පූජ්‍ය බද්දේගම සමිත හිමි ! සමසමාජය විෂම සමාජය සහ සටන්කාමීත්වය
සමිත හිමියෝ මාගේ අම්මාගේ විශ්ව විද්‍යාල සමකාලීනයෝය. උන් වහන්සේගේ විශ්ව විද්‍යාල ජිවීතයත්, දේශපාලන ජීවිතයත් සමාජ ජිවීතයත් මාගේ මව හා පියාගේ ජීවිත සමඟ එකට ගමන් කළහ. එනිසා එහි බැල්ම සහ ඇල්ම මගේ ජීවිතයටද නොයෙක් ආකාරයෙන් ලොකු කුඩා කිරණ ලෙස පතිත වී ඇත.
උන්වහන්සේ අවංක සටන්කාමියෙකි. අපවත්වනතුරා ඒ අවංක සටන්කාමී ජීවිතය උන් වහන්සේගේ ආදර්ශය විය.
මා උන්වහන්සේ පිලිබඳ සදා අගයන කාරණය ඒ අවංක සටන්කාමීත්වයයි. මැතිව් ගේ මැරයන් හැත්තෑ ගණන් වල අග දවසක කැලණිය විශ්ව විද්‍යාලයට වැද ශිෂ්‍ය නායක මර්දනය අරඹද්දී මර්දනය මර්දනය කෙරුණේ උන් වහන්සේ අතිනි. ඒ අවංක ප්‍රතික්‍රියා දැක්වීමකි.
“කැළණියෙන් විද්‍යාලංකාරයෙන් සිපිරිගෙදරටත් එතැනින් එංගලන්තයට ලැන්කෂයර් විශ්ව විද්‍යාලයට තුලනාත්මක ආගම් සහ දර්ශනය පිලිබඳ හැදෑරීමට ආපසු ලංකාවට නැවත දේශපාලනයට බද්දේගම අසුනට දකුණු පළාත් සභාවට මැති සබයට”..... පසුකර ආ මේ සියලු තැන්වල උන්වහන්සේ අවංක සටන්කාමීත්වයක් ඉතිරි කර ගියහ.
ගරුතර ස්වාමීන් වහන්සේලා දේශපාලනයට පිවිසීම, නැත්තන් “සිවුරේ දේශපාලනය” යන වත්මන් අජූත සංසිද්ධියට වහකිවයුත්තේ උන් වහන්සේ නොවේ. දේශපාලනයට පිවිසීම හරහා සමිත හිමියන් අතිශය අවංක සහ ස්ථාවරව, බුද්ධ චීවරයේ සමාජ බලයට එපිටින් ගොඩ නගා ගත් යමක් වේද එය විහිළුවක් කොට විනාශ කරන ලද්දේ උන්වහන්සේට පසුව මැතිසබය නියෝජනය කළ ස්වාමීන් වහන්සේලා විසිනි. ආගමයි ජාතියයි ෂොපින් බෑග් දෙහෙක එල්ලාගෙන දියවන්නාවෙන් බැස පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් පසුකළ කිසිදු ස්වාමින් වහන්සේ කෙනෙකු උන් වහන්සේ ළඟ පිච්චියක් නොවටී.
උන් වහන්සේ ජීවත් වූ විෂ-ම සමාජය විෂහරණය කරන්නට දැක්වූ දායකත්වය ස්පොට් එර්දිබලයක් ලැබීම, උන් තැනම රහත් භාවයට පත්වීම වැනි ඉහළ ආස්ථානයක උන්වහන්සේ රැඳවීමට ප්‍රමාණවත් බව මගේ පෞද්ගලික මතය වේ. උන් වහන්සේ සදා සමීපව ඇසුරු කළ මගේ පවුල සහ එහි සාමාජික අපි සියල්ලන් ජාතිවාදී ආගම්වාදී පිස්සන් නොවීමට ඒ බලපෑම තදබල හේතුවක් විය. නැත්තන් මා නියෝජනය කරන විෂම සමාජය පල්ලි ළඟ ජල්ලි ඇල්ලීමට උපන් හපන් ය. උන් වහන්සේ ඉමිතියාස් බාකීර් මාකර් ලා එක්ක එකට ඉගෙන ගත්තෝය. එකට සමවාදී දේශපාලනය කළෝය. සමාන අරමුණු වෙනුවෙන් එකට පියෑඹූවෝය. ඕසෝන් සිදුරු, ආම්ලිකව ඝනීභවනය වූ විෂ වලාකුළු, දරුණු අධෝරක්ත කිරණ, හදිසියේ ඔළුවට කඩාපාත්වන ග්‍රහක කෑලි බෑලි අතර උන්වහන්සේත් අන් සියලු සම පියාපත්ධාරිනුත් එකට පියඹා ගිය අහස මා මේ ජිවිත කාලය තුළ දුටු ලස්සනම අහසකි.
නිවන් ලැබීමද සටන් කිරීමද තෝරාගන්නේ කියා මා ඇසුවොත් ඔබ වහන්සේ මේ කෙල්ලට දෙන උත්තරය කුමක්ද !
ස්තූතියි