මගහැරුන ආදරවන්තිය - පළමු දිගහැරුම ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    සුභ දවසක් කිරියේ සෙට් එකට.
    මේක මගේ පළවෙනි කෙටි කතාව. කාලෙකින් ලිව්වෙ. කියවල කොමෙන්ටුවක් දාගෙන යන්න.


    *********************************************************************************************************************************************************

    මගහැරුන ආදරවන්තිය.

    "මානෙල්හාමි උපාසක මාතාවගේ තුන්මාසෙ බණ වැඩ කටයුතු ඉතාමත් හොඳට, චාම්ව සිදුකරගනු ලැබුවා මේ පින්වත්තු විසින්"

    අත්තම්මා, මගේ ජීවිතේ මට මග හැරුන කතාවක්. හිතල කරපු දෙයක්ම නෙමේ. අනුන්ගෙ තැනක කරන මාස් පඩි රාජකරිය, යාලුවො, ආදරය කරන කෙල්ල, ඔෆිස් එකේ ප්‍රස්න, මේ සේරමත් එක්ක මගහැරුන ආදරවන්තිය තමා මගේ අත්තම්මා. ගිය දේවල් ගියා. අදට මාස තුනක්ම ගෙවිල. ඉන්න තැනක පරිසමට හොඳින් ඉන්න කියල මගේ මුලු හදවතින්ම මම අත්තම්මට පින් අනුමෝදන් කලේ, කාලෝචිතයැයි කියන වානිජකරණය වූ අපේ පන්සලේ දෙවන නායක හාමුදුරුවන්ගෙ බණ අහන ගමන්. අත්තම්ගෙ තුන්මාසෙ බණට මේ කියන ඒව ගැලපෙනවදැයි මම හිතුවත් නිහඬව අසාගෙන සිටියේ පන්සලේ හාමුදුරුවන් මගේ ඉස්සරහම වැඩ හිටිය හින්ද.

    "පුතේ, සුදු පුතේ, මෙහෙ වරෙන්කො ටිකක්.."

    "අත්තම්මෙ, මම කෝල් එකක උන්නෙ. මොකද අනේ මේ බෙරිහන් දෙන්නෙ"

    "උඹ ඕක කනේ ගහන් ඉඳපන් ඉතින් දවසෙම. අනේ මට මේ, මල්පෝච්චි ටික උස්සල පොල් ගහ වටේට තියල දියන්කො"

    "ඕකටද බෙරිහන් දුන්නෙ. මේ සේරම තියන්න ඕනද, නැතිනම් ඇන්තූරියම් පැල ටික විතරද"

    "බෙරිහන් දෙනව කියන්නෙ, උඹ ඔය මොකද්ද මගුල කනේ ගහගත්තාම හැහෙනවඇ කියන දේවල්. ඇන්තූරියම් ටික විතරයි. අන්න බතල තැම්බුව. ඔය වැඩේ කරහන්කො , මන් විගහට කොච්චි සම්බෝලයක් හදල පොල් ටිකක් ගාල ගන්නම්. ආසයිනෙ කන්න"

    "ආ... අත්තම්ම අයියට තමා සේරම. මට මුකුත් නෑ. මටත් ඕන බතල. කෝ කොහෙද තියෙන්නෙ."

    "ඌ විතරයි මට උදව්වක්වත් කරන්නෙ. මගෙන් මුකුත් අහගන්නැතිව පැත්තකට වෙයන් උඹ. අයියට බෙදල තියල කාපන්. උඹටත් එක්ක තමා තැම්බුවෙ"

    "අත්තම්මත් ඉතින් එයාට තමා හැමදේම. මම මොනා කලත් අගයක් නෑ."

    නංගි. ගෙදර මෙගේ ප්‍රස්න සහ රණ්ඩු වලට මුල. අත්තම්මා නංගිට වඩා මට ආදරේ විත්තිය අපේ ගෙදර හැමෝම දැනගෙන උන්න ප්‍රසිද්ද රහසක්. කෙසේ වෙතත්, අත්තම්මාගේ අතින් හදපු කෑම කන්න මම ආස කලේ පුදුම විදිහකට. මොකද අත්තම්මට තිබුනෙ කෑම හදන්න පුදුම අත් ගුණයක්. පපඩමයක් බැද්දත් අම්මා බදින පපඩමයට වඩා රසකරමින් තමා අපි කන්නෙ. ඒවගේම තමා මල් පැල හිටවන්න තිබුන අත් ගුණය. කෝටු කැල්ලක් පස් ටිකක් පොහොර ටිකක් දාල හිටෙව්වනම්, ටික කාලයකින් ඒක මහ රූස්ස ගහක්. නැතිනම් ගෙඩි පිරිල තියන, මල් පිරුණු ගහක්. වගා කටයුතු වලදි හැමදාම අත්තම්මගෙ අත්වැඩකරු උනේ මම. වලවල් කපන්න, අතු රහින්න, පොල්තු මැසි බඳින්න, පාත්ති හදන්න, වතුර දාන්න වගේ වැඩ තමා මගේ ප්‍රධානම වැඩ රාජකාරි. මමත් මේ සියළුම වැඩ කලේ හරිම ආසාවෙන්. පළවෙනිම හේතුව තමා, අත්තම්ම එක්ක වැඩ කරද්දි තිබුන ඉගෙන ගන්න දේවල්. සමහර වෙලාවකට පුදුමත් හිතෙනව මෙච්චර දේවල් අත්තම්මල දන්නෙ කොහොමද කියන එක. දෙවනි කරුන තමා පිළිවෙල. පාත්තියක් හැදුවත්, පැලයක් හිටවන්න වලක් කැපුවත් ඒ හැමදේම පිළිවෙලකට තියෙන්න ඕන අත්තම්මට. අනෙක් කරුන තමා ඉතින් අත්තමගෙ කතා සහ වැඩක් අවස්සානයේ හදල දෙන තේ එක හෝ කෑම. ඉස්සර කාලෙ ගමේ වෙච්ච දේවල්, රටේ වෙච්ච දේවල් සහ අපේ තාත්ත්ගෙ කොල්ල කාලෙ වැඩ ගැන සේරම ඉතින් දැන ගන්නෙ අත්තම්ම එක්ක වැඩක් කරනකොට තමා.

    අත්තම්ම ගමේ ඉන්න පරණම පුරවැසියන්ගෙන් කෙනෙක්. එයා ඉපදුනේ 1930. අපිට ජාතියක් විදිහට නිදහස ලැබෙනකොට අත්තම්ම අවුරුදු දහ අටක කෙල්ලෙක්. දැන් එයාට, ඒ කියන්නෙ මම මේ කතාවෙ කියන කාලෙ අත්තම්මට වයස හැත්ත අටක්. මට මතක විදිහට අත්තමගෙ ස්වාමියා අසූ ගනන්වල නැතිවෙලා තියෙන්නෙ යතුරුපැදි අනතුරකින්. ඒ ගැන මට කිව්වෙ අපේ තාත්ත. අත්තම්මගෙන් මම ඕක දවසක් අහල එයාගෙ ඇස් වලට කඳුලු ආව. මම එදා තමා ඉස්සෙල්ලම අත්තම්ම අඬනව දැක්කෙ. එදානම් මටත් හරිම අවුල් දවසක් උන හැටි මට අදටත් මතකයි. ඒ වාගේම අයෙ කවමදාවත් මම ඒ ගැන අත්තම්මගෙන් අහන්න ගියෙ නැහැ. අපේ අත්තම්මට තිබුනෙ පැහැපත් එලිය තියන සමක්. වයස උනත් ලස්ස්නට රෙද්දයි හැට්ටෙයි ඇන්දහම තාමත් හරිම හැඩයි. අත්තමගෙ හොඳම යාළුවත් හිටියෙ අපෙ ගෙදරට ඉස්සරහ ගෙදර. බේබි ආච්චි. බේබි ආච්චියි අපේ අත්තම්මයි එකට එකතු උනාම ඒක වෙනම ලෝකයක්. අත්තම්ම ඉගෙනගෙන තිබුනෙ දහය වසරට විතරයි. හැබැයි ඉතින් එයාට තිබ්බ අත්දැකීම්, හැකියාවන්, වටපිටාව ගැන දැනුම සහ ස්වභාවධර්මය ගැන දැණුම හරි ඉහලයි. ඒ වගේම ප්‍රායෝගිකයි. තර්කාණුකූලයි. අත්තම්ම අඩි පහක් විතර උස ඇති.ඒ වගේම, අත්තමගෙ වම් ඇසේ ආබාදයක් තිබුනෙ, දෙළුම් ගහේ ගෙඩි කඩන්න ගිහින් දෙළුම් කෝටුවක් ඇනුන නිසාලු. එතකොට මට වයස අවුරුද්ද්ක් වගේ තමා කියල අත්තම්ම මට දවසක් කිව්ව ඇහට බෙහෙත් බිංදුක් මම සීරුවට දානකොට,

    අත්තම්මගෙ හොඳ වගේම තිබුන එකම වරද තමා, කට. වයස හැත්තෑ අටක් උනාට පිරිමි දෙන්නෙක්ගෙ තුන්දෙන්නෙක්ගෙ හයි හක්තිය තිබුන අත්තම්මට. ගමේ කාටවත්ම බය නැහැ වගේම රන්ඩුවලට රුසිය. මන්නය, කැත්ත හොඳට අතට හුරුයි.

    "තෝ දැනගනින්, මම මානෙල්හාමි බොල. මගෙ දෑහට පේන්න එන්න එපා ආයෙ තෝ, කපනව කෑලි වලට"

    "අත්තම්මෙ, අත්තම්මෙ, මෙන්න මෙහෙ එන්න.. කෑ ගහන් නැතිව"

    "මගෙ පුතා හින්ද තෝ අද බේරුණා කියල හිතා ගනින් පර බල්ලා ..."

    මම උපාධිය කරන දවස්වල, දේශන ඉවර වෙලා ගෙදර එනකොට දවසක වත්ත පහල වැට මායිමේ තුන්වන ලෝක යුද්ධය පටන් ගන්න ඔන්න මෙන්න තිබුනෙ. කොහෙදෝ තිබුන වාසනාවකට වගේ මම ඒදා ටිකක් වේලාසන ගෙදර ආව දවසක්. කරුණු කාරනා හොයල බලද්දි තමා තේරුනේ, අත්තම්ම මට හදල දෙන්න කියල වත්ත පහල හිටවපු බතල ටික ගමේ ඉන්න කාටත් එපා කරපු කරුන මාම හොරෙන් ගලවල, බතල දීල කසිප්පු බොන්න.

    "උඹ කන්න ආස නිසා මම ඔය බතල ටික හිටෙව්වෙ. නැතුව මේ එක එක පර ... "

    මම බොහොම අමාරුවෙන් තාත්තගෙ උදව්වත් එක්ක එදා අත්තම්මව සන්සුන් කලේ. මට පුදුමත් හිතුන අත්තම්ම ගැන. එදා මට එකදෙයක් තේරුම් ගියා. ඒ අත්තම්මගෙ ආදරෙත් අම්මගෙ ආදරේට නොදෙවෙනියි කතාව ඇත්ත කියල. අත්තම්මගෙ තිබුන එකම දුර්වල කමතමා රන්ඩු වලට පැටලිම. ගෙදර නොවරවදාම බුදුන්ට පහණ පත්තු කලෙත් අත්තම්ම. මට හැමදාම කිව්වෙ, ආගම දහමට නොඇලී කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න පුරුදු වෙන්න කියල. ඒ වගේම අත්තම්මගෙ ක්‍රමය උනේ, වැරැද්දක් නොකර කවුරුහෝ මොනා හරි කිව්වොත් අනෙක් පැත්තට ඒහා සමාන හෝ වැඩි දෙයක් කියන්න. ගැහුවොත් ගහන්න.

    "ධර්මෙ, ධර්මෙ කියල, අපි වැරැද්දක් නොකර ගුටි කන්න ඕන නෑනෙ කොල්ලො. ගැහුවොත් උඹට කවුරු හරි ගහපන් අත දිග ඇරල. බැන්නොත් උඹට, හොඳට බැනපන් ලුණු ඇඹුල් දාල. පස්සෙ නඩුව අහල විසඳ ගන්න පුලුවන්.."

    " ඒ උනාට අත්තම්මෙ.. "

    "ඒ උනාට නෙමේ. ඒක තමා හරි. මොකද උඹල අතින් පල්ලෙන් වැටිල නෑනෙ එක එකාට නොන්ජල් වෙන්න "



    ඊළඟ මොහොතට ....
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මගහැරුන-ආදරවන්තිය- දෙවන දිගහැරුම


    අත්තම්මගෙ කට අපේ අම්මාටද ඇරුන වෙලාවල් නොතිබුනාම නෙමේ. නැන්දම්මා ලේලි රන්ඩුව අත්දැකීම් මට හොඳටම මතක තියනව. මම නොබැඳ ඉන්න හිතූ අවස්තාද, සහකාරියක් ගෙනාවත් වෙනම ඉන්න, හිතින් මම සැලසුම් කරනකොට මම සාමාන්‍යය පෙල විභහගය ඉවර කරල තිබුනෙත් නැහැ. කොතරම් දරුනුවට රණ්ඩුව ගියත් පසුදාට සාමකාමීයි. හරියටම තද වැස්සක් වැහැල සුළඟට වෛර කරපු මහ රූස්ස ගස් පසුදා උදෑසන සිසිල් සුළඟට පෙම් බඳිනව වගේ. හැබැයි අත්තම්ම තමා කාරුණාවන්තම පුරවැසිය කියල මම හිතුවෙ. හැමවෙලේම මට පුරුදුකලා ස්වභාවධර්මයට ආදෙරේ කරන්න. තව කෙනෙක් වෙනුවෙන් ස්වභාවධර්මය රකින්න. අසරණ නැති බැරි අයට වැඩිපුර තියන දේවල් බෙදා ගන්න. සහෝදරියට සලකන්න. අම්ම, තාත්තට කීකරු වෙන්න. හැමෝටම මතකයෙ රැඳෙන චරිතයක් වෙන්න.

    "සුදු පුතේ හෙට උඹට ඔය කලාස් ද මොනාද තියනවද?"

    "ඇයි අත්තම්මෙ .."

    "හෙට මගෙ පැන්ෂන් දවස. උඹ වරෙන් මන් එක්ක බැංකුවට යන්න. බඩු වගයකුත් තියනව මට ගන්න ටවුමෙන්"

    සුදු පුතා. අත්තම්ම ආදරේට මට කතා කලේ එහෙම. කඩපිලේ, පන්සලේ, බැංකුවේ කොහෙ ගියත් අත්තම්මගෙ සුදු පුතා තමා මම. මට මතක තියන කාලයක් සමහර බැංකුවේ උදවියත්, ටවුමේ සමහර අයත් මට කතා කලේ සුදු පුතා කියල. ඒ අත්තම්ම එක්කම එහෙ මෙහෙ ගිහින්.

    අත්තම්මගෙ පෙන්ෂන් දවස කියන්නෙ, මගෙයි අත්තම්මගෙයි කතාවෙ තියන වෙනම දවසක්. අත්තම්ම ආසයි චිකන් ෆ්‍රයිඩ් රයිස් කන්න. චොක්ලට් කන්න. මසාල තෝස, අල බොන්ඩත් කන්න කැමති ලැයිස්තුවේ තිබුන කෑම ජාති. පෙන්ෂන් දවසල මේ සේරම ජාති ගේනව. ඒ වගේම ණය තියනවනම් සේරම බේරනව. අත්තම්ම මට කියල දුන්නෙ අතමාරුවක් කලානම් ඒක වෙලාවට බේරන එක හොඳ පුරුද්දක් කියල. පෙන්ෂන් දවසට ඉතින් මමයි, නංගියි, අත්තම්මයි හිතේ හැටියට කෑව බීව. අම්මටයි, තාත්තටයි එයාලගෙ පන්ගුව ඉතිරි කරල පරිස්සම් කරන්නත් පුරුදුකලේ අත්තම්ම. ඒ වගේම අත්තම්මට තිබුනෙ පුදුම මතකයක්. හරියට ඇස් නොපෙනුනාට, සංකීර්ණ ගනිත කර්ම නොදැන හිටියට පෙන්ෂන් කාර්ඩ් එක බලල ගනන් හිලව් කිව්වෙ හරිම පුදුම විදිහට. බැංකුවේ නෝනලටත් සමහර වෙලාවට වරදිනව අත්තම්ම එක්ක ගනන් එකතුකරද්දි. පෙන්ෂන් දවක කියන්නෙ කොහොමත් මට වාසි දවසක්. මොකද, හැමදාම පෙන්ෂන් දවසට රුපියල් තුන් හාරසීයක් ගෙදර කාටත් හොරා මගෙ අතමිට මොලවන්න අත්තම්ම අමතක කලේ නැහැ.

    "දැන් මම උඹට ගිය මාසෙ මැද රුපියල් සීයක් දුන්න නේද මදුරු කොයිල් ජෝඩුවක් ගේන්න."

    "ඔව්. ඇයි අත්තම්මෙ මම ගෙනාවෙ. අත්තමට ජෑම් බනිස් ගෙඩියකුත් ගෙනත් දුන්නෙ. මතක නැද්ද."

    "මොකද මට මතක නැත්තෙ. කෝ ඉතුරු රුපියල් විස්ස. උඹ මට දුන්නෙ නැහැනෙ ඉතුරු.."

    ඒ අත්තම්මගෙ විදිහ. ගනන් හිලව් කොහෙවත් ලියන්නෙ නැතිව මතෙකයෙ තියගන්නෙ පුදුම විදියට. මුදල් ගණුදෙනු පරිස්සමෙන් කරන්නත්, අනවෂ‍ය්‍ය විදියට මුදල් නාස්ති නොකරන්නත්, ඉතිරි කරන්නත් පුරුදු උනේ අත්තම්මගෙ ඇසුරෙන්.

    මම ලෙඩ උනහම වැඩියෙන්ම කලබල උනෙත්, වැඩියෙන්ම දුක් උනෙත් අත්තම්ම. එක දවසක මට උණ හැදුන දවස් කීපයක්ම ඇඳෙන් නැගිටින්න බැරි වෙන්න. ඔන්න ඔය දවසක අත්තම්ම කොත්තමල්ලි එකකුත් අරගෙන අමාරුවෙන් ගෙදර පඩි පේලිය නැගල මගේ කාමරේට ඇවිල්ල තියෙන්නෙ මාව බලන්න. ආපහු අත්තම්මව පඩි පෙලිය බස්සන්න ගත්තු වෑයම දන්නෙ මමයි නංගියි විතරමයි. තවත් දවසක්, මගෙ කකුලට තෙල් බෙහෙත් බඳින්න වෙද මහත්තයෙක් හොයන්න පයින්ම ගිහින් හැතැක්ම තුනක් විතර. යන්න තුනයි එන්න තුනයි සේරම හැතැක්ම හයයි. සතියක් විතර මමයි නංගියි එකතු වෙලා තෙල් බෙහෙත් ගෑව මතකයි අත්තම්මගෙ කකුල්වලට. අත්තම්ම කැමති උනේ නැහැ මට පොඩි හෙම්බිරිස්සාවක්වත් හැදෙනවට. හැමවෙලේම කිව්වෙ සිහි කල්පනාවෙන් පරිස්සමට ඉන්න කියල. කොහොම උනත්, මොන ලෙඩක් මට හැදුනත් අත්තම්මගෙ කොත්තමල්ලි එකට ලෙඩ සුව වෙන්නෙ පුදුම විදිහකට. ඉතින් අපේ ටවුමෙ හදිසියකට මෙඩිකල් එකක් ලියාගන්න්වත් මම දොස්තර මහත්තයෙක් දැනන් උන්නෙ නැති තරම්.

    පළවෙනිම පාරට අත්තම්ගෙ ආදරේ බෙදුන කියල මට හිතුනෙ අපේ ගෙදරට බින්ගොයි, ටොමියයි ගෙනවහම. බින්ගො කියන්නෙ නිල්පාට ඇසි තියන දුඹුරු පාට ෂෙපඩ් කෙනෙකුටදාව උපන් සාමාන්ය්‍ය බල්ලෙක්. ටොමිය කියන්නෙ කලුම කලු වල් බල්ලෙක්. ඉතින් අත්තම්මගෙ රාජකාරිය උනේ මේ බල්ලො දෙන්නව හුරතල් කරන එක. නාවනව, මැක්කො බලනව. කන්න හදනව.

    "දැන් උඹ මොකද මූණ එල්ලන් ඉන්නෙ. පව් මේ අසරණ සත්තු. උඹට වගේ බඩගිනි උනාම ඉල්ලන් කන්න මුන් දන්නෙ නැහැනෙ. ජරා උනාම ගිහින් ලිදෙන් නාන්න මුන් දන්නෙ නැහැනෙ.."

    එහෙම තමා හැමදාම කිව්වෙ. අදටත් මම දන්නව කොහොමද බල්ලෙක්ව ආදරෙන් බලාගන්නෙ, සත්තුන්ට ආදරෙන් කරුණාවෙන් සලකන්නෙ කොහොමද කියල.

    ඊළඟ මොහොතට ....

    මගහැරුන-ආදරවන්තිය- අවසාන දිගහැරුම


    "පරිස්සමට ගිහින් වරෙන් මගෙ පුතේ. උඹට වරදින්නෙ නැහැ කවදාවත්. මම මැරුනොත් වරෙන් මාව බලන්න හරි"

    "මොනවද අත්තම්මෙ මේ කියන්නෙ. මම යන්නෙ ජොබ් එකට. හැමදාටම නෙමේ. මම එනවා. අනික ඔයා මැරෙන්නෙ නැහැ. "

    "ඒව කියන්න බැහැ පුතේ. දැන් ඉතින් මට වයසයි. ඉස්සර වගේ නෙමේ"

    "විකාර දොඩවන්න එපා අත්තම්මෙ"


    අවුරුදු කීපයකට මම ලංකාවෙන් යනව, මැද පෙරදිගට රස්සාවකට, පරිඝනක අන්ෂයෙන්. මගෙ වාසනාවකට මට ලැබුන අවස්ථාවක් කියල තමා මට හැමෝම කිව්වෙ. මාව දිරිමත් කලේ මට ගමන යන්න. ඕක තමා මගෙයි අත්තම්මගෙයි කතාවෙ හැරවුම් ලක්ෂය. අවුරුද්දකින් විතර අත්තම්ම වැටිල, අත කැඩිල එක්තැන් උනා කියල තාත්ත මට කතා කරල කිව්ව. ඒත් මට අත්තම්මව බලන්න එන්න විදිහක් තිබුනෙ නැහැ. ඕන කමක් තිබුනෙ නැද්ද කියල මට එක වෙලාවක හිතුනා. ඒක තාමත් මගෙ හිතේ තියන නොවිසඳුන ගැටලුවක්. මුදල්, තනාතිරම, හදාගත්තු අභිමානය, ආදර වන්තිය, අලුත් යහලුවන්, විදේෂ රටවල විනෝද චාරිකා, අලුත්ම අයි ෆොන්, මේ සේරම තිබුන මට. මගේ අත්තම්මව මොහොතකට හරි මග හැරෙන්න. හිතල කරපු දෙයක් නෙමේ මම. වේගයෙන් දියුණු වෙන ලෝකය, තාක්ෂනය, තරඟකාරී ජීවන රටාව, හිත් රිදීම්, අහිමිවීම්, ඇබ්බැහිවීම්, වගකීම් මේ සේරම එක්ක පොර බැද්ද මම ජිවිතේ ඉස්සරහට යන්න. දේවල් ලඟාකර ගන්න, දේවල් ලබා ගන්න. ඉතින් ඒකයි මම මුලින්ම කිව්වෙ ඒක මම හිතල කරපු දෙයක් නෙමේ. ඒ වගේම මේ සේරම කරුණු මම මගේම නිදහසට හදාගත්තු හේතුද කියල දැන් හිතෙනවා වෙලාවකට.

    අවුරුදු කීපයක්ම ගත කල මැදපෙරදිග ජීවිතයට සමු දීල මම ආයෙමත් ලංකාවට ආවෙ මගෙ අද්‍යාපන කටයුතු ඉවර කරන්න හිතාගෙන. පුරුද්දට වගේ ගියෙ ඉස්සෙල්ලම අත්තම්මව බලන්න. ටිකක්වෙලා මම බලාගෙන හිටිය කිසිම අරමුණක් නැතිව. මොනවද කියන්නෙ, මොනවද මම දැන් කරන්නෙ කියල කිසිම දෙයක් මට දැනුනෙ නැහැ. අත්තම්මව ඇදිල ගිහින්. ඉස්සර වගේ පැහැපත් හම, පිරිපුන් මස්පිඩු සේරම නැතිව මට පෙනුනෙ ඇටකටු සැකිල්ල විතරයි. අත්තම්ම නිදාගෙන හිටියෙ. මට දැනුන මගෙ හුස්ම නවතිනව වගෙ. මුලු ලෝකයම නවතුනා වගේ දැනුනෙ. බින්ගොත් මගේ ගාවට ඇවිත් මගේ දිහා බලාගෙන හිටියෙ ඌට මගේ හැසිරීම තේරිච්ච නිසාවෙන්න ඇති. ඌට කතා කරන්න පුලුවන්නම් සමහරවිට මට බනීවි, අත්තම්මව මගහැරියට. අත්තම්මව මම මීට වඩා හොඳට බලාගත්තෙ නැතිඋනාට.

    "අත්තම්මෙ.. අත්තම්මෙ..."

    " කව්ද .. ආ.. "

    "අත්තම්මෙ.."

    "සුදු පුතා ආවද. අනේ මගෙ රත්තරන් පුතා ආව මාව බලන්න. මැරෙන්න කලියෙන් මට මගෙ සුදු පුතාව දකින්න ලැබුන. උඹ කාලද ඉන්නෙ.."

    මට වැඩි වෙලා අත්තම්ම එක්ක කතා කරන්න හම්බුනේ නැහැ. මගෙ කඳුලු ඇස් වල පිරිල. අත්තම්මට පෙනීමත් අඩු නිසා මගෙ කඳුළු දැක්කෙ නැහැ. ටිකක් වෙලා අත්තම්මගෙ කාමරේ පඩියට වෙලා මම බලාගෙන හිටිය. ඉස්සර වගේ අපේ වත්ත සරු සාර නැහැ. ඇන්තූරියම් පැල හේබෑවිලා හිහින්. ස්වභාවධර්මය මම දිහා තරහින් බලාගෙන ඉන්නව වගේ මට හිතුනෙ. කොහොමද මම කියන්නෙ මම හිතල කරපු දෙයක් නෙමේ කියල.

    අත්තම්මා - " සුදු පුතේ උඹ ආවද ?"

    අත්තම්මා- "ඔව්. මම ආව.."

    අත්තම්මා- " මම කෑම හැදුව. කාපන්. බඩගින්නෙ ඉන්න එපා.මට ඕන නැහැ. උඹ සේරම කාපන්"

    අත්තම්මා- "හරි , මම කන්නම්"

    මම පුදුම වෙලා වගේ බලාගෙන, අහගෙන හිටියෙ අත්තම්මගෙ වචන, දෙබස ගැන. මට හරියටම තේරුමක් තිබුනෙ නැහැ සිදුවෙච්ච දේ පිලිබඳව. බින්ගොත් දෙපාරක් බිරුවෙ ඌට මාව තේරුන නිසාද නැතිනම් අත්තම්මව තේරුන නිසාද, මට හරියටම තේරුනේ නැහැ. අත්තම්ම චරිත හදාගෙන, දෙබස් කියනවලු, හරියටම මට ඇහුන වගේ. මට තාත්ත තමා දවසක තේරුම් කරල දුන්නෙ, අත්තම්මගෙ අරුම පුදුම දෙබස්වල තේරුම. මම ළඟ නැති අඩුව එයාට දැනෙන්න ඇති. කතා කරන්න එයාගෙ වැඩ කරන්න, එහෙ මෙහෙ යන්න, චොක්ලට් කන්න මම නැති අඩුව දැනෙන්න ඇති. ඉතින් අත්තම්ම වෙලාවකට දෙබස් කිව්ව අත්තම්ම විදිහට. ඒ දෙබසට උත්තර බැන්ද අත්තම්මම, මම විදිහට.

    මට පුලුවන්කම තිබුන අත්තම්මව මීට වඩා හොඳට බලාගන්න. ඒත් මට ඒක මග හැරුන. ඉතින් මගේ ජීවිතයෙ මට මග හැරුන ආදරවන්තිය තමා මගේ අත්තම්ම. මගෙ හිත රිදෙන තරමටම ඒ සිතුවිල්ල මගේ හිතේ ඇතුලෙම රැඳුන, තදින්ම. අත්තම්ම හරිම දුර්වලයිලු. ගතින් වගේම මනසින්ම. මට තාත්ත කිව්වෙ අත්තම්මට කෑම කවන ගමන්. මම මුකුත් නොකියම අත්තම්ම දිහා බලාගෙන හිටිය. කාලය දවසින් දවස ගෙවුනත් මට දැනුනෙ විස්තර කරන්න බැරි තනිකමක්. හිස් බවක් දැනුන මට ගෙදර.

    අද අපේ නංගි මනාලියක් උනාට පස්සෙ, ඉස්සෙල්ලම ගමට, ගෙදරට එන දවස. ජයටම නැතත් යාළුවන්ට, හිතවතුන්ට, නෑදෑ පිරිසට කියල තිබුන. මේ දවසට අත්තම්මට එන්න බැරි උනේ එයාට ඇවිදින්න කරන්න බැරි නිසා. මම හවස මගේ මිතුරෙකු වූ දීෂාන් සමග කොළඹ යන ගමන්. නංගිගේ සාදයේදී පමනට වඩා මත් වූ මගේ තවත් මිතුරෙකු වූ චමත්ව ගෙදරට දාන්න. මිනිහ තිරස්ව වැතිර හිටියෙ වෙනදේවල් හැන සිහියක්ද නැතිව.

    "කියන්න තාත්තෙ.."

    "කොහෙද ඉන්නෙ"

    "මමයි දීෂානුයි, චමාව දාන්න උන්ගෙ ගෙදර යන ගමන්. දැන් මේ හයි වේ එකට දැම්මෙ. තාත්තෙ.. මොකද අවුල, ඇයි කෝල් කලේ.."

    "අත්තම්ම නැතිවෙලා"

    දුරකථනය විසන්දි කලේ මම එකපාරටම. හුස්ම නැවතුනා වගේ හැඟීමක් මට දැනුන. මට පෙනුන රතුපාට, කහපාට ආලෝක එළි බොඳවෙනව වගේ මට තේරුනා. මගෙ ඇස්වල කඳුලු පිරිල. එකපාරටම මට ඉස්සර දවසක අපේ අම්ම කියපු දෙයක් මතක් උනා. ‘අත්තම්ම මම එක්ක රන්ඩුවට එන්නෙ එයාගෙ හිතේ තරහක් තියනවා. මොකද මම මනාලියක් වෙලා මේ ගෙදරට ආව දවසෙමතමා, අත්තම්මගෙ හස්බන්ඩ් නැතිඋනේ. හැප්පිලා.’


    ඉතින්, මේක මම ලිව්ව පළවෙනි කෙටි කතාව. කියවල දැනුන දේ කොමෙන්ටුවක් දාගෙන යන්න.

    එහෙ මෙහෙ පෝස්ට් කලාට කමක් නැහැ. නමුත් මගෙ අයිතිය රකින්න. ඒක කරන ඉල්ලීමක්. ඉක්මනටම ආයෙත් හමුවෙමු.
    ------ Post added on Aug 5, 2023 at 4:22 PM