ඈත අතීතයෙ පූරාණ බරණැස් නුවර නේක මලින්, දිය ඇලි වලින් අනූන සුන්දර නගරයක් විය.
කලට වැසි වසින යලට මහට වගා කරන සතුටින් ජීවත් වූ ජනතාවක් එහි වාසය කළහ.
පසුකාලිනව මේ සොඳුරු නගරය ආක්‍රමණය කළ පරදේශක්කාරයන් ඒ නගරයේ ස්වයංපෝෂිත ආර්ථික රටාව වෙනස්කොට පරපෝෂිත ක්‍රමයක් බිහි කළේය.
එදා පටන් මේ නගරයෙ පරිහානිය ආරම්භ විය. ඒ රටේ සාම්ප්‍රදායිකව තිබූ රාජ පාලනය සහ ගම්සභා වැනි පාලන තන්ත්‍රය සහ නීති රීති වෙනස් කොට ප්‍රජාතන්ත්‍රවාදය යන අටමගලයක් ඒ නගරයට හඳුන්වා දුන්නේය.
නගරය ජාතීන් අනුව බෙදුනේය. පක්ෂ අනුව බෙදුනේය. ගම් වශයෙන් බෙදුනේය.
චිරාත් කාලයක් ඒ රට පාලනය කල පරදේශක්කාරයින් ඒ රටෙන් නික්ම ගියෙ ඒ නගරයෙ සාරය උරා බී හපයක් කොට ඒ රටට නොගැලපෙන පරිපාලන ව්‍යූහයක් ස්ථාපිත කර දෙමිනි.
ඒ නගරයෙ මිනිස්සු කන්න හපන්නුය. ඔවුන් සෑම විටම සිතුවේ රට ගැන නොව බඩ ගැනය. කැපකිරීමක් කරන්නට අකමැතිය. නිතර අනිකාට ඇඟිල්ල දිගු කරයි.
හාල් සේරුව අඩුවට ගන්න, හඳෙන් හාල් ගේන්න, ඇට අට කන්න, 3.50 ට පාන් කන්න විවිධ අවස්ථා වලදි ඔවුහු තම පාලන තන්ත්‍රය පෙරලූහ.
පසුකාලීනව සෘණ මානසිකත්වයක් ඇති හැමදේම වැරදි දකින 3% ක ගෝත්‍රිකයන් කොටසක්ද මෙරට බිහි විය.
එක්තරා සමයක එක් නායිකාවක් සිය නගරය නැවතත් ස්වයංපෝෂිත කරන්නට සැරසුනද ජනතාව ඒ කැපකිරීම කරන්නට උනන්දු වූයේ නැත. ඒ නායිකාවව පන්නා දැමුවෝය.
තවත් වරක් තවත් නායකයෙක් පැමිණ නගරය සංවර්ධනය කරන්නට සැරසුනද ඔහුව එලවා දමා දොරටුපාලකයෙක් රජ කර වීය.
වර්තමානය වන විට ඒ නගරයද ඇතුළුව මුළු ලෝකයම දරුණු වසංගතයකට මුහුණ දුන් අතර ඒ නගරයේ පිනට පහළ වූ නායකයෙක් ඒ උවදුරින් රට බේරා ගත්තේය.
එහෙත් ඒ නගරයේ වැසියන්ට ඒ කිසිවක් වැඩක් නැත. ඔවුන්ට වැදගත් බඩ පමණය. එකටත් දෙකටත් තුනටත් බඩ පමණය.
අවස්ථාවාදී කුහක විපක්ෂ දේශපාලුවන්ද මේ රටේ වැසියන්ව මැනවින් අවබෝධ කරගෙන ඇත. බඩ පෙන්නමින් ජනතාව කුලප්පු කරවයි. ජනතාවද ඕසෙට කුලප්පුව වෙති.
මේ බඩජාරි පුරුද්ද නිසා මේ නගරය ලෝක සිතියමෙන් මැකී යාමටද නියමිතය. බඩ නිසා ලෝකයෙන් තුරන් වී ගිය එකම නගරය ලෙස මේ නගරය ඉතිහාස පොතේ කළු අකුරින් ලියවෙනු ඇත.
