බරාබර් ගුහා සහ ආජීවික කණ්ඩායම

hpalpola

Well-known member
  • ඉන්දියාවේ ගයාවට කි.මී.24 ක් පමණ උතුරට වන්නට බරාබර් ගුහා පිහිටා ඇත. මේ ගුහා අද ප්‍රචලිතව ඇත්තේ සංචාරක ආකර්ශණයකින් යුතු ස්ථාන ලෙසිනි. කෙසේවෙතත් දැනට වසර 2000 කට පමණ පෙර මෙම ගුහා අද වන විට නොපවතින ආජීවික කණ්ඩායමේ මූලස්ථාන ලෙසින් පැවත ඇති බවට සාක්ෂි ඇත.

    බරාබර් ගුහා ප්‍රධාන වශයෙන් ම පිහිටා ඇත්තේ කඳු දෙකක් මුල් කරගනිමිනි. ඒ කඳු වන්නේ බරාබර් සහ නාගර්ජුනී ය. ඉන් බරාබර් කන්දේ ගුහා 4 ක් ද නාගර්ජුනී කන්දේ ගුහා 3 ක් ද වේ. මේ ගුහා ක්‍රි.පූ. 3 වන සියවසට අයත් බවට මත පල කර ඇත්තේ ඒ තුළින් හමු ව ඇති ගුහා ලිපි නිසාවෙනි. එක් ලිපියක් අශෝකගේ වන අතර තවත් ලිපියක් අශෝකගේ මුණුපුරකු වන දශරථගේ ය. මේ සෑම ගුහාවක් ම කාමර දෙකකින් යුතු ව සකසා ඇත. කෙසේවෙතත් ගුහා තුළ කිසිඳු පිළිමයක් හෝ මූර්ති නිර්මාණයන් නැත. මේ අතරින් පැරණිම ගුහාව ලෙසින් සලකන්නේ ලෝමාස් රිශි ගුහාව ලෙසින් සැලකෙන ගුහාවයි. මෙම ගුහාවේ ඉතා අලංකාර ශෛලමය චෛත්‍ය උළුවස්සක් ඇත. සුදමා ගුහාව තුළ ඇති අශෝකලේ ලිපිය අනුව බරාබර් කන්දේ ඇති ගුහා 4 ඔහු විසින් ක්‍රි.පූ. 261 දී ආජීවිකයන්ට පිරිනමා ඇති බව දැක් වේ. දශරථ මෞර්යගේ ලිපිය ඇත්තේ නාගර්ජුනී කන්දේ ඇති ගුහාවකය.

    මේ ආජීවිකයන් කවුරුන් ද? මෙය වැදගත් කාරණයක් වන්නේ මහාවංශයට අනුව ලංකාවෙන් ද ආජීවිකයන් වාර්තා වී ඇති නිසාවෙනි. ඒ පණ්ඩුකාභය රජුගේ කාලයේදී ය. ඔහු විසින් ආජීවිකයන් වෙනුවන් ද ස්ථානයක් නගර නිර්මාණයේදී සකස් කරනු ලැබූ බව මහාවංශය දක්වයි.

    ලෝක ඉතිහාසයට අනුව ආජීවික කණ්ඩායමේ නායකත්වය ලැබෙන්නේ මස්කරීන් ගෝසාලට ය. ඔබ ඉතා හොඳින් දන්නා පරිදි ගෝසාල, ගෞතම බුදුරජාණන්වහන්සේගේ මෙන්ම ජෛන මහාවීරගේ සමාකාලීනයකු වෙයි. මේ ආජීවික කණ්ඩායම ක්‍රි.පූ.3 වන සියවසෙන් පසුවත් පැවැති බව පෙර කී ගුහා ලිපි අනුව පැහැදිලි වේ. කෙසේවෙතත් ක්‍රි.ව.14 වන සියවසෙන් පමණ පසුව ඔවුන් පිළිබඳව සඳහන් වන්නේ නැත. මේ නැති වී ගිය ආජීවික කණ්ඩායම ගැන ඒ එල් බෂාම් මහතා ලියා ඇති History and doctrines of the Ajivikas, a vanished Indian religion’ කෘතිය ඔවුන් සම්බන්ධයෙන් ඇති වැදගත් කෘතියකි.

    ත්‍රිපිටකයේ සාමඤ්ඤඵල සූත්‍රයේදි ගෝසාලගේ ඉගැන්වීම් ගැන යම් සඳහනක් තිබේ. ඒ පහත පරිදි ය.

    “මහරජ, සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයයෙක් නැත. හේතුවක් නැති වැ ප්‍රත්‍යයක් නැතිවැ (ඉබේ ම) සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ පිරිසිදු වීමට ද හේතුවෙක් නැත., ප්‍රත්‍යයයෙක් නැත. හේතුව නැති වැ ප්‍රත්‍යය නැති වැ සත්ත්වයෝ පිරිසිදු වෙත්. තමාගේ යහපත සඳහා තමා විසින් කළ යුතු කර්මයෙක් නැත. අනුන්ගේ යහපත සඳහා කළයුතු අවවාදානුශාසනාදී කර්මයෙක් ද නැත. කරන්නහු සැපතට පමුණුවන … පුරුෂ කාර්‍යයෙක් ද නැත. සැපත් ලබනුවට ඉවහල් වන බලය කියා එකෙක් නැත. වීර්‍යය කියා එකෙක් නැත. පුරුෂශක්තිය කියා එකෙක් නැත. පුරුෂ පරාක්‍රමය කියා එකෙක් නැත. හැම සත්තු හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ තමන්ගේ ශක්තියක් බලයක් වීර්‍යයක් නැත්තෝ ම නියමය, සංගතිය (තම තමා අයත් වර්ගයට පැමිණීම), ස්වභාවය යන මේ තුනින් පරිණාමයට පැමිණීයෝ අභිජාති සයෙක්හිම සැප දුක් විඳිත්.

    මේ ප්‍රමුඛ යෝනීහු තුදුස් ලක්ෂ හදහස් හසියෙකි. කර්ම පන්සීයෙකි. (අන් සැටියෙකින්) කර්ම පසෙක් ද කර්ම තුනෙක් ද වෙත්. (කායවාක්කර්ම වූ) පූර්ණ කර්ම ද, (මනඃකර්ම වූ) අර්ධ කර්ම ද වේ.

    ප්‍රතිපත්ති දෙසැටෙකි. අන්තඃකල්ප දෙසැටෙකි. අභිජාති සයෙකි. පුරුෂභූමි අටෙකි. ජිවිකාවෘත්ති සාරදහස් නවසියෙකි. පරිව්‍රාජකයන් පිළිබඳ ප්‍රව්‍රජ්‍යා සාරදහස් නවයෙකි. නාගමණ්ඩල සාරදහස් නවයෙකි. ඉන්ද්‍රියයො දෙදහසෙකි. නිරයයො තුන්දහසෙකි. අත්පිටු පාපිටු ආදි ධුලි තැවැරෙන තැන් සතිසෙකි. සංඥී ගභර්‍ සතෙකි. අසංඥී ගභර්‍ සතෙකි. නිර්ග්‍රන්ථ ගභර්‍ සතෙකි. (පුරුකින් පැල වෙන උක් හුණු ආදී ගභර්‍ සතෙකි.) දේව වර්ග සතෙකි. මනුෂ්‍ය වර්ග සතෙකි. පිශාච ජාති සතෙකි. මහවිල් සතෙකි. මහා පර්වත සතෙකි. කුඩා පර්වත සත්සියෙයකි. මහා ප්‍රපාත සතෙකි. කුඩා ප්‍රපාත සත්සියෙයකි. මහා ස්වප්න සතෙකි. කුඩා ස්වප්න සත්සියෙයකි. අනුවණයනුත් නුවණැත්තනුත් සසරැ දිවැ හැවිදැ දුක් කෙළෙවර කිරීමට ගෙවියැ යුතු කල්ප අසූහාර ලක්ෂයකි.

    එහි මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නොමුහු කළ කර්මය මුහුකුරුවන්නෙමි යි කියා කළ යුත්තක් නැත. මුහුකළ කර්මය විඳ විඳ ක්ෂීණ කරන්නෙමි යි කියා හෝ මෙසේ කළයුතු දැයෙක් නැත. ද්‍රෝණයෙන් මැන ප්‍රමාණවත් කරන ලද්දක් සේ සුව දුක් දෙක (කියන ලද කාල සීමාව ගෙවුනු කල්හි) කෙළවර කෙරුණේ වෙයි. සසර ගමනෙහි අඩු වීමෙක් වැඩීවීමෙක් නැත. නැගීමෙක් බැසීමෙක් නැත. යම්සේ දමාලූ හූවටෙක් ලිහෙමින් දිග ඇති තෙක් යේ ද, එයින් මතු නොයේ ද, එ පරිදි ම අනුවණයෝත් නුවණැත්තොත් (සසරැ) දිව හැවිද දුක් කෙළෙවර කරන්නාහ’ යනු යි.“

    සූත්‍රයට අනුව මේ දර්ශනය හඳුන්වා ඇත්තේ සංසාර ශුද්ධිය ලෙසිනි.

    ජෛන ආගමේ භගවතී සූත්‍රයට අනුව ගෝසාල මහාවීර සමඟ අවුරුදු කීපයක් ම ජීවත්ව තිබේ. කෙසේවෙතත් පසුව ඔහු මහාවීරගෙන් වෙන්ව තමන්ගේ ම මාර්ගයක ගමන් කර ඇත.

    ආරම්භයේදී සඳහන් කළ පරිදි ලංකාවේ ද ආජිවික කණ්ඩායම් සිටි බව මහාවංශයේ දැක් වේ. කෙසේවෙතත් පණ්ඩුකාභය රජුගේ කාලයෙන් පසුව ඔවුන් පිළිබඳව සඳහන් වන අවස්ථා මා හට හමු වී නැත. ඔබට එවැනි අවස්ථා හමු වී ඇත්නම් අදහස් පළ කරන්න.

    ආජිවික කණ්ඩායම් ඔබට හමු වී ඇතුවා හෝ නැතුවා පෙර කී ගෝසාලගේ ධර්මය දරාගෙන හැසිරෙන අයවලුන් අදත් ලංකාවේ සිටින බවනම් කිව හැක්කේ එවැනි අදහස් දරන්නෝ එදි නෙදා ජීවිතයේ දී හමුවන නිසාවෙනි. ඒ දර්ශනය දරන්නන්ට වැදගත් වන ධර්මයක් ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයේ යෝධාජීව වර්ගයේ ඇත. එය පහතින් සටහන් කරමි.

    “මහණෙනි, නූල්වලින් වියන ලද යම් වස්ත්‍ර වෙද්ද, ඒ පොරෝනයන් අතුරෙන් හිසකෙස්වලින් වියන ලද කම්බලය ඉතා පහත්යයි කියනු ලැබේද, මහණෙනි, කෙශකම්බලය, ශීත කාලයෙහි සීතලය, උෂ්ණ කාලයෙහි උෂ්ණය. දුර්වර්ණය, දුර්ගන්‍ධය. මහණෙනි, එසේම බොහෝවූ ශ්‍රමණ වාදයන් අතුරෙන්, මක්ඛලී වාදය ඉතා පහත්යයි කියනු ලැබේ.

    “මහණෙනි, මක්ඛලී හිස් පුරුෂ තෙමේ මෙබඳු වාද ඇත්තේ, මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. කර්‍මයක් නැත, ක්‍රියාවක් නැත, වීර්‍ය්‍යයක් නැත කියායි.

    “මහණෙනි, අතීත කාලයෙහි යම් ඒ අර්‍හත්වූ සම්‍යක් සම්බුදුවරයෝ වූවාහුද, ඒ භාග්‍යවතුන් වහන්සේලාද කර්‍මවාදීහු, ක්‍රියාවාදීහු, විරියවාදීහු වූවාහුය

    “මහණෙනි, මක්ඛලී හිස් පුරුෂ තෙමේ මෙබඳු වාද ඇත්තේ, මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. කර්‍මයක් නැත, ක්‍රියාවක් නැත, වීර්‍ය්‍යයක් නැත කියායි.

    “මහණෙනි, අනාගත කාලයෙහි අර්‍හත්වූ යම් සම්‍යක් සම්බුදුවරයෝ වන්නාහුද, මක්ඛලී හිස් පුරුෂ තෙමේ, ඒ භාග්‍යවතුන් වහන්සේලාද කර්‍මයක් නැත, ක්‍රියාවක් නැත, විර්‍ය්‍යයක් නැතැයි ප්‍රතික්‍ෂෙප කරයි.

    “මහණෙනි, මේ කාලයෙහි අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ මමද කර්‍මවාදී වෙමි, ක්‍රියාවාදී වෙමි, වීර්‍ය්‍යවාදී වෙමි. මහණෙනි, මක්ඛලී හිස් පුරුෂ තෙම කර්‍මයක් නැත, ක්‍රියාවක් නැත, වීර්‍ය්‍යයක් නැතැයි මාද ප්‍රතික්‍ෂෙප කරයි.

    “මහණෙනි, යම්සේ ගංගා දොරටුවෙහි කෙමිනක් දමන්නේ නම්, බොහෝ මත්ස්‍යයන්ගේ අහිත පිණිස, දුක් පිණිස, හානිය පිණිස, විනාශය පිණිස පවත්නේද, මහණෙනි, එපරිද්දෙන්ම, මක්ඛලී හිස් පුරුෂ තෙම බොහෝ සත්ත්‍වයන්ගේ අහිත පිණිස, දුක් පිණිස, හානිය පිණිස, විනාශය පිණිස ලෝකයෙහි උපන් මිනිස් කෙමිනකැයි හඟිමි.”
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    “මහණෙනි, අනාගත කාලයෙහි අර්‍හත්වූ යම් සම්‍යක් සම්බුදුවරයෝ වන්නාහුද, මක්ඛලී හිස් පුරුෂ තෙමේ, ඒ භාග්‍යවතුන් වහන්සේලාද කර්‍මයක් නැත, ක්‍රියාවක් නැත, විර්‍ය්‍යයක් නැතැයි ප්‍රතික්‍ෂෙප කරයි.

    “මහණෙනි, මේ කාලයෙහි අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ මමද කර්‍මවාදී වෙමි, ක්‍රියාවාදී වෙමි, වීර්‍ය්‍යවාදී වෙමි. මහණෙනි, මක්ඛලී හිස් පුරුෂ තෙම කර්‍මයක් නැත, ක්‍රියාවක් නැත, වීර්‍ය්‍යයක් නැතැයි මාද ප්‍රතික්‍ෂෙප කරයි.

    🙏🙏🙏