බැණුම් අහද්දි තරහා යනවා ද?
‘මට යකා වැහෙන්නයි එන්නෙ. කරුණාකරලා කට වහන් පලයන් මෙතැනින් යන්න...‘
‘කට වහපන්. උඹ මගේ ඉවසීමේ සීමාව පන්නවන්නයි හදන්නේ....‘
මෙවැනි කථා ඔබ අසා ඇති. සමහරක් මිනිස්සුන්ට (සමහරක් වෙලාවට සත්තුන්ට පවා) තමුන්ට දොස් කියද්දී තරහ යනවා. ඔබටත් එහෙම වෙලා ඇති සමහරක් විට. සමහරක් විට එහෙම නැතුවත් ඇති.
වරක බුදුරජාණන්වහන්සේව හම්බ වෙන්න වේළුවනාරාමයට එනවා බමුණෙක්. මෙයාගේ නම අක්කෝසක භාරද්වාජ. මෙයා මෙහෙම එන්නෙ භාරද්වාජ නම තියෙන තවත් බමුණෙක් බුදුරජාණන්වහන්සේ ලඟ මහණ වුනා කියලා අහන්න ලැබිලා. ඉතින් වේළුවනාරාමයට එන මේ බමුණා බුදුරජාණන්වහන්සේට හොඳට බනින්න පටන් ගන්නවා. බැනලා අවසන් වුනාම බුදුරජාණන්වහන්සෙත් බමුණත් අතර මෙහෙම සංවාදයක් යනවා.
බුදුරජාණන්වහන්සේ - බමුණ ඔබේ නිවසට ආගන්තුකයො, නෑයෝ පැමිණෙනවාද?
බමුණා - ඔව්. සමහරක් දවස්වලට එනවා.
බුදුරජාණන්වහන්සේ - ඒ එන අයට කෑමෙන් බීමෙන් සංග්‍රහ කරනවාද?
බමුණා - ඔව්. සමහරක් දවස්වලට එහෙම සංග්‍රහ කරනවා.
බුදුරජාණන්වහන්සේ - ඉතින් බමුණ, ඔවුන් ඒ සංග්‍රහ පිළිනොගත්තොත් ඒවා කාටද අයිති?
බමුණා - ඔවුන් ඒවා පිළිනොගන්නවානම් අපිට ම තමයි අයිති.
බුදුරජාණන්වහන්සේ - එහෙනම් බමුණ, නොකිපි ඉන්න මට කිපිලා බැන වැදුනට මන් ඒවා පිළිගන්නෙ නෑ. ඒවා ඔබම පිළිගන්න. කවුරුහරි අපිට බණිද්දි ඒකට අපිත් අනිත් පැත්තට බණිනවානම් ඒක හරියට එකට කෑම කනවා වගේ වැඩක්. ඉතින් අපි එහෙම වළඳින්නෙ නෑ. ඒක නිසා බමුණ තමුන් දීපු මන් නොපිළිගත්ත ඒ බැණුම් තමුන්ටමයි.
මේ සංවාදය තියෙන්නෙ අක්කොසක සූත්‍රයෙ. අන්තිමට බුදුරජාණන්වහන්සේට බනින්න ගිය බමුණා තිසරණ සරණ ගිහින් පැවිදි වෙලා රහත් උතුමෙක් බවට පත් වෙනවා.
ඉතින් මෙහෙමයි බුදුරජාණන්වහන්සේ තමුන්ට දොස් කියන්න ආපු අයත් එක්ක හැසිරුනේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේවා අපිට හරියනවද කියලා. ඇත්ත. ධර්මය නොදන්නා කෙනාට මේක හරියන්නෙ නෑ තමයි.
ටිකක් හිතන්න අෂ්ට ලෝක ධර්මය ගැන අපි අහලා තියෙනවා ඕන තරම්. අද හොඳ අහද්දි හෙට නරක අහන්න වෙනවා. අද කීර්තිය ලැබෙද්දී හෙට ලැබෙන්නෙ නින්දාව. ඕක අපි දන්න දෙයක්. කෙනෙක් අපිට බනින්න පුළුවන් විවිද හේතු නිසා. සමහරක් විට අපි කරපු වරදකට අපිට බනින්න පුළුවන්. සමහරක්විට අපි මෙලෝ දෙයක් නොදන්න දේකටත් බනින්න පුළුවන්. අපි කරපු වරදකට අපිට බනිද්දි වරද අපේ නිසා ටික වෙලාවක් ඒක අහන් ඉන්න අපිට පුළුවන්. එතකොටනෙ අර කියන්නේ ‘සේරම ජරා වැඩ කරලා ඉවරවෙලා බලහන්කො දැන් නැට්ට පස්සෙ ගහන් අහන් ඉන්න හැටි‘ කියලා. ඒ වුනත් දිගින් දිගටම මෙහෙම බැනගෙන බැනගෙන යද්දි ඒක අහන් ඉන්න කෙනාට තරහ යන්න පුළුවන්. මොකද ටික වෙලාවක් ගියාම වරද තේරෙනවා. වරද තේරුනාට පස්සෙත් දිගින් දිගටම අහන් ඉද්දි ඒකට ඇති වෙන ස්වභාවික ප්‍රතිචාරෙ වෙනස් වෙනවා. ඒකනෙ සමහරු කියන්නෙ ‘ඇති ඇති දැන්. කොච්චර කියෙව්වද අහගෙන ඉඳියනෙ. ඔයිට වඩා කියවන්න එන්න එපා හොඳේ‘ කියලා. හැබැයි නොකල වරදකට බැණුම් අහද්දි මෙච්චර වෙලා යන්නෙ නෑ තරහ එන්න. මේ කාරණා බොහෝ වෙලාවට ඔයාලා අත්විඳලා ඇති.
මහාහත්ථිපදෝපම සූත්‍රය අහලා ඇති හැමෝම. ඒ ගැන දන්නවා ඇති හැමෝම. මේක සැරියුත් හාමුදුරුවෝ දේශනා කරන සූත්‍රයක්. මේ සූත්රයෙදි සැරියුත් හාමුදුරුවො මෙහෙම කියනවා.
ඇවැත්නි, යම්සේ පොළොව මතුපිට හැසිරෙන්නා වූ පා සහිත වූ සතුන්ගේ යම්කිසි පාදයෝ වෙත් ද, ඒ සියලු පාදයෝ ඇත්පියෙහි ඇතුළත් වීමට පැමිණෙත්. ඇත්පිය මහත් බැවින් ඒ සියලු පාදයන් අතුරෙහි අග්‍රය යි කියනු ලැබේ. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ කුශලධර්ම කෙනෙක් වෙත් ද ඒ සියල්ල චතුරාර්යසත්යධර්මයෙහි සංග්‍රහයට යෙත්. කවර සතරෙක්හි ද යත්: දුඃඛාර්යසත්යයෙහි, දුඃඛසමුදයාර්යසත්යයෙහි, දුඃඛනිරෝධාර්යසත්යයෙහි, දුඃඛනිරොධගාමිනීප්රතිපදාර්යසත්යයෙහි ය.
මේක හැමෝටම තේරෙනවා. ධම්මචක්ක සූත්රයෙදි බුදුරජාණන්වහන්සේ මේ කාරණය වෙනස් විදියට දේශනා කරලා තියෙනවා. හැමෝම දන්නවනේ. කුශල ධර්ම වේවා අකුශල ධර්ම වේවා ඒ සියල්ලම චතුරාර්ය සත්‍යය ධර්ම සංග්‍රහයට ම යනවා.
හිතන්න කෙනෙක් ප්‍රසිද්ධියේ කාට හරි බනිනවා කියලා. අපිට තරහ යන්නෙ නෑ එක සැරේටම. හැබැයි ටිකක් අහගෙන ඉද්දි දැනෙනවා යකෝ මේකා බනින්නෙ මට නෙ කියලා. නැත්නම් මන් ප්‍රිය කරන කෙනෙක්ට නෙ කියලා. ඔය දේශපාලකයින්ට මිනිස්සු දොස් කියද්දි ඒවා අහන් ඉන්න සමහරුන්ට කේන්ති යන්නෙ එහෙමනේ. අන්න එතකොට තමයි කේන්ති යන්නෙ. ඒ ඇයි? ප්‍රධානම හේතුව තමයි මට වෙන හානිය. කායිකව වගේම වාචිකවත්, මානසිකවත් මට හානි වෙනවට මම කැමැති නෑ.
බනින දේ අල්ලගන්නෙ කොහෙන් ද? කණෙන්. බනින දේ අපිට ඇහෙනවා. ඒ ශබ්දය අපි කණෙන් මනසට අරගන්නවා. මනසෙන් මේක අඳුනගන්නෙ අපි අකමැති දෙයක් විදියට. අපි හැමෝම කැමැති ප්‍රශංසාව, කීර්තිය ලබන්න. සතුටින් ඉන්න. කාගෙන්වත් බැණුම් අහන්න කැමැති නෑ. අභිමානයෙන් ඉන්නයි කැමති. ඒ වෙනුවෙන් කොයි තරම් දේවල් අපි කරනවා ද? ඔන්න මේ බැණුම් අහද්දී ඒ අවශ්‍ය දේ නොලැබෙන එක තමයි මේ තරහ විදියට පිට වෙන්නෙ. මේ ගැන දෙයක් සැරියුත් මහරහතන්වහන්සේ මෙහෙම දේශනා කරනවා.
ඇවැත්නි, ඒ මහණහට අන්‍යයෝ ආක්‍රෝශ කෙරෙත් ද, පරිභව කෙරෙත් ද, ගටත් ද, වෙහෙසත් ද, හෙතෙම මෙසේ දනියි: ‘මට මේ ශ්‍රොත්‍රසංස්පර්‍ශයෙන් හටගත් දුඃඛවේදනාව උපන්නී ය. ඕ වනාහි හේතුවක් නිසා උපන්නී ය. හේතු රහිත ව නො උපන්නී ය. කුමක් හේතුකොට ද යත්: ස්පර්ශය හේතු කොට ය. හෙතෙමේ ස්පර්ශය අනිත්‍ය යයි දකියි. වේදනාව අනිත්‍ය යයි දකියි. සංඥාව අනිත්‍ය යයි දකියි. සංස්කාරයෝ අනිත්‍යහ යි දකියි. විඤඤාණය අනිත්‍ය යයි දකියි. ඔහුගේ සිත ධාතුසංඛ්යාත ආලම්බනයට ම බසී. ඒ අරමුණෙහි ම පහදියි. ඒ අරමුණෙහි ම සිටියි. ඒ අරමුණෙහි ම ධාතුවශයෙන් ම නිශ්චයට පැමිණෙයි.
හරිම සරලයි. මුළු සිද්ධියම සැරියුත් මහරහතන්වහන්සේ පෙන්වලා දෙනවා. මෙහෙම දැක්කම බැණුම් ඇසීම නිසා ඇති වුන තරහ කියන්නෙ කණ නිසා නැත්නම් ඇසීම නිසා හට ගත්ත දුකක් බව අඳුනගන්න පුළුවන්. අන්න එහෙම අඳුනගන්න කෙනාට තමයි බුදුරජාණන්වහන්සේ අක්කෝසක භාරද්වාජ බමුණා බනිද්දි හැසිරුනා වගේ හැසිරෙන්න පුළුවන් වෙන්නෙ.
ඉතින් මේක කරන්න බැරි දෙයක් ද? අමුතු දෙයක් ද නැත්නම් අළුත් දෙයක් ද? නෑ. පළමු සූත්‍රයේදී ම බුදුරජාණන්වහන්සේ දේශනා කරපු ධර්මය මේ. ඒක කරලා ප්‍රතිඵල ගත්ත අය එමටයි. ඒක අහලා ප්‍රතිඵල ගත්ත අය එමටයි. එතකොට මේක අදට අදාළ නැද්ද? නෑ එහෙමත් නෙමෙයි. ධර්මය සදාකාලිකයි. ඉතින් අදත් මේ ප්‍රයෝජන එදා වගේම විඳින්න පුළුවන්. හැබැයි ඒ ධර්මය අනුව හැසිරුනොත් තමයි.
අද වෙද්දී කොයිතරම් නම් අනුන්ගේ බැණුම් නිසා අපි තරහ හදා ගන්නවද? ඒ තරහා වෛරයකට පෙරලවා ගන්නවද? තරහ, වෛරය මේ හැමදේම අපිට පාර හදලා දෙන්නෙ දුක් විඳින්න. ඒ වෙලාවෙත් දුක් විඳිනවා. ඊට පස්සෙත් දුක් විඳිනවා. සමහර වෙලාවට මේ ඇති වන තරහ නිසා බැනලා නොනවතින අපි පාරක් ගහනවා. ඒ පාරේ අවසානය මරණයක් වෙන්නත් පුළුවන්. එක්කො අපේ නැත්නම් බනින කෙනාගේ. ඒ කෙනා මළොත් අපිට නීතියෙන් දඬුවම් ලැබෙනවා විතරක් නෙමෙයි තරහ නැති වුනාට පස්සෙ විඳවන්න වෙනවා. වෛරයෙන් කළත් ප්‍රතිඵලය ඕකමයි.
මෙනිසා අපි කියන්නෙ අනිත් අය අපිට බැන්නට ඒක නිකන් දුකට හේතුවක් කරගන්න එපා කියලා. ඒ වගේ වෙලාවට ධර්මයෙන් දකින්න උත්සාහ කරන්න. ඉවසීම, මෛත්‍රිය ඒ වගේ වෙලාවට හිතාමතාම භාවිතා කරන්න. කෙනෙක්ගේ බැණීම, අපේ නිවනට හේතුවක් කර ගන්න පුරුදුවෙන්න.