මම දක්‍ෂයෙක් නෙවෙයි | ජිප්සීස් සුනිල් පෙර&#354

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දක්‍ෂයෙක් නෙවෙයි | ජිප්සීස් සුනිල් පෙර&#354

    මම දක්‍ෂයෙක් නෙවෙයි වාසනාවන්තයෙක් | ජිප්සීස් සුනිල් පෙරේරා​



    අප මෙවර පිළිසඳරේ යෙදුණේ ජිප්සීස් සංගීත කණ්ඩායමේ සුනිල් පෙරේරා සමඟය. ඔහු ගායකයකු මුත් ගයනවාට වඩා කතාකරන්නෙකි. ඒ නිසා ඔහුගේ කතාබහ සමාජයේ බොහෝ ප්‍රසිද්ධය. මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ සුනිල් පෙරේරා යනු සලකුණකි. අනන්‍යතාවකි. ඔහු ඇලුම් කරන්නෝද බොහෝය. එමෙන්ම ඔහු බඩු විකුණන්නෙකි. දැන්වීම් තුළ තත්පර ගණනකට ඔහු කරන කෑමොරය ප්‍රියජනකය. කාවදිනසුලුය. සුනිල් පෙරේරාගේ පෞද්ගලිකත්වයට එබුණෙමු. මේ ඉන් එක පැත්තක් විවර කිරීමකි.

    සීයා කෙනෙක් වුණත් සමාජ ආමන්ත්‍රණය තුළ අදටත් ඔබ අයියා නේද?
    අනේ මන්දා. පොඩි එවුනුත් මට අයියා කියනවා. අංකල් කියන එවුනුත් ඉන්නවා. හැබැයි ඔය කියනවා වගේ ගොඩක් අය සුනිල් අයියා කියලා තමයි කියන්නේ. මම ඉන්න විදියට අයියා කෙනෙක් වගේ පේනවාද දන්නේ නැහැ. කොහොම වුණත් මට වඩා නාකි එවුනුත් මට අයියා කියනවානේ. ඒක තමයි මට තේරෙන්නේ නැත්තේ.

    සුනිල් අයියා දක්‍ෂයෙක්ද?
    කවුද කියන්නේ?

    කවුරුත් නෙමෙයි මම අහන්නේ.
    ඇත්තම කියනවා නම් මල්ලී සුනිල් අයියා දක්‍ෂයෙක් නෙමෙයි. සුනිල් අයියා වාසනා ගුණ ඇත්තෙක්. වාසනාව මිසක් මට ඇති දක්‍ෂකමක් නෑ. මම වාසනාව නිසා බැබළෙන මිනිහෙක්.

    එතකොට සුනිල් අයියා පවතින්නේ වාසනාවටද?
    ඔව්! තනිකරම වාසනාවට. මොකද මම ලස්සන මිනිහෙක්ද? හොඳට සිංදු කියන මිනිහෙක්ද? මෙච්චර තරුණයෝ ඉද්දී නාකී මාවම දැන්වීම්වලට ගන්නේ මොකද? මම කරපුවා මාර වැඩද? නැහැනේ. මේ හැමදේම මා සතු වාසනා ගුණය නිසා පවතින දේවල්. ඒ වාසනා ගුණය නිසාම මම දක්‍ෂයෙක් වගේ පෙනෙනවා. ඒකත් වාසනාවම තමයි.

    සංගීත ක්‍ෂේත්‍රයට එන තරුණ කාලයේ ඔබ මොන වාගේද?
    ගන්න දෙයක් නැහැ. දඩබ්බරයා. හිතුවක්කාරයා. ෆීල්ඞ් එකට එනකොට මට වයස අවුරුදු දහ අටයි. ඉතින් අපිත් අපිට පුළුපුළුවන් විදියට මොනවා හරි කළා. වාසනා ගුණයට ඒවා මතු වුණා. හැම ෆීල්ඞ් එකකම වගේ සංගීත ෆීල්ඞ් එකේත් කට්ටියක් කියන්නේ ඒ කට්ටිය කරන දේ විතරයි. සත්‍යය. ඉතින් අනෙක් හැමෝම පාර කෑවා. පීචං බවට පත් වුණා. මේක මේ රටේ තියෙන ලෙඩක්. හැම දේටම විවෘත වුණාම තමයි විවිධත්වයක් තියෙන්නේ. එහෙම නැතිව මේක විතරමයි තියෙන්නේ කියලා ඉන්න බෑ. ඉතින් මමත් හොඳ නෑනේ. කටත් හොඳ නෑනේ. මම ඕවාට රණ්ඩු වුණා. කියන දේ කියලා දැම්මා. ඒ මගේ හැටි අදත් එහෙමයි. මට දැන් හිතෙනවා මම අර අයියා වුණේ ඒ නිසාද කියලා. (හිනා)

    ඔබ සල්ලිකාරයෙක්. මේ නිසාත් මේ හයිය ආවා වෙන්න බැරිද?
    ඇත්ත. අපිට කවදාවත් මුදල් ප්‍රශ්න තිබුණේ නෑ. එදත් අදත් අපිට ජීවත්වන්න ඕනෑවටත් වඩා මුදල් තියෙනවා. ඕනෑම ජගතෙක් ඔළුව නවන්නේ සල්ලිවලටනේ. මට ඒ ප්‍රශ්නයත් නෑ. වාසනාව. හැමදේම මට ලැබුණේ මා සතු වාසනා ගුණය නිසා.

    සංගීත ෆීල්ඞ් එකේ වගේම ජිවිතයේත් ඔබ නරකයෙක්ද?
    ඔව්! සංගීත ෆීල්ඞ් එකේ හැප්පුණේ මට කරන දේ සහ මට විවේචන වෙනුවෙන්. ඒක සාමාන්‍යයි. නරකක් නෑ. මගේ දේ වෙනුවෙන් පෙනීසිටීමක්. මං වගේ තව අය වෙනුවෙන් කෑගැසීමක්. ඒත් ජීවිතයට සාපේක්‍ෂව මගේ හැසිරීම අන්තිමයි. ඒකට මම දඬුවම් වින්දා.

    ඒ නරක සහ දඬුවමේ ස්වභාවය ලොකුද?
    හරි විශාලයි. මම ඒ කාලේ ඕනෑවට වැඩිය දඩබ්බරයෙක්. හිතුවක්කාර යෙක්. සල්ලිත් හොඳට තියෙනවා. ඉතින් හොඳට බොනවා. සිගරට් ගහනවා. කරන්න හිතෙන්නේ මොනවද, ඒ දේ කරනවා. කටට එන දේ කියනවා වගේ තමයි. හිතෙන දේ කරනවා. ආයේ කාගේවත් අවවාද අනුසාසනා සතයකට මායිම් කරන්නේ නෑ. මම හිතන දේ හරි. මම කරන දේ හරි. කොටින්ම මම තමයි එතකොට හරිම මිනිහා. මම විවාහකයෙක් වුණත් දරුවන්ගේ තාත්තෙක් වුණත් මම ගතකළේ තනිකඩ ජීවිතයක්. විවාහයේ ඉද්දී වරදේ බැඳුණා. මම කිව්වානේ මම හිතන දේ මම කරන දේ හරි කියලා. ඒ හැමදේම හරිය කියන තැන තමයි මම හිටියේ. ඒවා වැරදියි කියලා පෙනෙන්න මට හේතුවක් තිබුණේත් නෑ.
    මම පිරිමියෙක් විදියට හිතුව දෙයක් තමයි, ගෙදර සියලු අඩුපාඩු පිරිමහනවා නම්, හැමදේම හරියට කරනවා නම්, මිනිහා මොකක් කළත් ගෑනිට වැඩක් නෑ, එයා පාඩුවේ ඉන්න ඕනෑ කියන දේ. මම මේක කියන්නේ, මම දන්නවා අදටත් එදා මං හිතුවා වගේ හිතන පිස්සෝ ඉන්නවා. එදංත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉඳිවී. මම වීරයෙක් වගේ හිතුවාට මට ඕනෑ දේ කරන්න පුළුවන් කියලා, මං ගෙදර ගියාම ඇතුළතින් පටලැවිල්ලක හිටියා. අපි අතරේ සබඳතා පැවතුණේ තුන්වෙනි පාර්ශ්වයක් හරහායි. දෙන්නාම, ‘මේ ඉන්නේ දරුවන් වෙනුවෙන්’ වගේ තැනක අපි හිටියේ. ගෙදරට මොනවාද ඕනෑ දරුවකු හරහා තමයි වටහාගන්නේ. එතකොට තාත්තා කනවාද, තේ බොනවාද, මේවාත් අතරමැදියෙක් හරහා වෙන දේවල්. හිතුවක්කාරකමට හිටියාට මේ දේවල් දරාගන්න පුළුවන් කාලය අඩුයි. එක්කෝ මේකෙන් ගැලවෙන්න ඕනෑ. නැත්නම් චණ්ඩියා වගේම ඉන්න ඕනෑ. චණ්ඩියා වගේම ඉන්න පුළුවන් අනෙක් පාර්ශ්වයෙනුත් චණ්ඩිකමක් එනවා නම්. වැඬේ වුණේ, මගේ බිරිඳ මට වචනයක් කියන්නේ නෑ. අන්න ඒ නිහඬකම, එයාගේ ඉවසීම මාව හෙම්බත් කළා. රණ්ඩුවෙන ගෑනිත් එක්ක ඉන්න පුළුවන් අර විදියට, නිහඬ ගෑනිත් එක්ක ඉන්න බෑ. ඒකි අපිව නොමරා මරනවා. ඇයි දෙයියනේ මම මෙච්චර දේවල් කරද්දී මට වචනයක් කියන්නේ නැහැනේ. අනිත් කෙනා හොඳයි කියලා යන්න හිතෙන්නේ නැහැනේ. එතකොට අනෙකා හොඳයි කියලා අපිට හැම අතින්ම තහවුරු වෙන්න ගෙදර ගැහැනිය හැම පැත්තෙන්ම නරක වෙන්න එපැයි. කෝ එහෙම වෙන්නේ නැහැනේ.

    එතකොට ඔය පීඩනය පුපුරලා ගියේ කොහොමද?
    මට හාර්ට් ඇටෑක් එකක් ආවා. මම හිතන්නේම මගේ පීඩනය හදවතට දරාගෙන ඉන්න බැරි වුණා. මගේ එළියෙන් පෙනෙන මිනිහා රළු වුණාට හදවත ඇතුළේ හිටපු මිනිහා අහිංසකයෙක්. ඒ අහිංසකයාට දරාගෙන ඉන්න බැරි වුණා. මම ප්‍රසංගයකට ඇමරිකාවේ ගියා. ඇමරිකාවේදී මේ ඇටෑක් එක ආවේ. එතකොට මගේ දෙවන පාර්ශ්වයත් මාත් එක්ක ඇමරිකාවේ. අයියා මගේ ළඟට ඇවිල්ලා කිව්වා. මල්ලි වයිෆ්ට කෝල් කරලා කියන්න කියලා. ඇත්තටම මට ඒ වේලාවේ බය හිතුණා. කොටින්ම ඇඬුණා. අනේ මට බෑ කියලා. මොකද ගත්කටටම උඹට හොඳම වැඬේ මට කරපුවාටම තමයි ඔහෝම වුණේ කියලා කියන ටික මට අහන්න බය හිතුණා. ‘බැන්නත් කමක් නෑ, ඔයා කියන්න’ අයියා කෝල් එක සම්බන්ධ කරලා දුන්නා. මම වෙව්ල වෙව්ලා කිව්වා. ගංගෝ මට සනීප නෑ කියලා. විශ්වාස කරන්න මල්ලී, මට කනට ඇහුණු ටික මාව අසරණම කළා.
    (කතාව ඉතිරියට පෙර සුනිල් අයියාගේ නෙතින් කඳුළු පනී. කඳුළුත් එක්ක ඒ වචන ආ විදිය එදා ඔහු විඳි හැඟීම මට අවබෝධ කළේය.)
    “අනේ සුනිල් මට ඔයා බලන්න ඕනෑ. ඔයා ළඟම ඉන්න ඕනෑ සුනිල්.”
    සියලු දේවල් ලෑස්ති කරලා අයියා ඇයවත් ගෙන්නුවා. පාර්ශ්ව දෙකම ඉන්නවා. සියල්ල අමතක කරලා ඇය මාව පොඩි ළමයෙක් බලාගන්නවා වගේ හැමදේම කරලා බලාගත්තා. මං ඒ මොහොතේම හිතුවා, තහනම් ගහේ ගෙඩි කෑවා ඇති කියලා.

    හැමදේම වෙන්නේ හොඳට නේද?
    ඇත්තටම. මම එහෙම සිංදුවකුත් හැදුවා. බයිපාස් එක මට වෙස්වලාගෙන ආ ආශීර්වාදයක්. මම ආයෙත් මගේ බිරිඳම හොරෙන්ම සදහටම බැන්දා. (හදවතින්) අපි එදා ඉඳලා නියම අඹුසැමියෝ වුණා. ඒ බැඳීම ඒ ඇසුර අවංකවම මට කාගෙන්වත් ආයේ ගන්න බෑ. ඒ තරම් ඒක ශක්තිමත්.

    එතකොට මුලින් මරාගෙන මැරෙන්න හිටිය සබඳතා ඔය කියන පහසුවට අත අරින්න පුළුවන්ද?
    පුළුවන්. වෙනස් වන මොහොත ආවොත් ඕනෑම දේකින් වෙනස් වෙන්න පුළුවන්. මොන ඇබ්බැහියෙනුත් මිදෙන්න පුළුවන්. මොන දේ වෙලාත් මගේ බිරිඳට මා වෙනුවෙන් කැපවෙන්න පුළුවන් නම් ඒ තරම් කැපකරන ඇය වෙනුවෙන් ඇයි මට කැපවෙන්න බැරි.
    දෙයක් කියන්නම් මල්ලී. මොන තරම් කතා කිව්වත් අපි වෙන දේවල් අමුණ ගන්න අරුත ආදරය නෙමෙයි. ලිංගිකත්වය. ආදරය අග්‍ර වුණාම අරක මගහැරෙනවා. මොකද ආදරය ඇතුළේ එක විධිමත්. අර දේවල් මොනවාද කියලා හිතෙනවා. බොරුවට නෙමෙයි කියන්නේ. පස්සේ තමයි වැටහුණේ. මගේ බිරිඳ තරම් වස්තුවක් මට නෑ. මම වස්තුව ගෙදරම තියාගෙන තමයි ඉබාගාතේ ඇවිදලා තියෙන්නේ කියලා. හති වැටිලා නතර වුණාම තමයි තේරුණේ මම හොයන දේ ගෙදරම මගේ ළඟමනේ තිබිලා තියෙන්නේ කියලා. මම බය නැතිව කියනවා විවාහය තරම් සුන්දර දෙයක් නෑ. ඒ සුන්දරත්වය විඳින්න අඹුසැමියෝ එකෙක් වෙන්න ඕනෑ. ඒ ලබන දිනුම තරම් දිනුමක් නෑ. මම පහුවෙලා හරි දින්නා.
    මේක මගේ කතාව වුණාට මම දන්නවා. මේක මම වගේ අතිබහුතරයක් උන්ගේ කතාව. ගොඩක් උන්ට මට වගේ වෙනස් වෙන්න වාසනා ශක්තිය නැති වෙන්න ඇති. ඒත් මගෙන් ගන්න පුළුවන් නම් පොඞ්ඩක් හරි ගන්න. එකයි අවංකවම කිව්වේ.

    බයි පාස් එක නොකළා නම්..
    හා… හා…. හා…. (හිනා) එහෙනම් මැරිලා මෙලහකට ඉබාගාතේ ගිහිල්ලාම. ජීවිතය අහුවෙන්නේ නැතිවම මැරිලා.

    එතකොට පස්සේ සුනිල් අයියා නැවත ඉපදුණාද?
    ඔව්! සුනිල් පෙරේරාට ජීවිත දෙකක් තිබුණා. එකක් බයිපාස් එකට පෙර. අනෙක පසු. මට දැන් හිතෙනවා. හදවත විවර කළාම සමහර වෙලාවට මග ඇරුණු ජීවිතය ආයේ ලැබෙනවා කියලා. මට ඒක ලැබුණා.
    කලක් කුරුසය කරලාගෙන හිටපු සුනිල් අයියා අද හේතුවාදියෙක් වේලා. මිථ්‍යාවට එරෙහි හඬ නගන්නෙක් වෙලා. ඒ වෙනස ඇති වුණේ කොහොමද?
    මෙහෙම දෙයක් තියෙනවා. අපි කොච්චර කිව්වත් වෙනස් වෙන්න ලොකු වන්දියක් ගෙවන්න ඕනෑ. එහෙම නැත්නම් තදබල විදිහට ඔළුවට පාරක් වදින්න ඕනෑ. මෙතැනදී වුණේ දෙවැනි කාරණය. මිථ්‍යාව විසින්ම මගේ ඔළුවට ගැහැව්වා. අපි අද මේවා කතා කරනවා. හිනාවෙවී. ඒත් මේකට අහුවුණාම එහෙම නෑ. කියන තරම් ගැළවෙන්න ලේසි නෑ. අපි අහුවුණේ හොඳටම දැනුවත්ව. ඇයි පොතේ තියෙන්නේ බය වුණාම මිනිස්සු කරන දේවල්, ඒවා නේද මේ අපි කරන්නේ කියමින් තමයි මිථ්‍යාව පස්සේ ගියේ.
    පවුලට ළංවෙලා පවුල එකම ජීවිතය කරගෙන ඉන්නකොට දරුවෝ තමයි සම්පත. මගේ දුවෙක් සබඳතාවක් පටන් ගත්තා. ඒකට අපි විරුද්ධයි. දුවත් අරින්නේ නෑ. අපේ ගතිගුණමනේ. එයා හිතුවක්කාරෙටම ඉන්නවා. ඒකමයි කරන්නේ කියලා. අපි හිතුවක්කාර වෙනකොට අපිත් එහෙමනේ. හැබැයි දරුවා එහෙම වෙනකොට යකා නඟිනවා. ඇත්ත ඒකනේ. මම එදා කළ දේ මගේ බිරිඳ කළා නම් මම මරනවානේ. මොන සමාද?
    ඉතින් ළමයාට සැරවැර දාලා මෙල්ල කරගන්න බැරි වුණා. තරුණ වයසනේ. ආදරය උතුම්. ඔන්න ඔය වේලාවේ ඉතින් අපිත් අපේ දන්න දන්න අයට මේ ඛේදවාචකය කියනවා. ඉතින් හැමෝම උපදෙස් දෙනවා. උපදෙස් අතර එනවා. අර දේවාලයට යන්න හරියටම හරි. ඉතින් යනවා. ඒ කියන දේවල් කරනවා. බෝධි පූජාම තිබ්බා එකසිය ගණනක්. අනේ අර මහ ලොකු ටෝක් දීපු සුනිල් අයියා යනවා වතුර කළ උස්සගෙන. ඒත් නෑ. ඊළඟට තව කෙනෙක් කියනවා. අවිස්සාවේල්ලේ අහවල් තැනට ගියේ නැද්ද ෂුවර්ම තමයි කියලා. ඔන්න යනවා. අවිස්සාවේල්ලට ගියාට වඩා දුර යනවා අවිස්සාවේල්ලේ ඉඳලා හැරිලා. අනේ ඒ දේවාලෙත් හරි ගියේ නෑ. පල්ලිත් යනවා. පන්සලුත් යනවා. කෝවිලටත් යනවා. දේවාල ගාණෙත් යනවා. ජිප්සිස්ලා ෂෝ කළාට වඩා මම මේවාට යන්න ඇති. දැන් මේ අතරේ හිනායන වැඩත් වෙනවා. ඒවට හිනාත් වෙනවා. ඒත් බොරුය කියලා හිතන්නේ නෑ. අපි පල්ලියට යනවා. දුවත් යනවා. ගිහින් අපි යාඥා කරනවා දුවව තියාගෙන, අනේ දෙවියන් වහන්ස, දුවව මේකෙන් ගලවලා දෙන්න කියලා. ඉතින් මම ගෙදර ඇවිල්ලා වයිෆ්ගෙන් අහනවා. මේ අපි දුවව ගෙනියපු එක වැරදියි නේද කියලා. නෑ. ‘එයා ඉන්නකොටනේ අපේ යාඥාව පල දෙන්නේ.’ වයිෆ් කියනවා. එතකොට මම අහනවා. නෑ. අපි එහෙම යාඥා කරනකොට දුවත් යාඥා කළානේ. එයා අනේ දෙවියනේ මට මේ මගුල කරලාම දෙන්න කියලා යාඥා කරන්න ඇතිනේ. එතකොට දෙවියෝ ගන්නේ සුනිල් අයියාගේ පැත්තද? දෙන්නටම හිනා යනවා. ඒත් විහිළු කළ එකටත් සමාව අරගෙන ආයේ යනවා. මේ අතරේ කියන්න එපැයි මොන දෙවියෝ ගාවට ගියත් දුව ඉන්න කාමරේ ජනෙල්වලට පවා ඉබ්බෝ දාලා යන්නේ. ගෙදර ගේට්ටුවේ ඉඳලා හැම තැනම ඉබ්බෝ දාලා. දුවට හැරෙන්නවත් බෑ. ඉබ්බෝ ගැලව්වොත් දෙවියන්ටවත් බේරගන්න බෑ. කියන විශ්වාසය තිබුණා මොනවා නැතත්.
    හැම තැනම ගිහිල්ලා හෙම්බත් වෙලා ඉන්නකොට කිව්වා, කුරුණෑගල අහවල් තැනට ගියේ නැද්ද කියලා. මම කිව්වා දැන් ඇති වෙලා තියෙන්නේ කියලා. ‘මම කියනවාට යන්න, ෆාදර් කෙනෙක් ඉන්නේ. මොනවා නැතත් දුව යනවාද නැද්ද කියන එක අහගන්න පුළුවන්. හරියටම කියනවා.’ අනේ ඉතින් මම ගියා. තනියම ගියේ, පල්ලියේ වැඩක්නේ. දුවව බලාගන්න වයිෆ්ව දාලා මම ගියා. සෙනඟ පුදුම විදියට මම අන්තිමයා. සෙනග හසුරන මිනිහා මාව අඳුනාගත්තා. අප්පා මේ මහත්තයානේ. පෝලිමේ ඉන්න ඕනෑ නෑ. එන්න. මොනවා වුණත් මට අප්සට්. හැබැයි තව පැය ගාණක් නොඉඳ යන්නත් ආසයි. ඒත් උදේ ඉඳලා ඉන්න මිනිස්සුනේ. අනේ අර අහිංසකයෝත් ටිකක් මාව අඳුරගෙන ආ සර් යන්න සර් යන්න කිව්වා. මමත් ගියා. ටිකක් ජනප්‍රිය නම් මල්ලි දෙවියෝ ගාවට වුණත් කලින් යන්න පුළුවන් (හිනා හිනා)
    ඔන්න ඉතින් පවුලේ පින්තූරයක් ගෙනාවාද අනනංමනං අහලා එක පාරටම කිව්වා, ‘කිසි දේකට බය වෙන්න එපා. වැඩි කල් තියෙන්නේ නෑ. තාවකාලික එකක් ඇරිලා යයි. බොරුවට කලබල වෙන්න එපා. ඉක්මනින්ම ඇරිලා යනවා. මම ශූද්ධ වූ වතුර දෙනවා. ඒවා ළමයට පොවන්න. වත්තේ ඉහින්න. ගෙටත් ඉහින්න.’ ලොකු මෙගා කොකාකෝලා දෙකක් පිරෙන්න වතුර දුන්නා. මම මේවාත් අරගෙන කාරෙකට දාලා වයිෆ්ට කෝල් කරලා කිව්වා, බය වෙන්න දෙයක් නෑ, තාවකාලිකයි කිව්වා, ඇරිලා යයි කිව්වා කියලා. වයිෆ්ට හිනා මටත් හිනා සතුටට. ඉතින් එයා කියනවා, ‘ඔයානේ බොරුවට කලබල වුණේ.’ මම කියනවා, ‘මම නෙවෙයි ඔයානේ.’ මේ ෆෝන් එකෙන් වාද. ඉතින් ගෙදර ගියා. අර වතුරෙන් තමයි හොරාට අපි තේ හදලා දුවට දෙන්නේ. වත්තෙත් ඉහිනවා. කියපු විදිහටම කළා. දවස් තුනක් දුන්නා. ළමයාත් බොනවා. හිතටත් හොඳයි. ඇරියා ඉබ්බෝ. මොනවටද ඉබ්බෝ දාගෙන ඉන්නේ මේ තාවකාලික දේට. හතරවෙනි දවසේ මට කෝල් එකක් එනවා. බිරිඳ කියනවා, ‘අනේ සුනිල් දුව පැනලා ගිහිල්ලානේ.’
    ඉතින් මම ගෙදර ඇවිල්ලා යකා. ගෑනිව කන්න හදනවා. ඔයාට බලාගන්න තිබුණානේ. මොනාද කළේ වයිෆ් කියනවා. පැය 24 මම එයා ළඟම ඉන්නද, මට වොෂ් රූම් එකකටවත් යන්න බැරිද කියලා. ඊළඟට මම අර ෆාදර්ට බනිනවා, ඇයි මිනිහා කිව්වානේ ඇරිලා යයි කියලා. ඇරිලා ගියේ නෑනේ. ටික දවසක් ගිහිල්ලා කූල් වුණාම මම වයිෆ්ට කිව්වා. මොනවා වුණත් දුව ගිය එක හොඳයි නේද කියලා. එයා පුදුම වෙලා. ඇයි මම නටපු පිස්සුවට. ඇයි ඒ? එයා අහනවා.
    නෑ. දුව ගියේ නැත්නම් අපි දෙන්නා තව රටේ තියෙන දේවාල, කෝවිල්, පල්ලි, පන්සල් කීයකට යයිද නේද? (හිනා)
    ඒ වුණාට සුනිල් අයියේ නිකං හරි දුව නොගියා නම්.
    හා….. හා….. (හිනා) එහෙනම් මම තමයි කුරුණෑගල පල්ලිය ප්‍රමෝට් කරන්නේ. හා… හා.. ඇයි බං හිතන්නේ ශූද්ධ වතුරෙන් ගොඩගියා කියලානේ.

    මේ ඇබ්බැහිය ලේසි නෑ නේද?
    පැහැදිලිවම. අපි කාලෙන් කාලෙට ඇබ්බැහි වෙනවා. කුඩුවලට සූදුවට ඇබ්බැහි වෙනවා වගේම තමයි සෙක්ස්වලට ඇබ්බැහි වුණත් ගැලවෙන්න බෑ. ඒ වගේම තමයි ආගමට මිථ්‍යාවට ඇබ්බැහි වුණත් ගැලවෙන්න ලේසි නෑ. මොකද හැම එකකම තාවකාලික සතුටක් තියෙනවා. ඒ සතුට සදාකාලික කර ගන්න අපි පොරබදනවා. දුවගෙන් අසරණ වෙලා මම රැවටුණු එක කිව්වාම පල්ලිය මාත් එක්ක තරහා වෙනවා. මිථ්‍යාවට එරෙහි වන එක ලේසි නෑ. මොකද මිථ්‍යාව වපුරවන්නේ ආගමම තමයි. එතකොට ඒක කැරකෙන්නේ ආගමට විරුද්ධවීමක් විදියට.
    මොන දේ වුණත් මේ හැම දෙයින්ම ගැලවෙන්න මට වාසනා ගුණය තිබුණා. මම දැන් නිවැරදි මිනිහෙක්. හැම දෙයක් දිහාම උපේක්‍ෂාවෙන් බලන්න මට පුළුවනි. කර්ම ශක්තිය මට දැන් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මම මගේ ළමයින්ට කියන්නේ තාත්තා කරපුවා දිහා නෙමෙයි, තාත්තා කියන දේවල් තේරුම් ගනින් කියලායි. මොකද මම සුදු චරිතයක් නෙමෙයි. මගේ අතින් වැරදි ගොඩක් වුණා. ඒත් මම ඒ වැරදි හදාගත්තා. හොඳ විදියට ඉන්න ලේසියි. හොඳ විදියට ඉඳලා නරක් වෙන්නත් ලේසියි. හැබැයි නරක විදියට ඉඳලා හොඳ වෙන්න අමාරුයි. ඒකට ලොකු කැපකිරීමක් ඕනෑ. ඒ දේ මම කළා. ඇත්තටම මට අද සමාජය ඉස්සරහට ඇවිත් සමාජයට කියන්න දෙයක් තියෙනවා. මට සමාජයට කියන්න තියෙන්නේ සුනිල් පෙරේරාව අමතක කරන්න, ඒත් සුනිල් පෙරේරා කියන දේ ගන්න. මොකද මේ දේවල් හොඳ ජීවිතයක් එක්ක ගෑවිලා මට්ටු වෙලා වෙට්ටු වෙලා හෙට්ටු වෙලා ගත්ත දේවල්.

    සමාජය ඔය කියන දේවල් අහයිද?
    අහයි.

    මොකක්ද තියෙන විශ්වාසය.
    මට වාසනා ගුණය තියෙනවා. මොකද මම දක්‍ෂයෙක් නොවුණාට වාසනාවන්තයි.
    (ඇත්ත. මටත් හිතෙයි. සුනිල් අයියා වාසනාවන්තයෙකි. මක්නිසාද ඔවුහු අප සනසන්නාහ.)■​

    Code:
    http://ravaya.lk/?p=62552
    ටිරන් කුමාර බංගගමආරච්චි
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලේඩ් එකේ අපිට සුනිල් අයියා දෙන්නෙක් ඉන්නවා.....
    එක සුනිල් අයිය කෙනෙක් සුනිල් මාධව ප්‍රේමතිලක. අපි කතා කරන්නෙත්, අපේ තාත්තලා කතා කරන්නෙත් සුනිල් අයියා කියලා. සුනිල් අයියා කතා කරන්නෙ අපි හැමෝටම මචං කියලා.....
    අනිත් සුනිල් අයියා සුනිල් පෙරේරා. අපි අයියා කිව්වාම කට පුරා මල්ලි කියල කතා කරනවා...මල්ලි සිගරට් එකක් නැද්ද බං? මල්ලි ෂොටක් දාගන්න ඕන, නැද්ද බං කියල බොහොම ලෙංගතුව අහනවා.
    ඔය සුනිල් අයියාල දෙන්නම කෙලින් කතා කරන, කෙළින්, හදවතට එකගව වැඩ කරන මිනිස්සු.....
    මම සිංදු කියන සුනල් අයියාගෙ ලොකු ෆෑන් කෙනෙක් නොවුනට, මම ඔහුට ගරු කරනවා. ඒ අර කෙලින් කතා කරන නිසා.....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලේඩ් එකේ අපිට සුනිල් අයියා දෙන්නෙක් ඉන්නවා.....
    එක සුනිල් අයිය කෙනෙක් සුනිල් මාධව ප්‍රේමතිලක. අපි කතා කරන්නෙත්, අපේ තාත්තලා කතා කරන්නෙත් සුනිල් අයියා කියලා. සුනිල් අයියා කතා කරන්නෙ අපි හැමෝටම මචං කියලා.....
    අනිත් සුනිල් අයියා සුනිල් පෙරේරා. අපි අයියා කිව්වාම කට පුරා මල්ලි කියල කතා කරනවා...මල්ලි සිගරට් එකක් නැද්ද බං? මල්ලි ෂොටක් දාගන්න ඕන, නැද්ද බං කියල බොහොම ලෙංගතුව අහනවා.
    ඔය සුනිල් අයියාල දෙන්නම කෙලින් කතා කරන, කෙළින්, හදවතට එකගව වැඩ කරන මිනිස්සු.....
    මම සිංදු කියන සුනල් අයියාගෙ ලොකු ෆෑන් කෙනෙක් නොවුනට, මම ඔහුට ගරු කරනවා. ඒ අර කෙලින් කතා කරන නිසා.....

    සුනිල් පෙරේරා දක්ශයෙක් නෙමෙයි කියන එක නම් මම එදා ඉදන් විස්වාස කරපු එකක්... ඒ වුනාට මේ මනුස්සයගෙ කෙලින් කතාව තමයි මටත් අල්ලන එකම දේ... :yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපේ වර්තමාන සමාජය වැරදි කල මනුස්සයෙක් කෙතරම් නිවැරදි වුනත් ඔහු දිහා බලන්නේ පරණ පුරුදු විදියටමයි ගොඩක් දෙනා සුනිල් පෙරේරාව දඩුකඳේ ගහන්නේ ඔහු කියන කතා නිසා නෙමේ ඔහුගේ පෙර වැරදි දිහා බලලා මනුස්සයෙකුට නිවැරදි පුද්ගලයෙක් වෙන්න අවස්ථාවක් තියෙනවා කියලා අපේ වර්තමාන සමාජය මොනයම් හේතුවක් මත හෝ තේරුම් ගන්න මැලි කමක් දක්වනවා ? බුදුන් දවසේ අංගුලිමාල තෙරුන් හට දැක්වු ගෞරවය ඒ සිද්ධිය වර්තමානයේ සිදුවුනානම් මේ සමාජය ඒ ආකාරයෙන් ක්‍රියා කරයිද කියන ගැටලූව මට තියෙනවා ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ වර්තමාන සමාජය වැරදි කල මනුස්සයෙක් කෙතරම් නිවැරදි වුනත් ඔහු දිහා බලන්නේ පරණ පුරුදු විදියටමයි ගොඩක් දෙනා සුනිල් පෙරේරාව දඩුකඳේ ගහන්නේ ඔහු කියන කතා නිසා නෙමේ ඔහුගේ පෙර වැරදි දිහා බලලා මනුස්සයෙකුට නිවැරදි පුද්ගලයෙක් වෙන්න අවස්ථාවක් තියෙනවා කියලා අපේ වර්තමාන සමාජය මොනයම් හේතුවක් මත හෝ තේරුම් ගන්න මැලි කමක් දක්වනවා ? බුදුන් දවසේ අංගුලිමාල තෙරුන් හට දැක්වු ගෞරවය ඒ සිද්ධිය වර්තමානයේ සිදුවුනානම් මේ සමාජය ඒ ආකාරයෙන් ක්‍රියා කරයිද කියන ගැටලූව මට තියෙනවා ?

    සීනිබෝල කතා කිව්වා නම් සුනිල් පෙරේරව මිනිස්සු ඉහලින්ම පිලිගනියි.. ඒත් සුනිල්ගෙ කතා වලින් අපේ මිනිස්සුන්ට තමන්ගෙ වැරදි පේන්න ගන්නවා... ඒක නිසා තමයි මේ මිනිහට කට්ටිය ගහන්නේ...
     

    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    අනෙ මුගේ බොරු :angry:බඩු ගහල ගහල වල්කමේ ගිහින් නාකි වෙලා පක පන නැති වෙනකොට ගැනි ගාවට shape වෙනවා, :rolleyes:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සිරාවට..

    you people are wired. he has been talk his politics view that agains you according to your political agenda. this is the reason you people are don't like him. actually nobody likes him that only he is someone who knows what his status and accepted as it is. this man has chosen right path in end. lol you people are going wrong direction until the death and laughing for others like this :rofl:
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    සුනිල් පෙරෙරා. මම නම් එතරම් ගරු කරපු හො ඇතමෙක් මෙන් ගොඩාක් අකමැති කෙනෙකුත් නෙමෙ, එත් මිනිහා කෙලින් කතා කරනවා හෙන ගහන්න වගෙ. ඇත්ත මිනිහාගෙ ගීත වලින් මිනිහාට දක්ෂතාවක් නැහැ කියලා පෙනවා. එත් වාසනා ගුණය උපරිමයි .මතක ඇතිනෙ පොර කාලයක් ටීවී ඇඩ් වල රජ කරගෙන හිටියා. වැඩියෙන්ම හිට් උනෙ අර ලංකා බෙල් එකෙ මතක ඇති "කුරු කුරු Less" ඇඩ් එක. එතනින් පස්සෙ මිනිහා නොසිටිය ඇඩ් එකක් නැති තරම් තාමත් මන් හිතන්නෙ ගොඩක් \ඇඩ්ස් වල පසුබිම් හඬ මිනිහාගෙ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    වැරදි ගොඩක් කරපු මනුස්සයෙක්නම් තමයි..:dull:
    ඒත් හැබැයි බොරුවට වැරදි වහ ගන්න බයිල නොකියා ඇත්තම කියන එක අගය කරන්න ඕනේ..:yes: ඒ වගේම ඒ වැරදි ගැන කතා කරද්දි උනත් හංඟන්න හදන්නේ නැතුව මිනිහා කෙළින් කියනවා...:yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අපේ වර්තමාන සමාජය වැරදි කල මනුස්සයෙක් කෙතරම් නිවැරදි වුනත් ඔහු දිහා බලන්නේ පරණ පුරුදු විදියටමයි ගොඩක් දෙනා සුනිල් පෙරේරාව දඩුකඳේ ගහන්නේ ඔහු කියන කතා නිසා නෙමේ ඔහුගේ පෙර වැරදි දිහා බලලා මනුස්සයෙකුට නිවැරදි පුද්ගලයෙක් වෙන්න අවස්ථාවක් තියෙනවා කියලා අපේ වර්තමාන සමාජය මොනයම් හේතුවක් මත හෝ තේරුම් ගන්න මැලි කමක් දක්වනවා ? බුදුන් දවසේ අංගුලිමාල තෙරුන් හට දැක්වු ගෞරවය ඒ සිද්ධිය වර්තමානයේ සිදුවුනානම් මේ සමාජය ඒ ආකාරයෙන් ක්‍රියා කරයිද කියන ගැටලූව මට තියෙනවා ?
    :yes::yes::yes::yes: