන ගොස් වාහනයට දමාගෙන ඇගේ බෝඩින් කාමරයට රැගෙන පැමිණියේ ය. දැන් එය ඔහු දන්නා තැනකි. ඔහුගේ කර මතින් ඇය කාමරයට යද්දී අශ්වයා ගෝන් ටික් ටික් කියමින් සින්දු කියන්නේ කොණ්ඩයෙන් අදිමිනි. එය තාරකට වේදනාකාරී විය. අනෙක ඇගේ බර.. ඔහු මෙවැනි දෙයක් මින් පෙර කර නැත. ඇඳ උඩින් ඇයව තැබූ ඔහු අත් බෑගය ද පසෙකින් තැබුවේ ය. ටික වේලාවක් සිතුමි දෙස බලා සිටි තාරක පිටත් වන්නට වූවේ ය.

    ‘මාර කෙල්ලෙක් තමයි. මට හිතාගන්න බැරි මේකි දෙන්නෙක්ට ආදරේ කරනවද කියලා. දිනුක් කියලා කෑ ගහනවා. රනුක් කියලා කෑ ගහනවා. අනේ මන්දා. මන් දන්නෙ නෑ ඕවා..මොකා වුනත් මෙයාට අහුවෙන එකා නම් පව්. උටත් පිස්සු හැදේවි මේ පිස්සි එක්ක ඉඳලා.‘
     

    hpalpola

    Well-known member
  • @hpalpola gedara inna eke liyala iwarayak karapanko. mula tika mathaka naa dan. umbatath poddak wade patalila neda inne ?
    වෙලාවක් නැති එක තමයි ප්‍රධානම දේ. ලොක්ඩවුන් කියලා නෑ. අපි හැමදාම වැඩ. පුළුවන් විදියට ආයිත් දාන්නම්.
     
    • Like
    Reactions: aneasarayana

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    වෙලාවක් නැති එක තමයි ප්‍රධානම දේ. ලොක්ඩවුන් කියලා නෑ. අපි හැමදාම වැඩ. පුළුවන් විදියට ආයිත් දාන්නම්.
    film eke nama dapanko