"විශාදය (ඩිප්රෙෂන්) මුල් අවස්ථාවේදී
බෙහෙත්වලින් තොරව සුවපත් කළ හැකිය"
අප සියලු දෙනාම ශෝකී හා මානසිකව බිඳවැටුණු අවස්ථාවලට මුහුණදී ඇත. සමහර අවස්ථාවලදී මෙම මානසික තත්ත්වයන්ට හේතුවක් ඇත. සමහර අවස්ථාවල හඳුනාගත හැකි හේතුවක් නොමැත. මෙවැනි ශෝකී මානසික තත්ත්වයන් කාලයත් සමඟ යථා තත්ත්වයට පත්වන අතර ඒවා අපගේ එදිනෙදා වැඩ කටයුතුවලට බාධාවක් නොවේ. සාමාන්‍යයෙන් මෙවැනි ශෝක තත්ත්වයන් පවුලේ සාමාජිකයන් සමඟ හෝ මිතුරන් සමඟ කථා කිරීම මගින් යථා තත්ත්වයට පත්කර ගත හැක.
නමුත් විශාදය ඇතිවිටදී.
* රෝගයේ මුල් අවධියේදී රෝගියා ශාරිරික රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. (මහන්සි ගතිය, ඇඟපත වේදනාව, හිස රදය.
* වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී සති/මාස ගණන් පවතින ශෝකී බව.
* එදිනෙදා වැඩ කටයුතුවලට උනන්දුව අඩු බව වැනි කරුණු හඳුනා ගත හැක.
* රෝග ලක්ෂණ, රෝගියාගේ එදිනෙදා වැඩ කටයුතුවලට ද බලපෑම් ඇති කරයි.
විශාදයේ සායනික රෝග ලක්ෂණ
* බොහෝ අවස්ථාවල සිතේ සතුටක් නොමැති බව (සවස් කාලය වන විට මෙම අසතුටු බව අඩු විය හැක.)
* කලින් සතුටු වූ කාර්යයන් සඳහා උනන්දුවක් නොමැති බව.
*සැම විටකම පාහේ වෙහෙස බවක් දැනීම.
* ඔහු/ඇය විසින් මීට පෙර කළ කාර්යයන් දැන් කළ නොහැකි බවක් දැනීම.
* කෑම අරූචිය සහ බර අඩුවීම (සමහර රෝගීන්ගේ කෑම රුචිය වැඩිවී බර වැඩිවීම සිදුවිය හැක.)
* නින්ද යැමේ අපහසු බව හෝ පාන්දරම අවදිවීම.
* ලිංගික ක්‍රියාවලට කැමැත්ත අඩුවීම.
* නුරුස්සන සුළු ස්වභාවය.
* කාංසාවේ හා කලබලකාරී බවේ ලක්ෂණ ද බොහෝ විට පෙන්නුම් කරයි.
රෝගියාට හා පවුලේ සාමාජිකයින්ට වැදගත් වන තොරතුරු
* විශාදය සුලබව දක්නට ලැබෙන අතර එය සුව කළ හැකි ප්‍රතිකාර ක්‍රම පවතී.
* විශාදය දුර්වල බවක් හෝ කම්මැලිකමක් නොවේ.
* රෝගයේ අපහසුතා සමඟ ජීවත්වීමට රෝගීහු දැඩි වෙහෙසක් දරති.
* ගර්භනී කාලයේදී හා පසු ප්‍රසව සමයේදී ද මවුවරුන්ට විශාද තත්ත්වය ඇතිවිය හැකිය.
පුද්ගලයන්ගේ එදිනෙදා කටයුතු කිරීමේ හැකියාවට මෙයින් බලපෑම් ඇතිවන අතර, එහි ප්‍රතිවිපාක පවුලට, යහළු මිත්‍රාදීන්ට මෙන්ම සමාජයට, සේවා ස්ථානයන්ට සහ සෞඛ්‍ය සේවාවන්ට විඳීමට සිදුවේ. මෙම රෝගි තත්ත්වයෙහි භයානක කම වනුයේ ස්වයං හිංසනයට සහ සිය දිවි හානිකර ගැනීමට පවා පෙළඹීමට ඇති හැකියාවයි.
ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 800,000 ක් පමණ විශාදයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු දත්ත මගින් පෙනී ගොස් ඇත. ශ්‍රී ලංකාව මානසික සෞඛ්‍ය සේවාව නංවාලීම පිළිබඳව ආසියාතික රටවල් අතර ඉහළ ස්ථානයක සිටියි. එනමුත්, මානසික සෞඛ්‍ය සේවා තවදුරටත් ව්‍යාප්ත කළ යුතු අතර, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අප වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. යහපත් මානසිකත්වයෙන් යුතු පුද්ගලයන් බිහි කිරීම තුළින් රට තුළ අපරාධ, හිංසනය, මත්ද්‍රවය හා මද්‍යසාරවලට ඇබ්බැහිවීම අවම කළ හැකි අතර, මානසික ආතතිය පාලනය කර ගැනීමෙන් බෝ නොවන රෝග වැළඳීමේ ප්රවණතාවයද අඩු කළ හැක.
විශාදය ඇතිවීම වළක්වා ගැනීම සහ නිසි ප්‍රතිකාර කිරීම ඇතුළුව එම රෝගය පිළිබඳව මනා අවබෝධය ක් ලබා තිබීම මගින් විශාදය හා බැඳුණු අපවාදයන් පිටුදැකීමට සහ වැඩි පිරිසක් උපකාර පතා යොමු කිරීමට ඉඩ සැළසේ.
විශාදය සඳහා ප්රතිඵලදායී ප්‍රතිකාර ඇතත් බොහෝ දෙනා එම ප්‍රතිකාර ලබා නොගන්නා බව හෙළිවී තිබේ.
විශාදය මුල් අවස්ථාවේදී බෙහෙත් නොමැතිව සුව කිරීමේ හැකියාව පවතී. එහෙත් රෝගී තත්ත්වය දරුණු වූ විට බෙහෙත් පමණක් නොව චර්යාත්මක ප්‍රතිකාර ඇතුළු මානසික ප්‍රතිකාර ක්‍රම ලබාදීම අත්‍යවශ්‍ය ෙ ව්.
ඔබ විශාදය රෝග තත්ත්වයෙන් පෙළෙන්නේ නම් මෙම ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ යුතුය.
ඔබට විශ්වාසවන්ත වූ පවුලේ සාමාජිකයකු හෝ සමීප මිතුරකු සමඟ ඔබට ඇති වන හැඟීම් ප්‍රකාශ කරන්න.
* නිවැරදි වෘත්තීය සහාය ලබා ගන්න. මෙහිදී සෞඛය සේවකයකු, වෛද්‍යවරයකු හමුවී ඒ පිළිබඳව කථා කරන්න.
* දෛනික ආහාර පෙළ නියමිත පරිදි ලබා ගැනීමටත්, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමටත් පුරුදු වන්න.
* ඔබගේ පවුලේ සාමාජිකයන් හා සමීප මිතුරන් සමඟ නිරතුරුව සබඳතා පවත්වන්න (මෙහිදී විශාදය තත්ත්වයෙන් පෙළෙන අයෙකු තම හැඟීම් ප්‍රකශ කරන විටකදී තමන් කාර්යබහුල බව පවසා ඔවුන්ට ඇහුම්කන් නොදී සිටීමෙන් පවුලේ සාමාජිකයන් මෙන්ම මිතුරන් වැළකිය යුතුය.)
* නිරතුරුව කුමන හෝ ව්‍යායාමයක නිරත වන්න. (කෙටි දුරක් ඇවිදීම වැනි.)
* මනස සන්සුන්ව පවත්වා ගැනීම සඳහා භාවනාවේ නිරත වන්න.
* තමන්ට මුලදී කළ හැකිවූ කාර්යයන්. වර්තමානයේ ඒ අයුරින්ම කළ නොහැකි ලෙස හැඟේ නම් සංකීර්ණ වූ කාර්යයන් කුඩා වූ කාර්යයන්වලට අඩුකර එම කාර්යයන් කරන්න.
* මත්පැන් පානයෙන් වැළකී සිටීම හා නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකි සිටීම සිදුකරන්න. ඒවා භාවිතයෙන් විශාදය දරුණු විය හැකිය.
* ඔබගේ ඉරියව් සෘණ ආකල්පවල සිට ධනාත්මක ආකල්ප දක්වා වර්ධනය කර ගන්න.
* ඔබට සිය දිවි නසා ගැනීමේ හැඟීමක් පහළ වේ නම් වහා අදාළ අංශවල උපදෙස් ගන්න.
විශාදය රෝග තත්ත්වය සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික් රෝහල්, මහ රෝහල්, ශික්ෂණ රෝහල් හා මානසික සෞඛ්‍ය සායන ඔස්සේ ද කොළඹ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (අංගොඩ) හා පුද්ගලික රෝහල් හරහා ප්‍රතිකාර ලබාගත හැකිය.
යොමුවිය හැකි සේවාවන්
විශේෂඥ මනෝ වෛද්‍යවරයකු සේවය කරන මූලික රෝහල් හා ඉන් ඉහළ මට්ටමේ රෝහල්වල සාමාන්‍ය මනෝ වෛද්‍ය සායනවලට අමතරව විශේෂිත (උදා( ළමා සහ යොවුන්, වැඩිහිටි, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා) සායන පැවැත් වේ. අනෙකුත් රෝහල් වල මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍යවරු මානසික සෞඛ්‍ය සායන පවත්වති.
මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වෘත්තිකයන් විසින් තමන් සේවය කරන ප්‍රදේශවල ඇති පාසල්, ළමා නිවාස, වැඩිහිටි නිවාස, රැඳවුම් මධ්‍යස්ථාන, බන්ධනාගාර ආදී ආයතනවලට නිරතුරුව තම සේවය ලබා දෙනු ලැබේ.
සමහර ප්‍රදේශවල පිහිටුවා ඇති ප්‍රජා සත්කාරක මධ්‍යස්ථාන තුළින් මානසික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර, යොවුන් මිතුරු සෞඛ්‍ය සේවා සහ සමාජභාවය මත පදනම්වූ හිංසනයන් සඳහා සේවා සපයන සායන වෙතින්ද මානසික සෞඛ්‍ය ගැටළු ඇති පුද්ගලයන් අදාළ මානසික සෞඛ්‍ය සායන සඳහා යොමු කෙරේ.
* විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා
ජාතික මානසික සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂක
සෞඛ්‍ය අමාත්‍යාංශය