පොළව යටින්

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    attachment.php


    ලංකාවට පැමිණි ඉංග්‍රීසි ජාතික සිවිල් ඉංජිනේරුවෙක්, මිතුරෙක්ගේ නිවසකදී කියු කතාවකි. ලෝකයේ නොයෙක් කොන් වල රාජකාරි කල බොහෝ දෙනෙක්ගේ එකතුවක් වූ එහි පැමිණියවුන් කතා කලේ, ‘තර්කයෙන් ඔප්පු කර පෙන්විය නොහැකි දේවල් ලෝකයේ තිබේද’ යන්න ගැනය. ඉංග්‍රීසි ජාතිකයා විසින් සැම්බියාවේ අත් දකින ලද දේ, උත්තම පුරුෂයෙන් හෙවත්, ඔහු කියූ අයුරෙන් පහත සේ ලියන්නට උත්සාහ කරමි.
    +++
    රාස්සිගේ අව්වට සිරුර දහදියෙන් තෙත්ව ගොසිණි. මෙතෙක් මිදුලේ වැවී ඇති මල් ගස් වේලෙනවා බලමින් සිටි මා, ඈත අහසේ මෝදුවන කළු වළාකුළු දැක සැනසුම් සුසුමක් හෙලමින් හැඳ සිටි කමිසය ගලවා දැම්මෙමි. නියඟය අවසන් වීමේ ලකුණු පෙනේ. හමන සුළගේ සිසිලක් දැනේ.
    මේ අක්කර දහසකට වඩා විශාල දැවැන්ත ඉඩමේ හෝටලය ඉදි කිරීමේ කොන්තරාත්තුව ඉවර වන්නට තව ඇත්තේ සෑහෙන කලක් ඇත. එහි දිනපතා කෙරෙන වැඩකටයුතු මට භාරවී ඇත්තේ, මා එකළ සේවය කල සමාගමේ නියෝගය පරිදි විය. නිවස අසළ ඇති තාවකාලික මඩුවක හෙවත්, ‘පෝටාකැබින්’ එකක මා නවාතැන් ගෙන සිටියෙමි.
    පසු දින නැවත සැම්බියාවේ සිට එංගලන්තයට පැමිණීමේ අදහස සිතට සතුටක් ගෙන දෙන්නක් විය.
    වඩාත්ම සතුටක් ගෙන දුන්නේ, මේ කරදරකාරී හෝටලය ගොඩනැගීම සඳහා ඇතිවූ බාධක වලින් හෙට සිට මා නිදහස් වන හෙයිණි. බලාපොරොත්තු වූ කිසි දෙයක් කලට වේලාවට කිරීමට හැකි නොවීම නිසා කළමනාකරණ මණ්ඩලයේ පීඩනය කෙලින්ම මා ඇතුළු හෝටලය ඉදි කිරීමේ කාර්ය මණ්ඩලයට එල්ල වී තිබිණ. සති දෙකකට පමණ පෙර කන්ද උඩ සිට පෙරළී ආ ගලකට යටව, මෙහි සේවය කරන්නවුන් ගෙන් දෙදෙනෙක් මිය යෑම නිසා සිතට කාලකන්ණි බවක් දැනිණි.
    අහස දෙස බලා සිටීම හිතේ කරදර අඩු කරන්නකි. වැහි ළිහිණියන් අහසේ පියාසර කිරීම බලා සිටින්නට ලස්සණ දසුනකි. ඈත අහසේ පියාසර කරන ළිහිණියන් රෑනට කුරුල්ලන් කී දෙනෙක් සිටී දැයි ගණන් කරන්නට උත්සාහ කලෙමි. එය නව දෙනෙක් හෝ දහ දෙනෙක් වන්නට ඇත. හරියටම කුරුල්ලන් දෙස බලන්නට, මළ හිරු බසිමින් වළාකුල් කහ රතු පැහැයෙන් ඔපවත් වන අහස දෙස බැලීමේ පහසුවට, ගල් තලාව අසළ ඇති ගල් බංකුව මත ඇල වුනෙමි.
    නවයක් වන්නට ඇතැයි සිතා කුරුල්ලන් ගණන් කිරීම අත හැර දැමූ විට, කෙනෙක් අසළ යම් දෙයකට තට්ටු කරනවාක් මෙන් හඬක් ඇසින. මෙවැනි හඬක් මින් දින කීපයකට පෙර අරුණෝදය ඇති වන්නට පෙර පෙනෙන බොරු අරුණෝද එළිය ඇති විටෙකද ඇසුණා මතකය. මේ හඬ කොහෙන් එන්නේද?
    සිහින් වැසි පොදයක් පතිත වෙමින් වැහි ළිහිණියන්ගේ වර්ෂාවේ පණිවිඩය සත්‍ය බව කියන්නේය. හිරු ගෙන් කාලයක් බැට කෑ පොළවෙන් අලුත් මුට්ටියක ඇතිවාක් මෙන් නැවුම් සුවඳක් මතු වේ. තවත් වැහි ළිහිණියන් රෑනක් ඈත අහසේ පියාසර කරයි. ඒ වතාවේ නම් වැහි ළිහිණියන් දහ දෙනෙකුට වඩා වැඩියෙන් අහසේ පෙනේ. වැස්සට තෙමෙමින්ම නැවත ගල් බංකුවේ ඇල වුනේ, කලකට පසු වැටෙන හීනී වැහි පොද දහදිය වැකුණු ගතට සුවයක් දෙන හෙයිණි. නැවතත් වැහි ලිහිණියන් ගණන් කිරීමට පටන් ගතිමි.
    අහසේ රවුමට පියාසර කරන ළිහිණියන් කීප වතාවක් ගණන් කළද ඔවුන් පහළොස් දෙනෙක්ද දාහත් දෙනෙක්ද යන්න තේරුම් ගැනීමට නොහැකි විය. තට්ටු කරන ශබ්දය ඇසේ. ශබ්දය එන්නේ කොතනින්ද යන්න නොවිමසා කී වතාවක් තට්ටු කරන්නේද යයි ගණන් කලෙමි. එය දාසය වතාවක් විය. මෙය කාගේ හෝ විහිළුවක්ද?
    දාසය වතාවක් අත්පොඩි ගසනවා වැනි ශබ්දය ඇසෙන්නට හේතුව, එය යමෙක් ළිහිණියන් ප්‍රමාණය කියන්නට හැදූ උත්සාහයක්ද?
    එය එසේ නම් මා ළිහිණියන් ගණන් කිරීමට උත්සාහ කල බව, එම ශබ්දය නගන්නා දැන ගත්තේ කෙසේද?
    වර්ෂාව කෙමෙන් වැඩි වේ. එසේ හෙයින් ගල් බංකුවෙන් ඉවත් ව අසල ඇති මඩුවට පිය නැගුවෙමි. භාගයක් නිම කර ඇති අසළ අඳුරේ පෙනෙන අවතාරයක් මෙන් වූ ගොඩනැගිල්ලට අවශ්‍ය දේවල් ගබඩා කලේ මේ මඩුවේ විය. අසළින් ගලා යන දොළකින් එන වතුර පහරක් හරස් කර ලැබුණු ජළය කැබින් එකේ කොණක ඇති කරාමයට එයි. ඉන් නාගත් පසු, මා කැබින් ඇඳේ හිඳ ගතිමි.
    වත්තේ ඇති ආම්පන්න මුර කරන්නට රාත්‍රී කාලයේ එහි පැමිණෙන ටෝනි තවමත් පැමිණ නැත. ඔහු සැම්බියානු ජාතිකයෙකි. ඔහු වත්ත මුරකරනවාට අමතරව ජෙනරේටරය පණ ගැන්වීම ඇතුළු තව තව දේ කරයි. වටින් ගොඩින් අඳුර පැතිරේ. මෙතෙක් ටෝනි පැමිණ නැති නිසා බැටරි ලාම්පුව දැල්වූයෙමි. ඇසුන ශබ්දය කුමක්දැයි සිතමින් හුදකලාවේ සිටින මා තනිවම නොසිටින බවක් හැඟිනි.
    දැන් නම් වර්ෂාවේ උපරිමය පැමිණ ඇත. ගොරවන්නත් විදුළි කොටන්නටත් ආරම්භ විය. පිළේ සිට බලන විට, ඈත ක්ෂිතිජයේ පෙනෙන කඳු වැටි තව දුරටත් නොපෙනේ. කළු පැහැ වළාකුළු මෝදු වෙනවා හැර වෙන යමක් පෙනෙන්නේ නැත. හදිසියේම ඇස් අන්ධ කරවන ආලෝකයක් ඇති කරමින් හෙණයක් පුපුරා ගියේය. අඩ අඳුරේ අහසේ ළිහිණියන් තිදෙනෙක් වේගයෙන් ඇදී ගියේය. එකෙනෙහිම බැලුම් පිපිරෙනවාක් මෙන් ශබ්ද තුනක් ඇසිණි.
    මිනිසුන්ගේ විය හැකි දුබළ සේ පෙනුණු සෙවණැලි කිහිපයක් සහ සොහොන් කණු තුනක් නිම්නයේ පෙනී ගියේද, එසේ නැත්නම් අකුණේ ආලෝකය නිසා ඇස එසේ දැක්කේද යන්න පැහැදිළි නැත. මේ ශබ්ද ඇසෙන්නේ නම් ගල් තලාව දෙසිණි. කෙනෙක් මා මෙන්ම ළිහිණියන් ගණන් කරනවා වත්ද?
    එය එසේ නම්, මේ තට්ටු කරන්නාගෙන් ප්‍රශ්ණයක් ඇසිය යුතුය යන අදහස මට ඇති විය. මා මුලින්ම දුටු ලිහිණින් කී දෙනෙක්ද යයි සෙමෙන් ඇසුවෙමි. තට්ටු කිරීම් දහයක් ඇසිණ. පැහැදිළිවම ශබ්දය එන්නේ ගල් තලාව දෙසිණි. පිට දිගේ අයිස් වතුර ගලා යන්නාක් මෙන් අදහසක් ඇති වුණද, සිතට දිරි ගෙන වැස්සේම එළියට බැස, … “ඔය කව්ද?… යයි ඇසුවෙමි. ශබ්දයක් නැත.
    පසුපසෙන් ඇසුණු ශබ්දයකින් තිගැස්සී ඔලුව හරවා බැලුවෙමි. බරට පා තමමින් මා දෙසට එන අඳුරු රූ තුනකි. . නැවතත් ආලෝකයක් සමඟ කන් බිහිරි කරවන හඬකින් ඇති වූ හෙණ පිපිරීමට පසු එසේ පැමිණි කෙනෙක් නැති බව පෙනේ. එළි පැත්තේ උගුර පාදන්නේ ටෝනි විය යුතුය. තෙමී ගෙන පැමිණි ඔහු දුටු විට මා නැවතත් පියැවී ලෝකයට පැමිණියෙමි.
    … “සර් මොකෝ තෙමෙන්නේ ? … ටෝනි ඇසුවේය.
    … “මෙතැන දැන් හරි වැඩක් වුනා නේ ….ගල් තලාව යටින් තට්ටු කරනවා වගේ සද්දයක් එනවානේ” …”මිනිස්සු තුන් දෙනෙක් මෙතන හිටියා”… මා කීවෙමි. … “අනෙක, ඒ තට්ටුව මම මොනවා හරි හිතුවොත් ඒකට සම්බන්දව පණිවිඩ දෙනවා.”… “ටෝනි ලා මේ පළාතේ පරම්පරා ගණනක් ඉන්නවා නේද ?… මේ වගේ අරුම පුදුම දේවල් මෙහෙ වෙනවා අහලා නැද්ද?
    … “අපි මේවා ගැන දන්නවා මහත්තයා… ඒ වුනාට මේ හෝටලේ හදන මහත්තයා ඉඩම ගන්න පෙර මේවා ඔහුට කියන්න වෙලාවක් තිබ්බේ නැහැ”…. “අනෙක අපි කියන දේවල් ඒ වගේ ලොකු මහත්තැන් අහන්නෙත් නෑ නොවැ”… “ඒ භූතයන් තුන් දෙනා පළාතේ මිනිස්සු මෙහෙ එනවාටවත් කැමති නැහැ “… “ ඒ වුනාට, භූතයන්ට නියම පූජා දෙනවා නම් කරදරයක් නැහැ ”…
    … “ මොකක් කියනවා? … “භූතයන් තුන් දෙනා ? …”පූජා කියන්නේ මොනවාද? මා පුදුමව ඇසුවෙමි. … “ඇයි මටවත් මේ ගැන මුලින් කිව්වේ නැත්තේ?
    … “සර් මෙතන ටික කාලෙනේ ඉන්නේ…? …”ඒ නිසා සර්ට නොවේ මේ ප්‍රශ්නේ එන්නේ”…“සුදු ලොකු මහත්තැන් ලා මේ රටේ සිරිත් විරිත් ගණන් ගන්නේ නැහැ”…” ඒ අය ඕව දන්නෙත් නැහැ”… “එහෙත් සර්ට යම් පණිවිඩයක් දෙන්න ඉඩමේ මුල් පදිංචි කාරයෝ උත්සාහ කළා වගේ “….
    ටෝනි විස්තර කල පරිදි මේ ඉඩම මුලින්ම අයිතිව තිබුනේ යටත් විජිත කාලයේ සැම්බියාවට පැමිණි යුරෝපීය පව්ලකට විය. සැම්බියාවට නිදහස ලැබීමෙන් පසු මේ ඉඩම සහ එහි තිබුණු පැරණි නිවස ධනවත් සැම්බියානු පව්ලකට අයත් විය. එහෙත් කිසියම් නොදන්නා හේතුවක් නිසා පව්ලේ සිටි සියල්ලන් හදිසියේ මිය ගියහ.
    එකම දිනයේ මේ පව්ලේ සහෝදරයන් තිදෙනෙක්, අසළ ගල් තලාවේ ඔබ්බේ තිබුණු ගහක එල්ලා මරා දමා තිබිණ.
    එහෙත් පළාතේ කටකතා අනුව නම්, ඔවුන් තිදෙනාම එක්ව එල්ලී මිය ගියහ. මේ සහෝදරයන්ගේ දේහයන් ගල් තලාවට යාබද ළඳු කැලෑවේ භූමදාන කරන ලදී. ගල් තලාවේ පහළ ස්මාරක කණු තුනක් තනා ඇත්තේ ඔවුන් වෙනුවෙනි.
    කෙසේ හෝ මේ වැඩි විස්තර සොයන්නට අවස්ථාවක් නොතිබුණු හේතුව වූයේ, පසුදින උදයේම මා හට සැම්බියාවෙන් පිටත්ව යන්නට සිදු වූ හෙයිණි. මා වෙනුවට වෙනත් ඉන්දියානු ජාතිකයෙක් මෙහි පැමිණෙනු ඇත. ඔහු ඉතිරි තුන් මාසයේ හෝටලයේ අවසාන ඉදි කිරීම් අධීක්ෂණය කරනු ඇත. මේ ස්ථානයෙන් බොහෝ ඈත ස්ථානයක ඉදි කිරීමක් භාර ගන්නට මට සිදු වී ඇත. ඒ සමඟම උසස් වීමක්ද ලැබීම සතුටක් විය.
    කලකට පසු සැම්බියාවෙන් නැවත ලන්ඩනයට පැමිණීම සහ මා එනතුරු මඟ බලා ගෙන සිටි අම්මා දැකීම මහත් සතුටක් විය. නිවාඩු මාසයේ යා යුතු තැන් සහ මුණ ගැසිය යුතු හිතවතුන් ගැන අම්මා සමඟ කතා කලෙමි.
    එංගලන්තයට පැමිණි දින සිට හරියටම සති දෙකකින් මට සැම්බියාවෙන් ඇමතීමක් ලැබිණ. වහාම පැරණි ස්ථානයට පැමිණ වාර්ථා සකසා අලුත් කණ්ඩායමකට හෝටලයේ කටයුතු භාර දීම කල යුතු විය. නිවාඩු අත් හිටවීම නිසා සිදුවූ කරදරය වෙනුවෙන් මාස කිහිපයකට පසු නොමිළේ ගුවන් ටිකට් පතක් සහ අමතර නිවාඩු ලැබෙන බව සඳහන් කළද, කරන්නට ගිය කාර්යයන් බොහොමයක් අතහැර නැවත සැම්බියාවට යාමට සිදු වීම පශ්චාත්තාපයට කරුණක් විය.
    නැවත හෝටලය තනන ස්ථානයට ගිය විට එහිදී ආරංචි වූ දෙයින් පුදුමයට පත් වීමි. මා ගිය පසු එතැනට පැමිණි ඉන්දියානු ජාතිකයා රාත්‍රී කාලයේ උමතුවෙන් කෑ ගසමින් ගම හරහා දුව ගිය බවද, ඔහු ඒ සිදුවීමට පෙර පොළව යටින් නොයෙකුත් ශබ්ද එන බවටත් කාර්යාලයට පැමිණිලි කර තිබිණ. එක්තරා දීප්තිමත් දිනෙක තැනිතලාවේ මැද තිබුණු ගල් තලාව උඩ ඔහු සිටින විටකදී, හදිසියේ අහස අඳුරු වී කොහේවත් නැති වර්ෂාවක් කඩා වැටුණු බවද, හනික මඩුව වෙත එන්නට පෙර කළු පැහැ හැඩිදැඩි මිනිසුන් තිදෙනෙක් ඔහු පසුපස දුව ආ බවත් ඔහු ලියා තිබිණි.
    ඔවුන්ගේ හැඩ රුව විස්තර කළද, ඒ ආකාරයේ මිනිසුන් පළාතේ සිටි කිසි කෙනෙක් දැක නැත. ඉන් පසුව වූ සිදුවීමකදී ඔහු නැවතත් බියවී ඇත්තේ මෙසේය.
    එදින වැසි සහිත කාලගුණයක් තිබී දිනක් විය. සවස එළබෙත්ම ඔහුට අහස දෙස බැලූ විට පෙනුනේ, කළු වළාකුළු ඈත අහසේ තව තවත් මෝදු වන බවය. සුළං හමන ශබ්දය වැඩි වෙන අතරේ, දහවලට වඩා සීතලද වැඩියෙන් දැනිණි. එදා දුටු මිනිසුන් අදත් දකින්නට සිදු වේයැයි ඔහුගේ සිත ඔහුට කී අතර, පොල්ලක්ද රැගෙන ඔහු ගල් තලාවේ රැක සිටියේය. මේ ඉන්දියානුවා බියගුළු මිනිසෙක් නොවිය.
    වෘක අඳෝනාවක් කණ බිහිරි කරමින් නැවත ඇසුණි. ඒ අතරේ ළඳු කැලෑව තුලින් මිනිසුන් තිදෙනෙක් මතු වෙනවාත් සමඟම ඒ වෘකයන්ගේ ශබ්දයෙන්ද හදවත විනිවිද යාමෙන් ඔහු උඩ ගොස් බිම වැටුනා මෙන් විය. අතේ තිබි පොල්ල ගිලිහී බිමට වැටුණි. ශරීරය ගල් උනා මෙන් අදහසක් ඔහුට දැනිණි.
    දැන් ඒ මිනිසුන් තිදෙනා ඔහු වෙතට එමින් සිටී. ඔවුන් ඔහු වෙත කඩා පනිනවාත් සමඟම, ඔවුන්ගේ මිනිස් වෙස් නැති වී වෘකයන් බවට පත්වෙනවාත් සමඟ හෙණ සහ විදිලි කෙටීම් සමඟ දැවැන්ත වර්ෂාවක් කඩා වැටුණි.
    විදුළි එළියට ඔහුගේ නෙත් අන්ධ වුනා වැන්න. මේ සියළු දේම ක්‍ෂණයකින් සිදු වූ නිසා, ඇතිවූ ශාරීරික සහ මානසික දුර්වල බව තේරුම් ගන්නට ඔහුට මඳ වෙලාවක් ගතවිය. එහෙත් ඔහු වෘකයන් පමණක් නොව, තවත් නොදන්නා අය සමඟ එහි සිටින බවත්, හුදකලාව නැති බවත් යම්කිසි ගුප්ත ආකාරයේ හැඟීමකින් ඔහුට අවබෝධ විය.
    විදුළි එළියට ගිණිකන වූ ඇස් නැවත වට පිටාව දකින විට තවත් හෙණ හඬකින් ගල් තලාව දෙදරුම් කෑවේය. ඔහුව වට කර ගෙන සිටියේ දිළිසෙන නෙත් ඇති වෘකයන් තිදෙනෙකි. ඔවුන්ගේ ලේ පැහැ මුවෙන් පිටවූ උණුසුම් සුසුම් ඔහුගේ මුහුණට වැටිණි.
    පසුදා වැඩ කරන්නට පැමිණි මිනිසුන්, සිහි නැතිව ගමේ ඈතකට දුව ගොස් වැටී සිටින ඉන්දියානුවාව සොයාගන්නා ලදී. සිහි ලැබී ඉහත විස්තර කිව් ඔහු, පසුවදා රැකියාවද අතහැර නැවත ඉන්දියාවට ගියේය. අලුතෙන් පැමිණි කාර්ය මණ්ඩලයට, ඒ ඒ අවශ්‍ය ලිපි ගොණු සහ උපදෙස් දීම කර, දින දෙකකට පසු මාද සැම්බියාවේ තවත් කොනකට ගියෙමි.
    පසුව ආරංචි වූ පරිදි එම හෝටලය කිසි දිනෙක සම්පූර්ණ කරන්නට නොහැකි වී වල් බිහි වී ගියේය



    ref lalithkrunaratna
     

    Attachments

    • abandoned-nyc_staten-island_arthur-kill-road_kreischer-mansion-1 (1).jpg
      abandoned-nyc_staten-island_arthur-kill-road_kreischer-mansion-1 (1).jpg
      13.3 KB · Views: 165