භික්ෂුව සහ ගණිකාව

hpalpola

Well-known member
  • භික්ෂුව සහ ගණිකාව

    මිනිසකු සතු මානසික ශක්තිය, ජීවත්වීම සඳහා ඔව් ජීවත් වන බව දනිමින් ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය අංගයකි. කායික ශක්තියෙන් ප්‍රභලයෝ පවා දුබලයා ඉදිරියේ දුබලයා සතු මානසික ශක්තිය හේතුවෙන් පරාජයට පත් වෙති. මනසේ ශක්තිය එසේයි. නමුත් මානසික ශක්තිය උපතින් පැමිණෙන්නක් නොවේ. එය වර්ධනය කර ගත යුත්තකි. ඒ සඳහා අභ්‍යාස කළ යුතු ය. බුදු දහම මානසික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ලබා දෙන අභ්‍යාස වෙනත් කිසිඳු ධර්මයකින්, දර්ශනයකින් ලැබෙන්නේ යැයි මා නොසිතමි.

    බුදුරජාණන්වහන්සේගේ සෑම වචනයකම ගත යුත්තක් තිබේ. කෙසේවෙතත් මා මේ කියනා කථාව ඒ දහම අගයනු ලැබූ බෞද්ධයකු නොවන තවත් දාර්ශනිකයකු කියනු ලැබූ කථාවක් ආශ්‍රයෙනි.

    අම්බපාලිය යනු බෞද්ධ සාහිත්‍යයේදී හමුවන චරිතයකි. ඇය වෛශ්‍යාවක් නැත්නම් නගර ශෝභිනියක් ලෙසින් සලකයි. කෙසේවෙතත් සිරිමා ගණිකාවක් ලෙසින් ම හඳුන්වා ඇතත් අම්බපාලිය බොහෝ අවස්ථාවලදී හඳුන්වන්නේ නගර ශෝභිනිය ලෙසිනි. ඇය බුදුරජාණන්වහන්සේගේ සමකාලීන වේ. ඇගේ රුව ඉදිරියේ නැමුණු රාජ මහාමාත්‍යාදීන් විශාල ප්‍රමාණයකි. සෑම දිනකම ඇගේ මාළිගය ඉදිරිපිට අශ්ව රථ පෙළට ගාල් කර ඒ පිරිස් බලා සිටින්නේ අවස්ථාව ලැබෙන තුරු ය. එතරම් ඉල්ලුමක් ඇයට තිබිණි. එසේම මේ හේතුව නිසාවෙන් ඇයට මහා ධනයක් ද තිබිණි. නමුත් අම්බපාලියට මානසික සහනයක් තිබුනේ නැත. ඇගෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන්නන් ඉදිරියේ ඔවුන්ට ආදරය ඇත්තියක ලෙසින් රඟපානු ලැබූවද ඇය යටිසිතින් ඔවුන් වෛර කරන්නට විය. ඒ ඇයව මනුෂ්‍යයකු ලෙසින් නොව මුදලට ලබා ගත හැකි භාණ්ඩයක් ලෙසින් සැලකූ නිසාවෙනි. මෙනිසා අම්බපාලිය භෞතිකව ධනවත් වුවත් මානසිකව දුප්පත්ව සිටියා ය. ඇයට ද ආදරය කිරීමේ ආදරය ලැබීමේ අවශ්‍යතාවය දැනී තිබිණි.

    දිනක් බුදුරජාණන්වහන්සේ හමුවේ පැවිදි වූ තරුණ භික්ෂුවක් අම්බපාලියගේ මැදුර ඉදිරිපසින් පිණ්ඩපාතයේ වැඩම කරන අවස්ථාවේ දී එහි නතර කර තිබූ රථ පෙළ දැක පුදුමයට පත් විය. මෙපමණ පිරිසක් මුණ ගැසීමට බලා සිටින්නේ කාවද? භික්ෂුව කල්පනා කරමින් ගමන් කරන්නේ හිස ඔසවා බැලුවේ ය. ඒ වන විට අම්බපාලිය ද මැදුරේ කවුළුවකින් මේ භික්ෂුව දෙස බලා සිටි අතර ඇගේ දෑස් භික්ෂුවගේ දෑස් සමඟ ගැටිණි. ඇයව දුටු භික්ෂුව ඉතා ආචාරශීලීව ඇයට සමාචාර කරමින් සිනහවකින් සංග්‍රහ කර ඉදිරියට වැඩම කළේ ය. භික්ෂුවගේ මේ ගෞරවනීය ආචාරය අම්බපාලියගේ සිත අභ්‍යන්තරයේ වෙනසක් ඇති කළේ ය. ඇයට ප්‍රථම වතාවට මිනිසකු ලෙසින් ඇයව කවුරුන් විසින් හෝ සලකා බැලූ බව දැනිනි. එතෙක් ඇය දෙස මිනිසුන් බලනවා ඇය දැක ඇත්තේ භාණ්ඩයක් ලෙසින් වුවත් මේ භික්ෂුව ඇය දෙස බැලුවේ එලෙසින් නොවේ. තවදුරටත් මැදුරේ රැඳී සිටීමට නොහැකි වූ අම්බපාලිය දුවගෙන ගොස් නතර වුනේ වැඩම කරන භික්ෂුවගේ දෙපා මුල ය. ඇය භික්ෂුවට තමුන්ගේ නිවසේ දන් වැළඳීම සඳහා ආරධනා කළා ය. මුල් අවස්ථාවේ දී භික්ෂුව ඒ ආරාධනය පිළිනොගත්තේ ඒ වන විටත් මැදුර ඉදිරිපිට නතර කර ඇති රිය පෙළ අවධානයට ගනිමිනි. නමුත් අම්බපාලිය භික්ෂුවට දන්වා සිටියේ ඔවුන් ගැන ඇයට කිසි වුවමනාවක් නොමැති බවත් ඇයට අවශ්‍ය භික්ෂුවට දන් පිළිගැන්වීමට වන බවත් ය. ඒ අනුව භික්ෂුව ඒ ආරාධනය පිළිගෙන අම්බපාලියගේ මැදුරට වැඩම කළේ ය.

    මේ තරුණ භික්ෂුව අම්බපාලියගේ මැදුරට වඩිනවා තවත් භික්ෂූන් බලා සිටියේ පුදුමයෙනි. ගණිකාවකගේ නිවසට වැඩම කරන තරුණ භික්ෂුවක්. එයත් අම්බපාලියගේ මැදුරට. අම්බපාලියගේ ම ආරාධනයෙන්. ඔවුන්ට එක් අතකින් ඊර්ෂ්‍යාවක් ද අනෙක් අතින් තරහක් ද ඇති විනි. ඒ භික්ෂු පිරිස බුදුරජාණන්වහන්සේ ට මේ පිළිබඳව දැන්වූයේ අදාළ භික්ෂුව ගණිකාවකගේ නිවසකට ඇතුල් වූ නිසා බරපතල වරදක් කර ඇති බවත් එනිසා ඔහුව ශාසනයෙන් නෙරපිය යුතු බවටත් දන්වමිනි. සන්සුන්ව මේ කතාබහට ඇහුම්කන් දුන් බුදුරජාණන්වහන්සේ ලබා දුන් පිළිතුර වූයේ ඒ භික්ෂුව පැමිණෙන තුරු ඉවසීමෙන් බලා සිටිමු යන්නයි.

    අම්බපාලිය තම මැදුරට වැඩම කළ භික්ෂුවට ඉතා ආදරයෙන් දන් පිළිගැන්වූවා ය. දන් වැළඳූ භික්ෂුවගෙන් ඇය ඉල්ලීමක් කළා ය.

    ‘මට ඔබ වහන්සේගෙන් යමක් ඉල්ලිය හැකි ද?‘

    ‘මා සතුව ඔබට ලබා දීමට තරම් වටිනා කිසිවක් නැත. ඇත්තේ මේ කය පමණි. ඔබට ඉන් ප්‍රයෝජනයක් වේ නම් මට හැකි අයුරින් කළ හැකි දෙයක් කරමි.‘

    ‘මගේ ඉල්ලීම මෙයයි. තව දින කීපයකින් වස්සාන සමය එළඹෙයි. මා දන්නා පරිදි වස්සාන සමයේ දී භික්ෂූන්වහන්සේලා එක් ස්ථානයක රැඳී සිටී. මා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි වස්සාන කාලය මේ මැදුරේ වස් වසන ලෙසයි. ඔබ වහන්සේට අවශ්‍ය සියළු පහසුකම් මා සලසන්නෙමි.‘

    ‘මා මේ පිළිබඳව මගේ ස්වාමි වූ බුදුරජාණන්වහන්සේගෙන් අසා උන්වහන්සේ එකඟ වුවහොත් වස් වැසීමට පැමිණෙන්නෙමි. උන්වහන්සේ එකඟ නොවන්නේ නම් නොපැමිණෙමි. එසේ වුවහොත් මා හට සමා වන්න.‘

    බුදුරජාණන්වහන්සේ අසල රැස්ව සිටි භික්ෂු සමූහය තරුණ භික්ෂුව ආපසු පැමිණෙන තුරු මග බලා සිටී. තරුණ භික්ෂුව පැමිණි පසු ඒ භික්ෂූන්වහන්සේලා උන්වහන්සේට දෝෂාරෝපණය කරමින් ශබ්ද නගන්නට විය. කෙසේවෙතත් බුදුරජාණන්වහන්සේ තරුණ භික්ෂුවගෙන් සිද්ධිය විමසූ සේක. උන්වහන්සේ අම්බපාලියගේ නිවසට වැඩම කිරීම, නිවසේ සිදු වූ කතා බහ විස්තර කර ඇගේ ඉල්ලීම ද බුදුරජාණන්වහන්සේට දන්වා සිටියේ ය.කෙසේවෙතත් මේ සෑම විටම භික්ෂුව අම්බපාලියව හැඳින්වූයේ අම්බපාලි ලෙසිනි. ඒ හැර කිසිඳු විශේෂණ පදයක් භාවිතා නොකරන ලදි.

    ‘භික්ෂුව මා ඔබට අම්බපාලියගේ නිවසේ වස් විසීමට අවසර දෙමි.‘

    වස් වැසීම ගැන බුදුරජාණන්වහන්සේගේ තීරණය අසා සිටි වයසක භික්ෂුවක් වහා නැගිට ගණිකාවකගේ නිවසේ වස් වැසීමට ඉඩ දුනහොත් භික්ෂුවට සිදු වන විපත්තිය ද විග්‍රහ කර දෙන ලදි. තවදුරටත් වයසක භික්ෂුව කියා සිටියේ තරුණ භික්ෂුව කරුණු සඟවමින් කතා කරනා බවයි. ‘ස්වාමිණී. මේ භික්ෂුව කරුණු සඟවමින් කියා සිටි. අම්බපාලිය ලෙසින් නම පමණක් කියා සිටින ඔහු ඇය ගණිකාවක් බව නොකියයි. එය සඟවයි. අම්බපාලි නම් ගණිකාවගේ නිවසේ වස් විසීම ගැනය මේ කියන්නේ‘ ඒ භික්ෂුව සභාවේ කියා සිටී.

    නමුත් අවසන් තීරණය ඇත්තේ බුදුරජාණන්වහන්සේ සතුව ය. සියල්ලෝම ඒ තීරණය බලාපොරොත්තුව බලා සිටියහ.

    ‘මා එය දනිමි. මේ ඉල්ලීම කරන්නේ ඔබ නම් භික්ෂුව මා ඊට අවසර නොදෙමි. මන්දයත් ඔබ අම්බපාලි නම් ගණිකාවක් ගැන කියයි. ගණිකාව යන්න තීරණය කර ඇත්තේ ඔබ විසින් මිස ඔහු විසින් නොවේ. එනිසා ය. ඔහුට ඇය ගැන ඇත්තේ ගෞරවයකි. හෙළාදැකීමක් නැත. ඔහුට එහි සිටීමේ වුවමනාවක් නැත. එසේ වූවා නම් මගෙන් ඇසීමට නොපැමිණේ.‘

    කෙසේවෙතත් භික්ෂූන්වහන්සේලා කියා සිටියේ වස් කාලය අවසානයේ දී ඔවුන්ට තරුණ භික්ෂුව තවදුරටත් භික්ෂුවක් ලෙසින් දැකීමට නොහැකි වනු ඇති බවයි.

    ‘වස් කාලය අවසන් වන තෙක් අප ඉවසා බලමු. ඔබත් මෙහි සිටී, මා ද සිටිමි. ඉවසා බලා සිටිමු.‘

    බුදුරජාණන්වහන්සේට එරෙහි වීමට සමතෙකු එහි නොවීය. තරුණ භික්ෂුව බුදුරජාණන්වහන්සේට ද වන්දනා කොට අම්බපාලියගේ මැදුරේ වස් විසීමට වැඩම කළේ ය.

    වස් තුන් මාසය භික්ෂූන්වහන්සේලාට අවුරුදු කීපයක් දිගු කාලයක් විනි. සියල්ලෝම බලා සිටියේ තරුණ භික්ෂුවට කුමක් වේද යන්න ය. බහුතරයකගේ විශ්වාසය වන්නේ අම්බපාලිය හේතුවෙන් භික්ෂුව සිව්රු හරිනු ඇති බවයි. වස් කාලය අවසානයේ සියල්ලෝම මඟ බලා සිටින්නේ තරුණ භික්ෂුව ආපසු වඩින තුරු ය. පුදුමයකි. තරුණ භික්ෂුව පමණක් නොව සුන්දර කාන්තාවක් ද ඒ සමඟ ධම් සභාවට පැමිණියා ය. ඒ කාන්තාව අම්බපාලිය බැව් එහි සිටි බහුතරයක් දෙනා හඳුනා ගත්හ. ඇය ද භික්ෂුවද බුදුරජාණන්වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩි වූහ. වාඩි වී තරුණ භික්ෂුව කථා කළේය.

    ‘ස්වාමිණී, මේ අම්බපාලිය යි. ඇය උතුම් කාන්තාවක්. බාහිර රූපයෙන් පමණක් නොව ඇය හදවතින් ද රූමත් ය. ඇයට ඔබ වහන්සේ සරණ යෑමට වුවමනා වී තිබේ. මා ඇය කැඳවා පැමිණියෙමි.‘

    අම්බපාලිය බුදුරජාණන්වහන්සේගේ දෙපා මුළ වැඳ වැටෙද්දි රැස්ව සිටි භික්ෂූන්වහන්සේලා තුෂ්ණිම්භූත ව බලා සිටියහ. ඒ භික්ෂූන්වහන්සේලා ඇතුළු පිරිසට බුදුරජාණන්වහන්සේ ඇමතූ සේක. පසු ගිය වස් කාලය ඔබලාට ඉතා අපහසු කාලයක් වූ බව මා දනිමි. හැම දිනකම ඔබේ මනස උත්සුක වූයේ අම්බපාලියත් භික්ෂුවත් අතර කුමක් සිදුවන්නේදැයි සෙවීමට ය. ඔබලා සිතා සිටියේ වස් කාලය අවසානයේ දී ඔහු ආපසු නොපැමිණේවි කියා යි. නමුත් බලන්න. සිදුව ඇත්තේ කුමක් ද, මනා සිහියකින් යුත් මිනිසකු ගණිකාවකගේ නිවසට ඇතුල් වුවද වෙනස් වන්නේ ගණිකාව මිස මිනිසාගේ සිහිය නොවේ. උසස් බව ඉදිරියේ පහත් බව වෙනස් නොවන අතර උසස් බව ඉදිරියේ වෙනස් වන්නේ පහත් බවයි. උසස් බව පහතට ඇද හෙළිය නොහැක.‘

    අම්බපාලිය තමුන්ගේ නමින් ආරාමයක් ද කර බුදුරජාණන්වහන්සේ ඇතුළු සංඝයාවහන්සේලාට පූජා කළ අතර බුද්ධ ශාසනයේ දායිකාවක් බවට ද පත් විය. ඇගේ මන්දිරය ද ඇය බුද්ධ ශාසනයට පූජා කළා ය.

    ‘ගණිකාවක් සමඟ සිටීමට ඔබට බියක් ඇත්තේ නම් ඒ බියට හේතුව ගණිකාව නොවේ. ඒ බිය ඇති කරන්නේ ඔබ තුලම ඇති පාලනයක් නොමැති ඔබගේ සිතුවිලි ය. ඔබ පිරිසිඳු නම් පුද්ගලයා සම්බන්ධ සියළු තීරණ අහෝසි වී යයි.‘
    බුදුරජාණන්වහන්සේ සිය පිරිසට අවවාද දුන් සේක.

    මේ කතාව ඔබට රැගෙන ආවේ ඕෂෝගේ Reflections on Kahlil Gibran’s The Prophet පොත ඔස්සේ ය. ඕෂෝ එහිදී ඔබට පණිවිඩයක් ලබා දෙයි.

    බුදුරජාණන්වහන්සේ තුළ හොඳ නරක සම්බන්ධයෙන් තීන්දු කිසිවක් නැත. කුඩා දරුවකුට ද එසේම ය. ඔහුටද තීන්දු නැත්තේ අත්දැකීම් නොමැති නිසා වෙනසක් හඳුනා ගැනීමට නොහැකි නිසාවෙනි. ඒ අරුතෙන් බලන විට ප්‍රඥාවතුන් සියළු දෙනාම කුඩා දරුවන් මෙන් යැයි පැවසීමේ වරදක් නැත. නමුත් අවිද්‍යාවෙන් නොවේ. ඔවුන් අහිංසකය. එසේ වුවත් සෑම වැඩිහිටියෙක් ම ප්‍රඥාවන්තයකු නොවේ. නිවැරදිව, මනා සිහියෙන් යුතු ව සහ අවබෝධයෙන් ජීවත් වූවා නම් එසේ විය හැක. එවිට ඔහු වයසට යනවා පමණක් නොව වැඩිහිටියකු ද වේ. සියල්ලෝම වයසට යති. නමුත් නොවැඩෙති. වයසට යාමත් වැඩීමත් එකිනෙකට වෙනස් ස්ථාවර දෙකකි.

    ඔබ, ඔබ ගැන බලන්න. ඔබ මිනිසුන් ගැන සැක කරන්නේ ද? ඔබේ සමීපතමයා ගැන ඔබ සිතන්නේ කෙසේ ද? ඔබේ සැමියා/බිරිඳව ඔබ විනිශ්චය නොකරන්නේ ද? ඔබේ දරුවාව/දෙමාපියන්ව ඔබ විනිශ්චය නොකරන්නේ ද? නීතියේ දී යමකු වරදකරු බව ඔප්පු කරන තුරු නිර්දෝෂී බවට පූර්ව නිගමනය කර තිබෙද්දී ඔබ විසින් කී දෙනකු වරදකරුවකු කර සලකා ඇත් ද? කී දෙනකුට ඔබ අපහාස කර ඇත් ද? නින්දා කර ඇත් ද? කී දෙනකුට නම් චෝදනා කරන්නට ඇත් ද? ඔබ අනුන් ට මෙන්ම ඔබට කෙතරම් නම් එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන්නට ඇත් ද? ඔබේ විනිශ්චය නිවැරදි විනිශ්චයකැයි කීමට ඔබට ඇති පදනම කුමක් ද? එහෙත් ඔබ අනුන් විනිශ්චයේ නොයෙදෙන්නේ ද? අප බොහෝ අවස්ථාවලදී විනිශ්චය කරන්නේ පුද්ගලයාව නොව අදාළ සිද්ධියයි. මෙනිසා නිතරම ජීවත් වන්නේ සැකයෙනි. පීඩනයෙනි. ඔබත් එසේදැයි ඔබෙන්ම විමසා දැන ගත හැක. සිතා බලන්න. ඔබ තවමත් කුඩා දරුවෙකු මෙන් ද නැත්නම් වයසට ගිය නොවැඩුණු තැනැත්තකු මෙන් ද? ඔබේ මනස ශක්තිමත් ද?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    ගොඩක් එලකිරියේ ආගමික පෝස්ට් මන් එක්කෝ විවේචනය කරනවා, නැත්නම් ඉග්නෝ කරනවා.
    මේකේ මන් දකින විශේෂය තමයි බලෙන් මතවාදය පටවන්නේ යන්නේ නැති ස්බාවය. දිගටම ලියන්න
     

    hpalpola

    Well-known member
  • ගොඩක් එලකිරියේ ආගමික පෝස්ට් මන් එක්කෝ විවේචනය කරනවා, නැත්නම් ඉග්නෝ කරනවා.
    මේකේ මන් දකින විශේෂය තමයි බලෙන් මතවාදය පටවන්නේ යන්නේ නැති ස්බාවය. දිගටම ලියන්න
    බුදුරජාණන්වහන්සේ දේශනා කලේ ඇවිත් බලලා කැමැති නම් පිළිපදින්න කියලා. ඉතින් ඇයි අපි බලෙන් අපේ මතය පටවන්න යන්නෙ කාටවත්. ස්තුතියි
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    උසස් බව ඉදිරියේ පහත් බව වෙනස් නොවන අතර උසස් බව ඉදිරියේ වෙනස් වන්නේ පහත් බවයි. උසස් බව පහතට ඇද හෙළිය නොහැක.‘

    mehema neda wenna one
    පහත් බව ඉදිරියේ උසස් බව වෙනස් නොවන අතර උසස් බව ඉදිරියේ වෙනස් වන්නේ පහත් බවයි. උසස් බව පහතට ඇද හෙළිය නොහැක.‘