මාර පාරජය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    බුදු රජාණන් වහන්සේ කිසි කෙනෙකුගේ උපදේශයක් රහිතව තමන්ගේම ඥානයෙන් නිර්වාණය අවබෝධ කරගත් බැවින්ද සියලු පූජාවන්ට සුදුසු වන සේක.

    සසර දුක් නිවා සත්වයා සනසවන ඉතාමත්ම සියුම් ඒ නිර්වාණ ධාතුව තමන් වහන්සේගෙම නුවණින් අවබෝධ කරගැනීම කෙතරම් අසීරුද? අපට අද නිවන් යෑම සඳහා අවශ්‍ය සියළු උපදෙස් තිබියදීත් නිවන් දුටු අයගේ අත්දැකීම් දැක දැකත් නිවන් අවබෝධ කරගැනීම අපහසු වන කල, පරෝපදේශ රහිතව නිර්වාණ ධාතුව නැමැති සසර දුක් නිවන පරමාර්ථ ධාතුවක් ඇතැයි සොයාගැනීම කෙතරම් ශ්‍රේෂ්ඨද ?

    අද රහතන් වහන්සේ කෙනෙකු වැඩ සිටිනවායැයි දැනගන්න ලැබුණොත් අපි කොපමණ නම් ගරු සැලකිලි දක්වමුද ? එසේ වූ කල සම්මා සම්බුද්ධත්වය නම් ශ්‍රේෂ්ඨතම ස්ථානය ලබා ගත් ඒ බුදු පියාණෝ කෙතරම් නම් පූජාවන් ලැබීමට සුදුසුද ?ඒ සම්මා සම්බුද්ධත්වය ලැබුවේද එකලාවමය.

    උන් වහන්සේට උදව් කිරීමට එදා කිසිවෙක් නොවීය.

    එදා බුදු වනදා සිරිමා බෝ සෙවණේ මහ පොළොව පළා ගෙන පැන නැඟි වජ්රාසනාය මත උන් වහන්සේ වැඩ සිටියේ මස් ලේ දියවී ගියත් සම් ඇට පමණක් ඉතිරි වූවත් මියගියත් බුදු වී මිස මෙම ආසනයෙන් නොනැඟිටිමි කියන බලවත් අධිෂ්ඨානය හා චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුවය. එවිට " අද බෝසත් තුමා බුදුවන දවස. ඒ බුදු සිරි බලන්නට යමු " යි කියා දස දහසක් සක්වළ දෙවිවරු බ්‍රහ්මවරු බෝ මැඩ වටා රැස්ව නොයෙක් පුද පූජා පවත්වන්නට වූහ.
    එවිටම වසවර්ති මාරයා " සිද්ධාර්ථ කුමාරයා මා වළක්වද්දීත් ගිහිගෙය හැර ගියා. අවුරුදු හයක්ම මා උත්සාහ කළත් මට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. අද මම බුදුවන්න ඉඩ දෙන්නේ නැහැ" යි වහසි බස් බෙනෙමින් මර සෙනඟ කැඳවා මාර ඝෝෂාව පැතිරවූයේය. ඒ හඬ ඇසූ බියට පත් දෙවිවරු, එසේම බ්‍රහ්මයෝද බෝසතුන් තනිකර දමා පළා ගියහ. ඒ දුටු, ඒ හඬ ඇසූ බෝසතාණෝ, " අද මාගේ පාරමී ශක්තිය තුන් ලොවටම පෙනේවි" යැයි සිතමින් එහිම වැඩ උන් සේක.

    අසංඛ්‍ය ගණන් මාර සේනාව බෝසතුන් කරා දිව එන විට " මේතරම් විශාල පිරිසක් තනි මා සමඟයි සටනට එන්නේ. අද මට මවෙක් වත් පියෙක්වත් නෑයෙක්වත්, මිතුරෙක්වත් කිසිවෙක්වත් පිහිටට නැහැ. දෙවියන් බ්‍රහ්මයන් පවා පළා ගියා. මාගේ පාරමී ශක්තිය මට පිහිට වේ. " යැයි සිතූ සේක. මෙසේ සිතමින් වැඩ උන් බෝසතුන් කරා මාර සේනාව දිව අවුත් බෝසතුන්ගේ ඒ තේජසින් ළංවිය නොහැකි වූයේමය. එවිට මාරයා ඈතින් සිට මහ සුළඟක් මවා මොහු පර සක්වළ ගසමියි සිතා , මහ සුළඟක් මැව්වේය. මහා විශාල ගල් පර්වත පවා ඒ සුළඟට පුළුං රොදක් සේ පාවෙද්දී ඒ සුළඟ බෝසතුන්ගේ සිවුරු කොනක් තරම්වත් සෙලවීමට සමත් නොවීය.
    බෝධීන් වහන්සේගේ එක පත්‍රයකුදු ඒ සුළඟින් නොසෙළිණ.

    තවත් බෝසතුන් එසේම සිටිනු දුටු මාරයා මහා වැස්සක් මවා මහ වතුරෙන් පා කර යවමියි සිතා මහ වැස්සක් මැවීය. දෙකන් පුපුරවන සේ වදින හෙන හඬ විදුලිය හඬ මැද්දේ මහ මෘගසන් වර්ෂාවේ ගස් ගල් පවා පාවී යද්දී බෝසතුන් වෙත පැමිණි ඒ ජලකඳ සොවුරු කොනක් තරම්වත් තෙමාලීමට සමත් නොවීය.

    තවත් හොඳින් වැඩ සිටිනා බෝසතුන් දැක අද මොහු සුණු විසුණු කර දමමියි සිතා මහ ගල් වස්සවන්නට පටන් ගත්තේය. විශාල පර්වත අහසින් අවුත් බෝසතුන් සිරිපා මුල මල් බවට පත්විය.

    තවමත් නිදුකින් වැඩ සිටිනා බෝසතුන් දැක මොහුගේ ඇඟ කපා මරා දමමියි සිතා මහා ආයුධ වැස්සක් වැස්සවීය. ඒ ඉතා තියුණු ආයුධ පවා බෝසත් සිරිපාමුල මල් බවටම පත්විය.

    තව දුරටත් නිරුපද්‍රිතව වැඩ සිටිනා බෝසතුන් දැක ක්‍රෝධයෙන් පිපිරි පිපිරී අද මොහු අළු කර දමමියි සිතා මහා ගිණි අඟුරු වස්සවන්නට විය. ඒ බෝසතාණෝ එදා ඛදිරංගාර ජාතකයේදී පසේ බුදු කෙනෙකුන්ට දානය පූජා කිරීමට යද්දී ඒ දානය දීම වළක්වා හත් දිනක් නිරාහාරව සිටි පසේ බුදුරදුන් මරමියි සිතා ඒ දානය දීමට නොහැකි වන සේ මහා ගිනි ජාලාවක් මාරයා මැවූ විට එදා ඒ බෝසතාණෝ " පිච්චී මැරෙනවානම් මැරුණාවේ, මේ දානය මේ ගිනි මැදින් ගොස් පසේ බුදුරදුන්ට පූජා කරමියි " සිතා ඇවිළෙන ගිනි ජාලාවට පැන්න විට ඒ ගිනි ජාලාව මැදින් බෝසත් සිරිපා පිළිගැනීමට නෙළුම් මල් පැන නැග්ගේය. ඒ එදා එසේ වූ කල මේ බුදු වනදා මාරයා මැවූ මේ ගිනි අඟුරු බෝසත් සිරිපා මූලයේහි කෙසේ නම් මල් බවට පත් නොවී තිබේද ?

    ඊට පසුවත් නිසලව වැඩ සිටි බෝසතුන් දැක ගිනි අළු වලින් මොහු යටකර මරා දමමියි සිතා ගිනි අළු වස්සවන්නට විය. අනන්ත අප්‍රමාණ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට සුගන්ධයන් පූජා කොට ඇති ඒ බෝසතුන්ගේ සිරිපා මූලයෙහි ඒ අළු සුගන්ධයන් බවට පත්විය.

    තවමත් එසේම වැඩ සිටි බෝසතුන් දැක ඉවසිය නොහැකිව කෝපයෙන් දැවුණු මාරයා ගිණි ගත් වැලි වැස්සක් මැවීය. ඒ වැලිද බෝසතුන්ට අනතුරක් කිරීමට සමත් නොවීය. ඊට පසුව ගිණි ගත් මඩ වැස්සක් වැස්සවීය. ඒ කිසිවකට ඒ බෝසතුන්ගේ තබා උන් වහන්සේට සෙවණ දෙමින් වැඩ සිටි සිරි මහ බෝ සමිඳුන්ගේ පත්‍රයකටවත් අනතුරක් කළ නොහැකි වූයේමය.

    තවමත් කිසිම වෙනසක්, කිසිත් බියක් නොමැතිව වැඩ උන් බෝසතුන් දැක මොහු බිය කරවා මරා දමමියි සිතා මහා ඝන අන්ධකාරයක් මැවීය. ඒ මහා බෝසතුන් මව් කුස පිළිසිඳ ගත් කල්හිද මව් කුසින් බිහිවූ කල්හිද අභිනිෂ්ක්‍රමණය කළ කල්හිද දස දහසක් ලෝක ධාතුව හිරු දහසක් පෑව්වා සේ තුමූම ඒකාලෝක වූ කල මේ අන්ධකාරයන් ඒ බෝසතුන්ට කුමක් නම් කරන්නද ? ඒ මග ඝන අඳුරේ බෝසතාණෝ පමණක් දිළිහි දිළිහී බැබළෙමින් වැඩ වෙසෙති.

    ඒ දුටු මාරයා "මොහු මරා දමව්" යැයි මර සෙනඟට කියමින් ගිරි මේඛලා ඇතා බෝසතුන් මරා දැමීම සඳහා තෙමේම මෙහෙයවීය. ඇතුන් කෝටි දහයක කාය බලයක් ඇති ඒ උතුමාණන් ළඟ බිය වූ ගිරි මේඛලා ඇතු බෝසත් පාමුළ වැටිණ.

    එවිට මාරයා තමාගේ බලවත් ආයුධය ඒ චක්‍රායුධය - මහාමේරුවට ගැසුවොත් එය දෙකඩ කිරීමට සමත් මහ මුහුදට ගැසුවොත් මුහුද වියළවාලීමට සමත් ඒ මහා චක්‍රායුධය බෝසතුන්ට දමා ගැසීය. පාපී වූ මාරයා බෝසත් ගුණ නොහඳුතත් සිත් පිත් නැති ඒ චක්‍රායුධය බෝසත් ගුණ හඳුනන්නා සේ ඒ චක්‍රායුධය බෝසත් හිසට කරන ලද වියනක් සේ සිටියේය.

    මේ දුටු මාරයා බැරිම තැන " මගේ ආසනයෙන් නැඟිට පලා යව " යි බෝසතුන්ට කීවේය. මෙතෙක් නිසලව තිබූ දෙතොල් විවර කළ බෝසතාණෝ
    " මාරය, සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇස් ඉස් මස් ලේ දන් දී පාරමී පුරා ලත් මේ වජ්රාසනය තගේ වන්නේ කෙසේදැයි" විමසූ සේක.
    " මමත් පාරමි පුරා තමයි ඔය ආසනය ලැබුවේ. " යැයි මාරයා එවිට කී විට
    " තට එයට සාක්ෂි ඇත්ද " යි බෝසතාණෝ විමසූ සේක.
    එවිටම ඒ සා විශාලම මාර සේනාව
    " අපි සාක්ෂි !අපි සාක්ෂි ! " යි නැඟූ හඬ බඹ ලොව දක්වා එදා ඇසෙන්නට ඇත. මෙවිට මාරයා
    " මෙතරම් පිරිසක් මට සාක්ෂියට සිටිනවා තොපට කවර නම් සාක්ෂියක් ඇත්ද " යි බෝසතුන්ගෙන් විචාලේය. එවිට බෝසතාණෝ
    " මාරය මා පෙරුම් පිරූ බවට මේ සිත් පිත් නැති මහ පොළොව හැර වෙන සාක්ෂියක් මට නැත" යි ඒ ශ්‍රී හස්තය පොළොව දෙසට යොමු කළහ.
    මහ පොළොව කම්පිත කරවමින් පාරමී දහම් පුරා පැමිණි ඒ බෝසතුන්ගේ වචන නිකුත් වෙත්ම තව දුරටත් නිසලව සිටිය නොහැකි වූ මුළු පෘථුවියම වෙව්ල වෙව්ලා සැළෙන්නට පටන් ගත්තේය. මහ පොළොව පළාගෙන එකසිය තිස් හයක් නරකවල ගිණි දැල් බුර බුරා පැන නඟින්නට වන්නේය. මෙවිට මාර සෙනඟ බිය වී පළා ගියහ.

    ඒ බෝසතුන්ගේ ආනුභාවය, තේජස , පුණ්‍ය ශක්තිය කෙතෙක්දැයි කෙසේ සිතා ගන්නද. ?

    මෙසේ අති බිහිසුණු මාර සටන් වලට මුහුණ දී ඒ ජයගෙන එකළාවම සම්මා සම්බුද්ධත්වයට පත්වූ ඒ සම්බුද්ධ රත්නයට කෙතෙක් නම් පුද පූජා කළත් ඇතිවේද ?එසේ හෙයින් ඒ බුදු රජාණෝ සියළු පුද පූජා පිළිගැනීමට සුදුසු වන සේක.
    එබැවින්ම
    "අරහත්" නම් වන සේක...!
    "අරහත්" නම් වන සේක...!
    "අරහත්" නම් වන සේක...!

    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏