මාරයා එක්ක සන්නා ප්‍රෝග්‍රෑම් එකක් කරලා තිබුන. සන්නා කරපු ප්‍රෝග්‍රෑම්වලින් මං ආසම එකක් ඒක. කවුරු හරි අහන්න පුළුවන් මොකක්ද බං ඒ පිස්සු ප්‍රෝග්‍රෑම් එක, ඩේටාත් අපරාදෙ කියල. ඔව්, ඒ ඩේටා අපරාදෙ තමයි ඒකෙ ලස්සන. ඒ ප්‍රෝග්‍රෑම් එකේ වෙන කිසි දෙයක් නෑ. ඒකෙ තියෙන්නෙ මනුස්සකම.
මාරයා කියන්නෙ මගේ ආධ්‍යාත්මික ගුරුවරයෙක්. මං ගොඩක් දේවල් මාරෙ දිහා බලන් ඉඳලා ඉගෙන ගෙන තියෙනවා. මාරයාගේ ධ්‍යානය තමයි ඇල්කොහොල්. ඌ පරිසමාප්ත වෙන්නෙ මත්වෙලා ඉන්නකොට.
මාරෙයි අපියි ඇසුරු කරපු දවස්වල කාලයට වටිනාකමක් තිබුනෙ නෑ. අපි දවස් ගනං කතා කර කර ගත කළා. ඒ කතාවල දැනුම හෝ මොකක් හරි තේරුමක් හෝ තිබුනෙ නෑ. එහෙම තේරුමක් නැතුව දවස් ගනං ගත කරන්න තරම් පොහොසත්කමක් අපිට තිබුන. අද මට ජීවිතේ දැනෙන ලොකුම අඩුවක් එහෙම පැවැත්මෙන් සම්බන්ද වෙන සංවාද නැතිකම.
අද හැම සංවාදයක්ම අර්ථයකට සීමා වෙලා තියෙනවා. දත්ත, දැනුම, තර්ක, වාද මේවා සංවාද නෙමෙයි. සංවාද කියන්නෙ අනෙකාව දැනීම ඇතුලෙ සිද්ද වෙන රමණයක්. එතනදි වචන පාවිච්චි වෙන්නෙ ඒ දැනීම තවත් ගැඹුරු කරන්න විතරයි. ඒ සංවාද කෙලවරේදි අපිට දැනෙන්නෙ පැවැත්ම පූරණය කරන ආදරයක්.
දෙයක් අවබෝධ වෙද්දි ඇස්වලට කඳුළු එනවා කියල මං විශ්වාස කරනවා. දෙයක් දැනගත්තට එහෙම වෙන්නෙ නෑ. ඒ දැනීම අපේ ජීවිතය ඇතුලට කිඳාබැහැලා ආදරෙන් ස්පර්ශ කරන මොහොතෙදියි අවබෝධය ඇතිවෙන්නෙ. තර්කයෙන් ස්පර්ශ කරන මොහොතෙදි නෙමෙයි.
මාරයා එක්ක සන්නා කරපු සංවාදය මාව ආපහු ඒ ඕනෑතරම් කාලය තිබුනු පොහොසත් ජීවිතේට අරගෙන ගියා. ඒක නොස්තැල්ජියාවක් විතරක් නෙමෙයි. මේ ජීවිතේ දැනෙන කිසි දවසක නොපිරෙන හිස්කම ස්පර්ශ කරලා පෙන්නන තැනක්.
දැන් මට මාරයා මුනගැහෙන්නෙ නෑ. උගේ කෝල්වලට මං ආන්සර් කරන්නෙත් නෑ. කිසිම තරහක් හෝ ආදරේ වෙනසක් හින්ද නෙමෙයි. මගේ මේ ජීවිතේ වේගය එක්ක මාරයා සම්පූර්ණයෙන්ම පිටස්තරයෙක් හින්ද. සින්ක් එක මිස් වෙලා හින්ද.
මේ ආදරනීය සංවාද තාමත් කරන්න පුළුවන් කීප දෙනෙයි ඉතුරු වෙලා ඉන්නෙ. එකෙක් මාරයා. අනෙකා සන්නා. ඊලගට සර්පයා. සන්නාට ඇරනේන අනිත් උන් දෙන්නටම ගැඹුරු විඥාණවාදී දැක්මක් තියෙනවා. සන්නාට ආදරේ තියෙනවා.
එහෙම වෙලාව සහ ඩේටා ප්‍රශ්න නැති, තේරුමක් හොයාගෙන යන්න තරම් දුප්පත් නැති උන්ට පුළුවන් මාරයා එක්ක තේරුමක් නැති කතාව අහන් ඉන්න. ලින්ක් එක පහල ඇති.
Chinthana Dharmadasa
මාර පරාජෙන් පස්සෙ ද ටියුෂන් කරන්න පටන් අරන් තියෙන්නෙ? නැත්නම් ආර්ථික අවපාතෙ නිසා ද?