මෙහෙමත් හිතන්න පුළුවනි නේද???
හිතන්න, ඔබ රස්සාවක් කරන්නෙ. ඔබ තමයි කොම්පැනියෙ වැඩිම පඩි ගන්න ඉංජිනේරුවා. ඔබේ බොස් ඔබට ඇවිල්ලා මෙහෙම කියනවා.
“බිස්නස් පාඩුයි පුතා... මේ මාසෙ පඩිය ලබන මාසෙ දෙන්නද?“
බොසාගෙ ගෑණිටයි දරුවන්ටයි කොම්පැනි සල්ලි වලින් කාර්, එයා ටිකට් අරන් දෙන්න ගිහිං තමයි පාඩු වෙලා තියෙන්නේ. ඒත් ඔබ මේ තැනට ආදරෙයි. ඒ නිසා මෙහෙම කියනවා.
“හරි සර්... අවුලක් නෑ. මං ශේප් කරගන්නං.“
කොම්පැනියෙ අනිත් අය මේක ගැන දැනගෙන ඔබට ප්‍රශංසා කරනවා. “නියමයි මල්ලී. ඔයා නම් එල කොල්ලෙක්. අපිට ආඩම්බරයි ඔයා ගැන.“
මාස දෙකකට නොවෙයි, තුනකට පස්සෙත් පඩි දීල නෑ. බොසා ඇවිත් මෙහෙම කියනවා.
“පුතා.. ඔයාගෙ මාස තුනේ හිඟ පඩිය අපි මාස දෙකක් ඇතුලත ටික ටික ගෙවන්නම්. අවුලක් නෑනෙ?“
“ම්ම්ම්... හරි සර්“
කොම්පැනියෙ අනිත් අය නැවතත් ඔබට ප්‍රශංසා කරනවා. පිටට තට්ටුවක් දාල හිනාවෙලා යනවා.
මාස දෙකකට පස්සේ, බොසා රෝලක් ගහපු නිසා පඩිය නම් ඒ කියපු විදියට ලැබෙනවා. ඒත් තාම අර ගෑණිට දරුවන්ට වියදම එහෙමමයි. ඒ මදිවට ගෑණිගෙ මල්ලිටත් ජීප් එකක් අරන් දීලා.
තවත් මාස තුනකට පස්සෙ බොසා එනවා.
“පුතා... බිස්නස් පාඩුයි. පඩි අඩු කරන්න වෙනවා“
“බෑ. මට තිබුණු පඩිය එහෙමම ඕන. තව කලින් තිබිච්ච නිලඇඳුම් දීමනාවත් ඕන.“
“මොකක්? තමුසේ දැනගන්නවා තමුසෙ කන්නෙ බොන්නෙ මේ කොම්පැනිය ගෙවන පඩියෙන්. තමුසෙට අයිතියක් නෑ ඔහොම කරන්න. තමුසෙට යුතුකමක් තියෙනව කොම්පැනිය වැටෙන්න යන වෙලාවෙ කැපකිරීමක් කරන්න. හරිය?“
“හරි... මං කැපකිරීම කරන්නං. හැබැයි සර් ඉස්සෙල්ල කැපකිරීම කරන්න. සර්ගෙ වයිෆ්ටයි ලමයටයි මස්සිනාටයි කරන බොරු වියදම් නතර කරල පෙන්නන්න. එතකොට සලකා බලන්නම්.“
ඔබ එහෙම කියලා වැඩ වර්ජනය කරනවා. මේ අතරෙ බොසා හිමිහිට ප්‍රචාරයක් අරිනවා ඔබට හම්බ වෙන වැටුප සහ දීමනා ගැන. බලද්දි ඔබේ මාසික වැටුප ඔබ ලඟට වැඩියම පඩි ගන්න සේවකයගෙ අවුරුද්දක පඩියට සමානයි. ඔන්න ඔය හේතුව නිසා කොම්පැනියෙ අනිත් අයට ඔබව පේන්න බැරි වේගෙන යනවා.
මේ අතරේ කලින් ඔබේ ජොබ් එක කරලා රිටයර් වෙච්ච රණේ අංකල්ට මේ සිද්ධිය ආරංචි වෙනවා. රණේ අංකල් මේ කොම්පැනිය දියුණු වෙන කාලෙ හිටපු පරණ සේවකයෙක්. ඉංජිනේරුවෙක්. කොම්පැනිය නග්ගල ගත්තෙ රණේ අංකල් කිවුවත් වැරදි නෑ. රණේ අංකලුත් කොම්පැනියට හරි ආදරෙයි. කොටින්ම රණේ අංකල්ට තාමත් මේ කොම්පැනිය තමන්ගෙ පවුල වගේ. (අතුරු කතාවක්: ඒ නිසා බොසා කරන පිස්සු වැඩ වලට රණේ අංකල් තැන තැන දොස් කියලා තිබුණා. ඔයින් මෙයින් බොසාත් රණේ අංකල් එක්ක තරහයි.)
රණේ අංකල් සිද්ධිය ආරංචි වෙලා මෙහෙම කියනවා.
“අපි ඒ කාලෙ ඔය කොම්පැනියෙ වැඩ කලේ පඩි සල්ලි බලාගෙන නෙවෙයි. ඒකට දැං ඉන්න එවුං. අච්චර විසඳගන්න ප්‍රශ්න තියෙද්දි මුං අහල තියෙන්නෙ නිලඇඳුම් දීමනාව ගැන. නොදෝමකින්! මාස් රාත්තලමයි ඉල්ලන්නේ.“
මේක අහපු කොම්පැනියෙ අනිත් කට්ටිය මෙහෙම කියනවා: “මාසෙට අච්චරක් හම්බ වෙලත් බලපන්කෝ මුගේ තියෙන ගනකම. ඇයි යකෝ අපිට හම්බ වෙනවද ඔය වගේ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න චාන්ස් එකක්? මුන්ට මතක නෑ මුන් මෙච්චර ලොකු තැනකට ඇවිල්ල ඉන්නෙ ක්‍රිකට් බලන අපි නිසා කියල. මුන්ට දැන් සල්ලි තමයි ලොකු. අයිපීඑල් කිවුවොත් ඉතිං කෙළ හලාගෙන දුවයි. කාලකණ්නි දේශද්‍රෝහී හැත්ත! මුන් ටික ගෙදර යවලා අලුත් කොල්ලො ටිකක් ගන්න ඕන.“
...
පඩි නැතුව මේ දේශද්‍රෝහීන් ක්‍රිකට් ගැහුවා ඔබට මතකද?
නෑ?
මටත් මතක නෑ.
උපුටාගැනීමකි....

