ලංකාවට ජාතික හැඳුනුම්පතක ප්‍රධානම අවශ්‍යතාව පැන නැගුණේ මෙරට සිටින පුද්ගලයන් ලියාපදිංචි කර ඔවුන් හඳුනා ගැනීමටයි. 1947 අගෝස්තු 15 වැනි දින ඉන්දියාවටද 1948 පෙබරවාරි 4 වැනිදා ලංකාවට නිදහස ලැබීමත් සමග දෙරට අතර ගමන් කිරීම නීත්‍යනුකූලව සිදුවිය. මේ අතර ඩී.එස්. සේනානායක හා ජවහල්ලාල් නේරු අතර මෙරට සිටින ඉන්දීය ජාතිකයන්ගෙන් රටවැසි භාවය පිළිබඳ ප්‍රශ්න ඇතිවිය. ඒ අනුව 1954 ඔක්තෝබර් අත්සන් කළ නේරු – කොතලාවල ගිවිසුම අනුවත් 1964 ඔක්තෝබර් අත්සන් කළ සිරිමා – ශාස්ත්‍රි ගිවිසුම අනුවත් මෙරට සිටි ඉන්දීය ජාතිකයන් පිරිසක් මෙරට රඳවා ගැනීමත්, කොටසක් ඉන්දියාවට යැවීමටත් තීරණය වූවේය. නමුත් මෙකී ගිවිසුම නිසියාකාරව ක්‍රියාත්මක නොවීය. ඒ අනුව මෙරට පුරවැසියන් හඳුනා ගැනීම සඳහා හැඳුනුම්පතක අවශ්‍යතාව පැන නැගුණි. එමගින් නීතිවිරෝධී ලෙස මෙරටට ගොඩබසින ඉන්දියානු සංක්‍රමිණිකයන් පාලනය කළ හැකි බවටද එවකට තිබූ රජයට පැහැදිලි විය.
හැඳුනුම්පතක අවශ්‍යතාව ආවද එය හිතුමතේට සෑදීමට නොහැකි විය. ඊට අදාළ ක්‍රමවේදයක අවශ්‍යතාව පැනනැගුණි. ඒ අනුව මැලේසියානු හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය හැදෑරීමට තීරණය කළේය. ඒ අනුව 1968 අංක 32 දරන පුද්පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත 1968 ජුනි 22 වැනිදා දින ලංකාවට බලපැවැත්වීමට සම්මත කර ගැනුවෝය. අනතුරුව 1971 ඔක්තෝබර් පළමු වැනි දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටුවූවේය.
එය මෙසේ වෙද්දී හැඳුනුම්පතක් නිර්මාණය කිරීම පිළිබඳ ගැටලු පැනනැගුණේය. මුලින්ම සිතුවේ 1970 වසරේ තිබූ රියැදුරු බලපත්‍රයට අනුව පොතක ආකාරයකින් හැඳුනුම්පතක් සැකසීමටයි. නමුත් එය ජලයට ඔරොත්තු නොදෙන නිතර භාවිත කිරීමට නොහැකි නිසා ගැටලුවක් විය. ඒ අනුව ගැටලු නැති හැඳුනුම්පතක් නිර්මාණය කිරීමේ වගකීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ප්‍රථම කොමසාරිස්ව සිටි ටී.බී. ඒකනායක විසින් එවකට රජයේ චිත්‍රපට ඒකකයේ අධ්‍යක්ෂව සිටි ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ වෙත පැවරීය. ඔහු යටතේ සිටි ගස්පේ රත්නායක විසින් ජාතික හැඳුනුම්පතක් නිර්මාණය කළේය. අදටත් පවතින්නේ, ලාංකිකයන් පාවිච්චි කරනුයේ ඔහු එදා කළ හැඳුනුම්පතයි.
ඒ අනුව 1972 වසරේ සැප්තැම්බර් 14 වැනි දින මුල්ම ජාතික හැඳුනුම්පත නිකුත් කළේය. එහි හිමිකාරීත්වය ලැබුවේ එවකට අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන අංකය වන්නේ 166080010 V යන්නයි.
මේ වනවිට ජාතික හැඳුනුම්පතෙහි පසුපිට තොරතුරු ලියැවෙන්නේ පරිගණක අක්ෂරයන්ගෙන්ය. නමුත් මුල් කාලයේ එහි තොරතුරු සටහන් කර තිබුණේ අත් අකුරුවලිනි. ජාතික හැඳුනුම්පතක පසුපිට තොරතුරු ලිවීම සඳහා එදා ලස්සන අත්අකුරු ඇති අය තෝරාගෙන ඇත්තේ අත් අකුරු තරගයකිනි.
විජය ලක්ෂ්මි මොහොට්ටි යනු මුල්ම කාලයේ ජාතික හැඳුනුම්පතෙහි පිටුපස විස්තර ලිවීම සඳහා සිටි පිරිසගෙන් අයෙකි. ඇය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. පාසල් කාලයේ අත් අකුරු තරගවලින් ඇය පළමු ස්ථානයන් පවා ලබාගෙන ඇත. වරක් ප්‍රවීණ මාධ්‍යවේදී සුන්දර නිහතමානිද මෙල්ට විජය ලක්ෂ්මි මොහොට්ටි පවසා ඇත්තේ ජේ.බී. දිසානායකගේ ජාතික හැඳුනුම්පත පවා ලියා ඇත්තේ ඇය විසින් බවයි.
ජාතික හැඳුනුම්පත පුද්ගලයකුගේ අනන්‍යතාව තහවුරු කෙරෙන ප්‍රධාන ලියවිල්ල වෙද්දී ආර්ථික ක්‍රියාවලියකදී සමාජ ක්‍රියාවලියකදී මෙන්ම දෛනික අවශ්‍යතා සඳහාද එය අත්‍යවශ්‍ය දෙයක් වේ. එය එසේ වෙද්දී මීට එකොළොස් වසරකට පමණ පෙර ජාතික හැඳුනුම්පතක් නොමැතිව ගෙයින් එළියට බැසීමට නොහැකි කාලයක් තිබුණේය. ඒ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියා පැවැති සමයේය. එකල සිය අනන්‍යතාව පෙන්වීමට තිබූ ප්‍රබලම ලියවිල්ල වූයේ හැඳුනුම්පතයි.
ත්‍රස්තවාදී ක්‍රියා අතර ජාතික හැඳුනුම්පත හා බලන සමහර අමතක නොවන සිදුවීම්ද ඇත්තේය. හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා බැඳුණු කතාවත් එවැන්නකි. 2006 වසරේ අප්‍රේල් 25 වැනි දින හමුදාපතිවරයා මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට ලක්වුණේය. ලහි ලහියේ රෝහල්ගත කිරීමෙන් අනතුරුව අවශ්‍ය ප්‍රතිකාර සඳහා එක්ස් රේ පිටපත් කිහිපයක්ම වෛද්‍යවරු ලබාගත්හ. පපුව ප්‍රදේශය ආශ්‍රිතව ගනු ලැබූ එක්ස්රේ පිටපතක පෙණහලුවලට කිට්ටුව ‘ශ්‍රී’ අක්ෂරයෙන් යුතු කොටසක් වෛද්‍යවරුන්ට පෙනුණි. ඒ ගැන සොයා බැලීමේදී හෙළි වූයේ එය හමුදාපතිවරයාගේ ජාතික හැඳුනුම්පතෙහි කොටසක් බවය. එදිනම ලැබී තිබූ ඔහුගේ නව ජාතික හැඳුනුම්පත සිය නිල ඇඳුමෙහි උඩ සාක්කුවේ හමුදාපතිවරයා දමාගෙන ඇත. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේදී යකඩ බෝලයක් සමග හැඳුනුම්පතෙහි ‘ශ්‍රී’ කොටස කඩාගෙන ගොස් පෙණහලු ප්‍රදේශයේ රැඳී තිබිණි.
අද නැතිවම බැරි ලියවිල්ලක් වුවත් 1972, 1973 වසරවල ජාතික හැඳුනුම්පත් ලබාගත් පිරිස එය භාවිත කර තිබුණේ ඡන්ද දැමීම සඳහා පමණි. ඔවුනට ජාතික හැඳුනුම්පතෙහි අවශ්‍යතාව මතුවූයේ රටේ වාතාවරණය වෙනස් වීමත් සමගය.
අද වනවිට වයස අවුරුදු පහළොව සම්පූර්ණ වූ ඕනෑම අයකුට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ හැකියාව ඇත. අඩුම තරමින් දුරකථනයකට සිම්පතක් ලබා ගැනීමටවත්, ජාතික හැඳුනුම්පත නැතුව බැරිය. ඒ අයුරින් මේ දිනවල නිවසින් එළියට යන්නටත් ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍යම ලියවිල්ලක් වී ඇත.
ස්තුතියි මුල් අයිතිකරුට..
