බෙන්තර ගඟෙන් එහා පැත්තේ ඉඳන් ඇස් නෑරපු බළල් පැටවකු වත් මෙහා පැත්තට ගේන්න එපා කියා ප්‍රකට කියමනක් තිබෙනවා. ඊට හේතුව වෙනත් පළාත්වලට ගොස් ශූර ලෙස මොළය පාවිච්චි කර ජීවිතය ජය ගත් විශාල පිරිසක් ඇත්තේ බෙන්තර ගඟෙන් එහා දකුණේ හින්දයි. බස්නාහිර හා දකුණු පළාත්වල සීමා ලකුණු කරමින් මුහුදට වැටෙන හිනිදුම අවටින් පටන් ගන්නා බෙන්තර ගඟ ඉතා අලංකාර පරිසරයකට වගේ ම ඉතිහාසයකටත් උරුමකම් කියනවා.
ගඟේ උපත
බෙන්තර ගඟ ආරම්භ වන්නේ හිනිදුම හේකොක් කඳුවැටියේ අඩි 2167 ක් පමණ උසකින්.කුඩා දොළ පහරක් සේ ගල්පර්වත අතරින් ගලා බස්නා මේ නදිය තරමක් විශාල දිය දහරක් බවට පත්වන්නේ මීගම් ගඟ එක් වූ පසුව යි. ගඟ ඉහත්තාව තේ, රබර් හා කුරුඳුවගාවලින් සමන්විත යි. කිලෝමිටර් 72ක පමණ දුරක් ගෙවා බෙන්තොට කළුවාමොදරින් මුහුද සිප ගන්නා ගංගාවවර්ග කිලෝමීටර 622ක ජල පෝෂක ප්‍රදේශයක් සහිතයි.
බෙන්තර ගඟ මුල් අවස්ථාවේ දී
පැලවත්ත ගඟ, පිටිගල ගඟ, වැලිපැන්න ගඟ ආදි ජලයෙන් පෝෂිත අතුගංගා රැසක් ද එයට එක් කර ගන්නවා. වාර්ෂික ව සාගරය වෙත ගෙන යන ජල ප්‍රමාණය ඝන මීටර් මිලියන 358ක්. බේරුවල, බෙන්තොට, හිනිදුම, නියාගම, ඇල්පිටිය, වලල්ලාවිට වැනි ප්‍රාදේශීයලේකම් කොට්‌ඨාස කිහිපයක් පසුකරමින් තමයි ගංගාව ගමන් කරන්නේ.
ගංගාව පටන් ගන්නා හිනිඳුම වනාන්තර
ගඟ පළලින් වැඩි වන විට ගංගාව මැද දූපත් නිර්මාණය වී තිබෙනවා. මිදෙල්ල දූව, ඕලෑව, දෙල්දූව ඉන් කිහිපයක්. මේවා එක පෙළට පිහිටීම නිසා ගංගාව බෙදී ගිය ආකාරයක් පේනවා. එමෙන් ම නදියේ අලංකාරය ද ඉහළ ගොස් තිබෙනවා. ගඟබඩ පිහිටි බොහෝ ගම් ද දූපත් බවට වශයෙන් පැවති ඒවා යි. තුන්දූව. පොල්දූව, ලද්දූව, දේද්දුව එවැනි ගම්මානයි.
බෙන්තොට
බෙන්තර ගඟ මුහුදට වැටෙන තොට වූ බෙන්තොට සංචාරක පුරවරයක්. සංදේශ කාව්‍යවල පවා සඳහන් වන ඓතිහාසික ස්ථානයක්. කොළඹ සිට කිලෝ මීටර් 63.5 ක දුරින් තමයි, බෙන්තොට පිහිටා තිබෙන්නේ.විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණීය ම ප්‍රදේශ අතර බෙන්තොටට මුල් තැනක් හිමි වෙනවා. අතීතයේ දෙගොඩ යා කරමින් පාලම් නොමැති කාලයේ දී එගොඩ සිට මෙගොඩටත් මෙගොඩසිට එගොඩටත් පහුරුවලින් ගමන් කර තිබෙනවා.
අනුරාධපුර සද්ධාතිස්ස රජ කාලයේ ඉදි කළ වෙහෙර විහාර පහක් බෙන්තර ප්‍රදේශයේ තිබෙනවා. ඒ ගලපාත විහාරය, බෝධිමළු විහාරය, වනවාස විහාරය, උඩකොටුවවිහාරය, ගණේ විහාරයයි. ගලපාත විහාරයේ දීර්ඝ සෙල්ලිපියක් ද හමුවෙනවා. මහා පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල, දෙවැනි පරාක්‍රමබාහු, හයවෙනි පරාක්‍රමබාහු ආදි රජවරු මේ විහාර සංවර්ධනයකරලා පුද පූජා පවා පවත්වලා තිබෙන බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන්.
බෙන්තොටට අයිති ස්ථාන වන වාඩිය, නිස්සංකගල, යාත්‍රාමුල්ල, පහුරුමුල්ල ගැන ඉතිහාසගත කරුණු රැසක් පවතිනවා.
පාරිසරික වැදගත්කම
වළල්ලාවිට, තොටහ, අවිත්තාව ප්‍රදේශවල දීගංගාව ගලන්නේ යගිරල රක්ෂිත වනය අද්දරින්. මෙම ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ව තෙත් වර්ෂා වනාන්තර මෙන් ම කඩොලාන වනාන්තර දපිහිටා තිබෙනවා. මේ නිසා ගංගාව අවට ඉහළ ජෛව විවිධත්වයක් ද පාරිසරික විවිධත්වයක් ද දැකගත හැකි යි. ජලාශ්‍රිත වර්ෂා වනාන්තරවල දිවි ගෙවන පක්ෂින්, උරගයන්, උභය ජීවීන් ඇතුළු සත්ත්ව විශේෂ රැසකට බෙන්තර ගඟ අවට වටපිටාව වාසස්ථාන සපයනවා.
බෙන්තර ගඟ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ ඉත්තෑපාන, හොරවල ප්‍රදේශය පසු කර ගලා බසින අතර අලංකාර කඩොලාන වනාන්තර ද නිර්මාණය වී තිබෙනවා. බෙන්තර ගඟෙහි මෙම හොරවල ඉත්තෑපාන මල්ගස්ඕවිටදෙණිය කඩොලාන වනාන්තරය, ඉත්තෑපාන මඩවිට කඩොලාන වගේම ලුල්බද්දුව කඩොලාන වනබිම ද පිහිටා තිබෙනවා.
කඩොලාන වනාන්තර
දෙද්දුව විල නැතහොත් තෙත්බිම බෙන්තර ගඟට අයත් පෙදෙසක්. මෙහි විශාලත්වය අක්‌කර 500 ක් පමණ වෙනවා. ඒ ආශ්‍රිතව මිදෙල්ල දූව, බලිව දූව, රැපියෙල් දූව, සොහොන්දූව, අජපල දූව ලෙස දූපත් පහක් තිබෙනවා.
මෙම දූපත් වගේම ගංගාවේ කඩොල් “උමං මාර්ග”ත්සංචාරකයන්ට අපූරු අත්දැකීම් ලබා දීමට සමත්. මේ නිසා බෙන්තර නදියේ බෝට්ටු සවාරි විදේශිකයන් වගේම දේශීයයන් අතරත් ජනප්‍රිය යි. බෝට්ටු සේවා සපයන ආයතන රැසක් ද බෙන්තර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ තිබෙන කඩොලාන විශේෂ අතුරින් මල් කඩොල්, රත්කඩොල්, මහ කඩොල් හා හීන් කඩොල් වැනි කඩොලාන විශේෂ බෙන්තර ගඟ ආශ්‍රිතව හමුවෙනවා. ගඟ දෙපස වැඩෙන ශාක අතර ගිං පොල්, කිරල, කැරන්, කෙකටිය, මිදැල්ල, පන්, වැටකෙයියා කිහිපයක් පමණයි. දැඩි ලෙස තර්ජනයට ලක්වූ කඩොලාන විශේෂයක් වන රතමිල්ල ශාකය බෙන්තර ගඟ ආශ්‍රිතකඩොලාන පරිසර පද්ධතියෙන් ද මේ වනවිට හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාවේ ද මෙම ශාකය ජාතික රතු දත්ත වාර්තාවන්හි දැඩි ලෙස තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. මාදු ගඟට පමණක් සීමා වූ ශාකයක් ලෙස හඳුනාගෙන තිබූ රතමිල්ල බෙන්තරගඟ ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියෙන් ද හමුවීම සතුටට කරුණක්. මෙම කඩොලාන වනාන්තර විවිධ කටයුතු සඳහා විනාශ කිරීම ගැනත් නිතර වාර්තා වෙනවා.
නාන තොටුපොළ
බෙන්තර ගංගාව ජන ජීවිතය සමඟ තදින් බද්ධ වී ඇති ජල ප්‍රවාහයක්. ඒ නිසා ගඟේ බොහෝ ස්ථානවල අලංකාර නාන තොටුපොළවල් ද අදටත් දැකගත හැකි යි. ගඟ අද්දර ජීවත්වන ගැමියන් නෑම, රෙදි සේදීම ඇතුළු එදිනෙදා කටයුතු සඳහා තොටුපොළ භාවිත කරනවා. බෙන්තර ගඟෙහි වළල්ලාවිට පෙදෙසේ ගංගා ඉවුරේ කිරල ගස් බහුල යි. අක්කර ගණනාවක් පුරා පැතිර ඇති කිරල වගාවන් මෙම ප්‍රදේශයේ දී දැකගත හැකි යි.
කිරල ගෙඩි භාවිත කර විවිධ ආහාර පාන නිපදවීම ද අතීතයේ පටන් මේ අවට ගම්මානවල සිදුවෙනවා. කිරල ගෙඩි මඟින් කිරල බීම, කිරල අයිස්ක්‍රීම් වැනි නිෂ්පාදන සිදුකිරීමට කිරල සම්පත් මධ්‍යස්ථානයක් ද හොරවල තොටුපළ ආසන්න ව පිහිටුවා තිබෙනවා.
ගඟ ළඟ වාඩිය
බෙන්තර පාලම අසල ගාලු පාර දෙපස ඒ කාලේ වාඩිය නමින් තමයි හැඳින්වූණේ. මේ ස්ථානයේ පිහිටි බෝධි වෘක්ෂය ඉදිරිපිට ගමේ විසූ පැරැන්නෝ පිංතාලියක් තනා තිබුණා. ක්‍රිස්තු වර්ෂ 1812 තරම් ඈතට දිව යන අතීතයක් මේ පිංතාලියට තිබෙනවා.පිංතාලියට වතුර පුරවන්න කළු ගලින් තැනූ ටැංකියක් ද ඒ අසල තිබුණා. අතීතයේ කොළඹ සිට දකුණේ ගාල්ල මාතර දක්වා බඩු පටවා ගමන් කළ ගැල්කරුවෝ මේ බෝධිය අසල අම්බලමේ නවාතැන් ගෙන තිබෙනවා. පිංතාලිය ඔවුන්ගේ ජල අවශ්‍යතා සපිරූ බව ගමේ පැරැන්නෝ පවසනවා.
මූලාශ්‍ර:
serendibleisure.com
දිනමිණ - අසිරු වේදිත කරුණාරත්න
Blogger Kusumsiri Wijewardhana
Roarmedia
Divaina.com
Lanakadeepa.lk
චායාරුප අන්තර්ජාලයෙනි
PS
@pavithra_uk සහෝදරයාට විශේෂ ස්තුතිය ලිපියේ අඩු පාඩුවක් සාදා ගැනීමට උදව් කෙරුවට.....
Last edited:


