මිථ්යාව මේක ද?
යක්කු ගැන කතා, බලි තොවිල්, සෙත් කවි වස් කවි ගැන කතා අස්සෙ මේ තවත් කතාවක්... මේවා ගැන අපි අපේ හිතවත්තු එක්ක ඇති තරම් කතා කරලා තියෙනවා. ඒ ඔක්කෝගෙ ම පත අට එකට හිඳපු සාරාංශයක් මේ හෑල්ල.
අති මානුෂිකත්වය පැත්තකට තියලා අපේ සංස්කෘතිය ඇතුලෙ ඉන්න යක්කු එක්ක බැඳුණු රෝග සහ ස්වභාවය ගැන පොඩ්ඩකට බලමු ද?
පහුගිය දවසක සමාජයේ කතා බහට ලක් වුණා කළුකුමාර යක්ෂයා ගැන. විශේෂයෙන් කාන්තාවන්ට හානි කරන යක්ෂයෙක්.
කළු කුමාර යක්ෂයා ගොඩක් ප්රචලිත වෙලා තියෙන්නෙ කාන්තාවන්ගේ ලිංගිකත්වය, ප්රජනනය සම්බන්ධ රෝග සමග. කළු කුමාර කියන නමෙන් ම තද නිල් පැහැය / කළු පැහැය ගම්ය කෙරෙනවා.
ආයුර්වේදයේ කලු පැහැය නිවේදනය කරනවා වායු ගුණය. ශරීරයේ චාලක ගුණය බැඳෙනවා වායු ගුණයත් එක්ක. ලිංගිකත්වය, ප්රජනනය කියන කාරණා මේ වායු ගුණයත් එක්කත් අර්ථකථනය වෙනවා.
කළු පැහැය, වායු ගුණය, චාලක ගුණය, ලිංගිකත්වය, ප්රජනනය, කළු කුමාර යක්ෂයා... මේ සම්බන්ධය පේනව ද?
ඊගාවට ගමු මහ සොහොන් යක්ෂයා...
මහසෝන් යක්ෂයා නිසා හට ගන්න රෝග ගණනාවක් තියෙනවා. ඒකෙන් ප්රධාන පෙළේ රෝග දෙකක් තමා වලිප්පු, අපස්මාර.
මේ රෝග වැළැඳුණු කෙනෙක්ගෙ ලක්ෂණ මොහොතකට මතක් කරගමු. අත් පා ඇඹරීම, හිස එක් දිශාවකට ම එක එල්ලේ යොමු කරවාගෙන සිටීම, වෙව්ලීම, කටින් කෙළ පෙරීම වගේ ඒවා.
මහසෝන් යක්ෂයාගෙ ස්වරූපය මොහොතකට බලන්න. එක පැත්තකට හැරිලා, හිස නුහුරට, අත් කකුල් ඇඹරිලා.
මහසෝන් යක්ෂයාගෙ ස්වරූපයයි, වලිප්පු, අපස්මාර රෝගවල ලක්ෂණයි අතර සම්බන්ධය පේනව ද?
තුන් වැන්න ගරා ගිරි හෙවත් දළ කුමාර යක්ෂයා සහ ගිරි යක්ෂණිය. එක කුස උපන් සහෝදරයා හා සහෝදරිය අතර වූ ලිංගික සම්බන්ධය නිසා යක්ෂයෙක් හා යක්ෂණියක් වූ දෙදෙනා.
කතරගම දෙවියන්ගේත්, වල්ලි අම්මාගේත් විවාහ උත්සවයට වැද්දන් විසින් සැරැසූ කුණු මස් පත්තිනි දෙවියන්ගෙ අණින් ආහාරයට ගෙන පිරිසිදු කළේ මේ ගරා යක්ෂයා (දළ කුමාර යක්ෂ, වන්නියෙ නම් දළ කඩවර යක්ෂයා), කුඩා දරුවන්ට අපල කරන ප්රධාන යක්ෂණිය වෙන්නෙ මේ කතාවෙ මම කියපු ගිරි යක්ෂණිය (බාලගිරි කියන්නෙ මේ යක්ෂණිය නිසා ඇති කෙරෙන දෝෂයක්).
රජ පවුලක එක කුස උපන් සහෝදරයයි සහෝදරියයි යක්ෂයෙක් හා යක්ෂණියක් කළේ ඇයි? හේතුව ව්යාභිචාරය. සමීප ලේ ඥාතීන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ වරද. යක්ෂ යෝනියෙ ඉපදුණු දළ කුමාරයා ගැන මෙහෙම කියනවා.
පිට පිට හූ කියමිං අඬ ගසතී
ලඟට ගොසිං පැනලා බය කරතී
ගතට රෝග වධ බන්ධන කරතී
දුටු දුටු තැන අඟනන් දැක මරතී
ගිරි යක්ෂණී කුඩා දරුවන්ට දෝෂ ගේනවා. සාම්ප්රදායික පිළිගැනීම් අනුව අලුත විවාහ වන ජෝඩුවලටත් ගරා ගිරි බැල්ම වැටෙනවලු. නිවැරැදි ව ම මේ දෙන්නට මනමාලයා සහ මනමාලිය අඳුනගන්න බැරි වෙන්නලු දෙවෙනි මනමාලයො සහ මනමාලියො සම්බන්ධ කරගන්නෙ (මේ සංසිද්ධිය ඇතුලෙ තියෙනවා තවත් සමාජ සංස්කෘතික කතාවක්. ඕවා ඔක්කොම කියන්න ගියොත් ලිපිය දීර්ඝ වෙනවා).
මේ සම්පූර්ණ සංසිද්ධිය ඇතුලෙ ම සමාජයට දෙන පණිවිඩය පැහැදිලි ද? පැරැන්නො තම තමන්ගෙ සමාජ ජීවිතේ අත්විඳින දේවල් තමන්ට ගෝචරය වෙන වපසරිය ඇතුළෙ කොයි තරම් සියුම් ව අර්ථකථනය කරගෙන තියෙනව ද?
බලි තොවිල් කියන්නෙ හුදෙකලා ශාස්ත්රයක් නෙවෙයි. වෙදකම, මන්ත්ර ශාස්ත්රය, ජ්යොතිෂය, තොවිල් පවිල් මේවා ගහයි පොත්තයි වගේ. ඉනා බන්ධනයක් කැපුව ම වෙද මහත්තයෙක් ගාවට ගිහිං වමනය කරගන්න කියන්නෙත්, විස මරාගන්න කියන්නෙත් ඒකයි.
කායික වගේ ම මානසික කාරණා ගැනත් පැරැන්නො අවශ්ය තරමට දැනගෙන හිටියා. මේ සාම්ප්රදායික ඇතුළාන්තය සකස් වෙලා තියෙන්නෙ ම ඒවත් එක්ක. සමාජයට පණිවිඩයක් දෙමින් මේවා ප්රායෝගික තලයට ගෙනාවා.
හිතවතුනි,
මේකට ද මේ මිථ්යාව කියන්නෙ?
