භවය හා භව දුක්ඛය

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
භවය හා භව දුක්ඛය

භවය හා භව දුක්ඛය - 1

බුදුදහමේ මූලික අරමුණ වූයේ භවගත සත්වයාගේ දුක නැති කිරීමේ ක්‍රමවේදය ඔවුනට පැහැදිලි කර දීමයි. නිවන යනුවෙන් හඳුන්වනු ලබන්නේ ද මෙම දුක නැති කිරීමයි. එනිසා නිර්වාණයට දුක්ඛක්ඛය යනු තවත් නමකි. එය මොක්ඛ යනුවෙන් හඳුන්වනු ලබන්නේ ද දුකෙන් මිදීම යන අර්ථයෙන් වන අතර නිරෝධ යනු ද දුක්ඛ නිරෝධයම වේ. අනික් අතින් නිවන සැපක් ලෙස සලකනුයේ ද එහි දුක නැති නිසා ය.

බුදුන් වහන්සේ තම පළමු දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් හෙළි පෙහෙළි කරන ලද්දේ ද විශ්වයේ සත්වයා විඳින දුක නමැති අත්දැකීම පිළිබඳව සහ එය හට ගැනීමට හේතුවත් එයින් මිඳීම හා ඒ සඳහා වූ ඒකායන මාර්ගයත් පිළිබඳවය. බුදුදහම දුක පිළිබඳව මෙබඳු දැඩි අවධානයක් යොමු කොට ඇත්තේ දුක හා සැප නමැති මායාවේ සත්වයා මුළා වී ඇති නිසා ය. අනෙක් අතින් භවගත වූ සත්වයා දුකම විඳිමින් දුකෙහිම නිමග්නව දුකටම ශාප කරමින් දුක් ඇති දෙයක්ම සොයමින් අනාර්ය වූ පර්යේෂණයක නිරතව සිටී. මේ නිසා ඔවුනට තමා සිටින තැන එනම් භවයත්, එම භවයේ සනාතනික ධර්මතාව වන දුක ජය ගන්නා ආකාරයත් පැහැදිලි කළ යුතු වේ.

භවගත වූ සත්වයෙකුට මුහුණපෑමට සිදුවන දුක භව දුක්ඛය හෙවත් භව දුක නමින් හැඳින්වේ. මෙම භව දුක හඳුනා ගැනීම සඳහා “භව“ යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි පැහැදිලි කර ගැනීම අවශ්‍යය. භවය යන පදයත් සමඟ දුක යන අත්දැකීම ද එකට බැඳී ඇත. එකක් අනෙකෙන් වෙන්කොට විග්‍රහ කළ නොහැකි ය. අනෙක් අතින් භවය හා ජාතිය (ඉපදීම) යන පද දෙකෙන් ජාති දුක්ඛය තේරුම් ගැනීම පහසු වන අතර භව දුක්ඛය තේරුම් ගැනීම එතරම් පහසු නැත. එහෙයින්ම ‘භවදුක්ඛ’ යන යෙදුම බුද්ධ දේශනාවේ බහුලව යෙදී නැත. ඒ වෙනුවට භවතණ්හා, භවනෙත්ති යනාදී පදවලින් භවය විස්තර කොට දුක්ඛ යන තනි පදයෙන් සමස්ත භවයම දුකක් බව පෙන්වා දී ඇත. ඉන් එක් අවස්ථාවක් ලෙස “ මහණෙනි, ස්වල්පමාත්‍ර වූ ද අශුචි දුගඳ වේ, මහණෙනි, මෙබඳු වූ භවය ස්වල්ප මාත්‍රයක් වත්, ඇසිල්ලක් තරම් කාලයක්වත් වර්ණනා නො කරමි” යනුවෙන් බුදුරදුන් විසින් කරන ලද ප්‍රකාශය දැක්විය හැකිය. භවය දුකක් වන්නේ කෙසේදැයි ආගමික දාර්ශනික හා මනෝවිද්‍යාත්මක ආදී පසුබිම් ඔස්සේ පරීක්ෂා කිරීමෙන් අවබෝධ කර ගත හැකි ය.

වාග්විද්‍යාත්මක ක්‍රමයට ‘භවො (භවය) යන පදය භූ ධාතුවෙන් සෑදුණකි. වීම ( to be) , පැවතීම (to exist) , හට ගනීම (to behave) , යන අර්ථ මෙහි ඇත. භවො යන්න කර්තෘකාරක හෝ කර්මකාරක පදයක් නොවේ. මෙය ව්‍යාකරණානුකූලව භාවකාරක පදයකි. එහෙයින් යමක අස්තිත්වයක් මෙයින් ප්‍රකාශ නොවේ. එනිසාම ජාති යන්නෙන් කියැවෙන පුද්ගලයෙකුගේ නැතහොත් සත්වයෙකුගේ ඉපදීම යන අර්ථය භව යන්නෙහි නැත. ඒ අනුව භව හා ජාති යන දෙකෙහි සියුම් වෙනස පැහැදිලි ය. මේ පද දෙකෙන් අදහස් වන්නේ සත්වයෙකුගේ සංසාර චක්‍රයෙහි අවස්ථා දෙකක් බව කිව යුතු ය. මේ අනුව ශබ්ද විද්‍යාත්මක ලක්ෂණ විසින් සැලකීමේ දී මෙහි දී වඩාත් වැදගත් කරුණ වන්නේ එය භාව කාරකයෙන් යෙදීමයි. මේ අනුව සත්වයෙකු වශයෙන් පෙනී සිටීමට පෙර අවස්ථාවක් ලෙස භවයන්න හැඳින්විය හැකිය. වෙනත් විධියකින් කිවහොත් භවයක් ලැබීම යනු ඉපදීම නොවේ. ඉපදීමට තැනක් ලැබීමයි. මේ නිසා භවය යනු ඉපදෙන තැන යනුවෙන් තේරුම් ගැනීම සුදුසු ය.

අටුවාකථාචාර්යවරු ද භවය යන්න විවිධ නිරුක්තිකථන මගින් විවරණය කිරීමට උත්සාහ දරා ඇත. මහානිද්දේස අට්ඨකථාවෙහි “ භවොති සම්පත්ති අභවොති විපත්ති, තථා භවොති වුද්ධි අභවොති හානි” යනුවෙන් දක්වා ඇත. ඒ අනුව භව යන්නෙන් සම්පත්තිය ද අභව යන්නෙන් විපත්තිය ද අදහස් වේ. මේ අනුව භව යන්නෙහි සම්පත්තිය හා වැඩීම යන අදහස ගැබ්වේ. භවගාමී සත්වයා සසර වැඩීමට ඉවහල් වන පරිදි කර්ම රැස් කරමින් තෘෂ්ණා මාන දෘෂ්ටි හා බැඳුණු සම්පත් භුක්ති විඳී. (භවන්ති වඩ්ඪන්ති සත්තා එතෙනාති භවො) භවය සුබ සුඛ වශයෙන් ගෙන ක්‍රියා කිරීම භවගාමී වූවෙකුගේ ලක්ෂණයයි. එය භවදිට්ඨි යන නමින් හැඳින්වේ. මෙයට ප්‍රතිවිරුද්ධ පදය වන්නේ අභවදිට්ඨි යන්නයි. එනම් මරණින් මතු ඉපදීමක් නැත. එහෙයින් මෙම භවයේ දී කම්සැප වළඳමින් ජීවත්වීම යෙහෙක යන දෘෂ්ටිය ඇති වේ. මෙය උච්ඡේද දෘෂ්ටියට වැටේ. මේ අනුව ශබ්ද විද්‍යාත්මක ලක්ෂණ පරීක්ෂා කිරීමේ දී භවය යනු තවත් දෙයක ඵලයකි. එම ඵලයේ හේතුව උපාදානය බව එහි දාර්ශනික පසුබිම විමසීමෙන් පැහැදිලි වේ.


භවත්‍රය

ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල භව යන්නෙහි දාර්ශනික විග්‍රහය විවරණය කොට ඇත. බුද්ධ දේශනාව අනුව 1. කාමභව, 2. රූප භව, 3. අරූපභව යනුවෙන් භවත්‍රයක් වේ. මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක සය හා අපාය සතර යන ලෝක එකොළහ කාමභව නම් වේ. රූප භවය නම් රූපාවචර බ්‍රහ්ම ලෝක දහසය වන අතර අරූපාවචර බ්‍රහ්මලෝක සතර අරූපභව නම් වේ. තවද සඤ්ඤීභව, අසඤ්ඤීභව හා නෙවසඤ්ඤීනාසඤ්ඤීභව යනුවෙන් භව තුනක් ගැන ද අභිධර්මයේ කියැවේ. එසේම භව ගතිය සත්වයන්ගේ වාසස්ථාන නවයක් නව සත්තාවාස නමින් බුදුදහමෙහි ඉගැන්වේ. සම්පූර්ණයෙන් ක්ලේශයන් ප්‍රහාණය නො කළ සත්වයාට විශ්වයේ කවර හෝ තැනක කර්මානුරූපව ලැබුණු ඉහත කී මනුෂ්‍ය දිව්‍ය අසුර ප්‍රේත තිරශ්චීන ආදී කවර ස්වරූපයකින් හෝ පෙනී සිටීමට සිදුවේ. සමහර විට මොවුහු හස්ති අශ්ව ආදි මහත් රූප වශයෙන් පෙනී සිටින අතර තවත් විටෙක පියෙවි ඇසට නොපෙනෙන සූක්ෂ්ම භූත කොටස් ලෙස පෙනී සිටිති. භවය යන්නෙන් අදහස් කෙරෙනුයේ කුමක්ද යන්න එක පදයකින් පැහැදිලි කිරීම අපහසු හෙයින් අර්ථකතාකරුවන් ඒ පිළිබඳ විග්‍රාහාත්මක අර්ථකථනය රුචි කළ බව පෙනේ. නොයෙක් අරුත් අතර භව යන්නෙහි පින, අවකාශය, ස්කන්ධය යනා දී විවිධ අරුත් දක්නා ලැබේ. සියලු අරුත් සලකා බැලූ කල්හි තෘෂ්ණා මාන දෘෂ්ටි සහිතව සංසාරයෙහි වීම හෝ පැවතීම භව යන්නෙහි අන්තර්ගත වන බව පෙනේ. මෙය සංසාරය ලෙස නම් කිරීමෙහි ද වරදක් නැත.

භවය වූ කලි කර්මභවය හා උප්පත්ති භවය යනුවෙන් දෙවැදෑරුම් වේ. මෙහි කර්මයම භවයක් වීම කර්ම භවය නම් වන අතර උප්්පත්තිය එහි සිදුවන හෙයින් උප්්පත්ති භවය නම් ද වේ. භවයට කර්මය සාධනීය කරණයක් වන නිසා කර්ම භවය නමින් හැඳින්වේ. කර්මය සුඛය වන නිසා බුදුවරුන්ගේ උපත සුඛයක් ලෙස “ සුඛො බුද්ධානං උප්පාදො” යනුවෙන් දක්වා ඇත. නො එසේ නම් ඉපදීම යන්න දුකක්ය සනාතනික සත්‍යයකි. උප්්පත්තිය සිදුවන හෙයින් උප්්පත්ති භවය ලෙස සැලකේ. කර්මයත් උපතත් යන දෙකේ අඛණ්ඩ පැවැත්ම සංසාරය ලෙස සැලකේ. මේ නිසා භව යන්නෙහි සංසාරය යන අදහස ද විද්‍යාමාන වන බව සාම්ප්‍රදායික අර්ථකථනවල දක්නා ලැබේ.

“ ඛන්ධානං පටිපාටි, ධාතු ආයතනානි ච

අබ්හොච්ජින්නං වත්තමානා - සංසාරොති පවුච්චතීති” චුත්තලක්ඛණො සංසාරොපි භවො, භවෙ දුක්ඛං භව දුක්ඛං, භවෙ සංසරන්තො ති ඉමානෙතස්සත්ථස්ස සාදකානි වචනානි” යනුවෙන් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නොසිඳී පැවැත්ම සංසාරය නම් වන බවත් එකී ලක්ෂණ ඇති සංසාරයද භවය නම් වන බවත් භවයෙහි දුක භව දුක්ඛ නම් වන බවත් එම පාඨයෙන් කියැවේ. මෙය වැඩිදුරටත් විග්‍රහ කරන අටුවාකරු සංසාරයට භවය යන යෙදුම යෝග්‍ය වන්නේ කවර හෙයින්දැයි ප්‍රශ්න නගා පිළිතුරු දෙයි. එනම් රෑප වේදනා සඤ්ඤා සංඛාරා, විඤ්ඤාණ යන ස්කන්ධයන්ගේ හා ධාතු ආයතනාදීන්ගේ සමවායෙන් සිදුවන සම්මුති ප්‍රඥප්තියක් වන සත්වයාගේ පහළවීම මෙහි සිදුවන නිසා මෙම සංසාරයට භවය යැයි කීම ද සුදුසු ය.


භවදුක

මීළඟට විමසිය යුතු ප්‍රශ්නය වන්නේ භවය දුකක් ද යන්නයි. එසේ දුකක් නම් කාම භවය මෙන්ම රූප හා අරූප භව ද දුකක් විය යුතු ය. ජාති ජරා ව්‍යාධි මරණ දුක් විමසීමෙන් මෙය පැහැදිලිව තේරුම් ගත හැකි වුවත් ජාතිය හා භවය දෙකක් වශයෙන් සැලකීම වඩා ධර්මානුකූල හෙයින් කාම රූප හා අරූප භවයන්ගේ දුක්ඛය විමසීම සුදුසු යැයි හැඟේ.

කාම භවය ගත් කල්හී එයට අපාය සතර ද, මනුෂ්‍ය ලෝකය ද, දිව්‍ය ලෝක සය ද අයත් වේ. නරක, තිරිසන්, පේත, අසුර යන සතර සතර අපායයි. අපාය ද එක්සිය සතියකට බෙදා ඇත්තේ ය. මෙම අපායෙහි ඉපදීම වූ කලී අතිශය භයංකර වූ ආදීනව ඇත්තේ ය. “පුඤ්ඤසම්මතා අයා යෙභුය්‍යෙන අපගතොති අපායො” යනුවෙන් එන විග්‍රහය අනුව යම් තැනක් පුණ්‍යය හෙවත් පවිත්‍ර යැයි කියන ලද අභිවෘද්ධියෙන් පහ වූයේ නම් එය අපායයි. කෙටියෙන් කිවහොත් සැපයෙන් පහවූ තැන අපායයි. සතර අපා අතුරෙන් නරකය සංජීවය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යනුවෙන් අට වැදෑරුම් වේ.


කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි​
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
භවය හා භව දුක්ඛය

භවය හා භව දුක්ඛය - 2​

මේවායේ දී සත්වයාට මහත් වූ දුක් සමුදායකට මුහුණ පෑමට සිදුවේ. අකුශල කර්ම හේතුවෙන් මෙහි උපන් සත්වයන්ගේ සිරුරු යමපලුන් විසින් කඩ කඩ කොට සිඳිනු ලැබෙති. එහෙත් ජීවිතය අවසන් නොවේ. තවත් විටෙක ගිනිගෙන දිලෙන යකඩ පටියකින් පහර දෙති. ලෝදිය හැළිවල බහාලති. යකඩ හුල්වලින් අණිනු ලැබෙති.

මෙසේ වර්ෂ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් ද ඉක්මවා විඳීමට සිදුවන දුක්ඛයන්ගේ කවර නම් අස්වැසිල්ලක්ද? මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් මජ්ක්‍ධිම නිකායේ දෙවදූත සූත්‍රයේ දක්නා ලැබේ. තිරිසන් සතුන් වශයෙන් බලු බළල්, හූරු, මුව, වග වළස් ආදී වශයෙන් උපත ලද සත්වයෝ සෙසු සත්ත්වයන්ට ගොදුරු පිණිස දිවි පුදමින්, මඬ ගොහොරු ආදියෙහි ලගිමින්, කුස ගින්නේ දැවෙමින්, අනේකවිධ ලෙඩ රෝග ආදියට ද භාජනය වෙමින් ශීතලය, ඌෂ්ණය, පිපාසය, බඩගිනි යැයි කියා ගත නො හැක්කාහු නෙක දුක්විඳිති. මොවුන්ගේ අඟ පසඟ පවා තමාටම දුකක් පිණිස වේ. නිර්දෝෂ වූ මෙම සත්වයෝ වල්ගල පිණිස ද, අං පිණිස ද, ලොම් පිණිසද, නහර පිණිස ද, මස් පිණිස ද, ඇට පැණිස ද, කැපීම්, කෙටීම්, පහරදීම්, ලොදිය, හැළිවල තැවීම් ආදියෙන් අනේකවිධ දුක් විඳිමින් ජීවිතක්ෂයට පැමිණෙති. ඇතැම්හු අශුචියෙහිම ඉපිදී අශූචිම අනුභව කරමින් අශූචියෙහිම මියෙති. මේ අනුව නරක තිරිසන් යෝනිවල අත්දැකිය හැක්කේ දුකම මිස අනෙකක් නොවේ. ප්‍රේත හා අසුර යෝනිවල ඇත්තේ ද සැපයෙන් තොර දුක දොම්නස වෙළා ගත් අත්දැකීම් ය.

සංයුත්තනිකායේ දුක්ඛ හා මාර වැනි සංයුත්තවලින් ද පේතවත්ථුවෙහි අන්තර්ගත කතාවස්තුවලින් ද එකී සත්වයන් අශුචි, සෙම, සොටු, කැහි ආදිය අනුභව කරමින් විරූපී සිරුරු ඇතිව දුක් විඳිමින් වෙසෙන අයුරු පැහැදිලි වේ. දරුවන් පස් දෙනෙකු සහිතව සිටි පංචපුත්තා නම් ප්‍රේතිය දැක මුගලන් තෙරණුවන් ඇගෙන් විමසන්නේ,

නග්ගා දුබ්බණ්ණරූපාසි - දුග්ගන්ධා පූති වායසි
මක්ඛිකාහි පරිකිණ්ණා ච කා නු ත්වං ඉධ තිට්ඨසි

යනුවෙන් “නිරුවත්ව, විරූපීව, දුගඳ හමමින්, මැස්සන්ගෙන් ගැවසී සිටින ඔබ කවුද?” යනුවෙනි. එබඳු වෙනත් කතාවස්තු විමසීමෙන් ද පෙනෙනුයේ මොවුන් ඉතා කෘශව, ඉල්පුණු නහර වැල් ඇතිව, බිම ගෑවෙන තෙක් වැවුණු අපිරිසුදු කෙස් ඇතිව බිහිසුණු පෙණුමෙන් යුතුව ලේ සැරව අසූචි මුත්‍රාදිය අනුභව කරමින් උමතු වෙසින් සිටි බවය. මේ අනුව භව දුක්ඛය නම් අතිශයින් බිහිසුණු වූවකි.

සුගති සංඛ්‍යාත මනුෂ්‍ය ලෝකය පින් කිරීමට සුදුසු තැනක් ලෙස පිළිගැනේ. කෘතාධිකාර ඇති බෝසත් ආදී දිව්‍යලෝකගත ඇතැම් දෙවි කෙනෙකුට මනුෂ්‍යලෝකයෙහි ඉපදීමට ආරාධනා කරන සෙසු දෙවියන් පවසන්නේ “ඉතො භො සුගතිං ගච්ඡ” (භවත්නි මෙයින් සුගතියට යන්න) යනුවෙනි. එතෙකුදු වූවත් ලෝකය දුක මත පිහිටා ඇත යන්න සනාථනික සත්‍යයකි. මෙහි ජාති ජරා ව්‍යාධි මරණ යනාදී දුක්ඛ දොමනස්සයන් ද, ඝර බන්ධන, වධ බන්ධන, ඥාති පුත්‍ර දාරකාදීන්ගේ ව්‍යසන, රාජභය, චෝරභය, අමනුෂ්‍ය භය, පර්වත ගංගා නදී ආදීන්ගෙන් මෙන්ම වැසි සුළං ආදියෙන් වන්නා වූ ව්‍යසනයෝ ද, සා පිපාසා දුක්ඛයෝ ද, පංචස්කන්ධය පෝෂණයට නො හැකි වීමෙන් වන්නා වූ ද දුක්ඛයෝ අනන්තය. කාම භවයෙහි ස්වරූපය නම් කාමයන් සොය සොයා යාමයි. කාමයෙන් භයත් ශෝකයත් නිතය වශයෙන් ම ඇති වන බව බුදුහු පුන පුනා වදාළහ. අලගද්දූපම සූත්‍රය, මහාදුක්ඛක්ඛන්ධ වැනි සූත්‍රයකින් මේ පිළිබඳ වැඩි යමක් දැන ගත හැකිය. මනුෂ්‍ය ලෝකයේ ගෘහ ජීවිතය සම්බාධ සහිත කෙලෙස්වලට ආකරයක් වූ තැනක් බව ද බුදුන් වහන්සේ වදාළහ. මේ නිසා එක් අතකින් භෞතික කයක් පරිහරණය කිරීමේ දී ඇති වන මෙම දුක්ඛ දෝමනස්සයන්ට පිළියම් සොයා ගත නොහැකි ඇතැම්හු වස විස බී දිවි තොර කරති. ඇතැම්හු ගෙළ වැළදා මියෙති. ඇතැම්හු ගංඟා, ඇළ දොළ, රේල් පාර, ප්‍රපාත ආදියට පැන සියදිවි තොර කර ගනිති. තවෙකෙක් සැප යැයි සිතා කම් සැප පතා මිනී මැරුම්, සොරකම් කිරීම්, පරඹුවන් සෙවුම්, රහමෙර බීම්, මුසා බිණුම්, මවුපිය වැඩිහිටි ආදීන්ට හා භික්ෂූන්ට ගැරහීම් නො කටයුතු කම් කිරීම් ආදියෙන් ද රාග දෝෂ මෝහ මද මාන ආදී කෙලෙසුන් වැඩීමෙන් ද පරලොව දුගතිගාමී වෙති. මේ නිසා ලෞකික හා පාරලෞකික වශයෙන් ද මේ මිනිස් අත් බව මහත් වූ දුක් ගෙන දේ. දිව්‍යලෝකයන්හි තත්ත්වය ද මෙසේමය. දිව්‍යමය ශරීරයක් ඇති අධික ලෙස කාම සම්පත් අනුභව කරන මෙම සත්වයෝ කාමයෙහි මුසපත් වූවෝ වෙති. එහෙයින්ම ඔවුහු ජීවිතයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගැනීමට අපොහොසත් වෙති. එහෙත් කාමයන්ගේ නිත්‍ය ස්වරූපය වන බිය සැකය වේදනාව, සන්ත්‍රාසය ඉක්මවාලීමට මොවුනට ද නො හැකිය. බියට සන්ත්‍රාසයට පැමිණි දෘෂ්ටි විපර්යාසයට පත් දෙවියන් පිළිබඳ තොරතුරු බෞද්ධ සාහිත්‍යයෙහි සුලබව දැකිය හැකි ය. සංයුත්නිකායේ දේවතා හා දේවපුත්ත සංයුත්තවල මෙයට නිදසුන් බහුලව හමුවේ. අනෙක් අතින් මොහු ද මිනිසුන් සේම දුක නමැති අත්දැකීමෙහි හිමිකරුවෝ ය. අටුවා විවරණවලට අනුව දෙවිවරු කරුණු හතරක් නිසා දෙව්ලොවින් චුතවෙති. එනම්, 1. ආයුෂ ක්ෂය වීමෙන්, 2. පින් ක්ෂය වීමෙන්, 3. ආහාර ක්ෂය වීමෙන්, 4. කෝපයෙන්, ඒ බැව්, දෙවලොකතො හි දෙවපුත්තා ආයුක්ඛයෙන පුඤ්ඤක්ඛයෙන ආහාරක්ඛයෙන කොපෙනාති චතුහි කාරණෙහි වවන්ති” යන ප්‍රයෝගයෙන් තහවුරු වේ. සමහරු දෙව්ලොව සියලු සැප වළඳා එම ආයු ක්ෂය වීමෙන් ඉන් චුතවෙති. සමහරු කළ පින් මඳ හෙයින් රජුගේ භාණ්ඩාගාරයෙහි දමන ලද සහල් දෙතුන් නැළියක් මෙන් එම පින් ක්ෂය වීමෙන් චුතවෙති. සමහරු සිහි මුළා බවින් ආහාර නොගෙන ආහාර ක්ෂය වීමෙන් චුතවෙති. තවත් සමහරු අනුන්ගේ සම්පත් නො ඉවසීමෙන් උපන් කෝපය නිසා චුත වෙති. ආයුෂ හා පින් අවසන් වීමෙන් දෙවියන් දෙව්ලොවින් චුත වන බව පැවසීමෙහි ගැටලුවක් පැන නො නගී. එහෙත් ආහාර ක්ෂය වීමෙන් චුතවේයැයි කීම ගැටලුවක් විය හැකි ය. එහෙයින් මෙම ගැටලුව අටුවාකරුවන් විසින් පැහැදිලි කොට තිබේ. ක්‍රීඩාවෙහි ඇලුණා වූ ඛිඩ්ඩාපදෝසිකා නම් දෙවිවරු මුළාව නිසා ආහාර ගත් නොගත් බව අමතක කොට ක්‍රීඩා කරති. මිනිසුන්ගේ කර්මජ තේජො ධාතුව දුර්වලය, කරජ කාය බලවත්ය. එහෙයින්ම ඔවුන්ට උණුදිය කැඳ ආදී සුළු ආහාරයකින් දින හතක් වුවද යැපිය හැකි ය. එහෙත් දෙවියන්ගේ තේජෝ ධාතුව බලවත් මෙන්ම කරජ කාය සියුම් දුර්වල වූවක් වේ. එහෙයින් එක් වේලක්වත් ආහාර නොගෙන ජීවත්විය නොහැකිය. දහවල් කාලයෙහි දැවී තැවුණු නෙළුම් පතකට සවස් කාලයෙහි දිය කළගෙඩි සියයක් දැමූවත් ප්‍රාණවත් කළ නොහැක්කාක් මෙනි. මනෝපදොසික දෙවිවරු ද සිත් දූෂ්‍ය වීමෙන් මෙසේම චුතවෙති. මෙසේ හෙයින් දිව්‍යලෝගත සත්වයන්ට අතිශය දුක්ඛ වේදනාවන්ට මුහුණ දීමට සිදුවේ. චන්ද හා සුරියපරිත්ත පිරික්සීමෙන් මෙය තව දුරටත් අනාවරණය වේ. එයින් පැහැදිලි වන්නේ කාම භවය මුළුමණින්ම දුක් සහගත වූවක් වන බවයි.

රූපාරූප භවයන්හී තත්ත්වය ලැබෙනුයේ ධ්‍යාන සමාපත්ති ලැබීමේ ප්‍රතිඵලයක් හැටියටය. රූපාවචර ධ්‍යාන වැඩුවෝ ද අරූපාවචර ධ්‍යාන වැඩූවෝ ද අනාගාමී වූවෝ ද මෙහි වෙති. නිර්වාණය දක්වා වූ සියලු භවික සත්වයන්ගේ සකල ක්ලේශයන් ප්‍රහාණය වී නැති හෙයින් කෙලෙසුන් නිසා වන දුක්ඛයන් මෙම සත්වයෝ ද අත්විඳිති. ඒ අනුව රූප භවයෙහි රූප තණ්හාව නිසා ද අරූප භවයෙහි අරූප තණ්හාව නිසා ද බිය දුක ශෝක පරිදේව ඇතිවේ. බ්‍රහ්මකායික සත්වයන් තුළ කෙලෙසුන් ක්‍රියාත්මක වූ අයුරු පිළිබඳව දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දීර්ඝ විස්තරයක් අන්තර්ගත වේ. එමෙන්ම මොවුහු දීර්ඝ කාලයක් ජීවත්වීම හේතුවෙන් ලෝකය ශාස්වතය යන මිථ්‍යා දෘෂ්ටියෙහි එල්බ ගෙන සිටිති. ධ්‍යාන සමාපත්ති වඩා බඹලොව උපන් සත්වයෝ එහි දීර්ඝ කාලයක් ආයු වළඳති. එසේම මොවුහු අතීත ආත්මභාව හතළිස් දහසක් පමණ අතීතයත් අනාගතයත් දැකීම හේතුවෙන් ඉන් එහා නො දැකීමෙන් ආත්මය හා ලෝකය සදාකාලික ධ්‍රැව හා නිත්‍ය වූවක් බව සිතති. සමහරු කොටසක් පමණක් ශාස්වත බව සිතති. මේ අනුව උපදවා ගනු ලබන වැරදි දෘෂ්්ටි ශාස්වත, අශාස්වත, ඒකත්‍ය ශාස්වත, අන්තානන්ත, අමරාවික්ෂේපය, අපරන්ත, සඤ්ඤී, අසඤ්ඤී, නෙවසඤ්ඤීනාසඤ්ඤී, උච්ඡේද ආදී දෘෂ්ටි උපදවා ගනිති. වැරදි දෘෂ්ටිය වූ කලී සත්වයා විපතෙහි හෙළීමෙන් දුක්ඛ වේදනා උපද වන්නේ ය. එහෙයින් මොවුහු වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ සොක පරිදෙව දුක්ඛ දොමනස්ස යන මේවාට භාජනය වන බව සූත්‍රවල දක්වා ඇත. යථෝක්ත කරුණු අනුව පැහැදිලි වන්නේ භව සංඛ්‍යාත කවර තැනක වුවද දුක නමැති අනිෂ්ට අත්දැකීම විද්‍යාමාන වන බවයි. එහෙයින්ම බුදුන් වහන්සේ මොහොතකුදු භවය වර්ණනා නොකරමියි වදාළ සේක. අනිත්‍ය දුක්ඛ හා අනාත්ම යන ලක්ෂණත්‍රය ඉක්මවා ගිය නිත්‍ය සුබ සුඛ තත්ත්වයක් විද්‍යාමාන නොවේ. ඒ බව,

“නත්ථි කොචි භවො නිච්චො - සංඛාරා චාපි සස්සතා
උප්පච්චන්ති ච තෙ ඛන්ධො - වචන්ති අපරාපරං”

යනුවෙන් දක්වා ඇත. සියලු භවයන්හී හීන මධ්‍යම උත්කෘෂ්ට, දීර්ඝායුෂ්ක, සුඛබහුල, සුඛ දුක්ඛ මිශ්‍ර යනාදී වෙනස්කම් දක්නා ලැබේ. මෙබඳු වෙනස්කම් ඇති තැනක දුක ද ඇත. නිත්‍ය බව නැති භවය තුළ දුක නියතයෙන්ම ලැබේ. එබැවින් නිත්‍ය සංඥාව පැහැර කිරීම සඳහා බුදුදහම උපදෙස් දෙයි. සංස්කාරයන් නිත්‍ය නොවන බව නුවණැසින් දැකීමෙන් භව චිරතිය ඇතිවේ.



කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි​
 

Similar threads