------
Post added on Aug 24, 2021 at 4:04 AM
“ඒකධම්මො භික්ඛවෙ භාවතො බහුලීකතො එකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බාණාය සංවත්තති. කතමො ඒක ධම්මො? මරණ සති" යනුවෙන් අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහි වදාළ පරිදි මහණෙනි, එක් ධර්මයක් භාවනා වශයෙන් වඩන ලද්දේ නැවත නැවත පුහුණු කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස ද සසර නො ඇලී කෙලෙසුන්ගෙන් දුරුවීම පිණිස ද, විශිෂ්ට ඥාන ලැබීම පිණිස ද, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීම පිණිස ද, නිවන් පසක් කිරීම පිණිසද පවතී හෙවත් හේතු වේ. ඒ එකම ධර්මය නම් කවරේ ද? මරණ සතිය මරණය අරමුණු කොට උපන් සිහිය යි.
මරණානුස්සති යනු මරණය පිළිබඳ සිහිය හෙවත් තමා මැරෙන බව නැවත නැවතත් ඊ පිට ඊ පිට නිතර ම තම සිතෙහි උපදවා ගැනීම යි.
මෙය ඉතාම උතුම් භාවනාවකි.
අප්පමායු මනුස්සානං - හීලෙය්‍ය නං සුපොරිසො
චරෙය්‍යාදිත්ත සීසොව - නත්ථි මච්චුස්ස නාගමො
මිනිසුන්ගේ ආයුෂ ඉතා ටිකයි. සත්පුරුෂයා (නැණවතා) එය සුළු කොට නොසිතන්නේ ය. හේ හිස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේ ය. මරණයාගේ නො පැමිණීමක් නැති බැවිනි යනු මෙහි භාවයයි.
අප බුදුරජාණන් වහන්සේ පමණ සිත දියුණු කළ අන් කෙනෙක් දෙවියන් සහිත ලෝකයා අතර නැත. සාරාසැකි කප්ලකක් සිත අන්තිම ඉහළට ම වඩා සර්වඥ (සියල්ල දැනගත්) බවට පත් වූ සේක. එබැවින් මෙ ලොවැ පහළ වූ අසහාය මනෝවිද්‍යාඥයා ද, අධ්‍යාපනඥයා ද, චින්තකයා ද, දාර්ශනිකයා ද ශාස්තෘවරයන් වහන්සේ ද වූ සේක.
ඥානයෙන් අගතැන් පැමිණි පණ්ඩිතෝත්තම වූ මහා කාරුණික වූ ලොව මවිතයට පත් කළ ඉහළ ම පුරුෂෝත්තමයන් වහන්සේ බවට පත් වූ සේක. එබැවින් කරුණා මෛත්‍රීයෙන් සුවඳ කැවුණු මෙලෝ පරලෝ සැපත් සලසා දෙන සව් කෙලෙස් නසා සංසාර විමුක්තියත් සපයා දිය හැකි පණ්ඩිත ගෝචර වූ අසහාය ධර්මයක් දේශනා කළ සේක. පන්සාළිස් වසක් කල් දෙසූ ඒ බුදු දහමෙහි මිනිස් සිත ඉහළට ම දියුණු කැර ගැනීම පිණිස කිය යුතු හැම දෙයක් ම උගන්වා වදාළ සේක.
දානයෙන් (දීමෙන්) වස්තු සම්පත් ලැබෙන බව ද සීලයෙන් සුගති සම්පත් ලැබෙන බව ද භාවනා වැඩීමෙන් ප්‍රඥාව හෙවත් නුවණ ලැබෙන බව ද වදාළ සේක. ප්‍රඥාව නොලබා ජීවිතයේ යථා තත්ත්වයවත් සසර ස්වභාවයවත් තේරුම් ගත නොහැකි ය. සසරින් එතෙර වැ නිවන් සුව ලබන්නට වත් නොහැකි ය.
අනාදිමත් කාලයක සිට සසර ඉපිද මැරි මැරී යන සත්ත්වයා වනාහි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේ පංචස්කන්ධය යි. මේ පස්කඳ නම් වූ රාශි හෙවත් ගොඩවල් පහ ජාතියක් ජාතියක් පාසා ම ඉපිදැ ඉපිදැ වහ වහා බිඳි බිඳී යන බැවින් අනිත්‍යය හෙවත් සදහට නැත. තාවකාලික ය. මේ පස්කඳ ම හේතු ප්රත්යයන්ගෙන් හටගත් බැවින් සංඛතය හෙවත් පටිච්චසමුප්පන්න ය. යමක් සංඛත ද පට්ච්චසමුප්පන්න ද එය දුක් ය යි වදාළ සේක. මේ පඤ්චස්කන්ධය ම දුක් පොදියකි. නො වෙනස්වන ස්ථිර ව පිහිටා සිටින කිසිවක් මෙහි නොමැති බැවින් සත්ත්වයා කියන මේ පස්කඳ ම අනාත්ම යයි වදාළ සේක.
පස්කඳ ම වනාහි 1. අනිච්චතො, 2. දුක්ඛතො, 3. රෝගතො, 4. ගණ්ඩතො, 5. සල්ලතො, 6.අඝතො, 7. අබාධතො, 8. පරතො, 9. පලොකතො, 10. සුඤ්ඤතො, 11. අනත්තතො යොනිසො මනසිකාතබ්බා යනුවෙන් වදළ සේක්. ලෝකයා මනුෂ්‍යයා සත්වයා යයි ව්‍යවහාර කරන මේ පස්කඳ ම:
1. ඇති ව නැති වන බැවින් අනිත්‍ය වශයෙන් ද
2. නිතර ම පීඩා කරන බැවින් දුකක් වශයෙන් ද
3. රිදෙන බැවින් රෝගයක් වශයෙන් ද
4. ඇතුළත දූෂණය වන බැවින් ආබාධයක් වශයෙන් ද
5. ස්වකීය දෙයක් නොවන බැවින් පරකීය දෙයක් වශයෙන් ද
6. ජරා මරණාදියෙන් සිඳී බිඳී යන බැවින් (පලොකතො) විනාශවන දෙයක් වශයෙන් ද
7. හිමියකු නැති දෙයක් හෙයින් ශුන්‍ය දෙයක් වශයෙන් ද
8. තමන් වසයෙහි නො පවත්නා බැවින් අනාත්ම දෙයක් වශයෙන් යැයි යොනිසොමනසිකාරයෙන් හෙවත් මනා නුවණින් නිතර ම මෙනෙහි කටයුතු ය.
කාටත් හොඳ භාවනාවක්
ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනා විසින් නිතර ම භාවනාවක් වශයෙන් වැඩිය යුතු, සිහිකට යුතු කරුණු පහක් බුදු දහමෙහි සඳහන් වේ.
1. ජරාධම්මොම්හි ජරං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා ච පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතේන වා මම ජරාව (දිරාපත්වීම - මහලුවීම) ස්වභාවය කොට ඇත්තෙක්මි, ජරාව නො ඉක්ම වූයෙක්මි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කට යුතු ය.
2. ව්‍යාධිධම්මොම්හි ව්‍යාධි අනතීතොති අභිණ්හං පච්චචෙක්ඛිතබ්බං ඉත්ථියා පුරිසේන වා ගහට්ඨෙනවා පබ්බජතේන වා - මම ලෙඩවීම ස්වභාව කොට ඇත්තෙක්මි. ලෙඩ නො ඉක්මවූයෙක්මි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කට යුතු ය.
3. මරණධම්මොම්හි මරණං අනතීතොති අභිණ්හං පච්චචෙක්ඛිතබ්බං
ඉට්ටියා පුරිසෙන වා ගහට්ඨෙනවා පබ්බජිතෙන වා - මම මරණය ස්වභාව කොට ඇත්තෙක්මි. මරණය නො ඉක්මවූයෙක්මි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කට යුතු ය.
4. සබ්බේහි මේ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා පුරිසෙන වා ගහට්ඨෙනවා පබ්බජිතේනවා– මම මාගේ සියලු ම පි‍්‍රය මනාප ඇත්තන්ගෙන් හා වස්තූන්ගෙන් වෙන්වීම (අහක්වීම) ස්වාභාව කොට ඇත්තෙක්මි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහිකටයුතු ය.
5. කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණො යං කම්මං කරිස්සාමි වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමීති අභිණ්හං පච්චවෙක්කිතබ්බං ඉත්ථියා පුරිසේන වා ගහට්ඨෙනවා පබ්බජිතේන වා - මම කර්මය ස්වකීය කොට ඇත්තෙක්මි. කර්මයට උරුමක්කාරයෙක්මි. කර්මය ප්රභවය හෙවත් හටගත් තැන කොට ඇත්තේක්මි.
කර්මය නෑයා කොට ඇත්තේකමි. කර්මය පිලිසරණ හෙවත් පිහිට කොට ඇත්තේකමි. යම් කල්‍යාණ කර්මයක් හෝ පාපකර්මයක් හෝ මම කරන්නෙම් ද, එයට මම උරුමක්කාරයෙක් හෝ වන්නෙමි යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගිහියකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතරම සිහි කටයුතු යයි වදාළ සේක.
මරණ සති වැඩීමේ ආනිසංස
“මරණසතිං භික්ඛවෙ භාවෙථ, මරණසති භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා”
(අංගුත්තර නිකාය)
මහණෙනි, මරණය පිළිබඳ සිහිය වඩවූ, මහණෙනි. මරණ සතිය භාවිත කළේ බොහෝ කොට පුරුදු කළේ මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. නිවනට පැමිණිය හැකි වන්නේ ය. නිවන් සුව ලබන්නේ යයි වදාළ සේක. මරණ සතිය වඩන විට තරුණ මද, ආරෝග්‍ය මද, ජීවිත මද හා මාන මදයෝ සංසිදෙති. උපාදානයෝ (තදින් අල්ලා ගැනීම) තුනී වෙති. සංවේග බහුල වේ තෙමේ තමන්තතු හඳුනාගන්නට සමර්ථ වේ.
“මරණසතිමනුයුත්තෝ භික්ඛු සත්තං අප්පමත්තෝ හොති” මරණ සිහියෙහි යෙදුණු භික්ෂු තෙමේ, නිතර මැරෙන බව සිහි කරන්නේ මරණයට පළමුව තමා විසින් කටයුතු මෙලෝ පරලෝ වැඩ අප්‍රමාද වැ සැලැකිල්ලෙන් හා උද්යෝගයෙන් වහ වහා කරයි. ඒ ඒ මොහොතෙහි කටයුතු ඉගනීම් ආදී කිසිවක් කල් නොතබයි. මරණාදී විපත්තීන්හි දී ශෝකවීම් ළතැවීම් නැති වැ ධෛර්යයන් හා සිහි නුවණින් කටයුතු කරන බවත් උරග ජාතිකාදියෙන් හා බන්ධුල මල්ලිකා සිටු දේවිය, පේසකාර දුහිතෘ ආදීන්ගේ කථා ප්‍රවෘත්තිවලින් හොඳ හැටි පැහැදිලි වේ.
මරණය පිළිබඳ සිහිය නිතර උපදවා ගැනීමෙන් මරණය අරමුණු කරගෙන සතිය පිහිටන්නේ ය. නැවත නැවතත් සිහි කිරීම් වශයෙන් ලැබෙන ආසේවන ප්රත්යයන්ගෙන් සිත එකඟ වන්නේ ය. නීවරණ විෂ්කම්භන හෙවත් යටපත් වන්නේ ය. ධ්‍යානාංග පහළ වන්නේ ය. මේ මරණානුස්මෘති භාවනාවෙහි යෙදුණු තැනැත්තේ සියලු භවයන්හි අනභිරත සංඥාව ලබන්නේ ය. හෙවත් භවයෙහිමි ඇලුම් නොකරන්නේ ය.
ජීවිත තෘෂ්ණාව හැර දමන්නේ ය. පවට පිළිකුල් කරන්නේ ය. පිනට ලැදි වන්නේ ය. සන්නිධි (රැස්කිරීම්) බහුල නොවන්නේ පරිභෝගයට ගන්නා දේවල් කෙරෙහි මසුරුමල නැත්තෙක් වන්නේ ය. ඔහුට අනිත්‍ය සංඥාව පුරුද්දට යයි. ඒ අනුසාරයෙන් දුක්ඛ සංඥාව ද අනාත්ම සංඥාව ද වැටහෙයි. මරණය පිළිබඳ භාවනා කළෝ මරණාසන්න කාලයෙහි වල් සතුන් - යක්ෂ - සර්ප - සොරුන් - වධකයන් යන මොවුන් විසින් අභිභූත වූවන් වහා තැති ගැනීමට සිහි මුළාවට පැමිණෙත් ද එසේ නොවැ, බියට සිහිමුළාවට නො පැමිණ කලුරිය කරන්නෝ ය. මෙලොවැ නිවන් සුව ලබන්නෝ ය. මේ දිවියෙහි නිවන් සුව නොලද්දෝ නම් මරණින් මතු දෙව් මිනිස් යන සුගතියෙක ම උපදින්නෝ ය.
මරණානුස්සති භාවනාව වඩන ආකාරය
දිනක් අප බුදුරජාණන් වහන්සේ මරණානුස්සති භාවනාවෙන් නිවන් සුව ලැබිය හැකි යයි වදාරා, මහණෙනි, තෙපි මරණස්ති කමටහන වඩන්හු ද? යි භික්ෂූන් විමසූ සේක.
1. එසේ විමසූ කලැ එක්තරා භික්ෂුවක් ස්වාමීනි, මම මරණ සතිය වඩමි යි කී ය. මහණ ඔබ මරණ සතිය කෙසේ වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි. මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි මම රැයක් දවාලක් ජීවත් වෙමි නම් යෙහෙක, එතෙක් කල් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස භාග්‍යවතුන් වහන්සේගේ සස්නෙහි යෙදෙම් නම් මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමිනි, මම මෙලෙස මරණ සතිය වඩමි යි කී ය.
2. දෙවනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩමි’ යි කී ය. “මහණ ඔබ මරණ සතිය කෙසේ වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි, මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි. මම දවාලක් ජීවත් වෙමි නම් යෙහෙක. එතෙක් කල් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙම් නම් මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩමි යි කී ය.
3. තෙවනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩමි” යි කී ය. මහණ ඔබ මරණ සතිය කෙසේ වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි මේ කරුණෙහිලා මට මෙබදු සිතක් වෙයි. යම් පමණ කලෙකින් එක් පිණ්ඩපාතයක් වළදමි නම් එතෙක් කල් ජීවත් වන්නේ නම් යෙහෙක. සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙමි නම් මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩමි යි කී ය.
4. සව්වනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩමි” යි කී ය. මහණ. කෙසේ ඔබ මරණ සතිය වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි, මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි. යම් පමණ කලෙකින් සතර පස් පිඬක් අහර වළඳම්ද එතෙක් කල් ජීවත් වන්නේ නම් යෙහෙක. එතෙක් සෝවාන් ආදී බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩම් යි කී ය.
5. පස්වනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩම්” යි කී ය. මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නෙහි දැ යි විමසූ විට ස්වාමීනි, මට මේ කරුණෙහි ලා මට මෙබඳු සිතක් වෙයි. මම යම් පමණ කලෙකින් එක අහර පිඩක් පසා වළඳම් ද එතෙක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක. එතෙක් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙම් නම්, මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේ ය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩම් යි කී ය.
6. සවනු වැ අන් භික්ෂුවක් ද “ස්වාමීනි, මම මරණ සතිය වඩම්” යි කී ය. මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නෙහි දැ? යි විමසූ විට, ස්වාමීනි, මේ කරුණෙහිලා මට මෙබඳු සිතක් වෙයි. යම් පමණ කලෙකින් ආශ්වාස කොට (හුස්ම ඇතුළට ගෙන) ප්‍රශ්වාස (හුස්මපිට කිරීම) කෙරෙම්ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කෙරෙම්ද එතෙක් කල් ජීවත් වන්නේ නම් යෙහෙක. එතෙක් සෝවාන් ආදී ආර්ය මාර්ගාවබෝධය පිණිස සස්නෙහි යෙදෙම් නම්, මවිසින් බොහෝ මහණකිස කරන ලද වන්නේය. ස්වාමීනි, මම මෙලෙස මරණ සතිය වඩම් යි කී ය.
------
Post added on Aug 24, 2021 at 4:05 AM