දෙවියන් ඇයි අංගවිකල අයව මැව්වේ? ඇයි දුප්පත් අයව මැව්වේ ඇයි? ලෙඩ්ඩු මැව්වෙ ඇයි? පරිපූර්ණ ලෝකයක් මැව්වෙ නැත්තේ ඇයි? යනාදී ගැටළු අන්‍ය සහෝදර සහෝදරියන් නිතරම දේව වාදීන්ට ඇගිල්ල දිගුකර අසන ගැටළු වේ.
සොබා දහමට සමච්චල් කරන බුදු දහම (කොටස 1) යටතේ මා අපගේ මෙලොව අරමුණ සම්බන්ධයෙන් සාකච්චා කළේය. එහි දී ඉස්ලාමයේ සංකල්පය මෙම ලිපියට වැදගත්වේ. මෙය කියවීමට මත්තේන් එම ලිපිය කියවන මෙන් ආරාධනා කරමි. දැන් මාතෘකාව දෙසට හැරෙමු.
ඇයි ඔබලා මේ ලෝකයෙන් යහපත් දේවල් පමණක්ම බලාපොරොත්තු වන්නේ? යහපත් දේවල් පමණක් ලැබීමට මෙම ලෝකය ස්වර්ගයක් නොවේ. අප ප්‍රථමයෙන්ම මෙම ලෝකයේ න්‍යායන් තේරුම් ගත යුතුය. එය බොහෝ ප්‍රශ්ණවලට පිළිතුරු සැපයේ.
-යහපත සහ අයහපත-
අල්ලාහ් මේ ලෝකය මවා ඇත්තේ යහපත සහ අයහපත යන දෙකම ඇතුවයි. සමූහයක් වශයෙන් ගත්තා වුවද ඒකකයක් වශයෙන් ගත්තා වුවද මේ දෙකම අඩංගුවේ. උදාඃ ගිනිකඳු ගැන සැළකීමේදී, එහිද යහපත් පැත්තක් ඇත, ගිනි කඳු මගින් පස සාරවත් වේ, පරිසරයට ශක්තිය මුදා හැරේ, ජල චක්‍රයට අවශ්‍ය වායූන් මුදා හැරේ, මෙලෙස බොහෝ යහපත් දේවල්ද මෙහි ඇත. අපි වැස්ස ගැන සළකා බැලුවහොත්, වැස්ස මිනිස් ජීවිතයට කෙතරම් ප්‍රයෝජනවත්ද?, එලෙසම එම වැස්ස වැඩිවී ගංවතුර තත්වයට පත්වුවහොත් එය මිනිස් ජීවිතයට කෙතරම් අයහපත්ද? එලෙසම එම අයහපත් ගංවතුරෙද යහපත් පැත්තක් ඇත. ගංවතුර මගින් පස සාරවත්වේ. සර්පයින් දශ්ඨ කලවිට මිනිසුන්ට මරු කැඳවයි, එම සර්ප විෂ ම මිනිසුන්ගේ යහපතට බෙහෙත් නිපදවීම සඳහා යොදා ගැනේ. සියළු දේ මෙලෙසයි. අල්ලාහ් කිසිම වස්තුවක් නිකරුනේ මවා නැත අනිවාර්ය්යෙන්ම සෑම දෙයකම කිසියම් ප්‍රයෝජනයක් ඇත.
මිනිසුන් සම්බන්දයෙන් සළකා බැලුවද තත්වය එසේය. අල්ලාහ්, මෙවැනි යහපත සහ අයහපත යන දෙක ඇතුව මේ ලෝකය මවා එහි හොඳ සහ නරක යන ගුණාංග දෙකම සහිතව සහ තීක්ෂණ බුද්ධියකින් යුතුව මිනිසුන්ව නිර්මාණය කර තිබේ. එසේ නිර්මාණය කර මිනිසුන්ට නබිවරුන් මාර්ගයෙන් නිවැරදි මාර්ගය මෙයයි, ජිවත් විය යුත්තේ මෙලෙසයි, යනුවෙන් මග පෙන්වා ඇත. නරක යටපත් කර නිවැරදි මාර්ගයේ යහපත කරන අය ජයග්‍රාහකයෝ වෙති. ලොව මුල්ම මිනිසා වන ආදම් (අලෛ) තුමාව අල්ලාහ් මැවූ පසු ඔහුට හිස නමන ලෙස මලාඉකාවරුන්ට (ආලෝක ශක්තියෙන් මවන ලද දේව දූතයන්, මොවුන් පව් නොකරයි, පව් කිරීමේ ස්වභාවය මොවුන්ට නැත.) අණ කළේය(අල් කුර්ආන් 2-34). කිසිදාක පව් නොකරන දේවදූතයින්ට පව් කරන මේ මිනිසුන්ට හිස නමන ලෙස අල්ලාහ් අණ කළේ ඇයි? මිනිසුන්ආට පව් කිරීමේ ස්වභාවය උපතින්ම තිබුනද ඒවා යටපත් කරගෙන අල්ලාහ්ට අවනතවී යහපත් දේවල් කරන නිසාය. අල්ලාහ් බලාපොරොත්තු වන්නේද එයයි.
-ස්වයංක්‍රීය-
එසේම මෙලොව “ස්වයංක්‍රීය” (ඉබේ) (Automatic) කියා කිසිවක් නොමැත. ස්වයංක්‍රීය ඔරලෝසු කියා තිබුනට, එහි සිදුවන්නේ අප අත සොළවන විට එහි ඇති ජවරෝදයක් කැරකී දුන්නක ශක්තිය ගබඩා වීමයි. සැබවින්ම එහි සිදුවන්නේ ශක්ති පරිවර්තනයකි. අප ඔරලෝසුව ගලවා පැත්තකින් තැබූවිට දුන්නේ ගබඩාවූ ශක්තිය අවසන්වී එය ක්‍රියා විරහිත වේ. සෑම ස්වයංක්‍රීය උපකරණයකම තත්වය මෙසේය. විභාගයකින් ජය ගැනීමට පාඩම් කල යුතුය. කුසගිනිවූ විට කෑම කෑ යුතුය. නමුත් අල්ලාහ්ට මිනිසෙකුගේ කුසගිනි නිවීමට ඔහුට කෑම සැපයීමම අත්‍යාවශ්‍ය නොවේ. නමුත් මේ ලෝකය අල්ලාහ් මවා ඇත්තේ එලෙසයි. නමුත් ස්වර්ගයේ ආහාරයක් ගැන සිතූවිට එය ඉබේ පහල වේ.
-අනිත්‍ය-
අනෙක් කාරණය වන්නේ මේ ලෝකයේ අනිත්‍ය බවයි. ඇස් නොපෙනෙන්නන්, කන් නෑසෙන්නන්, අත පය නැති අය, ලෙඩ්ඩු, දුප්පතුන් මේ සියළු අයව අල්ලාහ් මේ ලෝකයේ මැව්වද, අල්ලාහ් ඉතාමත් කාරුණිකයි. හේතුව, අල්ලාහ් මේ ලෝකය අනිත්‍ය ලෝකයක් ලෙස නිර්මාණය කිරීමය. මිනිසුන්ගේ මෙලොව කිසිම දුකක් සදාතනික නැත. මරණයෙන් මෙලොව දුක කෙළවර වේ. අවශ්‍ය වන්නේ තමන්ට ලැබුණු ස්ථානයේ සිට අල්ලාහ්ට අවනතවී යහපත් දේවල් කිරීමය. යහපත් මිනිසුන්ව තෝරාගෙන ඔවුන්ට ස්වර්ගය පිරිනැමීම උදෙසා අල්ලාහ් විසින් නිර්මාණය කළ තාවකාලික ලෝකයකි මේ.
-කල හැකි හා කල නොහැකි දේවල්-
ප්‍රායෝගිකව මිනිසුන්ට මේ ලෝකයේ කල හැකි හා කල නොහැකි දේවල් කියා කොටස් දෙකක් ඇත. ඉස්ලාමය කවරදාකවත් කල නොහැකි දේවල් සඳහා මඟපෙන්වා නැත. මම බෞද්ධ දර්ශණයෙන් උදාහරණයක් ගතහොත්, බුදුහාමුදුරුවන්ට එරෙහිව නාලාගිරි ඇතාව කුලප්පුකර එවූ විට බුදුහාමුදුරුවන් කිසිම ආයුධයක් පාවිච්චි නොකර එම ඇතාව දමනය කළේය. නමුත් අපට අද මෙවැනි ප්‍රශ්ණයකට මුහුණ දීමට සිදුවුවහොත් අපට කරන්නට සිදුවන්නේ එම ඇතාට වෙඩි තැබීමයි. මිනිසුන්ට බුදුහාමුදුරුවන් මෙන් දමනය කල නොහැක. ඉස්ලාමයේ ආත්ම ආරක්ෂාවට යුද්ධය අනුමත කර ඇත්තේද මේ නිසයි. අප රටෙන් උදාහරණයක් ගතහොත්, අප ප්‍රභාකරන්ව පරාජය කළේ යුද්ධ කරය. මෙයයි ප්‍රායෝගික තත්වය. මෙය අප තේරුම් ගත යුතුය.
විශේෂයෙන්ම අප තේරුම් ගත යුත්තේ, මේ ලෝකය ස්වර්ගයක් නොවන බවය. ස්වර්ගයේ යහපත පමණක් ඇත. ඉබේ සිදුවන දේවල් ඇත. ස්වර්ගය විනාශ නොවන නිත්‍ය ලෝකයකි. මෙය අනිත්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයක් පමණි.