~~~~~#මදුරු දඩයම (විද්යා ප්‍රබන්ධයකි)#~~~~~

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
~~~~~#මදුරු දඩයම (විද්යා ප්‍රබන්ධයකි)#~~~~~

ඒ 2052 වසරයි. චෙන්නායිහි නගරාධිපති ධූරය හොබවන ලද්දේ මනෝහරන් විසිනි. විසිවැනි සියවසෙහි වැඩි කාලයක්‌ පුරාවට නගරයේ කුණු කාණු හරවා තිබුණේ අසල ඇති කෝවුම් නදියට ය. මීට වසර 15කට පෙරාතුව ජරාජීර්ණ ව තිබූ නදිය සාර්ථකව එම විනාශයෙන් බේරා ගැනීමට හෙතෙම සමත් විය. දැන් ආරුබක්‌කම් සිට මරීනා වෙරළට ගඟ දිගේ වේග බෝට්‌ටුවකින් ගමන් කිරීමට ගත වන්නේ විනාඩි දහයකටත් වඩා අඩු කාලයකි.

එහෙත් මනෝහරන් පසු වූයේ අසහනයෙනි. ඊළඟ නගරාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට එපමණක්‌ සෑහෙන්නේ නැති බව පැහැදිලි ය. මාධ්‍ය මඟින් දිගින් දිගට ම පෙන්වා දෙනු ලැබුවේ ඔහු නගරයේ මදුරු වසංගතය තුරන් කිරීමට වහා පියවර ගත යුතු බව ය. එසේ නො වුව හොත් ළඟ එන මැතිවරණය ජය ගෙන නැවතත් නගරාධිපති ධූරය ලබා ගැනීමට ඔහුට කිසිදු අවස්‌ථාවක්‌ නො ලැබෙන බව ඔවුහු පුන පුනා ප්‍රකාශ කළ හ. මේ සඳහා ඔහු කඩිනම් විසඳුමක්‌ සොයා ගත යුතු ව තිබිණි.

මනෝහරන් නො ඉවසිල්ලෙන් බලා සිටියේ ජෛව තාක්‌ෂණ හා ගෙනෝම ව්‍යාපෘතියේ ප්‍රධානියා වූ ආචාර්ය සාමි මුණ ගැසීමට ය. හෙතෙම මේ සඳහා විසඳුමක්‌ ඉදිරිපත් කරන බවට පොරොන්දු වී තිබිණි.

* * *

ආචාර්ය සාමි ඉදිරිපත් කළ දේශනය අවසානයේ දී මනෝහරන් අපමණ සැනසීමට හා සතුටට පත් විය. විශ්වාස කටයුතු සේ පෙනුණු එම සැලසුම සාර්ථක වන බව ඔහු තදින් ම විශ්වාස කළේ ය. ඊළඟ වාරයේ දීත් චෙන්නායිහි නගරාධිපති තනතුරට පත් වීම පිළිබඳව ඔහු තුළ වූ සැකයට තවදුරටත් ඉඩක්‌ නො වී ය.

ආචාර්ය සාමි ගේ විද්‍යාගාරය තුළ සංශ්ලේෂණය කළ ගෙනෝමයකින් යුතු නව කටුසු විශේෂයක්‌ නිර්මාණය වූයේ සාමාන්‍ය ගෙවතු කටුස්‌සන් ගේ ජාන යොදා ගනිමිනි. මදුරුවන් මත පමණක්‌ යෑපෙන මොවුන් ගේ මදුරුවන් දඩයම් කිරීමේ කාර්යක්‌ෂ්මතාව පැවැතුණේ ඉහළ මට්‌ටමක ය. මේ කටුස්‌සන් ගේ ජාන කිටුවට නව ජානයක්‌ එකතු කර තිබුණේ මසකට පසු මිය යන ආකාරයට ය. මේ නව සංශ්ලේෂිත ජීව විශේෂය නිසා ඇති විය හැකි ගැටලු අවම කරගැනීම පර්යේෂකයන් ගේ අරමුණ විය.

මදුරු මර්දන සැලැස්‌මෙහි පියවරක්‌ ලෙස විශේෂ අරමුදලක්‌ පිහිටුවන ලද්දේ නාගරික සෞඛ්‍ය අංශයෙහි මූලිකත්වයෙනි. එමඟින් නගර සංස්‌ථාව වෙත ගෙනැවිත් භාර දෙන සැම කටුසු කුණක්‌ සඳහා ම රුපියලක පාරිතෝෂිකයක්‌ ලබා දීමට කටයුතු කෙරිණි. ඉන් බලාපොරොත්තු වූයේ කටුසු මළකුණු මඟින් සිදු වන පරිසර දූෂණය අවම කර ගැනීමයි.

* * *

මුනියාන් නව කාර්යාල ගොඩනැඟිල්ල ඉදිරිපිට බයිසිකලය නතර කළේ ය. අලෙවි අංශයේ දුරකථන ක්‍රියාකරු ලෙස පසුගිය සතියේ වැඩ භාරගත් ඔහු සිටියේ සතුටිනි.

තම කාර්යාල මේසය වෙත ඇවිද ගිය ඔහු පරිගණකයේ බොත්තම ඔබා එය ක්‍රියාත්මක කළේ ය. තත්පර කිහිපයකින් එහි තිරය දැල්විණි. සවන් යොමුව පැළඳගත් ඔහු කණ්‌ඩායම් ප්‍රධානියා හට අතින් සන් කළේ ය. ඊළඟ මොහොතේ දී දුරකථන ඇමතුමක්‌ ඔහු වෙත ගලා ආවේ ය.

"ඔව්...සරෝජිනී මහත්මිය, මම මුනියාන්, කොහොම ද මට ඔබට උදව් කරන්න පුළුවන්?..."

දුරකථනයේ එහා කෙළවරේ සිටි ඇයට අවශ්‍ය වී තිබුණේ ඇණවුමක්‌ භාර දීමට ය.

"ඔබ අප ගේ හොඳ පාරිභෝගිකයකු බැවින් ඒ ඉල්ලීම ඉටු කිරීමට ඇත්තෙන් ම පුළුවන්. මෙන්න.. ඔබ ගේ ඉල්ලීම පරිදි ඔබ ඊයේ කළ ඇණවුම වෙනස්‌ කළා. එයට බදුත් ඇතුළුව රුපියල් පනහක මුදලක්‌ ඔබ ගේ ණය පතින් අය කෙරෙනවා. ඉක්‌මනින් ම සංශ්ලේෂිත කටුසු බිත්තර 200ක තොගයක්‌ නිවසට ම ලැබෙයි. මම දැන් එම ඇණවුම තහවුරු කරන්නම්. එපමණයි නේ ද?..... ඔබට සුබ දවසක්‌ සරෝජිනී මහත්මිය.."

* * *
නො නවත්වා නාද වන කාර්යාල දුරකථනය මනෝහරන් ගේ සිත කෝපයට පත් කළේ ය. ළඟ එන මැතිවරණය නිසා හැඩි වූ කාර්යාලය ද ඔහු ගේ සිත මෙන්ම අවුල් වී තිබිණි. මුල දී ක්‍රමානුකූලව අඩු වී ගිය මදුරු උවදුර පෙරටත් වඩා දරුණු ලෙස මෙවර හිස ඔසවා තිබිණ. මේ කල්පනා මැද ම ඔහු දුරකථන රිසීවරය ඩැහැගත්තේ ය.

"කරුණානරලා පස්‌සේ කථා කරන්න. පොදු ගැටලුවලට කාලය වෙන් කරලා තියෙන්නේ හවස 3න් පස්‌සේ.....

මොනවා? කොහේ ද? ඉන්න මම දැන් ම එනවා..."

පසුගිය දින කිහිපය පුරාවට උණ ගැනී සිටී සිඟිති පුතු ඔහුට සිහිපත් වූයේ එවිට ය. වැඩ රාජකාරි බහුල වූ බැවින් ඒ වෙනුවෙන් මිඩංගු කිරීමට ඔහුට කාලයක්‌ නො තිබිණි. දුරකථන ඇමතුමෙන් කීවේ පුතු රෝහල් ගත කළ බව ය.

අසිහියෙන් දිව ගිය ඔහුට දැඩි සත්කාර ඒකකය අසලට පැමිණි ආකාරය වත් මතක නැත. එතුළ සත් අවුරුදු වයසැති කුඩා දරුවා යන්ත්‍ර සූත්‍ර ගොඩකට සම්බන්ධ කර තිබිණි.

"මම ඩොක්‌ටර් නරේෂ්, ඔබතුමා මේ දරුවා ගේ තාත්තා නේ ද? අපි ඔහු වෙනුවෙන් දරන්න පුළුවන් හැම උත්සාහයක්‌ ම දරනවා. දරුවාට තියෙන්නේ ඩෙංගු රක්‌තපාතය..."

එම වදන්වල තිබූ අවිනිශ්චිත බව නිසා කම්පනයට පත් ව හෙතෙම හිස බදාගෙන එහි ම වාඩි වූවේ ය. සුළු මොහොතකට පසු හිස එසවූ ඔහු එකෙණෙහි නැඟිට සිහි විකල් වූවකු මෙන් වාට්‌ටුවෙන් පිටතට දිව යන අයුරු වෛද්‍යවරයා නිසල ව බලා සිටියේ ය.

* * *

මනෝහරන් බීම හලෙහි අසුන්ගෙන සිටියේ ය. ස්‌කොච් බීර වීදුරුවක්‌ තොල ගාමින් සිටි ආචාර්ය සාමි ඔහු ගේ පසෙකින් අසුන් ගත්තේ ය.

"සිද්ද වුණේ මොකක්‌ ද කියලා ඔවුන් සොයාගෙන ද? ඇයි මේ මදුරු වසංගතය ඉවරයක්‌ නො වෙන්නේ?.."

"..හ්ම්..ඔව්, අපි හොයා ගත්තා. මුල දී උනන්දුවෙන් කටුසු බිත්තර ඇණවුම් කළා. සැලැස්‌මත් නියම ආකාරයට ම ඉතා හොඳින් ක්‍රියාත්මක වුණා. නමුත් අවසානයේ දී හැම දේ ම මුදලට යට වුණා."

"ඔබ එයින් අදහස්‌ කළේ කුමක්‌ ද?"

"මම අදහස්‌ කළේ මිනිස්‌සු මෙය ලාභ ලබන ව්‍යාපාරයක්‌ බවට පත් කර ගත් බව... මේ සංශ්ලේෂිත කටුස්‌සන් ගේ ආහාර සඳහා මදුරුවන් වගා කිරීමට ඔවුන් පෙලඹුණා. එක්‌ කටුස්‌සකු ගේ ආහාරය සඳහා අවශ්‍ය මදුරුවන් බෝ කිරීමට වැය වෙන්නේ ශත 20ක්‌ පමණයි. කටුස්‌සකු සඳහා වැය වන්නේ ශත 25යි. මුළු වියදම ශත 45යි. මිය ගිය කටුස්‌සකු භාර දීමේ දී රජය ලබා දෙන රුපියලක පාරිතෝෂිකය නිසා ඔවුන් සැම කටුස්‌සකු ගෙන් ම ශත 55ක ශුද්ධ ලාභයක්‌ උපයනවා."

මනෝහරන් ගේ මුව ගොළු විය.

ආචාර්ය සාමි ගේ ආයතනය ද කටුසු ආහාර සඳහා ජාන තාක්‌ෂණයෙන් නිපදවූ මදුරු කීටයන් අලෙවි කරන බව මනෝහරන් දැන සිටියේ නැත.

(සමාප්තයි)

උපුටා ගෑනීම

විදුසර විද්යා සගරාව
d53edfcad5892ffc8aba6927a98912c8a7afa77f04ccbc74bcd11c6e2d9879174g.gif