බුදුරදුන්ට අගෞරව කිරීම
බුදුරදුන්ට අගෞරව කිරීම
බුදුරදුන්ට අගෞරව කිරීම
linkමුස්ලිම් වරයෙකුට පහරදී බුද්ධ ප්රථිමාවකට වඳින්න බලකළ ප්‍රවෘත්තිය සම්බන්ධ මව්බිම කතුවැකිය
2012 අගෝස්තු මස 19 වැනි ඉරිදා මව්බිම කතුවැකියද ආන්දෝලනාත්මක සිද්ධියක් වන පොලිස්ථානාධිපති වරයෙක් මුස්ලිම් වරයෙක්ට පහර දී බලෙන් බුද්ධ ප්රථිමාවකට වැන්ද වීමේ සිද්ධිය ගැන සටහන් කර තිබුණි. නමුත් මෙම පුවත අප වෙනත් පුවත්පත් වල නම් නොදැක්කෙමු. කෙසේ වුවද අන්වර් මනතුංග බ්ලොග් අඩවිය විසින් මෙම සිද්ධිය ගැන වැඩිදුර විස්තර සොයමින් පවතින බවද දන්වමු. පහත දැක්වෙන්නේ මව්බිම පුවත්පතෙහි පලවු කතු වැකියයි.
මව්බිම – කතුවැකිය
2012 අගෝස්තු 19 වැනි ඉරිදා
බුදුරදුන්ට අගෞරව කිරීම
පොලිස් අත්අඩංගුවේ පසුවූ ඉස්ලාම් භාක්තිකයෙකුට අතින් පයින් පහරදී බුදු පිළිමයකට වඳින ලෙස නියෝග කළ පොලිස් ස්ථානාධිපති වරයෙකු ගැන ඊයේ (සිකුරාදා) ‘මව්බිම වාර්තා කර තිබිණි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට මියයනතුරු පහරදීමට පවා ඇතැම්විට පොලිසිය පසුබට නොවන බැවින් පොලිස් පහරදීම් ගැන කතා කිරීම වචන නාස්ති කිරීමකි.
කාරණය අනෙකකි.
පොලිස් බලය යොදා ඉස්ලාම් භාක්තිකයෙකුට බුදු පිළිමයකට වැන්දවීමය. මෙය නිසැකයෙන්ම පොලිසියට නීතියෙන් ලබාදී ඇති බලය කෙළෙසීමකි. ආගමික විශ්වාසයකට කළ බරපතල නිගරුවකි. අනෙක් පැත්තෙන් ගෞතම බුදුන් වහන්සේගේ අහිංසාවාදී සමානාත්මතා දර්ශනයට කිසිසේත්ම නොගැලපෙන්නකි. මේ නිහීන ක්‍රියාව කළ පොලිස් ලොක්කා අනිවාර්යයෙන්ම ඇදහිලිවන්තයෙකු මිස ‘බෞද්ධයෙකු’ විය නොහැකිය. ඔහුගේ නිල කුටියේ බුදු පිළිමයක් තබා ගෙන සිටීම උත්ප්රාසජනක කාරණයකි.
මිහිඳු මාහිමි මෙරටට වැඩම කෙළේ අවුරුදු 2300 කට පෙරය. එතැන් සිට මෑතක් වනතුරු බෞද්ධාගමිකයෝ වෙනත් ලබ්ධීන්ට අපහාස – උපහාස, තර්ජන – ගර්ජන, කළ බවක් අප අසා නැත. සිදුවුවද එවැනි හුදෙකලා සිදුවීමක් කිහිපයක් පමණි. එහෙත් මෑතක සිට සිංහල බෞද්ධ මුලධර්මවාදී අදහස් උදහස් හිස ඔසවමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. බෞද්ධ දර්ශනය පමණක් නොව බුදු සමයටද කිසිසේත් නෑකම් නොකියන මේ මුලධර්මවාදය පැන නැගී ඇත්තේ ජනප්‍රිය බුද්ධාගමෙනි. ජාතියත් ආගමත් එකට පටලවාගෙන සිටින මේ මුලධර්මවාදියෝ ආගම, ජාතිය සහ රට යන තුනම විපතට හෙළති.
අන්‍යාගමික ස්ථානවලට පමණක් නොව වෙනස් මත දරන්නන්ගේ බෞද්ධාගමික ස්ථානවලටද තර්ජන කරන, පහර දෙන මේ පිරිස්වල ක්‍රියාකාරකම් දිනෙන් දිනම වර්ධනය වන බවක් දක්නට තිබේ. ලෝක සත්වයාටම මෛත්‍රී කිරීමට උගන්වන අහිංසාවාදී දර්ශනයක් පදනම් කරගත් ආගමික මතධාරී පිරිසකට ආගමේ හෝ ශාසනේ නාමයෙන් ප්රකෝපකාරී වදන් තෙපලමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරිය හැකිද යන්න ප්රශ්නකාරීය. හිදෝගම පොලිස් ලොක්කාගේ ක්‍රියාව මේ ඊනියා සිංහල බෞද්ධ මුලධර්මවාදී අදහස්වලින් මෙහෙවුවක් බවට සැක නැත. බෞද්ධ වේවා, ක්‍රිස්තියානී වේවා, කතෝලික වේවා, ඉස්ලාම් වේවා, හින්දු වේවා, වෙනත් ලබ්ධියක් වේවා, මිත්‍යා දෘෂ්ටික යැයි කියා අන්‍යයන් හෙලා දැකීමට හෝ තලා දැමීමට කිසිදු අයිතියක් නැත. එය මේ සියලු ආගන්වල මුල් ඉගැන්වීම්වලට එරෙහිව යෑමකි.
මෙරට ප්රජාතන්ත්රවාදී සමාජයක් කරා රැගෙන යෑමට අද ආගමික නායකයන් ප්රමුඛ බලවේග පෙරට පැමිණෙමින් සිටී. මේ බොහෝ බලවේගවල මුහුණුවර ආගමිකය. ආගමික හෝ වාර්ගික බලවේග විසින් කිසි කලෙක ප්රජාතන්ත්රවාදී සමාජයක් නිර්මාණය කර නොදෙන බව ඉතා පැහැදිලිය.
බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්කර ඇති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම මෙරට පුරවැසියන්ට ඕනෑම ලබ්ධියක් ඇදහීමේ නිදහසද තහවුරු කරදී ඇත. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සුරැකීමට දිවුරුම් දී ඇති රජයේ නිලධාරියෙකු අතින් මෙවැනි වරදක් සිදුවන්නේ අන් කිසිවක් නිසා නොව ජාතිය, ආගම, කුලය, ප්‍රදේශවාදය, පක්ෂයට අනුව සිතන්නට පොළඹවාලන විසම්මුතිය, සංවාදය පිළිකෙව් කරන මුලධර්මවාදීන් සුලුතරයක ග්‍රහණයට ක්‍රම ක්‍රමයෙන් මේ සමාජයේ බහුතරය ගොදුරු වෙමින් සිටින නිසා යැයි අපි සිතමු.

