භයංකාර හීන අතරින් - ප්‍රා නවකතාව 4 වැනි කොටස

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    භයංකාර හීන අතරින් - ප්‍රා නවකතාව 4 වැනි කොටස

    පසුගිය කොටස් මෙතනින්

    ‘ඒ වුණාට ජයේ ප්‍රතිවාදියා දුර්වලයෙක් විදිහට හිතන්න එපා..මොකද මිනිහගේ මාමා මේ රටේ ජනාධිපති කියන එකත් මිනිහගේ තාත්තා දකුණු පළාත විතරක් නෙවෙයි ලංකාවම දන්න බිස්නස්කාරයෙක් කියන එකත් අමතක කරන්න එපා..’

    උපාලි ජයවීර තමන්ගේ ලඟම මිත්‍රයා වුණු ෆ්‍රැන්සිස් සමරවික්‍රම කියන දේ අහගෙන කට කොණකින් හිනාවුණා. ඒත් ජයවීර පුරුද්දක් විදිහට වගේම අතීත අත්දැකීම්වල ප්‍රතිඵලයක් විදිහට ෆ්‍රැන්සිස් කියන දේ ගැන යම්තාක් දුරට හිතලා බලනවා. ඒ නිසා මේ වෙලාවේ කියපු කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ කියලා ජයවීරට හිතුනා. පහුගිය ඡන්ද ගණනාවකටම එක එක පක්ෂ නායකයෝ, මැති ඇමතිවරු තමන්ට රිද්දන්න පරද්දවන්න දාපු අපේක්ෂකයෝ අන්තිමට පරාද වෙලා පැදුරටත් නොකිය යන්න හේතුවුනේ භූමියේ වාසිය වගේම පිරිස් බලයෙනුත් තමන්ව පහුකරන්න බැරිවුණු නිසා කියලා ජයවීර දන්නවා.

    ඒත් ජයවීර නොදන්න සමහරක් දේවල් ෆ්‍රැන්සිස් දන්නවා. විශේෂයෙන්ම කාලයක් තිස්සේ මහඇමති පුටුවට අරක්ගෙන ඒ බලයෙන් ජයවීර නටපු නාඩගම් ගැන රටේ මාධ්‍ය වගේම මිනිස්සු නොදන්න බොහෝ දේවල් ෆ්‍රැන්සිස් දන්නවා. පළාත් සභාව විසුරවලා මාස ගාණක් ගියත් අඩුම තරමේ කිසිම පට්ටමක්වත් නැතිව ජයවීර යෝධයෙක් වගේ ගරුගාම්භීරව ඉන්න හැකියාවක් ලැබෙන්න මේ නොදන්න දේවලුත් එක හේතුවක්.

    ‘මචං ෆ්‍රැන්සිස්.. මම ජීවත්වෙලා ඉන්නකල් ඡන්දෙට ඉදිරිපත් වෙන්න බය නෑ..ඒ වගේම මේ පාර මහඇමති වෙන්න මට කිසිම දෙයක් බාධාවක් නෙවෙයි.. ඒත් එක එක පැරිෂුට්කාරයෝ දාලා ගෙම්බර් දාන්න ආවොත් ආයෙත් මාතර මුල්ගිරිගලක් හරි ආණමඩුවක් හරි කරන්න මම දෙපාරක් හිතන්නේ නෑ..’

    ජයවීර දඹර ඇඟිල්ල දිගුකරල නොපෙනෙන, නොදන්න පාර්ශව ගණනාවකට ඒ කරපු තර්ජනේට ෆ්‍රැන්සිස්ට පවා බයක් දැනුනා. මොකද ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන හොඳ පුළුල් අවබෝධයක් තිබුණ නිසා ආයෙත් අවිචාර සමයකට පළාත් දේශපාලනය ඇදලා දාන්න දතකද්දි දැනෙන කම්පනයේ පූර්ව ලක්ෂණ දැනෙන්න පටන්ගත්ත නිසා.

    ‘කලබල නොවී කල්පනාවෙන් වැඩ කරන්න ජයේ..’

    ‘කිසිම කලබලයක් නෑ මචං..’

    ජයවීර බ්‍රැන්ඩි වීදුරුව කළුවර කනප්පුව උඩින් තියලා ගෑරුප්පුවෙන් ඌරුමස් කෑල්ලක් අරගෙන කටට දාගත්තා.

    *******

    දියත උයන ලඟ හවස්වරුවේ මාර්ග තදබදය වැඩිම වෙලාවේ පොඩිඑවුන් පේලියක් අයිස්ක්‍රීම් කෝන් එක ගානේ අතේ අරගෙන පේලියට ඇතුලට යනවා. මල්පැල ප්‍රදර්ශනයක පුංචි මල්පැල තොගයක් දිහාවට නැවුණු කාන්තාවෝ කොන්දේ අමාරුව හැදෙනකල්ම පැලවලින් එන මල්වල පාට වගේම සාත්තුව ගැනත් ප්‍රශ්න කරනවා. තවත් බොහෝ දෙනෙක් අව්ව බැහැලා යන වෙලාවේ රස්නේ පිටකරලා සිසිල්වෙන්න ඉසිඹුවක් ලබන කොන්ක්‍රීට් බංකුවලට බරදීලා කොන්ක්‍රීට් මේස උඩ කඩදාසි පිඟන්වල ආහාර එකින් එක බඩට දාගන්නවා.

    පාර්ලිමේන්තු පාරදිගේ වේගයෙන් ආපු නිපුල්ගේ මෝටර් රථය දියත උයන වටරවුමෙන් බත්තරමුල්ල පැත්තට හරවලා ආයෙත් වෝටර්ස් එජ් පාරේ දියත උයන පැත්තට ඇතුල් කලා. කාර් එකෙන් බැහැලා මාලු ටැංකි ටිකත් පහුකරගෙන යන ගමන් නිපුල් කෝල් එකක් ගත්තා.

    ‘කොතනද ඉන්නේ?’

    ‘ඔහොම ඉස්සරහට එන්න..මට ඔයාව පේනවා මැටිස්’

    නිපුල් දුරකතනේ සාක්කුවට දාගෙන ඉස්සරහටම ගියා. ලා නිල්පාට ඩෙනිම් එකට රබර් සෙරෙප්පු දෙකක් දාගෙන සැහැල්ලු ටී-ෂර්ට් එකකින් සැරසිලා නිපුල් එද්දි ඒ ආගමනය බලාපොරොත්තුවෙන් කොන්ක්‍රීට් බංකුවක් උඩ බලාගෙන හිටපු ගෑණු ළමයෙක් නැගිටලා අතවැනුවා. කෙටි අත්නැති ගවුම, කළුපාට අව්කණ්ණාඩිය ගවුමේ කරේ මැද්දෑවට වෙන්න එල්ලිලා ඒ බරට සුදෝ සුදු ලැම එබී බලද්දි නිපුල් හීන් හිනාවක් එක්ක එතනට ගියා. ලා දම්පාටින් තොල් ආලේපන එක්ක මතුවුණේ ලොකු හිනාවක්.

    ‘අපෝ..මොකද මේ හැටි..’

    නිපුල් අත්දෙක දෙපැත්ත දාලා ගෑණු ළමයගේ ප්‍රතිචාරයට හේතුව මොකක්ද කියලා තමන්ගේ දිහාම විමසිල්ලෙන් බලලා උරහිස් අකුලලා තමන් තමන්ගේ අවුලක් දකින්නේ නෑ කියලා සංඥා කලා.

    ‘ඇයි මොකක්ද මගේ තියන අවුල?’

    ‘හැටි විතරක් අනේ.. හඩු ඩෙනිමක් ඇඳගෙන.. මම කොච්චර ට්‍රයි කරනවද ස්මාර්ට් විදිහට තියාගන්න.. ඒත් හඩ්ඩා වගේ තමයි හැමදාම එන්නේ..’

    නිපුල් හැමදාම වගේ හිනාවෙනවා ඇරෙන්න ඒකට මොකුත් කිව්වේ නෑ. මොකද කියලා බේරෙන්න බැරි බවත් දන්න නිසා. ඒ අරුමැසි, නිපුල් එක්ක අරුමැසිගේ තියන සම්බන්ධතාවයට නමක් ඒ දෙන්නවත් නොදන්නවා ඇති. ඒත් ගෙවල්වලින් දෙන්නා ජෝඩු කරලා කසාද බන්දලා දරු මුණුපුරොත් හදලා ඉවරයි. අරුමැසි කොළඹ නමගිය බාලිකාවක අධ්‍යාපනය ලබපු ලංකාවේ ප්‍රකට වෛද්‍යවරයෙක්ගේ දූවරු දෙන්නගෙන් බාලයා. වෛද්‍යවරියක් වෙන්න ලංකාවේ අධ්‍යාපනේ කඩයිම පැනගන්න බැරිවුණ නිසා විදෙස් අධ්‍යාපනයට කලින් ටිකක් රෙස්ට් එකේ ඉන්න කාලෙක තමයි ඇය ගතකරමින් ඉන්නේ.

    කාලෙකට ඉස්සර නිපුල්ගේ තාත්තා ඒ කියන්නේ වීරමන් මහත්තයාගේත්ත තාත්තා පාර්කින්සන් රෝගයෙන් පීඩා විඳිද්දි ප්‍රතිකාර කලේ අරුමැසිගේ තාත්තා. ඒ ප්‍රතිකාර අතරේ ඇතිවුණු මිත්‍රතත්වයේ ප්‍රතිඵලයක් විදිහට අරුමැසිගේ තාත්තා වෛද්‍ය ජාගොඩ සහ වීරමන් මහත්තයා අතරේ ඇතිවුණේ දැඩි මිත්‍රත්වයක්. ඒ වෙනකොට විපක්ෂ නායකතුමා වීරමන් මුදලාලිගේ මස්සිනා කියලා දැනගත්ත ගමන් ජාගොඩ දොස්තර මහත්තයාගේ හිතවත්කමට සීමාවක් නැතිවෙන්න පටන්ගත්තා. අන්තිමට දෙන්නාගේ පවුල්දෙක ෆැමිලි ෆ්‍රෙන්ඩ් තත්වයට පත්වෙන්න වැඩි කලක් ගියේ නෑ. ඉස්කෝලේ සාමාන්‍ය පෙළ වයසේ විතර හිටපු නිපුල් එක්ක දොස්තර මහත්තයාගේ දූවරු දෙන්නා මිත්‍රවීමත් ඒ මිත්‍රතත්වයේ වැඩි කොටසක් අරුමැසි බාරගන්නත් ඒ හැටි මහන්සියක් වෙන්න වුණේ නෑ. එදා ඉඳන් දෙන්නා මොකක්දෝ නමක් නොදන්න සම්බන්ධයක අතරමං වෙලා අදටත් ඒකට නමක් දාගන්න උත්සහ කරනවා.

    ‘හරි ඉතින් කියන්නකෝ දැන් මොකද දේශපාලන තත්වේ’

    කොන්ක්‍රීට් බංකුවේ වාඩිවෙලා ඒ වෙනකොටත් අරුමැසි ඇණවුම් කරලා තිබුණ දොඩම් ජූස් එක ඉවරකන්න පටන් අරගෙන තිබුණ නිපුල්ගෙන් ඇය අහපු ප්‍රශ්නයට නම් නිපුල්ට ලොකු හිනාවක් ආවා.

    ‘ආර් යූ කිඩින්.. මම දන්නෑ ඔය දේශපාලන මගුලක්..මට මේ ඔලුව අවුල්වෙලා තියෙන්නේ..’

    හිනාව අතරින් එහෙම කියද්දි ඇගේ මූණ වෙනස් වුණා.

    ‘ඇයි ඔලුව අවුල් වෙන්න තරම් මොකක්ද ප්‍රශ්නේ..ටෙල් මී විල් යූ..’

    නිපුල් හිතාමතාම අරුමැසි අවුල් කරන්න හිතාගෙනම කිව්වා වුනත් ඇත්තටම නිපුල්ටත් මේ ගැන ටිකක් කතාකරන්න ඕනකම තිබුණා. හිත හෑල්ලු කරගන්න එක මනුස්ස අවශ්‍යතාවයක් වගේ ඒ වෙලාවේ දැනුනා වෙන්න ඇති.

    ‘එක එක මගුල් හීන පේනවා අප්පා.. ස්ලීප්ලස් ලෝන්ග් නයිට් ඉන් ලෝන්ග් කිව්ස්..’

    ‘වට් ඩූ මීන් නිපුල්.. වට් කයින්ඩ් ඔෆ් ඩ්‍රීම්ස්..’

    ‘එක එක විකාර අප්පා..මිනිමැරුම් පේනවා.. එක එක සීන් පේනවා..ඒ හැම එකකම වගේ මම ඉන්නවා.’

    ඊළඟට කියවෙන්න ගියේ තමන් දකින් හැම හීනෙම ඉන්න එකම කෙල්ල ගැන. මූණේ පුංචි උපන් ලපයක් තියන කෙල්ල ගැන කියන්න මොකක්දෝ නොදන්නා හේතුවක් නිසා නිපුල් පැකිලුණා. ඒ නිසාම කාරණා ගොඩක් එළියට නොදා හිතේ හංඟගත්තා.

    ‘මයි ගෝඩ්.. අපි යමුද සයිකොලොජිස්ට් කෙනෙක් ලඟට..’

    ‘ඔයා හිතන්නේ මට පිස්සු හැදීගෙන එනවා කියලද?’

    නිපුල් ටිකක් කේන්තියෙන් වගේ කිව්වා. මොකද ගෙදරදි අම්මටත් මේ කාරණේ ගැන කිව්වම අම්මා දීපු උත්තරෙත් ඕකමයි. හීනයක් දැක්කත් මනෝවෛද්‍යවරු හොයාගෙන දුවන උදවියට මිසක් තමන්ට පිස්සුවක් නෑ කියලා නිපුල් දන්නවා.

    ‘මැටිස්..පිස්සු හැදුනොත් විතරද සයිකොලොජිස්ට් කෙනෙක්ට පෙන්නන්න ඕන..ඔයා එක්ක ඉඳලා මටනම් පිස්සු හැදෙනවා දවසක’

    ‘හරි හරි.. මගේ පිස්සුව මම බලාගන්නම්..’

    නිපුල්ට තරහා ගියාම මූණ රතුවෙන හැටි, මූණ අබ දැම්මත් පිපිරෙන ගාණට තරහෙන් පිරෙන හැටි..ඇස්දෙක නටන හැටි බලාගෙන ඉන්න අරමැසි හරිම කැමතියි. තරහා නිවනවා වෙනුවට ඒ වගේ වෙලාවට තව තව අවුස්සන්නේ ඒකයි. ඒත් මේ වෙලාවේ වැඩිවෙලා යන්න කලින් තරහා පැත්තකට දාන්න හිතුවේ නිපුල් ඇත්තටම අවුලක ඉන්න නිසා.

    ‘මට මහ බයක් දැනෙනවා මිකී ‘

    මිකී කියන්නේ අරුමැසිට ගෙදරට කියන හුරතල් නම. පුරුද්දට වගේ නිපුල් කියන්නෙත් ඒකමයි. ඒත් මේ වෙලාවේ හදිස්සියේම කවදාවත් කිසිම දේකට බයක් ගෑවිලාවත් නැති විදිහට ජීවත්වුණ, රැයක් දවාලක් නැතිව ජීවිතේ පිස්සුව නඩත්තු කරපු හරි වැරදි දෙකටම අතපය දික්කරගෙන ගියපු නිපුල් මෙහෙම කියද්දි අරුමැසිටත් බයක් දැනුනා.

    ‘ඇයි ඔයා එහෙම කියන්නේ..ජස්ට් ඩ්‍රීම්ස් නේ..’

    ඒත් නිපුල් ඊට එහා දෙයක් කල්පනා කරනවා කියලා ඇයට තේරුණා. මොකක්දෝ නොදන්නා අවිනිශ්චිත හැඟීම් ගණනාවක් වටේ සක්මන් කරනවා වගේ දැනෙන්න ගත්තා. ඒ හැඟීමම නිපුල්ට ඊටත් වඩා බරපතලෙට දැනෙන් පටන්ගත්තා. අන්තිමට හීනේ දරුණුවටම පෙනුන ඊයේ දවසේ ඉඳන් දැන් මොහොතකට කලින් හයිවේ එකේ වාහනේ පදවගෙන එන වෙලාවෙත් නිපුල් හිටියේ ඒ නොදන්නා හැඟීම් ගොන්න එක්ක . හරියටම මීදුම් වලින් වැහිලා තියන පාරක ඇවිදගෙන යනවා වගේ, ඒත් නැත්නම් ඝන අන්ධකාරේ නොදන්න පළාතක් හොයාගෙන යනවා වගේ.

    ‘එක පැත්තකින් නොදන්න දේශපාලනේකට මාව තල්ලුවෙනවා..අනිත් පැත්තෙන් ඔලුව විකාරවෙන හීන දිගින් දිගටම පේනවා..මේ දෙක අතරේ සම්බන්ධය මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ..ඒත් ඒ හැමදේම එක්ක මහා බයක් දැනෙනවා..’

    නිපුල් එහෙම කියලා මොහොතක් නිශ්ශබ්දව හිටියා. අරුමැසි දිගු ඇඟිලි ඇති සුදු අතක් නිපුල්ගේ අත උඩින් තියලා දෙපාරක් හෙමින් තට්ටු කරලා හැමදේම හරියාවි කියන එකත් තමන් ඒ හැමදේම එක්ක ඉන්නවා කියන එකත් සනාථ කලා.

    ‘නිපුල් හීනය පස්සෙන් පන්නයිද?’ - මීළඟ කොටස මාර්තු 10 ඉරිදා