"මසැසින් නොව මනැසින් ලොව දුටු සොඳුරු මිනි

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    "මසැසින් නොව මනැසින් ලොව දුටු සොඳුරු මිනි

    download.jpg


    "තමන් නොදුටු ලෝකය ගැන තම හදවතේ මතු වූ අදහස් ලියා,තනු නිර්මාණයකර, හඬගා කී,ඒ අපූරු මිනිසා හෙන්රි කල්දේරා නම් වූ අපුරු කලාකරුවාට උපහාරයක් පිණිසයි............"

    1937 අගෝස්තු මස 19 වෙනි දින පවුලේ කුළුඳුල් දරුවා ලෙස ඉතා නිරෝගී දරුවකු වශයෙන් හෙන්රි කල්දේරා නම් කුඩා බිළිඳා මෙලොව එළිය දුටුවේය. ඉපදී දින කිහිපයකට පසුව රෝහලේ පසුවූ හෙන්රි කල්දේරා බිළිඳා රෝහලේදී සිදුවූ යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් හෝ කුමක් හෝ නොදන්නා කරුණක් නිසා පසුකලෙක පුර්ණ අන්ධ භාවයට පත්විය. ඔහුගේ අන්ධ භාවයට නොයෙකුත් ප්‍රතිකාර කළද ඉන් ඔහුගේ පෙනීම ලබාගත නොහැකි බව ඔවුන්ට ප්‍රත්‍යක්ෂ විය.
    තමන්ට ආබාධිත දරුවෙකු සිටින බව පිළිගැනීමට සූදානම් නොවූ ඔහුගේම පියාණන්ගේ අණසකට යටත්ව නිවසේ කුඩා කාමරයක තනිවම සිරගත වීමට සිදුවූ කුඩා හෙන්රි කල්දේරාට බාහිර ලෝකය සමග කිසිඳු සබඳතාවයක් ගොඩ නගා ගැනීමට සිය පියාගෙන් බිඳකුදු අවසරයක් නොලැබුණි. ඔහුගේ මුළු ලෝකයම සිය ආදරණීය මවටත් සහෝදරියන්ටත් පමණක් සීමා වූ අතර සිය පියා නිවසේ සිටින විටදී තම කුඩා කාමරයෙන් එළියට ඒමට පවා ඔහුට අවස්ථාවක් නොලැබුණි.ඔහුගේ ඥාති සහෝදරයෙකු විසින් තනා දුන් පළිඟු (ක්‍රිස්ටල්) ගල් සහිත රේඩියෝ යන්ත්‍රය ඔහුගේ හොඳම මිතුරා විය. ඔහු එම පළිඟු (ක්‍රිස්ටල්) ගල් සහිත රේඩියෝ යන්ත්‍රයට දිවා රෑ සවන් දුන්නේ එයින් විකාශනය වන සෑම සියළු දෙයක්ම ග්‍රහණය කර ගනිමිනි. එයින් ඇසෙන ඔහුට නොතේරුණ දෑ තම සහෝදරියන්ගෙන් අසා දැන ගත්තේය. එමතුද නොව ඔහු එකී සහෝදරියන් කියවන සිංහල ඉංග්‍රීසි නවකතාවන් ද ඔවුන් ලවා කියවාගෙන ඒවාට සවන් දුන්නේය. ඒවායින් බිඳෙන් බිඳ ජීවිතාවබෝධය ලැබූ ඔහු පියාගේ අණසකට යටත්ව බිත්ති හතරකට කොටුවී සිටීමෙන් නිදහස් වීම සඳහා පියාගේ අණසකට අභියෝග කරන්නට විය.
    ඔහුට සැමදා එක ලෙස ආදරය කළ දයාබර මෑණියන්ගේ සහ සහෝදරියන්ගේ දයා කරුණාව මැද ළමා වියේ මුල් අවධිය ගෙවූ කුඩා හෙන්රි ඉන් අනතුරුව පියාගේ විරසක භාවය නිසාම සිය මවගේ සහෝදරියගේ නිවසේ ජීවත් වීමට ගියේය. එහිදී දයාබර වූ මවගේ සොහොයුරියත් ඇයගේ ස්වාමි පුරුෂයාත් හෙන්රිට ඔවුන්ගේ නිවස වඩා සෙනෙහෙබර හා සුරක්ෂිත නවාතැනක් බවට පත් කළ අතර ඒ නිවසේ විසු හෙන්රිගේ දයාබර ඥාති සහෝදර සහෝදරියන් හෙන්රිට ඔහුගේ නිවසේදී අහිමිවූ බොහෝ දෑ ලබා දුන්නේය. මෙසේ තම ළමා වියේ දෙවන අදියර සුවසේ පසු කළ හෙන්රි නැවතත් සිය පියාගේ අණසකට යටවුණු නිවසට ගිය ද සිය පිය සමඟ වූ නොනවතින අරගලය එලෙසම පැවතුණි.
    අවුරුදු 29ක් වයසැති හෙන්රි ඉන් පසු බලහත්කාරයෙන් සිය නිවසින් පිටවී සීදුවේ අන්ධ විද්‍යාලයට ගියේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමේ අදිටනිණි. එවකට අන්ධ විද්‍යාලයේ විදුහල්පති හෙන්රිගේ පියාගේ ලිඛිත කැමැත්ත නොමැතිව පාසලට බඳවා ගැනීම රජයේ නීති රීති වලට පටහැණි බව පවසමින් ඔහු බඳවා ගැණීම ප්‍රතික්ෂේප කළේය. මෙහිදී තමා අවූරුදු 29 ක් වයසැති වැඩිහිටි තරුණයෙකු බැවින් තමා සම්බන්ධව තීරණ ගැනීමට තම පියාගේ අවසරය අනවශ්‍ය බව පවසමින් හෙන්රි විදුහල්පතිතුමාගේ මතය හා රජයේ රෙගුලාසිය අභියෝගයට ලක් කළේය. ඔහුගේ එම ස්ථාවරය නිසාම හෙන්රිව අන්ධ විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට බලධාරීන්ට සිදු වූ අතර ඒ සමගින් ඔහුගේ ජීවිතයේ තුන්වැනි ඉපදීමක් වැනි වූ පරිච්ඡේදයක ආරම්භය සළකුණු විය.

    (ඊ මෙලකින් උපුටා ගැනීමකි )
    ---------------------------------------------------------------------------------


    01.මෙලොව තිබෙන අමිල නිමල මධුර සැප එපා...

    මෙලොව තිබෙන අමිල නිමල මධුර සැප එපා...
    උදය සවස වැළඳ වඳිමි අම්මෙ ඔබෙ දෙපා...
    මා ඉපදුණු දා කුළුඳුල් සෙනෙහස පිරුණේ
    සුදු පැහැ ගැනුනලු රතු රුධිරය සතු අරුමේ
    සුව දෙයි මව තුරුලේ චන්දන තුරු අරණේ
    සරනා තුරු සසරේ මට ඔබමයි සරණේ....
    අගනා මහිමය හදුනණු පිණිස නැත යෙදුම්
    නොමියන ගුණයට කරමි ද කෙලෙස මා පිදුම්
    හද බැති මල් පුදමී වැඳ දොහොත දී මුදුන්
    අම්මේ ඔබමයි මා සසරෙහිදි දුටු බුදුන්....

    පද රචනය - කුසුමා සූරිආරච්චි
    තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    02.හඬන්නෙපා අම්මේ

    හඬන්නෙපා අම්මේ
    හඬන්නෙපා අම්මේ
    තවත් සඳක් ගෙට පායා එන දා
    හඬන්නෙපා අම්මේ
    මනාල පෙනුමෙන් මා බබළනවා
    නෙතින් දකින්නට පෙරුම් පිරූ ඔබ
    සුදු මුව හකුලා එපා අඬන්නට
    කඳුළු දරාගෙන ඔබේ නුවන් අග
    හඬන්නෙපා අම්මේ...
    බිරිඳක් කැන්දන් ආවට අම්මේ
    ඔබේ පුතුගෙ නැහැ වෙනසක් වෙන්නේ
    සොඳුරිය මා දා ඉවත ගියාදෙන්
    ඔබට නොමැත වී මැන මම දෙන්නේ
    හඬන්නෙපා අම්මේ...

    පද රචනය තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    03.මවගෙ මළගම නිමවිණැයි

    මවගෙ මළගම නිමවිණැයි
    එතැන දනකට ඇරැයුමයි
    කුළඟනක වෙත පින් පිදෙන්නට
    පිහිට එහෙනම් මා තමයි

    එදා මැදුරට යද්දි මතකයි හැඳි ගැටුණු හඬ සවනතේ
    කවුළුවෙන් ආ සුවඳ දිව්වා දුබල ගත රස නහරතේ
    එසඳ කොලුවෙකු මුදා එව්වා මුර පැටව් දම්වැල් වුණා
    මගේ සියොළඟ සලිත වෙද්දී කිසිත් නැති වග පැවසුණා

    එවන් මැදුරේ මෙදා දන්දෙති අහෝ කරුණා දුක දරන්
    බුදුන් දෙවියන් මුදුන් කරවා යදියි සුඛ විහරණ වරම්
    එදා මා පිටු දුටු අයෙක්මයි මෙදා ආවේ මා සොයා
    හිඟන්නන් දානෙකට ඕනෑ අහෝ ලොව දහමක නියා

    පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා
    (70 දශකයේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් තැටිගතකර ප්‍රචාරය කළ මෙම ගීතය , වැඩසටහන් අනුමත කිරීමේ මණ්ඩලය විසින් දෙවනුව පරික්ෂාකර තහනම් කරන ලද ගීතයකි.)

    04.පෙනුණු සුව දසුන්....

    පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
    දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
    යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
    ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

    සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
    වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා
    සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මඟහැරී
    මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී

    ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
    සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
    සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා
    ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

    හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි
    ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී
    පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී
    මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි

    පද රචනය , තනුව සහ ගායනය - හෙන්රි කල්දේරා

    05.ලංකා මගේ ලංකා

    ලංකා මගේ ලංකා
    සොඳුරු ලංකා මිහිරි ලංකා
    සමනොල මුදුනින් ලැබදෙන සෙවනින්
    සුවය විඳින ලංකා
    මහවැලි කැළණිය කලුද වලවෙ දිය
    සිහිල කැවුනු ලංකා...
    ලංකා මගේ ලංකා
    සොඳුරු ලංකා මිහිරි ලංකා..
    තෙද ඇති විරුවන් හෙල රජ දරුවන්
    ලැබූ පිනැති ලංකා...
    එවැනි උතුම් ඔබ නමට බැතින් හෙලු
    පොහොර ගුණැති ලංකා...
    ලංකා මගේ ලංකා
    සොඳුරු ලංකා මිහිරි ලංකා..
    රුදුරු වුවන් මැඬ රටට දැයට වැඩ
    සදනු පිණිස ලංකා..
    සසර පුරා නිජ බිම සෙ මගේ ඔබ
    තුරුල පතමි ලංකා..
    ලංකා මගේ ලංකා
    සොඳුරු ලංකා මිහිරි ලංකා..

    පද රචනය තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    06.තත් තත් තත් තාර පැටියා

    තත් තත් තත් තාර පැටියා
    තාත්තා ගෙනා තාර පැටියා
    පුතා මගේ තාර පැටියා
    තාත්ති අතේ දොයි
    තාත්ති අතේ දොයිය පුතේ
    තාත්ති අතේ දොයි....
    කිරට ගියා අම්මි පුතේ
    කිරි එරවා එන්න පුතේ...
    කිරි මුට්ටිය අතින් පුතේ
    ග‍ඟේ වැටී දොයි
    අම්බිලියෝ පිනෝ පිනෝ
    වළං කදක් ගෙනෝ ගෙනෝ
    අන්න පුතේ මුවා වෙලා
    වලාකුලේ දොයි....
    ඔන්න බබෝ ඇතින්නියා
    ගල් අරඹේ සිටින්නියා.....
    ගලින් ගලට පනින්නෙ නෑ
    බබුට බයේ දොයි
    චූටි බබා කෝ කියා
    පුතාට දොයියන්න කියා
    කෝකිලයා අන්න පුතේ
    දිවුල් ගහේ දොයි
    දොමි තරිකිට තාං කියා
    තරිකිට තක දෝං කියා.....
    වැල ගෙඩියත් ආං පුතේ
    ගහෙන් වැටී දොයි
    ඔන්න බබෝ බිලු එනවෝ
    අඬන ළමයි අල්ලනවෝ
    අනේ මෙහේ එන්න එපෝ
    අපේ පුතා දොයි ....

    පද රචනය, සංගීතය සහ ගායනය :- හෙන්රි කල්දේරා

    07.මොකද නගෝ හිමිදිරියෙම

    මොකද නගෝ හිමිදිරියෙම කුඹුකෙ ළිඳෙන් නෑවේ
    පොහොය අදයි වෙහෙර වැඳන් එන්න හිතන් නෑවේ
    කවුද නගෝ ඊයේ හවහ ගෙදර දිහා ආවේ
    මාව අරන් යන්න හිතන්නැද්ද කෙනෙක් ආවේ
    හෙණ එන්නා වාගෙ මොකෝ කතා කරන්නේ
    මට දුන් බහ තව කෙනෙකුට කොහොමද දෙන්නේ
    දුන්නා නෙවෙයි ඉල්ලු නිසයි ඒ බහ දුන්නේ
    ඉල්ලන්නත් කලින් තමයි මේ බහ දුන්නේ
    මුසා බහක් කණ වැටුණ ද ගිලිහුණු කාගේ
    මළගම දැකගන්නටවත් සිතිල ද මාගේ
    ඔහොම තරහ ගන්න ගියොත් වයසට යාවී
    එතකොට තනිවෙන්නෙ නැද්ද ඔබෙ සිරියාවී

    පද රචනය සංගීත නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා
    සහාය ගායනය - අප්සරා ද සිල්වා

    08.පෙමින් බැඳෙන්නයි

    පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි
    මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා
    ළඟින් ඉඳින්නයි නිරතුරු පැතුම් පතන්නයි
    මෙයින් මතූ කරන්නෙ නෑ ආයාචනා....
    දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
    පැතුම් බිඳී දුකින් තැවී සුසුම් හෙළන්නේ
    මේකද මේ ආදරේ මිහිර කියන්නේ
    ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
    මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ....
    කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
    තවත් කෙනෙක් අතේ වෙලී තොරන් බඳින්නේ
    මේකද මේ ආදරයේ මිහිර කියන්නේ
    ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
    මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ.....

    පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    09.ඊයේ.... උදයේ....

    ඊයේ.... උදයේ....
    ඔබ පෝරුව මත දුටුවා
    හිතවතෙකු මගේ ඔබගේ
    ඔය සුරත දරා සිටියා
    පුරුදු ලෙස මා ඔබ දකින්නට
    පැමිණ මංගල සිරියකි දුටුවේ
    සබේ කිසිවෙකු ඉබේවත් නැත
    ඇසක් මා දෙස යොමා බැලූවේ
    කිමද මේ අරුමේ....
    මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
    සොඳුර හෙට අප අළුත් ලොවකට
    පා නගන්නට සැරසෙන අතරේ
    එසේ මා දුටු එවන් සිහිනය
    මෙසේ අද මා හිතට වද දේ
    කිමද මේ අරුමේ....
    මට නොහැඟේ ප්‍රිය සොඳුරේ

    පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    10.ඔබ පෑව හස‍රැල්ල

    ඔබ පෑව හස‍රැල්ල මට තේරුනා
    ඒ රන් සිනා ‍රැල්ලෙ රස බේරුනා
    සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා
    ඔය දෑත මට දෙන්න මම ගන්නවා...
    හො‍රැහින් බලා යන්නෙ නොබලා වගේ
    මම දන්නවා සොඳුර මැණිකේ අගේ
    සතුටයි දුකයි හොඳට පුරුදුයි ප්‍රියේ
    මට දෙන්න ඔබෙ ආදරේ
    පිළිගන්න මගෙ ආදරේ...
    හැඟුමක් තිබේ දනිමි සඟවන්නෙපා
    දිලිඳු ඔබේ දෑස හඬවන්නෙපා
    සඳ සේ සිනා සෙන්න සඳමාලියේ
    පෝදාට සඳ පෑ ලෙසේ
    පිහගන්න කඳුලැල් ඇසේ...

    ගී පද , තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    11.කණ විදින වෙලේ

    කණ විදින වෙලේ කඳුළු ග‍ඟේ පතුල බැලූ දූ
    අද සතු‍ටු ග‍ඟේ හිනැහෙනවා දාලා කරාබු....
    අද සතු‍ටු ග‍ඟේ කිමිදෙනවා දාලා කරාබු....
    ආයි දාලා කරාබු...
    පුංචි ටිකිරි පාද තියා
    කණ්ණාඩිය වෙතට ගියා...
    මුවට ලැබුණු අමුතු සිරිය දිහා බලනවා
    බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා
    මුදු බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා
    තරු තුනකට එකම හඳයි
    හද නිලඹර එළිය කරයි...
    තරුයි හඳයි බැබළේවා නිතර දෙවේලේ
    මගෙ රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ
    මුලු රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ
    මගෙ පුංචි කුමාරී
    සුදු දෝණි තුෂාරී.....

    පද රචනය,තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    12.ඔන්න දුවේ හඳ මාමා

    ඔන්න දුවේ හඳ මාමා ඈත ඉඳන් එබී බලා
    පුංචි අමුත්තෙකුයි හොයන්නේ...
    චූටි සිනහ මල් දැකලා සිහිල් සඳේ කැළුම් පෙරා
    දූගෙ සුදූ මූණ සිඹින්නේ...
    සුබ නැකතින් දිය නාගෙන ගෙට ඇවිදිල්ලා
    දෝත පුරා බුලත් අතක් සීයාට දීලා
    සාදු කියා පා වඳින්න සීයගේ ආසිරි ලබන්න
    දෙන බුලතට දෑත දෙන්න සීයා ඉඳීවා....
    කිරිබත් කැටයක් කවන්න දූට ලැබේවා....
    කටු අතු රළු බොරළු තිබෙයි පය රිදවන්න
    තඹ පිත්තල රන සෙ පෙනෙයි ඇහැ රවටන්න
    යන්නෙ කොහේදැයි බලන්න සිහියෙන් පා පොඩි තියන්න
    යහ ගුණ අනුදැන හැදුණොත් දූ සිරිදේවී
    කාගේත් ආසිරි හමුවේ දූ සැරදේවී...

    පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    13.සුහදිනියේ අනංගයා දිනූ කුමාරි

    සුහදිනියේ අනංගයා දිනූ කුමාරි
    වගේම ලස්සනයි මෙදා ළඳේ ඔයා
    මනාලියේ මනාලයා සොයා ඇවිල්ලා
    හිනාවෙලා බලන්න බැල්මකින් දයා
    මනාලියේ....
    විනීත වූ උදාර දූ පුතුන් ලබාලා
    සැපෙන් දිනේ මෙසේ පැතූ පැතුම් දිනාලා
    අනන්ත වූ සිහීන රෑ දුටූ අතීතේ
    සැබෑ වුනා සැපයි රසයි අනාගතේ....
    අලුත් මඟක් කරානෙ පා නඟන්න ඕනා
    දිනූ රටේ උතුම් නමක් තබන්න ඕනා
    අඬන්නෙපා හඬන්නෙපා සුසුම් හෙලාලා
    සිනා සිසී මඟුල් ගමන් වඩින්නකෝ....

    පද රචනය,තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    14.සනහසේ සිහිල් නිල්ලේ ලියලවූ දයා දල්ලේ

    සනහසේ සිහිල් නිල්ලේ ලියලවූ දයා දල්ලේ
    මල් පිපී සුළං රැල්ලේ සැලි සැලී පෙනේවී
    මා ඔබේ කියා කීවේ මුව නැඟූ රිදී රාවේ
    මට ගෙනා නැවුම් තාවේ දිවි තුරා රැඳේවී
    ඔය නුවන් තලාවේ මා පැතූ දයාවයි
    මුව පුරා පෙනෙන්නේ ආදරේ හිනාවයි
    දුක සැපේ දෙවේලේ ඔබ ළඟින් ඉඳින්නයි
    රෑ දිවා පතන්නේ ඔය හදේ දිලෙන්නයි
    පෙම් තොරන් තනාලා පුන්කළස් තියාලා
    පෝරුවේ නැඟීලා අප ළඟා කෙරේ දෝ
    සැඩ සුළං හමාලා පෙම් පහන් නිවීලා
    සෝ සුසුම් නැඟීලා අප වෙනස් කෙරේ දෝ

    පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා
    සහාය ගායනය - අප්සරා ද සිල්වා

    15.සිසිල සැඳෑවේ

    සිසිල සැඳෑවේ මේ අමාවකේ ගුවන් ගැබේ
    සඳක් නැඟී වාගේ නොපැතූ රුවක් පෙනේවී
    දැනේ සුගන්දේ මල් වෙතින් නොවෙයි ඔයාගෙනුයි
    හොරේ මොකෝ හා හා කොයිබද ළඳේ සවාරී
    සුන්දර සුපුන් සඳේ රිදී කැළුම් නාලා
    මල්මද බිසවු වගේ නුරා රැඟුම් පාලා
    සැරසී අගේට පා සුරංගනා ලීලා
    ගොම්මන් වෙලේ ඔයා මෙහේ කොහේ දෝ
    තවමත් මගේ ලොවට සඳක් නැගී නෑනේ
    ඔබ මට සුපුන් සඳක් වෙන්න මගේ නෑනේ
    හා හා අගෙයි ළඳේ සිනහ පෙනෙයි මූණේ
    පොඩි පැල්පතක් තනා කතා කරන්නම්

    පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    16.සමනොළ සිරිපා

    සමනොළ සිරිපා සිඹ සිඹ බැතිබර වැඳුමක යෙදී
    අන්න පුතේ හිරු දෙවියෝ මිහිමත මෙහෙයට වඩී
    මොළකැටි අත් පා සලමින් කිරි කැටි පොඩි මුව අයා
    මා නොදකින විසිතුරු ගැන මට පවසනවද ඔයා
    පුතු ඉපදුණු දිනේ මමත් නොලද නුවන් ලැබුවා
    මට නොපෙනෙන උදා කිරණ මගේ පුතා දුටුවා
    ඒ දෙනුවන් සිහි නුවණින් යොදවා දැය සමය නමින්
    මගෙන් රටට නොකෙරුණු ටික ඉටු කරන්න පුතුණේ....
    අතීතයක් නැති අයෙකුට හෙටයි දිනක් නෑඟේ
    හෙවනට සිටි ගස සමරනු ගල කෙටු ඉර වාගේ
    පිබිදෙන මල් දැක නොතලා පුබුදන් පුත පිනි ඉහලා
    වැටුණු අයට පා නොම දී සුරත දෙන්න පුතුණේ...

    පද රචනය , තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    17.සඳ අරන් ඇවිල්ලා

    සඳ අරන් ඇවිල්ලා
    පුද දෙන්න බෑ ප්‍රියේ
    නොඉඳුල් සිතින් හොවන්නම්
    සැනැසුම් අමා දියේ....
    සසර වාලුකාවේ මා තනිව හැසුරුණා
    පෙළුණු හිත දයාවක සිහිලසට මුසු වුණා
    අතැර මා නිසා ලද හැම ඉසුරු සැප සුවේ
    පිදුව පෙම නිසා දෙහදක අනගි මුතු මැවේ
    අසරණව මුලා වුණු දුක'ඳුරු වනාන්තරේ
    අද සසරණයි උදාරයි අප දිවි කතන්දරේ...
    නමට නොව ඔයා මිල කළ නොහැකි මැණිකකී
    පෙමට පිදූ මේ මට දිවි උවද දිය හැකි
    සසර බැමි කඩාලන තුරු එකට මේ වගේ
    තබමු අපි ප්‍රියේ පියවර සසර මග දිගේ
    අසරණව මුලා වුණු දුකඳුරු වනාන්තරේ
    අද සසරණයි උදාරයි අප දිවි කතන්දරේ...

    පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    18.හිනාවෙයන් සුදු සමන් මලේ නුඹ

    හිනාවෙයන් සුදු සමන් මලේ නුඹ
    රිසි ලෙස පෙති විදහා
    බොළඳ නෑ ඔබ චපල නෑ ඔබ
    සුන්දරයි කුසුමේ....
    අහිංසක කුසුමේ....
    සැණින් උනුවන ඔබේ හදවත
    වෙණ තතක් නම් එය වැයූ අය
    වැයුම වැරදියි වෙණ වැරදියැයි
    ලොවට හඬගාලා කීවා....
    ඔබ බොළඳ බව කීවා
    හිනාවෙයන් සුදු සමන් මලේ.......
    ඔබෙන් හැඩි දැඩි පා දොවාගෙන
    දරනු බැරි බර ඔබට පටවා
    පැතුම් වැරදියි ඔබ වැරදි යැයි
    ලොවට හඬගාලා කීවා.....
    ඔබ චපල බව කීවා
    හිනාවෙයන් සුදු සමන් මලේ.......

    පද රචනය,තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    19.මේ පොඩි ඔරුව මගේ

    මේ පොඩි ඔරුව මගේ
    සුරකියි දිවිය මගේ
    මෙ ගඟේ මමයි එහා මෙහා පදින්නේ
    යන එන සියලු දෙනා ඔරුවෙන් එගොඩ වුණා
    වොමියේ තමයි මගේ සතේ තියෙන්නේ
    තොටියෝ..........තොටියෝ.........
    එගොඩ මෙගොඩ දෙගොඩ බලා පදින්නේ
    වෙහෙස දැනෙයි මොකද කරන්නේ
    අඹු දරුවෝ මෙගොඩ තැවේ ගඟට මගේ දිවිය ගෙවේ
    ඝන අඳුරේ මං තනියෙන් සරින්දේ
    අනේ සරින්දේ
    නැගී වරෙන්නේ......
    එගොඩ ගොඩේ කවුදෝ මුර දෙවන්නේ
    කළබල ඇයි හනිකට එන්නේ
    තද සුළඟේ තරම කියා ගෙනා පහන නිවී ගියා
    ඝන අඳුරේ මං තනියෙන් සරින්දේ
    අනේ සරින්දේ
    නැගී වරෙන්නේ......

    පද රචනය , තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    20.මිදුලේ සුදුවැලි තලයේ......

    මිදුලේ සුදුවැලි තලයේ මිරිවැඩිසඟලක සලකුණු
    දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ
    මා නිවසෙහි නැති අතරේ කවුරුන් හෝ පැමිණ ති‍බේ
    කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ....

    බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරු ද අසනීපෙනි
    මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
    ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා
    තිබුණා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා....

    අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩවැදුණා
    මගෙ නෙත ගත සිත වෙහෙසූ රහස හෙලිවුනා
    මගේ පාවහන් පළඳා සුරතල් පුතු ඇවිදිනවා
    පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුනා
    එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුණා

    පද රචනය - ප්‍රේමරත්න පළිහවඩන
    තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    21.මල් නටු වැනි පොඩි දෑත දෙපා

    මල් නටු වැනි පොඩි දෑත දෙපා
    තලන පුතණ්ඩි
    මගෙ අතට වෙලා ඇයිද පුතා
    මේ හැටි චණ්ඩි
    විසිතුරු කෙළිබඩු නැතුවට
    පොල් කටු බෙලි කටු අරගෙන
    සුර කුමරුන් නොදකින සුරලොවක වදිනවා
    සව්සිරි නොපතා සෙනෙහෙ පතා සුරතල් වෙනවා
    මෙදියත කිසිවෙකු නොදන්න
    අමුතු කතාවක් කියන්න
    ඇඟිලි තුඩින් වැලි පොළවේ අකුරු ලියනවා
    පොඩි ටිකිරි මුවින් බොළඳ වදන් වැල් ගිලිහෙනවා
    දුක දුරුකර දෙවියෙකු සේ
    බිය පලවා විරුවෙකු සේ
    රට දැය සමයට එක සේ අත හිත දෙන්නයි
    එක පැතුම මෙදා පුතු මතු දා මිනිහෙකු වෙන්නයි

    පද රචනය, තනු නිර්මාණය සහ ගායනය- හෙන්රි කල්දේරා

    22.ඈත හිමේ රන් සමනල කන්ද නඟින්නා

    ඈත හිමේ රන් සමනල කන්ද නඟින්නා
    අපි ඈත හිමේ රන් සමනල කන්ද නඟින්නා
    අග්ගලා කන් දෝං පුතා
    සූකිරි කන් දෝං පුතා
    මෙන්න මෙතැන තැනිතලාව
    කෝපි බොන්ඩ හොඳ වෙලාව
    අපේ බුදුන් අපි වඳින්ට
    ඉහළ යන්ට හොඳ වෙලාව
    ඈත හිමේ රන් සමනල කන්ද නඟින්නා
    අපි ඈත හිමේ රන් සමනල කන්ද නඟින්නා
    දඹේ නඟින් දෝං පුතා
    හිමේ නඟින් දෝං පුතා
    අපේ බුදුන් අපි වැන්ඳෝ
    පෙරළි පෙරළි අපි වැන්ඳෝ
    සුමන සමන් දෙවි පිහිටෙන්
    ගමට යන්න දැන් යමුදෝ
    ඈත හිමේ රන් සමනල කන්ද බසින්නා
    අපි ඈත හිමේ රන් සමනල කන්ද බසින්නා
    අග්ගලා කන් දෝං පුතා
    සූකිරි කන් දෝං පුතා

    ගී පද තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා

    DOWNLOAD ALL
     
    Last edited:

    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    adooo pattai machan.... mamath henri kalderage sindu walata kamati... meya sunflower ekka gahapu cassette eka godak prasidda una...
     
    වටින post එකක්...Tfs..

    පොඩි දෙයක් එකතු කරන්නම්...Crystal radio set ගැන...

    Crystal radio එක radio වල සරලම ආකාරය...භාවිත කරන්න විදුලි සැපයුමක් අවශ්‍ය නෑ, Radio waves වල ගබඩා වුන ඉතා කුඩා විද්‍යුතය මඟින් ක්‍රියාකරන උපකරණයක්...audio output එක ලැබෙන්නෙ earphone එකකින්. ඒ කාලයේ ගොඩක් ජනප්‍රිය ශ්‍රව්‍ය මාධ්‍ය යෙදවුමක්.

    Crystal කියන යෙදුම එන්නෙ ස්ඵටික කියන තේරුම ඇතුව...crystal radio එකක වැදගත්ම කොටස තමයි crystal detector එක. ඒකෙන් radio waves ග්‍රහණය කරගෙන ඒකෙන් ac current එකක් නිර්මාණය කරගන්නව. ඒක ඍජුකරණය කරලා earphone එකකින් ශ්‍රවණ තත්ත්වය ඇතිකරගන්නව. ස්ඵටිකය නිර්මාණය කරන්න silicon,germanium, iron pyrites (iron disulfide (FeS2)/fool's gold), galena (lead sulfide (PbS)),carborundum(silicon carbide (SiC))graphite සමහර විට රත්‍රං යොදාගන්නව. මුල් කාලේ නිපදවපු semiconductors වලින් එකක්.

    800px-Vintage_Arrow_Germanium_Crystal_Radio_%2823708349181%29.jpg


    ඔය තියෙන්නෙ '70 දශකයේ ප්‍රචලිත crystal radio set එකක්...ඔය ක්ලිප් එකක් එක්ක වයර් එකක් තියෙන්නෙ ඇන්ටෙනා එකක් විදියට අවශ්‍ය වුනොත් පාවිච්චි කරන්න metal එකකට සෙට්කරලා.
     
    Last edited:

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    වටින post එකක්...Tfs..

    පොඩි දෙයක් එකතු කරන්නම්...Crystal radio set ගැන...

    Crystal radio එක radio වල සරලම ආකාරය...භාවිත කරන්න විදුලි සැපයුමක් අවශ්‍ය නෑ, Radio waves වල ගබඩා වුන ඉතා කුඩා විද්‍යුතය මඟින් ක්‍රියාකරන උපකරණයක්...audio output එක ලැබෙන්නෙ earphone එකකින්. ඒ කාලයේ ගොඩක් ජනප්‍රිය ශ්‍රව්‍ය මාධ්‍ය යෙදවුමක්.

    Crystal කියන යෙදුම එන්නෙ ස්ඵටික කියන තේරුම ඇතුව...crystal radio එකක වැදගත්ම කොටස තමයි crystal detector එක. ඒකෙන් radio waves ග්‍රහණය කරගෙන ඒකෙන් ac current එකක් නිර්මාණය කරගන්නව. ඒක ඍජුකරණය කරලා earphone එකකින් ශ්‍රවණ තත්ත්වය ඇතිකරගන්නව. ස්ඵටිකය නිර්මාණය කරන්න silicon,germanium, iron pyrites (iron disulfide (FeS2)/fool's gold), galena (lead sulfide (PbS)),carborundum(silicon carbide (SiC))graphite සමහර විට රත්‍රං යොදාගන්නව. මුල් කාලේ නිපදවපු semiconductors වලින් එකක්.

    800px-Vintage_Arrow_Germanium_Crystal_Radio_%2823708349181%29.jpg


    ඔය තියෙන්නෙ '70 දශකයේ ප්‍රචලිත crystal radio set එකක්...ඔය ක්ලිප් එකක් එක්ක වයර් එකක් තියෙන්නෙ ඇන්ටෙනා එකක් විදියට අවශ්‍ය වුනොත් පාවිච්චි කරන්න metal එකකට සෙට්කරලා.

    Thanks macho