බඩ ඉරිඟු ගැන පැතුම්ගේ මතක

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,412
    113
    බඩ ඉරිඟු

    අපි කැම්පස් එකේ ඉන්න කාලේ දෙවෙනි වසරෙදී කැලේ පනින්නම අරමුණ කර ගත්ත යාළුවෝ 4 දෙනෙක් සෙට් උනා. මමයි, චතුරංගයි, සුපුනු‍යි සුනෙතුයි. අපි මුල්ම කෑම්පින් ට්‍රිප් එක ගියේ කලා බළලු වැවේ වැව් පිටියේ කෑම්පින් කරන්න. නිතර අලි බහින තැනක් හින්දා අපේ ප්ලෑන් එක තිබුනේ වැව් පිටියේ ගහක් උඩ අට්ටාලයක් හදා ගෙන ඉන්න.

    ඔන්න සිකුරාදා හවස ලෙක්චර්ස් ඉවර වෙලා කූඩාරම් එහෙම කරපින්නා ගෙන අපි පිටත් උනා. දඹුල්ලෙන් බස් එකෙන් බහින කොට හවස 6ත් පහු වෙලා. එතනින් අල්ල ගත්තා ගල්කිරියාගම බස් එකක්. ගල්කිරියාගමෙන් බැහැලා වැව් පිටියට යන්න ත්‍රීවිල් එකක් ගන්න ඕනේ.

    ඔන්න දැන් ගල්කිරියාගමෙන් බහින කොට රෑ 8 වෙලා. කූඩාරම් කරේ තියන් කොල්ලෝ හතර දෙනෙක් බැහැලා පුංචි ගල්කිරියාගම ටවුමට අඩිය තියන කොටම මිනිස්සු බලනවා කවුද මේ ආගන්තුකයින් කියලා. විශේෂයෙන් යුද්දෙත් තියෙන කාලේනේ. ඒක හරි පොඩි ටවුමක් නිසා ඇරලා තිබුන එකම කඩේට ගොඩ වෙලා අපි රෑට උයා ගන්න බඩු ටිකක් ගත්තා. ඒ ගන්න ගමන් Google map තියා ස්මාර්ට් ෆෝන් වත් නැති කාලේ අපි ඇහැව්වා වැව් පිටියට යන පාර.

    "මේ වෙලාවේ කොහේ යන්න ද මහත්තයා, අලි හැම තැනම, දැන් යන්න වෙන්නේ නෑ" - එහෙම කිව්වේ ලඟම හිටපු මාමා කෙනෙක්. අපිට දැන් යන්න විදියකුත් නෑ, ඉන්න තැනකුත් නෑ. " මාමේ අපිට එහෙනම් වෙලක පැලක් සෙට් කරලා දෙනව ද උදේ වෙනකං ඉන්න, අපි හෙට යන්නම් වැවට" - අපි කිව්වා. "පැලටත් අලි එනවා. ඒත් ටිකක් ආරක්ෂාවක් තියෙන තැනක් තියෙනවා, යමු මම පෙන්නන්නම්." - අපිට උදව්වට ඉදිරිපත් උන ඒකනායක මාමා අපිට කියලා එයාගේ ෆුට් බයිසිකල් එක පස්සේන් එන්න කිව්වා. අපිත් ලඟම තිබුන දෙවැටෙන් කුඹුරු යායක් මැද පාරකට වැටිලා ඔහු පස්සේන් ටෝච් ගහගෙන පිටත් උනා.

    වෙල් යායෙන් එගොඩ ඔහුගේ පුංචි ගෙදර සාලෙන් අපිට ඉඳගන්න ලැබුනා. "ඉන්නකෝ දැන් ඔය ගෙනාපුවා උය උය ඉන්න වෙලාවක් නෑ. අපි මොනවා හරි හදලා දෙන්නම්. " එහෙම කියපු ඒකනායක මාමා නෝනත් එක්ක කුස්සිය පැත්තට ගියා. ෆෝන් එහෙම නැති නිසා සිග්නල් හොයන්න මහන්සි උනේ නෑ, අපි මිදුල පුරා තරු එළියෙන් ඇවිද ඇවිද ගැමියාගේ රාත්‍රිය විඳින්න උත්සාහ කළා.

    ටික වේලාවකින් දුම් පිටවෙන උණු උණු බේසමක මොකක්දෝ කෑමක් අරගෙන ඒකනායක මාමා කුස්සියෙන් මතු උනා. බඩ ඉරිඟු!!! ☺️ පුංචි ලපටි කරල්, පිටිපස්සේ කොරටුවෙන් කඩපු ගමන් තම්බලා අරගෙන. කරල කරල අරගෙන අපිත් කන්න ගත්තම තමයි බඩු ඉරිඟු වල රස තේරුණේ. බඩ ඉරිඟු කියන්නේ එච්චර රස කෑමක් කියලා දැන ගත්තේ එදා. එදා ඉඳලා අද වෙනකං ඒකනායක මාමාගේ මූණ බඩ ඉරිඟු කන හැමදාම මතක් වෙනවා.

    බඩ ඉරිඟු තෝර ගනිද්දි, ලපටිම එකෙන් තෝර ගන්න. අද උදේ කඩපුවා හොයා ගන්න පුළුවන්. ලෙල්ල වේලිලා නැති, ගස් පිටින් එල්ලලා තියෙන, දැක්කම වේලිලා නැති කරල් ද තම්බලා තියෙන්නේ බලන්න. අද කඩලා හෙට වෙනකං ඈතට ප්‍රවහනය කරපුවා තමයි කොළඹට කිට්ටුව තියෙන්නේ. බඩ ඉරිඟු වල ස්වභාවය තමයි කඩපු වෙලාවේ ඉඳලා මෝරන එක. ගෙදර ගෙනල්ලා තියන්න තියන්න කරල මෝරනවා. පරණ වෙනකොට තම්බලා ගත්තම රස කොහේ ගියා ද නෑ. දර කෑලි හපනවා වගේ.

    ඔබ එදාම කඩපු ලපටි බඩ ඉරිඟු කාලා නැත්නම් , ඔබට ආයේ බඩ ඉරිඟු කන්න හිතෙන්නේ නෑ. ඒ නිසා ඔබට මේ පොටෝ ටික දැක්කම ලස්සන මතකයන් එන එකක් නෑ. හැබැයි කනවා නම් හරියට තෝර ගෙන ඈත පළාතක යන දවසක කන්න.

    ඒකනායක මාමා අපිට නවතින්න එයාගේ වෙලේ පැල සකස් කරලා දුන්නා. අනිත් දවසේ උදේ අපිව එයාගේ අත්ට්‍රැක්ටර් එකෙන් හන්දියට දැම්මා. අපි එලවළු ලොරියක එල්ලිලා නැගලා ගිහින් වැව ලඟින් බැහැලා කුඹුක් ගහක අට්ටාලයක් හදා ගෙන කෑම්පින් කළා. හැබැයි අලි නම් දැක්කේ නෑ.

    කොළඹ ඇවිත් බ්ලොම්ෆොන්ටේන් හොස්ටල් එකේ මගේ රූම් එකට හතර දෙනාම එකතු වෙලා ඒකනායක අංකල් ට ලියුමක් ලිව්වා නොසෑහෙන්න ස්තුති කරලා. අපි තව ගොඩක් ට්‍රිප් රටේ වටේ ගියා ඊට පස්සේ.

    කැම්පස් ඉවර වෙලා මාස කීපයක් යන කොට මම හමුදාවේ ලයින් එකේ, සුපුන් කොළඹ වැඩ, චතුරංග පොළොන්නරුවේ, සුනෙත් සිංගප්පූරුවේ. අපි හතර දෙනා ආයේ හම්බුනේ චතුරංග ගේ මගුල් ගෙදරට කළින් සතියේ. කට්ටිය කතා උනා ඒකනායක මාමාව බලන්න යන්න. සුනෙත් ලඟ ඒ වෙනකොට කාර් එකක් තිබුනා. අපි ගල්කිරියාගමට ගිහින් මතකයෙන්ම ඒකනායක මාමා හොයා ගෙන ගියා. ඒ අවුරුදු 5 කින්. ඔහුගේ මව අසනීපයෙන් ලෙඩ ඇඳේ ඒ වෙනකොට. අපි දොස්තරලා හතර දෙනාම එකතු වෙලා රෝගියාගේ විස්තර හොයලා බැලුවා. අර සාලෙන් ඉඳ ගත්තා. ඒකනායක මාමාගේ උඩ සාක්කුවෙන් පොඩි ලියුම් කරදහියක් ඇදලා අරං අපේ අතට දෙන ගමන් "බලන්න මේක මතකද කියාලා" - ඔහු අපෙන් ඇහැව්වා.

    අපි ලියපු ලියුම!!! ☺️

    ඔහු ඒක හැමදාම තමන්ගේ උඩ සාක්කුවේ තියෙන පර්ස් එකේ තියා ගෙන ඉඳලා. අපි ඔහුගෙන් තවත් බඩ ඉරිඟු ඉල්ලගෙන පිටත් උනා. ඒ අපි හතර දෙනා එකට ගිය අන්තිම ට්‍රිප් එක.

    මට බඩ ඉරිඟු කියන්නේ රසයක් විතරක් නෙවෙයි. ලස්සන මතකයක්.

    ලංකාවේ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 4 ක් පමණ නිශ්පාදනය කරනවා. ත්‍රිපෝෂ, සමපෝෂ සහ නිකම් තම්බලා කනවා ඇරුණු කොට අනික් කොටස සම්පූර්ණයෙන් යන්නේ සත්ත්ව ආහාර නිශ්පාදනයට. විශේෂයෙන් ඔබ චිකන් කනවා නම්, ඒ මස් හදන්න වැඩිපුරම යෙදවුම උනේ බඩ ඉරිඟු. ලංකාවට වසරකට බඩ ඉරිඟු ටොන් ලක්ෂ 5 කට වැඩිය ඕනේ. ඉතිං මදි පාඩුව ගෙන්වනවා. අපිට අවශ්‍ය ප්‍රමාණය සම්පූර්ණයෙන් මේ රටේ හදා ගන්න පුළුවන්. ඒකට "රට හදන හරි පාරේ" යන්න ඕනේ. අපි දවසක ඒ ඉලක්කය සපුරා ගන්නවා.

    පැතුම් කර්නර්
    #පැතුම්ගේ_කතාව
    #රටහදනහරිපාර
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    4,738
    8,559
    113
    Milagiriya
    අපි මොනවා හරි හදලා දෙන්නම්. " එහෙම කියපු ඒකනායක මාමා නෝනත් එක්ක කුස්සිය පැත්තට ගියා. ෆෝන් එහෙම නැති නිසා සිග්නල් හොයන්න මහන්සි උනේ නෑ, අපි මිදුල පුරා තරු එළියෙන් ඇවිද ඇවිද ගැමියාගේ රාත්‍රිය විඳින්න උත්සාහ කළා.

    ටික වේලාවකින් දුම් පිටවෙන උණු උණු බේසමක මොකක්දෝ කෑමක් අරගෙන ඒකනායක මාමා කුස්සියෙන් මතු උනා 🤒

    ezdo3wg.gif

    ------ Post added on Nov 10, 2023 at 8:34 PM