මරණය කියන්නේ එක් රූපයක් තවත් රූපයකට මාරු &#352

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මරණය කියන්නේ එක් රූපයක් තවත් රූපයකට මාරු &#352

ජීවන රටාව හා සසර පැවැත්ම, ජීවිතය හා මරණය, ජීවිතයේ අවසන් දැක්ම, විශ්මිත විශ්වය සිසාරා පෙනෙන ලොවක නොපෙනෙන ලොවක් , විරාමයක් මය මරණය, අශෝක ශිලා ලේඛන, ශ්‍රී සුමංගල ශතකය (පාලි) යන විශිෂ්ට කෘති මෙන් ම ජාතකමාලා, අභිඥානශාකුන්තල නාටකය, රත්නාවලී නාටිකා, බුද්ධ චරිත මහා කාව්‍යය යන පරිවර්තන කෘති ද රචනා කළ අග්ගමහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල නාහිමියෝ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්ධර හිමිපාණෝ වෙති.

අනුරාධපුර භික්ෂු විද්‍යාලයෙන් සාහිත්‍යශූරී උපාධිය ද කැලණිය විද්‍යාලංකාර පිරිවෙනෙන් බෞද්ධ සාහිත්‍යශූරී උපාධිය ද විද්‍යොදය පිරිවෙනින් ශ්‍රී සුමංගල වංසාවතංස උපාධිය ද පිරි නමනු ලැබු උන්වහන්සේ සිංහල, පාලි, සංස්කෘත, ඉංගි‍්‍රසි, දෙමළ, හින්දි යන භාෂා පිළිබඳවත් ජ්‍යෝතිර් විද්‍යාව, ආයුර්වේදය යන විෂය පිළිබඳවත් හසළ දැනුමැති යතිවරයාණ කෙනෙකි.

මෙවර පුන්කලස මුවදොර වදනට උන්වහන්සේ දේශනා කරන්නේ මරණය හා කර්ම සංකල්පය පිළිබඳවයි. මරණය එක්තරා විරාමයක් පමණක් වන බවත් ගන්දබ්බ අවධිය (අන්තරාභවය) මෙන්ම ප්‍රතිසන්ධිගත ජීවිතය ද එක ම සසර ගමනක විවිධ අවස්ථා පමණක් වන බවත් උන්වහන්සේ අවධාරණය කළ සේක.

සත්ත්වයා මරණය මෙනෙහි කිරීම පවා අමිහිරි අත්දැකීමක් සේ සලකනවා. එහෙත් බුදු දහමේ සඳහන් වන්නේ මරණය පිළිබඳව සිහිය (මරණානුස්සතිය) පිහිටුවා ගත යුතු බවයි. වරෙක ඔබවහන්සේ දේශනා කළා මරණය තවත් එක් විරාමයක් පමණක් වන බව.

විරාමය, අවසානයක් නොවෙයි. මා ජීවිතයක් ගතකර මරණයට පත් වූවා කියන්නේ අන් අයගේ තීරණයක් මිස මගේ තීරණයක් නෙවෙයි. මරණය සිදු වුණත් පුද්ගලිකභාවය (අනන්‍යතාව) දිගටම ගමන් කරනවා. එය නවතින්නේ නැහැ. ශ්‍රීපාද කන්දට වැස්ස වැටුණම ඒ එක්වන ජලය එක තැනකදි අසවල් දොළ ය; තව තැනකදි අසවල් ගඟය; තවත් තැනකදි අසවල් ජලාශය ය; ආදි වශයෙන් මුහුදට යනතුරු විවිධ නාම භාවිතා කරනවා. මේ විදියට නම් වෙනස් වුණාට ගමනේ නැවතීමක් සිදුවෙන්නේ නැහැ.

මේ වතුරට හිරු එළිය වැටුණම ඒවා වාෂ්ප වෙලා අහසට යනවා. අහසට යනතුරු වාෂ්ප. අහසට ගියාම එය වලාකුළු වෙනවා. එය නැවතත් රසායනික සංයෝගයකින් වැස්ස ලෙස බිමට පතිත වෙනවා. එවිට එය වැසි වතුර වෙනවා. අපේ මේ සසර ගමනත් ඒ වගෙයි. එකම ගමනේ විවිධ අවස්ථාවන්ට අපි දෙන නම් පමණයි වෙනස් වෙන්නේ. කලෙකදී මනුෂ්‍යයාත්, කලෙකදී දෙවියාත්, තවත් කලෙකදී යක්ෂයාත් ආදි නම් භාවිතා කළත් ඒ ගමනේ ඒකීයත්වය තිබෙනවා. මරණය කියන්නේ එක් රූපයක් තවත් රූපයකට මාරු වීමයි. ඊට සම්මුති මරණය කියල කියනවා
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඔබවහන්සේ මේ විරාමය යන්නෙන් මරණයත් ප්‍රතිසන්ධියත් අතර කිසියම් අන්තරයක් (අන්තරාභවයක්) පිළිබඳව ඇඟවීමක් කරනවා ද?

විරාමයක් ගන්නවා කියන්නේ අපි මැරෙනවා කියන දේට නෙවෙයිනෙ. එහිදී සිදුවෙන්නේ ක්‍රියා පටිපාටියේ යම් කිසි වෙනසක් පමණයි. විරාමය කියන්නේ විඩාව හැරගන්න යම් වෙලාව ගත කිරීමක්. හතරමං හන්දියක නිවසක ඉහළ මාලයේ සිට බලා සිටින කෙනෙකුට ඒ අවට එක නිවසකින් තවත් නිවසකට යන එන අයව පේනවා.

මේ විදියට අපි මනුෂ්‍යයන් ලෙස හඳුනාගත්ත රූපයක් ඇතිව එක් ජීවිතයකින් නික්මීම යි, එවන් ම ජීවිතයක් ආරම්භ කිරීමයි අතර කාලයට යි අන්තරාභවය කියන්නේ. එහෙත් අන්තරාභවය පිළිබඳව ථෙරවාදී බෞද්ධ ඉගැන්වීම්වල නැහැ. එහෙත් ගන්ධබ්බ කියන වචනය භාවිත වී තිබෙනවා. ගන්ධබ්බ කියන්නේත් එකකින් එකකට මාරු වන අවස්ථාවයි. එයත් මේ ගමන් මාර්ගයේම එක් අවස්ථාවක් පමණයි.

“අන්තරාභවය” යන්න බුදු දහමේ පරිහානි යුගයක් වූ මහනුවර යුගයේ දී බුදු දහමට එක් වූ හින්දු සංකල්ප හා වාග් මාලාවෙන් එක් වූ අංගයක් ද?

අන්තරාභවය යන්න ක්‍රි. පූ. 3 ශතවර්ෂයටත් කලින් භාවිතා වී තිබෙනවා. අන්තරාභවය පිළිබඳව තුන්වැනි ධර්ම සංඝායනාවේ දීත් සාකච්ඡා වී තිබෙනවා. ඒ කියන්නේ ඊටත් කලින් මේ සංකල්පයේ භාවිතාවක් සිදුවී තිබෙනවා. මේ පිළිබඳව විවිධ කණ්ඩායම් අතර මතභේද තිබෙනවා.

මරණින් මතු ප්‍රතිසන්ධිය සිදුවන භවය තීරණය කරන්නේ චුතිචිත්තය යි. බොහෝ කුසල් රැස් කළ අයකුගේ වුවත් චුතිසිත දුර්වල වූවොත් ඔහු දුගතිගාමී වෙනවා ද?

ඔය ප්‍රශ්නය බුදුහාමුදුරුවන්ගෙනුත් අසා තිබෙනවා, හොඳින් පින්දම් කළ අය නරක උත්පත්ති ස්ථානවල ඉපදී සිටින්නේ ඇයි කියලා. කර්මවල විපාක ගණනාවක් තිබෙනවා. එහිත් හොඳ හා නරක ඒවා වෙන වෙනම තිබෙනවා. මේ විදියට සංසාරයේදී එකතු වූ දේවල් විශාල ප්‍රමාණයක් පංචස්කන්ධයට එකතු වී තිබෙනවා. ඒ අතරින් අවස්ථාව ලැබුණු එකක් ඉදිරිපත් වෙන්න පුළුවන්. වඩා වැඩියෙන් හොඳ කරපු කෙනෙක්ට නරක දෙයක් ඉදිරිපත් වෙලා විපාක ලැබෙන්නත් පුළුවන්. එහි විරුද්ධ දේ සිදුවෙන්නත් පුළුවන්.

ස්වාමින්වහන්ස, සත්ත්වයා සුගතිගාමී වීමට නම් සුගතිගාමී චුතිචිත්තයක් ප්‍රගුණ කළ යුතු ද?

එහිදී අප පුරුදු පුහුණු කරන දේවල් විශේෂයෙන් බලපානවා. මෙහිදී වඩාත් වැදගත් වෙන්නේ වරදින් නිදහස් වී ජීවත් වීම යි. මෙතනදි වරද කියන්නේ කුමක් ද කියලත් ගැටලුවක් තිබෙනවා. එක ආගමක වරද කියන්නෙ එකකට. තවත් ආගමක වරද කියන්නේ තව එකකට. එය බේරුම් කරගැනීමට මඟක් බුදු හාමුදුරුවො දේශනා කරල තිබෙනවා. තමන්ට හෝ අනුන්ට කරදරයක් සිදුවෙනවා නම් එය පාපයක් හෝ අකුසලයක්. යමෙක් ඒවායින් හිතාමතාම වැළකී සිටිනවානම් හෝ යහපත් දේ කරනවානම් එයින් උපදින්නේ පිනක්.

වැඩියෙන් පින් කළ අය හොඳ ජිවිතයකට යනවා කියල වැඩි විශ්වාසයක් තබාගන්න පුළුවන්. ඒත් ඔබ කියූ ආකාරයට ඒ හොඳ අතරට නරක එකක් ආවොත් තාවකාලිකව නරක දෙයක් වෙන්න පුළුවන්. ඒත් එහි බලය පවතිනකල් පමණයි. මුහුදේ දිය රැලි ගොඩට එන විට එහි තිබෙන හැමදේම ගොඩට එනවා. ඒත් ඒවා ආපසු ගලාගෙන යනවා. තාවකාලිකයි. ඒ නිසා තමන් කළ හොඳ තිබියදී නරක දෙයක විපාක ලැබෙන්න පුළුවන්. ඒක තාවකාලිකයි
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
පින් - පව්, කුසල - අකුසල මේ සියල්ල කර්ම යි. බුදු දහමට අනුව අප පින් අනුමෝදනාවක් සිදු කරනවා. මේ ආකාරයට කර්මය වෙනත් කෙනෙකු වෙත සම්පේ‍්‍රෂණය කළ හැකි ද?

ඔය ගැන “ජීවන රටාව හා සසර පැවැත්ම” කියන පොතෙත් මම විස්තර කරල තිබෙනවා. අනුමෝදන් වීම හා පින් පැමිණවීම කියන්නේ දෙකක්. යම් දෙයක් කරන විට එය අනුමත කිරීමයි අනුමෝදන් වීම කියන්නේ. හොඳ නරක දෙකටම එය පොදුයි. මාළු අල්ලන තැනක බලාගෙන එය අනුමත කිරීමෙන් ඒ කර්ම විපාක කොටසක් තමන්ටත් ලැබෙනවා. එය සිදුවෙන්නේ ඉබේමයි. පින් පමුණු වනවා කියන්නේ තමන්ගේ සිතෙහි නිෂ්පාදනය කරන ශක්තිය තමන් අදහස් කරන කෙනෙක්ට සම්පේ‍්‍රෂණය කිරීමයි. එය කෙනෙක්ට ලබන්න පුළුවන්. පින් පැමිණවීමේදී එය ඔහු ලබාගන්න දෙයක් නෙවෙයි අප දෙන දෙයක් අනුමෝදන් වීම තමාම කරගන්නා දෙයක්.

කර්ම ශක්තියෙන් කොටසක් පංචස්කන්ධයේ බැඳිලා තිබෙනවා. තවත් කොටසක් විශ්වයට සම්පේ‍්‍රෂණය කෙරෙනවා. ඒවාත් ආපසු අප කරා එනවා. මේ විදියට එක තැනක දී කරන දෙයක් ස්වභාවිකව තවත් තැනකට සන්නිවේදනය සිදුවන ක්‍රමයක් විශ්වයේ තිබෙන බව අයින්ස්ටයින් පවා නූතන විද්‍යාවේදී පිළිගෙන තිබෙනවා. විශ්වයට හඬ සහ රූප තරංග මාර්ගයෙන් සම්පේ‍්‍රෂණය කරන ක්‍රම දැනට සොයාගෙන තිබෙනවා. ඊටත් වඩා සියුම් ආකාරයටයි අපේ ක්‍රියාවලින් නිෂ්පාදනය වන දේ අවකාශයට සම්පේ‍්‍රෂණය වෙන්නේ.

ඔබවහන්සේ දේශනා කළ පරිදි පින් පැමිණවීම ගැඹුරු මානසික ක්‍රියාවලියක්. එය පින් වාක්‍ය කීමකට සීමා වෙන්නේ නැහැ නේද?

අප සිතාමතා කරන හොඳ කටයුත්තකදි ඒ පිළිබඳව මානසික වශයෙන් අගනා සිතුවිලි ඇතිකරගත යුතු යි. ඒ අගනා සිතුවිලියි සම්පේ‍්‍රෂණය කළ හැකි වන්නේ. බොහෝ දෙනෙක් පින් පමුණුවනවා කියල අද කරන්නේ වෙන වෙන දේවල්. ඒවායේදී සිතින් නිෂ්පාදනය කරන ස්වභාවයක් නැහැ. ඒවා නිකං නෑදැයො එකතු වෙලා කරන සංග්‍රහයක් වගේ. පින් පමුණුවන්න සිතින් යම් කිසි කර්ම ශක්තියක් නිෂ්පාදනය කරන්න ඕනැ.

තමන් කරගන්නා පුණ්‍ය කර්ම අන් අයට සම්පේ‍්‍රෂණය කළ හැකි වුවත් පාප කර්ම සම්පේ‍්‍රෂණය කළ හැකි නොවන්නේ ඇයි?

අපේ ශරීරයේ එක්ස් කිරණ ඡායාරූපයක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා එක්ස් කිරණ ශරීරය හරහා යැවිය යුතුයි. වර්තමානයේ ශරීර අභ්‍යන්තර ඡායාරූප ගැනීමට සමත් උපකරණ බොහෝ නිපදවා තිබෙනවා. ඒ උපකරණවල තිබෙන ආලෝක කිරණ ශරීරය පසා කරගෙන යනවා. එහෙත් අප භාවිත කරන විදුලි බුබුලක ආලෝක කිරණයකින් එවැනි දෙයක් කළ හැකි ද? අර උපකරණවල ආලෝක කිරණ ඉතා සියුම්. ආලෝක කිරණවල සියුම් බවයි, කෙටි බවයි, උෂ්ණයයි දියුණු වුණාම ඕනැම දෙයක් පසා කරගෙන යා හැකියි.

ඒ ගුණය එන්නේ අණුවල තිබෙන කුඩා බව නිසයි. ඒ වගේ මනසක උපදින ක්‍රියා ශක්තියක් අකුසල නම් එහි තිබෙන්නේ රළු බවයි. එය කුසලයක් නම් එහි සියුම් බව තිබෙනවා. ඒ සියුම් බව නිසා පින සම්පේ‍්‍රෂණය කරන්න පුළුවන්. පව රළු නිසා සම්පේ‍්‍රෂණය කරන්න බැහැ. හරියට පෙට්‍රල් බෝතලයක් විනිවිද පෙනුණට කළු තෙල් බෝතලයක් විනිවිද නොපෙනෙනවා වගෙයි.


ar1101091.jpg

ආචාර්ය බෙල්ලන ඤාණවිමල හිමි