බෞද්ධ කොඩියට වසර 125 යි

බෞද්ධ කොඩියට වසර 125 යි

බෞද්ධ අනන්‍යතාව ලොවට පෙන්වූ අභිමානනීය ධජය

(අදට (28 දා) බෞද්ධ කොඩියට වසර 125 ක්‌ පිරීම නිමිත්තෙනි.)

flag.jpg


බෞද්ධාගමට හා පැවැති සාම්ප්‍රදායිකත්වයට එරෙහිව දියත් වූ ක්‍රියාමාර්ගත් සමඟ දේශීයත්වයට හා දේශීය චින්තනයේ පැවැත්මට එල්ල වූ සීමාවන් හා බාධාවන් යටත්විජිතකරණයේ එක්‌ ඵලයක්‌ ලෙසින් ඉතිහාසය තුළ අනාවරණය වේ. වර්ෂ 1796 ඉංග්‍රීසීන්ගේ ආගමනයත් 1815 වන විට උඩරට ඇතුළු අනෙකුත් සියලු ප්‍රදේශ සිය අධිරාජ්‍යවාදී හස්‌තයට නතුකර ගැනීමට හැකිවිය. සිය විජිතවාදී සංකල්පය හා ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්තිය හරහා මුළු ශ්‍රී ලංකාවම නතුකර ගැනීමට ඉංග්‍රීසීන්ට හැකිවීම ශ්‍රී ලංකාව තුළ ඔවුන් ලත් විශාල ජයග්‍රහණයක්‌ විය.

මෙතෙක්‌ පෘතුගීසි හා ලන්දේසි වැනි අපරදිග පාලකයනට ලක්‌දිව මුහුදුබඩ පළාත් සිය පාලනයට නතුකර ගත හැකි වුවද දේශීය පාලකයන් වෙතින් එල්ල වූ ආක්‍රමණ හා බලපෑම් හමුවේ සිය අනන්‍යතාව දේශය තුළ ස්‌ථාපිත කිරීමට ඔවුනට තිබූ අවකාශය සීමා සහිත විය. එනමුත් උඩරට ඇතුළු සියලු ප්‍රදේශයන්හි බලය ඉංග්‍රීසීනට නතුකර ගැනීමට හැකිවීම එක්‌ අතකින් ඔවුන්ගේ ජයග්‍රහණයනට හේතු වූවක්‌ මෙන්ම දේශීයන් වෙතින් වසර දහස්‌ ගණනක්‌ රැකගත් සිය අනන්‍යතාවය ගිලිහී යැමට මෙන්ම විදේශීය ජාතියක්‌ හමුවේ පරාදීනත්වය භාර ගැනීමට ද හේතුකාරකයක්‌ විය.

නැවත සිය අනන්‍යතාව රැකගැනීම අරබයා වර්ෂ 1818 හා 1848 දී දේශීයයන් කැරලි මාර්ග ඔස්‌සේ ද දේශීයත්වය සුරැකීමට ප්‍රයත්නය දැරුව ද ඒ සියල්ල ඉංග්‍රීසීන්ගේ බයිනෙත්තුව අබියස කඩා වැටුණි. ඉංග්‍රීසීන්ගේ ආගමික හා ආර්ථික ප්‍රතිපත්තීන් හමුවේ අසරණව ගිය දේශීය ජන ජීවිතය දෙස සානුකම්පිතව බලන භික්‍ෂුව 1840-1850 අතර දශකවල සක්‍රීය ලෙසින් ඉදිරියට ඒමක්‌ සනිටුහන් කරයි. මෙලෙසින් ශ්‍රී ලාංකේය භික්‍ෂුව සමාජයේ ඉදිරියට ඒම වඩාත් සනිටුහන් වනුයේ නැවත පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කිරීමත් සමඟය.

පිරිවෙන් ආරම්භ කිරීමත් සමඟ දේශීය ආගමික චින්තනයට ඉඩක්‌ ලැබුණු අතරම දේශීය සංස්‌කෘතිය ඉදිරියට ගෙනයැමට පමණක්‌ නොව අධිරාජ්‍යවාදීන් විසින් යටපත් කිරීමට උත්සාහ ගෙන තිබූ දේශීය සංස්‌කෘති හා අධ්‍යාපනය නැවත නඟාලීමටත් ජනතාව ඊට බද්ධ කොට ගෙන දේශීයත්වය පිළිබඳ යථාර්ථය ඔවුනට පැහැදිලි කරදීමට එමඟින් අවස්‌ථාව සැලසිනි.

පිරිවෙන් ආයතන ආරම්භ කළා පමණක්‌ නොව බුද්ධිමය කාර්යභාරයක්‌ ඔස්‌සේ සමාජය තුළ පැනනැඟුණු විවිධ ප්‍රකාශන හා විජාතික මතවාදවලට පිළිතුරු දීමට භික්‍ෂුව ප්‍රමුඛ කොටගත් දේශීය ව්‍යාපාරයට හැකිවීම පුනර්ජීවන ව්‍යාපාරයට ජීවශක්‌තියක්‌ ඇති කිරීමට හේතුවක්‌ විය.

පරමවිඥනාර්ථ සංගමයේ
ආරම්භය හා ක්‍රියාකාරිත්වය

ලක්‌දිව පවත්වන ලද පානදුරාවාදය වැනි වාද ලේඛන ලෙසින් ද ප්‍රසිද්ධියට පත් කෙරිණි. දෙස්‌ විදෙස්‌ බුද්ධිමතුනට සිය දෙනෙත් ඇර බෞද්ධයන් දෙස බැලීමට අවස්‌ථාවක්‌ ද මෙමගින් උදාවීම වැදගත්ය. පානදුරාවාදය කියවා ලක්‌දිව පිළිබඳත් බෞද්ධ තර්ක විතර්කවල ඇති තාර්කික බවට පැහැදී මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමි ඇතුළු පිරිස සමඟ ලිපි මගින් පළමුවෙන් සබඳතා පවත්වා ගැනීම ඇමෙරිකාවේ හෙන්රි ස්‌ටිල් ඕල්කොට්‌තුමා ඇතුළු පිරිස කටයුතු කළහ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ද පරමවිඥනාර්ථ සංගමයක්‌ ආරම්භ කිරීමට කටයුතු කළ අතර එහි මුල් සාමාජිකයන් බවට මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමි, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ජෝන් රොබට්‌ ද සිල්වා, තෝමස්‌ ද සිල්වා, අමරසුරිය යන අය ප්‍රභූ පිරිසක්‌ එක්‌ වූ අතර 1880 දී හික්‌කඩුවේ ශ්‍රීSS සුමංගල නාහිමියන් එහි උප සභාපති ධුරයට ද පත්විය. ශ්‍රී ලංකාව පිළිබඳ සුභවාදී අදහස්‌ දැරූ හෙන්රි ස්‌ටිල් ඕල්කොට්‌තුමා හා හෙලෙනා බ්ලැවැට්‌ස්‌කි මැතිනිය ද 1880 දී ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් දෙදෙනා ගාල්ලේ විජයානන්ද පිරිවෙනේදී පන්සිල් සමාදන්ව බෞද්ධාගම වැළඳ ගැනීම පානදුරාවාදයෙන් පසු ඉස්‌මතු වෙමින් පැවැති දේශීය බෞද්ධ ප්‍රබෝධය තවදුරටත් ජාතික හා ජාත්‍යන්තරිකව ඉස්‌මතුවීමකට මඟ එළි කිරීමක්‌ විය.

බෞද්ධයන් සමාජයෙන් කොන්කර තිබීම හා සමාජයේ වරප්‍රසාද අහිමිවීමට බලපෑ ප්‍රශ්න කවරේද යන්න පිළිබඳව ද සිය අවධානය යොමුකරමින් ඊට නිසි පිළිතුරු ලබාගනු වස්‌ පරමවිඥනාර්ථ සංගමය ඇති කොට ශක්‌තිමත් කිරීමට පියවර රැසක්‌ ගනු ලැබීය. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙසින් "සරසවි සඳරැස" පුවත්පත ආරම්භ කිරීමටත් ඔයෑ ඊමාdයසිඑ නම් ඉංග්‍රීසි පුවත්පතක්‌ ආරම්භ කිරීමටත් කටයුතු යොදන අතර බෞද්ධයන් සඳහා වෙන් වූ ඉංග්‍රීසි පාඨශාලා ආරම්භ කිරීමටත් ඔවුන්ගේ ආගමික පරිසරයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයකට පදනම සකස්‌ කිරීමටත් පළමුවෙන් ඔවුන් විසින් ක්‍රියා කරනු ලැබීය. එතෙක්‌ පැවැති සමාජ හා සංස්‌කෘති ප්‍රශ්නයනට පිළිතුරක්‌ එමගින් ලබාගත හැකිවන අතර බෞද්ධයන් අතර ශක්‌තිමත් ව්‍යාපාරයක්‌ ගොඩනැඟිය හැකි යෑයි ද ඔවුහු කල්පනා කරමින් ඊට අදාළව කටයුතු කළහ. එහි එක්‌ පියවරක්‌ ලෙසින් ඕල්කොට්‌තුමා විසින් බෞද්ධ අධ්‍යාපනික අරමුදල පිහිටුවන ලද අතර කෙටි කලක්‌ ඊට බෞද්ධයන්ගෙන් විශාල ලෙසින් ආධාර ලැබිණි. ඒ අනුව බෞද්ධයන් සඳහා වෙන් වූ පාඨශාලාවන් ලංකාවේ ප්‍රධාන නගරවල ආරම්භ කළ අතර ඒ සඳහා විදේශයන්ගේ සිට මෙහි පැමිණි ෙ-. බොල්ස්‌ ඩැලි, සී. ඩබ්ලිව්. ලීඩ් බීටර්, එෆ්. එල්. වුඩ්වර්ඩ්, ප්‍රින්ටර් කුන්ස්‌ ඩබ්. යූ. මුවර්, මියුසියස්‌ හිඟින්ස්‌, ඒ. ටී. ප්‍රෙස්‌ටන් වැනි පුද්ගලයන්ගේ සහාය ද නොමඳව ඕල්කොට්‌තුමාට ලැබිණි. ලීඩ් බීටර් කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ කිරීමට මූලිකත්වය දුන් අතර ගාල්ලේ මහින්ද විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය ද ආරම්භ කිරීමට ඔහු පුරෝගාමී විය. මේ අනුව 1892 පමණ වන විට පරමවිඥනාර්ථ සංගමය හා එහි සාමාජික පිරිසගේ ක්‍රියාකාරිත්වයෙන් පිරිමි පාසල් 25 ක්‌ ද ගැහැනු පාසල් 11 ක්‌ ද පිහිටුවා තිබිණි. 1899 වන විට බෞද්ධ පාසල් සංඛ්‍යාව 134 දක්‌වා ඉහළ ගොස්‌ තිබුණු අතර 1914 වන විට එහි සංඛ්‍යාතය 236 දක්‌වා වැඩි විය.

 
  • Like
Reactions: dilrasan
බෞද්ධ කොඩිය නිර්මාණය කිරීම හා
බෞද්ධ අනන්‍යතාවය සුරක්‍ෂිත කිරීම

අධ්‍යාපනයට පමණක්‌ සීමා නොවී පරමවිඥානාර්ථවාදීන් බෞද්ධයන්ගේ අයිතිය හා අනන්‍යතාවය වෙනුවෙන් ද තවත් කාර්යන් රැසක්‌ ඉටුකොට ඇත. 1883 දී බෞද්ධ පෙරහැරකට පහරදීමේදී ඕල්කොට්‌තුමා සක්‍රීය ලෙසින් ඊට මැදිහත් විය. ඒ අනුව අනාගතයේදී මෙවන් සිද්ධීන් වළක්‌වා ගැනීම පිණිස "බෞද්ධ ආරක්‍ෂක කමිටු" ආරම්භ කිරීමට ද ඔහු විසින් ක්‍රියා කොට ඇත. එම ආරක්‍ෂිත කමිටුව සඳහා හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, මොහොට්‌ටිවත්තේ ගුණානන්ද නාහිමි, හෙන්රි ස්‌ටිල් ඕල්කොට්‌, දොන් ඩේවිඩ් හේවාවිතාරණ, ඒ. ඒ. ගුණවර්ධන, විලියම් ද ආබෲ, සී. පූජිත ගුණවර්ධන, චාල්ස්‌ ඒ ද සිල්වා, ඇන්. ඇම්. ප්‍රනාන්දු, පීටර් ද ආබෲ, එන්. විලියම් ද ප්‍රනාන්දු ආදීන් ඇතුළත් විය.

එමෙන්ම වෙසක්‌ දිනය පළමුවෙන් නිවාඩු දිනයක්‌ බවට පත්කළ යුතුය යන යෝජනාව ද ඇතුළත් තවත් යෝජනා සයක්‌ ඕල්කොට්‌තුමා විසින් යටත්විජිතභාර ලේකම් ඩර්බී සාමිවරයා වෙත ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් ලන්දේසීන් විසින් 1770 නොවැම්බර් මසදී අහෝසි කොට තිබූ වෙසක්‌ දින නිවාඩුව නැවත ලබාදීමට 1885 මාර්තු මස ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කිරීමෙන් එකඟත්වය පළකිරීම බෞද්ධයන් දිනාගත් සිය අයිතිවාසිකමක්‌ විය. ඒ අනුව එම වර්ෂයේ අප්‍රේල් මස 28 වැනි දිනට යෙදී තිබූ වෙසක්‌ දිනය මහත් උත්සවශ්‍රීයෙන් සැමරීමට බෞද්ධ ප්‍රජාව පෙළ ගැසිනි.

නමුත් බෞද්ධ අනන්‍යතාව ප්‍රකාශ කිරීම්වස්‌ සුදුසු පොදු සංකේතයක්‌ නොමැතිවීම බලවත් අඩුපාඩුවක්‌ විය. ඒ අනුව බෞද්ධ ආරක්‍ෂක කමිටුව මගින් 1885 මාර්තු මස 25 වැනි දින පවත්වන ලද බෞද්ධ ආරක්‍ෂක කමිටුවේදී බෞද්ධ කොඩියක්‌ නිර්මාණය කිරීම සඳහා බුදුරැස්‌ වර්ණ යොදාගැනීම සුදුසු යෑයි තීරණය කළ අතරම එම නිර්මාණයේ වගකීම ද සිය කමිටුව මගින්ම භාරගන්නා ලදී. ඒ අනුව කේතුමාලාකාර බුදුරදුන්ගේ නීල (නිල්) පීත (කහ) ලෝහිත (රතු) ඕදාත (සුදු) මාංෙ-ෂ්ඨ (තැඹිලි පාට) ප්‍රභාෂ්වර (සියලු පාට සංකලනය) යන වර්ණයන් තීරු ආකාරයට යොදාගෙන පළමු කොඩියේ ආකෘතිය නිර්මාණය කළ අතර එම කොඩිය පළමුවෙන් බෞද්ධයන් හමුවට ගෙන එනු ලැබුවේ පරමවිඥනාර්ථ සංගමය මගින් 1885 අප්‍රේල් මස 17 වැනි දින ප්‍රකාශයට පත් කළ "සරසවි සඳරැස" පුවත්පතිනි. යෝජිත වැඩපිළිවෙළට අනුව මෙහි පළමු කොඩිය එසවීම කොළඹට තදාසන්න විහාරස්‌ථාන කීපයක එම වර්ෂයේ වෙසක්‌ දිනය එළඹ තිබූ අප්‍රේල් මස 28 වැනි දින සිදුකෙරිණි. ඒ අනුව කොටහේන දීපදුත්තාරාමය, මාළිගාකන්ද පිරිවෙන, පරමවිඥනාර්ථ මූලස්‌ථානය, හුණුපිටිය ගංගාරාමය හා කැලණිය රජමහා විහාරය යන ස්‌ථානයන්හි පළමුවෙන් බෞද්ධ ධජය ඔසවන ලද අතර පසුව ලක්‌දිව අනෙකුත් ස්‌ථානවල ද එසවීමට අවස්‌ථාව ලබාදුනි. 1885 දීම පළමු වතාවට සෑම නිවසකම එය එල්ලා ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යෙදීය.
 
කොඩියේ නිර්මාපකයා කවුරුන්ද යන්න පිsළිබඳ ද විවිධ මතවාද පවතින බව අමතක කළ යුතු නොවේ. ඇතැම්හු හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ නිර්මාණයක්‌ ලෙසින් එළිදැක්‌වීමට උත්සාහ කරති. එවකට බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ ලේකම් ධුරය දරන ලද සී. පූජිත ගුණවර්ධනයන් විසින් බෞද්ධ කොඩියේ පළමු නිර්මාණය කරන ලදැයි 1928 "සුදනමිණ" පුවත්පත ප්‍රකාශයට පත් කෙරිණ. එමෙන්ම හෙන්රි ස්‌ටිල් ඕල්කොට්‌තුමාගේ අදහසකට අනුව බෞද්ධ කොඩිය නියෝජනය විය යන අදහසක්‌ ද පවතියි. එනමුත් බෞද්ධ කොඩිය නිර්මාණය කරන අවධිය වන විට ඕල්කොට්‌තුමා ලක්‌දිවින් බැහැරව සිටි නිසා එතුමාගේ සම්බන්ධයක්‌ මීට නොමැති බව පැහැදිලිය. එනමුත් ආරක්‍ෂක කමිටුව නියෝජනය කළ සැම දෙනාගේම දායකත්වයෙන් එවකට පළමු බෞද්ධ කොඩිය නිර්මාණය විය යන අදහස ගැනීම වඩාත් උචිතය.

පළමු බෞද්ධ කොඩියට යොදන ලද දිග පළල ගැන ලක්‌දිවට පැමිණි ඕල්කොට්‌තුමාගේ ප්‍රසාදයක්‌ නොවීය. ඒ අනුව මෙහි දිග පළල ජාතික කොඩිය විශේෂයෙන් එවකට පැවැති ඉංග්‍රීසි ධජයට සමාන ආකාරයෙන් විය යුතු යෑයි යෝජනා කළ අතර එම ප්‍රමිතියට සකසන ලද බෞද්ධ කොඩිය පළමුවෙන් 1886 වෙසක්‌ පුණු පොහෝ දින සිට භාවිතයට ගැනිණි. අද ද දක්‌නට ලැබෙන්නේ එලෙසින් සකසන ලද කොඩිය වේ. මෙම සමස්‌ත බෞද්ධයන්ම එක්‌කරනු ලබන සංකේතය බෞද්ධ කොඩිය යෑයි වරෙක ඕල්කොට්‌තුමා විසින් ප්‍රකාශයට පත්කෙරිණි. 1889 වර්ෂයේදී අනගාරික ධර්මපාලතුමා ද සමගින් ඕල්කොට්‌තුමා ජපානයට ගිය අවස්‌ථාවේදී බෞද්ධ කොඩියේ අනුරුවක්‌ ද රැගෙන ගොස්‌ ජපන් අධිරාජයාට පිළිගන්වන ලද අතර පසුව ජපන් අධිරාජයා විසින් ජපන් බෞද්ධ ජනතාවගේ කොඩිය බවට ද මෙම ධජය පත්කරනු ලැබීය. 1950 දී ලක්‌දිවදී පවත්වන ලද ලෝක බෞද්ධ සම්මේලනයේදී 1885 දී නිර්මාණය කරනු ලැබූ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ ජනතාවගේම කොඩිය බවට පත්කිරීම ද ශ්‍රී ලංකාවට ලැබුණු මහත් අභිමානයකි. කොළඹදී පවත්වන ලද එම මහා සම්මේලන සැසිවාරයේදී එවකට එහි සභාපතිව සිටි ගුණපාල මලලසේකර සූරීන් විසින් ලක්‌දිව නිර්මාණය කළ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය ලෙසින් පිළිගැනීමට කළ යෝජනාව ඒකමතිකව තීරණය කරනු ලැබූ අතර අද දක්‌වාම එම අන්තර්ජාතික පිළිගැනීම එලෙසින්ම පවත්වාගෙන යනු ලැබේ.

බෞද්ධ කොඩියේ සංකල්පීය අර්ථ දැක්‌වීම

බුදුරදුන් බුද්ධත්වයට පත්වීමත් සමඟ ශරීරයෙන් නිකුත්ව ගිය ෂට්‌වර්ණය පදනම් කොට බෞද්ධ කොඩිය නිර්මාණය කෙරුණ බව සරල අර්ථයෙන් විග්‍රහ කළ ද එම වර්ණයන් හරහා බෞද්ධාගම තුළින් අර්ථ ගැන්වෙන යථාර්ථවත් ගුණාංග සමුදායකින් යුක්‌ත බව ද පැහැදිලිය. නීලවර්ණය තුළින් කරුණාව, විශ්ව කෙරෙහි පැතිරුණ මෛත්‍රියත් සාමයත් අර්ථගැන්වේ. කහ වර්ණය මධ්‍යම ප්‍රතිපදාව, අන්තගාමීත්වයෙන් වැළකීම හා පිරිපුන් බව හැඟවේ. ආශිර්වාදාත්මක ප්‍රායෝගික කාර්ය සාඵල්‍ය බව ප්‍රඥව, සදාචාරය හා උදාරත්වය රතුපාටින් එළිදක්‌වයි. සුදුපාටින් ධර්මයේ පාරිශුද්ධබව කාලයට සහ අවකාශයට සීමා නොවූ අපිරිමිත නිදහස ඉන් අර්ථවත් කෙරේ. තැඹිලි පාටින් ප්‍රාඥව හා බෞද්ධ දේශනයත් වර්ණ පහෙන් සමන්විත තීරුව තුළින් එකම සත්‍යත් අර්ථගැන්වෙන බව දැක්‌වේ. ශ්‍රී ලංකා ප්‍රමිති කෙටුම්පතේ ලක්‌දිව ස්‌වභාවිකව වැඩෙන මල් වර්ග කීපයකට ද බෞද්ධ කොඩියේ වර්ණය ගලපා තිබේ. නීල වර්ණය නිල් මානෙල්, පීත කිණි හිරියා මල්, ලෝහිත වදමල, ඕදාත ඉද්ද හා සමන්මල්වලට ද ගැලපුම් කොට ඇත. බෞද්ධාගම අර්ථගැන්වීම මේ මගින් ඉටුවන බව දැක්‌වීම සාධාරණය. මෙහි හැඩය සෘජුකෝණාස්‍රාකාර විය යුතු වන අතර කොඩියේ දිග පළල 2-3 විය යුතු බවත් දිග මැනිය යුතු වන්නේ විල්ල ඇතුළත් නොවන පරිදි බවත් ප්‍රමිති කෙටුම්පතේ දක්‌වා තිබේ.

බෞද්ධ කොඩිය නිර්මාණය කොට අදට (28 දා) වර්ෂ 125 ක්‌ සම්පූර්ණ වන අතර එම වසර එකසිය විසිපහ පුරාම ශ්‍රී ලාංකේය දෙරණ මත ලෙළදෙන ජාතික ධජයට සමගාමීව ශ්‍රී ලාංකේය සංස්‌කෘතියේ ප්‍රෙෘඪත්වය ලොවට කියාපෑ අභිමානීය ධජය ලෙසින් හා සියලු ලෝවැසි බොදු දනන්ගේ මහත් ගෞරවාදරයෙන් හා භක්‌ත්‍යාදරයෙන් යුතු බෞද්ධ ධජය ලෙසින් ද ජාතික තලය තුළ මෙන්ම ජාත්‍යන්තරයේ වත්මන වන විට වැජඹෙන බව පැහැදිලි කරුණකි.
අද දිවයින ලිපියකි
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ස්තුතියි ශම්මි. බොහොම ප්‍රයෝජනවත් ලිපියක්.
 
පිටියෙ_අප්පු;7372706 said:
එතකොට ඇත්තටම බෞද්ධ කොඩියෙ නිර්මාතෘ කවුද ?
:Dපිටියේ අප්පුහාමි.ලිපිය කියෙව්වද?මමත් මේ පැටළිලි සහිත ඉතිහාසය ගැන හරියටම කියන්න දන්නේ නෑ.ඒ ගැන සමාවෙන්න!අද දවස ගැන හිතලා මේක උපුටා ගත්තා.නමුත් මේ ලිපිය ඇතුලේ කතන්දරය තියනවානේ?
 
:Dපිටියේ අප්පුහාමි.ලිපිය කියෙව්වද?මමත් මේ පැටළිලි සහිත ඉතිහාසය ගැන හරියටම කියන්න දන්නේ නෑ.ඒ ගැන සමාවෙන්න!අද දවස ගැන හිතලා මේක උපුටා ගත්තා.නමුත් මේ ලිපිය ඇතුලේ කතන්දරය තියනවානේ?

ලිපිය කියෙව්වත් පැටළිලි බව නැතිවෙන්නේ නෑ. ඒහිංදම තමයි මම ඔය ප්‍රශ්නේ ඇහුවේ. :confused:
 
පිටියෙ_අප්පු;7372706 said:
එතකොට ඇත්තටම බෞද්ධ කොඩියෙ නිර්මාතෘ කවුද ?
:D1883දී පිහිටුවන ලද බෞද්ධ ආරක්‍ෂක කමිටුව විසින් (එම ආරක්‍ෂිත කමිටුව සඳහා හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, මොහොට්‌ටිවත්තේ ගුණානන්ද නාහිමි, හෙන්රි ස්‌ටිල් ඕල්කොට්‌, දොන් ඩේවිඩ් හේවාවිතාරණ, ඒ. ඒ. ගුණවර්ධන, විලියම් ද ආබෲ, සී. පූජිත ගුණවර්ධන, චාල්ස්‌ ඒ ද සිල්වා, ඇන්. ඇම්. ප්‍රනාන්දු, පීටර් ද ආබෲ, එන්. විලියම් ද ප්‍රනාන්දු ආදීන් ඇතුළත් විය.)1885 අප්‍රේල් 28 වෙසක් පෝයදා සාමූහික නිර්මාණයක් ලෙස මෙම කොඩිය එළිදැක්වුනා කියන එකයි මේ අනුව පැහැදිලි.
 
:D1883දී පිහිටුවන ලද බෞද්ධ ආරක්‍ෂක කමිටුව විසින් (එම ආරක්‍ෂිත කමිටුව සඳහා හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, මොහොට්‌ටිවත්තේ ගුණානන්ද නාහිමි, හෙන්රි ස්‌ටිල් ඕල්කොට්‌, දොන් ඩේවිඩ් හේවාවිතාරණ, ඒ. ඒ. ගුණවර්ධන, විලියම් ද ආබෲ, සී. පූජිත ගුණවර්ධන, චාල්ස්‌ ඒ ද සිල්වා, ඇන්. ඇම්. ප්‍රනාන්දු, පීටර් ද ආබෲ, එන්. විලියම් ද ප්‍රනාන්දු ආදීන් ඇතුළත් විය.)1885 අප්‍රේල් 28 වෙසක් පෝයදා සාමූහික නිර්මාණයක් ලෙස මෙම කොඩිය එළිදැක්වුනා කියන එකයි මේ අනුව පැහැදිලි.

සාමුහික නිර්මාණයක් , මරු , ඒක නියමයි !

බොහොම පිං , ඒ කරුණ ඉතා පැහැදිලිව ඉදිරිපත් කලාට !