You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ලොව මැවුම්කරු කවුද?
බුද්ධ දේශනා තුළින් පෙනී යන්නේ ලෝක නිරිමාපක දෙවි නොඑසේ නම් ‘බ්‍රහ්ම’ යන මතවාදය හුදු සිතින් මවා ගත් සංකල්පයක් . (Delusion) ලෙස උන්වහන්සේ දැක ඇති බවයි. මේ බැව් දීඝ නිකායේ තේවිජ්ජ සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ.
“හේතූන් නිසා හට ගන්නා වූ ස්වභාවයෙන් යුතු යමක් ඇත්ද, ඒ හේතූන් නිරුද්ධ වීමෙන් ඒ හැම දෙයක්ම යළි නූපදිනා පරිදි නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුතු වේ “ යන අනිත්‍ය ලෝක යථාර්ථයෙන් කිසි දෙවියකුට, බ්‍රහ්මයකුට, මාරයකුට, මනුෂ්‍යයකුට හෝ භෞතික කිසිවකට ගැලැවිය නොහැකිය. ස්වභාව ධර්මය ක්‍රියාත්මක වන්නේ එහි ස්වාභාවික නියම (Natural laws) අනුව මිස, දේව සැලැස්මකට අනුව නොවේ.
බදුරජාණන් වහන්සේ පහළ වූයේ සත්‍ය ගවේෂීන්ගෙන් පිබිදුණු භාරතයකය. බුදුරදුන් බ්‍රහ්මජාල සූත්‍රයෙහිදී, එකල තිබූ විවිධාකාර ආගමික දර්ශනයන් රැසක් විග්රහ කරයි. බුදුරදුන් පහළ වන පුරාණ භාරතයේ තිබූ දෘෂ්ඨිවාදයන් සියල්ල මූල ගුරුකුලයන් දෙකකට බෙදිය හැකිව තිබිණි. එනම් එක් අතෙකින් ‘ඇත’ අන්තයේ විඥානවාදී (Idealist) ශාෂ්වතවාදයයි. අනෙක් අංශයෙන් “නැත” අන්තයේ භෞතිකවාදී (materialist) උච්ඡේදවාදයයි. මේ ශාස්වතවාදය මෙහිලා විස්තරාත්මකව විමසීම වැදගත්ය.
ශාශ්වතවාදය, නිත්‍ය /සුව/ආත්ම යන ත්රිලක්ෂණය මත පදනම් වුණි. “ ඉස්සර නිම්මාණවාදය “ නැතිනම් ලෝකය පූර්වයේදී දෙවියෙකු විසින් නිර්මාණය කෙරුණි. යන ‘මැවුම්වාදය’ එහි පදනම වීය. අනෙක් අතින් නිත්‍ය වූ, නැවත නැවත උපදින්නා වූ එනම් පුනරුත්පත්තිය ලබන්නා වූ, ආත්මයක පැවැත්ම මෙහිලා අවධාරණය කෙරුණි.
මෙය හින්දු “භගවත් ගීතාව “ තුළ මනාව විවරණය වේ. මහාභාරත මහා කාව්‍යය තුළදී හස්තිනාපුරයේ දුරියෝධන ප්රමුඛ මහා කෞරව සේනාවට එදිරිව යුද වැදීමට සිය සේනාව විහිදුවා , පංච පාණ්ඩවයන්ගේ සේනාධිපති අර්ජුන යුද පිටියට පිවිසේ.
හේ දකින්නේ භීෂ්ම ,ද්‍රෝණ ආදී සිය ගුරුවරුන්, ලේ ඤාතීන් විශාල පිරිසක් තමන්ට එරෙහිව යුද්ධයට පිවිස ඇති බවයි. මෙයින් කම්පාවට පත්ව යුද්ධයට යෑම ප්‍රතික්ෂේප කරන අර්ජුන, යුද්ධයට පොළඹවන්නේ විෂ්ණුගේ පුනරාවතාරයක් යැයි කියැවෙන, පාණ්ඩවයන්ගේ පස ගෙන සිටින කෘෂ්ණය. දෙවියන්, සියලු ශරීරයන් තුළ නොනැසිය හැකි ස්ථිර ආත්මයන් මවා ඇති හෙයින්, මිය යන්නේ හුදු ශරීර පමණක් බවත් එහෙයින් ධර්ම යුද්ධයේදී, සිය යුතුකම ඉටු කරමින් සතුරන් සමූල ඝාතනය කිරීමට නොපැකිළිය යුතු බවටත් හේ උපදෙස් දෙයි.
ශාශ්වතවාදී වෛදික දේව දර්ශනය තුළම පුබ්බේකත හේතුවාදය නැතිනම් , පෙර කරන ලද පින්, පව්, අනුව හෝ දේව කැමැත්ත /දේව සැලැස්ම (Intelligent design ) අනුව සැකැසෙන, වෙනස් කළ නොහැකි දෛවයක් (Desting) පිළිබඳවද කියැවුණි. එහෙයින් විමුක්තිය උදෙසා, යාග කිරීම හා යෝගී ධ්‍යාන වැඩීම ආදිය තුළින් දෙවියන් හා එක්වීම සිදුකළ යුතු බැව් කියැවුණි. මෙහිලා අත්තකිලමතානුයෝගයෙන් එනම් කයට දැඩි දුක් දීමෙන් පව් දිරවා විමුක්තිය සාක්ෂාත් කළ හැකියි විශ්වාසයෙන්, අජවෘත, ගෝවෘත, සුනඛ වෘත (එළුවන්, ගවයන්, බල්ලන්, මෙන් ජීවත්වීම ) ආදී වැරැදි සීලව්රත සමාදන්වීම දැකිය හැකි වීය.
අනෙක් අතින් ශාෂ්වතවාදයට එරෙහිව, උච්ඡේදවාදී, භෞතිකවාදී අජිතකේසකම්බල වැනි අය, කර්මය, පුනරුත්පත්තිය ප්‍රතික්ෂේප කරමින්, කා,බී, ගයා , වයා, නටා, මෛථූන්‍යයෙහි යෙදී පී‍්‍රතියෙන් කල් ගෙවිය යුතු යැයි කාමසුඛල්ලිකානුයෝගය වර්ණනා කළහ. ඔවුන් පැවසුවේ ලෝකය යනු මේ භෞතිකයම බවත්, ඉන් එහා කිසිත් නැති බවත්ය.
කෙසේ වුවද අනිත්‍ය , දුක්ඛ , අනාත්ම , ත්රිලක්ෂණය මතු කරමින්, යථාර්ථවාදීව , තථාගත බුදුරජාණන් වහන්සේ සිය ආර්ය න්‍යාය පටිච්චසමුප්පාදය, නැතිනම් හේතු ඵල දහම මත පදනම්ව මේ දෘෂ්ඨි අන්තයන් දෙකම බැහැර කරයි. උන් වහන්සේ “කර්මය “ නියාම ධර්ම පහෙන් එකක් පමණක් බැව් පෙන්වා දෙමින් “දෛවය” ප්රතික්ෂ්ප කරයි. එමෙන්ම බුද්ධ දේශිත පුනර්භවය වනාහි පුනරුත්පත්තියෙන් හාත්පසින් වෙනස් වූවකි. උන් වහන්සේ මජ්ජිම නිකායේ, සාල්‍යෙයක සූත්‍රයේදී, දස අකුසල් විග්රහ කරමින් උච්ඡේදවාදී, භෞතිකවාදී මිථ්යාදෘෂ්ඨිය සිතින් වන එක් අකුසලයක් බැව් අවධාරණය කරයි. තවද බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ මේ ශාෂ්වතවාදී අත්තකිලමතානුයෝගය උච්ඡේදවාදී කාමසුඛල්ලිකානුයෝගය යනාදී අන්තවාදී ප්‍රතිපදා වලින් බැහැරව මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැදගත් කොට ඉස්මතු කරමිනි. ධම්මචක්කප්පවත්තන බුදුරදුන්ගේ මුල් සූත්‍ර දේශනාවෙන්ම මේ බැව් පෙනේ. මේ අනුව තථාගත ශ්‍රී සද්ධර්මය තුළ ඉස්සරනිම්මාණවාදය නොඑසේ නම්, දේවනිර්මාණවාදය ප්‍රතික්ෂේප වූ අන්දමද විමසා බැලීම වැදගත්ය.
බුද්ධ දේශනා තුළින් පෙනී යන්නේ ලෝක නිරිමාපක දෙවි නොඑසේ නම් ‘බ්‍රහ්ම’ යන මතවාදය හුදු සිතින් මවා ගත් සංකල්පයක් . (Delusion) ලෙස උන්වහන්සේ දැක ඇති බවයි. මේ බැව් දීඝ නිකායේ තේවිජ්ජ සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. බුද්ධකාලයේ බමුණන් තම සමාජ තත්වය ආරක්ෂා කරගැනීමට මේ මතවාද ප්‍රචලිත කළහ.
බුද්ධ කාලීන භාරතයේ කුලභේදය සාධාරණීකරණය කෙරුණේද මේ ‘බ්‍රහ්ම’ සංකල්පය තුළිනි. ලෝකය නිර්මාණය කළ මහා බ්‍රහ්මයාගේ කටින් බ්‍රාහ්මණයන්ද, බාහුවලින් ක්ෂෙත්රීයයන්ද, කලවා වලින් වෛශ්‍යයන්ද, යටිපතුල්වලින් ක්ෂුද්රයන්ද මවා ඇති බැව් වෛදික බ්‍රාහ්මණයෝ දක්වා සිටියහ. මේ අනුව එක් එක් කුල වලට වෙන වෙනම කාර්යයන් නියම වූ අතර, පහත් කුලයේ ක්‍ෂුද්‍රයන්ට සමාජයේ ඉතාම පහත් තැනක් හිමි විය. බුදුරදුන් මේ තත්වය විවේචනය කරමින් දක්වාලූයේ බ්‍රහ්මයා බ්රාහ්මයණයන් තම කටින් මවා ඇත්නම්, මහා බ්‍රහ්මයාගේ කට ස්ත්‍රීන්, දරුවන් වදනා තැනට සමාන බවයි.
මිනිසෙකුගේ උසස් පහත් බව උපතින් නොව ක්‍රියාවෙන්ම තීරණය වන බව දක්වාලූ බුදුරදුන් මහා සමාජ පෙරළියක් කරමින් කසලශෝධක පහත් කුලයේ සුනීතලා,සෝපාකලා උතුම් වූ ආර්ය ශාසනයේ පැවිදි කළහ.
වෙනත් ආගම්වල මේ සර්ව බලධාරී දෙවි අමරණීය, සර්වව්‍යාපී, සදාකාලික වාස්තවික, යථාර්ථයක් වන අයෙකු ලෙස විග්රහ කෙරෙන නමුදු, බුදු දහම විග්රහ කරන්නේ ලොව ඇති භෞතික සියල්ල සංස්කාරයන් නොඑසේ නම් හේතූන් නිසා හටගත් සංඛත ධර්ම බවයි. එහෙයින්, “හේතූන් නිසා හට ගන්නා වූ ස්වභාවයෙන් යුතු යමක් ඇත්ද, ඒ හේතූන් නිරුද්ධ වීමෙන් ඒ හැම දෙයක්ම යළි නූපදිනා පරිදි නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුතු වේ “ යන අනිත්‍ය ලෝක යථාර්ථයෙන් කිසි දෙවියකුට, බ්‍රහ්මයකුට, මාරයකුට, මනුෂ්‍යයකුට හෝ භෞතික කිසිවකට ගැලැවිය නොහැකිය.
ස්වභාව ධර්මය ක්‍රියාත්මක වන්නේ එහි ස්වාභාවික නියම (Natural laws) අනුව මිස, දේව සැලැස්මකට අනුව නොවේ. සරළ උදාහරණයක් ලෙස ජල චක්‍රය දැක්විය හැකිය. ජලය උෂ්ණත්වය නිසා වාෂ්ප බවට පත්ව, වළාකුළු බවට පෙරැළී කන්දක හැපී , වර්ෂාව ලෙස පතිතව , ජල උල්පත් හරහා ගංගා ආදිය ඔස්සේ මහමුහුදට ගලා යෑම සහ නැවත වාෂ්පවීමේ ස්වාභාවික ක්‍රියාවලිය දේව බලය මත, දේව කැමැත්තට අනුව ක්‍රියාත්මක වන්නක් ලෙස යමෙකු සිතතොත් එය ඔහුගේ අවිද්‍යා සහගත මෝඩ සිතිවිල්ලකි. ස්වාභාවික ක්‍රියාවලීන්හි පැවැත්ම ගැන මිස, ආරම්භය ගැන කථාකිරීම නිශ්ඵල කාරණයකි.
උදාහරණයක් ලෙස අවකාශයට ආරම්භයක් ඇතැයි යමෙකු කිවහොත්, අවකාශයේ ආරම්භයට පෙර තිබුණේ කුමක්දැයි යන ගැටළුව මතු වේ.
මෙපරිද්දෙන්ම “දෙවියන් ලෝකය මැව්වේ නම්, දෙවියන් මවාලූයේ කවුරුන්ද? ‘ යන ප්රශ්නය මතු වේ. එමෙන්ම දෙවියන් සිටින්නේ යැයි අප දැන ගන්නේ කෙසේද ? “ යන්නද ඉතා වැදගත් ප්රශ්නයකි. කාලාම සූත්‍රයේදී බුදුරදුන් වදාළ පරිද්දෙන්ම ආගමික ග්‍රන්ථවල ලියැවී තිබූ පමණින් ඒවා අන්ධ විශ්වාසයෙන් යුතුව පිළිගත යුතු නැත.
මෙබඳු ප්‍රශ්නවලට අන්‍යාගමිකයන් පෙරළා පිළිතුරු දෙන්නේ බෞදධයන්ද තිස්තුන් කෝටියක් දෙවිවරු අදහන බව පවසමිනි. බෞද්ධයන් දෙවිවරු අදහන්නේ ශාස්තෘත්වයේ තබා නොවේ. එමෙන්ම දෙවියන් ලොව නිර්මාණය කළා යැයි සලකාද නොවේ. බුදුදහම එක දෙව්ලොවක් නොව, දිව්‍යලෝක හයක් පිළිබඳව විග්රහ කරයි. කුසල් වඩන, ශ්‍රද්ධා සීල (ධර්ම ඤාණය) සුති , ත්‍යාග , ප්‍රඥා , සේඛබල දියුණු කරන ඇත්තන්ට නිසැකවම දෙව්ලොව ඉපදිය හැකිය. එනමුදු සියලු දෙවිවරු, මෙන්ම බ්‍රහ්ම,මාර, ආදීන්ද අනිත්‍ය /දුක්ඛ /අනාත්ම ත්රිලක්ෂණයට යටත්ය. දිව්‍ය සැප, පින් ඇති තෙක් පමණි.
සමහර අන්‍යාගමිකයෝ “දෙවියන් වහන්සේ යනු ස්වභාව ධර්මය “ යනුවෙන් අමුතු අර්ථ නිරූපණ දෙති. එනමුත් එබඳු කථා ඔවුන්ගේ ආගමික ග්රන්ථවලින් පැහැදිලි කරගත නොහැකිය. තවත් ඇතැම්හු තමන් දෙවියන් වහන්සේ අත්දකින බැව් පවසති. මෙය නම් භයානකය. එය භින්තෝන්වාදී මානසික රෝගයක් වීමට ද ඉඩ තිබේ. “නොදැක දෙවියන් විශ්වාස කරන්නාවුන් භාග්‍යවන්තයන් “ බව ඇතැම් ආගමික ග්‍රන්ථවල සඳහන් වුවද, නොදැක විශ්වාස කරන්නවුන් වනාහි මෝඩ අන්ධභක්තිකයන් පමණක් බැව් නොකියා බැරිය. රේරුකානේ චන්දවිමල මහනාහිමියෝ සිය “ධර්ම විනිශ්චය “ කෘතියේ මෙසේ දක්වාලති .
“යම්කිසිවකු විසින් ලෝකයත් සත්ත්වයාත් මුලින් මවන ලද්දේ ය” යනු පිළිගත හැකි ද?
“දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේ ය” යන මතය ලෝකයේත් සත්ත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට, එය නො දැක වෙහෙසට පත් ඇතැමුන් විසින් කරන්නට දෙයක් නැතිකමින් අන්තිමට ඇති කර හැඟීමක් මිස සත්‍යයක් නො වේ. සාදන වඩුවකු නැතිව ඉබේ ම පුටුවක් ඇති නො විය හැකිවාක් මෙන්, මේ ලෝකයේ සත්ත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇතිවිය නො හැකි ය යි ඔවුහු ගත්හ. ඒ න්‍යායෙහි පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔවුහු දෘශ්‍යමාන නිර්මාපකයකු නො දැක, අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයකු ඔවුන් ගේ සිතින් මවා ගත්හ. ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නො සිතූහ.
පුටුව පිළිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නො සිතූ®හ. ඒ ගැනත් සිතුවා නම්, පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියකු සිටිය යුතුබවත්, ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්, දේව පරම්පරාවේ මුල නො දැකිය හැකි බවත් පෙනී ඒ වාදය බිඳී යනවා ඇත. තවත් ක්‍රම කීපයකිනුත් නිර්මාණවාදය ඇති වූ බව බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.
යලිත් විජේසුරේන්ද්‍ර
උපුටාගැනීම :-
( බුදුසරණ අන්තර්ජාල කලාපය )
අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan
අපි හොඳ නම් දෙවියොත් අපි ළඟ
එක පාරට දෙවියෝ ප්‍රතික්ෂේප කරන්න ගියොත් සමාජයේ හරි අඩක් විනාශ වෙනවා. ඒ නිසා පන්සලේ දේවාල තිබීම එතරම් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් දෙවියන්ට හා බුදුරදුන්ට අවබෝධයෙන් යුතුව ගෞරව පුද පූජා පැවැත්වීම කළ යුතුයි. සූර්යෝද්ගමන සූත්‍රය,අංගුත්තර නිකායේ චුලනිකා සප්ත සූත්‍රය, දීඝ නිකායේ විමාන වත්ථුපකරණය ආදි බොහෝ තැන්වල දෙවියන් පිළිබඳ සඳහන් වෙනවා. දෙවියන් අදහන්න ඕන තුන්දොර සංවර කර ගැනීමෙන් හා ප්‍රතිපත්තිගරුක වීමෙන්, එතකොට පෝළිම් ගාණේ දෙවියෝ ළඟට යන්න ඕනේ නෑ. දෙවියෝ අපි ළඟට එනවා.
ස්වාමීන් වහන්ස, දෙවියන් පිළිබඳ හැඳීන්වීමකින් මේ සාකච්ඡාව ආරම්භ කරමු
දෙවියන් පිළිබඳ බුදු දහමෙහි බොහෝ තොරතුරු හමුවෙනවා. බුදුරජාණන් වහන්සේ හමුවට නිරතුරුව දෙවිවරු පැමිණ තමන්ට ඇති වූ ගැටලු සාකච්ඡා කර තිබෙනවා. බුදුන් වහන්සේ හා දෙවියන් අතර පැවැති සාකච්ඡා සංයුක්ත නිකායේ, දේවතා සංයුක්තයේ සඳහන් වෙනවා. දෙවියන්ගේ ස්වරූපය පිළිබඳ ධජග්ග සූත්‍රයේ වැදගත් සඳහනක් දක්නට ලැබෙනවා.
බුදු දහමෙහි දෙවියන් පිළිබඳ කොටස් 3 ක් දක්වා තිබෙනවා. විශුද්ධි දේව, උත්පත්ති දේව, සම්මුති දේව, එම කොටස් තුනයි. ඒ අනුව විශුද්ධ දේව කියන්නේ රහතන් වහන්සේලාට. උත්පත්ති දේව කියන්නේ දිව්‍යලෝක වලට අයත් දෙවිවරුන්ට. සම්මුති දේව යනු රාජ්‍ය පාලකයන්ටයි.
“සක්කෝ භික්ඛවේ දේවානම්න්දෝ අවිතරාගෝ අවිතදෝසෝ අවිතමෝහෝ, භිරුච්ජම්හි උත්රාසි ලොධිති “
යනුවෙන් සඳහන් කරන්නේ “ මුළු දෙව්ලොවට ම අධිපති වූ ශක්‍ර දේවේන්ද්‍රයා දුරු නොකළ රාග, ද්වේෂ , මෝහ ඇත්තෙකි. බියවන සුළුය, තැතිගන්නා සුළුය. “
දෙවියන් ලෙස උපත ලබන්නේ දානමානාදී පින්කම් මැනවින් සිදුකළ හොඳින් සිල් රක්ෂා කරන අයයි. ඒ වගේම දෙවියන් යනු කුසලය අගයන ගුණවතුන්ට කැමැති, එවැනි අය ආරක්ෂා කරන අයයි.
ලාභ - ප්‍රයෝජන අපේක්ෂාවෙන් දෙවියන් සොයා දේවාල වෙත යන පිරිස අති විශාලයි නේද?
බුදුන් වහන්සේගේ මාර්ගය බොහෝ ගිහියන්ට අද අමතක වෙලා. මේ නිසා තමයි බුදු ගේ අඳුරේ තබා දේවාලේ පහන් දල්වන්නේ. දේවාල කොයිතරම් ලස්සනට තියාගෙන ඉන්නවද? බල්බ් දාලා, සැරසිලි කරලා, තුන්වේලටම සුවඳ දුම් අල්ලනවා. නමුත් මේ සැලකිලි බුදු ගෙට තියෙනවද? දවස් ගණන් පරවෙච්ච මල් ආසනේ උඩ. කලබලේට බුදුන් වඳීන්න එන අය පරමල් ටික එහාට මෙහාට කරලා මල් තියලා දුවනවා.
හැම දෙයක්ම ක්ෂණිකව අපේක්ෂා කරන කාලයක් නේ. මේ යුගයේදී දෙවියන්ගෙන් පවා ක්ෂණික ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. ඉස්සර බෝධි පූජාව කළේ බුදුන් වහන්සේට කරන පූජාවක් හැටියට. අද බෝධිය වටේ ගිහින් ඉල්ලන්නේ මොනවාද? අනේ දෙවියනේ ඉඩම විකුණලා දෙන්න. විභාගේ පාස් කරලා දෙන්න, පරස්ථාව කරලා දෙන්න කියලා. තමන්ට යහපත් ප්‍රාර්ථනා කරමින් අනුන්ට වින පතනවා. මේවා දකින දෙවියොත් විමතියට පත් වෙනවා.
ස්වාමීන් වහන්ස, අද බොහෝ බෞද්ධයෝ බුද්ධ වන්දනාව පසෙක දාලා දේව වන්දනාවට මුල් තැනක් ලැබී තිබෙනවා?
ඔව්. ගෙදරක වුණත් බුද්ධ රූපය වටේට ම දේව රූප එල්ලලා. ඉස්සර නම් කිරිවෙහෙර වැඳලා කතරගම දෙවියන්ට පින් දෙනවා. දැන් වෙන්නේ ඒකේ අනිත් පැත්ත. කිරිවෙහෙරට යන්නෙවත් නෑ. දේවාලේට ගිහින් බාරහාර ඔප්පු කර එනවා.
සමහර පන්සල් වල දේවාල හදලා පුද පූජා පවත්වන්න බැතිමතුන්ට ඉඩ සලස්වා තිබෙනවා. විෂ්ණු, නාථ වැනි දෙවිවරු බුදු දහමේ එන බෝධිසත්ව සංකල්පය හා බැඳුණු දෙවිවරු, බුද්ධත්වය ප්‍රාර්ථනා කරන දෙවිවරු ලෙසයි සමාජය පිළිගන්නේ. එම නිසා එම දෙවිවරු සමග වෙනත් දෙවිවරුන් පූජනීයත්වයට පත්වෙලා. අපේ ඉතිහාසයේ වීරවරයන් ලෙස මිය ගිය අය නැවත කුමාර බණ්ඩාර , කඩවර , මින්නේරි ලෙස ඉපදී තිබෙන බවට සමාජය පිළිගන්නවා.
අපේ සංස්කෘතිය තුළ දෙවියන් වෙනුවෙන් විශාල ඉඩක් වෙන් වී තිබෙනවා. එක පාරට දෙවියෝ ප්‍රතික්ෂේප කරන්න ගියොත් සමාජයේ හරි අඩක් විනාශ වෙනවා.
ඒ නිසා පන්සලේ දේවාල තිබීම එතරම් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් දෙවියන්ට හා බුදුරදුන්ට අවබෝධයෙන් යුතුව ගෞරව පුද පූජා පැවැත්වීම කළ යුතුයි.
අපේ රටේ මැතිවරණ කාලෙට, විභාග පැවැත්වෙන කාලෙට , දෙවියන්ට කනක් ඇහෙන්න නෑ නේද?
යේ ගහට්ඨා පුඤ්ඤතරා-
සීලවන්තෝ උපාසකා
ධම්මේන ධාරං යෝ සෙන්ති -
තෙ නමස්සාමි මාතලී
දැන් ඉන්න ගිහියන් නිසා දෙවියන්ට ඇහැක් කනක් පියාගන්නවත් වෙලාවක් නෑ. ඡන්ද කාලේට අර ඇමැතිකම ලැබෙන්නයි, මේ ඇමැතිකම ලැබෙන්නයි කියලා ඉල්ලනවා.
විභාගෙට පාඩම් නොකර දෙවියෙක් ළඟට ඇවිත් ‘ඒ’ දොළහක්, ‘ඒ’ දහයක් ඉල්ලනවා. කොටින්ම හොඳ ඉස්කෝලයක් පවා තෝරගන්නේ දෙවියන්ට කියලා.
දෙවියන් ගැන සඳහන් වන තැන් මොනවාද? දෙවියන් ඇදහිය යුතු පිළිවෙත කුමක්ද?
දෙවියන් හා දිව්‍ය ලෝක පිළිබඳ බුද්ධ චරිතයේ පස්මහ බැලුම් බැලූ අවස්ථාවේ සිට පරිනිර්වාණය දක්වා සඳහන් වෙනවා. බුදුදහමේ දිව්‍ය ලෝක හයක්, බ්‍රහ්ම ලෝක විසි ගණනක් ඇති බව සඳහන් වෙනවා.
සූර්යෝද්ගමන සූත්‍රය, අංගුත්තර නිකායේ චුලනිකා සප්ත සූත්‍රය, දීඝ නිකායේ විමාන වත්ථුපකරණය ආදි බොහෝ තැන්වල දෙවියන් පිළිබඳ සඳහන් වෙනවා.
දෙවියන් අදහන්න ඕන තුන්දොර සංවර කර ගැනීමෙන් හා ප්‍රතිපත්තිගරුක වීමෙන්, එතකොට පෝළිම් ගාණේ දෙවියෝ ළඟට යන්න ඕනේ නෑ. දෙවියෝ අපි ළඟට එනවා.
වෑගල ඤාණවිමල හිමි
උපුටාගැනීම :-
( බුදුසරණ අන්තර්ජාල කලාපය )
අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan
‘විශ්ව ශක්තිය’ බුදු දහමට එකඟ ද?
ප්‍රමාණාත්මකව ලෝක ධාතුව අචින්ත්‍ය වන්නා සේම එහි හැසිරීම හෙවත් ක්‍රියාකාරී ස්වභාවයද අචින්ත්‍ය වෙයි. ලෝක ධාතුවේ ශක්ති සමවායෙන් හටගන්නා භෞතික වස්තු සීමිත සංඛ්‍යාවක් ඓන්ද්‍රිය වශයෙන්
අපට ගෝචර කරගත හැකි වන අතර, ශක්තීන්ගේ සීමිත ප්‍රමාණයක් හා ඒවායේ ක්‍රියාකාරී ස්වභාවය, ඒ අනුව නිරීක්ෂණය කළ හැකි වෙයි. ඒ සියල්ල පිළිබඳ නිරවශේෂ, පිරිසිඳ අවබෝධය, සම්මා සම්බුද්ධත්වය යි.
විශ්ව ශක්තිය, නව යුගයේ බොහෝ උගතුන්ගේ සංවාදශීලි සාකච්ඡාවලට විෂය වූ මාතෘකාවකි. නවීන විද්‍යාත්මක පසුබිම සහ ආගමික පසු බිම යන දෙක මත සිට මේ ගැන පුළුල් ලෙස විග්රහ කෙරේ. විශ්වය යනු Universe යන ඉංගී්රසි වචනය සඳහා ද ශක්තිය යනු energy යන ඉංගී්රසි වචනය සඳහාද පාරිභාෂිතව යෙදී ඇති වචන දෙකකි. ඒ අනුව Universal energy යනු විශ්ව ශක්තිය වෙයි .University යන්නට විශ්වවිද්‍යාලය යනුවෙන් මිශ්‍ර සිංහලයෙහි යෙදී ඇත. වාචික ව්‍යවහාර කෙටියෙන් එසේ ය.
අප ජීවත්වන පෘථිවිය අයත් වන සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රස්ථානය සුර්යයා ය. අපට සූර්යයා අධිපති වුව ද, එයද ක්ෂීර පථය නම් මන්දාකිණියේ පුංචිම පුංචි සාමාජිකයෙකි. සඳ නැති පැහැදිලි රැයෙක දකුණු දිශාවෙන් උතුරු දිශාවට විහිදෙන පු්රළුන් රොදක් වැනි වළා පටලටයක ස්වරූපයෙන් අපේ පියවි ඇසට මෙම ක්ෂීර පථය දැක ගත හැකිය. එය සමන්විත වී ඇත්තේ අපේ සූර්යයා වැනි වූ සූර්යයන් අප්‍රමාණ සංඛ්‍යාවකිනි. මෙවැනි මන්දාකිණි අනන්ත සංඛ්‍යාවක් අවකාශයෙහි ඇත්තේ ය. ඒවා කිහිපයක් නූතන විදු ඇසට ගෝචර වී ඇති නමුත් සමස්තය කවරදාකවත් නිරීක්ෂණය කළ නොහැකි ය. දියුණුම උපකරණයකින් තබා, සිතෙන්වත් මෙපමණ යැයි සිතා ගත නොහැකි හෙවත් අචින්ත්‍ය වූ ඒ සමස්තයට හා ඒ සමස්තය පවතින්නා වූ අවකාශයට විශ්වය යැයි අපි කියමු. ඒ අනුව අපට විශ්වය යන වචනය ඇසෙන විටම ද්‍රව්‍යමය ස්වභාවයක් ගන්නා අනන්තයක් පිළිබඳ චිත්ත රූපයක් නිතැතින්ම මැවෙයි.
ඊළඟට, ශක්තිය යනු කුමක්දැ’යි විමසිය යුතුවෙයි. එසේ විමසන විට , එය කෙසේ නම් විස්තර කළ හැකි ද යන ගැටලුවක් මතු වෙයි. ශක්තිය යනු විශ්වයෙහි ම පවතින, එහෙත් විශ්වයෙන් අන්‍ය වූ ස්වභාවයක්ද නැතහොත් විශ්වයම ශක්තිය වේද එසේත් නැති නම් ශක්තියම විශ්වය වේද යන උපකල්පන අප සතු ඥාන මට්ටම්වල සිට විමසා බැලිය හැකි ය. නවීන විද්‍යාවට අනුව ශක්තිය යනු කාර්ය කිරීමේ හැකියාව ලෙස දැක්වෙයි. එහි එන ශක්ති සංස්ථිති නියමයට (Law of Conservation of Energy) අනුව, කිසිම ශක්තියක් අලුතෙන් උපදින්නේ හෝ තිබෙන ශක්තියක් නැති වන්නේ හෝ නොවේ. සිදුවන්නේ, එක් ශක්ති විශේෂයක් තවත් ශක්ති විශේෂයකට පරිණාමය වීම (transformation) වීම පමණකි. මසැසට ගෝචර නොවන සියුම් පරමාණුවක න්‍යෂ්ටිය බිඳීමේ දී මුක්ත වන ශක්තිය, අති විශාල භූ®මි භාගයක් දවාලන්නට සමත් වෙයි. කාය ශක්තිය, චින්ත ශක්තිය මෙන් ම කර්ම, ආකර්ෂණ, තාප, විද්‍යුත් , ආලෝක, චාලක ඥාන ඈ බොහෝ ශක්ති ස්වරූප ගැන ව්‍යවහාරයෙහි එයි. ‘ශක්තිය’ යනු යෙදුම නොමැතිව, ද්‍රව්‍යමය මෙන්ම අද්‍රව්‍යමය දේවල ක්‍රියාකාරී ස්වභාව විස්තර කළ නොහැකි බව පෙනෙයි. මේ අනුව සත්‍ය වශයෙන්ම ඇති නමුත් ඇති බව නොපෙනෙන , පරමාර්ථ ධර්ම ලක්ෂණ ගන්නා වූ ද, ඵලය මගින් ම එහි පැවැත්ම ප්‍රකට කැරෙන්නා වූ ද ක්‍රියා සාධකයක් ලෙස, ශක්තිය හැඳින්විය හැකි ය.
ස්වකීය මනස ම විද්‍යාගාරය කරගෙන සර්වඥතා ඥානය උපදවා ගත් බුදුරජාණන් වහන්සේ මෙකී විශ්වය සහ ශක්තිය පිළිබඳ කර ඇති පැහැදිලි කිරීම, විශ්මය ජනක ය. විදු ඇස ඉක්මවා ගිය බුදු ඇසින් මේ ධර්මතා පිරිසිඳ දුටු උන්වහන්සේ එය ලෝක විෂය ලෙස ද, අවකාශ ලෝකය ලෙස ද හඳුන්වා ඇති බව, දහමෙහි දැක්වෙයි. ලෝක විදූ ගුණයේ ඇති මහත්වය එය යි. ලෝක විෂයය, අචින්ත්‍ය ය. විශ්වය හා ශක්ති පිළිබඳ පරිසමාප්ත විස්තරයක් කිරීමට කිසිවකුටත් නොහැකි ය. ඍද්ධි බලයෙන් අග තැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ, වරක් මේ ලෝක ධාතුවෙහි කෙළවර සොයා යෑමට ගත් උත්සාහයේ දී එහි නිශ්ඵලභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.
අද විද්‍යාවෙන් විස්තර කැරෙන මන්දාකිණියක් යනු බුදුදහමේ විස්තර කැරෙන. ලෝක ධාතුවක් යන්නට තුල්‍ය බව පිළිගැනෙයි.
සහස්ර ලෝක ධාතුව ශත සහස්ර ලෝක ධාතුව ආදී වශයෙන් බුදු ඇසින් දුටු ලෝක ධාතු යනු, අද අප කථා කරන විශ්වයයි. සදෙව් ලොව සහ බඹ ලොව අපේ සූර්යයාම කේන්ද්‍ර කරගත් ලෝක බව සූත්‍රාන්ත දේශනාවන්හි දැක්වෙයි. ඒ අනුව, ද්‍රව්‍යමය ලෝක හැරුණුකොට භෞතිකයට හසු නොවන අදිසි අද්‍රව්‍යමය ලෝකද අනන්ත වූ ලෝක ධාතුවට (විශ්වයට) අයත් බව, බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයට විෂය විය. විශ්වය පිළිබඳ උන් වහන්සේගේ දැනුම් පරාසය, විදු ඇස ඉක්මවා යයි.
ශක්තිය පිළිබඳ බුදු දහමෙහි විස්තර කැරෙන සත්‍යය දැනුම පිළිබඳ සීමා ඉක්ම වූ අවබෝධය සමග ප්‍රතිබද්ධ වූවකි. භෞතිකය තුළ විස්තර කැරෙන සියලු ශක්ති ප්‍රභව බුදු දහමෙහි “ රූප ධාතු” නම් ධර්මතාවට ගොනු වෙයි. සියලු සත්ත්ව ශරීර, රූප ධාතු වෙත්. ගස්, ගල්,ජලය , ආලෝකය , ශබ්දය ආදී පරිබාහිර සියලු දේ ද රූප ධාතු වෙත්. සිත සහ සිත සමගම ‘ඒකුප්පාද ‘ ‘ඒකනිරෝධ ‘ වන චෛතසික සියල්ල ‘නාම ධර්ම’ ලෙස හැඳින්වෙයි. ඒ අනුව භෞතික හා අභෞතික සියල්ල නාම රූප වලට සංගෘහිතය. සමස්ත ලෝක ධාතුව (විශ්වය) නාම රූප, අවකාශ යන ත්‍රිත්වයට ඇතුළත් ය. මෙහි අවකාශය හෙවත් ආකාශ ධාතුව ද, අභිධර්මයට අනුව රූප ධාතුවටම ඇතුළත් ය.
මුලින් සඳහන් කළ ‘විශ්වය යනු ශක්තිය ද නැතහොත් ශක්තිය යනු විශ්වය ද ‘ යන කාරණය විමසමු. බුදු දහමෙයි මේ ගැන ප්‍රමාණවත් පැහැදිලි පිළිතුරක් ඇත. මේ කාරණය සාකච්ඡා කිරීම සඳහා බුදු දහමෙන් නිර්දේශිත සත්‍ය සිද්ධාන්ත තුනක් පදනම් කර ගත හැකි ය.
1. සියලු රූප ධාතු, ශක්ති හතරක සමවායකි. නැතහොත් ඒවායේ ව්‍යුත්පන්න (derivatives) වෙත්
2.සියලු නාම ධර්මයෝ පංචේන්ද්‍රිය විෂයෙහි ගෝචර නොවෙත්
3. හේතූ®න් නිසා හටගත් නාම රූප සියල්ල (සංඛත) අනිත්‍ය වෙත්
සියලුම රූප ධාතුවල මූලෝත්පාදනය පරමාර්ථ වශයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහා භූතරූප සතර වෙත්. පරම යන්නෙන් උසස් උපරිම යන අදහසත් පරමාර්ථ ධර්ම යන්නෙන් ඉන් එහාට බෙදා දැක්විය නොහැකි යන අදහසත් දක්වයි. පරම සතුරා යනුවෙන් ප්‍රකාශ කැරෙන්නේ ඊට එහා සතුරකු නැති බව යි. ඒ අනුව, පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනු, රූප ධාතුවක අවසාන සංයුති යයි. පරම ස්වරූපයයි.
ජලය මතට අයිස් කැටයක් දැමූ විට එය පාවෙමින් පවතින බවත්, ජලය වෙනමත් අයිස් කැටය වෙනමත් තිබෙන බවත් අපට පෙනේ. නමුත් ඒ දෙකම ජලය බව අපට ප්රත්යක්ෂ ය. ජලයේ පඨවි ගුණය වැඩි වූ නිසා අයිස් කැටය නිර්මාණය විය. එහි කිසි දේව හාස්කමක් නැත ජලය සහ අයිස් කැටය යනු අප සංඥා සම්මුතියෙන් යොදාගත් නම් දෙකකි.මේ ආකාරයෙන් විවිධ ස්වරූප අපට තේරුම් ගත හැකිය. මෙකී සිව් මහ ධාතු පංචේන්ද්‍රිය වලට ගෝචර නොවෙත්, ඒවා තේරුම් ගැනීම සදහා ගුණ ලෙස හෝ ශක්ති ලෙස හදුන්වනු ලැබෙත්. මේ සියලු මූල ධාතු ඉහත තෙවැනි සිද්ධාන්තයෙන් දැක්වෙන ලක්ෂණ ගනිත්. එනම් ක්ෂණයක් පාසා පෙරළෙයි. වෙනස් වෙයි. පරිණාමයට ලක් වෙයි. තවද එකී ශක්ති හතර සැමවිටම සමවාය පැවැත්මක් ගනී. වෙන්ව පවතින එකක්වත් නැත. ඉහත දෙවනුව දක්වන ලද නාම ධර්මයෝ ස්වභාවයෙන් ම අද්‍රව්‍ය වූ ශක්ති ස්වරූපයෝම වෙත්. ඒවාද අනිත්‍ය ලක්ෂණයට යටත්ය. මේ අනුව විශ්ව ශක්තිය යනුවෙන් කිසිවක් නැතැයි සමහර දක්වන මතය, බුදුසමය තුළ ප්රතික්ෂ්ප වෙයි. මුළු ලෝක ධාතුවම (විශ්වයම) ශක්ති සමුච්චිතයක් බව පරමාර්ථ දර්ශනයෙන් ප්රත්යක්ෂ වන සත්‍යයකි.
ප්‍රමාණාත්මකව ලෝක ධාතුව අචින්ත්‍ය වන්නා සේම එහි හැසිරීම හෙවත් ක්‍රියාකාරී ස්වභාවයද අචින්ත්‍ය වෙයි. ලෝක ධාතුවේ ශක්ති සමවායෙන් හටගන්නා භෞතික වස්තු සීමිත සංඛ්‍යාවක් ඓන්ද්‍රිය වශයෙන් අපට ගෝචර කරගත හැකි වන අතර, ශක්තීන්ගේ සීමිත ප්‍රමාණයක් හා ඒවායේ ක්‍රියාකාරී ස්වභාවය, ඒ අනුව නිරීක්ෂණය කළ හැකි වෙයි. ඒ සියල්ල පිළිබඳ නිරවශේෂ, පිරිසිඳ අවබෝධය, සම්මා සම්බුද්ධත්වය යි.
චිත්ත විභාගය අනුව ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර ලෙසටත් , පංචස්කන්ධ විභාගයේ දි වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, ලෙසටත් ගැනෙන නාම ශක්ති ධර්මයෝ, රූප ධාතුන් (ශක්තීන්) ගේ හට ගැනීමට ප්‍රත්‍ය වන්නා සේම, සතර මහා ධාතූ®න්ගේ සමවායයෙන් වූ රූපධාතු, නාම ධර්මයන්ගේ හට ගැනීමටද ප්‍රත්‍ය වන බව, බුදු සමය පෙන්වා දෙයි. එනම් ඒවා එකිනෙකට ප්රත්යව පවතින බව කළ කලාප සූත්‍රයේ දී මනාව පැහැදිලි කැරේ.
“එක සැම විටම එකක්මය” යනු පරමාර්ථ ධර්ම තේරුම් කිරීමට යොදා ගැනෙන ප්‍රයෝගයකි. එක, දෙකක් වේ නම් එය පරම අර්ථය නොගනී. ඒ අනුව පඨවි ධාතුව එකක් මය. එය දෙකක් බවට බිඳිය නොහැකි ය. එලෙසම සිත එකක් ම ය. එනිසා පරම අර්ථය ගනී.
උපුටාගැනීම :-
( බුදුසරණ අන්තර්ජාල කලාපය )
අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan
සබ්බ දානං ධම්ම දානං ජිනාති

sadu sadu obata meya thawa durath karagena yamata shaktiya labewa
හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ
මැල්ලවගෙදර සමණධම්ම හිමි
අමා මෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥාව විවර කිරීමක් වන හැත්තෑ තුනක් වූ (73) නුවණ තෙසැත්තෑ ඤාණ නමින් හැඳින්වේ. දම් සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ, බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ මෙම ඤාණ නුවණින් දැක වදාළහ.
අනන්ත වූ සසරේ පුරන ලද පාරමී බලයෙන් අමා මෑණි බුදුපියාණන් වහන්සේට මෙම තෙසැත්තෑ ඤාණ ලැබී ඇත. තෙසැත්තෑ ඤාණ නිතර මෙනෙහි කරන්නේ නම්, එම අනන්ත වූ බුද්ධ ඤාණ බලයෙන් මෙලොව පරලොව සැනසීම ලැබීමට එය හේතු වනු ඇත.
1. සොතාවධානෙ පඤ්ඤා සුතමයේ ඤාණං
බෝසතාණන් වහන්සේ පෙර බුදු හිමිවරුන්ගේ දහම් ඇසීමෙන් ලත් ප්‍රඥාව, සුතමය ඤාණයයි.
2. සූත්වාන සංවරේ පඤ්ඤා, සීලමයේ ඤාණං
සුතමය ඤාණයෙන් ලැබූ ප්‍රඥාවෙන් පාරිශුද්ධ වූ බුදුන් වහන්සේ, පාරිශුද්ධි සීල ස්කන්ධයෙන් පරිපූර්ණ වීමේ ප්‍රඥාව සීලමය ඤාණයයි.
3.සංවරිත්වා සමාදහනේ පඤ්ඤා
සමාධි භාවනාමයේ ඤාණං
මඟ ඵල නිවන් ලබන සීලයේ පිහිටා සිත නොයෙක් අරමුණුවල විසිර යා නොදී සංවර වීමෙන් සිත තැන්පත් කර ගැනීමේ නුවණ, සමාධි භාවනා මය ඤාණයයි.
4.පච්චය පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඤාණං
හේතු ඵල සහිත නාම රූප ධර්ම නොයෙක් අන්දමින් දන්නා වූ නුවණ, ධම්මට්ඨිති ඤාණයයි.
5.අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංඛිපිත්වා වවත්ථානේ පඤ්ඤා , සම්මසතන ඤාණං
අතීත අනාගත වර්තමාන තුන් කාලයටම අයිති පඤ්චස්කන්ධ යෙහි වෙන වෙනම නුවණ මෙහෙයවා ත්රිලක්ෂණ යට යොමු කිරීමේ නුවණ ,සම්මසනෙ ඤාණයයි.
6.පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයබ්බයානු පස්සනේ ඤාණං
වර්තමාන වශයෙන් ලැබෙන්නා වූ පඤ්චස්කන්ධ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම හා නැතිවීම පිළිබඳ නුවණින් බැලීම, උදයබ්බයානුපස්සනේ ඤාණයයි.
7.ආරම්මණං පටිසංඛා භංගානු පස්සනේ පඤ්ඤා විපස්සනේ ඤාණං
නාම රූප ස්කන්ධයන්ගේද විදර්ශනා ඤාණයාගේද බිඳී යෑම නැවත නැවත නුවණින් සැලකීමේ ප්‍රඥාව භංගානුපස්සනා නම් විදර්ශනා ඤාණයයි.
8.භයතුපට්ඨානේ පඤ්ඤා ආදීන වේ ඤාණං
ඉපදීම පැවතීම අරමුණු ගැනීම, රැස් කිරීම යන මේ සෑම සංස්කාරයක්ම බිය උපදවන දේ වශයෙන් වැටහීම හා නිර්වාණය එකම ක්ෂේම ස්ථානය වශයෙන් වැටහීමේ නුවණ, ආදීනව ඤාණයයි.
9.මුඤ්චිකු කම්‍යතා පටිසංඛා සන්තිට්ඨතා පඤ්ඤා, සංඛාරුපෙක්ඛාසු ඤාණං
මිදෙනු කැමැත්ත ඊට උපාය සැලසීම, උපේක්ෂා වශයෙන් නැවතීම සහ තුන් ආකාරයෙන් ඇති ප්‍රඥාව , සංඛාරු පෙක්ඛාසු ඤාණයයි.
10.බහිද්ධා වුට්ඨාන විවට්නේ පඤ්ඤා
ගොත්රභූඤාණං
බාහිර සංස්කාර නිමිත්තෙන් නැගී විදර්ශනාවෙන් අරමුණු කොට ගන්නා ලද නිවනට නැඹුරු වූ ප්‍රඥාව , ගෝත්‍රභූ ඤාණයයි.
11.දූභතො වුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා
මග්ගේ ඤාණං
නිමිත්ත එය පැවැත්වීම යන දෙකින් නැගී, පරාමර්ශනය වන ප්‍රඥාව මාර්ග ඤාණයයි.
12.පයොග පටිප්පස්සද්ධි පඤ්ඤා ඵලෙ ඤාණං
උද්‍යෝගිවත් මාර්ග භාවනාව (දූභතෝ වුට්ඨාන) නිම වීමෙන් ලැබෙන ප්‍රඥාව , ඵල ඤාණය යි.
13. ඡින්න වටුමානු පස්සනෙ පඤ්ඤා
විමුක්ති ඤාණං
නැසූ කෙලෙසුන් ප්රත්යවේක්ෂා කිරීමේ (නැවත සලකා බැලීමේ )ප්‍රඥාව විමුක්ති ඤාණයයි
14. තදා සමුදාගතෙ ධම්මෙ පස්සෙන පඤ්ඤා පඤඤවෙක්ඛණෙ ඤාණං
සිවු මඟ ඵල වලට පැමිණීමෙන් ලැබෙන්නා වූ මාර්ග ඵල නිවන ආදී ධර්ම දැකීමේ ප්‍රඥාව පච්චවෙක්ඛණේ ඤාණයයි.
15.අජ්ඣත්ත වවත්ථානෙ පඤ්ඤා
වත්ථූ නානත්තේ ඤාණං
ඇස , කන නාසය දිව ශරීරය මනස යන අධ්‍යාත්මික ආයතන බෙදා එහි යථා ස්වභාව මෙනෙහි කරන්නා වූ නුවණ, වත්ථු නානත්ත ඤාණයයි.
16. බහිද්ධා වවත්ථානෙ පඤ්ඤා
ගෝචර නානත්තෙ ඤාණං
රූප , ශබ්ද, ගන්ධ, රස , ස්පර්ශ, ධම්ම යන බාහිර ආයතන බෙදා එහි යථා ස්වභාව මෙනෙහි කරන්නා වූ නුවණ, ගෝචර නානත්ත ඤාණයයි.
17.චරියා වවත්ථානෙ පඤ්ඤා
චරියා නානත්තෙ ඤාණං
කුසලා කුසල වශයෙන් හටගන්නා වූ විඤ්ඤාණ චරියා අඤ්ඤාණචරියා, ඤාණචරියා, වෙන් වෙන් වශයෙන් විදර්ශනා කරන නුවණ, චරියා නානත්ත ඤාණයයි.
18.චතු ධම්ම වවත්ථානේ පඤ්ඤා
භුමි නානත්තෙ ඤාණං
සතරක් සතරක්ව බෙදී ගිය ධර්ම කොට්ඨාශ මෙනෙහි කිරීමේ නුවණ, භූමි නානත්ත ඤාණයයි
19.නව ධම්ම වවත්ථානෙ පඤ්ඤා
ධම්ම නානත්තෙ ඤාණං
කාමාවචර කුසල වශයෙන් නව නව වැදෑරුම් ධර්ම මෙනෙහි කිරීමේ නුවණ, ධම්ම නානත්ත ඤාණයයි
20.අභිඤ්ඤා පඤ්ඤා , ඤාතට්ඨෙ ඤාණං
ස්කන්ධ පංචකයේ ලක්ඛණ, රස , පච්චුපට්ඨාන, පදට්ඨාන යන ස්වභාව අර්ථ තත්වාකාරයෙන් දන්නා වූ නුවණ, ඤාතට්ඨෙ ඤාණයයි.
21.පරිඤ්ඤා පඤ්ඤා තීරණට්ඨෙ ඤාණං
නාම රූප ස්කන්ධයන්හි සැඟවී ඇති තිලකුණු විවෘත කරන්නා වූ නුවණ, තීරණාට්ඨ ඤාණයයි.
22.පහානෙ පඤ්ඤා පරිච්චාගට්ඨෙ ඤාණං
අනිත්‍යානු පස්සනාදී සප්ත අනුපස්සනාවන්ගේ වශයෙන් නිත්‍ය සංඥාදිය ප්රහාණය කරමින් විදර්ශනා මාර්ගයේ කෙළවර පැමිණියා වූ නුවණ පරිච්චාගට්ධෙ ඤාණයයි.
23.භාවනා පඤ්ඤා එක රසට්ඨෙ ඤාණං
ශාන්ත වූ නිවනට සම්ප්‍රාප්ත වීමේ අදිටනින් සද්ධාදී ධර්ම කෙරෙහි ඇති කරගන්නා භාවනාමය නුවණ, ඒක රසට්ඨ ඤාණයයි.
24.සච්ඡිකිරියා පඤ්ඤා ඵුසනට්ඨෙ ඤාණං
නාම රූප ධර්ම වල යථා ස්වභාව ප්‍රතිවේධ කිරීමෙන් හටගන්නා වූ ද , සුවිසුද්ධ පරිපූර්ණ භාවනා ඵලය ගෙන දන්නා වූ ද නුවණ, ඵුසනට්ඨ ඤාණයයි.
25.අත්ථ නානත්ත පඤ්ඤා අත්ථ පටිසම්භිදෙ ඤාණං
හේතු ඵල විපාකාදීයෙහි අර්ථයන්ගේ ඒවායේ නා නා ස්වභාවයන්හි පැවැති නුවණ, අත්ථපටිසම්භිදේ ඤාණයයි.
26.ධම්ම නානත්තෙ පඤ්ඤා ධම්ම පටිසම්භිදෙ ඤාණං
හේතු ධර්ම රාශිය පිළිබඳ යථා ස්වභාවය තත්වාකාරයෙන් අවබෝධ කරගත් නුවණ ධම්මපටිසම්භිදේ ඤාණයයි.
27.නිරුත්ති නානත්තේ පඤ්ඤා නිරුත්ති පටිසම්භිදෙ ඤාණං
අර්ථ ධම්ම නිවැරැදිව පිරිසුදුව භාවිතා කිරීමේ සමර්ථ නුවණ නිරුත්ති පටිසම්භිදේ ඤාණයයි
28.පටිභාන නානත්තෙ පඤ්ඤා පටිභාන පටිසම්භිදෙ ඤාණං
අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිසම්භිදා ඤාණත්‍රය අරමුණු කොට පහළ වන්නා වූ නුවණ පටිභාන පටිසම්භිදා ඤාණයයි.
29.විහාර නානත්තේ පඤ්ඤා විහාරට්ඨෙ ඤාණං
නා නා විදර්ශනා විහරණ නුවණ, විහාරට්ඨ ඤාණය යි
30. සමාපත්ති නානත්තෙ පඤ්ඤා සමාපත්තට්ඨෙ ඤාණං
ලොව්තුරු ඵල සමවතින් හට ගන්නා වූ ද නිත්‍ය සංඥා දිය දුරලන්නා වූද අනිමිත්තා දී නා නා සම්පත්ති පිළිබඳ නුවණ, සමාපත්තට්ඨෙ ඤාණයයි
31.විහාර සමාපත්ති නානත්තෙ පඤ්ඤා විහාර සමාපත්තට්ඨෙ ඤාණං
නිත්‍ය සංඥාදිය දුරලන්නා වූ ද අනිමිත්තානු පස්සනාදිය ඇසුරු කරන්නා වූ ද විදර්ශනා ඵල සමවත් පිළිබඳ නුවණ විහාර සමාපත්තට්ඨෙ ඤාණයයි.
32. අවික්ඛෙප පරිසුද්ධත්තා ආසව සමුච්ඡදෙ පඤ්ඤාආනන්ත.රික සමාධිම්හි ඤාණං
සමාධියම පිරිසුදු කරමින් අනුසය සහිත කාමාදී ආශ්‍රව සිඳලන්නා වූ ආනන්තරික සමාධි ඤාණයෙන් අග තැන්පත් වූ නුවණ ,ආනන්තරිකා සමාධි ඤාණයයි.
33. දස්සනාධිපතෙය්යං සන්තොච විහාරාධිගමො පණිතාධිමුත්තතා පඤ්ඤා අරණ විහාරෙ ඤාණං
විදර්ශනාවෙහි අධිපතිභාවයෙන් උපදින්නාවූද, ශාන්ත වූ රහත්ඵල සමවත් සුවය දෙන්නා වූ ද, නිවනෙහි අධිමුක්ති සහිත වූ නුවණ, අරණ විහාර ඤාණයයි.
34. ද්වීහි බලෙහි සම්පන්නාගතත්තා තයෝච සංඛාරානං පටිප්පස්සද්ධියා සොළසහි ඤාණ චරියාහි නවහි සමාධි චරියාහි වසි භාවතා පඤ්ඤා නිරෝධ සමාපත්තියා ඤාණං.
සමථ විදර්ශනාවෙන් පරිපූර්ණ වූ ත්‍රිවිධ සංස්කාරයන්ගේ නිරෝධය සඳහා වූ ඤාණ පැවතුම් සොළසකින්ද, සමාධිචරියා නවයකින් ද වසී භාවය ඇති නුවණ, නිරෝධ සමාපත්ති ඤාණය යි.
35. සම්පජානස්ස පවත්ත පරියාදානෙ පඤ්ඤා පරිනිබ්බානෙ ඤාණං.
ක්ලේශ පරිනිර්වාණ, ස්කන්ධ පරිනිර්වාණ සර්ව ප්‍රකාරයෙන් දන්නා වූ නුවණ, පරිනිබ්බාණ ඤාණය යි.
36. සබ්බ ධම්මානං සම්මා සමුච්ඡේදෙ නිරොධෙව අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨෙ ඤාණං.
කාම, රූප, අරූප යන තුන් ලොවෙහි සකල ස්කන්ධ නැවත නුපදනා ආකාරයෙන් සිඳීයෑමෙන් අර්හත්වයත්, පරිනිර්වාණයත් එකවර සිදුවන අයුරු තත්ත්වාකාරයෙන් දන්නා වූ නුවණ සමසීසට්ඨෙ ඤාණය යි.
37. පුථූ නානත්තතෙජ පරියාදානෙ පඤ්ඤා සල්ලෙඛටිඨෙ ඤාණං
ලොව්තුරු ගුණෙන් වෙන් වූ රාගාදින් ද නානත්ත වූ කාමච්ඡන්දාදීන් ද ගෙවාලන නුවණ, සල්ලෙඛට්ඨ ඤාණය යි.
38. අසල් ලීනත්ත පහිතත්ත පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං
නොහැකිලුණු සිතැති වූ ද, කාය, ජීවිත නිරපේක්ෂායෙන් හළා වූ ද උත්සාහයේ නුවණ, විරියාරම්භ ඤාණය යි.
39. “නා නා ධම්මප්පකාසනතා පඤ්ඤා අත්ථ සන්දස්සනේ ඤාණං”
ධර්ම දේශනා කිරීමෙහි පහළ වූ; නා නා ධර්ම ප්‍රකට කොට දක්වන නුවණ, අත්ථ සන්දස්සන ඤාණය යි.
40. සබ්බ ධම්මානං එක සංගහතා නානත්තෙකත්ත පටිවෙධෙ පඤ්ඤා දස්සන විසුද්ධි ඤාණං
සියලු සංඛ්‍යාත, අසංඛත ධර්ම එක එකකින් පිළිසිඳ දැනගන්නා වූ ද නානත්ව, ඒකත්ව ධර්මවල ප්‍රතිවේදයේ ද නුවණ, දස්සන විසුද්ධි ඤාණයයි.
41. විදිතත්තා පඤ්ඤා ඛන්ති ඤාණං
රූපාදී ස්කන්ධ පංචකය පිළිබඳ සියලු තතු විදර්ශනාවෙන් දැනගත්තා වූ නුවණ, ඛන්ති ඤාණය යි.
42. පුට්ඨත්තා පඤ්ඤා පරියොගාහණෙ ඤාණං
රූප ස්කන්ධාදිය ත්රිලක්ෂණයට නංවා තියුණු අයුරින් විදර්ශනාවට බැසගත්තා වූ නුවණ පරියෝගාහණ ඤාණ ය යි.
43. සමොදහනෙ පඤ්ඤා පදෙසවිහාරෙ ඤාණං
ස්කන්ධ ආයතනාදීන් අතරින් වේදනාමාත්රය වෙන්කොට විදර්ශනා කරන්නවූ නුවණ, පදෙස විහාර ඤාණය යි.
44. අධි පතත්තා පඤ්ඤා විවට්ඨෙ ඤාණං
නෙක්ඛම්ම සංකල්පනාදිය අධිකව වැඩීමෙන් කාමච්ඡන්දාදිය මැඩලන්නා වූ නුවණ, විවට්ට ඤාණය යි.
45. නානත්තෙ පඤ්ඤා චෙතො විවට්ටෙ ඤාණං
ප්රහාණය කටයුතු වූ කාමච්ඡන්දාදියෙන් වෙන්කොට නෙක්ඛම්ම ආදියෙහි පිහිටුවන්නා වූ නුවණ, චේතෝවිවට්ට ඤාණය යි.
46. අධිට්ඨානෙ පඤ්ඤා චිත්ත විවට්ටෙ ඤාණං
නෙක්ඛම්මාදියෙහි සිත පිහිටුවාලන භාවිත චිත්ත සන්තිය, භාවනා අරමුණෙහි පිහිටුවාලන නුවණ, චිත්ත විවට්ට ඤාණයයි.
47. සුඤ්ඤතෙ පඤ්ඤා ඤාණ විවට්ටෙ ඤාණං
නාම රූප ස්කන්ධය ආත්ම අත්මීයතාවෙන් ඒකාන්තයෙන් හිස් යැයි දන්නා වූ ශුන්යතානු දර්ශන නුවණ, ඤාණ විවට්ට ඤාණය යි.
48. වොස්සග්ගෙ පඤ්ඤා විමොක්ඛ විවට්ටෙ ඤාණං
කාමච්ඡන්දාදියෙන් දුරලන්නා වූ විමුක්තිය ගෙනදෙන ;නක්ඛම්මාචියෙහි පැවති නුවණ, විමොක්ඛ විවට්ට ඤාණය යි.
49. තථට්ඨෙ පඤ්ඤා සච්ච විවට්ටෙ ඤාණං
චතුරාර්ය සත්‍ය අතර වෙන වෙනම ඇත්තා වූ පිළිණ, සංඛනාදී සත්යාර්ථ පැහැදිලිව දන්නා වූ නුවණ, සච්ච විවට්ට ඤාණය යි.
50. කායම්පි චිත්තම්පි එක වවත්ථානතා සුඛ සඤ්ඤඤ්ච ලහු සඤ්ඤඤ්ච අධිට්ඨානවසෙන ඉජ්ක්ධනම්ඨෙ පඤ්ඤා ඉද්ධිවිධෙ ඤාණං
භාවනා මනසිකාරයෙන් අභිඥා පාදක චතුර්ථ ධ්‍යාන චිත්තය හා රූප කය ද එකතුකොට සුඛ සංඥා ලඝු සංඥා අධිෂ්ඨානවෙන් ඉටු වන්නා වූ නුවණ, ඉද්ධිවිධ ඤාණය යි.
51. විතක්ක විප්ඵාර වසෙන නානත්තෙකත්ත සද්ද නිමිත්තානං පරියොගාහණෙ පඤ්ඤා සොත ධාතු විසුද්ධි ඤාණං
ළඟ වූ ද, දුර වූ ද සූක්ෂම වූ ද ඒක විධ, නා නා විධ වූ ද ශබ්ද නිමිති අතිශයින් පැහැදිලිව දැන ගන්නා නුවණ සෝද ධාතු විසුද්ධි ඤාණයය යි.
52. තින්නං චිත්තානං විප්ඵාරත්තා ඉන්ද්රියානං පසාද වසෙන නානත්තෙකත්ත විඤ්ඤාණවරියා පරියොගාහණෙ පඤ්ඤා චේතොපරි ඤාණං
සොම්නස්, දොම්නස්, මැදහත් වේදනා සහිත චිත්ත වේගයෙන් ප්‍රසන්න වූ ද, අප්‍රසන්න වූ ද, ඉන්ද්රිය සදෙනාගේ වශයෙන් අනුන්ගේ සිත් සතන් ඇති සැටියෙන් දැන ගන්නා නුවණ, චේතෝපරිය ඤාණය යි.
53.පච්චය පවත්තානං ධම්මානං නානත්තෙක්ත්ත කම්ම විප්ඵාර වසෙන පරියොගාහණෙ පඤ්ඤා පුබ්බේ නිවාසානුස්සති ඤාණං
කුසලා කුසල කර්ම හේතුකොටගෙන පෙර විසූ කඳපිළිවෙළ තත්ත්වාකාරයෙන් දන්නා නුවණ, පුබ්බේ නිවාසානුස්මෘසති ඤාණය යි.
54. ඔභාස වසේන නානත්තෙකත්ත රූප නිමිත්තානං දස්සනට්ඨෙ පඤ්ඤා දිබ්බ චක්ඛු ඤාණං
තේජෝ කසිණ ඕදාත කසිණ ආලෝක කසිණ යන කසිණ අනුව ලබන චතුර්ථ ධ්‍යාන දිවැස් නුවණ, දිබ්බචක්ඛු ඤාණය යි.
55.චතුසට්ඨියා ආකාරෙහි තින්නන්නං ඉන්ද්රියානං වසීභාවතා පඤ්ඤා ආසවානං ඛයෙ ඤාණං
සූ සැට ආකාරයකින් ලෝකෝත්තර ඉන්ද්රිය තිදෙනාගේ වසී භාවයෙහි පැමිණි නුවණ, ආසවක්ඛය ඤාණ ය යි.
56. පරිඤ්ඤට්ඨෙ පඤ්ඤා දුක්ඛේ ඤාණං
පිළින, සංඛත, සන්තාප විපරිණාම යන සතර වැදෑරුම් වූ දුක්ඛාර්ථ ඇති සැටියෙන් දන්නා වූ නුවණ, දුක්ඛේ ඤාණය යි.
57. පහානට්ඨෙ පඤ්ඤා සමුදයෙ ඤාණං
ආයුහණ, නිදාන, සංයෝග, පළිබෝධ යන සිවු වැදෑරුම් සමුදයාර්ථ නුවණින් දැක සමුදය සත්‍යය ප්රහාණය කරමින් උපදින්නා වූ නුවණ, සමුදයේ ඤාණය යි.
58. සච්ඡි කිරියට්ඨෙ පඤ්ඤා නිරෝධෙ ඤාණං
නිස්සරණ, විවේක, අසංඛත අමත යන සිවු පරමාර්ථ දන්නා නුවණ, නිරෝධයේ ඤාණය යි.
59. භාවනට්ඨෙ පඤ්ඤා මග්ගෙ ඤාණං
නිය්‍යාණික, හේතු දස්සන ආධිපතෙය්‍ය යන මාර්ගාර්ථතත්ත්වාකාරයෙන් දන්නා නුවණ, මග්ග ඤාණය යි.
60. දුක්ඛෙ ඤාණං
ස්කන්ධ රැස් කිරීමෙහි හා විපරිණාමයෙහි හටගන්නා වූ දුක අවබෝධ කිරීමේ නුවණ, දුක්ඛේ ඤාණය යි.
61. දුක්ඛ සමුදෙය ඤාණං
දුකට හේතු වූ තෘෂ්ණාව මනාව හඳුනා ගැනීම දුක්ඛ සමුදයේ ඤාණය යි.
62. දුක්ඛ නිරෝධ ඤාණං
ස්කන්ධ දුක්ඛයෙන් තොර වූ තෘෂ්ණාවට අරමුණු නොවන්නා වූ සිවු ම¼ග නුවණින් දත යුතු වූ නිර්වාණ ධාතුව තත්ත්වාකාරයෙන් අවබෝධ කළා වූ නුවණ, දුක්ඛ නිරෝධ ඤාණය යි.
63. දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාය ඤාණං
සත්‍ය දර්ශනයෙන්ම සනාථ වූ ආර්ය මාර්ගය පිළිබඳ සියල්ල දන්නා වූ නුවණ, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ඤාණය යි.
64. අත්ථ පටිසම්භිදෙ ඤාණං
ආර්ය පුද්ගලයන්ට ලැබෙන්නා වූ සියලු අර්ථ සමූහය උසුලන්නා වූ විසුද්ධ වූ නුවණ, අත්ථ පටිසම්භිදේ ඤාණය යි.
65. ධම්ම පටිසම්භිදෙ ඤාණං
පරිපූර්ණ ධර්මකාය සමාපත්තියෙන් යුක්ත වූ සියලු ධර්ම සමුහය උසුලන්නා වූ නුවණ, ධම්ම පටිසම්භිදේ ඤාණය යි.
66. නිරුත්ති පටිසම්භිදේ ඤාණං
නිරුත්තිය ලොවට පහදා වදාළ නුවණ, නිරුත්ති පටිසම්භිදේ ඤාණය යි.
67. පටිභාන පටිසම්භිදේ ඤාණං
අර්ථ , ධර්ම නිරුත්ති ඤානත්රය දන්නා නුවණ, පටිභාන පටිසම්භිදේ ඤාණයයි.
68. ඉන්ද්රිය පරෝපරියත්තෙ ඤාණං
මඟඵල නිවන් සුව ලැබීමේ හේතු සම්පත් ඇත්තා වූ විනේ දනන්ගේ සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්රිය ධර්ම පිළිබඳ වැඩුණු නොවැඩුණු උස් පහත් බහ හා හීන ප්රනීතාදිය පිළිබඳ දන්නා නුවණ, ඉන්ද්රිය පරෝපරියත්තේ ඤාණය යි.
69. සත්තානං ආසයානුසයෙ ඤාණං
සත්වසන්තානයේ ඇති සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි, නෙක්ඛම්ම මනසිකාරාදී පරිභාවිත ස්වභාව නම් වූ ආසය දන්නා වූ ද, සත්ව සන්තානයේ හටගන්නා ක්ලේශ නම් වූ අනුසය දන්නා වූ ද නුවණ, ආසයානුසයේ ඤාණය යි.
70. යමක පටිහාරියෙ ඤණං
සෘද්ධි බලයෙන් හෙට්ඨිමකාය, උපරිමකාය, සකල ශරීර ප්‍රදේශයෙන් එක්වර ගිනිකඳ, දිය කඳ විහිදුවමින් පානා ප්රාතිහාර්ය දන්නා නුවණ, යමක පටිහාරියේ ඤාණය යි.
71. මහාකරුණා සමාපත්තියා ඤාණං
සසර කතරේ ඉපදෙමින් මැරෙමින් දුක් විඳින සත්වයා ඒ දුකින් මුදවා ගනිමියි මෙනෙහි කරන නුවණ මහාකරුණා සමාපත්ති ඤාණය යි.
72. සබ්බඤ්ඤුත ඤාණං
හේතුවෙන් හටගන්නා වූ සංඛත ධර්මද, හේතුවෙන් හටගන්නා වූ අසංඛත නිර්වාණ ධර්මය ද සර්වඥතා ඤාණයෙන් දැනගන්නා වූ නුවණ, සබ්බඤ්ඤුත ඤාණය යි.
73. අනාවරණ ඤාණ
සර්වඥතා ඤාණයට කිසි තැනකදී ආවරණය නොවන්නා වූ ආවර්ජනා කළ මාත්‍රයෙන් සියල්ල අරමුණ කරන්නා වූ නුවණ පහාවරණ ඤාණය යි.
මෙම ලිපිය සැකසීමේදී රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාම මාහිමිපාණන් විසින් සම්පාදනය කරන ලද තෙසැත්තෑ ඤාණ පිළිබඳ ලියැවුණු ග්රන්ථයක් පාදක කර ගැනිණි.
Good Work දිගටම කරගෙන යන්න Rep 8+
තර්කයෙන් නොබිඳිය හැකි විචාරයෙන් බැබළෙන ස
ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර නෙවාඩා බෞද්ධ විහාරයේ
ශාස්ත්‍රවේදී දුන්කේඋල්ලේ ධම්මරතන හිමි
ලෝක ආගම් සියල්ලටම වඩා වර්තමානය වන විට බුදුදහමට විශේෂ තැනක් හිමිවෙමින් පවතී. ඊට හේතුව නම් ආගම්වලින් පෙන්වා දෙනු ලබන මෙන්ම, ඒවායේ අභිමතාර්ථයන්ට වඩා හාත්පසින් වෙනස් දෘෂ්ටියක් මේ තුළින් පෙන්වා දීමයි. ඓතිහාසිකමය හා පරිණාමය අතින් බැලුවද එහි සුවිශේෂ ලක්ෂණ පෙන්නුම් කරන හෙයිනි.
බුදුන් වහන්සේගේ දහම පිළිබඳ විමසීමේදී උන්වහන්සේ පිළිබඳවත් නිරවුල් අවබෝධයක් ඇතිකර ගත යුතුමය. බුද්ධ යනු පුද්ගල නාමයක් නොවන අතර එය පුද්ගල තත්ත්වයකි. ලබන දැනුම මත පුද්ගලයන් විවිධ වර්ග කිරීම් වලට ලක් වෙති. පුද්ගල නාමයෙන් බාහිරව පුද්ගල තත්ත්වය සලකා නීතිවරයා, ගුරුවරයා, දොස්තරවරයා, ඉංජිනේරුවරයා, විද්‍යාඥයා වැනි උදාහරණ වලින් පැහැදිලි වන්නේ, ඒවා දැනුම් මත නිර්මිත බවයි. එලෙසින්ම ලොව පිළිබඳ යථාර්ථය අවබෝධ කරගත් සිදුහත් තවුසා ‘බුද්ධ ‘ නාමයෙන් ප්‍රචලිත විය.
කරුණු එසේ වුවත් චීනය වැනි ආසියාතික රටවලත්, බටහිර රටවලත් බහුතරය උන්වහන්සේ පිළිබඳ වැරැදි වැටහීමෙන් පසු වේ. සත්‍ය කරුණු පිළිබඳ ගවේෂණය නොකොට ගෙවතු, රෙදි , ඉටිපන්දම්, නාමපුවරු අලංකාරයක් සේ බුදුරදුන් සැලකීම සෝමනස්සයකි. එහෙත් උන්වහන්සේ භෞතික අලංකාරය සඳහා ඇති මූර්තියක් හෝ හාස්‍යජනක පුද්ගලයෙකු හෝ නොව චරිතය තුළින් අපගේ ජීවිත අලංකාර කරගත හැකි, ලොවෙහි අනුගමනය පිණිස ඇති ප්‍රබල උත්තරීතර මනුෂ්‍ය චරිතයකි.
උන් වහන්සේ අවබෝධ කරගත් දහම කිසිඳු ආගම් ,ජාති, කුල භේදයකින් තොරව උගත හැකි, එමඟ ගමන් කළ හැකි එකකි.
එබැවින් එය කිසිඳු ආගමික සංකල්පයකින් බැලිය නොහැකිය. එය සාමාජික ආගමික සදාචාරය යහපත් කරන මානුෂික ගුණාංගයන්ට මුල්තැන දෙන පරිපූර්ණ දර්ශනයකි.
එහි ඇති අකාලික බව බුදුදහම ගැඹුරින් අධ්‍යයනය කරන අයකුට වටහාගත හැකිය. එය කාලභේදයකින් තොරව ලොව ස්වභාවය පෙන්වා දෙමින් ඊට අනුකූල ජීවන මාර්ග ඔස්සේ නිවන කරා ගෙනයන අන්දම අපූරුය.
අනෙක් ආගම්හි ඉගැන්වීම් තාවකාලිකය. වරින්වර වෙනස් කරන ආකල්ප හා ඉගැන්වීම්, වදනින් මෙන්ම ග්රන්ථවලින් පවා සිදුකරති. බුදුදහමේ විශේෂත්වය නම් එසේ නොකර සෑම අවධියකටම පොදු සදාතනික සත්‍ය දහමක් පිළිබිඹු කිරීමයි. මහාචාර්ය මැක්ස්මුලර් පෙන්වන පරිදි සෑම ආගමක්ම සත්‍ය දැකීමට බාධා කරන දෘෂ්ටි බන්ධනයක් වුවද බුදුදහම සත්‍යයට වැට බඳින 62 ක් දෘෂ්ටි බන්ධන විචාරයට ලක්කොට, ඊට නව අර්ථකථන සපයමින් ව්‍යාජ භක්තිය වෙනුවට නිවැරදි බුද්ධියට තැන දී නව මඟක මිනිස් සිත යොමු කරයි.
බෞද්ධ සංස්කෘතිය හා ඉතිහාසය ගවේෂණයේදී හමුවන අන්දමට සිද්ධාර්ථ කුමාර අවදිය හෙවත් ක්‍රි.පූ. 6 වන ශත වර්ෂය වෛදික ආගමික සංකල්ප බහුලව තිබුණූ යුගයකි. ඉර, හඳ , ගස්, ගල්, පර්වත තාරකාදින් දේවත්වයට ආරෝපණය කරමින් ඇරඹි ස්වභාව දේව වාදය බහුදේව වාදයටත් ව්‍යාප්තව, අදේවවාදය - විඤ්ඤාණ වාදය, දක්වා පෘථුල විය.
ජීවිතය තුළ නිස්සාරයෙහි ඇළ සිටීම වෙනුවට ආධ්‍යාත්මික චින්තන රටාවක් තුළින් සැනසීම පෙන්වා දෙන බුදුදහම, මානව සිත් වසඟ කරයි. එමඟින් එළිදරවු කරන දාර්ශනික කාරණා නම් කර්මය හා පුනර්භවය පටිච්චසමුත්පාදය , චතුරාර්ය සත්‍ය, මධ්‍යම ප්‍රතිපදාව ත්රිලක්ෂණ ආදියයි. එහි අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යන සදාතනික දර්ශනය හා පංච නියාම, කිසිදු ආගමක විශ්වයටම පොදු ධර්මතාය.
එසේම දක්නට නොලැබෙන බුදු සසුනේ ව්‍යාප්තිය සිදුව ඇත්තේ සමාජ හිතකාමි අන්දමටය. සසුනේ ඉතිහාසය දෙස බලනවිට අපට පෙනෙන්නේ දහම මගින් යහපත් මග පෙන්වා දීම පමණක් සිදුව ඇති අතර, එය පිළිගැනීම හා එමග ඒම තම තමාගේ රුචි අරුචිකම් අනුව නිදහස්ව සිදුව ඇති අයුරුයි. නුවණැත්තන් විසින් තර්ක විතර්ක කොට ප්රත්යක්ෂයෙන් අවබෝධ කරගත යුතු බුදුදහම (පචිචත්තං වේදිතබ්බෝ විඤ්ඤාහි) කිසි විටක තර්ක බුද්ධියට බාධා නොකරයි.
බුදුදහම තර්කයට - විචාරයට යොමු වන තරමට බැබළීමට පත්වේ. ආලවක, සච්චක , බක කසීභාරද්වාජ ,උපාලි වැන්නවුන් බුදුරදුන් සමග තර්ක කිරීම බුදුසමය බැබළවීමට උපකාර විය. ඉස්ලාම්, කතෝලික වැනි ආගම් හුදෙක් මනුෂ්‍ය ඝාතන ලේ වැගිරීම්, ආක්‍රමණ හා සමූලඝාතන හෝ නතුකර ගැනීම් ඔස්සේ ව්‍යාප්ත වූ ඒවායි. කුරුස යුද්ධය, මුස්ලිම් ආක්‍රමණ ඉතිහාසය තුළ දක්නට ලැබෙනවා මෙන්ම වත්මනෙහිද තලේබාන් බුදුපිළිම විනාශකිරීම හා බංග්ලාදේශ වැනි රටවල කෙරෙන ඝාතන පලවාහැරීම තවමත් ඊට සාක්ෂි දරයි.
සෑම ආගමක්ම එහි අනුගාමිකයන් සහනය වෙත යම් මගක් පෙන්වීමට උත්සාහ දරයි. ඇතැම් ආගම්වල සර්වබලධාරි දෙවියන් විසින් මරණින් පසුව පුද්ගලයා තමා ළඟට ලැබේ. සකල පාපයනට සමාව ලබා දෙයි.සදාකාලික අමරණීයත්වය ලැබේ.
එතුළින් ඔවුන් පෙන්වන්නේ යාඥාව මත විශ්වාසය තබා, සකලවිධ අසංවර ක්‍රියාවන්ට ද ඉඩප්රස්ථා ලබාගෙන සහනය ලබාගත හැකිවෙයි. නමුත් බුදුදහම පෙන්වන්නේ තමාගේ දුකටත්, සැපයටත් තමාම මූලික වන අන්දමයි.
ඍග්වේදය කරුණූ දක්වන අන්දමට මිනිසුන් හා දෙවියන් අතර අතරමැදියන් ලෙස සිටිමින් තම උදර පෝෂණය ගැන පමණක් තැකූ බුද්ධකාලීන වේද උගතුන් පවා යාග බලිබිලි , අශ්වමේධ , පුරුෂමේධ මගින් මිනිසා සදාකාලික සැපයකට පත් කරන බව පවසා ඔවුන් රවටා ඇති බව පෙනේ.
නමුත්, බුදුදහම එසේ ස්වර්ගය හෝ අමරණීයත්වයට පාර නොපෙන්වා “නිවන” නම් වූ ගැඹුරු අර්ථවත් මාවත පෙන්වයි. එයද තවෙකකු විසින් ලබාදෙන්නක් නොව, තමතමාගේ ප්‍රඥාව දියුණුකිරීම මගින් සාක්ෂාත් කරගත යුත්තකි. ප්රත්යක්ෂයෙන් අවබෝධ කරගත යුතු ධර්මතාවයකි.
මේ වන විට බුදු දහමට සමගාමීව විද්‍යාවන්ද අන්ධ විශ්වාසය බැහැර කොට , ප්රත්යක්ෂයට මුල්තැන දී තිබේ. විද්‍යාවේ දියුණුවත් සමග අනෙක් ආගම් සුණුවිසුණු වන අන්දමට ලොව යථාර්ථ හෙළි වන විට බුදු දහම තව තවත් බැබලීමට පටන්ගෙන ඇත.
එහෙත් විද්‍යාව ඉන්ද්රිය ප්රත්යක්ෂවත් , බුදුදහම අතින්ද්‍රිය ප්රත්යක්ෂවත් සත්‍යය කරා ළඟාවන අතර මේ දෙක අතර වෙනස්කම් දක්නට ලැබේ. පරීක්ෂණ - නිරික්ෂණ -ගවේෂණ , න්‍යාය - සිද්ධන්ත පසුකර අතීන්ද්‍රිය ප්රත්යක්ෂයට , යායුතු අතර, එය සීල- සමාධි ,ප්‍රඥා දියුණුවෙන් අධිගම තුළින් ලබාගන්නා දෙයකි.
නමුත්, මේ වනවිට අධිමානසික විද්‍යාව දක්වා අවතීර්ණව සිටින විද්‍යාව , සියල්ලේ පරික්ෂණ නිරීක්ෂණ ගවේෂණ තත්ත්වයට ආවත්, ඉන් එහාට යාමට නොහැකිව තම මතවාද සමගම පොරබදන සැටියකි, දක්නට ලැබෙන්නේ පංචේන්ද්‍රියන්ට අමතරව අන්වීක්ෂය , පරිගණක වැනි මෙවලම් ද භාවිතා කළත් බුදු දහම පෙන්වා දෙන කර්ම පුනර්භව සංකල්ප හෝ සුගති දුගති දාර්ශනයට ළඟාවිය නොහැකිව, එය අතරමංව සිටී.
බුදුරදුන් මෙන්ම ශ්‍රාවකයන් තම අතින්ද්‍රිය ප්රත්යක්ෂයෙන් සොයාගන්නා යථාර් විද්‍යාඥයින් බහුතරයකගේ හෝ එකතුවෙන් සොයන්නට නොහැකි තරම් ගැඹුරුය. බුදු දහමින් අවධාරණය කරන්නේ “ තම තම නැණ පමණින් දතයුතු “ බවයි. එනම් ප්‍රඥාව මුල්කොට නිවන් මගට පැමිණෙන ලෙසයි. එහි සම්පූර්ණ වගකීම තමා විසින් භාරගත යුතු අන්දම “ අත්ත දීපා විහරථ , අත්ත සරණා, අනඤඤ සරණා “ යනුවෙන් දක්වයි. බුදුන්වහන්සේට කළ හැකි වන්නේ ඒ සඳහා අවශ්‍ය ගමන් මග කියාදීම පමණකි. දුක - දුකට හේතුව - දුක නැති කිරීම , නැති කිරීමේ මාර්ගය සර්වාකාරයෙන් විස්තර කරන බුදුදහම , කර්මය හා පුනර්භවය පිළිබඳ ප්රඥාමූලිකව ගොඩනගා ගතයුතු අවබෝධයේ මාවත හෙළිදරවු කරයි. මෙය ආගමක් නොව දර්ශනයක් බැවින් ඉස්ලාම් , හින්දු ,කතෝලිකාදී සැමට විවෘත සැනසුමේ මාවතයි. සැමට ප්රඥාලෝකය වේවා! —
ප්‍රේමය ගැන බොදු ඔවදන්
මොරටුව මොරටුමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාම වාසී, ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු බලවන්තකරණ දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකාචාර්ය
ශාස්ත්‍රපති පැපිළියානේ සුමිත්ත හිමි
වර්තමාන සංකීර්ණ සමාජ සම්බන්ධතා හමුවෙහි ‘ආදරය’ ‘පේ‍්‍රමය’ නැතහොත් විරුද්ධ ලිංගිකයන් අතර ඔවුනොවුන් කෙරෙහි ඇතිවන පිළිබඳ සිත, හැගීම, බැඳීම විකෘති කාමස්වාදයක් බවට පත්ව තිබීම කනගාටුවට කරුණකි. සම්බුද්ධ දේශනාව ප්‍රතිපත්තිමය ජීවන ප්‍රතිපදාව ලෙස සැලකිය යුතු, මිහිඳු සංස්කෘතියෙන් සදාචාරවත් වූ සිංහල බෞද්ධ සමාජ සන්දර්භය තුළ ගැහැනු පිරිමි සබඳතාව විවිධ වූ විෂම වූ හේතු සාධක මත විසඳා ගත නොහැකි සමාජ ප්‍රශ්නයක් වන තරමටම අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇත. ‘පේ‍්‍රමය’ යන වචනය මගින් ආශාව, පී‍්‍රතිය, ආදරය යන මානසික තත්ත්වයන් අදහස් කෙරේ. යමෙක් යමකුට ආදරය කරන්නේය යන ප්‍රකාශයත් සමඟම හැඟෙන අදහස් සමූහයක් පවතී. එනම් රාගය, ආලය, ආශාව , රුචිය, කැමත්ත, වින්දනය, ඇලීම, කාමය යනාදී වශයෙන් එකිනෙකට සියුම්ව අර්ථය වෙනස්වන හඳුනා ගැනීම් සමූහයක් දැක්විය හැක. මනෝ විශ්ලේෂණය අනුව සලකා බැලුවහොත් පේ‍්‍රමය ආදරය යන හැඟීම සුඛ වේදනා මූලධර්මය මත ඇතිවන පෙළඹීමකි. ආදරය කිරීම, පේ‍්‍රම කිරීම යන හැඟීම වේගවත්ව ක්‍රියාකාරී වන කාමෝද්දීපන මානසිකත්වයක් ලෙස හඳුනා ගත හැකිය. විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ආදරය මගින් ගොඩනැගෙන පේ‍්‍රමය පවුල් ජීවිතය, ලිංගික තෘප්තිය මත පදනම් වේ. ජීව විද්‍යානුකූලව එය ජීව රසායනික ක්‍රියාවලියකි. මනෝ විද්‍යානුකූ®ලව මූලික අවශ්‍යතාවන් අතර ප්‍රමුඛතම ප්රබලතම වුවමනාවකි. සමාජ හා මානව විද්‍යාවට අනුව සමාජීය පවුල් කුටුම්භයේ සමාරම්භය වුවද සදාචාරමය සීමාවන්, චර්යාත්මක හැසිරීම ආචාර විද්‍යාවෙන් අනුමත කර ඇත.
බුදුදහම සත්ත්වයාගේ කායික, මානසික, තෘප්තියේ මූලික ලක්ෂණයක් ලෙස සැපය කැමැති බව දක්වයි. ‘සුඛ ක්මානි භූතානි’ යනුවෙන් එය හමුවේ. ඒ අනුව ආදරය කිරීම යනු සැප කැමති සත්ත්වයා සැපය සොයා ක්‍රියාකාරී වීමකි. සැපයට ආශා කරන, ඒ හා ඇලෙන ‘කමුපදාන’ කාම ලෝකයක් සංසාරිකව තනනු ලබන ‘කමභවො’ තෘෂ්ණාව නමැති මල පුටුවෙහි බැඳීමකි. සාංසාරික ලෝකයේ පැවත්ම ක්‍රියාකාරි කරවන භවගාමී සංසාර චක්‍රය දිගු කරන්නා වූ බලවත් පෙළඹවීමකි. ‘පේ‍්‍රමය’ ‘ආදරය’ යන සමාජීය ව්‍යවහාරය බුදුදහමේ ඉගැන්වෙන ‘කාමය’ ‘පඤ්චකාම’ යන විග්රහයට අදාළව පඤ්ච ඉන්ද්‍රීය සංතෘප්තියෙන් බැහැර නොවන්නක් වන අතරම එහි ඒකාර්ථය නිශේධාත්මක වූවකි. එනම් බුදුදහමේ පඤ්ච සීලයෙහි ‘කාමෙසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ යන ශික්ෂා පදය මගින් කාම මිත්‍යාචාරය හෙවත් පර පුරුෂ, පර ස්ත්‍රී සබඳතාවය ප්රමුඛව කාමාස්වාදය විරමණ’ හෙවත් වැළකීම් අර්ථයෙන් ගත යුතුය. මෙම හැඳින්වීම අවබෝධාත්මකව අර්ථවත්ව තේරුම් ගත යුතුව පවති. බුදුදහමේ ඉගැන්වෙන ‘කාම’ යන අර්ථ විග්රහයන් නිරවුල්ව තේරුම් ගත යුතුවේ. මතුපිට අදහස ගෙන ව්‍යවහාර ලෝකයේ පැවැත්ම සමඟ පටලවා නොගත යුතුය. ලෝකයේ පවතින ලස්සන දේවල් කාමය නොවේ. බුදුදහම එබඳු අගතිගාමි විඤ්ඤාණවාදයක්, ගූඪවාදයක් නොවේ. විචිත්‍රවත් වූ ලොවෙහි පවත්නා වූ කාම ගුණ කාම වස්තූ®න් කාමය නොවේ.
‘නතෙ කාමායානි චිත්‍රාණි ලෝකෙ
සංකප්පරාගො පුරිසස්ස කාමො
තිට්ඨන්ති චිත්‍රාණි තථෙව ලොකෙ
අථෙත්ථ ධීරා විනයන්හි ඡන්දං
මේ ලෝකයේ පවතින යම් සුන්දරත්වයක් වේද එය ලොව එසේම පවතී. ලෝකයේ ඇති එම ලස්සන සුන්දරත්වය ‘කාම’ නොවේ. ගලක ඇල දොල, වැඩෙන තුරුලතා පිපෙන මල්ගොමු නැගෙන කුරුලු හඬ මෙන්ම වනසතුන් නෙක සොබාදහම් නිමවුම් හි සුන්දරත්වය කාමය නොවේ. ලෝකයේ වෙසෙන මිනිසුන්ගේ සිත්හි උපදින ඇලීම බැඳීම හෙවත් සංකල්ප රාගය, මානසික සිතිවිල්ල කාමයයි. මෙම දේශනාව නුවණින් වටහා ගන්නේනම් මුළු ලොවෙහිම අන් කවර ජාතිකයෙකුට, ආගමිකයෙකුට වඩා අර්ථසම්පන්න, නිදහස්, සුන්දර නිවහල්, තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට බෞද්ධයනට හැකියාව පවතී. සුත්ත නිපාතයේ දේශනාවන් මගින් අසුන්, දෙනුන්, මෙහෙකරුවන්, රන්රුවන් ඥාතීන් හා ස්ත්‍රීන් කාම වස්තූ®න් වශයෙන් හැඳින්වෙන අතර මේවා කෙරෙහි යමෙකුª තුළ යම් ඇලීමක් බැඳීමක් වේනම් එය කාමයයි. බුද්ධ දේශනාවේ මූලික ඉගැන්වීම්වලට අනුව ප්‍රබල මානසික වේදනයක් වන ‘කාමය’ ඉතා සියුම් උපමාවන් ඇසුරෙන් අවබෝධය පහසු කරයි. කාමය ඇටසැකිල්ලකටත්, මහත් වේදනාවකටත් වියළි තණපත් දවාලන ගිනි හුලටත්, දැවෙන අඟුරු වලකටවත්, ගවයන් මරනු ලබන ගව මඩුවකටත්, සර්ප විෂකටත් නිදර්ශනය කිරීම මගින් අධ්‍යාත්මික සැනසිල්ලට කෙතරම් බාධාවක්ද යන්න තේරුම් ගත හැකිය. ස්ත්‍රී රූපය පුරුෂ රූපයටත්, පුරුෂ රූපය ස්ත්‍රී රූපයටත් අන්‍යොන්‍යව බැඳේ. ඔවුනොවුන් තුළ ඇලීම, හැඳීනීම, බැඳීම ගොඩ නැගේ. මෙම ඇලීම, බැදීම ‘කාම රාගය’ ලෙස බුදුදහම අර්ථ දක්වයි. පඤ්ච ඉන්ද්රියයන් කාම වස්තූ®න්ගෙන් තෘප්තිමත් කිරීම ආදරය කිරීමේ පේ‍්‍රම කිරීමේ ඉදිරියෙන්ම ඇතිවන සම්බන්ධතාවමැයි. එසේනම් ආදරය, පේ‍්‍රමය, කාමරාගය යනු ඉන්ද්රියයන් විෂය ගෝචර වූ ආශාවන්ගෙන් ලබන මානසික සතුටයි. පුද්ගලයා පඤ්ච ඉන්ද්රියයන්ගේ සංතෘප්තිය දැඩිව ග්‍රහණය කර ගැනීම ‘පඤ්චකාම ගුණිත රාග‘ යයි. පුද්ගලයා දැකීමෙන් රසාස්වාදය ඇතිවන වස්තූන් ළඟාකර ගැනීමේ, උපන් ආශාවෙන් තෘෂ්ණාවෙන් පෙළඹීම් ඇතිකර ගනී. රූපයට ඇලීම, බැඳීම ඇතිවුවහොත් එය දැක්මෙන්, ස්පර්ශයෙන්, එක්වීමෙන් සහනශීලි මාසිකත්වයට පත්වීමේ වුවමනාව ඔවුන්නොවුන්හට ජනිත වේ. විරුද්ධ ලිංගිකයන් තුළ මෙසේ ඇතිවන ආදරය පේ‍්‍රමය නිසා අයත්කර ගැනීමේ තමා සතුකර ගැනීමේ පිළිබඳ සිත් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවයෙන් පෙළේ. ආදරවන්ත වූ ඔවුනොවුන් හට වෙන්වී සිටිය නොහැකි තෘෂ්ණා යදමින් වෙළී සිටී. තමාගෙන් අනෙකාව වෙන්කොට සිතිය නොහැකි මානසික
කාමයෙහි ඇලීමෙන් වන තෘප්තිය “ කාමරාග ‘’ යයි. කාම සේවනයෙන් ලබන සතුට “ කාමනන්දි ‘’ නම් වේ. කාමයෙහි වෙලීම, බැඳීම “ කාම සිනෙහ” නම් වේ. කාමය මගින් ඇතිවන අසහනය දැවීම “ කාම පරිළාහ” යයි . තවද “ කාමතණ්හා” “කාමමුච්ඡා “ කාම ආසව“ “ කාමඕඝ” යන අර්ථ විග්රහයයන් සේම “”කාම උපාදාන” යන්නෙහි අදහස් වනුයේ කාමයෙන් අල්ලා ගැනීම් ස්වභාවය හෙවත් මගේය. මම, කියා ආදරය කිරීම් සිතුවිලි ස්වභාවයයි.
මහනිදාන සූත්‍රයෙහි සත්වයා තුළ තෘෂ්ණාව ක්‍රියාකාරීවන ආකාරය හඳුන්වයි. පුද්ගලයාගේ සංවේදනයන් හේතුවෙන් තෘෂ්ණාව, ආශාව උපදී. පුද්ගල සිතෙහි කාමය රාගය උපදිනුයේ කාමවස්තූන් සහ ඉන්ද්‍රියන් ක්‍රියාකාරී වීමෙනි. තමා බලාපොරොත්තුවන වස්තූන්, අවස්ථාවන් හැඟීම් ඉටු කර ගැනීමෙහිලා වෙහෙස වේ. ඒවා අයත්කර ගැනීම , තමා සතු කර ගැනීම සඳහා අරගල කරනවා සේම අපේක්ෂා භංගත්වයක් සිදු වුවහොත් දැඩි චිත්ත පීඩාවකින් අසහනයට පත් වෙයි. ආදරණීය හමුවීමෙහි සබඳතාවයෙහි අරමුණ නිරතුරුවම ආශ්වාදය වින්දනය ලැබීමෙන් පරිබාහිර වූවක් නොවේ.
පුද්ගලයා තම ඉන්ද්රියයන් මගින් සහ සමස්ත කායික මානසික පද්ධතීන් ඔස්සේ සුඛාස්වාදය ලබන බව බුදු දහම අවධාරණය කරයි. ව්‍යවහාර ලෝකයේ මිනිස් ප්‍රජාව සැප ලෙස හඳුනා ගනු ලබන මෙබඳු දෙයින් තාවකාලික ඕලාරික සැපයක් පමණක් ලැබිය හැකිය. කාම ලෝකයක ලබන මෙම තාවකාලික සැපය තුළ ක්‍රියාත්මක වන මිථ්‍යාව චක්‍රීය පුරුදු ගොනුවක දුක් රැසක මුලට හේතුවකි. කාමය, ආදරය, පේ‍්‍රමය පිළිබඳ බුදු දහමේ අර්ථ දැක්වීම මිථ්‍යාවෙන් බැහැර වු යථාර්ථයට සමීප වන්නකි.
මිනිසාගේ ජීවි පැවැත්මේ ප්‍රධාන ක්‍රියාවලින් අතර රාගය, ආශාව, ප්‍රබල ලෙස බලපායි. ස්ත්‍රී පුරුෂ ආදරය තුළ ක්‍රියාත්මක වන්නේ රාගික සිතිවිල්ලයි.
සමාජයක් ලෙස දිගුකාලීන මානව සංහතියේ පැවැත්මට එය ප්‍රධාන හේතු සාධයක් බැවින් ලෝක ව්‍යවහාර තුළ බුදුදහම එය ප්‍රතික්ෂේප නොකරයි. එහෙත් පුද්ගලයාගේ චිත්ත සන්තානයෙහි පවත්නා සරාගී සිතුවිලි විරාගී සිතිවිලිමය ස්වභාවයක් දක්වා උසස් මානසික පෙරළියකට යොමු කිරීමෙන් ලබන සැනසීම අත්විඳිය හැකි බැවින් ආදරය, පේ‍්‍රමය, සම්බන්ධයෙන් යම් ශික්ෂණයක්, ප්‍රතිපත්තියක් තිබිය යුතු බව බෞද්ධයනට නිර්දේශිතය , “ අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි “ උපෝෂථ සීලය ලෙස අනුදත් අෂ්ටාංග සීලයෙහි කුමර බඹසර කුමරි බඹසර රැකීම සේම ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් උපෝෂථ සීලයෙහි පිහිටියවුන් වැළකීම උසස් කාර්යය ලෙසින් දේශනා කළේ එබැවිනි.
සිඟාලෝවාද සූත්‍රයෙහි මව්පිය දූ දරු සබඳතාව විශේෂයෙන්ම අඹුසැමි සබඳතාව යුතුකම් ගරු කිරීම මත ප්‍රතිපත්තිමය, ගිවිසුම් ස්වරූපි දේශනාවක් ලෙස අන්තර්ගත කළේ පුද්ගල ජීවිතය තුළ ප්‍රායෝගිකව අනුගමනය කිරීම සඳහාය. එමගින් යුතුකම් ගරුක ශික්ෂණය වූ සමාජ සංස්ථා රැසක පදනම පවුල ම¼ගින් සකස් කරනු ලබයි.
ස්ත්‍රී පුරුෂ ආදරයේ අරමුණ පරමාර්ථය ජීවිතයේ සතුටයි. සැපයයි. තවද පවුල් ඒකකයක් ලෙස සංවිධානය වීම තවත් අරමුණකි. ලෞකික ජීවිතය තුළ “සුඛකාමෝ සැප කැමති,” දුක්ඛ පටික්කූලා දුක පිළිකෙව් කරන සියලු සත්වයා පී‍්‍රතිමත් බව වින්දනය පතති. සොයති. පොදුවේ සත්වයා තුළ පවතින කාම ආශය කිසි දිනෙක තෘප්ත නොවන අසහනකාරී ස්වභාවයයි.
“ඌණො ලොකො අනිත්තො, තණ්හා දාසො” යන මජ්ඣිම නිකායේ රට්ඨාපාල සූත්‍රයේ දේශිතය. සෑම මිනිසෙක්ම කායික මානසික පීඩනයන්ට එරෙහි වෙමින් විඳින්න සිදුවන පීඩාවේ කෙළවර මරණය නම් එය ද පිළිකෙව් කරමින් ජීවත් වීමට කැමති වේ. පුද්ගල මනසෙහි නිරන්තර ස්වභාවය නම් සුව පහසු වේදනා විඳීම් සහිත අරමුණු පසුපස ලුහු බැඳීමයි. ප්‍රේමය, ආදරය මඟින් උත්තේජනය ලබන විට සතුට සැපය සෙවීම මූලික මිනිස් ස්වභාවයකි. පුද්ගලයා තුළ ජනිත වන කාමුකත්වය පිනවීම දැඩි අවශ්‍යතාවයක් වන අතර එම ආශාව නිසාම දැඩි දැවීමක්, අසහනයක් ඔහු අත්විඳිනු ඇත.
නොසංසිඳෙන නොනිත් කාමරාගයෙන් පෙළෙන සිත කායික නොසන්සුන්තාව ඇති කරන බව බුද්ධ දේශනයයි. ආදරය මූලික අංශයක් වන බැවින් ඒ හා බැඳෙන මානසිකමය ක්රියාවලියෙහි දී යම් යම් විෂය ප්රවේශයන්ට අනුව සාධාරණ පැවැත්මක් වූවද බුදුදහම අවධාරණය කරනුයේ අසංතෘප්ත වූ නොසංසිඳෙන ආශාවේ මානසිකත්වයේ ප්රතිවිපාකයයි. පසු ඵලයයි.
ආදරණීය වූ ස්ත්‍රී පුරුෂ බැදීමෙහි විස්තර කළ හැකි එමෙන්ම නොහැකි පැතිකඩ සමූහයක් පවතී. එය නව යොවුන්වියේ දී ඇතිවන ලිංගික පරිණතය මත උපදින කායික මානසික අවශ්‍යතාවක් විය හැකි ය. ජීවි පැවැත්ම තහවුරු කරන පුද්ගලාන්තර සබඳතාවය ලෙසද හැඳින්විය හැකි ය. බුදු දහම මෙම පිළිගැනීම් විග්රහයයන් සමස්ත වශයෙන් ම ප්‍රතික්ෂේප කරන, ඊට එරෙහි වන චින්තනයකින් හෙබි ධර්මයක් නොවේ. ආශාව, රාගය මුල් වූ ස්ත්‍රී පුරුෂ ආදර බන්ධනය මගින් සමාජමය,සදාචාරමය, ශික්ෂණය පුද්ගල පාරිශුද්ධිය මගින් සමාජ පාරිශුද්ධිය, සංවර්ධනය සඳහා කෙරෙන අනුශාසනයකි. ජීවන ප්‍රතිපදාවකි. සමාජ සත්ව ප්‍රජාව තුළ සියල්ලෝම පැවිදි විය යුත්තෝ ය, පැවිද්ද තුළ නිර්මාණාවබෝධය අනිවාර්යයෙන්ම සිදුවේ ය යන ඉගැන්වීම බුදු දහම සඳහන් නොකරයි.
බුද්ධ දේශනාව සමාජ පැවැත්ම සුඛිත මුදිත විය යුතුය යන මඟ පෙන්වීම කරනවා සේම ස්ත්‍රී පුරුෂ සබඳතාවය ඊට අනුබලයක් සපයන ප්රතිපත්තිගත රාමුවක් තුළ සංවිධානය කරනු ලබයි. දහමේ සිරකරුවන් වහලුන් බවට පත් කර ජීවි පැවැත්මට, මූලික අවශ්‍යතා මුලිනුපුටා දැමීමට කරන ලද අනුශාසනයක් බෞද්ධ චින්තනයේ හමු නොවේ. භික්ෂූන් වහන්සේට පවා ධර්ම ගැටලු විමසා දුන් චිත්ත ගෘහපතියා, සෝවාන් ඵල ලාභී අනේපිඩු සිටුතුමා, බිම්බිසාර මහ රජතුමා දරු මුණුබුරන් සියයක් ලද සෝවාන් වූ විශාඛා මහ උපාසිකාව අනාගාමීව මරණාසන්න අවස්ථාවෙහි රහත් වූ සුද්ධෝදන රජතුමා වැනි චරිත මඟින් බුදුදහමේ පරමාර්ථය සහ සමාජීය පැවැත්ම අතර ගැටුමක් නොවන බව පැහැදිලි ය.
ධර්මානුධර්ම ගත ඔවුනොවුන් කෙරෙහි ගෞරවය විශ්වාසය ගොඩ නැගෙන ස්ත්‍රී පුරුෂ සබඳතාවය තහවුරු වීමට එය අනුබලයක් වේ. පෙරදිග අපරදිග සෑම දේශ දේශාන්තරයකම පාහේ සමාජ දේහය අඹු සැමි විරසකකම , මව අතහැරයාම, පියා වෙන්වීම ආදි වූ අර්බුද රැසකින් ඔද්දල් වී බිඳුණු සමාජීය වාතාවරණයක ගොඩනැගී අවසානය.
අපගේ පැහැදිලි කිරීමට අනුව මෙයට ප්‍රධානතම හේතුව ලෙස ස්ත්‍රී පුරුෂ ආදරය, බැඳීම තුළ ඉලක්ක කරන අවස්ථාවාදීබව, තාවකාලික වින්දනයක් ලැබීම, දැක්විය හැකිය. ඔවුහු, මවක වීමට පියෙකු වීමට දරුවන් හදා වඩා ගැනීමේ රැක බලා ගැනීමේ පවුලක් ලෙස කුටුම්භගතවීමේ බලාපොරොත්තුවෙන් විරහිතය. ඇමරිකානු සමාජය තුළ පියා නොමැති දරුවන් රැක බලා ගැනීම රජයට ප්‍රබල අභියෝගයක්ව පවතී. නීතියෙන් විවාහ නොවුණු හුදු හැඟීම මුල් කරගෙන කටයුතු කරන තරුණ තරුණියන් නිසා උපත ලබන දරුවන්ගේ අනාගතය ඛේදනීයය. හින්දු ආගම විවාහය අනිවාර්ය කරන ලද ආගමික නීතියකි.
ශ්‍රී ලංකා සමාජයේ වුවද විවාහ නොවීම සමාජ විවාදයේ මාතෘකාවකි. අප රටේ වැඩිහිටි කා අතරත් “ පවුල් පන්සල් වීම” “ පරස්තාවක් කරගැනීම “ “ එක්තැන්වීම “ “ දරුමල්ලෝ හැදීම යන ප්රස්තුතයන් මගින් ස්ත්‍රී පුරුෂ සබඳතාවයේ සමාජීය පරමාර්ථය අර්ථ දක්වයි.
සංයුක්ත නිකායේ දෙවතා සංයුක්තයේ වත්ථු සූත්‍රයෙහිදී “ පුත්තා වත්ථු මනුස්සානං - භරියාව පරමාසඛා” මිනිසුන්ට දූ පුතුන් වස්තූන් වේ. පුරුෂයාට හොඳම මිතුරිය තම බිරිඳයි යන දේශනාව වටිනා ධර්මෝපදේශයක් වනුයේ සරාගී සිතුවිලි වලට ගිජුවන මුළාවන ආදරවන්තයන්ගේ දිනය දා හමුවන අයහට නොවේ. ඔවුන් තුළ ඇතිවන හැඟීම, රාගය බැවින් එය පල් වූ වතුර රැඳෙන අපවිත්‍ර ජලයකට සමානය.
සැබවින්ම ඔවුන්ගේ ඇස් පෙනුනද නොදැනීම නිසා කාමයෙන් මත්ව අන්ධව ක්‍රියා කරයි. දාර්ශනිකයෙකු ලෙස ලෝක පූජිත බර්ට්‍රන්ඩ් රසල් නම් විද්වතා ඔහු විසින් රචිත ර්චපපඪචඨඥ චදඤ ර්ධපපචත නම් ග්රන්ථයෙහි “ තමා අකමැති අයකු හා යමෙකුගේ විවාහය වේදනාවක් ලෙස විග්රහ කරනු ලැබීය. මෙම ප්‍රකාශය වැරැදි ලෙස තමාට වාසි ලෙස ආදරවන්තයින් පිළිගෙන තිබෙනවා විය හැක.
විවාහය පුද්ගල ජීවිතයක ඉතාම සුවිශේෂි හමුවීමක් බැවින් රසල්තුමාගේ ප්‍රකාශය නිවැරැදිය. වර්තමාන ලෝකයේ තරුණ තරුණියන් ආදරයෙන් මුසපත්ව හැසිරෙන ක්‍රියාකරන ආකාරයේ බොහෝ ප්‍රතිඵලය වනුයේද වේදනාවමය.
එම වේදනාව අත්විඳීනුයේ දැන හඳුනාගෙන , තමාට ගැලපෙන අයෙකු හා සරණයාම අරමුණු කරගෙන ආදරය කිරීම නිසාද? නැතහොත් ආදරවන්තයින්ගේ හමුවීම පෙර දැන හඳුනා ගැනීමට සොඳුරු අවස්ථාවක් පමණක්ද? යන්න විමසිය යුතුය.
ආදරය කිරීම සෙනෙහස මිනිස් සිතෙහි ඇතිවන මනෝභාවයකි. යමෙක් යමෙකුට ආදරය කිරීම වරදක් නොවේ. ආදරයේ උපරිමය මව්පිය දූදරුවන් අතරද දැකිය හැකිය. ගුරු ශිෂ්‍ය ඔවුනොවුන්ගේ ආදරයද එබඳුය. ආදරය ඇතිවනුයේ මිනිස් හදවත් තුළය. යමෙකුට ආදරය ලැබීම මෙන්ම ආදරය කිරීම කළ හැකිනම් එය ප්රශස්ත පෞරුෂ ගුණාංගයකි. එබැවින් යෞවන යෞවනියන් තුළ ආදරය කිරීම වරදක් නොවේ.
එය කිසිදා ආගමික ඉගැන්වීමකින්, විද්‍යාවකින් හෝ විෂයකින් වරදක් ලෙස දක්වා නැත. එහෙත් ආදරවන්තයින්ගේ දිනය (ඍචතඥදබඪදඥඵ ඤචර) තරුණ තරුණියන් තුළ කාම උන්මාද ඇති කරවන, විකෘති කාමස්වාදයකට පොළඹවන දිනයක් බවට පත් කිරීම අතිශය කනගාටුවට කරුණකි.
යෞවන යෞවනියන් තුළ සැබෑ ආදරයක් තිබේනම් දෙමාපියන්ට, ගුරුවරුන්ට , වැඩිහිටියන්ට, නොදන්වා ආදරණීය දවසකට සොර සිතින් එක්වීමේ ඵලය කුමක්ද? යොවුන් වියේ තරුණ තරුණියන්ගේ ආදරය ගැන අපගේ විරෝධයක්, ඊර්ෂ්‍යාවක් , එරෙහිවීමක් නැත. ඔබේ කුණාටුවන වසත් සමය ජීවිතයේ සොඳුරුතම බුද්ධිමත්ම අවධිය වෙත බුදුදහමේ පණිවුඩය එක්කරදීම අපගේ උත්සාහයයි. ජාතියක ජීවය බඳු, කොඳුනාරටිය බඳු තරුණ පරපුරට නිවැරැදි මඟ කියාදීම වැඩිහිටි කාගේත් පරම යුතුකමකි.
තරුණ තරුණියන්ගේ අහිංසක ආදර හැඟීම් විකුණන වාණිජකරණයේ ගුප්ත රැවටීමෙන් බුද්ධිමත් ඔබ මිදිය යුතුය. ඇතැම් විද්‍යුත් මාධ්‍යය මායම්වලින් බොරු ප්‍රෝඩාවන්ගෙන් රැවටීමෙන් සැබවින්ම ඔබ ආරක්ෂා විය යුතුය. ඔබේ අහිංසක සොඳුරු ප්‍රාර්ථනාවන් අලෙවිකරන වෙළෙන්දන්ට හසු නොවී තීරණයක් ගැනීම ක්‍රියාත්මක වීම ඔබ සතු කාර්යයකි. රතු රෝස මලකට, ඔබේ හැඟුම කාඩ් පතක බොළඳ වදන් වලට, අශික්ෂිත දසුන් වලට අලෙවි කිරීමට එරෙහිව ඔබ ක්‍රියාත්මක විය යුතුය. වෙළෙන්දෝ කවදත් කොතනත් බලනුයේ ලාභයයි.
ඔබේ ආදරණීය හැඟීම් විකෘති කරන, ඔබේ දෙමාපියන්ගේ ධනය සූක්ෂමව ඔබ මගින් සූරාකන ආදරවන්තයින් මෙදිනට අනිවාර්යයෙන්ම හමුවිය යුතු යැයි කෙරෙන ප්‍රචාරණයට එරෙහි වීමේ ක්රියාත්මකභාවය ඔබ විසින්ම කළ යුත්තකි. සෑම වර්ෂයකම සෑම දිනයක්ම සැමකෙනෙකුටම වැදගත්ය.
පෙබරවාරි මස 14 දා ආදරවන්තයන්ගේ දිනය යනුවෙන් බහු ප්රචාරයට පත් කිරීම ලේබල් කිරීම මුළාවකි.
මෙම බහු ප්රචාරයට ඊනියා දින සැමරුමට නැවතුම තැබීම ඔබගේ සොයුරු සොයුරියන්ට අනාගත දරු පරපුර වෙනුවෙන් අද කළ හැකි ප්‍රමුඛතම ආදරණීය වූ ආයෝජනයයි.
උපුටාගැනීම ''බුදුසරණ'' අන්තර්ජාල කලාපයෙනි..
භාර්යා වර්ගීකරණයයි ඔවුන්ගේ චරිත ලක්ෂණය&
භාර්යා වර්ගීකරණයයි ඔවුන්ගේ චරිත ලක්ෂණයි
රුහුණ විශ්ව විද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
ආචාර්ය
බෙලිගල්ලේ ධම්මජෝති හිමි
සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන සත්තභරියා සූත්‍රය ඉතා අගනා සමාජ දර්ශනයක් ඉදිරිපත් කරයි. එම සූත්‍රය මනුෂ්‍ය සමාජයේ ගෘහ ජීවිත සම්බන්ධයෙන් අමිල වටිනාකමක් ඇති භාර්යා වර්ගීකරණයක් (Classfication of wives) සහ ඔවුනගේ චරිත ලක්ෂණ විවරණයක් (Interpretation of Characteristices) ද ගෙනහැර දක්වයි.සූත්‍රයේ අන්තර්ගතය හා කථා පුවත මෙසේ ය.
එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වාසය කරන කල්හි අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වඩියි. සුදුසු ලෙස පැන වූ ආසනයෙහි බුදුරදුන් වැඩ සිටියහ. එම අවස්ථාවෙහි සිටුතුමාගේ නිවසෙහි මිනිස්සු උස් හඬින් මහහඬින් කථා කරමින් සිටියහ.
එවිට අනේපිඬු සිටුතුමා බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි විය. එම අවස්ථාවේදි බුදුරදුන් සිටුතුමාගෙන් මෙසේ විචාළේය.
“ ගෘහපතියෙනි, කුමක් හෙයින් ද ඔබගේ නිවසේ මිනිස්සු මසුන් මරන්නන් මාළු ගොඩගත් තැන ඇතිවනවා මෙන් උස් හඩින් ඝෝෂා කරන්නේ?”
“ ස්වාමීනි , සුජාතා නම් කුල දුවණියක් ආඪ්‍ය කුලයකින් (From a wealthy family) ගෙන ආවා. ඇය මේ මාගේ නැන්දණිය කියා හෝ මේ මාගේ මාමණ්ඩිය කියා හෝ නොසලකයි. මේ මාගේ ස්වාමියා නේද කියා හෝ නොතකයි. භාග්‍යවතුන් වහන්සේට හෝ සත්කාර ගරුකාර නොකරයි.
නො පුදයි. “ මේ මහා ශබ්දය ඇය සේවකයන්ට අමතන ශබ්දය හා ඒ අය අමතන ශබ්දයි. (මෙහි සුජාතා යනු විශාඛාවන්ගේ බාල නැගණියයි. එසේම ඇය ධනඤ්ජය සිටුතුමාගේ දුවණිය යි) මෙම පුවත බුදුරදුන්ට සැල කරන අවස්ථාවේදී පවා ඇය එම නුදුරෙහි සිටගෙන, සිටුවරයා තමාගේ ගුණ කියනවා ද අගුණ කියනවාද යැයි අසාගෙන සිටියාය.
එවිට බුදුරදුන් “ සුජාතාවනි මෙහි එව” යැයි ඇමතු සේක.
සුජාතාව බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි වූ අතර බුදුරදුන් ඇයට ලොවෙහි භාර්යාවන් පිළිබඳ ධර්ම දේශනයක් කළහ.
මේ සූත්‍රයට අනුව ලෝකයේ භාර්යාවරුන් සත්දෙනෙක් වෙති. එනම්.
වධකසමා – වධක වැනි භාර්යාව
චොරිසමා - සොර භාර්යාව
අය්යසමා – ආර්ය්යා භාර්යාව (ස්වාමියා මැඩගෙන සිටීම)
මාතුසමා – මව හා සමාන භාර්යාව
භගිනි සමා - සොයුරිය හා සමාන භාර්යාව
සඛීසමා – යෙහෙළියක බඳු භාර්යාව
දාසිසමා – දාසි භාර්යාව ය
භාර්යාවරු සත්දෙනා හඳුන්වා දී ඔවුන් අතුරෙන් ඔබ කවරෙක් වෙහි ද? විචාළ සේක.
එවිට ඇය “ ස්වාමීනී , එම දේශනාවේ අර්ථය මම නොදනිමි” යි ද එය සවිස්තරාත්මකව දේශනා කරනු මැනවි යයි ද කීවා ය. එවිට බුදුරදුන් සත්ත භාර්යාවන්ගේ ගුණ අගුණ ප්‍රකාශ කළ හ. ඒ අනුව භාර්යාවරුන්ගේ ලක්ෂණ මෙසේය.
1. වධක භාර්යාව
1. ප්‍රදුෂ්ට සිත් ඇතිවීම
2. හිතානුකම්පී නැතිවීම
3. පරපුරුෂයන් කෙරෙහි ඇලීම
4. සැමියා ඉක්මවා සිතීම
5. වධ කිරීමට උත්සුක වීම
2. චෞර භාර්යාව
1. ශිල්ප ශාස්ත්‍ර වෙළහෙළදාම් හෝ ගොවිකම් කටයුතු ආදියෙන් සැමියා උපයන ධනය අල්පයක් හෝ පැහැර ගැනීමේ සිතින් කටයුතු කිරීම
3. ආර්ය්යා භාර්යාව
1. කළ යුතු දේ නොරුස්සයි
2. අලස වීම
3. බොහෝකොට අනුභව කිරීම
4. රළුවීම
5. සැඩවීම
6. කැකුළු වචන (කර්කශ වචන) කීම
7. ස්වාමියා මැඩගෙන සිටීම
4. මාතු භාර්යාව
1. හිතානුකම්පී ඇතිවීම
2. මවක් පුතකු රක්නා සෙයින් සැමියා රැකීම
3. උපයන ලද ධනය රැකීම
5. භගිනි භාර්යාව
1. ස්වාමියා කෙරෙහි ගෞරව සහිත වීම
2. ජ්‍යෙෂ්ඨ සහෝදරයා කෙරෙහි කනිෂ්ට සොයුරිය සේ කටයුතු කිරීම
3. ලජ්ජා සිත් ඇතිවීම
4. ස්වාමියාගේ වශයෙහි අනුව පැවතීම
6. සඛී භාර්යාව
1. ස්වාමියා දැකීමෙන් ප්‍රමුදිත වීම
2. කුල සපන් වූවා වීම
3. සිල්වත් වීම
4. පතිව්රතාව රක්ෂා කිරීම
7. දාසි භාර්යාව
1. දඬු ගෙණ තර්ජනය කළ ද නොකිරීම
2. දුෂ්ට සිත් නැතිවීම
3. ස්වාමියා හට ක්ෂමා කිරීම
4. නොකිපෙන සුලුවීම
5. ස්වාමියා වශයෙහි පැවතීම
මේ ලෝකයේ වධක භාර්යාවරු ද, චොර භාර්යාවරුද, ආය¸ා භාර්යාවරු ද, දුස්සීල හෙයින් මරණින් මතු අපාගත වෙති. මේ ලෝකයේ මාතෘ භාර්යාවරු ද භගිනි භාර්යාවරු ද සඛී භාර්යාවරු ද දාසි භාර්යාවරු ද සිල්වත් බැවින් මරණින් මතු සුගතියට යති.
මෙම ලක්ෂණ පැහැදිලි කිරීමෙන් පසු බුදුරදුන් යළිත්, “ඔබ කවරෙක් වෙයි ද? “ සුජාතාවගෙන් විමසූ කල්හි ඇය මෙසේ කීවාය.
“ස්වාමීනී, මම අද පටන් මාගේ සැමියාගේ දාසියක හා සම වූ භාර්යාවක් වෙමි ” සත්තභරියා සූත්‍ර දේශනාව අවසානයේ අතිශින්ම ප්රගල්භ ගති ඇති ව සිටි සුජාතා ගෘහපති දියණිය නිහතමානි ගති ඇති දාසි භාර්යාවක් බවට පත්වීමට අදිටන් කර ගත්තාය. වර්තමාන සමාජය තුළ දුර්ගුණ ගති ඇති කාන්තාවන්ගේ හැසිරීම විමසා බලන කල්හි වධක චෞරී අර්ය්‍යා භාර්යාවරු ඒ අතර සිටින බව ඉතා පැහැදිලිය.
එසේම මාතු භගිනි, සඛී , දාසි භාර්යාවරු ද අප සමාජයේ සමාජ ප්රගමනයට , සමාජ සදාචාරයට උතුම් කාර්යභාරයක් ඉටුකරති. විෂම ගති ඇති, බිඳ වැටුණු පවුල් පරිසරයක් නිමැවෙන්නේ දුර්ගුණ ගති ඇති කාන්තාවන්ගෙනි.
උතුම් ගති ඇති භාර්යාවරු සැමවිටෙක ම උදාර ශිෂ්ටාචාරයක නිර්මාණාත්මක බලවේගය නියෝජනය කරති.
සත්තභරියා සූත්‍රය ඇසුරෙනි
''බුදුසරණ'' අන්තර්ජාල කලාපයෙනි..
නූතන විද්‍යා අභිබවන බුදු දහමේ විද්‍යා ඤාණ
කොබ්බෑවලසුමනදාස වීරසිංහ
තම දැන උගත්කම් අන් අයට හඟවන්නට සිතන, පණ්ඩිත මානයෙන් පිරුණු මානසිකත්වයක් ඇති අය බුදුදහම නවීන විද්‍යා සමඟ සසඳන්නට නොයෙක් අදහස් හා තර්ක විතර්ක මත පළ කරති. එසේම මේ පිළිබඳ ලියැවුණු පොත්ද බහුලව දකින්නට ලැෙයි.
රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, මනෝ විද්‍යාව, තරකා විද්‍යාව භූගෝල විද්‍යාව, සාගර විද්‍යාව, කෘෂි විද්‍යාව, දේශපාල විද්‍යාව, ආර්ථික විද්‍යාව ආදී මෙකී නොකී විද්‍යා, ප්‍රමාණයෙන් සිය දහස් ගණනක් ඇත. මෙසේ නොයෙකුත් විද්‍යා හා විද්‍යාඥයන් අද ලෝකය පුරාම ඇත. මේ කිසිම විද්‍යාවකට හෝ විද්‍යාඥයකුට දැනට අවුරුදු 2551 කට පෙර සියලු විද්‍යා අවබෝධ කළ අමා මෑණි බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කොට වදාළ ත්‍රි විද්‍යා, අෂ්ට විද්‍යා සහ ලෝක විද්‍යාව ග්‍රහණය කරගන්නට හෝ එය වෙනස් කර විකල්ප ගොඩනගන්නට නොහැකි වී ඇත. ඒ නිසාම බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රි විද්‍යා අෂ්ඨ විද්‍යා ත්‍රි විද්‍යානම්,
පුබ්බේ නිවාසානුස්සති ඤාණය
චුතුපපාත ඤාණය
ආසවක්ඛය ඤාණය යන තුනයි.
පුබ්බේ නිවාසානුස්සති ඤාණය
අගක් මුදල් නොපෙනෙන සංසාරයේ පෙර භවයන්හි දී ඉපදී සිටි අයුරු දැන ගන්නා විද්‍යාව පුබ්බේනිවාසානුස්සති ඤාණයයි. බුදුරජාණන් වහන්සේගෙන් පසු එම විද්‍යා පහළ කර ගත් අභිඥාලාභී මහරහතන්වහන්සේ හැරුණු කොට, මෙම විද්‍යා දැනගත් කිසිම විද්‍යාඥයකු ගැන දැනගන්නට නැහැ. පුනර්භවයක් ඇත හෝ නැත යනුවෙන් තර්ත විතර්ක ඉදිරිපත් කරන උගත්තු ලෝකය පුරාම විසිරී සිටිති. මෑත යුගයේ එඩ්ගා කේසී නම් පුද්ගලයන්ගේ් පෙර භව ගැන විශේෂ තොරතුරු හෙළි කළ අයෙකි. පුබ්බේනිවාසානුස්සති ඤාණය නමැති විද්‍යාව නවීන සියලුම විද්‍යා අභිබවා ගිය අසම සම විද්‍යාවකි. එය ගෙවී ගිය සිය වසර 2551 තුළදී මෙන්ම අනාගතයේදී ද කිසිම නවීන විද්‍යාවකින් හෝ නවීන විද්‍යා තාක්ෂණ උපකරණයකට හෝ ග්‍රහණය කර ගැනීමට නොහැකි වන්නකි. සර්වඥයන් වහන්සේ නමකටම විශේෂ වූ කල්ප ගණයක් පෙර භව ගැන කාල, දීප, දේශ සත්ව යෝනි ආදි සියලු තොරතුරු ඉතා නිවැරැදිව ලබාගත හැකි ඥාණය බදු තාක්ෂණික උපකරණයක් මෙතෙක් නිපදවා නැත. එය අනාගතයේදීත් කිසිම දවසක කිසිම විද්‍යාඥයකුට බුදු දහමින් බැහැර වෙනත් විද්‍යාවකින් කළ නොහැකි දෙයකි.
චුතුපපාත ඤාණය
මෙයද නවීන විද්‍යාව හමුවේ ඇති අභියෝගයෙකි. සත්වයෙකු මියගිය පසු ඔහු සියලු කෙලෙස් ප්‍රහීණ කළ අයකුª නොවේනම් නැවත කුමන හෝ ප්රතිසන්ධි තලයක පුනර්භයක් ලබයි. මෙසේ සත්වයන් මතුª ඉපදෙනවාද? නැද්ද යන්නට පාව නිශ්චිත පිළිතුරක් දීමට අසමත් නවීන විද්‍යාධරයන්ට සත්වයන් නැවත උපදින ස්ථාන තාක්ෂණ උපකරණයකට අසුකර ගැනීමට මෙතෙක් බැරිවූවා මෙන්ම අනාගතයටද එම අභියෝගය එසේම පවතිනවා ඇත.
ආසවක්ඛය ඤාණය
නවීන ලෝකයේ බොහෝ ප්‍රශ්න වලට මුල තෘෂ්ණාවයි. යුද ගැටුම්, දේශ සීමා අරගල, බෙදුම්වාදී ත්‍රස්තවාදී ක්‍රියා, ලෝක බලවතුන් වීමේ තරගකාරී ප්රයත්න, න්‍යෂ්ටික අවි ආයුධ නිපදවීම් ආදී සෑම විනාශකාරී මුල මිනිසුන්ගේ් සිත් තුළ පහළ වන රාග, ද්වේශ, මෝහ ආදි ක්ලේශම ය. නා නා විධ ක්ලේශ මාන නිසා එකකු පරයා තවකෙක් නැගී සිටීමට දඟලන තරගකාරි මානසිකත්වයක් ලෝකය පුරා වෙසෙන බොහෝ දෙනෙකු තුළ පවතී.
සිතක පහළ වන කෙළෙස් වර්ග වශයෙන් 1500 ටත් වැඩිය. (අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන්ගේ කෙලෙස් 1500 නමැති ධර්ම පුස්තකයේ ඒ ගැන සඳහන් වෙයි.) මිනිසුන් එකිනෙකා ඇන කොටා ගන්නේත් , හොරකම් කරන්නේත්, බොරු කියන්නේත්, වංචා - කපටිකම් කරන්නේත්, කෙටියෙන් කියනවානම් දස පාප ක්‍රියාම කරන්නේ ඔවුන්ගේ් සිත් තුළ පැලපදියම්ව පවතින කෙළෙස්මල නිසා ය. එවන් මිනිසුන්ගේ සිත් විසින් එම කෙලෙස් ඉවත් කර සිත් පිරිසිදු කිරීමට හැකි වෙනත් නව විද්‍යාවක් මෙතෙක් සොයා ගැනීමට නොහැකිවී ඇත. වෛද්‍ය විද්‍යාවේ ඉගැන්වෙන පංච කර්ම මගින්ද එය කළ නොහැකි ය. කෙලෙස් මල ඉවත් කළ හැකි ඖෂධයක් හෝ සැත්කමක් කිසිම වෛද්‍ය ක්‍රමයක් තුළ දක්නට නොලැබේ. විවිධ විද්‍යා දැනුම් උදෙසා, විද්‍යාජෝති, නොබෙල් ආදි සම්මාන පිරිනැමුණත් ත්‍රිවිද්‍යා නැති විද්‍යා ඤාණ සම්බුද්ධ ශාසන ප්‍රතිපදාවෙන් බැහැර ව කිසි විද්‍යාඥයකුට ලබාගත නොහැකි ය. ලෝක සත්ත්වයන්ට සදාතනික වූ නිවන් සුවය ලබා දෙන සියලු කෙලෙසුන් නිරුද්ධ කිරීමේ විද්‍යාව කිසිම විද්යාකට සමකළ නොහැකිය.
බුදුන්වහන්සේ තම අරිය පර්යේෂණය මගින් පෙන්වා දී ඇති අෂ්ඨ විද්‍යාවක් ගැද දහමෙහි සඳහන් වෙයි.
විදර්ශනා ඤාණය නම් වූ විද්‍යාව : සෑම දෙයක් පිළිබඳ ව ඇත්ත ඇති සැටියෙන් විනිවිද දැකීමේ විශේෂ නුවණ
මනෝභය සෘද්ධි ඤාණය - බොහෝ දෙනකු ලෙස පෙනී සිටීම, නොපෙනී සිටීම
සෘද්ධිවිධ ඤාණය - අහසින්යෑම, දිය මත ඇවිදීම, පොලොවේ කිමිදී යෑම, ගිනිමත සිටීම. (මේ ඤාණලාභීන්ට මෙසේ මේ සෘද්ධි ප්‍රතිහාරයේ පෑමට අද මෙන් යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය නැත.)
දිව්‍ය ග්‍රෝත ඥානය - දුර පවතින ශබ්ද , යන්ත්‍ර වලටවත් අසුනොවන සියුම් ශබ්ද ආදිය ඇසීමේ විද්‍යාව
පරචිත්තවිජානන ඤාණය - අනුන්ගේ සිත් දැනගැනීමේ විද්‍යාව (මෙය නූතන මනෝ විද්‍යාව මඟින්වත් මෙතෙක් කළ නොහැකිව තිබේ)
පුබ්බේනිවාසානුස්මෘති ඤාණය - පෙර භව ගැන දැනීමේ විද්‍යාව (ත්‍රී විද්‍යා යටතේ ද මෙය සඳහන් වෙයි)
දිව්‍ය චක්ඛු ඤාණය - ඕනෑම දුරක පවතින දෙයක් දැනීමේ විද්‍යාව (මෙය නවීන රූපවාහිනි, චන්ද්‍රිකා, ඉන්ටර්නෙට්ය ආදි තාක්ෂණ මගින් පවා දැකගත නොහැකි තරම් දුර හා සියුම් දෑ දැකගත හැකි විද්‍යාවෙකි
ආශ්රවක්ෂයකර ඤාණය - ආශ්‍රව ක්ෂය කිරීමේ විද්‍යාව (ත්‍රී විද්‍යා යටතේ් ඉහත විස්තර කර ඇත.)
ගුවන් විදුලි හා දුරකතන මගින් අද දුර ඇති ශබ්ද ඇසීමට හැකි විද්‍යාවක් මෙන්ම දුර පවතින රූප දැකීමට හැකි රූපවාහිනී චන්ද්‍රිකා තාක්ෂණයක් ද ඇතත්, ඉහත අෂ්ට විද්‍යා යටතේ දැක්වෙන විද්‍යාවලට ඒවා කෙසේවත් සමකළ නොහැකියි. ඉහත සියලු විද්‍යා කිසිම බාහිර වස්තුවක් හෝ බලයක් පිළිසරණ කර ගන්නේ නැතිව දාන, ශීල, භාවනා ආදී කුසල් පිළිවෙත් මගින් සිත දියුණු කිරීමේ විශේෂයෙන් භාවනාව මගින් සිත පිරිසුදු කර දියුණු කර ගැනීම මගින් උපදවාගත යුතු ඤාණ විශේෂ වෙයි.
ලෝක පිළිබඳ විද්‍යාව
ලෝක ධාතු පිළිබඳ බුදුරජාණන් වහන්සේ නමක් සතු විද්‍යාත්මක විශ්ව දැකීමෙන් අංශුමාත්රයක් පමණක්වත් නවීන විද්‍යා තාක්ෂණය තුළින් හෙළිකරගෙන නැත. ලෝක විෂය අචින්ත්‍ය බව බුද්ධ දේශනාවයි. පෘථිවි තලයට දිස්වන ඉර හඳ තත්කාවලට අමතරව, අපට නොපෙනෙන සූර්ය හා චන්ද්‍රයන් විශ්වයේ අප්‍රමාණ සංඛ්‍යාවක් පවතී. ලෝක ධාතු ගැන ෂස්තර දේශනා කොට ඇති බුදුරජාණන්වහන්සේ, ලෝක විෂය පිළිබඳ සිත දැන ගැනීමට අපට නොහැකි බැවින් ඒ ගැන වෙහෙස නොවී බඹයක් පමණ වූ ශරීරය තුළ පවතින ලෝක ස්වභාවය අවබෝධ කර ගන්නා ලෙස වදාළේ ය. එසේම උන්වහන්සේ සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යැ සකල ලෝකය ත්‍රිවිධ ක්ෂේත්රයක් යටතේ අවබෝධ කර ගත් නිසා ලෝකවිදූ නම් විය. මේ අනුව විශ්වය තුළ ජීවින් සිටින ලෝක, සකස් වෙමින් පවතින ලෝක, විනාශ වෙමින් පවතින ලෝක අනන්ත අප්‍රමාණව පැවතුණත් නවීන විද්‍යාව මගින් අභ්‍යාවකාශතරණය කොට මේ දක්වා මිනිසකු පා තබා ඇත්තේ පෘථිවියට ආසන්නම ග්‍රහයා වන සඳ මතට පමණකි. පෘථිවියට ආසන්න තවත් ග්‍රහයන්ගේ තොරතුරු බිඳක් චන්ද්‍රිකා තාක්ෂණය මගින් ලබා ගෙන ඇත.
බුදුදහම ට අනුව යමෙකුට ලෝකය පිළිබඳව යථාර්ථය අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් ඔහු තම සිත පිරිසුදු කර දියුණු කර ගත යුතුය. ඒ සඳහා තිබෙන ඒකායන මාර්ගය වන්නේ භාවනා ප්‍රඤාව දියුණු කර ගැනීමයි. යමෙක් සතර සතිපට්ඨානය (කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා) වැඩීමෙන් බුද්ධ දේශනාවට අනුව, සත්ව ලෝකය සංස්කාර ලෝක හා අවකාශ ලෝකය පිළිබඳව යථා අවබෝධය ඇතිවේ. මෙසේ විදර්ශනා භාවනා බහුල වශයෙන් වඩන අයකුට ධර්මය තරම් නිවැරැදි විද්‍යාවක් හී බුදුරදුන් හා ශ්‍රාවක පිරිස තරම් උසස් විද්‍යාඥයන් පිරිසක් තවත් නැති බව ප්රත්යක්ෂවම අවබෝධ වනු ඇත.
ෆ්‍රැන්සිස් ජේ. පයින්
පරිවර්තනය - නාරාවිල පැට්රික්
මේ ලිපිය Mahabodhi Centenary Commemorative Volume – SAMBHASHA සඟරාවෙන් උපුටා ගන්නා ලද Youth and the Buddha ලිපියේ පරිවර්තනයකි. එය ෆ්‍රැන්සිස් ජේ. පයින් විසින් 1930 ජනවාරි 09 වැනි දා ලන්ඩන් තරුණ බෞද්ධ සංගමයේ අනුග්‍රහය යටතේ සසෙක්ස් ශාලාවේදී පවත්වන ලද දේශනයකි.
මේ සැඳෑ සමයේ ඔබ වැනි තරුණ තරුණියන් පිරිසක් රැස්ව සිටින්නේ සිය කැමැත්තෙන් ම බෞද්ධ තරුණ සංවිධානයක් පිහිටුවා ගන්නටයි. මම ඔබට මෙහිදී පබ්බජ්ජා සූත්‍රයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමි. බුදුන් වහන්සේ සිය ලෞකික සැප සම්පත් හැරපියා මහා ගවේෂණයකට සූදානම් වෙමින් සිටියහ. ඒ වන විට උන්වහන්සේ සිටියේ බිම්බිසාර රජුගේ අගනුවර වන රාජගෘහ ආසන්නයේ යි. පණිවිඩකරුවෝ මේ අරුම පුදුම අමුත්තා ගැන කියන්නට වහා දිව ආවෝ ය. ඉක්බිති රජ තෙමේ ද අමුත්තා හමුවන්නට ඉදිරියට ගියේ ය.
ඒ පුවත පබ්බජ්ජා සූත්‍රය සඳහන් කරන්නේ මෙසේයි. “මගධයේ රණදෙටු බිම්බිසාරයෝ අමුත්තා පිළිබඳ පුවත සැලවූ හණික සිය මංගල රථය පාණ්ඩය පර්වතය වෙත මෙහෙය වූහ. ඉක්බිති රියෙන් බැස, පාගමනින් ගොස් වාඩිවී ආචාර සමාචාර පවත්වා මෙසේ කීහ. ඔබ තවම ළාබාල ය, මුදු මොළොක් ය. නොඉක්මවන ලද තරුණ විය ඇත්තෙහි ය. සේනාවක් පෙරමුණෙහි සෙන්පති තනතුරු දරා වැජඹෙන්නට තරම් පෞර්ෂයෙන් හෙබි, උසස් පරපුරකින් පැවත එන රණ දෙටු ලකුණු පළ කරන්නෙහි ය. නායක පෙළක් අතර සියල්ලන්ගේ නායක වන්නට සුදුසු වන්නෙහි ය. ඔබට ඇති තරම් සැප සම්පත් සපයමි. ඒවා පරිහරණය කරනු මැනවි, කිනම් පරපුරකින් පැවත එන්නෙක් ද? කියනු මැනවි.” බුදුන් වහන්සේ නිතර ම තරුණ පිරිස් කෙරෙහි දයාලූ වූහ. උන්වහන්සේගේ ඉගැන්වීම් පැහැදිලි ය, නිරවුල් ය, හරවත් ය, කීර්ති ප්‍රශංසාවට සුදුසු ය, තරුණ සිත් තුළ දිරි වඩන ශක්තියෙන් පිරුණේ ය. උන්වහන්සේ සිය ධර්මය දේශනා කරන්නට පටන් ගත් මුල් සමයේ සිදුවූවක් මම ඔබට කියමි. යස නමින් වූ එක්තරා තරුණයෙක් සිටියේ ය. ඔහු පුරුදුව සිටියේ බුදුන් වහන්සේ සත් වසරකට පෙර අත්හැර දමා පැමිණි සුඛෝපභෝගී ජීවිතයට සමාන වූ එකකට ය. එහෙත් ඔහු එහි කලකිරුණේ ය. එහි අනතුරු දුටුවේ ය, බුදුන් වහන්සේ සොයා පැමිණියේ ය. ඒ පාන්දර යාමයයි. බුදුන් වහන්සේ සිටි සේක් සක්මනේ යෙදී භාවනා කරමින් ලෝක ස්වභාවය මෙනෙහි කරමිනි. බුදුන් වහන්සේ කිසි විටෙකක් නිකරුණේ කාලය ගෙවා දමන්නාහු නොවෙත්. උන්වහන්සේගේ සිත සන්සුන් ය, පහන් ය, සමස්ත ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් පිරුණේ ය. උන්වහන්සේ ගෙවුයේ කෙටි නින්දක් පමණි. එහෙත් උන්වහන්සේ ඕනෑ ම විටෙක, ඕනෑ ම කෙනෙකුට ඇහුම්කන් දෙන්නට සූදානමින් සිටියෝ ය. උන්වහන්සේ දයාන්විත බසින් මෙසේ යස ඇමතූ සේක.
“යස නොකළකිරෙන්න, කළකිරෙන්නට තරම් යමක් මෙහි නැත. බිය වන්නට හෝ සැක සිතන්නට කිසිවක් මෙහි නොවේ. මෙහි එන්න, හිඳ ගන්න, මම ඔබට සත්‍යය දේශනා කරමි.”
ගත වූයේ සුළු මොහොතකි. යසගේ පවුලේ සාමාජිකයෝ ද, මිතුරෝ සතර දෙනෙක් ද, වැඩිමනත් පනස් දෙනෙක් ද පැමිණ සිටියෝ ය. ඔවුන්ගේ සිත් ලෞකික බැඳීම් වලින් මිදුණේ ය. ඔවුහු කෙලෙස් බරින් නිදහස් වූහ.
මෙසේ ලෝකයේ පස්වග මහණුන් ඇතුළුව රහත් හැට නමක් ඇති වූ බව පැරැණි ධර්ම ග්‍රන්ථය අපට කියයි. ඉක්බිති බුදුහු තමන්ගේ අමතක නොකළ හැකි දහම් පණිවිඩය පතුරුවා හරිනු පිණිස ඒ රහත් හැටනම පිටත් කර හැරියහ. උන්වහන්සේගේ අවවාදය මෙවැන්නකි.
“මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුනට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස, චාරිකාවේ හැසිරෙවු. දෙනමක් එක මඟින් නොයවු. මුල, මැඳ, අග යන තුන් තැන්හි යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ, හැම අතින් ම සම්පූර්ණ වූ ධර්මය දේශනා කරවු. පිරිසුදු ශ්‍රේෂ්ඨ චර්යාව ප්‍රකාශ කරවූ.”
මෙසේ ඒ ධර්මදූත ව්‍යාපාරය වසර දෙදහස් පන්සියයකට පෙර පටන් ගෙන නැඟෙනහිර ආසියාව පුරා ව්‍යාප්ත වූයේ ය. අද එය වඩාත් ශක්තිමත් සහ විශ්වසනීය ආකාරයෙන් එකී ධර්මය අසන සියලු දෙනා සුඛිත භාවයට පත් කරමින් පැතිර යයි.
තමන් සතු ඇඳුම් පැළඳුම් සොරා ගත් කාන්තාවක පසු පස හඹා ගිය තිහක් වූ භද්දවග්ගිය කුමාරවරුනට බුදුන් වහන්සේ දුන් අවවාදය ඔබට මතක ඇතැ යි සිතමි. “කුමාරවරුනි, තොප සිතන්නේ කුමක් ද? වඩා හොඳ වන්නේ තොප තිස් දෙනකු එක කාන්තාවක ආගිය අතක් සොයමින් ඇය පසු පස හඹා යෑම ද? නැතහොත් තමන් එක එකකු කරන්නේ කුමක් දැයි සිතා, සොයා බැලීම ද?”
බුදුන් වහන්සේගේ අවවාදයෙහි වැදගත්කම අවබෝධ කර ගත් භද්දවග්ගියයෝ උන්වහන්සේගේ ඉගැන්වීම් කෙතරම් ශ්‍රේෂ්ඨ වූවක් දැයි සතුටට පත් වූහ. තරුණ උපාලි ගෘහපතියා උන්වහන්සේ සොයා ආවේ වාද කොට උන්වහන්සේ පරදවන්නට ය. තරුණ සෝණ කුටිකණ්ණ අනතුරුදායක දුරක් ;ගවා උන්වහන්සේ හමු වන්නට ආවේ මුහුණ බලා සැනසෙන්නට සහ කටහඬ අසා මිහිර විඳ ගන්නට ය.
බුදුන් වහන්සේ කෙරෙහි සිත් ඇද ගන්නා සුළු කිසියම් රහසක් තිබෙන්නට ඇතැයි සිතේ. එනම් හණික තරුණ හදවත් (සිත්) වලට පිවිස ඒවා හඳුනා ගන්නට හැකිවීම සහ නිරන්තරයෙන් ඒවායේ විශිෂ්ට ශක්තිය තේරුම් ගන්නට හැකිවීම යි.
අපේ තරුණ වයස වනාහි අපේ පෞරුෂ්‍යය හෝ චරිතය හැඩ ගැසෙමින් තිබෙන අධිවේගී, තීරණාත්මක සමය යි. එය මරණ තුනක් ඇති මිනිසකුගේ පැණිකෑමක් වැන්නකි. මරණ තුනක් මැද පැණිකෑමෙන් වැළකිය හැකි නම්, මරණය වළක්වා ගත හැකිව තිබියදී, තව දුරටත් පැණියෙහි ගිජු වන්නාට තාරුණ්‍යයෙහි වටිනාකම තේරුම් ගත හැකි වේද? අපේ පුරුෂත්වයේ හෝ ස්ත්රීත්වයේ ඉරණම තීරණය වන්නේ ඔබ සියලු දෙනා විසින් දන්නා පරිදි අපේ තාරුණ්‍යය නම් වූ එළිපත්ත මතදී පියවර ඉදිරියට තබනවා ද, නැතහොත් ආපසු ගන්නවා ද යන නිගමනය අනුවයි. කම්ම නියාමයට අනුව අපේ කායික, වාචික හා මානසික ක්‍රියා අපේ පෞරුෂ්‍යය හැඩ ගැස්වීමේලා අපේ ජීවිතය කෙරෙහි කරන බලපෑම අත්‍යන්තයෙන් බලවත් ය. එබැවින් අප කෙතරම් කල් ඇතිව බුද්ධ දේශනාවට අනුව ජීවිතය දෙස බලන්නට හුරු පුරුදු විය යුතු දැයි සිතා බැලීම වැදගත් ය.
එහිලා ඔබට මංපෙත් දෙකක් විවෘතව ඇතැ යි සිතේ. එකක් නම්, අද බොහෝ දෙනෙකු කරන පරිදි සියලු ආකාර සංයමය ප්‍රතික්ෂේප කර විනෝදාස්වාද සැඬ පහරට පැන ඉවක් බවකින් තොරව ගසා ගෙන යෑම හෝ ඔබේ ජීවිතය ධාර්මික ශික්ෂණයට අනුව හැඩ ගස්වා ගැනී මයි. සැබවින් අප සියලු දෙනා ම වාගේ පළමු කී මංපෙතට යොමු වීමට කෙතරම් සූදානමින් සිටිමු දැයි මම දනිමි. ඒ අතර පසු කී මංපෙතට යොමුවී එය අනුගමනය කිරීමට තරම් සුදුසු බව තහවුරු කිරීමට සෑහෙන ප්‍රබල සාක්කි තිබිය යුතු බව මම දනිමි. ඒ අනුව මට හිතෙන හැටියට නම් බුදුදහම එහිලා පැහැදිලි ලෙස ඉදිරිපත් කළ හැකි එක ම මංපෙත බව පෙනේ. දෙවියන් වහන්සේට ආදරය වන සේකැයි යම් කිසිවකු අපට කියන්නට පුළුවන. එහෙත් අවාසානාවකට මෙන් ඒ සිද්ධාන්තයේ සත්‍යතාව පිළිබඳ සැකය දිනෙන් දින වඩවඩාත් බලවත් වෙමින් පවතින බව පෙනේ. කෙසේ වෙතත් මට පැහැදිලිව පෙනෙන සත්‍යයක් ඇත. ඒ අනුව නූතන තරුණයා කුසලතා පූර්ණ ය, විද්‍යාත්මක ය, විමර්ශනශීලී ය. ඔහුගේ ජීවන ශෛලිය එකී ගුණාත්මක බැවින් සන්නද්ධව සිටී. එහිලා යන්තම් සැකයක් හෝ නැත. දැඩි පරීක්ෂණයකට භාජනය කිරීමට හැකි තරමට වූවත් සුදුසුකම් ඔහුට ඇත.
බුදුන් වහන්සේ තමන් විසූ සමයේත් තාරුණ්‍යයේ යථා ස්වභාවය අද අප දකින්නා සේම පැහැදිලිව දුටහ. කෙනෙකු සිතන පරිදි සිටින්නේ සර්ව බලධර එක ම දෙවි කෙනෙකු හෝ බොහෝ දෙවිවරුන් විය හැකි ය. පැවැත්මේ පාලන ශක්තිය ආදරය වන්නට හෝ නොවන්නට පුළුවන. එහෙත් සියලු සිද්ධාන්ත නිෂ්ක්‍රිය කරන එක් ප්‍රකට සාධකයක් ඇත.
එනම් සනාතන “දුක” පිළිබඳ සාධකයයි. කිසිවකුටත් එසේ නොවෙති යි හෝ එහි පැවැත්මක් නැතැ යි කිය නොහැකි ය. එබැවින් බුදුන් වහන්සේ යහ චරියාව හෙවත් කුසල පාක්ෂික පැවැත්ම සඳහා සිත් කාවදින දිරි ගැන්වීමක් කරති. එනම් දුක නිෂ්ක්‍රීය කරනු පිණිස සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන්න යනු යි. ලෞකික ආස්වාදයෙහි හිස්බව හෙවත් ශූන්‍යත්වය ගැන සඳහන් කරමින් බර්න්ස් කවියා මෙසේ කියයි. “ආස්වාදයෝ වනාහි රත් පැහැති පොපිමල් වැන්න. පොපිමල තලා පොඩි කළ විට සුන්දරත්වය පලා යෙයි. ගංගා ජලය මත පතිත හිමකැටි මොහොතක් සුදෝ සුදුවට දිස්ව සදහට දියවී යන සේ ය.” තෘෂ්ණාවේ අසීමිත නිදහස විසින් හුදෙක් ක්ෂණිකව ජනිත ශ්‍රාන්තිය (තෙහෙට්ටුව) සහ අනාගත සුඛතාව සහ සන්තුෂ්ටිය පිණිස වූ වුවමනාව යන මේ සියල්ල ධර්මයෙහි හැසිරෙන්නට අප දිරි ගන්වයි. එබැවින් ඉගෙන ගන්න, උගන්වන්න, පිරිවහන්න, ධර්මයෙහි හැසිරෙන්න.
ඔබ ස්ත්‍රී සහ පුරුෂ විසින් වෙනස් වූවත්, තාරුණ්‍යයේ ගුණයක් ලෙස තමන් ස්ථාවර සහ සත්‍යවාදී යැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් තාරුණ්‍යයේ ස්වභාවයට ආවේණික හිතුවක්කාරකමින් සත්‍යය නොපිළිගන්නටත් පෙළඹෙන්නට පුළුවන. එසේ වූවත් ඔබ ඉවසිලිමත් වූ පමණට ඔබට යථාර්ථය තේරුම් ගන්නට බැරිකමක් නැත.
අවිද්‍යාත්මක පසුබිමක් තුළ ඔබට සැනසීමක් ලැබිය හැකි නොවේ. කිසි විටෙකත් ඔබ වැරැදි ක්‍රියාවක් කළහොත් එයට සමාවක් ලැබිය නොහැකි ය. ඇත්තට ම හැම ආගමකින් ම ඔබට ඒත්තු ගන්වන විශිෂ්ටතම අවබෝධය වන්නේ, යමකු වරදක් නිවැරැදි යැයි පිළිගන්වන්නට පොළඹවන කල්හි, ඊට වඩා වරදේ වැරැදි ස්වභාවය වැරැදි ලෙස තේරුම් ගන්වන්නට දරන උත්සාහය නිෂ්ක්‍රීය කිරීම යි. යම් සේ ඔබ බුදුන් වහන්සේගේ ශික්ෂණ ක්‍රමය හෝ ප්රත්යක්ෂ අවබෝධය ගැන සිතතොත්, ඔබේ ජීවිතය කෙතරම් සම්මානනීය බවට පත් කර ගත හැකි දැයි සිතන්න.
ඒ අනුව ඔබට පළමුවෙන් ම කරුණාන්විත විය හැකි ය. එවන් ආදර්ශයෙන් හෝ ජීවිතයෙන් තොරවූ කල්හි ඔබේ ආදරය හා අනුකම්පාව ඔබ මඟ හැර යනු ඇත. ඔබ කරුණාන්විත හා දයාන්විත වූ කල්හි මිත්‍රශීලී වනු ඇත. එවිට ඔබ උපකාරක ද, සානුකම්පික ද, අවංක ද, සත්‍යවාදී ද, ගුණවත් ද, ස්ථාවර ද වනු ඇත. එවිට ඔබ ඔබේ උතුම්වූ ධර්මයට ගෞරවයක් වන්නෙහි ය, ඔබේ ගුරුවරයාට (බුදුන් වහන්සේට) සම්මානයක් වන්නෙහි ය.
එකල්හි සමාජ ජීවිතය කෙරෙහි ඔබේ බලපෑම කෙසේ විය හැකි ද? දැන් අපි ;මසේ සිතමු. ඔබ මවුපියන් බවට පත් කල්හි ඔබේ සුරතල් දරු පැටවු සතුටින් ඔබ හමුවන්නට දිව එන්නෝ ය. ඔබේ සැමියා හෝ බිරියහෝ පිට ගොස් ආපසු එන විට ඔබ නැවත දැක ගන්නට පුලපුලා බලා සිටිනු නිසැක ය. ඔබේ නිවහනෙහි සාමය, සමඟිය, සුව පහසුව හා සොම්නස විසින් එය පාලනය කරනු ඇත. එවිට සියල්ලෝ ආශිර්වාද ලද්දෝ වන්නෝ ය. වැඩපොළේදී, කාර්යාලයේදී හෝ කඩාපොළේ දී ඔබ විශ්වසනීයයෙක් ද, ගරු කටයුත්තෙක් ද වන්නෙහි ය. ඇයි ද යත්, ඔබ අවංක ද, සාධාරණ ද, සත්‍යවාදී ද වන හෙයිනි.
ඔබේ දේශපාලන ජීවිතයේ දී, යම් විටක මාතෘභූමිය අසාධාරණයට හා කෘරත්වයට නැඹුරු වූ, කල්හි, ඔබේ අවබෝධ ඥාණයෙන් හා ත්‍යාගශීලීත්වයේ මහිමයෙන් ඉන් වැළකී සිටීමේ පිළිවෙතින් දායකත්වය සපයන්නට ඔබට පුළුවන. එපමණක් නොව ඕනෑ ම විටක, බහුගුණ ශක්තියෙන්, සාධාරණත්වය, අනුකම්පාව, ස්වාධීනත්වය හා සාමය වෙනුවෙන් ඕනෑ ම සදාචාර සම්පන්න ව්‍යාපාරයකට එකඟ විය හැකි ය. රාජ්‍යයක ජනතාව ඒකීභූත වී ඇත්තේ විවිධ පුරවැසි සමූහයකිනි. ඒ පුරවැසි සමූහය අතර ජාති, කුල, ආගම් පමණක් නොව දැන උගත්කම්, ඇති නැතිකම් හෝ නැතිබැරිකම් ආදිය විෂයයෙහි විසමතා තිබෙන්නටත්, හැකි ය. යහගුණ සම්පන්න ස්ත්‍රී පුරුෂ කුලකයකින් සාමකාමී රටක් නිර්මාණය වන්නට පුළුවන. සාධාරණත්වය, ස්වාධීනත්වය හා අනුකම්පාව විෂයයෙහි නිර්භීත වූ බුද්ධ විනය විසින් මෙහෙයවන ලද ටික දෙනෙකුගෙන් වූවත් අපි සංවිධානය වෙමු නම්, අපට කෙතරම් ගෞරවනීය මාතෘභූමියක් ලබා ගත හැකි ද? එකල්හි නැතිබැරි මිනිසුන්ගේ, ලෙඩුන්ගේ, විකලාංගිකයන්ගේ සහ දුකින් පෙළෙන්නන්ගේ අෙඳා්නා හඬක් කවර දාවත් නොඇසෙනු ඇත. ඔබට ඔබේ බල්ලාට, බළලාට, බැටළුවාට, ගවයාට, අශ්වයාට, වර්ණවත් කුරුල්ලාට සහ සුරතලුන් ලෙස සිටින රන්වන් පියාපතින් යුත් සියොතුනට සහනය සලසා සතුටින් සිටින්නට ඉඩ සලසා දිය හැකි ය.
ඔබට විඳින්නට සිදුව ඇති දුක වනාහි දේවියන් වහන්සේගේ කැමැත්ත හෝ සොබාදහමෙහි නීතිය වෙති යි හෝ, ඔබට යහපත් වන්නට හැකි වන්නේ වෙනත් කාගේ හෝ පුණ්‍ය මහිමයෙන් පමණි යි සිතා යාතිකා කරමින් කිසිවකුගේ පිහිට පතන්නට ඔබට නොහැකි ය. එහෙත් ඒ වෙනුවට ඔබට කිසියම් දුකක් විඳින්නට සිදු වී තිබේ නම්, ඒ අනෙකක් නිසා නොව ඔබේ අකුසල පාක්ෂික ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස බව ඔබට හඳුනා ගත හැකි ය. එසේ නම් ඔබ විසින් කළ යුත්තේ ඔබේ වැරැදි නිවැරැදි කර ගැනීම යි. එවිට ඔබ ඔබේ වගකීම පිළිබඳ හැඟීම තහවුරු වීමෙන් ශක්තිමත් වනු ඇත.
අපි එංගලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ දෛනිකව දර්ශනය (ගැඹුරු චින්තනය) වෙත ළඟාවෙමින් සිටිමු. මුල පටන් ම අපට මෙවන් දර්ශනයක් උගන්වන ලද එක ම ගුරුවරයාගේ පණිවිඩය ප්‍රකාශයට පත් කරන්නට අද ඔබට එක්රැස් වන්නට ලැබීම ඔබට හිමිවුනු කෙතරම් ගෞරවනීය වරප්‍රසාදයක් ද? ඔබ වනාහි තමාට තමා මිස අන් ගුරුවරයකු නැති ගුරුවරයාගේ (බුදුන් වහන්සේගේ) ශිෂ්‍යයන් බව ලොවට හඬගා කියන්නට ඔබට හැකි ය. ප්‍රඥාව, දයාව සහ පරිත්‍යාගය යන සියල්ලෙන් පරිපූර්ණ ඒ මහා ගුරුවරයාගේ උපදේශය ආරක්ෂා කර පවත්වාගෙන යන්නට උත්සාහ දරනු මැනවි.
අධෛර්ය නොවන්න. සාමූහිකව බැඳී සිටින්න. ඇයි ද, යත්, සමඟිය ශක්තිය වේ. ඒ ශක්තියෙන් ඔබට විජයග්‍රහණය අත්පත් වනු ඇත.
බුදුසරණ අන්තර්ජාල කලාපයෙනි..
අන්තිම බුද්ධ පූජාව
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුදුරජාණන් වහන්සේට අන්තිම බුද්ධ පූජාව කළෝ පාවා නුවරවාසී චුන්දකර්මාර පුත්‍රයාණෝ ය. ඔහු රන් - රිදී, මුතු - මැණික් ව්‍යාපාරිකයෙකි. මහා බූදල් කාරයෙකි. මේ චුන්ද කර්මාන්ත කරුවාණන් යටතේ සේවය කිරීමෙන්, යැපුණු ගම්මාන දෙතිසක් පැවති බව දැත්වේ. ඔහු රන් රිදී ආභරණයන් මුතු මැණික් ඔබ්බවා තනයි. එය ඉතා උසස් අයුරින් කළ නිසා ඔහුගෙන් අගනා ආභරණ ගෙන යාමට දඹදිව්හි දුර බැහැර දේශයන්ගෙන් ද බොහෝ දෙනා පැමිණිය හ. මෙ තෙමේ බෙහෙවින් ම අවංක ව්‍යාපාරිකයෙකු වශයෙන් එදා දඹදිව ප්‍රචලිත නමක් ලබා සිටියේ ය. චුන්ද ව්‍යාපාරිකයා තම සේවක - කාරකාදීන්ට ද නිසි පරිදි සැළකූ, කාටත් උදව් – උපකාර කළ ජනප්‍රසාදයට පත් සැදැහැවත් බෞද්ධයකු වශයෙන් ද නම්දරා සිටියේ ය. එයට හේතුව එතුමා සෝවාන් ඵලයට පත් වූ කෙනෙකු වීමයි.
තථාගතයන් වහන්සේ පුරා හතළිස් පස් වසරක් ලෝක සත්වයා වෙත මහත් කරුණාවෙන් යුතුව දම් දෙසා අවසාන අවස්ථාවේ දී පිරිනිවන් පෑමට වැඩම කළ සේක්, කුසිනාරා නුවර මල්ලව රජ දරුවන්ගේ උපවර්ථන සාල වනෝද්‍යානයට ය. බුද්ධත්වයෙන් පන්සාළිස් වසරෙහි නවම් මස පෝදා අදින් තුන් මසක් ගෙවීගිය දින - වෙසක් පොහෝ දා මාගේ පිරිනිවීම සිදුවන්නේයැ’යි ප්‍රතිඥා දුන් උන්වහන්සේ, පසුදා විසාලාවෙන් පිටත් ව, දීර්ඝ ගමනක් වූ අම්බගාම – ජම්බුගාම – හස්ථි ගාමාදිය සහ ප්‍රසි_ නගරයන් වූ භෝග නුවර ද පසු කොට, රජගහ නුවර හරහා පිරිනිවන් පෑමට නියමිත දිනට කලින් දා පාවා නුවරට භික්ෂු සංඝයා වහන්සේත් සමග පැමිනි සේක.
එදින දවල් නගරාසන්න ගමක සැදෑහැවතුන් පිළිගැන් වූ දානය වළඳා ඉර අවරට යත්ම පාවා නුවර පිහිටි, ඉහත කී චුන්ද ව්‍යාපාරිකයාගේ සුවිසල් අඹවත්තට වැඩම කළ හ..මේ, අක්කර හත අටක් පමණ විශාල වූ චුන්ද දානපතියාට අයත් අඹ ගසින් පිරීගිය දැකුම්කළු උද්‍යානයකි.මෙය චුන්දකර්මාර ප්රභූවරයාගේ පෞද්ගලික විවේකය පිණිස සකස්කරන ලද්දකි.
බුදුරජාණන් වහන්සේ මහ සඟ පිරිසත් සමග වැඩම කරවනු දුටු උද්‍යාන පාලක තැන ඉදිරියට පැමිණ උන්වහන්සේ ගෞරවයෙන් පිළිගෙන උයන තුළට වැඩමවා, උයන මැද පිහිටි විවේක ශාලාවෙහි වඩා හිඳුවා, මහා සංඝයාට ද පහසු පරිදි ගස් යට තැනින් තැන පිහිටි කුඩා කූටාගාරයන්හි හිඳීමට පිළියෙල කරවා, තම සහයක කම්කරුවන්ට මෙසේ කීයේ ය. “සහයකයිනි, මේ පැමිණියේ හෙට පිරිනිවන් පාන බවට රට වැසියා අතර කට කතා පැතිර ගොස් ඇති - ශාක්‍ය සිංහවූ බුදුරජාණන් වහන්සේ ය. චුන්ද කර්මාර පුත්‍ර තුමන්ගේ ත්, අපගේත් ශාස්තෘන් වහන්සේ ය. මා වහා චුන්ද කර්මාර තුමන් වෙත ගොස් මුන්වහන්සේ ගේ පැමිණීම දැනුම් දී එනතුරු ඔබ කවුරුත් අවශ්‍ය සිසිල් පැන් ආදිය පිළියෙල කරදිය යුතු යැ’ යි” පවරා, උසීර උයන් පාලකයා වහා චුන්ද තුමන්ගේ ව්‍යාපාරිකස්ථානයට ගියේ ය.
“චුන්ද කර්මාර පුත්‍රයාණෙනි, හෙට කුසිනාරාවේදී පිරිනිවන් පානා බවට මහජනයා අතර මහා ආන්දෝලනයක් පැතිර පවත්නා සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ දැන් ඔබ තුමන්ගේ උද්‍යානයට සඟ පිරිසත් සමඟ වැඩම කළා! උන්වහන්සේ පැමිණි බව දන්වීමට පැමිණියෙමි” උසීර ඔබ ගෙනාවේ අගය කළ නොහැකි පුවතක්! ඔබ දැන්ම ම , මේ කීප දෙනෙකුත් සමග මගේ නිවසට යන්න..මේ ප්‍රවෘත්තිය සැදැහැවත් මගේ බිරිඳට ද දන්වන්න. නොබෝ වේලාවකින්,, අඹ - දඹ – මිදී සිසිල් ගිලන්පසක් ඒ වැඩම කළ පන්සිය නමට ම සෑහෙන පරිදි ගෙනෙන ලෙස ඇයට මගේ වචනයෙන් කියන්න. මගේ දරුවන්ට ද මව් සමඟ ගිලන් පස රැගෙන එන ලෙස දන්වා, ඔබ වහාම පළමුව බුදු රදුන්ට පමණක් සෑහෙන තරම් මුද්‍රික හා උගුරැස්ස (වෝච) පැනක් සකස් කරගෙන එන්න. මම දැන් සැනෙකින් බුදු රදුන් වෙත යන්නෙමි’ යි චුන්ද තුමා අඹ උයනට පිටත්විය.
දුටු විගස, භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුල් බදාගෙන හඬමින් වැළපෙමින් “ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ හෙට දවසෙහි පිරිනිවන් පාන්නෙහි ය’ යන ආරංචිය දැනට තෙමසකට කලින් අපට දැන ගන්නට ලැබුනා! ඒ අසුභ ආරංචිය දැනගත් සෑම කෙනෙක් ම හඬන්නට වැළපෙන්නට පටන් ගත්තා! ලෝකයෙහි සෑම දෙයක් ම අනිත්‍යය’ යන ඔබ වහන්සේගේ ඉගැන්වීම අපි දන්නවා! එසේ වුනත් බුදු පියාණනි, මේ දුක අපට දරාගන්නට බැහැ. මට වඩා – බලවත් රාජකීයයෝ ද – ධනවත් අය ද මේ පාවා නුවර සිටිනවා! කොතනකටවත් නොගොස් අන්තිම දිනයේ මා වෙත පැමිණීම මට මහා සැනසිල්ලක්! ඒ ටිකයි මට ඇති එකම සහනය! නැත්නම් මා අද දුකින් රෝගාතුර වෙනවාට කිසිම සැකයක් නැහැ” මෙසේ චුන්දකුමාර දුක් අඳෙීනා බස් කියන්නට විය.
මේ අතර උසිර උයන් පාලකයා ගෙනෙන ලද මිදි යුෂ බුදු රජාණන් වහන්සේට පිලින්නවා, ඉන් අනතුරුව බිරිඳ හා දරුවන් සේවක පිරිසත් සමඟ රැගෙන ආ ගිලන්පස වලින් මහා සංඝයා ද පිදූහ. සියල්ලන්ටම, බුදුරජාණන් වහන්සේ යෝග්‍ය අනුශාසනයක් කළ සේක. නැවතත් තථාගතයන් වහන්සේට ආරාධනාවක් කරන චුන්දකර්මාර පුත්‍ර තුමා “බුදු පියාණනි, ඔබ වහන්සේට මා හෙට උදේට විශේෂ බෙහෙත් කැඳක් – යාගුවක් පිළියෙල කරවමි. හෙට දවාලට මේ දහසකට ආසන්න මහා සංඝයාටත් දානය පිළියෙල කරවමි.
භාග්‍යවතුන් වහන්ස, දැන් ඔබ වහන්සේ ශාරීරික වශයෙන් දුර්වල බව පේනවා! දැනට මාස ගනනකට පෙර කුසේ අමාරුවකින් පෙළුන බවත් දැනගන්නට ලැබුනා! බේළුව ගමේ දී මාස නවයකට පෙර ඒ වැළඳුන අසාධ්‍ය කුසේ අමාරුවෙන් පසු ඔබ වහන්සේ ආහාරයෙන් ප්‍රවේශම් වූ බවත් මම දනිමි. හෙට පිරිනිවන් පාන දිනය බැවින්, මගේ පෙර පිනක මහිමය නිසා ලද මේ අනගි අවස්ථාවෙන් මා ප්‍රයෝජන ගතයුතුම යි’ එනිසා බුදු පියාණෙනි, හෙට දවාලට මා විසින් වෛද්‍ය උපදෙස් ඇතිව විශේෂ ඖෂධීය ආහාරයක් පිළියෙල කරමි. මට පින් පිණිස මේ ආරාධනය පිළිගනු මැනවි.
“මේ පාවා නුවර සිට කුසිනාරා නුවරට ඇත්තේ ස්වල්ප දුරකි. (සැතපුම් හයකි) හෙට දවල් දානයෙන් පසු ටික වේලාවක් විවේක ගෙන සිසිල් ගිලන් පසක් වළඳා ඉර බසින වේලාව වනවිට කුසිනාරාවට වැඩම කළ හැකි ය. කුසිනාරා නුවර උපවර්තන උයනට වඩින බව මම අද ම දන්නවා යව මි. මටත් මගේ දූ දරුවන්ටත් චිරකල් හිත සුව පිණිස හෙට මාගේ ඖෂධීය දානය ඉවසා වදාරණු මැනවැ’ යි කඳුළු සලමින් නැවත නැවත ද ඇයද සිටියේ ය.
බුදුරජාණන් වහන්සේ ඔහුගේ පුරාකෘත කුසල බලය ද දිව නුවණින්දැක දානය ඉවසා වදාළ සේක. බුදු පියාණන් පාවා නුවරට වැඩම කළ බව ඇසූ මහා ජනයා, වැලනොකැඩී ගලා එන්නට වූයෙන්, රාත්‍රී බොහෝ වේලා යන තුරු උන්වහන්සේ ඔවුනට අනුශාසනා කළහ. පසුදා උදෑසනින් ම දැහැටි – උනු පැන් සහ බෙහෙත් යාගුවක් පිළියෙල කරණ ලදහ. මහා සංඝයා වහන්සේට ද විවිධ ධාන්‍ය වර්ග වලින් පිසින ලද කැඳ පිළිගැන්වූහ.
රාජපූජිත අතුල වෛද්යවරයාණන්ද කලින්දා කැඳවා එතුමාගේ උපදෙස් පරිදි චුන්දකර්මාර පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ප්‍රණීත වූ සූකර මද්දව ආහාරය පිළියෙල කළ ආකාරය.” අථ කෝ චුන්දකර්මාර පුත්තො තස්සා රත්තියා අච්චයේන සකෙ නිසෙනෙ පනීතං බාදනීයං භෝජනීයනං පටියාදාපෙත්වා පහුතං ච සුකර මද්දවං භගවතෝ කාලං ආරොචාපෙසී, කාලො භන්තේ නිට්ඨිතං භත්තන්ති.” මේ කියැවෙන සූකර මද්දවනය ගැන එදා පටන්මේ දක්වා විවිද මතිමතාන්තර ඇත.
ඒ පිළිබඳව විමසා බැලීම මේ ධර්ම ලිපියේ ප්රමුඛ අදහස යි. මෙතෙක් දැක් වූ කරුණු අනුව, තථාගතයන් වහන්සේගේ වයස දුර්වලතාව සහ තරමක රෝගී බව යන මේ සියලු කරුණු චුන්දකර්මාර පුත්‍ර තුමා චන සිටි බව එතුමාගේ කථාවෙන් ම පැහැදිළිව පෙනෙයි. එසේ නම් මසක් ආහාරයට පූජාකරත්යැ’යි කිසිසේත් සිතීමට ඉඩක් නැත. තවද උන්වහන්සේ එදින ම රාත්‍රී පිරිනිවන් පාන බව ද ඔහු හොඳාකාර දනී. එයද අප විසින් සැලකිල්ලට ගත යුතු තවත් කරුණකි.
අටුවාචාරීන් වහන්සේලාගේ විවිධ මත නිසා ප්රශ්නය අවුලක් බවට පත් වී ඇත. “සූකර මද්දවං ති නාති තරුණස්ස නාති පිණ්ණස්ස එක ජෙට්ඨක සූකරස්ස පවත්ත මංසං, තං කිර මදු ද්වේව සනි_ං ච හොති තං පටියාදාපෙත්වා සාධුකං පචාපෙත්වා ‘ති අත්ථො.” මෙසේ සූකර මද්දවය යනු ලාබාල නොවූ මහළු නොවූ ඌරකුගේ මස්යැ ‘යි තෝරා නැවත සුමංගල විලාසිනී දීඝනිකාය අටුවාවේ ම තවත් අදහස් කීපයක් දක්වා ඇත.
”එකෙ හනන්ති සූකර මද්දවං පන මුදු ඔදනස්ස පඤචගොරස යූසපාවතවිධානස්ස නාම මෙතංති......කෙචි හනන්ති සූකර මද්දවං නාම රසායන විධි, තං පන රසායන සත්තෙ ආගච්ඡති” සූකර මද්දවය යනු පස්ගෝරස යෙදු සිනිඳු බතක් යැයි ද, රසායන ආහාරයක් යැයිද, අටුවාවේ ම දක්වා තිබේ. ඉහත සඳහන් අදහස් ආහාරයට යැයිද, අටුවාවේ ම දක්වා තිබේ.
ඉහත සඳහන්අදහස් මු_ඝෝෂාචාරීන් දක්වන අතර, උදාන අටුවාවේ දී ධර්මපාලචාරීන් වහන්සේ කියා සිටින්නේ විකිණීමට තැබූ මෘදු ඌරු මසක් යනුවෙනි. තවද, එහි මැ ඌරන් පාගන ලද උන කිළිල යැයිද ඌරන් මඩකළ තැන හටගත් හතු යැයිද කියති. මේ සියලු මත පසු කලෙක ඇති කරන ලද අදහස් වෙති.
සූකර මද්දව - අජ මද්දව - ගෝමද්දව සහ බේලුව මද්දව යනුවෙන් දැනුදුනේපාල දේශයෙහිත්, නේපාලයට ආසන්න - ඉන්දියාවේ ගොරක්පූර් දේශයෙහිත් මිනිසුන් ආහාරයට ගන්නා හතු වර්ග තිබේ. සූකර මද්දව යනු ඌරන් මඩකරන ලද තැන්වල ඔවුන්ගේ මලමුත්‍ර සමග මිශ්‍රවුන මඩෙහි, පෑයීම පටන්ගෙන මාසයක් හමාරක් ගතවන විට හටගන්නා හතු ය. දැනුදු ඒ පළාත්වල සිය ගනනින් සෑදුනු එළු රංචු ගමන් ගන්නා තැන්වල ඔවුන්ගේඅප ද්‍රව්‍ය සමග පෑගී යන මඩෙහි හටගත් හතු වර්ගයක් තිබේ.
අජ මද්දව යනු ඊට භාවිත නාමයයි. ගෝමද්දව යනුවෙන් කියැවෙන්නේ, ගව රංචුවලට පෑගුණු ගොම සහිත මඩෙහි හටගන්නා හතුවලට ය. මේ හතුවර්ග දැනුදු ව්‍යචඤ්ජනවලට ගනිති. බේලුව මද්දව යනු උණ පඳුරු කැපූ තැන්වල ඒ මුල් මත හට ගන්නා හතු වර්ගයකි.බුදුරජාණන් වහන්සේ ගේ අන්තිම දවල් දානය ගැන ඒ රටවල වැඩිහිටියන්ගෙනුත්, උගතුන්ගෙනුත්,වයෝවෘ_ මහතෙර වරුන්ගෙනුත් විමසා බැලීමට අපටද අවස්ථාව ලැබී ඇත.කුසිනාරා නුවර දී බ්‍රාහ්මණ ජාතික අච්චුතානන්ද මහතෙරුන් හා බු_මිත්ත මහතෛරුන් ඇතුළු දැන උගත් අය සමග සාකච්ඡා කොට දැනගත් තොරතුරු මෙසේය.
පාවා නුවර - කුසිනාරා නුවර දැන් අයත් වන්නේ ගොරක්පූර් දිස්ත්‍රික්කයට යි. ඒ ප්‍රදේශවල සූකර් බන් නමින් හඳුන්වනු ලබන කුඩා ඉන්නල අල තරම් ප්‍රමාණයේ කැලෑ පෙදෙස්වල හැදෙන අල වර්ගයක් ඇත. මේවා පොළොව දිගේ ඇදී යන ඌරන් විසින් හාරනු ලබන කුඩා අල විශේෂයකි. මෙකී අල දැනුදු බඩේ අමාරු ඇති අයට ආහ වශයෙන් දෙන බව දැන ගන්නට ලැබුණි’ නේපාල රටේ “සූකර මද්දව“ කියා දැනුදු බඩේ අමාරු ඇති අයට සාදා දෙනු ලබන මාදු ආහාරයක් ඇත. “සූකර් ආලු” කියන්නේ කලාදුරු අලවලට යි.
ඒ කලාඳුරු අල යොදා සාදන රසායනික ආහාරය සූකර මද්දවයැ යි කියනු ලැබේ’ මේ සෑම කාරණයකින් පෙනෙන්නේ ඒ ඒ රරටවල අල - හතු වර්ග කීපයකට සූකර හතු සූකර අල - යන නම් භාවිතා කරණ බවයි. මේවා යොදා පිළියෙල කරණු ලබන ආහාරවලට සූකර මද්දයැ යි කියනු ලැබේ. මද්දව යන තනි වචනයෙහි තේරුම “පුඩිම” යන්න යි. ඒ රටවල ඇල් හාල් පවුලට අයත් හාල් වර්ග දහ අටකි. එයින් තුත්තිරි ඇට බඳු කුඩා - සුවඳැ’ති රන්වන් පාටින් යුත් ගුණදා යී සහල් සූකර මද්දවය පිසීමට ගනිති.
දැන් අපි අනෙක් අංශයෙන් ද මේ කාරණය ගැන සලකා බැලිය යුතු ය. බුද්ධ කාලයේ මාංශ අනුභවය ඉන්දීය සමාජය පිළිකුල් කළ දෙයකි. හින්දු ආගම හා ජෛන ආගම එදා බුදු දහම ආරම්භ වීමට කලින් දඹදිව පැවති ආගම් දෙකයි. ඒ ආගම් දෙකෙන් ම අහිංසාව ඉතා ඉහළම මට්ටමින් උගන්වති. සිසිල් දිය පවා “ඒක ප්රාණීය” යන විශ්වාසයෙන් පූජ්‍ය පක්ෂය උණුදිය පමණක් පරිහරණය කරති.
බුදුරජාණන් වහන්සේ ත්‍රිකෝටි පාරිශු_ මාංශයක් අනුමත කරණ සේක. “අනුඤඤාතං ත්‍රිකෝටි පාරිසුද්ධං මච්ඡජමංසං අදිට්ඨං අසුතං අපරිසංකිතං” තමා උදෙසා මරණ ලදැයි නුදුටු තමා වෙනුවෙන් මරණ ලදැ’යි නොඇසූ, තමාවෙනුවෙන් මැරූ බවට සැකයක් නැති මාංසයක් ලදහොත් කැමති නම් වැළඳිය හැකි බව දක්වා තිබේ. වනගත භික්ෂූන් වහන්සේලාට ගිජු ලිහිණි ආදීන් මරා කා බිම හෙලන ලද ඇට කටු තම්බා වතුර බීමට අනුදත් බව විනය පිටකයෙහි සඳහන් වෙයි. එහෙත් උන්වහන්සේ නිර්මාංසාහාරය පැසසූ සේක.
එදා දඹදිව, ක්ෂත්රිය – බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍ර යැයි ප්‍රධාන කුල සතරකි. ක්ෂෙත්‍රියෝ රට රැකීම – රට පාලනය - රටේ සාමය රැකීමට බැඳුනු කුලය යි. බ්‍රාහ්මණයෝ ශබ්ද ශාස්ත්‍ර දියුණු කිරීම ඉගැන්වීම – නක්ෂත්ර -වෛද්‍ය - ගොවිතැන කළ යුත්තෝ ය. වෛශ්‍යයන්ට පැවරී තිබුනේ වෙළඳාම ප්‍රධාන වශයෙනුත් අමතරව ගොවිතැනත් ය. ශුද්‍රයෝ කුලී වැඩ කළ යුතු - සමාජයේ පහත් ම පන්තිය වූහ. මොවුනතුරෙන් වහල් සේවයට කැපව සමාජයේ තාඩන පීඩනවලට භාජනය වූවෝ ද ඔවුහු ම ය. අර උසස් කුල තුනට අයත් ඇත්තෝ සූකර මාංශ නො කෑහ. දැනුදු දඹදිව ඒ සිරිත එසේම පවතියි. බුදුරදුන් අයත් ක්ෂත්රිය වංසිකයින් කෙසේවත් සූකර මාංශ අනුභව නො කෙරෙති. සම්මතයක් වශයෙන් ගව මස් කෑමක් එදත් අදත් කා අතරත් නැත.
බුදුරජාණන් වහන්සේ අනුමත කළ සේක්, ප්‍රණීත වශයෙන් පස්ගෝරසයයි. ධාන්‍ය - පළතුරු - අල බතල - එලවළු - පලා - පළතුරු මේවා ආහාරයට අනුමත කොට ඇත. පළතුරු ඉර අවරට ගියායින් පසු මිරිකා පානය කිරීමට අනුදැන වදාරා තිබේ. චුන්දකර්මාර පුත්‍ර උසස් කුලවතෙකි. එනිසාත් ඔහු පහත් සතෙකු වූ ඌරුමස් ආහාරයකට ගන්නේවත් ආහාරයට දෙන්නේවත් නැත. ඔහු බුදුරදුන් පිළිගනිමින් කළ කථාව අනුව උන්වහන්සේගේ ශාරීරික දුබලතාවයන් හා කුසේ අමාරුවක් පවති බව දැන සිටි බව පැහැදිලි ය. එනිසා මේ සූකර මද්දව නිර්මාංශය වූ රසායනික දානයකැ’යි නිගමනය කළ හැකිය. සූකර මද්දව දානය වළඳා නිමකළ බුදුරජාණන් වහන්සේ චුන්දකර්මාර තුමාට මෙසේ වදාළහ.
යං තෙ චුන්ද සූකර මද්දවං පටියත්තං තෙන මං පරිවිස, යං පන අඤඤං ඛාදනීයං භෙභීජනීයං පටියත්තං නෙත භික්ඛු සංඝං පරිවිසාති ඒවං භන්තේති බෝ චුන්දොකම්මාරපුත්තො භගවතො පටිස්සුත්වා යං අහොසි සූකරමද්දවං පටයත්තං තෙන නගවන්තං පරිවිසි යං පනචඤඤං ඛාදනීයනං භෝජනීයං පටියත්තං, තෙන භික්ඛු සංඝං පරිවිසි, (පරිනිබ්බාන සූත්‍රය) චුන්ද ඔබ විසින් මා වෙනුවෙන් ම පිළියෙළ කරණ ලද සූකර මද්දව ඖෂධීය ආහාරය මට පමණක් පිළිගන්වන්න. සූදානම් කළ’ අනික් ආහාර - පාන භික්ෂු සංඝයා වහන්සේට පිළිගන්වන්න. වදාළ පරිදිම චුන්දකර්මාර පුත්‍රයා සූකර මද්දවය බුදු රදුන්ට පිළිගන්වා සෙසු බොජුනෙන් භික්ෂු පිරිස වැළඳ වූයේ ය. බුදු පියාණන් වහන්සේට එදා පිළිගන්වන ලද්දේ ඖෂධීය ආහාරයක් බටව මෙය ද කදිම නිදසුනකි.
චුන්දගේ දානය මංශයක් වී නම් එය අනෙක් භික්ෂූන් වහන්සේලාට පිළිගන්වන්නට එපා යයි කීමේ තේරුමක් නැත. බුදු රදුන්ගේ අසනීප තත්ත්වයට පිරිමසින ලෙස සකස් කළ දානයක් බැවින් එය අන් අයට වැළඳවීම යෝග්‍ය නොවීම පුදුමයට කරුණක් ද නොවේ. බුදු පියාණන් වහන්සේගේ අන්තිම දානයට දෙවියන් විසින් දිව්‍ය ඕජස් යෙදූ බව සඳහන් වෙයි.
ඌරු මසකට දෙවිවරු දිව්‍ය ඕජස් යොදනු ඇත යන්න කිසිසේත් පිළිගත නොහැක්කකි. අනෙක් කාරණය නම් ‘මාගේ මේ ඖෂධීය ආහාරය වැළඳීමෙන් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සිදු නොවේවා’ යන පැතුමෙන් යුතුව, චුන්දකර්මාර පුත්‍ර තුමා “සූකර මද්දව“ දානය පිළියෙල කළ බවද සඳහන් වීමෙන් පෙනී යන්නේ, මෙය කිසිසේත් කවර ආකාරයක හෝ මාංශයක් නො විය හැකි බව ය. ඉපැරණි ටිබෙට් විනය පොත්වල සවිස්තරාත්මකව සඳහන් වන්නේ “සූකර මද්දවය” යනු ඖෂධීය ප්‍රණීත ආහාරයක් බව ය. ආචාර්්‍ය රොක්හිල් පඬිතුමා ඒ කියමනඅනුමත කරමින් බොහෝ කරුණු දක්වා ඇත.
එදා අද මෙන් ගමන් – බිමන් පහසුකම් නොවීය. බොහෝ දේ ලියන ලද්දේ – කියන ලද්දේ ආරංචි මාත්‍රයෙනි. රටකින් රටකට ගිය කෙනෙක් වුවද ආපසු පැමිණීයේ ද අවුරුදු ගණනාවකට පසුව ය. යන - එන ගමන්වල දී හොර, හතුරු බිය - දේශගුණය විපරියාස - සමුද්‍ර – ගංගා තරණය කිරීමේ දී සිදු වන පළිබෝධාදිය නිසා දේශාටනයේදී රැස්කර ගත් කරුණු ද අමතක වූහ. සටහන් කර ගත් දේ ද නැති නාස්ති විය. මෙනිසා අටුවාචාරීන් වහන්සේලා දක්වන කරුණු ද පසරස්පර විරෝධී වෙති. එසේ ම දැනට අපට ඉතිරි වී තිබෙන අටුවා බු_ පරිනිර්වාණයෙන් සියවස් හතරකට පසුව ලියැවුනු ඒවා ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන දින දවල් දානය වැළඳුයේ තනියම නොවේ.
තව පන්සිය නමකටත් වඩා මහ රහත්හු ම ඒ දානයට චුන්දකර්මාර පුත්‍රගේ නිවසට බුදු රදුන් සමග වැඩම කළහ. එසේම චුන්දකර්මාර පුත්‍ර තුමාගේ අති සම්භාවනීය ඥාති මිත්‍ර පිරිසක් ද මේ උත්කෘෂ්ට දානයට සහභාගි වී සිටි බව සැලකිය යුතු ය. ඒ ගිහි පැවිදි බොහෝ දෙනෙක් තථාගත පරිනිර්වාණයෙන් අවුරුදු පනහක් – හැටක් යනතුරු නැත්නම් ඊටත් වැඩි කලක් ජීවත් වූ බව නො රහසකි. චුන්ද එදා බුදු පියාණන්ට පිළියෙල කළේ කුමන දෙයක් ද යන්න ඒ පිරිස දැන නොසිටීමට කිසිම හේතුවක් නැත. ප්‍රථම ධර්ම සංගායනාව සිදුවූයේ බුදු රදුන් පිරිනිවීමෙන් තුන් මසකට පසුව යි. එදා සූකර මද්දවය ගැන කථා කිරීමට තරම්වත් එය වැදගත් කමක් නොවූ ප්‍රශ්නයක් බව පෙනේ.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා සියවස් දෙක - තුනක් ඉක්ම ගිය පසු ධර්මාශෝක යුගයෙන් අනතුරුව බමුණු බලය - හිංදු බලය තදින් හිස ඔසවන ලදහ. බමුණෝ ප්‍රචාරය කරන ලද්දේ ශාක්‍ය පුත්‍ර බුදු රදුන් රටවැසියා පිළිකුල් කරනු ලබන පහත් ම සතකු වූ ඌරෙකු ගේ මස් කෑමෙන් බරපතල ලෙස රෝගාතුරව මරණයට පත්වූ බව ය. ලංකාව වැනි රටවල අයට මෙය එතරම් වැදගත් කරුණක් නො වුවද දඹදිවින් බුද්ධාගම පලවා හරින්නට හේතු වූ මූලික කරුණු තුන - හතරෙන් මේ ඌරුමස් බවට හරවා ගැමි ජනතාව අතර පරිහාසයට ලක්කරමින් ප්‍රචාරය කළ කථාව ද එකකි. මේ නිසාත් , නූගත් - දුප්පත් ජනතාව බුදු දහම අතහැර හිංදු ආගමට හැරුනේ දහස් ගණනින් නොව ලක්ෂ ගණනිනි. ඌරුමස් කතාව අදත් දඹදිව - නේපාල රටවල මහා පිළිකුලට භාජනය වූ ප්‍රවෘත්තිය කි.
මෙය තවත් රස ගන්වමින් සිවුරු පෙරවා ගත් බමුණු වේශධාරීහු බුදු රදුන් ඌරුමස් කෑමෙන් ලේ අතීසාරය වැළඳී කාගේවත් පිහිටක් නො ලැබ මග දිගට පස් විසිපලක මළ පහකරමින් කුසිණාරාවට ගොස් මළහ’ යි කියන්නට වූහ. ලියන්නට වූහ. භික්ෂූ වේශධාරී බ්‍රාහ්මණ බලය කෙතෙක් බල සම්පන්න වීද? යත් පරිනිබ්බාන සූත්‍රයට ද මෙය ඇතුළත් කිරීමට තරම් ඔවුහු සමත් වූ බව පෙනේ. මස් මාංශ වලට කෑදර භික්ෂූහු ද, තමන්ටත් මස් මාංශ කෑමට මෙය කදිම මාර්ගයක් සේ දැන - බුදු රදුන් වැළඳුයේ ඌරුමස් ම යැ’ යි ලියා තැබූහ. එසේ නැත්නම්, “තරුණ ඌරකුගේ මස්ය – මරා විකිණීමට තිබූ ඌරකුගේ මස්ය. ඌරන් මඩකළ තැන හටගත් හතුය. උණ ගොබය, ඖෂධීය ආහාරයක්ය, ඌරන් හාරණ අල සහිතව පිළියෙල කළ ආහාරයකැ’යි යනුවෙන් විවිධ මත පළ කිරීමට කිසිදු හේතුවක් නැත.”
චුන්දගේ අතිශයින් ම සිනිඳු වූ ඖෂධීය දානය වැළඳීම නිසා අධිෂ්ඨාන බලයෙන් යටපත් කොට තිබූ රෝගය බොහෝ සෙයින් ලිහිල් ව මතුවූ බව අටුවාවන් හිමැ දැක්වේ. එදා සවස ආලාරකාලාම පුත්‍රගේ ගෝලයකු වූ පුක්කුස තුමා, බුදු රදුන් මගදී හමුවී බෙහෙවින් සතුටට පත්ව අගනා වස්ත්‍ර යුගයක් ද උන්වහන්සේට පිදූහ.
එයින් සැරසුණු බුදුපියාණන් වහන්සේ බුදුවන දා වගේ ම අතිශයින් ම බබලන්නට වූ බවද සඳන් වෙයි. ඔය කියන තරම් අසාධ්‍ය තත්ත්වයක් ඇතිවුනි නම්, බුදු සිරුරෙහි එබඳු දීප්තියක් ඇතිවිය නොහැකි ය. එදා හැන්දෑවේ ම භභාග්යවතුන් වහන්සේ කුකුත්ථා නදියෙන් ජලස්නායනය කළ බව ද දැත්වෙයි. පස් විසි වතාවක් මළ පහවූ බව සැබෑවක් නම්, කවදාවත් කෙනෙකුට කෙලින් – කටින් සිටගත නො හැකි ය. ජලස්නානය කළ නො හැකි ය. ඒ ඇරත් උන්වහන්සේ අසූ වයස් කෙනෙකි. එය ද අමතක නො කළ යුතු කරුණකි.
මේවා පසු කාලවල බුදු රදුන් කෙළෙසනු පිණිස – නිග්‍රහයට පත් කරුණු පිණිස ගෙතූ කථා ය. ඇතැම් අටුවාචාරීහු ද බමුණන්ගේ උගුලට අසුවී, අනිත්‍ය ස්වභාවය පෙන්වීමට බුදුරජාණන් වහන්සේ පාවා නුවර සිට කුසිනාරා නුවරට සෘÿයෙන් වැඩම නො කොට පා ගමනින් ම වැඩිය බව කීහ. චීවරධාරීන් වශයෙන් සිවුරු පොරවාගෙන ධර්මය අධර්මය කළ බමුණෝ ද දස දහස් ගණනින් ව්‍යාප්තව සිටියහ. ධර්මාශෝක මහරජුට දෙවන ධර්ම සංගායනාව කිරීමට සිදු වූයේ ද මේ බමුණු අරගලය නිසාය. මෙකී කරුණු එකිනෙක ගෙන සසඳා බලනවිට පැහැදිලිව ම පෙනී යන්නේ චුන්දකර්මාර පුත්‍රයාණන් විසින් තථාගතයන් වහන්සේට පුදන ලද අන්තිම බු_ පූජාමය දානය ඖෂධීය නිර්මාංශාහාරයක් බව යි. එහෙත් පෙන්වා ඇත්තේ වෙනත් පින්තූරයකි.
සුජාතා සිටු දියණියගේ ප්‍රථම දානයත්, චුන්දකර්මාර පුත්‍රයාණන් ගේ මේ අන්තිම බු_ පූජාවත්, සමාන අනුසස් ගෙන දෙන මහානිශංසදායී දාන දෙකක් යැ’යි බුදු රජාණන් වහන්සේ ම වදාළ සේක. මෙනයින් සලකා බැලීමේ දී බුදු වන දා පිදූ සුජාතාවගේ අනඝිතම කිරිපිඬු දානයත් - මේ චුන්ද තුමන්ගේ ඖෂධීය සූකර මද්දව දානයත් ඔවුන් සසරදී පතාගෙන ආ පරිදි ම පුදන ලද බු_ පූජාවන් දෙකක් බව සැළකිය යුතුය. මේ මුල - අග දාන දෙක ම නිර්මාංශාහාර දානයෝ ම ය.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
අග්ගමහා පණ්ඩිත
කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි
ලොව වටිනාම දානය දර්ම දානයයි .ඔබට පින් .රේප්++
උපෝසත අෂ්ඨාංග සීලය.....
බුදුන් වහන්සේ නොයෙකුත් සූත්‍ර දේශනාවල දී පැහැදිලි කළ පරිදි, ගිහියන්ට නිත්‍ය ශීලය පංච ශීලය වුවත්, ඊට වැඩිමනත් ලෙස අෂ්ඨාංග ශීලය හා දසශීලයද සමාදන්වීම අගය කළ යුතුය.
පංච ශීලයට අමතරව විකාල භෝජනයෙන් වැළැකීමද නැටුම්, ගැයුම්, වැයුම්, ආදියෙන් වැළැකීමද, උස් අසුන්, මහ අසුන් පරිහරණයෙන් වැළැකීමද අභ්රහ්මචරියාවෙන් වැළැකීමද ගිහි බෞද්ධයන් හට සිත, කය, වචනය සංවර කරගෙන ගුණගරුක ජීවිත ගත කිරීමට හේතුවෙයි.
උපාසක උපාසිකාවන් පංච ශීලයෙන් සිල්වත් වන බව මහානාම ශාක්‍යයන්ට දේශනා කළ බුදුහිමියන් අංගුත්තර නිකායේ එන සාරජ්ජ සූත්‍රයෙන් වදාළේ, කරුණු පහකින් වැළැකීමෙන් උපාසකයන් විශාරද වන බවයි. එනම්, ප්‍රාණඝාතයෙන්, සොරකමෙන්, කාමමිත්‍යාචාරයෙන්, බොරුකීමෙන් සහ රහමෙර පානයෙන් වැළැකීමෙනි. අංගුත්තර නිකායේ, විසාරද ,නිරය,වේර සහ උපාසක චණ්ඩාල සූත්රැ දේශනාවලින්ද ගිහියන්ට සිල්පද රැකීමෙන් ලැබෙන කායික මානසික සුව වැඩිදුරටත් පහදා දී ඇත. “වේර’ සූත්‍ර දේශනාවෙන්,යමකු ප්‍රාණඝාත කරයි නම්, නුදුන්දේ ගනී නම්, පරඅඹුන් කරා යා නම්, බොරු කියයි නම්, රහමෙර පානය කරයි නම් ඔහු පංච වෛරයන් පහ නොකළ දුශ්ශීලයකු බව වදාරන ලදී. උපාසක චණ්ඩාල සූත්‍රයෙන්,මෙම සික පද පහ පිළිනොපදින අය,උපාසක චණ්ඩාලද උපාසක කිලුටද පිළිකුලද වන බව දක්වා ඇත. එසේම ශ්‍රද්ධා නැත්තා ද දුශ්ශීලයකුද වේ යැයි දේශනා කරන ලදී.
සෝවාන් ඵලයට පත් ආර්ය පුද්ගලයා රකින පංචශීලය අරියකාන්ත ශීලය නම් වේ.
බෞද්ධ ගිහියන් පන්සිල් හෝ අටසිල් හෝ සමාදන් වීමෙන් සහ ඒ සිල් පද සුරැකීමෙන් ඒකාන්ත වශයෙන්ම සුගතිගාමී වෙයි. නිරයට නොවැටෙන බව සූත්‍ර දේශනා රාශියකම දේශනා කර ඇත.
ගිහියන් අටසිල් සමාදන්වීම ඉතා ශ්‍රද්ධාසම්පන්නව උතුම් කාර්යයක් ලෙස ඉටු කරමින්, සිත, කය, වචනය සංවර කරගෙන දුගතියෙන් මිදීමේ මහා කුසල කර්මයෙහි යෙදුණි.
අටසිල් සමාදන්වන ගිහියන් බණ දහම් ඇසීම සහ භාවනා කටයුතු ආදිය මැනැවින් ඉටු කළහොත් එය සුගතිගාමී වීමට මනා ලෙස මඟ හෙළි පෙහෙළි කරයි. විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍ර දේශනාව හා භාවනා ඉතා වැදගත් තන්හි ලා සැලකේ. මෛත්රීූ භාවනාව සහ ආනාපානසති භාවනාව ආදි භාවනාවක යෙදීමෙන් වඩාත් කුසල්වර්ධනය වේ. අටසිල් සමාදන්ව මෛත්‍රී භාවනාව කිරීමෙන් ශීලය වඩාත් අනුසස් වන බවත්, එවිට එය නවාංග උපෝසථයක් වන බවත් සඳහන් වේ. ගිහියා ශ්‍රද්ධා සම්පන්න නම් තමාට හැකි කුමන දවසක වුවත්, සැමදාම වුවත් අටසිල් සමාදන්වීමේ වරදක් නැත.
පොහොය අටසිල් සමාදන්වන ගිහියන් කරන ශීලාදී කුසල් විමසීම සඳහා දෙවියන් පවා මෙලොවට එන බව අංගුත්තර නිකායේ,ලෝකානුවිවරණ සූත්‍ර දේශනාවේ දැක්වේ.
සතරවරම් දෙවියන්ගේ උපදෙවිවරුන් පැමිණ ඒ ගැන සොයා බලා සුධර්මා දිව්යේ සභාවට තොරතුරු සපයන බව කියා ඇත.
ඉධෙව කිත්තිං ලභති
පෙච්ච සග්ගෙච සුම්මනො
සබ්බත්ථ සුමනො ධීරො
සීලෙසු සුසමාහිතො
සිල් රක්නා වූ තැනැත්තෝ මෙලොවද කීර්තිය ලබන්නෝය.
මරණෙන් මතු දෙව්ලොව උපදිති.
සෑම තන්හිම සතුටු වන්නෝය.
උපුටා ගැනීම බුදුසරණ පුවත්පතිනි.