බුෆේ ETIQUETTES

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    බුෆේ කියන්නේ මොනවද කියලා ඕන කෙනෙක් දන්නවනේ. අර වෙඩින් වල එහෙම දිග මේසෙක ලොකු භාජන වල එක එක විදියේ බත්, වෑංජන එහෙම දාලා තමන්ටම පෝළිමේ ගිහින් බෙදාගන්න තියෙන්නේ. ආන්න ඒවා තමයි බුෆේ. අපිට බුෆේ සෑහෙන තැන්වල හම්බුවෙනවා. හැබැයි වැඩි හරියක් වෙඩින් වල. දැන් වෙඩින් එකකට ගිහින් අපේ කට්ටිය බුෆේ වලින් කන්න බෙදාගන්නෙ කොහොමද? ඔව්, ඒකේ උගන්නන්න දෙයක් නෑ කියලා හිතෙයි. හැබැයි කෑම මේසෙක වගේම බුෆේ එකකත් තියෙනවා පිළිපදින්න ඕන සිරිත් විරිත්. මේ කියල දෙන්න යන්නේ ආන්න ඒවලින් ටිකක් තමයි.

    1. කන්න තියෙන ඔක්කොම බෙදාගන්න ඕන නෑ මාමෙ!



    Buffet-Ethics-aniwa-01.jpg


    අපිට වෙඩින්ග් වලදී එහෙම බුෆේ එකක දකින්න ලැබෙන ජනප්‍රිය දෙයක් තමයි, බුෆේ එකේ එක කෙළවරක ඉඳන් තියෙන ඔක්කොම බෙදාගෙන බෙදාගෙන යන එක. රතුබත් එක්ක ස්පැගටි. පොල් සම්බෝල එක්ක සලාද. මෙහෙම බෙදාගත්තට පස්සේ පිඟාන හරියට පිදුරුතලාගල කන්ද වගේ. හැබැයි මෙතන කණගා‍ටුදායක කාරණාව තමයි මෙහෙම බෙදාගෙන යන ගොඩක් දෙනා පිඟානේ කෑම ඉතුරු කරනවා. ඕන කෙනෙක්ට කන්න පුලුවන් සීමාවක් තියෙනවනේ දොරේ.
    ඒ නිසා අපි කියන්නේ මුලින් බුෆේ එක පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ පෝලිමට එකතු වෙන්න කලින් පොඩ්ඩක් බලාගෙන යන්න බුෆේ එකේ තියෙන්නේ මොන කෑමද කියලා. සාමාන්‍යයෙන් බුෆේ එකක කෑම කාණ්ඩ දෙකක්වත් තියෙනවා. ඒ කියන්නේ එක්කෝ ශ්‍රී ලංකන් සහ ඉතාලි අයිටම්ස්. දැන් ඒ කියන්නේ දෙකම බෙදාගන්න කියන එක නෙවෙයි, ගැලපෙන දේවල් බෙදාගන්න කියන එක. අනික එක ජාතියක් හරි බෙදාගත්තෙ නෑ කියලා දඩ ගහන්නෙ නෑ. ඒ හින්දා තමන් කන්න කැමති ජාතියෙන් තමන්ට කන්න පුලුවන් ප්‍රමාණේ විතරක් බෙදාගෙන යන්න. ඔව්, සමහරු ඉන්නවා ස්පැගටි එක්ක පොල් සම්බෝල බෙදාගත්තත් බස බස ගාලා සවල් ගහලා දාන. ඉතින් එහෙම කන්න නං එළියේ ක්‍රෝටන් පඳුරෙන් කොළ ටිකක් කාගෙන ගියත් අවුලක් නෑනේ. කෑමකත් තියෙනවා ආට් එකක්. අන්න ඒ ආට් එක එක්ක කන්න ඕන. ඒකයි අපි අනිවා කියන්නේ මුලින් බුෆේ එක නරඹලා ඉන්න කියලා.


    2. පිළිවෙලට පිරිසිදුවට වැඩේ කරන්න ඕන පුතා!



    Buffet-Ethics-aniwa-02.jpg


    දැන් ඔය බුෆේ එකක පෝලිම ටිකක් දිගට තිබ්බොත් ඉන්න අමාරු හාදයෝ ඉන්නවනේ. මේ කට්ටිය සමහර වෙලාවට හදිසියට බෙදාගන්න ගිහින් මස් හොදි හලනවා ඉස්සරහ ඉන්න මෑන්ගේ කෝට් එකේ. නැත්තං තමන්ගෙම ඇ‍ඟේ. ඒ නිසා ඉන්න බැරි තරමට බඩගින්නක් තියේ නං පෝලිමේ නොගිහින් පපඩමක් අරන් කකා ඉන්න එක හොඳයි, අර වගේ හදිසි අනතුරු වලට වඩා.
    බුෆේ එකක පිළිවෙල සහ පිරිසිදුකම ඉතාම වැදගත්. උදාහරණයක් විදියට ඔය කෑම භාජනයක් ඉස්සරහා පීරිසියක් තියල තියෙන්නේ මේසේ තව ඉඩ තියෙන නිසා නෙවෙයි, හැන්ද තියන්න. ඉතින් ඒක පෙනි පෙනී භාජනේ ඇතුළට හැන්ද අත ඇරලා යන එක චාටර්. හරි, තමන්ට හරියටම පිටිපස්සෙන් තව කෙනෙක් ඉන්නවා තමයි. ගොඩක් දෙනෙක් කරන්නේ පිටිපස්සෙ ඉන්න කෙනාට ලේසි වෙන්න හැන්ද භාජනේ ඇතුලේ තියලා ඉස්සරහට යන එක. ආන්න ඒක වැ‍රැදියි. එයා පොඩ්ඩක් පීරිසියෙන් හැන්ද අරගෙන කෑම එකට දාන්න කරදර වුනාට කමක් නෑ. මොකද හැන්ද හොදි එක ඇතුළේ ගිලිලා යනවා කියන්නේ ආයෙමත් ප්‍රශ්නයක්. අනිත් කාරණේ බුෆේ එකකදි ගොඩක් දෙනෙක් කට්ලට් එකක් වගේ දෙයක් බෙදාගන්නේ අතින්. හැබැයි ඒවලටම ටොන්ග් එකක් තියලා තියෙනවා නං අතින් බෙදාගන්න යන්න එපා. හරි නම් බුෆේ එකක හැමදෙයක් බෙදාගන්නම උපකරණයක් තියලා තියෙනවා. හැමවෙලාවකම ඒ උපකරණය භාවිතා කරන්න වගබලාගන්න ඕන.
    ඉතින් මේ අපි කියන කතාව සරලයි. කුලප්පු වෙච්චි අස්සයෝ වගේ බුෆේ එකක කෑම බෙදාගන්න, ඒකට ගිහින් හලාගන්න එපා. බුෆේ මේසේ පිරිසිදුව තියෙන්න ඕන කියන එක අනිවා දෙයක් කියලා මතක තියාගන්න.


    3. ෂුවර් නැති කෑම ගැන අහන්න එතන ඉන්න මහත්තයගෙන්



    Buffet-Ethics-aniwa-03.jpg


    බුෆේ මේසයක් කියන්නේ තමන්ටම බෙදාගෙන යන්න පුලුවන් තැනනේ. හැබැයි එහෙමයි කියලා ඕන දෙයක් කරගනිච්චාවේ කියලා බුෆේ මේසේ තනිකරලා තියෙන සිරිතක් නෑ. බුෆේ මේසයක් පිටිපස්සේ හැමවෙලාවකම සේවක මහත්තයෙක් හිටගෙන ඉන්නවා. එයා ඔය හිස්වෙන භාජන බලලා ඒවා පුරවන්න සිග්නල් එක දෙන එක, පෝලිමේ ඉන්න අය එක්ක හිනාවෙන එක වගේ දේවල් කර කර ඉන්නේ. හැබැයි ඇත්තටම බුෆේ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නං අහන්න ඕනැත් ඒ මහත්තයාගෙන් තමයි.
    සාමාන්‍යයෙන් බුෆේ එකක තියෙන කෑම ජාති මොනවද කියලා නේම් ටැග් එකක් තියෙනවා. හැබැයි සමහර බුෆේ වල ඔහොම ඒවා නෑ. එතකොට අපි කියමු මස් වර්ගයක් තියෙනවා, මේ මොන මස්ද කියලා දැනගන්න ඕන කියලා. සමහරු නම් අපි දැකලා තියෙනවා බුෆේ පෝලිමේ ඉඳගෙනම පිඟානට පොඩි මස් කෑල්ලක් බෙදාගෙන කාලා බලනවා. ආන්න ඒවා කැතයිනේ. ඒවා සාමාන්‍ය දැනීමෙන් දැනගන්න ඕන දේවල්. කොහොම වුනත් දැන් ඔය වගේ ප්‍රශ්නයක් ආවහම කෙලින්ම බුෆේ එක පිටිපස්සෙ ඉන්න සේවක මහත්තයාගෙන් අහලා බලන්න. ඒ අය ඉන්නේ ඔබට උදවු කරන්න තමයි.


    4. පෝලිමේ යන්නත් පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන ඇන්ටි!



    Buffet-Ethics-aniwa-04.jpg


    බුෆේ එතික්ස් ගැන කතා කරනකොට මේකත් සෑහෙන්න වැදගත් කාරණාවක්. දැන් සමහරු අපි කිව්වනේ කුලප්පු වෙච්චි අස්පයෝ වගේ කියලා. මේ උන්දැලා බුෆේ පෝලිමේ ඉන්නේ බොහොම අසහනයකින්, නොඉවසිල්ලකින්. හරියට ඉස්සරහා ඉන්න එවුන් මස් කෑලි ටික බෙදාගෙන මස් හට්ටිය ඉවර කරයිදෝ කියලා බයෙන් වගේ. එහෙම කැතයි. පෝලිමේ ඉන්න ඕන සංයමයකින්.
    අනිත් කාරණේ පෝලිම් පනින එක. ඒක ඉතින් අපේ ජාතික පුරුද්දක්නේ. ගොඩක් දෙනෙක් බුෆේ වලදී කරන දෙයක් තමයි තමන් කන්නෙ නැති දෙයක් ඉස්සරහා මනුස්සයා බෙදාගන්නවා නං රූං ගාලා පොරට ඕවර්ටේක් කරලා ඊට එහාපැත්තේ බඳුන ගාවට යන එක. මාර ටයිම් මැනේජ්මන්ට් නේහ්? බුෆේ එකකදී එහෙම කරන එක වැරදියි. කිසිමාකාර විදියකට බුෆේ එකකදී පෝලිම් පනින්න බෑ. කරන්න තියෙන්නේ ඉස්සරහා ඉන්න හාදයා තමන් බෙදානොගන්න දෙයක් වුනත් බෙදාගන්නකල් බොහොම ඉවසීමෙන් ඉන්න එක.
    අනික් කාරණාව, බුෆේ එකක් කියන්නේ බස් පෝලිමක් වගේ නෙවෙයි. කෑම ටිකක් බෙදාගන්න කෙනෙක්ට අත පය එහෙ මෙහෙ වදින්නෙ නැති ඉඩක් ඕනනේ. නැත්තං හැන්ද තියෙන වැලමිට පිටිපස්සෙ කෙනාගේ ඇ‍ඟේ හැප්පිලා එතන ඇක්සිඩන්ට් එකක්. ආන්න ඒ නිසා ඉස්සරහ ඉන්න කෙනා එක්ක ටිකක් පරතරයක් තියාගන්න බුෆේ එකකදී.


    5. පිඟාන මෙහෙම තියාගෙන පෝලිමේ ගියොත් හරිද අය්යේ?



    Buffet-Ethics-aniwa-05.jpg


    බුෆේ එකකදී සමහර වෙලාවට සැලඩ් බාර් එකටත් යන්න තියෙන්නේ එකම පෝලිම වෙන්න පුලුවන්. ඒ වගේ මොහොතකදී තමන් ගන්න පිඟාන මොකද්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. සලාද වලින් පටන් ගන්නවා නං ගන්න සැලඩ් ප්ලේට් එකක්. පෝලිමේ ගිහින් සැලඩ් බෙදාගෙන මේසෙට ගිහින් කාලා මේන් කෝස් එක බෙදාගන්න ආයෙමත් එන්න. ඒකට කමක් නෑ. හැබැයි පිඟන් දෙකක් උස්සගෙන බුෆේ පෝලිමේ යන්න එපා. ඒක කැතයි. සමහරු කියනවා වයිෆ්ට කියලා. ඇත්තටම වයිෆ්ට නං බෙදාගෙන යන්නේ, මුලින් එක පිඟානකට කෑම බෙදාගෙන වයිෆ්ට ගිහින් දීලා එන්න. ඉන් පස්සේ එන්න තමන්ගේ කෑම එක බෙදාගන්න. වෙඩිම ඉවර වෙනකල් බුෆේ පෝලිම එක තැන තියෙන්නෙ නෑනේ.
    බුෆේ එකේ යනකොට සාමාන්‍ය දකුණත් හාදයෙක් නම් පිඟාන වම් අතේ තියාගෙන තමයි යන්න ඕන. දැන් පිඟාන ගන්නකොටම සර්වියට් එකක් ලැබෙනවනේ. ඒක තියාගන්න පිඟාන යටින්. දැන් දකුණු අත නිදහස් නේ හැන්ද අල්ලලා වුවමනා දේවල් බෙදාගන්න. මේක තමයි ක්‍රමේ. වමත් වුනත් මේ ක්‍රමේට යන එක තමයි ලේසි.


    6. පොඩි චිට් චැට් බුෆේ පෝලිමේ තියාගන්න එපා පුතා!



    Buffet-Ethics-aniwa-06.jpg


    “මනමාලි එලියට බහිනකොටම වහීද දන්නෙ නෑ නේද අංකල්? පන්නිපිටිය පැත්තට නං හෝ ගාලා වහිනවලු”
    “මේ මට්න් නේද? පුතා මට්න් කනවද? යූ නෝ මයි ලේට් ඩාලින්ග් පුතා, මට්න් වලට හරිම පෙරේතයි. මට්න් සතා පිටින් ගිලී.”
    මේ වගේ එක එක චැට් බුෆේ පෝලිමේදී අහන්න ලැබෙනවා. සමහර පොරවල් ඉන්නවා අර පිඟාන ගන්න තියෙන දුරට පවුලක ඕප ටික කියලා ඉවර කරන. හැබැයි මතක තියාගන්න, බුෆේ පෝලිම කියන්නේ සතු‍ටු සාමීචියේ යෙදෙන තැනක් නෙවෙයි. විශේෂයෙන්ම ඒක අපිට නැතත් අනික් කෙනාට වාතයක් වෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩී. අනික් කාරණේ, හිතල බලන්න. බුෆේ එකේ කෑම ටික පොඩ්ඩක් මොනවද කියලා බලලා හිත නිදහසේ බෙදාගන්න ඕන. ඉතින් පිටිපස්සෙ හරි ඉස්සරහ හරි ඉන්න ඩයල් එකට උත්තර බැඳ බැඳ ඕක කරන්න පුලුවන්ද. ඒ නිසා බුෆේ පෝලිමේ කෑම බෙදාගන්න තැනට යනකල් ඔය චැට් එකක් දාගෙන ගියාට කමක් නෑ. මනුස්සයොනේ. හැබැයි පිඟාන අතට ගත්තට පස්සේ චිට් චැට් තියාගන්න එපා. ඒක අනික් කෙනාට කරදරයක් වෙන්න තියෙන ඉඩ වැඩියි.

    7. ඩිසර්ට් බෙදාගන්න වෙනම යන්න ඕන



    Buffet-Ethics-aniwa-07.jpg


    අපි මුලිනුත් කිව්වනේ එක එක කෑම කාණ්ඩ වලට වෙන වෙන පිඟන් පාවිච්චි කරන්න ඕන විතරක් නෙවෙයි, වෙන වෙන වාර ගාණක් පෝලිමේ එන්නත් ඕන කියලා. හැබැයි නියමාකාරයෙන් බුෆේ දාන තැනකදී ඔය ප්‍රශ්නෙ නෑ. මොකද සැලඩ් බාර් එක තියෙන්නේ වෙනම. මේන් කෝස් වෙනම. ඩිසර්ට් වෙනම. එතකොට තමන්ට ඕන දේ බෙදාගෙන ගිහින් කාලා එන්න පුලුවන්. දැන් ඩිසර්ට් කියන්නේ සාමාන්‍යයෙන් ඕන කෙනෙක් කැමති දෙයක්නේ. හැබැයි ඩිසර්ට් වලට දෙන්නේ කෑම පිඟන් සයිස් ප්ලේට් නෙවෙයි. ඉතින් එහෙම කියලා අර ප්ලේට් එකෙන් හැලෙනකල් ඩිසර්ට් බෙදාගන්න යන්න එපා. සාමාන්‍යයෙන් චාරිත්‍රේ තමයි මේන් කෝස් එක එකවරින් බෙදාගෙන යන එක. කොහොමත් දෙපාර තුන්පාර මේන් කෝස් එක බෙදාගෙන කන්න නං අර සවුදං ජෙමාගේ නෑයෝ වෙන්න ඕනනේ. හැබැයි ඩිසර්ට් වලට එහෙම නීතියක් නෑ. දෙපාරක් බැරිනං තුන්පාරක් හරි බෙදාගන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඩිසර්ට් ටේබල් එකේත් වෙන වෙන කාණ්ඩ තියෙනවා. පුඩින් නං පුඩින්. කපපු පළතුරු නං පළතුරු. දැන් පුඩින් කාලා ඒ ප්ලේට් එකටම පළතුරු බෙදාගන්නෙ නෑ. හැමවෙලාවෙම ගන්න අලුත් ප්ලේට් එකක්. දෙපාරක් ඩිසර්ට් ටේබල් එකට ආවා කියලා සමාජෙන් කොන් වෙන්නෙ නෑ බ්‍රෝ. හැබැයි හතර පස් පාරක් එන්න තියාගත්තොත් නං පොඩ්ඩක් වටේ ඉන්න කට්ටිය බලන්න ඉඩ තියෙනවා!

    http://www.aniwa.lk/2017/01/06/1701062-buffet-ethics/
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    tfs +
    ගොඩ දෙනෙක්ට දෙකක් දාගත්තහම ඕවා අමතකයි bro. :dull:
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    බුෆේ එකේ යනකොට සාමාන්‍ය දකුණත් හාදයෙක් නම් පිඟාන වම් අතේ තියාගෙන තමයි යන්න ඕන. දැන් පිඟාන ගන්නකොටම සර්වියට් එකක් ලැබෙනවනේ. ඒක තියාගන්න පිඟාන යටින්. දැන් දකුණු අත නිදහස් නේ හැන්ද අල්ලලා වුවමනා දේවල් බෙදාගන්න. මේක තමයි ක්‍රමේ. වමත් වුනත් මේ ක්‍රමේට යන එක තමයි ලේසි.

    මාත් වමත්. හැබැයි කන්නේ දකුණු අතින්.. ඒත් හැන්ද හුරු වම් අතට.. බේදා ගන්න ඒවා වම් අතින් තමා ඉතින්..
     
    • Like
    Reactions: jodubaba